වරාය සමිති, පුද්ගලීකරනයට එරෙහි සටන මැතිවරන මාවත් තුල සිර කිරීමේ උද්ඝෝෂනය තීව්‍ර කරයි

“මිනිස්බල කම්කරුවන් එපා!” සහ “නැගෙනහිර පර්යන්තය (ඊසීටී) රැක ගනිමු!” යන ප්‍රධාන සටන්පාඨ යටතේ වරාය කම්කරුවන්ගේ උද්ඝෝෂනයක්, ජූනි 12 වන දා මධ්‍යාහ්නයේ කොලඹ වරාය ඉදිරිපිට පැවැත්වුනි. එය සංවිධානය කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධිත සමස්ත ලංකා වරාය පොදුසේවක සංගමයේ (සලංවපොසේස) මූලිකත්වයෙන් ගොඩනගා ඇති වරාය වෘත්තීය සමිති එකමුතුව (වවෘසඑ) විසිනි.

ජවිපෙ ට සම්බන්ධිත සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ නායක නිරෝෂන් ගොරකාන

ජූනි 10 දින, වවෘසඑ හි සහ සලංවපොසේස හි නායක නිරෝෂන් ගොරකාන, උද්ඝෝෂනය කැඳවමින් නිකුත් කල ප්‍රකාශයක, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කරයි: “රනිල්ට සහ සිරිපාල දෙන්නටම කියන්නෙ එක දෙයයි. පව් නොදී දැන් ඔයාල බැහැල යන්න කියල විතරයි. කොහොමත් ඔයාලට තියෙන්නෙ තව මාස හතරයි. අපි නීතියට අනුකූලව ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම එතැන් සිට අනිවාර්යයෙන්ම ගන්නවා. අපි ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා.”

“ආදරනීය සහෝදරය, සහෝදරිය එම දවස උදාවෙනකම් අපිට කරන්න පුලුවන් හැමදෙයක්ම කරමු. 12 වෙනිදා උද්ඝෝෂනයත් එහෙම වැඩක්. ඉන්නෙ කොහේද කියල හිතන්නෙ නැතිව දවල් 12.00ට ඛාන් ඔරලෝසු කනුව ගාවට එන්න. පක්ෂ පාට බේදයක් නෑ හැමෝම එන්න.”

ගොරකානට අනුව, 12 වන දා පැවැත්වූ උද්ඝෝෂනය ඇතුලු “කරන්න පුලුවන් හැමදෙයක්ම” කරනුයේ, ජාජබ/ජවිපෙ ආන්ඩුවක් පිහිටුවන “එම දවස උදාවෙනකම්” ය.

ඔවුන් කැඳවන උද්ඝෝෂනයන්හි අරමුන, පුද්ගලීකරනය ඇතුලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වරාය කම්කරුවන් අතර වැඩෙන සටන්කාමිත්වය, ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජනබලවේගයේ (ජාජබ) ආන්ඩුවක් බලයට ගෙනඒමේ මැතිවරන මාවත් තුල සිරකොට, ආන්ඩුවේ ප්‍රහාරයන්ගෙන් බැටකන සමස්ත කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් වැලැක්වීම බව ඉතා පැහැදිලිය.

සලංවපොසේස හි නායක ගොරකාන පමනක් නොව, ජවිපෙ ට සම්බන්ධිත සියලුම සමිතිවල නායකයන් මේ දිනවල යෙදී සිටින්නේ, කම්කරු සටන් මැතිවරන මාවත් ඔස්සේ හරවා යැවීමේ මෙම ප්‍රතිගාමී කාර්යයෙහි ය.

කොලඹ වරායේ ඉතිරි කොටස් පුද්ගලීකරනය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත රාජ්‍ය ආයතන 430ක් පුද්ගලීකරනය සඳහා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන වැඩකටයුතුවල ප්‍රධාන ඉලක්කයකි. ජාමුඅ හි නය මත රටෙහි ආර්ථිකය රඳවා ඇති තත්වයේදී කුමන ධනපති ආන්ඩුවක් මැතිවරනයකින් බලයට පත් වූවද, පුද්ගලීකරනය ඇතුලු ජාමුඅ හි නියෝග ක්‍රියාවට දැමීමට බල කෙරී ඇත.

ජවිපෙ යලි යලිත් පිලින දෙන්නේ ජාමුඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සිදුවන බවය. මෙම තතු තුල, බලයට පත්වූ පසු පුද්ගලීකරනය නතර කරන බවට දෙන ප්‍රකාශ අමු ප්‍රොඩාවන්‍ ය.

12 දා උද්ඝෝෂනය අවසානයේ කතා කල ගොරකාන, වරාය අධිකාරිය පිහිටුවා වසර 41 කට පසුව වරායේ වැදගත් පර්යන්ත හා සම්පත් පුද්ගලීකරනය තුලින් “අපට නැතිවුනා ” යයි පැවසීය.

අනුප්‍රාප්තික ආන්ඩු යටතේ, දශක දෙකකට අධික කාලයක් පුරා, ශ්‍රී ලංකාවේ වරාය පුද්ගලීකරනය සිදු කෙරෙමින් පවතින්නේ, ගොරකාන ද ඇතුලු සමිති නිලධරයේ පූර්න පිටුබලය සහිතව ය. 1998 වසරේදී කොලඹ වරායේ රැජින පාලම “සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්” නමින් විදේශ සමාගම් සමූහයකට විකිනීම, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්”සමාගමට පැවරීම මේ අතර ප්‍රධාන වේ.

2021 මැයි මාසයේදී ඊසීටී වෙනුවට බටහිර පර්යන්තය පුද්ගලීකරනට එකඟව කම්කරු අරගලය පාවා දුන් වෘත්තීය සමිති කොලඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ (ඩබ්ලිව්සීටී) කොටස් වලින්, සියයට 51ක් ඉන්දියානු අදානි සමාගමට, සියයට 34ක් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (ජේකේඑච්) පීඑල්සී සමාගමට සහ සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන ගිවිසුමකට, අත්සන් තැබීමට එකඟවූහ.

කෙසේ නමුත් “2021දී සියල්ලන් එක්ව” ඊසීටීය පුද්ගලීකරනයට විරුද්ධව සටන් කර බේරාගත් බවට උදම් ඇනූ ගොරකානන බටහිර පර්යන්තය පුද්ගලීකරනයට ඉඩ ලබාදීම වසන් කලේය.

2021 ජනවාරි මාසයේ කොලඹ වරායේ වෘත්තීය සමිති සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ, ජවිපෙ, සහ පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධානද එක්ව 'කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය' නමින් අන්ත දක්ෂිනාංශික සංවිධානයක් ගොඩනගමින්, පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් අතර වැඩුනු විරෝධය පාවා දීමට කටයුතු කලේය.

වවෘසඑ පවසන පරිදි ඊසීටී ය වරාය අධිකාරියට අයත් වෙනම සමාගමක් ලෙස පවත්වාගෙන යන්න තීන්දු කර සීඊසීටී නමින් සමාගමක් ස්ථාපිත කර ඇත. ඊසීටී සංවර්ධන වැඩකටයුතු සඳහා වරාය අධිකාරියේ ඉන්ජිනේරුවන් හා කම්කරුවන් යෙදවීම නතර කර සමාගම් මගින් සපයන “මිනිස් බල” කම්කරුවන් යොදවා ඇත. මෙම කම්කරුවන්ට සියලු අයිතිවාසිකම් අහිමි කෙරී පවතී.

“මිනිස්බල කම්කරුවන් එපා!” යනුවෙන් වවෘසඑ ඉදිරිපත්කර ඇති සටන් පාඨ, වසර ගනනාවක සිට දරුනු සේවා කොන්දේසි යටතේ සේවයේ යෙදුන එම කම්කරුවන් සහ වරාය අධිකාරියේ කම්කරුවන් භේදකොට පාලකයන්ගේ අත ශක්තිමත් කරයි.

වෘත්තීය සමිතිවල පිටුබලය සහිතව සිදු කෙරුනු ප්‍රද්ගලීකරනය යටතේ, 24500ක් පමන වූ වරාය අධිකාරියේ ස්ථිර සේවක සංඛ්‍යාව දියකර හරිමින්, ඒ වෙනුවට අඩු වැටුප් සහ දරුනු ශ්‍රම සූරාකැමේ කොන්දේසි යටතේ “මිනිස් බල” කම්කරුවන් සේවයේ යෙදීම 1979 සිට මේ දක්වා පැවති සෑම ආන්ඩුවක් විසින්ම සිදුකරමින් පවතී. මේවනවිට වරායේ සමස්ත සේවක සංඛ්‍යාව 9000කට පමන කප්පාදු කෙරී ඇති අතර, ඊසීටී ඇතුලු පර්යන්තවල මිනිස් බල කම්කරුවන් සෑහෙන සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත.

ඉකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවිය ජූනි 10 දා පලකල වාර්තාවකට අනුව 2023 වරාය අධිකාරියේ ලාභය බිලියන 40.3ක් වන නමුත් මහා භාන්ඩගාරය එහි සේවක සංඛ්‍යාව අඩුකිරීමට යෝජනා කරයි: “තාක්ෂනික දියුනුව සහ අතිරික්ත රැකියා ප්‍රවර්ග සැලකිල්ලට ගනිමින් වසර ගනනාවක් පුරා කල දීර්ඝ විශ්ලේෂනයකින් පසුව, මහා භාන්ඩාගාරය විසින් 2023 දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සංඛ්‍යාව සංශෝධනය කර, 9,990 සිට 6,987 දක්වා 3003 කින් අඩු කරන ලදී.”

පුද්ගලීකරනය යටතේ මෙම රැකියා කප්පාදු වඩාත් වේගවත් කෙරෙනු ඇත.

වරාය කම්කරුවෙක් මිනිස්බල කම්කරුවන් සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ කරුනු දැක්වීය:

“කොලඹ වරායේ නැව් බඩු මෙහෙයුම් ක්‍රියාවලියෙදි, වරාය අධිකාරියේ පාලනය යටතේ ඇති නැගෙනහිර බහාලුම් පර්යන්තය, ජයා බහාලුම් පර්යන්තය, අනෙකුත් නැව් බඩු සේවාවන්, ටග් යාත්‍ර අංශය ආදී සියල්ලේ සේවක පුරප්පාඩු නිසිපරිදි නොපුරවන තත්වයේදී තමයි, පුද්ගලීකරනය සඳහා කොන්දේසි සකසන්නේ.”

“ඒවායේ මෙන්ම පෞද්ගලීක සමාගම් විසින් මෙහෙයවනු ලබන පැරනි රැජින පාලම ලෙස හැදින්වූ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් (එස්ඒජීටී), කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටෙනර් ටර්මිනල් (සීඅයිසීටී), බටහිර කන්ටේනර් පර්යන්තය, යන ආයතනවල මේ වනවිට විශාල වශයෙන් සේවය කරන්නේ මිනිස්බල කම්කරුවන්.”

තවත් කම්කරුවෙක් පැහැදිලි කල පරිදි වරායේ භාන්ඩ මෙහෙයුම් ක්‍රියාවලිය අඛන්ඩව සිදුකිරීමට අවශ්‍යවන රියැදුරන්, ප්‍රයිම් මූවර් (Prime Mover) රියැදුරන්, ලෑෂින්ග් ගැන්ග්ස් (Lashing Gangs- බහාලුම් නැවට අමුනන සහ ගලවන කම්කරු කන්ඩායම්), ප්ලෑන් ක්ලාක් (Plan Clerks - නැවක බහාලුම් ස්ථාන ගතකිරීම තීන්දු කරන්නන්) වැනි සේවාවන් සඳහා මිනිස් බල කම්කරුවන් යොදවා ඇති අතර, ඊසීටී ආයතනයේ ගැන්ට්‍රි දොඹකර (Gantry Cranes) ක්‍රියාකරුවන් මෙන්ම ට්‍රාන්ස්ෆර් ක්‍රේන් (Transfer Cranes - හුවමාරු දොඹකර) ක්‍රියාත්මක කිරීමටද මිනිස්බල කම්කරුවන් යොදවා ඇත. වරාය තුල පිරිසිදු කිරීමේ කටයුතු මුලුමනින්ම පාහේ සිදුකරන්නේ මිනිස්බල කම්කරුවන් විසිනි.

වරාය අධිකාරියට සහ අනෙක් ආයතනයන්ට මිනිස්බල කම්කරුවන් සපයන්නේ පුද්ගලික සමාගම් විසිනි. එම සමාගම්, සේවය ලබාගත් ආයතන වලින් තමන් සපයන ලද කම්කරුවන් සඳහා අදාල වැටුප් ලබා ගනී. එම වැටුපෙන් කොටසක් සමාගම තබාගෙන ඉතිරි කොටස මිනිස්බල කම්කරුවන්වන්ට ලබා දෙයි. එය ඉතා අඩු වැටුපක් බව වාර්තාවේ.

මෙම කම්කරුවන්ට, වරාය ස්ථීර කම්කරුවන් හිමිකම් කියන බොහොමයක් වරප්‍රසාද නැත. සාමාන්‍යයෙන් වරාය ස්ථීර කම්කරුවන්ට වාර්ෂිකව හිමිවන නිවාඩු දින 42 වෙනුවට, මිනිස්බල කම්කරුවන්ට මාසයකට නිවාඩු දින 2 1/2 ක් පමනක් හිමි වේ. වරාය ස්ථීර කම්කරුවන් සඳහා අසනීප නිවාඩු දින 21 වෙනුවෙන් වැටුප් ලබාදෙන ක්‍රමවේදයක් පවතින නමුත්, මිනිස්බල කම්කරුවන් සඳහා වැටුප් සහිත අසනීප නිවාඩු නොමැත.

වරායේ ලාභය මත පදනම්ව එහි ස්ථීර කම්කරුවන්ට වාර්ෂික දීමනාවක් හිමිවන නමුත් මිනිස්බල කම්කරුවන්ට එසේ දීමනා මුදලක් හිමි නොවේ. වරාය කම්කරුවන් සඳහා වන රක්ෂනාවරන, නිල ඇඳුම් හෝ ආරක්ෂිත ඇඳුම් මිනිස්බල කම්කරුවන්ට අහිමි ය.

සියලු “මිනිස්බල” කම්කරුවන් ස්ථිර කර සියලු කම්කරු අයිතීන් ඔවුනට ලබා දිය යුතු යැයි ද, “මිනිස්බල” පදනම යටතේ කම්කරුවන් වහල් සේවයේ යෙදවීම නතර කරනු! යැයි ද ඉල්ලා සිටිමින් වරාය අධිකාරියේ කම්කරුවන් හා මිනිස් බල කම්කරුවන් එක්ව සටන් වැදිය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැහැදිලි කර ඇති පරිදි, දිවයින පුරා සිටින අනෙකුත් කම්කරුවන්ට මෙන්ම වරාය සේවකයින්ට ද පුද්ගලීකරනය පරාජය කරමින්, තම රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සටන ඉදිරියට ගෙන යා හැක්කේ, වෘත්තීය සමිතිවලින්, සියලු ධනපති පක්ෂවලින් හා ව්‍යාජ වාම පක්ෂවලින් ස්වාධීනවූ ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් සටන තම අතට ගැනීමෙන් පමනි. වරාය අධිකාරියට අයත් සියලු ශ්‍රේනීන්හි කම්කරුවන්ද, පුද්ගලීකරනය කෙරී ඇති කොටස්වල කම්කරුවන්ද මිනිස්බල කම්කරුවන්ද වරාය ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ විය යුතුය.

පුද්ගලීකරනයට මුහුන දෙන සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කල යුතුය. සෑම කම්හලකම, වැඩබිමකම, වතුයායකම සහ නිවස්නා ප්‍රදේශයකම එසේ ගොඩනගා ගන්නා ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග ඒකාග්‍ර වෙමින් ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත මත සටන් වැදිය යුතු වෙයි.

Loading