“ඔබේ ඉවසීම මාස හයකට කල් දාන්න” යැයි ජවිපෙ වෘත්තීය සමිති නායක ගොරකාන කම්කරුවන්ට පවසයි

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ (සලවපොසේස) ලේකම් නිරෝෂන් ගොරකාන සලවපොසේස මුහුනු පොතේ පලකල ප්‍රකාශයක් මගින්, “ඔබ මුහුනදෙන ප්‍රශ්න දේශපාලනික නිසා දේශපාලනික උත්තරයක් සොයා ගැනීමට ඔබේ ඉවසීම මාස හයකට කල් දාන්න” යයි වරාය කම්කරුවන්ගෙන් ඉල්ලා ඇත.

සමස්ත ලංකාව වරාය කම්කරු සමිතියේ ප්‍රධානී හා ජවිපෙ නායක නිරෝෂන් ගොරකාන.

ගොරකාන මෙම ප්‍රකාශය කර ඇත්තේ, කොලඹ වරායේ ජය බහාලූ පර්යන්තයේ කම්කරුවන්, තම ලෙඩ නිවාඩු දීමනා කප්පාදු කිරීමට එරෙහිව තෙවන වරටත් වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් වූ අවස්ථාවේ, “වරාය කම්කරුවන්ගේ කාර්මික ක්‍රියා තහනම් කෙරුනු අධිකරන නියෝගයක් පවතින තතු තුල වර්ජනයක යෙදීමෙන් රැකියා අහිමිවීමේ අන්තරායක් පවතින” බව කියා සිටිමින්, ඔහු ඇතුලු සමිති නිලධරය විසින් එම වර්ජනය වලකාලීමෙන් අනතුරුව යි.

සලවපොසේස මූලිකත්වයෙන් සහ වෘත්තීය සමිති 14ක සහභාගිත්වයෙන් පිහිටුවා ඇති වරාය වෘත්තීය සමිති එකමුතුව (වවෘසඑ) විසින් දෙසැම්බර් 28 දාට කැඳවා තිබූ අකුරට වැඩකිරීමේ උද්ඝෝෂනය වාරනය කෙරෙන අධිකරන නියෝගයක් ලබා ගැනීමට ආන්ඩුව කටයුතු කලේය. දෙසැම්බර් 28 සිට ජනවාරි 9 තෙක් පනවා තිබූ එම නියෝගය මේ වනවිටත් ක්‍රියාත්මකය.

2023 ජූලි 10 වැනි දින සේවායෝජකයන්ගේ අර්ථසාධක අරමුදල ආරක්ෂා කිරීම සඳහා වරාය සේවකයෝ කොලඹ වරාය ඉදිරිපිට උද්ඝෝෂන කරති-photo-wsws

මෙම තතු තුල, ජවිපෙ සමිති නායකයා තම ප්‍රකාශයෙන් කම්කරුවන්ට කියා සිටින්නේ, තවත් මාස ගනනාවකට පසු පැවැත්වීමට නියමිත මැතිවරනයකින් ජවිපෙ බලයට පැමින ප්‍රශ්න විසඳන තෙක් බලා සිටින ලෙසයි.

කම්කරුවන්ට “දේශපාලන උත්තරයක්” අවශ්‍ය බව ගොරකාන කියා සිටී. කම්කරුවන්ට අවශ්‍ය වන්නේ කිනම් ආකාරයේ දේශපාලන උත්තරයක් ද? කම්කරුවන් මෙම ප්‍රශ්නය කෙරෙහි බරපතල අවධානයක් යොමුකල යුතුය.

ධනේශ්වර නිෂ්පාදන-ආර්ථික ක්‍රමය තුල, ප්‍රධාන දේශපාලනයන් දෙකක් පවතී: නිෂ්පාදන මාධ්‍ය හිමි සහ කම්කරු පංතියේ ශ්‍රමය සූරාකෑමෙන් ධනය සමුච්ඡය කර ගන්නා ධනපති පාලක පංතියේ දේශපාලනය ඉන් එකකි. නිෂ්පාදන මාධ්‍ය අහිමි සහ තම ශ්‍රම ශක්තිය විකිනීමෙන් පමනක් ජීවිතය ගැටගසා ගැනීමට නියමිත කම්කරු පංතියේ දේශපාලනය අනෙකයි. ධනපති දේශපාලනයේ අරමුන ධනපති ක්‍රමය ආරක්ෂා කිරීම වන අතර, කම්කරු පංතික දේශපාලනයේ අරමුන ධනපති ක්‍රමය අහෝසි කිරීමයි.

වරාය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතිය මුහුන දී සිටින්නේ, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ උපකරනය වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (ජාමූඅ) සහ එහි ප්‍රහාරයන් ක්‍රියාත්මක කරන ධනපති ආන්ඩුවටයි. ගෝලීය ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බුදය හමුවේ, ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් ඒවායේ ප්‍රහාර ආපසු හැරවිය නොහැකිබව වරායේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙන්ම ලොවපුරා කම්කරුවන්ගේ කටුක අත්දැකීමයි. එබැවින් එම ප්‍රහාර පරාජය කිරීම, ධනපති ආන්ඩුවට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා සපුරන ගෝලීය ධනවාදයට එරෙහි, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනකි. එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

ඒ අනුව වරාය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතිය මුහුනදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුනට ඇති එකම දේශපාලන උත්තරය, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදින කම්කරු-ගොවි ආන්ඩුවක් ශ්‍රී ලංකාව තුල බලයට ගෙන ඒමයි.

ගොරකාන ඇතුලු, සියලු ජවිපෙ සමිති නායකයන් තොරොම්බල් කරන “දේශපාලන උත්තරය” මීට සපුරා ප්‍රතිවිරුද්ධය: ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් සපුරාලන බවට යලියලිත් ශපථවන ජවිපෙ ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒම ඔවුනගේ දේශපාලන උත්තරය යි.

ජවිපෙ මුල සිටම කියා සිටියේ ජාමූඅ සමග කටයුතු කිරීම හැර අන් විකල්පයක් නොමැති බවයි. ජාමූඅ හි විධානයෙන් ක්‍රියාත්මක කෙරෙන රුදුරු කප්පාදු හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන කෝපය ගසා කම්න් බලයට ඒමට යත්න දරන ජවිපෙ, ජාමූඅ සමග යලි සාකච්ඡා කරමින් “ජාතික මට්ටමට අනුව දැඩි වෙනස්කම්” ඉල්ලා සිටින බව මහජනයා හමුවේ ව්‍යාජව කියා සිටී.

නමුත්, ජාමූඅ හි ප්‍රතිචාරයන් මගින් යලියලිත් පෙන්නුම් කෙරෙන්නේ එවන් “දැඩි වෙනස්කම්” වලට කවර හෝ ඉඩක් නොමැති බවයි. පීටර් බෘවර් ප්‍රමුඛ ජාමූඅ හි නියෝජිත කන්ඩායම, මාර්තු 14 දා ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අනුර කුමාර දිසානායක ඇතුලු එහි නායකයන් මුනගැසීමට නියමිත අතර, ජවිපෙ බලයට පැමිනියහොත් තම වැඩපිලිවෙල අඛන්ඩව ක්‍රියාත්මක කරන බවට ජවිපෙන් සහතිකයක් ලබා ගැනීම එහි අරමුන වනු ඇත.

ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජාජබ) ආන්ඩුවක් යටතේ වෘත්තීය සමිති ක්‍රියාත්මක වියයුතු ආකාරය කුමක්දැයි, නොවැම්බර් 2 දින කොටුව සේවාමුක්ත භට සංගම් ශාලාවේ පැවති, සලවපොසේස 24 වන සම්මේලනයේ දී, ජවිපෙට අයත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පැහැදිලි කලේය: “වරාය ඇමතිවරයාගේ සිට වරායේ සියලු වෘත්තීය සමිති එකතුකර ගත්ත මෙහෙයුම් ක්‍රියාවලියක් … වරාය මෙහෙයුම, ගොඩනැගීම, සේවක ශුභසාධනය, වරාය සංවර්ධනය ඒකාබද්ධ කර ගත්ත පුලුල් මෙහෙයුමක් සහිත මැදිහත්වීමක් තමයි ක්‍රියාවට දමන්නෙ.”

වරාය “සංවර්ධනය” කිරීමේ නාමයෙන්, කම්කරු ශ්‍රමය උපරිම මට්ටමෙන් සූරාකෑමේ යාන්ත්‍රනයකට වෘත්තීය සමිති ඒකාග්‍රකර ගැනීම මෙහි අරමුනයි. 1970-77 සමයේ පැවති සිරිමා බන්ඩාරනායකගේ ආන්ඩුව යටතේ ආරම්භ කෙරුනු “කම්කරු උපදේශන සභා” මෙවන් යාන්ත්‍රනයක් පිලිබඳ බලගතු සාදෘශ්‍යයකි. මෙම සභා යොදා ගැනුනේ, ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහි කම්කරු සටන් පූර්ව-භංග කිරීමට සහ එවන් සටන්වල නායකත්වය ගත් කම්කරුවන් දඩයම් කිරීම සඳහා ය. ගැඹුරු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ බලයට පැමිනෙන ජවිපෙ ආන්ඩුවක් යටතේ එවන් යාන්ත්‍රනයක් වඩාත් විෂඝෝර වනු ඇත.

සමස්ත වෘත්තීය සමිති නායකත්වය, වික්‍රමසිංහ ආන්ඩුවේ රුදුරු මර්දනය සම්බන්ධයෙන් ගෙනයන නරුම පිලිවෙත ගොරකාන ගේ ප්‍රකාශයෙන් වඩාත් ඉස්මතු වේ. වරාය ඇතුලු ක්ෂේත්‍ර ගනනාවක වර්ජන සහ අනෙකුත් කාර්මික ක්‍රියා වාරනය කරමින්, ආන්ඩුව අඛන්ඩව පවත්වාගෙන යන රුදුරු “අත්‍යවශ්‍ය සේවා” විධිවිධාන සම්බන්ධයෙන් පූර්න මුනිවත රකින මෙම සමිති නිලධරය, එම ප්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරු පංතියේ ඒකාබද්ධ සටනක් දියත් කිරීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කර සිටී. එවන් සටනක් සඳහා කම්කරු පංතිය බලමුලු ගැන්වීම කෙසේ වෙතත්, ගොරකාන දැන් කම්කරුවන්ට උපදෙස් දෙන්නේ, දඩයමට ගොදුරු වන බැවින් කවර හෝ සටනක් නොකලයුතු බවයි.

මෙම පිලිවෙතේ ආන්තික ප්‍රකාශනය ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන්ට එරෙහිව ආන්ඩුව දියත්කොට ඇති දඩයම සම්බන්ධයෙන් සමිති නිලධරයේ ප්‍රතිචාරය යි. පුද්ගලීකරනයට එරෙහි ලංවිම කම්කරුවන්ගේ අසනීප නිවාඩු උද්ඝෝෂනය මර්දනය කිරීම සඳහා ආන්ඩුව “අත්‍යවශ්‍ය සේවා ” රෙගුලාසි ප්‍රකාශයට පත් කර, ලංවිම සේවකයන්ගේ නිවාඩු අවලංගු කලේය. කෙසේ වෙතත්, මෙම පියවරයන් නොතකා 26,000 ක් වන ලංවිම ශ්‍රම බලකායෙන් 21,000 කට අධික පිරිසක් උද්ඝෝෂනයට සම්බන්ධ වූහ. භීතියට පත් ආන්ඩුව හා පාලකයෝ වහාම කම්කරුවන් 66 කගේ සේවය අත්හිටවූහ. තවත් සේවකයන් ගනනාවක සේවය අත්හිටුවීමට ආන්ඩුව කටයුතු සූදානම් කරමින් සිටී.

ගොරකාන කියා සිටින්නේ කම්කරුවන්ට තමන්ගේ අයිතීන් දිනා ගැනීමේ ආයුධය වන පංති අරගලය වර්ධනය නොකොට එය හකුලා ගෙන ධනපති පංති පාලනයේ මාධ්‍යයක් වන පාර්ලිමේන්තු රාමුවට හෝ ජනාධිපතිවරනයට කොටුවී ඉන් විසඳුමක් ලැබෙන තුරු බලාගෙන සිටින ලෙසයි.

ජනතා විමුක්ති පෙරමුන හා එහි සමිති නායකයෙකු වන ගොරකාන දෙසාබාන්නේ ද, වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, පූජක උන්නාන්සේලා, හා ජනමාධ්‍ය ද පතුරුවන මෙම මිථ්‍යාවමයි. මේ අතර වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල නොකඩවා ගෙනයයි. කම්කරුවන්ට හා දුගීන්ට තමන් මුහුනදෙන රුදුරු සමාජ ව්‍යසනයට ධනපති ක්‍රමයේ හා එහි පංති පාලනයේ රාමුව තුල විසඳුමක් සොයාගත නොහැකිය.

ගොරකාන වැනි සමිති නායකයන් රාජ්‍ය මර්දනය හමුවේ පසුබසින ලෙස කම්කරුවන්ට උපදෙස් දෙද්දී, මෙම රාජ්‍ය මර්දනයට එරෙහිව කම්කරු පංතිය බලමුලු ගැන්වීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භකත්වය ගෙන සිටී. සසප මූලිකත්වයෙන් පිහිටුවා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටු එකමුතුව, ලංවිම සේවකයන් ආරක්ෂා කිරීම සඳහා කැඳවූ රැස්වීමේ දී සම්මත කෙරුනු යෝජනාව මෙසේ පවසයි:


“කම්කරුවන්ට තම රැකියා, ජීවන තත්වයන්, සේවා කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට නම් ඒ සඳහා අරගලය තමන් අතටම ගත යුතු වේ. ඒ සඳහා වැඩකරන ජනතාව තමන්ගේ වැඩපොලවල, වතුකරයේ සහ නිවහන් පෙදෙස්වල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය. වෘත්තීය සමිති නිලධරයට හෝ ධනපති පක්ෂවලට ඒවා තුල ඉඩක් නොදිය යුතු වේ.

“ලංකාවේ කම්කරුවන් සහ පීඩිතයන් මුහුන දෙන ප්‍රශ්න කිසිසේත්ම මෙම දූපතට පමනක් සීමා වී නැති බව අපි ඒත්තු ගෙන සිටිමු. මූල්‍ය අරමුදලේ රුදුරු පිලිවෙත්වලට එරෙහිව සටන් කිරීමේ දී අපගේ සහෝදර ජාත්‍යන්තර මහා කම්කරු බලවේගයේ සහය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. එම රටවල ද කම්කරුවෝ අරගලයේ භූමියට අවතීර්න වී සිටිති. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග සම්බන්ධීකරනය වීම සඳහා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමග ඒකාබද්ධව මෙම අරගලය ඉදිරියට ගෙනයාමට මෙම සභාවේ අනුමැතිය ලැබේ.”

Loading