ජන සංහාරයේ අපරාධ සහයකයෝ: කැනේඩියානු අධිරාජ්‍යවාදය සහ ෆැසිස්ට්වාදී ම්ලේච්ඡත්වය

පහත පලකෙරෙන්නේ කැනේඩියානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් කීත් ජෝන්ස් 2024 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලියේ දී කල කතාවයි. (ඉංග්‍රීසි ලිපියට මෙතැනින්)

වීඩියෝ කැප්ෂන්: මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

එතෙක් පාලක පන්තියේ ගූඪකරනයන් සහ මුසාවන්ගෙන් වැසී පැවති සංකීර්න සමාජ ප්‍රපංචයන් පිලිබඳ මූලික සත්‍යයන් ක්ෂනයෙන් නිරාවරනය කරන්නා වූ ඇතැම් සිදුවීම් පවතී. එවැනි සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිදු විය. කැනඩාවේ පාර්ලිමේන්තුව සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සහ කැනඩාවේ G-7 මිත්‍ර පාක්ෂික රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් ඇතුලු ව රැස් රැස්ව සිටි සම්භාවනීය අමුත්තෝ එකාවන්ව නැගීසිට වොෆන් එස්එස් හමුදාවේ හිටපු සෙබලෙකු වූ යුක්‍රේන ජාතික 98 හැවිරිදි යාරොස්ලාව් හුන්කා ට ඔල්වරසන් දුන්හ.

මෙම ක්‍රියාව සමිබන්ධයෙන් ජාත්‍යන්තර විරෝධයකට මුහුන දුන්, කැනඩාවේ වෘත්තීය සමිතිවල පිටුබලය ලබන, ලිබරල් ආන්ඩුව සහ විරුද්ධ පක්ෂ පසුව කියා සිටියේ තමන් නාසි හුන්කා “යුක්‍රේනියානු” සහ “කැනේඩියානු වීරයා” ලෙස සැමරීම අවාසනාවන්ත අත්වැරැද්දක් බවයි.

මොනතරම් නින්දිත වංචාවක්ද!

හොලෝකෝස්ටයේ දී සහ සෝවියට් සංගමයට එරෙහි ජන සංහාරක යුද්ධයේ දී නාසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුක්‍රේන ෆැසිස්ට්වාදීන්ගෙන් දේශපාලනික ව පැවත එන්නන් බලමුලු ගැන්වීම, බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් රුසියාව වටලා යටත් කර ගැනීමට සූදානම් වීමේ මූලික කර්තව්‍යයකි.

කැනඩාවේ පාර්ලිමේන්තුව වොෆන් -එස්එස් හි හිටපු සාමාජිකයෙකු වන යාරොස්ලාව් හුන්කාට ප්‍රශංසා කරයි. කැනඩාවේ ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් වේන් අයර් වම් පසින් සිටී.

ඔටාවා පරිපාලනයේ සහාය ඇතිව වොෂින්ටනය සහ බර්ලින් සංවිධානය කල 2014 පෙබරවාරි කුමන්ත්‍රනයට නායකත්වය දුන් යුක්‍රේනියානු අන්ත දක්ෂිනාංශය රටේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රුසියානු ගැති ජනාධිපතිවරයා බලයෙන් පහ කලේ ය. රුසියාවට එරෙහි නේටෝ යුද්ධයේ යුක්‍රේන කම්පන හමුදා වන අසෝව් බලඇනිය සහ අනෙකුත් ෆැසිස්ට් මිලීෂියාවන් කැනේඩියානු සන්නද්ධ හමුදා පුහුනුකරුවන්ගේ සහාය ඇතිව, දැන් යුක්‍රේන හමුදාවට සම්පූර්නයෙන්ම ඒකාබද්ධ වී ඇත. නාසි සහයෝගිතාකරු ස්ටෙපාන් බන්ඩෙරාගේ පාර්ශවකරුවෝ සහ ඔහුගේ යුක්‍රේන ජාතිකවාදීන්ගේ ෆැසිස්ට් සංවිධානය සෙලෙන්ස්කි පාලන තන්ත්‍රයේ සහ එහි මිලිටරි සංවිධානවල ජ්‍යෙෂ්ඨ තනතුරු දරති. අන්තිම යුක්‍රේනියානුවා දක්වා රුසියාවට එරෙහි ව යුද වැදීමට තරම් ඔවුන් වොෂින්ටනයේ සහ ඔටාවාවේ දැඩි ආධාරකරුවෝ වෙති.

නේටෝ බලවතුන් යුක්‍රේන ෆැසිස්ට්වාදීන් ප්‍රවර්ධනය කිරීම වනාහි, රුසියාවට එරෙහි යුද්ධය තුල ඔවුන් අනුගමනය කරන කොල්ලකාරී අරමුනු සහ අවශ්‍යතා වලින් පැන නගින්නකි. පසුගිය ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙකේ දී ඔවුන් කලාක් මෙන්, අධිරාජ්‍යවාදී බලවතුන් යුද්ධ කරමින් සිටින්නේ මරනයේ හා විනාශයේ අශීලාචාර සාදයකින් නව ශක්තියක් තමන් තුල රුවා ගැනීමට රුධිරය උරා බොන පිශාචයෙකු මෙන් සම්පත්, වෙලඳපොලවල් සහ උපාය මාර්ගික භූමි ප්‍රදේශ අත්පත් කර ගැනීමටයි.

කැනේඩියානු පාර්ලිමේන්තුව නාසි යුද අපරාධකරු හුන්කාට ගෞරව කිරීම, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය දේශපාලනික ව සහ මතවාදී ව සූදානම් කර මෙහෙයවීමේ දී කැනේඩියානු අධිරාජ්‍යවාදය විසින් ඉටු කර ඇති අති විශාල භූමිකාව ගැන ද කතාකරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පුලුල් ලෙස ලේඛනගත කර ඇති පරිදි, කැනේඩියානු අධිරාජ්‍යවාදයට ශතවර්ෂයේ කාර්තු තුනක ට වඩා දිගු කාලීන සන්ධානයක් යුක්‍රේන අන්ත දක්ෂිනාංශය සමඟ පවතියි. යුක්‍රේන නාසි සහයෝගිතාකරුවන් දසදහස් ගනනකට, එනම්, හුන්කා වැනි වොෆන් එස්එස් හිටපු සෙබලුන්ට, යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ ආධාරකරුවන්ට මෙන්ම සහ එහි සන්නද්ධ අංශයේ සාමාජිකයන්ට දෙවන ලෝක යුද්ධය අවසානයේ කැනඩාව රැකවරනය ලබා දුන්නේ ය.

සෝවියට් සංගමයට එරෙහි කැනඩාවේ සීතල යුද්ධ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යාමටත්, රටේ පුලුල් යුක්‍රේන සංක්‍රමනික ජනගහනය තුල වාමාංශය කෙරෙහි පැවති සහානුභුතින්ට එරෙහිව පොර වැදීමටත්, ඔටාවා ආන්ඩුව යුක්‍රේන ෆැසිස්ට්වාදීන්ට ඔවුන්ගේ අපරාධ වලට සුදු හුනු ගෑමට සහාය වුනේ දරුනු බෝල්ෂෙවික් විරෝධී සහ රුසියානු විරෝධී යුක්‍රේන ජාතිකවාදය ප්‍රචාරය කරමිනි. හොඳම කැනේඩියානු යුක්‍රේන ඉතිහාසඥයාගේ වචන භාවිතා කලොත්, ආන්ඩුව විසින් ආරම්භ කරන ලද සහ අරමුදල් සපයන යුක්‍රේන කැනේඩියානු කොංග්‍රසය ෆැසිස්ට් බන්ඩෙරා සහ ඔහුගේ ආධාරකරුවන් “උත්කර්ෂයට” නංවා “යුක්‍රේන ජාතික අනන්‍යතා ව්‍යාපෘතිය මධ්‍යයේ” තැබී ය.

ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව මෙම අන්ත දක්ෂිනාංශික බටහිර අධිරාජ්‍යවාදය සමග සන්ධානගත ව ජාතිකවාදය ආපසු යුක්‍රේනයට අපනයනය කිරීමට සම්බන්ධ වූවන් අතර, ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් විය. ප්‍රමුඛ යුක්‍රේන නාසි සහයෝගිතාකරුවෙකුගේ මිනිබිරියක වන ඇය අද කැනඩාවේ නියෝජ්‍ය අගමැති සහ ටෲඩෝ ලිබරල් ආන්ඩුවේ ප්‍රමුඛ යුක්‍රේන යුද වාදිනිය යි.

නියෝජ්‍ය අගමැති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් ෆැසිස්ට් ධජය අතැතිව ඡායාරූපවලට පෙනී සිටියි [Photo: SputnikNews/WyattReed]

ලෝක අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී ස්වභාවය සහ ප්‍රචන්ඩකාරී, ම්ලේච්ඡ ගමන් පථය පිලිබඳව, හුන්කා සිද්ධිය නම් වූ ක්ෂුද්‍ර විශ්වයෙන් (microcosm) හෙලිදරව් වූ දේ පසුගිය මාස හතේ සිදුවීම් මගින් බිහිසුනු ලෙස තහවුරු කර ඇත.

කැනේඩියානු පාලක පන්තිය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ජන සංහාරක ප්‍රහාරය පිටුපස සිටින දැඩි ආධාරකරුවෙකි. රාත්තල් 2000ක බෝම්බවලින් සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම, සිවිල් යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීම, සියලු අසල්වැසි ප්‍රදේශ සමතලා කිරීම, ගාසා තීරයේ සමස්ත ජනගහනය සාගින්නේ තැබීම ආදී මේ සියල්ල ඊශ්‍රායලයේ ඊනියා “ ස්වයං ආරක්ෂක අයිතියේ” නමින් සාධාරනීයකරනය කරයි.

මේ අතර, ඔටාවා ආන්ඩුව තව තවත් සම්පූර්නයෙන් ම රුසියාවට සහ චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය යුද්ධය ට සහ මැද පෙරදිග අසීමිත ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අභිප්‍රායන් සඳහා ඒකාබද්ධ වෙයි. මේ මස මුල දී, ඉදිරි දශකය තුල අතිරේක මිලිටරි වියදම් බිලියන දස ගනනක් නිවේදනය කරමින් ටෲඩෝ ආන්ඩුව ආරක්ෂක ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් සභාගත කලේ ය. “ගෝලීය ස්ථාවරත්වය” සහ බටහිර විසින් පනවන ලද “ජාත්‍යන්තර පර්යාය” තහවුරු කිරීම සඳහා සෑම මහාද්වීපයක ම සහ සාගරයක ම කැනඩාවට යුද්ධ කිරීමට මිලිටරි හැකියාවන් තිබිය යුතු බව එය අවධාරනය කලේ ය.

නාසි එස්එස් හි හිටපු සෙබල හුන්කා සැමරූ එම දේශපාලන සංස්ථාපිතය ම යුක්‍රේන ෆැසිස්ට්වාදීන් වටිනා සහචරයින් ලෙස සලකන්නේ ගාසා තීරයේ ජන සංහාරයට සහ එයට කැනඩාවේ හවුල්කාරීත්වයට එරෙහිව වැඩෙමින් පවතින මහජන විරෝධතාවලට යුදෙවු විරෝධී ලෙස අවලාද නගමිනි. විරෝධතාකරුවන් සාපරාධීකරනයට සහ මර්දනයට ලක් කිරීමට, වැඩෙන නිර්ලජ්ජිතභාවයෙන් ටෲඩෝ ආන්ඩුව යොමුවෙමින් සිටී.

මෙය එක්සත් ජනපද-නේටෝව විසින් උසිගන්වන ලද යුක්‍රේන යුද්ධයට විරුද්ධ ව පැවති සියලු රැස්වීම් කඩාකප්පල් කිරීමට සහ වැලැක්වීමට ඔවුන්ගේ පෙර උත්සාහයන් අඛන්ඩ ව පෙරට ගෙනයාමකි. පසු ගිය වසරේ ජුනි මාසයේ දී, සසජාතශි සහ සසප, වඩාත් ම ජනාකීර්න නගරය වන ටොරොන්ටෝ හි දී යුක්‍රේන යුද්ධයට එරෙහිව පලමු මහජන රැස්වීම පැවැත්වූයේ, එය වාරනය කිරීමට ඔන්ටාරියෝ කම්කරු ඇමති සහ ආන්ඩුවේ පිටුබලය ලත් අන්ත දක්ෂිනාංශික යුක්‍රේන කැනේඩියානු කොංග්‍රසය ගෙනගිය ඒකාබද්ධ උද්ඝෝෂනය නොතකමිනි.

කැනේඩියානු පාලක පන්තිය, එහි අධිරාජ්‍යවාදී හවුල්කරුවන් සහ ප්‍රතිවාදීන් ඉමහත් ලෙස බියවැදී සිටින්නේ, කම්කරු පන්තියේ වැඩෙන නැගිටීම අව්‍යාජ යුද-විරෝධයකින් එනම් සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් ආවේශ ගැන්වෙනු ඇතැයි යන්න කෙරෙහිය.

ආර්ථිකයේ සෑම අංශයකම කම්කරුවන්, මිලියන භාගයකට වැඩි ක්විබෙක් රාජ්‍ය අංශයේ කම්කරුවන්, බටහිර වෙරල නෞකාගාර කම්කරුවන් ඇතුලුව, සුපිරි වෙලඳසැල් සේවකයින්, ෆෙඩරල් රජයේ සේවකයින් සහ ජාතික වානේ කාර් කම්කරුවන් පසුගිය මාස 12 තුල වැඩ වර්ජනවල යෙදී ඇත්තේ ආන්ඩුවේ පිටුබලය ලබන, උද්ධමනය මත පදනම් වූ සැබෑ වැටුප් කප්පාදුවලට සහ දශක ගනනාවක සහන ආපසු හැරවීමට විරුද්ධවයි.. පසුගිය වසර තුල පමනක් ඊට පෙර වසර හය තුල පැන නැගි වැඩ වර්ජන සියල්ල ඉක්මවා යන ප්‍රමානයක වැඩ වර්ජන පැන නැගුනි.

2023 සැප්තැම්බර් 23 වැනි දා, මොන්ට්‍රියෙල් හි, 100,000 ආසන්න පිරිසක් සහභාගී වූ ක්විබෙක් රාජ්‍ය සේවකයන්ගේ විරෝධතාවයක දර්ශනයක්

වෘත්තීය සමිති විසින් අනුමත කරන ලද තාවකාලික ගිවිසුම් ගනනාවක් ප්‍රතික්ෂේප වීම පෙන්නා දෙන්නේ (මෙම ප්‍රතික්ෂේප වීම් තුල ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට (IWA-RFC) අනුබද්ධ ක්‍රියාකාරී කමිටු වඩ වඩා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත) මෙම ව්‍යාපාරය කම්කරුවන්ගේ බලය සඳහා අරගලයේ දී කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීමක් සඳහා සංස්ථාපිත වෘත්තීය සමිතිවලට එරෙහි කැරැල්ලක් ලෙස වර්ධනය වෙමින් පවතින බවයි.

පෙරමුනු දෙකක යුද්ධයක් දියත් කරමින් සිටින, එනම්, කප්පාදු පිලිවෙත් හා වැටුප් කප්පාදුව තුලින් දේශීයව කම්කරුවන් සූරාකෑම තීව්‍ර කරන අතරේ යුක්‍රේනයට බිලියන ගනන් වටිනා ආයුධ සපයමින් ගාසාවේ ජන සංහාරයට පිටුබලය දෙන, ටෲඩෝ ආන්ඩුවට මුක්කු ගසන වෘත්තීයසමිති-එන්ඩීපී-ලිබරල් ආන්ඩු සන්ධානය මගින්, පන්ති අරගලය ක්‍රමානුකූලව යටපත් කිරීමේ ලා, රාජ්‍ය අනුග්‍රහය ලබන වෘත්තීය සමිති උපකරනවල භූමිකාව මූර්තිමත් කෙරේ

1934 දී යුද වලාකුලු එක් රැස් වෙද්දී ට්‍රොට්ස්කි අපගේ කර්තව්‍යයන් ගැන උපදෙස් දුන්නේ පන්ති අරගලයේ සිතියම අනුගමනය කිරීමට මිස යුද සිතියම අනුගමනය කිරීමට නොවේ. වසර හයකට පසු දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී - ස්පාඤ්ඤයේ, ප්‍රංශයේ සහ වෙනත් තැන්වල - ස්ටැලින්වාදී නිලධරය විසින් කම්කරු පන්තියේ විප්ලවවාදී ප්‍රයත්නයන්ගේ ගෙල සිර කිරීම නිසා යුද්ධය පැන නැගීම අනිවාර්ය වූ විට, “විප්ලවවාදී පක්ෂය සිය සමස්ත ප්‍රතිපත්තියම ගොඩ නගන්නේ කම්කරුවන්ගේ පන්ති විඥානය මත ය; මෙම පන්ති විඥානය අපවිත්‍ර කිරීම හා විෂ කිරීම හැර අන් කිසිවක කොමින්ටර්නය නියැලී නැත” යි ඔහු ප්‍රකාශ කලේ ය.

අර්බුදකාරී ගෝලීය ධනවාදය මානවවර්ගයා අගාධය දෙසට ඇද දමද්දී, එය ලොව පුරා කම්කරුවන් හා තරුනයින් ඊට විරුද්ධ වීමට පොලඹවයි. එම විරුද්ධත්වය ජයග්‍රහනය කරා මෙහෙයවීමට නම්, එය අවබෝධයකින් මුහුන් විය යුතු ය. යුද්ධයට, ප්‍රතිගාමීත්වයට සහ සමාජ අසමානතාවයට කම්කරුවන්ගේ විරුද්ධත්වයේ වෛෂයික තර්කනය ලෝක සමාජවාදී විප්ලවය යි. එමෙන්ම එය ඉතිහාසයේ පාඩම් මත පදනම් වූ විප්ලවවාදී නායකත්වයකින් සහ මූලෝපායකින් සන්නද්ධ විය යුතුය. ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ වී මෙම කර්තව්‍යයන්ට උර දෙන්න. 2024 මැයි දිනය සැමරීමට ඊට වඩා අන් හොඳ ක්‍රමයක් නොමැත.

Loading