ආන්ඩුව විදුලිබල පෞද්ගලීකරනය පාර්ලිමේන්තුව තුලින් සම්මත කරගනියි

[මෙය Sri Lankan government pushes electricity privatisation through the parliament [please link this topic to English article  යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජුනි 13 දින පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් එහි ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නය කොන්`දේසි වලින් නියම කරනු ලැබ ඇති පරිදි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස ජූනි 6දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විදුලි ප්‍රතිසංස්කරන පනත සම්මත කලේය.

පෞද්ගලීකරණයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොළඹදී විරෝධතාවයක නිරත වේ.

සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජේවීපී) මැතිවරන වේදිකාව වන ජාතික ජන බලවේගය (ජාජබ) ඇතුලු විරුද්ධ පක්ෂ පනත දෙවන වර කියවීමේ දී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලහ. කෙසේ වෙතත්, මෙම පක්ෂ, ඡන්දයකින් තොරව තෙවන වර අවසන් කියවීමේදී පනත අනුමත කර ගැනීමට ආන්ඩුවට ඉඩ ලබා දුන්නේය.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත මගින් 1969 ලංකා විදුලිබල මන්ඩල (ලංවිම) පනත සහ විදුලි කර්මාන්තය සම්බන්ධයෙන් පසුව සම්මත කෙරුනු නීති අවලංගු කෙරෙයි. රටේ ප්‍රධාන විදුලි බල සැපයුම්කරු වන විදුලිබල මන්ඩලයට විදුලි බල උත්පාදනය කිරීමට, සම්ප්‍රේෂනය කිරීමට සහ බෙදා හැරීමට, සියලු වර්ගවල පාරිභෝගිකයින්ට සැපයුම් කිරීමට සහ ආදායම එකතු කිරීමට බලය ඇත. රාජ්‍ය ආයතනයක් ලෙස ස්ථාපිත වූ එය, පාරිභෝගිකයින්ට සීමිත සහන ගාස්තු ලබා දුන්නේය.

පාර්ලිමේන්තු කථානායක අත්සන් කල විගස නීතියක් බවට පත්වන නව පනත් කෙටුම්පත මගින් අලුතින් සමාගම් 12 නිර්මානය කර ලංවිම සියලු කටයුතු ඒවාට පවරනු ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් එම සමාගම්වල අධ්‍යක්ෂ මන්ඩල පත් කරනු ලැබේ. මෙම සමාගම මුලදී රජයේ හිමිකාරීත්වය යටතේ පවතිනු ඇතත්, අවසානයේදී ඒවා පෞද්ගලීකරනය හෝ වානිජකරනය ට ලක්වීමට නියමිත ය.

එය සම්මත වීමට පෙර, විපක්ෂයේ සජබ්, ජාජබ සහ තවත් කන්ඩායම් දුසිම් දෙකක් පමන ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙත්සම් ගොනු කරන ලද අතර එමඟින් පනත් කෙටුම්පත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින් “නීතිය ඉදිරියේ සමානාත්මතාවය” සහතික කරන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, අධිකරනය විසින් පනත් කෙටුම්පතේ වගන්ති 54 න් 13 ක් සංශෝධනය කිරීමට නිර්දේශ කල අතර, එය පිලිගතහොත් පනත සරල බහුතරයකින් පාර්ලිමේන්තුව හරහා සම්මත කිරීමට ඉඩ ලැබෙන බව ප්‍රකාස කලේය..

ආන්ඩුව සංශෝධන පිලිගත් අතර පනත් කෙටුම්පතේ අවසන් තෙවැනි අදියරේදී සංශෝධන ඇතුලත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කලේය.

සංශෝධන අදාල වන්නේ, නව නීතිය යටතේ නිර්මානය කරන ලද සමාගම් මන්ඩලවල අධ්‍යක්ෂවරුන් පත් කිරීමට අමාත්‍යවරයාට ඇති බලය සම්බන්ධයෙනි. එහෙත්, මෙම සංශෝධනයන්ගෙන්, ලාභ පිපාසයෙන් පෙලෙන දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ට ඉහල ලාභදායි විදුලිබල කර්මාන්තය සූරාකෑමට මාර්ගය විවර කරදෙන මෙම නීතියේ මුලික අරමුන වෙනස් නොවෙයි.

විරුද්ධ පක්ෂ සිය මවාපෑම් පසෙක ලා, ඡන්ද විමසීමකින් තොරව පනත සම්මත කිරීමට ඉඩ දීමට ඔවුන් ගත් තීරනයෙන් පැහැදිලි වන්නේ, ලංවිම හෝ වෙනත් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය සම්බන්ධයෙන් ඔවුන්ට ආන්ඩුව සමග කිසිදු මූලික මතභේදයක් නොමැති බවයි. සජබ, ජාජබ/ජේවීපී සහ අනෙකුත් විරුද්ධ පක්ෂ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට මුලුමනින්ම කැපවී සිටිති.

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ රැකියා දහස් ගනනක් විනාශ කිරීම, වැටුප් හා අනෙකුත් අයිතීන් කප්පාදු කිරීම සහ පුද්ගලීකරනය සඳහා සූදානම් කරමින් පිහිටුවනු ලබන සමාගම්වල ලාභ ඉහල නැංවීම සඳහා වැඩ වේගවත් කිරීමයි.

පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අමතමින් ලංවිම සාමාන්‍යාධිකාරී නරේන්ද්‍ර ද සිල්වා කියා සිටියේ සමාගමේ සේවකයන් 22,000ක් පමන සිටින බවයි. එය කලින් සිටි 24,000ක් වන සේවක සංඛ්‍යාවේ පහත වැටීමකි. එහෙත්, කලමනාකරනය දැනට පවතින ශ්‍රම බලකාය 18,000 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති ඔහු බව පිලිගත්තේය. කෙසේ වෙතත්, රැකියා විනාශය එතැනින් අවසන් නොවනු ඇත.

ජූනි 7දා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික සංගමය වන ලංකා වානිජ මන්ඩලය (ලංවාම) ප්‍රකාශයක් නිකුත් කරමින්, පනත් කෙටුම්පතට ප්‍රසංශා කලේ එය තමන් 'පසුගිය වසර කිහිපය පුරා යෝජනා කල' වැදගත් තීරනයක් ඉටුවීමක් ලෙස හුවා දක්වමිනි.

2002 පාර්ලිමේන්තු පනතකින් ප්‍රතිව්‍යුහගත ලංවිම කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය. කෙසේ වෙතත්, ඉන් සීමිත විදුලි සහනාධාර අහිමි වේ යැයි උත්සුකව සිටි කම්කරු පන්තියේ සහ නාගරික හා ග්‍රාමීය ජනතාවගේ පුලුල් විරෝධය හමුවේ ආන්ඩුවට සිය යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

දශක දෙකකට පසු, කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනයේ එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධය විසින් නිර්මානය කරන ලද ගෝලීය ආර්ථික කැලඹීම ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑවේය. මෙහි ප්‍රතිඵලය වූයේ 2022 අප්‍රේල් සිට ජූලි දක්වා මහජන අරගල සමග ජනතා විරෝධය පුපුරා යාම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට සහ ඔහුගේ ආන්ඩුව බිඳ වැටීමට තුඩු දුන්නේය.

වෘත්තීය සමිති හා ව්‍යාජ වාම කන්ඩායම් විසින් මහජන ව්‍යාපාරය පාවාදීම, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ඔසවා තැබීමට කොන්දේසි නිර්මානය කල පසු ඔහු ජාමූඅ කුරිරු වැඩපිලිවෙල නිර්දය ලෙස ක්‍රියාවට දැමීම පටන් ගත්තේය. රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනක් පුද්ගලීකරනය හෝ වානිජකරනය, සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම සහ දැවැන්ත බදු වැඩිකිරීම් සහ මුදල් අවප්‍රමානය කිරීම හරහා වෙනත් ආදායම් රැස්කිරීමේ ක්‍රියාමාර්ග මෙයට ඇතුලත් වේ.

විදුලි ප්‍රතිසංස්කරන පනත ගැන ඔජවඩමින් විජේසේකර ඇමතිවරයා කියා සිටියේ මෙම පියවර මහජනතාවට වාසි සහගත බවයි. මෙය බොරුවකි. ආන්ඩුව 2022 අගෝස්තු මාසයේ දී සියයට 75 කින් ද, 2023 පෙබරවාරි මාසයේ දී සියයට 66 කින් ද, පසුගිය ජූලි මාසයේදී අමතර සියයට 18 කින් ද විදුලි ගාස්තු ඉහල නංවමින් බලශක්ති සහනාධාර කපා හැරියේය. මෙම ගාස්තු ඉහල දැමීම දුප්පතුන්ට විනාශකාරී බලපෑමක් ඇති කලේය.

පසුගිය වසරේ ලංවිම සහ රජයෙන් පාලනය වන ලෙකෝ සමාගම නව ගාස්තු ගෙවීමට නොහැකිවූ මිලියනයකට අධික පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි කර ඇත. කෙසේ වෙතත්, ගාස්තු ඉහල දැමීමෙන් ලංවිම මේ වසරේ ජනවාරි-මාර්තු කාර්තුවේදී ආදායම ඉහල දමාගෙන රුපියල් බිලියන 84.6 ක දැවැන්ත ලාභයක් ද උපයාගත්තේය.

ජාමූඅ න්‍යාය පත්‍රයට මුලුමනින්ම කැපවී සිටින, පාලක හා විපක්ෂ ධනේශ්වර පක්ෂවලට සම්බන්ධ බොහෝ වෘත්තීය සමිති, වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රධාන මුක්කුවක් ලෙස ක්‍රියා කරමින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට සහ අනෙකුත් කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට ඉඩ සලසා දෙයි.

මෙම ක්‍රියාවලියේදී, ආන්ඩුවට අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටුකර දීම සම්බන්ධයෙන් හොඳම උදාහරනය වන්නේ ලංවිම වෘත්තීය සමිති නිලධරයන් ගේ ක්‍රියාකලාපයයි.

ජූනි 6දා, විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙමින් තිබියදී, ජවිපෙ විසින් පාලනය කෙරෙන සමස්ත ලංකා විදුලි සේවක සංගමය (සලංවිසේස) ඇතුලු වෘත්තීය සංගම් කිහිපයක්, කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සාමාජිකයින් 100ක් පමන රැස්කරගෙන නිෂ්ඵල 'නිහඬ විරෝධතාවක්' පැවැත්වීය. වෘත්තීය සමිති නායකත්වය මෙම විරෝධතාව පැවැත්වූයේ තමන් ආන්ඩුවේ පියවරෙහි විරුද්ධවාදීන් ලෙස පෙනී සිටීමට පමනි.

:ජවිපෙ විසින් පාලනය කෙරෙන, සමස්ත ලංකා විදුලි සේවක සංගමයේ නායක රන්ජන් ජයලාල්, 2024 ජුනි 6 වන දින,කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලයෙන් පිටත මාධ්‍ය අමතමින්

සමස්ත ලංකා විදුලි සේවක සංගමයේ නායක රන්ජන් ජයලාල්, විරෝධතා කරුවන් අමතමින් මෙසේ සදහන් කලේය: “අපි දන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ පනත අනිවාර්යයෙන්ම සම්මත කරගන්නවා කියලා. රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් එවැනි තීන්දුවක් ගන්න ඒගොල්ලන්ට මැන්ඩෙට් එකක් නැහැ. මේ ආන්ඩුව ගෙදර යන්න ඉන්න ආන්ඩුවක්, පරාජය උරුම කර ගත්තු ආන්ඩුවක්.”

ඒ සමගම, ඔහු නරුම ලෙස ප්‍රකාශකලේ මෙම පනත ක්‍රියාත්මක වනු ඇත්තේ සය මසකින් නිසා, ඒ වනවිට ආන්ඩුව බලයේ නොසිටින බවයි. පනත ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කිරීම ගැන ඔහු ශ්‍රේෂ්ඨාධිකරනයට ප්‍රසංශා කලේය .

පෞද්ගලීකරනයට එරෙහි මහජන විරෝධය තම ජනාධිපතිවරන ව්‍යාපාරය වෙත හරවා ගැනීමට ජවිපෙ උත්සාහ දරයි. කෙසේ වෙතත්, එහි අපේක්ෂක අනුර කුමාර දිසානායක, ජාමූඅ නියෝග වලට ජවිපෙ සහාය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, තේරී පත් වුවහොත්, වික්‍රමසිංහ මෙන් ම නිර්දය ලෙස ජාමූඅ පියවර ක්‍රියාත්මක කරනු ඇත.

අප්‍රේල් 25 වැනිදා විදුලිබල පනත මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට ජයලාල් ඊටත් වඩා පැහැදිලිව සිය අදහස් කියා පෑවේය. පාර්ලිමේන්තුව අසල වෘත්තීය සමිති නිලධාරීන් අතලොස්සක විරෝධතාවකින් පසු ඔවුන් අමතමින් ඔහු ප්‍රකාශ කලේ ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත සම්මත වුවද එය බලාත්මක කිරීමට වික්‍රමසිංහ පාලනයට බලයක් නොමැති බවයි.

ආන්ඩුවට එරෙහි කාර්මික ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ වෙමින් ඔහු ප්‍රකාශ කලේ, “අපටම හානියක් වුනත් දැඩි ක්‍රියාමාර්ග වලට යන එක ගැන දෙපාරක් සිතනවා. 1996 ඉඳන් අපි වැඩ වර්ජන කරලා නැහැ.” ඔහු සඳහන් කලේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් වර්ජකයන්ට එරෙහිව හමුදා මෙහෙයවා 1998 තෙදින වැඩවර්ජනය තලා දැමීම ගැනයි.

ජයලාල් තවදුරටත් මෙසේ පැවසුවේය:. 'අපි දන්නවා විදුලි බල මන්ඩලයේ වැඩ වර්ජනයක් කලොත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ වර්ජනයක් කලොත් ලෙඩ්ඩුත්, දුම්‍රිය දෙපාර්තමේන්තුව වැඩ වර්ජනය කලොත් දුම්‍රියේ යන මගීන් පීඩාවකට පත් වෙනවා. විදුලි බල මන්ඩලයේ වැඩවර්ජනයක් කලොත් මුලු රටම අඳුරට පත්වෙනවා, දෙකෝටියට ආසන්න ජනතාවක් දැවැන්ත පීඩාවකට පත් වෙනවා.'

වෙනත් වචන වලින් කිවහොත්, කම්කරුවන් සිය අයිතීන් සඳහා සටන් කිරීමට පියවර ගන්නා සෑම විටම සෑම ධනේශ්වර ආන්ඩුවක් ම, සංගත මාධ්‍ය සහ පාලක ප්‍රභූව විසින් ම හුවා දක්වන ප්‍රරචාරනය ම ජයලාල් ද ප්‍රකාශ කර සිටියි.

මෙම වසරේ ජනවාරි මස මුලදී ලංවිම කම්කරුවන් දස දහස් ගනනක් දින තුනක අසනීප නිවාඩු දමා විරෝධතා පැවැත්වූ විට, ආන්ඩුව සේවකයින් 62 දෙනෙකුගේ වැඩ තහනම් කර පලිගත්තේය. ලංවිම වෘත්තීය සමිති තම සාමාජිකයින් ආරක්ෂා කිරීමට ඇඟිල්ලක් වත් නො ඔසවමින්, ඔවුන් නැවත සේවයේ පිහිටුවීම සඳහා සටන් කිරීම ප්‍රතික්ෂේප කලහ.

ජවිපෙ පාලිත වෘත්තීය සමිති සහ අනෙකුත් වෘත්තීය සමිති නිලධරයෝ හිතාමතාම කම්කරුවන් අකර්මන්‍ය කරමින් ඔවුන් පාර්ලිමේන්තු රාමුවට බැඳ තැබීමට කටයුතු කරමින් සිටිති. ජයලාල්ගේ තර්ක පෙන්නුම් කරන්නේ, ජෙවිපි/ජාජබ බලයේ සිටින්නේ නම්, කම්කරු පන්තියට එරෙහි මර්දනය ක්‍රියාමාර්ග යුක්ති සහගත කිරීමට එවන් ප්‍රචාර යෙදෙනු ඇතිබවයි.

ලංවිම හා අනෙකුත් සියලුම රාජ්‍ය අංශවල කම්කරුවන්, මෙම ධනේශ්වර ගැති වෘත්තීය සමිති නිලධරයන් ප්‍රතික්ෂේප කල යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට නංවන බවත් වැඩකරන ජනතාව මතතවත් දුක්ඛිත තත්වයන් පටවන බවත් පැහැදිලිව ප්‍රකාශ කර ඇති ජවිපෙ/ජාජබ ප්‍රසිද්ධියේ කියාපාන හිස් පොරොන්දු ප්‍රතික්ෂේප කල යුතුය.

ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව තම රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන සංවිධාන ලෙස තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. අවශ්‍ය වන්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පුලුල් සටනක කොටසක් ලෙස, සියලු රාජ්‍ය ව්‍යවසායන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීමේ සටන සඳහා කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව බලමුලු ගැන්වීමයි.

Loading