ලංකා විදුලිබල මන්ඩලය, පුද්ගලීකරනයට එරෙහි වූ කම්කරුවන් දඩයම් කරයි

[මෙය Sri Lanka: Ceylon Electricity Board witch-hunting workers opposed to privatisation යන මැයෙන් 2024 මාර්තු 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ලංකා විදුලිබල මන්ඩල (ලංවිම) කලමනාකාරීත්වය, රජය සතු එම ව්‍යවසාය පුද්ගලීකරනය කිරීමට එරෙහිව මේ වසර මුල දී පැවති තුන්දින විරෝධතාවයට සහභාගී වූ කම්කරුවන් දඩයම් කිරීම ඉහල නංවමින් සිටී. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය සතියේ නිවේදනය කලේ, ලංවිම විකුනා දැමීමේ සිය උත්සාහය තීව්‍ර කරන බවයි.

පෞද්ගලීකරණයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොළඹදී විරෝධතාවයක නිරත වේ.

ජනවාරි 3 සිට 5 දක්වා, ලංවිම පුද්ගලීකරනය කිරීමට එරෙහිව දහස් ගනනක් කම්කරුවෝ ජාතික මට්ටමේ අසනීප නිවාඩු විරෝධතාවකට සහභාගී වූහ. කලමනාකාරිත්වය ඊට ප්‍රතිචාර දැක්වූයේ සේවකයින් 66 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමෙනි; කාර්මික ක්‍රියාවට පෙර නිවාඩු සඳහා ඉල්ලුම් කර තිබූ හතර දෙනෙකු පමනක් නිදහස් කර ඇත. එය දැන් ඉලක්කගත කම්කරුවන් 62 ගෙන් 15 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂන ආරම්භ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විදුලිබල මන්ඩලයට පැනවූ අත්‍යවශ්‍ය මහජන සේවා විධිවිධාන සහ කලමනාකාරිත්වය විසින් සමාගමේ සියලුම සේවකයින්ට පැනවූ නිවාඩු අවලංගු කිරීමේ නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම සේවකයින්ට චෝදනා එල්ල වී තිබේ.

වැඩ තහනමට ලක් වූ කම්කරුවන් 62 දෙනා, වෘත්තීය සමිතිවල උපදෙස් මත, තමාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින්, රටේ කම්කරු නීතිවලට අනුව විමර්ශනයක් පවත්වන ලෙස විදුලිබල මන්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. පරීක්ෂන ක්‍රියාවලිය “අදේශපාලනික, පාරදෘෂ්‍ය හා ස්වාධීන” විය යුතු බවත්, විමර්ශනය අතරතුර කම්කරුවන් 62 දෙනාම නැවත සේවයේ පිහිටුවියයුතු බවත් එම ලිපිය කියා සිටී.

දඩයමට ලක්වූ සේවකයින් කිහිප දෙනෙකුට විමර්ශනයට පැමිනෙන ලෙස ලංවිම කලමනාකාරීත්වය විසින් දැන් නියෝග කර ඇති අතර, වෘත්තීය සමිති නායකත්වය මෙම කම්කරුවන්ට පවසා ඇත්තේ “පිටස්තරයින්ට” කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසයි. “පිටස්තරයින්” ප්‍රශ්නය “දේශපාලනීකරනය” කිරීමට උත්සාහ කරන බව ලංවිම වෘත්තීය සමිති කියා සිටී.

මෙය සෘජුවම එල්ල වී ඇත්තේ, ලංවිම වර්ධනයන් සමීපව නිරීක්ෂනය කරමින්, ආන්ඩුවේ සහ කලමනාකාරීත්වයේ උග්‍රවන ප්‍රහාරයන්ට විරුද්ධ වන ශ්‍රී ලංකාවේ එකම මාධ්‍ය ආයතනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට සහ එකම පත්ෂය වන සමාජවාදී සමානතා පක්ෂයට එරෙහිව ය. අපි පමනක්ම, දඩයමට ලක්වූ ලංවිම සේවකයින් ආරක්ෂා කර ඇත්තෙමු. එපමනක් නොව, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර වලට එරෙහිවීමට සහ ඒවා පරාජය කිරීමට දිවයින පුරා කම්කරුවන් දැනුවත් කරමින් ඔවුන් බලමුලු ගැන්වීමට අපි උත්සාහ දරා ඇත්තෙමු.

ඊට ප්‍රතිවිරුද්ධව, වෘත්තීය සමිති නිලධරය විසින් වින්දිත ලංවිම සේවකයින් හුදකලා කිරීම දිගටම කරගෙන යමින්, කලමනාකාරීත්වයේ හිරිහැරවලට ඔවුන් තවදුරටත් නිරාවරනය කරමින්, ආන්ඩුවට එහි ප්‍රතිගාමී පුද්ගලීකරන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට මග විවර කරමින් සිටී. මෙම වෘත්තීය සමිති වාරනය හෙලා දකින ලෙසත්, ආන්ඩුවේ මර්දනයේ සියලුම වින්දිතයින් ආරක්ෂා කිරීමට පෙරට එන ලෙසත් අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

මාර්තු 8 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජේසේකර මාධ්‍ය වෙත කියා සිටියේ, තමන් මීට පෙර ප්‍රකාශයට පත් කල විදුලිබල පනත් කෙටුම්පතේ සංශෝධන 46 ක් සිදුකර, නව පිටපතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයා වෙත යවා ඇති බවයි. සංශෝධිත පිටපත අප්‍රේල් මාසයේදී කැබිනට් මන්ඩලයට සහ පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ඔහු සැලසුම් කරයි.

“පාර්ශවකරුවන්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල ප්‍රතිචාරයන්” සැලකිල්ලට ගනිමින් සංශෝධන සිදු කෙරෙමින් පවතින බව ඔහු පැවසුවේ ය. මෙම වෙනස්කිරීම්වල ප්‍රධාන අරමුන වන්නේ, ටෙන්ඩර් ක්‍රියාවලියේදී “තරඟකාරී ලංසු තැබීමට” ඉඩ සැලසීම සහ එමගින් ආයෝජකයින්ට ප්‍රතිලාභ සැලසීමයි. ලංවිම “ප්‍රතිව්‍යුහගත කිරීමට”—එනම්, රැකියාවලට සහ අමාරුවෙන් දිනාගත් සේවා කොන්දේසි වලට එල්ල වන ප්‍රහාර වලට—සහය දෙන බවත්, ව්‍යවසාය පුද්ගලීකරනය අනවශ්‍ය බවත් වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත. යථාර්ථය නම්, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම යනු එය විකිනීම සඳහා සූදානම් කිරීම යි.

අමාත්‍ය විජේසේකර මාර්තු 13 දින සිය එක්ස් (ට්විටර්) ගිනුමේ සටහන් කර ඇත්තේ, තමන් ඇතුලු රජයේ නිලධාරීන්, දැනට ශ්‍රී ලංකාවේ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝජිත කන්ඩායම සමඟ ලංවිම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සීපීසී) ගැන සාකච්ඡා කල බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කන්ඩායම, 'මෑතකාලීන විදුලි ගාස්තු කප්පාදුව ගැන සාකච්ඡා කල අතර, ලංවිම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශේෂ පත්‍ර (ලාභ අලාභ) සම්බන්ධයෙන් වන කැපවීම පිලිබඳ ප්‍රගතිය සමාලෝචනය කල' බව ඔහු පැවසුවේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වන්නේ මෙම ව්‍යවසාය දෙකම පුද්ගලීකරනය කිරීමට ය. “දේශීය හා විදේශීය පෞද්ගලික අංශයන්ට අවශ්‍ය ආයෝජන සිදු කල හැකි' වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන යාම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන් කිරීමට, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව අඟහරුවාදා කැබිනට් මන්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුද්ගලීකරන ඉල්ලීම් සහ ලංවිම සේවකයින් දඩයම් කිරීම ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් නතර කල හැකි බවට ලංවිම වෘත්තීය සමිති ව්‍යාජ ලෙස ප්‍රකාශ කරයි.

මේ අරමුනෙන්, වෘත්තීය සමිති, මාර්තු 11 දා විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟ සාකච්ඡා පවත්වා, කොලඹ දී මහජන විරෝධතාවක් පැවැත්වීමට තීන්දුකොට ඇත. ලංවිම සේවකයින් දඩයමට ලක් කිරීමට එරෙහිව, වෘත්තීය සමිති විසින් නඩුවක් ගොනු කර ඇති අතර කලමනාකාරීත්වය විසින් සේවක අයිතීන් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද ඉදිරිපත් කර ඇත.

මෙම වසරේ පැවැත්වීමට නියමිත මැතිවරනයෙන් පසු ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩු බලය දිනා ගන්නා තෙක් කම්කරුවන් බලා සිටිය යුතු බවත්, එය සියලු ගැටලු විසඳන බවත් වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත. ජනතා විමුක්ති පෙරමුන මගින් පාලනය වන සමස්ත ලංකා විදුලි සේවක සංගමය (ඒසීඊඊයූ) සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම දේශපාලන ආවෘත අන්තය පුලුල් ලෙස ප්‍රවර්ධනය කරයි.

පෙබරවාරි 20 විරෝධතා රැලියකදී, සමස්ත ලංකා විදුලි සේවක සංගයේ නායක සහ ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යම කාරක සභික රන්ජන් ජයලාල් මෙසේ ප්‍රකාශ කලේ ය: “මේ රටේ ජනතාව රටට ජනතා ජයග්‍රහනයක් ගෙන එනු ඇත;” එසේම, ජාජබ/ජවිපෙ ජනාධිපතිවරනයේදී පාලනය බලයට පැමිනෙන තෙක් මාස හතක් බලා සිටින ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් ජවිපෙ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එලිපිටම කැපවී සිටී.

පසුගිය සතියේ සමස්ත ලංකා විදුලි සේවක සංගම් ශාඛාවක නායකයෙකු සහ ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයෙකු, සමාගමේ හෝමාගම කාර්යාලයේදී “විදුලි සේවකයන් දඩයම් කිරීම නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!” යන මැයෙන් වූ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශයේ පිටපත් බෙදාහරින සසප කන්ඩායමකට එරෙහිව මැදිහත් වූවේය.

'නායක හාමුදුරුවරුන්ගේ සහ පාරිභෝගිකයින්ගේ මැදිහත්වීම්' හේතුවෙන්, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම 'දින නියමයක් නොමැතිව කල් දැමීමට' ආන්ඩුවට සිදුව ඇති බව ද එම ශාඛා නායකයා ප්‍රකාශ කලේය. කම්කරුවන් “පාරවල්වල රස්තියාදු වන” සහ “අවුවේ පිච්චෙන”, විරෝධතා කැඳවීමේ හදිසි අවශ්‍යතාවක් නොමැති බව ඔහු කියා සිටියේය.

මේක අමූලික බොරුවකි. වික්‍රමසිංහ ආන්ඩුව ලංවිම පනත 'දින නියමයක් නොමැතිව කල් දමා නැත,' ඒ වෙනුවට, පසුගිය සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජේසේකර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල පරිදි, එහි පුද්ගලීකරන වැඩසටහනේ නව පිටපතක් ක්‍රියාවට නැංවීම කරා වේගයෙන් ගමන් කරමින් සිටී.

සෑම මාස හයකට වරක්ම විශේෂිත කන්ඩායමක් විසින් සමාලෝචනය කරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම්වල ප්‍රධාන අංගයක් වන්නේ රජය සතු ව්‍යාපාර පුද්ගලීකරනය හෝ වානිජකරනය කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ම්ලේච්ඡ කප්පාදු වැඩසටහනේ නිත්‍ය ඇගයීම් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3 ක ඇප නය වාරික ආන්ඩුවට ලබා දෙන්නේද යන්න තීරනය කරයි.

ලංවිම හා අනෙකුත් රාජ්‍ය අංශයේ කම්කරුවන් ජාතික ජන බලවේගයේ හා අනෙකුත් ධනේශ්වර විරුද්ධ පක්ෂවලට දේශපාලනිකව ගැටගැසීමේ වෘත්තීය සමිති නිලධරයන්ගේ ප්‍රතිගාමී උත්සාහයට එරෙහිව, සසප සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ධනේශ්වර ගැති ව්‍යුහයන්ගෙන් ස්වාධීනව සංවිධානය වන ලෙස ය.

වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පියවර සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා, කම්කරුවන් කාරනා තමන්ගේ අතට ගත යුතුය. මෙයින් අදහස් කරන්නේ සෑම වැඩබිමකම, වතුකරයේ සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි. ඒවා තුලට, වෘත්තීය සමිති නිලධරයන්, ධනේශ්වර පක්ෂ සහ ඔවුන්ගේ හෙංචයියන් ඇතුලත් කර නොගනු ඇත.

කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ වික්‍රමසිංහ ආන්ඩුව සහ එහි ජාමූඅ පියවර පලවාහැරීමේ දේශපාලන හා කාර්මික අරගලයක් තුල පමනි.

අවශ්‍ය වන්නේ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි. සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කිරීම, ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම මෙයට ඇතුලත් ය. අපගේ පක්ෂයට බැඳෙමින් සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා මෙම අරගලය ඉදිරියට ගෙන යන ලෙස කම්කරුවන් හා තරුනයන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී.

Loading