ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාමූඅ ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල සම්පූර්නයෙන් ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති නිවේදනය කරයි

[මෙය Sri Lankan president announces JVP/NPP government will implement savage IMF austerity program in full මැයෙන් 2024 නොවැම්බර් 22 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ අලුතින් තේරී පත් වූ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ආර්ථික වශයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන බව පවසමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ ඇප නය ගිවිසුම නැවත සාකච්ඡා කිරීමේ මැතිවරන පොරොන්දුව ඉවත දමා ඇත.

ජනාධිපති ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායක තම ආන්ඩුව විසින් ජාමූඅ විසින් ඉල්ලා සිටින ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල සම්පුර්නයෙන්ම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවේ 10 වැනි සැසිවාරයේ සමාරම්භක කතාව යොදා ගත්තේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 නොවැම්බර් 21 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් [Photo: Facebook/anurakumara]

ජාමූඅ සමග වන ඩොලර් බිලියන 2.9 ඇප නය ගිවිසුම මෙන් ම, බැඳුම්කර නය ආපසු ගෙවීම පිලිබඳ ව ගෝලීය ආයෝජකයන් සහ ආන්ඩු සමග පවතින අනෙකුත් එකඟතාවන් ගැන වන ඕනෑ ම යලි සලකා බැලීමක් ආර්ථිකය ආන්තික අනතුරක හෙලනු ඇති බව දිසානායක ප්‍රකාශ කලේ ය.

“කුඩා හෝ අත්වැරදීමක් මහත් ප්‍රතිවිපාක ගෙනත් දෙනවා මේ ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදයේ ප්‍රමානය මත,” යි දිසානායක කීවේ ය. ඒ වෙනුවට, ආන්ඩුවේ ඉලක්කය වන්නේ “ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථිකය කෙරෙහි ඊට අදාල කන්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීමයි” -එනම් ශ්‍රී ලංකාවේ හා ගෝලීය ප්‍රාග්ධනයට- විශ්වාසය යලි ඇති කිරීම යි.

බදු හා විදුලිබල ගාස්තු මත වැඩිදුර දන්ඩනීය ඉහල දැමීම්වලට, තීරනාත්මක මහජන සේවාවන් මහා පරිමානයෙන් කපා හැරීම්වලට, රාජ්‍ය අංශයේ වත්කම් කුනු කොල්ලයට විකුනා දැමීම්වලට වෙනත් විකල්පයක් නැතැයි කියමින් රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීම ද සාධාරනීකරනය කිරීමට දිසානායක ඊලඟට උත්සාහ කලේ ය. “ප්‍රතිව්‍යූහගත කර ගැනීමේ යෝජනා හොඳ ද නරක වාසි ද අවාසි ද කියන එක විවාද කිරීමෙන් ඵලක් නැහැ. මේ අප හමුවේ තිබෙන යථාර්ථයයි,” යි ජවිපෙ/ජාජබ ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ ය.

ජාමූඅ ඇප නය එකඟතාව තුල සඳහන් කරන වැඩිදුර කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීම වේගයෙන් ක්‍රියාවට දැමීමට ආන්ඩුව අපේක්ෂා කරන බව අවධාරනය කරමින්, සෙනසුරාදා (නොවැම්බර් 23) වන විට ජාමූඅ සමග “කාර්ය මන්ඩල මට්ටමේ එකඟතාවකට” එලඹීමට තමන් බලාපොරොත්තු වන බව දිසානායක කීවේ ය.

මෙම එකඟතාව යටතේ, අයවැය කප්පාදු හා ආදායම් ඉහල දැමීමේ පියවරයන් හරහා එලඹෙන වසරේ දී, සියයට 2.3ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ජනනය කිරීමට කොලඹ ආන්ඩුව අපේක්ෂා කරයි. 2028 සිට වර්තමාන දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට පහ ඉක්මවන ප්‍රමානයක් වන වසරකට ඩොලර් බිලියන 5ක් පමන යයි තක්සේරු කරන මුදලක් වාර්ෂික ව නයහිමියන්ට ආපසු ගෙවීමට ද ආන්ඩුව කැප වී සිටී.

සාම්ප්‍රදායික දේශපාලන සංස්ථාපිතය සහ නිරන්තරයෙන් ආධිපත්‍යය දරා ඇති ප්‍රභූ ධනපති පවුල් අතලොස්ස කෙරෙහි පවතින මහජන කෝපය හා අතෘප්තිය ගසා කා, පාර්ලිමේන්තු ආසන 225න් 159ක් දිනා ගනිමින් ජවිපෙ/ජාජබ මැතිවරනය ජයග්‍රහනය කිරීමෙන් හරියට ම සතියකට පසුව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව යලි විවෘත කිරීම සිදු විය. කප්පාදුවේ සහ ඉහල ආර්ථික අනාරක්ෂිත භාවයේ හා සමාජ අසමානතාවේ වසර ගනනාවකට පසුව පුපුරා ගිය විනාශකාරී සමාජ-ආර්ථික අර්බුදයක් 2022 සිට මෙම පක්ෂවල පාලනය යටතේ සිදු විය.

පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරනයේ දී ජනාධිපති ධූරය කරා ඔසවා තැබුනු දිසානායක, දූෂනයට එරෙහි ව සටන් කිරීමටත්, “ජාතික ආර්ථික පුනරුදයක්” ගෙන ඒමටත්, තමන්ට “ශක්තිමත් ජනවරමක්” අවශ්‍ය බවට තර්ක කරමින් ක්ෂනික ව නව පාර්ලිමේන්තු මැතිවරනයක් කැඳවුම් කලේ ය.

මෙයට ප්‍රතිචාර ලෙස, ජවිපෙ/ජාජබ පූච්චානම්වලින් ද ලංකාවේ හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙම දක්ෂිනාංශික, අධිරාජ්‍ය-ගැති, සිංහල ස්වෝත්තමවාදී පක්ෂ “වාමාංශික” හෝ “සමාජවාදී” පවා යනුවෙන් නම් කිරීමට දරන උත්සාහයන්ගෙන් ද නො රැවටෙන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරු පන්තියට හා පීඩිතයන්ට අනතුරු ඇඟවී ය.

ජාමූඅ ගිවිසුමට සංශෝධන ගෙන එන බවට දිසානායක කල කැඳවීම් ක්ෂනික ව අතහරිනු ඇති බවත්, කරන ඕනෑ ම වෙනස්කමක් මතුපිට පමනක් වනු ඇති බවත්, අපි විශේෂයෙන් අනතුරු ඇඟවූයෙමු. “මෑත මාසවලදී, ජවිපෙ/ජාජබ නායකයෝ මහජනයා අතර වෛරයට ලක් ව තිබෙන ජාමූඅ ක්‍රියාමාර්ගය ගැන 'යලි සාකච්ඡා කරන' බව ඇතැම් විට ප්‍රකාශ කරති. ඔවුන් මෙම ප්‍රකාශ සිදු කරන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහල දැමීම, විවිධ බදු වැඩිකිරීම් සහ මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීම නිසා ජීවන කොන්දේසි පතුලටම ඇදදමා ඇති කප්පාදු වැඩපිලිවෙල කෙරෙහි දැඩි වෛරයෙන් සිටින කම්කරුවන් හා දුප්පතුන් රැවටීම සඳහා ය,” යි අපි ලීවෙමු.

ගොඩනැගෙනු ඇති වඩ වඩා පුපුරනසුලු සමාජ විරුද්ධත්වය මධ්‍යයේ ජාමූඅ නියෝග පැටවීමට පෙර, මැතිවරනය ගොඩ දා ගැනීමට සහ පාර්ලිමේන්තුව තුල ජවිපෙ/ජාජබ හස්තය ශක්තිමත් කරගැනීමට ඇප නයෙහි තුන්වැනි වාරික නිදහස් කිරීම පිලිබඳ ජාමූඅ සමග සාකච්ඡා දිසානායක විසින් කල් දමනු ලැබ ඇති යැයි අපි වැඩිදුරටත් අනතුරු ඇඟවූයෙමු.

ජවිපෙ/ජාජබ බහුතරයක් සහිත පාර්ලිමේන්තුව කැඳවන ලද පලමු දිනයේ ම මේ සියලු අනතුරු ඇඟවීම් සනාථ වී ඇත!

හිසේ සිට දෙපතුල දක්වා ආන්ඩුවෙහි න්‍යාය පත්‍රය නීර්නය කරනු ඇත්තේ, වඩා විශාල ආයෝජක ලාභ නිෂ්පන්න කරනු වස්, ලංකාවේ ධනවාදය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ වැඩිදුර කප්පාදු පැටවීමට ජාමූඅ නියෝග විසිනි. එහෙත්, මෙය “ප්‍රජාතන්ත්‍රවාදය,” “ජාතික සමගිය” සහ මහජනයාගේ “යහපත” මත ඉලක්ක ගත වන “පරිවර්තනීය” ආන්ඩුවක් පිලිබඳ පොරොන්දු යොදාගෙන සැඟවීමට දිසානායක උත්සාහ කලේ ය. දුප්පතුන්ට දෙන ආන්ඩුවේ ආධාර ද තවදුර ඉහල දැමෙනු ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මේ සියල්ල ප්‍රයෝගයන් ය. ජවිපෙ/ජාජබ ආන්ඩුව එහි සැබෑ වර්නයන් පෙන්වා ඇත. එහි සියලු ව්‍යාජ “වාමාංශික,” “ප්‍රගතිශීලී” මවාපෑම් තිබිය දී, එය වනාහි, ලංකාවේ හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයට බැඳුනු හා ඒවායේ නියෝග වැඩකරන ජනයා මත අනුකම්පා විරහිත ලෙස පටවන ආන්ඩුවකි.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජවිපෙහි කථා මුලුමනින් ම ප්‍රෝඩාකාරී ය. ඒ හුදෙක් මහජන පීඩාව අඩු කිරීම සඳහා ජාමූඅ ඇප නය එකඟතාව යලි සාකච්ඡා කිරීමේ මාවතක් තමන් සොයනා බවට මහජනතාවට අතේ පත්තු වන බොරු කී නිසා පමනක් නො වේ.

ජාමූඅ වැඩසටහන යනු ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ සහ ඔවුන්ගේ ලාංකික ධනපති තැරැව්කරුවන්ගේ විධානයන්ගෙන් පෙර ගනු ලැබූවකි. එය පනවනු ලැබීම, දැනට මත් 2021 සිට දිගහැරී ඇති දරිද්‍රතාව, කුස ගින්න හා ආයු අපේක්ෂාව අඩු වීම තුලින් මැනෙනු ඇති යෝධ සමාජ පරිහානියක් සලකුනු කරනු ඇත.

දැන් දිසානායකගේ ආන්ඩුව ක්‍රියාවට දමන වැඩසටහන පිලිබඳ ව, එහි පූර්වප්‍රාප්තිකයාට වරද පැටවීමට දිසානායක උත්සාහ කලේ ය. සැප්තැම්බර් 21 ජනාධිපතිවරනයට යන්තම් දවස් දෙකකට පෙර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නය ප්‍රතිව්‍යූහගත කිරීමේ එකඟතාවන්වලට එලඹ තිබුනු බව ඔහු සඳහන් කලේ ය.

එහෙත්, මෙමගින් අවධාරනය කරන්නේ, ඒවායේ කුදුමහත් අයුක්තිසහගත ස්වභාවය පමනි.

යථාර්ථය වන්නේ, ජවිපෙ/ජාජබ තමන්ට වෙනස් කිරීමට නොහැකි බව කියන සියලු එකඟතාවන් මහජනයාට එරෙහි කුමන්ත්‍රනයක ප්‍රතිඵලයි.

එවකට දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ එක ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ වික්‍රමසිංහ, 2022 ජූලි මාසයේ දී ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස රටෙහි ජනාධිපතිවරයා ලෙස පත්කරන ලද්දේ, යෝධ මහජන නැගිටීමකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමෙන් පසු ය.

මහජන නැගිටීම, පාර්ලිමේන්තු විපක්ෂය මත පදනම් වන නව ධනපති ආන්ඩුවක් සඳහා වන කැඳවීම් දෙසට අපසරනය කරනු වස්, විපාර්ශවික සමගි ජන බලවේගය හා වෘත්තීය සමිති සමග වැඩ කරමින් ජවිපෙ මෙම කුමන්ත්‍රනය තුල තමන්ගේ කොටස ඉටු කලේ ය. අබල ව සිටි පාර්ලිමේන්තුව වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරාගත් විට, ජාමූඅ කරා ඔහුගේ හැරීමට සහයෝගය දුන් ජවිපෙ, ජාමූඅ කප්පාදු පියවරවල ආරම්භක බලපෑමට එරෙහි ව ඉස්මතු වුනු කම්කරු-පන්තික විරුද්ධත්වය ආන්ඩුවට සිය මාවත වෙනස් කරන ලෙස හෝ සහන සපයන ලෙස කරන වඳ කැඳවීම් කිරීම් දෙසට අවමංගත කිරීමට තමන්ට අනුබද්ධ වෘත්තීය සමිති යොදාගත්තේ ය.

වචන 7,000කට ආසන්න දිසානායකගේ කතාවේ දී, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව නැටෝව අවුලුවා ඇති යුද්ධය, පලස්තීනුවන්ට එරෙහි අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ඊස්රායල ජනසංහාරය, චීනයට එරෙහි එක්සත් ජනපදයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරය හෝ විදෙස් පිලිවෙතට සම්බන්ධ කිසිදු කරුනක් ගැන වචනයක් වත් නො කීමේ අර්ථය වන්නේ, නව ආන්ඩුවට එන්න එන්න ම තීව්‍ර වන භූ-දේශපාලනික අර්බුදය නොසලකා නොසිටින නිසා නො වේ.

වික්‍රමසිංහගේ නිර්දය ජාමූඅ වැඩසටහන අඛන්ඩ ව ක්‍රියාවට දමනවාක් මෙන් ම, එක්සත් ජනපදය නායකත්වය දෙන, ඉන්දියාවේ ආධාරය ලබන චීනයට එරෙහි යුද සැලසුම්වලට ලංකාව වඩ වඩා ඒකාග්‍ර කිරීමට තමන් අඛන්ඩ ව වැඩකරන බවට නව ආන්ඩුව සංඥා කර ඇත. කොලඹ වරායේ ආර්ථික විභවයේ ආස්ථානයෙන් දිසානායක ප්‍රකාශ කලේ වුව ද ඉන්දු-පැසිෆික් කලාපය හා යුරේසියාව මත එක්සත් ජනපදයේ ආධිපත්‍යය සුරක්ෂිත කරගැනීමට මූලික වන ඉන්දියන් සාගරය තුල සුවිශේෂී මධ්‍යස්ථානයක් ලෙස ලංකාව පිහිටා තිබේ.

බොරුවලින් පිරීගිය දිසානායකගේ කථාවේ වඩාත් ම නරුම අවයවය වූයේ, ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව වර්ගවාදයේ හා ප්‍රජාගනවාදයේ ස්ථීරසාර විරුද්ධවාදියෙකු ලෙසත්, ජාතික සමගියට කැප වූ එකක් ලෙසත් ඉදිරියට දැමීමට ඔහු දැරූ උත්සාහය යි. ඔහුගේ කථාවේ ආරම්භක ඡේද තුල, දෙමල බහුතරයක් වෙසෙන උතුර හා නැගෙනහිර ඇතුලු සමස්ත රටපුරා ප්‍රදේශවලින්, ඔහුගේ පක්ෂය පෙර නුවූ විරූ ලෙස ඡන්ද දිනාගැනීම ගැන ජනාධිපතිවරයා සැඳහුම් ඉදිරිපත් කලේ ය. “සැකයට හා අවිශ්වාසයට” තුඩු දෙමින්, අතීතයේ දී දේශපාලනය “ප්‍රාදේශීය, ජනවාර්ගික හෝ ආගමික රේඛා ඔස්සේ” නිරන්තරයෙන් සකස් වූ බව ඔහු ප්‍රකාශ කලේ ය. “බෙදුම්වාදී වාර්ගික දේශපාලනය යලි මේ රට තුල ඉස්මතු වීමට” තමන්ගේ ආන්ඩුව ඉඩ නො තබන බවට ඔහු සපථ විය.

මේ කිසිවක් විශ්වාස නො කල යුතු ය. ඇත්ත වසයෙන් ම, ජවිපෙහි ඉතිහාසය හා පන්ති ස්වභාවය ගත් කල, “වාර්ගික දේශපාලනයට” යලි ඉස්මතු වීමට ආන්ඩුව ඉඩ නො තබන බවට දිසානායක කරන ප්‍රකාශය අවබෝධ කරගත යුත්තේ දෙමල සුලුතරයේ විරුද්ධත්වය භේදකාරී හා දැරිය නො හැකි යැයි තමන් සලකන බවට සංඥා කිරීමක් හැටියටයි.

යථාර්ථය වන්නේ, ආසන්න වසයෙන් දශක තුනක් පුරා දිග්ගැස්සුනු දෙමල-විරෝධී යුද්ධය ඇතුලු ව, ලංකාවේ ඛේදජනක ඉතිහාසය ගැන දිසානායකගේ සාකච්ඡාව මුලුමනින් ම වියුක්ත බව යි. ආන්ඩුවක්, පක්ෂයක්, දේශපාලන නායකයෙක් හෝ පිලිවෙතක් ගැන කිසිදු සඳහන් නො කරන ලදී. එහි ඉලක්කය වූයේ සිංහල ධනපති ප්‍රභූව හා එහි රාජ්‍යය කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල-විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීමේ වගකීමෙන් නිදහස් කිරීම යි; ජවිපෙහි දශක හයක ඉතිහාසය පුරා දෙමල-විරෝධී ඇවිලවීම් කිරීමේ දී ඉටු කල විශේෂයෙන් ම විනාශකාරී භූමිකාවට සමාව දෙමින් එය ආවරනය කිරීම යි. අද දිනය දක්වා, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව 1988-89 කාලය තුල ජවිපෙ ගෙන ගිය ෆැසිස්ට්වාදී කැරැල්ල දිසානායක සහ ජවිපෙ විසින් සමරනු ලැබේ.

අද දින ශ්‍රී ලංකා ජාතිකවාදය ප්‍රමුඛ වසයෙන් ඉදිරියට දමන්නා ලෙස තමන් ම ඉදිරිපත් කිරීමට ජවිපෙ/ජාජබ උත්සාහ කරමින් සිටින නමුත්, මෙම “ජාතිකවාදය” නො වෙන් කල හැකි ලෙස සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සමග බැඳී තිබේ.

කම්කරුවන්ට අනතුරු ඇඟවිය යුතු ය: ආන්ඩුවට එරෙහි විරෝධය පුපුරා යද්දී, පාලක පන්තිය සෑමවිට ම කරන පරිදි ජවිපෙ කම්කරු පන්තිය භේද කිරීමටත් ප්‍රතිගාමීත්වය ඇවිලවීමටත් ප්‍රජාගනවාදී බෙදීම් ඇවිලවීමට උත්සාහ කරනු ඇත.

දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ආන්තික අර්බුදයේ ආන්ඩුවකි. ආන්ඩුවෙන් මහජනයා අපේක්ෂා කරන දේවල් සහ එය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන පන්ති යුද්ධයේ න්‍යාය පත්‍රය අතර පුපුරනසුලු අගාධයක් තිබේ.

ධනපති පර්යාය රැකගනු වස්, මිලිටරි පාලනයකට යොමු වීමේ අන්තරාය ගැනීමට පෙර, පාලක පන්තිය අවසාන ආරක්ෂ රේඛාව ලෙස තමන් වෙත හැරී ඇති බව ජවිපෙ නායකයෝ මත් හොඳින් ම දනිති. ආන්ඩුවේ ප්‍රකාශක හා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෑත පැවති මාධ්‍ය හමුවකට මෙසේ කීවේ ය: “මහජනයා අප ගැන විශ්වාස කරන නිසා ඔවුන් අපට සුවිශාල ජයග්‍රහනයක් ලබා දී තිබෙනවා. එහෙත් වගකීමේ භාරය වටහා නො ගනිමින් අප අසාර්ථක වුවහොත්, අප ව මුදා ගැනීමට කිසි කෙනෙක් පැමිනෙන්නේ නැහැ.”

ජවිපෙ/ජාජබ ප්‍රහාරවලට එරෙහි සකල විරුද්ධත්වය “ප්‍රජාතන්ත්‍ර-විරෝධී” යි කියාපෑමට පෙර නුවූ විරූ පාර්ලිමේන්තු බහුතරය යොදා ගැනෙනු ඇත. කම්කරු පන්තියේ කැරලිකාරී ව්‍යාපාරයක් සාපරාධීකරනය කිරීමටත්, ප්‍රචන්ඩ ලෙස මැඬීමටත් පූර්වප්‍රාප්තික ආන්ඩු විසින් අනුමත කරන ලද ප්‍රජාතන්ත්‍ර-විරෝධී හා හදිසි නීති මාලාවත් විධායක ජනාධිපති ධූරයේ බලතලත් එය යොදාගනු ඇති බවට ද ප්‍රශ්නයක් නැත. ආර්ථික ප්‍රකෘතිය සඳහා පූර්වාවශ්‍යතාවක් ලෙස දිසානායකගේ කථාව තුල යලි යලිත් ප්‍රකාශ කල තේමාවක් වූයේ “නීතිය හා සාමය” ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව යි.

ජවිපෙ/ජාජබ ආන්ඩුවට එහි කම්කරු පන්තියේ විරුද්ධත්වය පදනම් කල යුතු විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගය කම්කරු පන්තිය වෙතට ගෙන ඒමටත්, නුදුරේ දී ම පුපුරා යනු අරගලවලට ක්‍රියාමාර්ගික, උපායික හා සංවිධානාත්මක නායකත්වය සම්පාදනය කල හැකි වන පරිදි වඩාත් ම දියුනු කම්කරුවන් හා තරුනයන් සංවිධානය කිරීමටත් සසප පාර්ලිමේන්තු මැතිවරනයට මැදිහත් විය.

ධනවාදයේ අර්බුදයට කම්කරුවන් හා පීඩිතයින් ගෙවිය යුතුය යන ආන්ඩුවේ හා එය පිටුපස සිටින පාලක පන්තියේ විධානය කිරීම් ඔවුන් විසින් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතු ය. මහජන සේවාවන් බිඳ දැමීම, පුද්ගලීකරනය හා තම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අයිතීන් මත ප්‍රහාරයට විරුද්ධ වනු වස්, කම්කරු පන්තිය, ධනපති-ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, වැඩපොල හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය.

ධනපති පාර්ලිමේන්තුවටත්, ධනපති පන්ති පාලනයේ සමස්ත ව්‍යුහයටත් විරුද්ධ ව, වර්ධනය කරන ක්‍රියාකරී කමිටු ජාලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප සටන් වදියි. ධනේශ්වරයට එරෙහි ව ගම්බද දුගීන් රැලි කරගැනීමටත්, සමාජවාදී ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට දැමීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට සටන් කිරීමටත්, ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් සහිත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටින එවන් සම්මේලනයක් එවන් ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය.

Loading