සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ?”

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ? ”යන මාතෘකාව යටතේ 2025 ජනවාරි 03 දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත. මෙම රැස්වීම පවත්වනු ලබන්නේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙනි.

මෙය තරුනයන් හා කම්කරුවන් මුහුන දෙන දැවෙන ප්‍රශ්නයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද නව කප්පාදු පියවරයන් මහජනතාවගේ ජීවන හා සමාජ කොන්දේසි තව දුරටත් විනාශ කරනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වූයේ තම ආන්ඩුව, වැඩකරන ජනතාව මත ඇති කරන බලපෑම ලිහිල් කිරීම සඳහා ජාමූඅ නය කොන්දේසි “යලි සාකච්ඡා කරන” බව පවසමිනි. දැන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකයේ භයානක තත්ත්වය නිසා කප්පාදු පියවර මුලුමනින් ම ක්‍රියාත්මක කල යුතු බවයි.

සියලුම සංස්ථාපිත පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම සංවිධාන ජාමූඅ වැඩපිලිවෙලට සම්පූර්න සහයෝගය දී තිබේ. ඔවුන් සියල්ලෝම ධනවාදයේ ආරක්ෂකයින් වන අතර ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම්වලට හිස නමති.

සමගි ජන බලවේගය සහ අනෙකුත් විරුද්ධ පක්ෂ දිසානායකගේ “ප්‍රතිපත්ති ප්‍රකාශය” සහ ජාමූඅ ඉල්ලීම්වලට අනුකූලව වියදම් කප්පාදු කරන සහ ලාභ ඉහල දමන අතුරු අයවැය ඒකමතිකව අනුමත කලහ.

පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/එන්පීපී) විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති මෙන්ම විරුද්ධ පක්ෂවල වෘත්තීය සමිති සහ ස්වාධීන යැයි කියා ගන්නා වෘත්තීය සමිතිද කෙඳිරිලි විරුද්ධත්වයක් හෝ නගා නැත.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එහි සහචරයෝ ජවිපෙ/ජාජබ බලයට පත්වීම “ප්‍රගතිශීලී” යයි හුවා දැක්වූහ. සැප්තැම්බරයේදී පෙසප පිටුබලය ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ නායකයන්, අධ්‍යාපන ඇමති ද වන අගමැති හරිනි අමරසූරිය හමුවී විශ්ව විද්‍යාල සිසුන් මුහුන දෙන දැවෙන ගැටලු පිලිබඳව සාකච්ඡා කලේ ය. කඩිනම් විසඳුම් සැපයිය නො හැකි යයි ප්‍රකාශ කල ඇය ශිෂයන්ගේ ඉල්ලීම් චාටුවෙන් මගහැරි අතර ශිෂ්‍ය නායකයෝ නිහඬව එය පිලිගත්හ.

ඊට ප්‍රතිවිරුද්ධව, සසජාතශි ආරම්භ කරනුයේ කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන දැවැන්ත ප්‍රශ්න කිසිවක් ධනේශ්වර ක්‍රමය තුල විසඳිය නොහැකි ය යන මූලික කාරනයෙනි. ධනවාදයේ ගෝලීය අර්බුදයේ බර වැඩකරන ජනතාව දැරිය යුතු බවට ලොව පුරා පාලක පන්තීන් සහ ඔවුන්ගේ දේශපාලන හෙන්චයියන් අවධාරනය කරති. එකම විකල්පය වන්නේ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ දේශපාලන සටනයි.

අපි මෙසේ කියා සිටිමු: සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු; විශාල සමාගම්, වතු සහ බැංකු කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු; ධනපතියන් සමුච්ඡය කර ගත් ධනය අත්පත්කර ගනු; මහජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම සම්පත් යොදා ගනු.

සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිනිර්මානය කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයේ දී කම්කරු පන්තිය වෙත හැරී කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමට උදව් කරන ලෙස අපි ශිෂ්‍යයන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාවේ සසජාතශි යනු ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර තරුන සංවිධානයේ කොටසකි. මෙම වැදගත් කරුනු සාකච්ඡා කිරීම සඳහා අපගේ රැස්වීමට පැමිනෙන ලෙස අපි සිසුන්ගෙන්, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මන්ඩලයෙන් සහ අනෙකුත් හිතන මතන බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

දිනය හා වේලාව : 2025 ජනවාරි මස 03 සවස 3.30 ට
ස්ථානය : කාමර අංක 86 , දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය.
Loading