ඉදිරිදර්ශන

“ට්‍රොට්ස්කිගේ මරනය කම්කරු පන්තියට අසමසම සුධීමත් මූලෝපායඥයෙක් අහිමි කලා” 

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 85වන සංවත්සරය ගැන

[මෙය On the 85th anniversary of the assassination of Leon Trotsky මැයෙන් 2025 අගෝස්තු 19දා පල කල සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ මේරිං යේන්චිලික් (පොත්) ප්‍රකාශකයෝ, ඇඩලාර් (ප්‍රින්සස් අයිලන්ඩ්) නාගරික සභාව සමග ඒකාබද්ධ ව, අගෝස්තු 16 සෙනසුරාදා තුර්කියෙහි බුයූකාඩා (ප්‍රින්කිපෝ) දිවයිනේ දී, “ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ 85වැනි සංවත්සරය: ඓතිහාසික අර්ථභාරය සහ    නො නස්නා ප්‍රතිවිපාක” යන මාතෘකාවෙන් අනුස්මරන උත්සවයක් පැවැත්වූහ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් සමග පැවැත් වූ ඔන්ලයින් සම්මුඛ සාකච්ඡාවක් ද මෙම උත්සවයට අඩංගු විය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලනික ව සහයෝගී තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ නායක සාමාජිකයෙකු වන උලාස් අතේශි සම්මුඛ සාකච්ඡාව මෙහෙයවී ය. කියවීමේ පහසුව තකා  මෙම පිටපත තරමක් සංස්කරනය කර ඇත.

උලාස් අතේශි (යූඒ): අසු පස් වසරකට පෙර, 1940 අගෝස්තු 20දා, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කලා. ඔබේ රචනා තුල මෙම ඝාතනය 20වැනි ශතවර්ෂයේ වඩාත් ම දේශපාලනික ප්‍රතිවිපාක දනවන ලද සිද්ධියක් ලෙස සඳහන් කර තිබෙනවා. මෙයින් ඔබ අදහස් කරන්නේ කුමක් ද?

ඩේවිඩ් නෝර්ත් (ඩීඑන්): ට්‍රොට්ස්කිගේ ඝාතනයෙහි අර්ථය වටහා ගැනීම අවශ්‍ය අයෙක්, ලෝක ඉතිහාසය තුල ඔහු දැරූ තැන, ඔහු නියෝජනය කලේ කුමක් ද, ඔහු අනන්‍ය වුනු සමාජ අරගල අවබෝධ කරගත යුතු යි.  ලියොන් ට්‍රොට්ස්කි යනු කම්කරු පන්තියේ සමාජවාදී විප්ලවවාදී ව්‍යාපාරයේ පුද්ගලාරෝපිතයා වේ . ඔහු ඝාතනය කිරීම, ලෝක පරිමානයෙන් කම්කරු පන්තියට විරුද්ධ ව ගෙන ගිය සාපරාධී ප්‍රහාරයක කූටප්‍රාප්තියයි; නාසිවාදය සහ ස්ටැලින්වාදය ඔක්තෝබර් විප්ලවයට එරෙහි ප්‍රතිගාමීත්වය ප්‍රකාශයට පත් වූ  වෙනස් රූපාකාරයන්. බුද්ධි ප්‍රබෝධය සහ පුනරුදය දක්වා පවා සටහන් කරගත හැකි, මනුෂ්‍ය වර්ගයාගේ යෝධ සමාජ, දේශපාලනික හා බුද්ධිමය සංවර්ධනයක කුලුගැන්වීම වූ ඒ ශ්‍රේෂ්ඨ විප්ලවය ට්‍රොට්ස්කි තුලින් පුද්ගලාරෝපනය වූවා. සමාජවාදී සංස්කෘතියේ කුසුම තුරන් කර දැමූ දේශපාලන ජනසංහාරක ක්‍රියාදාමයක උච්ඡාවස්ථාව වූයේ 1940 දී ට්‍රොට්ස්කි ඝාතනය කිරීම යි. ඔහු මරා දැමීම මගින් ඉවත් කෙරුනේ දේශපාලනික ව හා බුද්ධිමය ලෙස අවිස්ථාපනීය පුද්ගලයෙක්.

මට සාම්‍යයක් යොදාගත හැකි නම්: මොසාට්, බාක්, බීතෝවන් ඔවුන්ගේ නිර්මානශීලීත්වයෙහි මුදුනෙහි දී ප්‍රචන්ඩ ලෙස ඉවත් කරන ලදු ව තිබුනේ නම් සංගීතයට සිදුවන දෙය  ගැන සිතා බලන්න; නැතහොත් නිව්ටන් සහ අයින්ස්ටයින්ගෙන් තොර විද්‍යාව ගැන සිතන්න. දේශපාලන ක්ෂේත්‍රයේ දී ට්‍රොට්ස්කි එවන් පරිමානයක ස්ථානයක් භජනය කලා. ඔහුගේ මරනය නිසා,  කම්කරු පන්තියට අහිමි කෙරුනේ අසමසම සුධීමත් මූලෝපායඥයෙක්. 1930 ගනන් හා 1940 ගනන්වල දී රුසියාවේ හා යුරෝපයේ විප්ලවවාදීන් පරම්පරාවක් සමූල ඝාතනය කිරීමේ විපාක සමග අද දින ද, එනම්, ඔහුගේ මරනයෙන් වසර 85කට පසු ව ද අපි තවමත් පොරබදිමින් සිටින බව කීම අතිශයෝක්තියක් නෙවෙයි.

ට්‍රොට්ස්කි සඳහන් කලේ, මානව වර්ගයාගේ අර්බුදය නායකත්වයේ අර්බුදය බවයි. එම අර්බුදය බොල්ශෙවික් විප්ලවයත්, මාක්ස් සහ එංගල්ස්ගේ වැඩකටයුතු තුල සම්භවයන් සහිත ශ්‍රේෂ්ඨ රුසියානු හා යුරෝපීය සමාජවාදී සංස්කෘතියත් විනාශ කිරීමේ නිෂ්පාදිතයක්. එනිසා, ට්‍රොට්ස්කි මරා දැමීම පසුගිය ශතවර්ෂයේ වඩාත් ම ප්‍රතිවිපාක සහිත දේශපාලන ඝාතනය බව කීමේ දී, මම එය සඳහන් කරන්නේ මේ අර්ථයෙන්: එම ඝාතනයේ දේශපාලනික ප්‍රතිරාවයන් අද දින දක්වා ම අප සමග පවතිනවා, අප මෙම ඝාතනය අනුස්මරනය කිරීමේ දී, ට්‍රොට්ස්කි සහ ලෙනින් ගොඩනැගීමට සටන් වැදී තිබුනා වූ ද, ධනවාදයේ අර්බුදයෙන් මතුකෙරුනු විධානයන් කරා  නැග ගැනීමට සමර්ථ බව 1917 දී සනාථ කලාවූ ද නායකත්වය ගොඩනැගීමට අපි යලිත් කැපවෙමින් සිටිනවා. ට්‍රොට්ස්කිගේ ඝාතනය අතිශයින් සංවිපාකදායි බව ලියන විට මම අර්ථවත් කල දෙය මට හොඳින් ම විස්තර කල හැකි ආකාරය එය යි.

1920 පෙට්‍රොග්‍රෑඩ්හි දී ලෙනින් විප්ලවවාදී කම්කරු ජනකායක් අමතමින්. ට්‍රොට්ස්කි දකුනේ සිටී.

යූඒ: ට්‍රොට්ස්කි මරා දැමීම ස්ටැලින්ට අවශ්‍ය වූයේ ඇයි? මෙය සරල ව පැරනි දේශපාලන විරුද්ධවාදියෙකුගෙන් පලිගැනීමේ ක්‍රියාවක් පමනක් ද, නැතහොත් ට්‍රොට්ස්කිට බියවීම සඳහා ස්ටැලින්ට සැබෑ හේතු පැවතුනි ද?

ඩීඑන්: නිශ්චිත ව ම එය දේශපාලනික පලිගැනීමේ ක්‍රියාවක්. ස්ටැලින් කියන්නේ දේශපාලන අපරාධකරුවෙක්. ඔහු ඝාතනය කලේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් පමනක් නො වෙයි. ඔවුන්ගේ පවුල්, ඔවුන්ගේ මිතුරන්, ඔවුන්ගේ සහකරුවන් ඔහු සමූල ඝාතනය කලා. එහෙත් දේශපාලනික අර්ථයකින්, ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ තීරනයට ඔහුට විධානය කෙරී තිබුනේ, ලෝක පරිමානයෙනුත් සෝවියට් සංගමය තුල මත් ට්‍රොට්ස්කි විසින් දරන ලද දේශපාලනික ආනුභාවය කෙරෙහි ස්ටැලින්ට පැවති යෝධ භීතිය විසිනුයි. 

ඇත්ත වසයෙන් ම, ස්ටැලින් ඔක්තෝබර් විප්ලවයට සහභාගි වී තිබුනා.; අර්බුදයක් මහජන විඥානය මත ඇති කරන බලපෑම ඔහු අත්දැක තිබුනා. ඒ වගේ ම, පලමුවැනි ලෝක යුද්ධය මධ්‍යයේ පැනනැගි 1917 රුසියානු විප්ලවයේ අත්දැකීමෙන්, ඒ හා සමාන පරිමානයේ අර්බුදයක් විසින් නිෂ්පන්න කෙරෙන කම්කරු පන්තියේ යෝධ රැඩිකලීකරනයක් තුල ට්‍රොට්ස්කි ගේ ස්ථානය ප්‍රගාඪ ලෙස පරිවර්තනය කල හැකි බව ඔහු ඉතා හොඳින් අවබෝධ කරගත්තා.; ට්‍රොට්ස්කි යනු හුදෙකලා, අසරන සංක්‍රමනිකයෙකු යයි ඔහු කිසිදින විශ්වාස කලේ නැහැ. එලෙස ලිවිය හැකි සුලු-ධනේශ්වර ශාස්ත්‍රාලිකයන බොහෝ දෙනෙක් අද සිටියත්, දේශපාලනික යථාර්ථය වන්නේ එය නො වෙයි.

ට්‍රොට්ස්කි මරා දමනු ලැබුවේ, 1940 දී. දෙවැනි ලෝක යුද්ධය ඒ වන විටත් ඇරඹී මහා ව්‍යසනයක් දිගහැරෙමින් පැවතුනා. ස්ටැලින්ගේ පිලිවෙත්වල විනාශකාරී ප්‍රතිවිපාක, එනම්, ජර්මනිය තුල, ප්‍රන්සය තුල, ස්පාඤ්ඤය තුල ආදී ලෙස යුරෝපය හරහා ඔහුගේ පාවාදීම්වල ප්‍රතිවිපාක, සෝවියට් සංගමය තුලට නාසි ආක්‍රමනයට දොර හැර තිබුනු බව පැහැදිලි වීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනක් ලෙසයි පැවතුනේ. ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම හරහා ගමන් කර තිබුනු ස්ටැලින්, යුද්ධයේ ලඟා වීම සමගින් විශේෂයෙන් එලඹෙමින් පැවති විනාශයේ කොන්දේසි යටතේ සෝවියට් සංගමය තුල මත් ජනනය කරනු ඇති අර්බුදය නිසා ,  ට්‍රොට්ස්කිට පැවති සහයෝගය මැඩලනු ලැබ තිබුනත් එය ක්ෂනකි ව යලි ඉස්මතු විය හැකි බව අවබෝධ කරගත්තා. 

අන් සියලටමත් වඩා, කම්කරු පන්තියේ විඥානය තුල ට්‍රොට්ස්කි තවමත් ජීවත් වූයේ රතු හමුදාවේ ආරම්භකයා හා නායකයා, 1918 හා 1921 අතර සිවිල් යුද්ධයේ දී අධිරාජ්‍යවාදී හමුදාවන් පරාජය කර තිබුනු දීප්තිමත් මූලෝපායඥයා ලෙස යි. සුප්‍රකට සමාජවාදී ලේඛක වික්ටර් සර්ජ්, Russia: Twenty Years After [විසිවසරකට පසු රුසියාව] නමැති ඔහුගේ කෘතිය තුල, යුද්ධයක පලමු කම්පනයන් සෝවියට් සංගමය තුල මිලියන ගනන් දෙනා “ජයග්‍රහනයෙහි සංවිධායකයා” වූ ලියොන් ට්‍රොට්ස්කි ගැන සිතීමට ක්ෂනකි ව පොලඹවනු ඇති බව සඳහන් කලා.  ස්ටැලින් නායකත්වය දුන් ප්‍රතිගාමී නිලධාරිවාදී තන්ත්‍රයට ට්‍රොට්ස්කි ඝාතනය කිරීම දේශපාලනික අවශ්‍යතාවක් ලෙස ස්ටැලින් දැකගත්තේ මේ නිසා.

ලියොන් ට්‍රොට්ස්කි රුසියානු විප්ලවයෙන් පසු සිවිල් යුද්ධයේදී රතු හමුදාවට නායකත්වය දුන්නේය

එහෙත් ට්‍රොට්ස්කි ගැන භීතියට පත් එක ම ප්‍රතිගාමී නායකයා වූයේ ස්ටැලින් පමනක් නෙවෙයි. 1940 දී හිට්ලර් සහ ප්‍රන්ස තානාපති කොලොන්ද්‍රේ අතර සුප්‍රකට සාකච්ඡාවක් පැවැත්වුනා. වාර්තාමය භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ නම්, කොලොන්ද්‍රේ හිට්ලර්ට මෙසේ කීවා: “ප්‍රන්සය තුල ඔබේ මිලිටරි ජයග්‍රහන නො තකා, යුද්ධය වර්ධනය වීමේ සැබෑ ජයග්‍රාහකයා විය හැක්කේ ට්‍රොට්ස්කි බව ඔබ කල්පනාවට ගෙන නැද්ද?”කම්පනයට පත් හිට්ලර් ප්‍රතිචාර දැක්වූයේ මෙසේයි: “මම දන්නවා, ඒත් ඔබලා  මා  යුද්ධය දෙසට තල්ලු කලේ ඇයි? ඔබලා සම්මුතියකට නාවේ ඇයි?”  ප්‍රන්ස පුවත්පතක මෙම වාර්තාව පලවූ විට එම සාකච්ඡාව කියවූ ට්‍රොට්ස්කි කීවේ: “ම්ලේච්ඡත්වයේ ප්‍රතිගාමී නියෝජිතයින් වන මේ මහත්වරුන් බිය වන්නේ, විප්ලවය ලඟා වීම ගැනයි, ඔවුන් එම විප්ලවයට මගේ නම දෙනවා.“ ට්‍රොට්ස්කි ඝාතනය කිරීම, ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය හා ලෝක ප්‍රතිගාමීත්වය සමාජවාදී විප්ලවයේ අවතාරය වැලැක්වීම කෙරෙහි දැක්වූ ප්‍රතික්‍රියාවක්. ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට සැබෑ හේතුව වන්නේ එය යි.

යූඒ: ට්‍රොට්ස්කි හා ඔහුගේ ආධාරකරුවෝ හිට්ලර්ගේ ඒජන්තයින් වීය යන බොරු මගින් සාධාරනීකරනය කල, සෝවියට් සංගමය දේශපාලනික ජනසංහාරයක කූටප්‍රාප්තිය වූයේ ට්‍රොට්ස්කි ඝාතනය කිරීම යි. තවමත් ස්ටැලින්වාදී හා ව්‍යාජ-වාම සංවිධාන මෙම බොරු පුනරුච්ඡාරනය කරනවා. ඔබට මේ ගැන අදහස් දැක්විය හැකි ද?

ඩීඑන්: මෙම මුසාවාද පුනරුච්ඡාරනය කරන අය හෙලිදරවු කරගන්නේ ‍තමන් බොරුකාරයන් බවයි.  ස්ටැලින් විසින් සිදු කරන ලද අපරාධයන් අතිමහත් ලෙස ලේඛනගත කෙරී පවතිනවා, ට්‍රොට්ස්කිට හා බොල්ශෙවික් පක්ෂයේ සමස්ත නායකත්වයට එරෙහි ව දමාගසන ලද චෝදනාවල ප්‍රෝඩාකාරී ස්වභාවය පරිපූර්න ලෙස හෙලිදරවු කෙරී තිබනවා, එබැවින් එම මුසාවාද අද දින පුනරුච්ඡාරනය කිරීම, ඒවා උපයෝගී කරගන්නන්, වැටෙන්නේ නාසීන් කරගෙන ගිය හොලෝකෝස්ටය (මහා යුදෙව් සංහාරය -පරිවර්තක) ප්‍රතික්ෂේප කරන්නන්ගේ ම තැනකට. 

බොල්ශෙවික් විප්ලවයේ නො නැසී සිටි සමස්ත නායකත්වය ම ෆැසිස්ට්වාදයේ ඒජන්තයින් හා හිට්ලර් පාලනයේ උපකරන යයි ස්ටැලින් තරයේ ම චෝදනා කලා. එහෙත් සෝවියට් සංගමයේ සමාජවාදී කම්කරු පන්තියට හා බුද්ධිමතුන් ස්ථරයට එරෙහි සිය ත්‍රස්තය ක්‍රියාවට දැමීමෙන් පසු, හිට්ලර් සමග ගිවිසුමක් අත්සන් කලේ ස්ටැලින්. ඇත්ත වසයෙන් ම, 1941 ජුනි මාසයේ දී, නාසීන් සෝවියට් සංගමය ආක්‍රමනය කරන තෙක් ගත වූ වසර දෙක පුරා, බටහිර යුරෝපයේ ක්‍රියාකාරී වූ කොමියුනිස්ට් පක්ෂවල සාමාජිකයින්ට හිට්ලර් පාලන තන්ත්‍රයේ වැරදි ගැන කතා කිරීම තහනම් කෙරී තිබුනා‍.

1939 අගෝස්තු 23දා ක්‍රෙම්ලිනයේ දී අනාක්‍රමනික ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ස්ටැලින් සහ රිබන්ත්‍රොප් [Photo by Bundesarchiv, Bild 183-H27337 / CC BY-SA 3.0]

ස්ටැලින්වාදයේ ප්‍රතිඵලය වනු ඇත්තේ සෝවියට් සංගමය විනාශ කිරීම සහ නිලධාරී තන්ත්‍රය ධනවාදය පුනස්ථාපනය කරනු ඇති බව යයි අනතුරු ඇඟවූයේ ට්‍රොට්ස්කි. එය අවසානයේ 1991 දී සිදු කලා. එනිසා, ස්ටැලින්ගේ පච පුනරුච්ඡාරනය කිරීම දේශපාලනික ව කල හැක්කේ, ඔහුගේ ප්‍රතිගාමී ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන, ට්‍රොට්ස්කි සටන් වැදුනු සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයට මූලික ව හතුරු වන ප්‍රතිගාමී සුලු-ධනේශ්වර ජාතිකවාදීන්ට පමන යි. 

රුසියානු විප්ලවයේ ඉතිහාසය ගැනත්, එහි ඉතිහාසයේ සංකීර්නතාවයන් ගැනත්, යමෙකුට මූලධාර්මික බුද්ධිමතුන් සමග යුක්තියුක්ත සාකච්ඡාවක් හා කම්කරු පන්තිය ඇතුලත පලල් සාකච්ඡාවක් ඇත්ත වසයෙන් ම කල හැකි යි. එහෙත් එවැනි සියලු සාකච්ඡාවන් සත්‍යය සහ කරුනු මත පදනම් විය යුතු යි. කාලකන්නි බොරු පවත්වාගෙන යන, මහා පරිමාන ඝාතන සාධාරනීකරනය කරන, ස්ටැලින් දේශාපලනික වීරයෙකු බවට පරිවර්තනය කල හැකි අයට එම සාකච්ඡාව තුල තැනක් ඇත්තේ නැහැ. ඇත්ත වසයෙන් ම, එවන් පුද්ගලයින් සිටින්නේ සමාජවාදයේ කඳවුර තුල නො ව, ප්‍රතිගාමී ජාතිකවාදයේ කඳවුර තුල යි, සත්‍ය වශයෙන්ම, ඔවුන් සිටින්නේ ඔක්තෝබර් විප්ලවයට පක්ෂ අය ලෙස නොව, 1917 දී රුසියානු කම්කරු පන්තිය විසින් පෙරලා දමන ලද සාර්වාදයේ ප්‍රතිගාමී සම්ප්‍රදායයන් මත පදනම් වන පුටින්ගේ හා රුසියානු ජාතිකවාදීන්ගේ කඳවුර තුල යි.

2024 දෙසැම්බර් 14 සෙනසුරාදා රුසියාවේ මොස්කව් නුවර එක්සත් රුසියානු පක්ෂයේ සම්මේලනය අමතන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් [AP Photo/Sergei Bobylev]

යූඒ: 1940 මැයි 24දා  ට්‍රොට්ස්කිගේ ජීවිතය තොර කිරීමට පූර්ව ප්‍රයත්නයක් දරා තිබුනා. එම ප්‍රහාරය සහ ට්‍රොට්ස්කි එයට දැක්වූ ප්‍රතිචාරය ගැන ඔබට කතා කල හැකි ද?

ඩීඑන්: 1940 මැයි 24දා හිමිදිරියේ, කොයෝවාකාන්හි ට්‍රොට්ස්කිගේ මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ නියුතු ව සිටි රොබට් ශෙල්ඩන් හාට් නමැති ඇමරිකානුවෙක්, චිත්‍ර ශිල්පී ඩේවිඩ් ඇල්ෆාරෝ සික්වියෙරෝස් විසින් මෙහෙයවන ලද ස්ටැලින්වාදී ඝාතක කල්ලියකට මන්දිරයට ඇතුල් වීමට අවසර දුන්නා. පසුව සනාත වූයේ හාට් ඇත්ත වසයෙන් ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ බවයි.  මන්දිරයේ දොරටුව ඔහු විවෘත කල අතර, මෙම කල්ලිය මැෂින් තුවක්කු හා පුපුරන ද්‍රව්‍යවලින් සන්නද්ධ ව සංකීර්නයට ඇතුල් වී, ට්‍රොට්ස්කිගේ නිදන කාමරයට රිංගාගෙන මැෂින් තුවක්කුවලින් වෙඩි තැබීමට පටන් ගත්තා. ඇහැරුනු ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ පුදුම ලෙස  ඇඳෙන් පෙරලී යාමට සමත් වුනා. මැෂින් තුවක්කු තරමක් උඩු අතට යොමු කෙරී පැවතුනා, ඔවුන් ඇඳට හා බිත්තිය තුලට වෙඩි තිබ්බා. ඒ වන විටත් පැවතුනේ අඳුරු තත්වයක්, ප්‍රාතිහාර්යකින් මෙන් ට්‍රොට්ස්කි මරා දැමීමට ඔවුන් අසමත් වුනා. ඒ වන විට වයස 14ක් පමනක් වූ ට්‍රොට්ස්කිගේ මුනුපුරු සේවා වොල්කොව්ගේ ඇඟිල්ලට මේ ප්‍රහාරයේ දී තුවාල වුන නමුත් එය බරපතල තුවාලයක් නොවුනා. ඉන් පසුව ඝාතකයින් ඉවත් ව ගියා .

1940 මැයි 24දා ප්‍රහාරයේ වෙඩි උන්ඩවලින් ඉරි තැලී ගිය මෙක්සිකෝවේ කොයෝවාකාන්හි ට්‍රොට්ස්කි නිවහනේ නිදන කාමරය

ට්‍රොට්ස්කි වහා ම ඔහුගේ කාමරයෙන් පිටතට ගියා. මෙය ට්‍රොට්ස්කිගේ ජීවිතය තුල ඔහු ප්‍රහාරයකට මුහුන දුන් පලමු අවස්ථාව නෙවෙයි. මේ පිලිබඳ ව ඔහුට අත්දැකීම් පැවතුනා, ඔහු  තම රැකවල ගැන සෙවීමට පටන් ගත්තා. අවාසනාවට, ඔහුගේ රැකවල සමන්විත ව තිබුනේ මුලුමනින් ම ආධුනිකයන්ගෙන්. මේ වර්ගයේ ප්‍රහාරයකට ඔවුන් කිසිසේත් සූදානමින් සිටියේ නැහැ. එම ප්‍රහාරයෙන් දිවි ගලවාගත් අයෙකු වූ ට්‍රොට්ස්කිගේ රැකවලේ කපිතාන් හැරල්ඩ් රොබින්ස් මට පසු ව කීවේ, රැකවලුන් සොයාගත් ට්‍රොට්ස්කි, ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට තබා මොන ම හෝ ආකාරයකින් හෝ ක්‍රියාත්මක වීමට ඔවුන් අපොහොසත් වීම ගැන ඔහු අපේක්ෂා භංගත්වයට පත් වූ බව යි. 

ෂෙල්ඩන් හාට් අතුරුදන් වී ඇති බව ඔවුන් වහා ම අවබෝධ කරගත්තා. ඔහු පැහැරගෙන ඇද්ද ස්වේච්ඡාවෙන් පැන ගොස් ඇද්ද යන්න, එනම් ඔහු කුමන්ත්‍රනයේ හවුල්කරුවෙකු ද එහි ගොදුරක් වී ද යන්න පැහැදිලි වුනේ නැහැ. වැඩිකල් නො ගොස් ඔහුගේ සිරුර හමුවූ අතර, ඔහුගේ භූමිකාව පිලිබඳ ව පැවති සැකය නො තකා, ආරම්භක නිගමනය වුනේ ඔහු පැහැරගෙන මරා දමා ඇති බව යි. එහෙත්, ට්‍රොට්ස්කි අවධාරනය කල පරිදි ඔහු ඒජන්තයෙකු වීමේ හැකියාව බැහැර කෙරුනේ නැහැ. පසුකාලීන තොරතුරු, විශේෂයෙන් ම සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසු ව සොයාගත් තොරතුරුවලින්, හාට් ඝාතන කුමන්ත්‍රනයට සහභාගි වූ ජීපීයූ ඒජන්තයෙකු වූ බව ස්ථීර ලෙස තහවුරු කෙරුනා.

නැවතත් මෙම ඝාතන ප්‍රයත්නයේ කාල නිර්නය අවධානයට ගැනීම වැදගත් බව කිව යුතු යි. 1940 මැයි ප්‍රහාරය සිදු කලේ නාසීන්ගේ ප්‍රන්ස ආක්‍රමනයේ පසුබිම තුල වූ අතර, මහජන මතය යුද්ධයෙහි පුපුරා යාම කෙරෙහි යොමුවනු ඇති බවත්, ට්‍රොට්ස්කි ඝාතනය කිරීම ජාත්‍යන්තර [මාධ්‍ය] සිරස්තලයන්  මත ආධිපත්‍යය නො දරනු ඇති බවත්, ස්ටැලින්ගේ බලාපොරොත්තුව වුනා. ඝාතන ප්‍රයත්නයෙන් පසු ව, සියල්ලට පලමු ව කුමන්ත්‍රනය හෙලිදරවු කිරීමට ට්‍රොට්ස්කි ඔහුගේ කාලයෙන් විශාල පංගුවක් වැය කලා. “ස්ටැලින් මා මරා දැමීමට උත්සාහ කරයි“ යන බලගතු රචනාව තුල, “ මා මිහිමත ජීවත් වන්නේ නීතියට අනුව නො ව නීතියට ව්‍යතිරේකයක් ලෙසින්“ බව ට්‍රොට්ස්කි සඳහන් කලා. 

ස්ටැලින්වාදීන් සහ සුලු-ධනේශ්වර බුද්ධිමතුන් හා මූලධර්ම-විරහිත කොටස් අතර සිටි ඔවුන්ගේ ආධාරකරුවන්, මෙම ප්‍රහාරය සැබෑ ඝාතන ප්‍රයත්නයක් නො ව, ට්‍රොට්ස්කි විසින් ම සංවිධානය කර තිබුනු ස්වයං-ප්‍රහාරයක් ය යන කියාපෑමක් ඉදිරියට දැම්මා. මෙම මුසාව ට්‍රොට්ස්කි විසින් මුලුමනින් ම හෙලිදරවු කල අතර, සත්‍ය වසයෙන් ම අගෝස්තු 20දා සිදු කල ඝාතනයෙන් මෙම ව්‍යාජයේ පරිමාව ප්‍රදර්ශනය කෙරුනා. ස්ටැලින්වාදී පක්ෂ වූ ලෝකයේ විවිධ කොමියුනිස්ට් පක්ෂ සෝවියට් නිලධරයේ පාලනය යටතේ සැබෑවට ම පැවති පරිමානය හෙලිදරවු කරමින් 'ජීපීයූව හා කොමින්ටර්නය” නමැති තවත් ලිපියක් ට්‍රොට්ස්කි විසින් ලියනු ලැබුවා. 

තම ජීවිතයට තවත් ප්‍රහාරයක් එල්ලවිය හැකි බව ට්‍රොට්ස්කි දැන සිටියා. 1976 දී, ට්‍රොට්ස්කිගේ ඝාතනය පිලිබඳ තොරතුරු එක්‍ රැස් කරමින් මා මෙක්සිකෝවේ සිටිය දී, ට්‍රොට්ස්කි ව දැන සිටි ජනමාධ්‍යවේදියෙක්, ඝාතනයට යන්තම් දින කිහිපයකට පෙර ඔහු ට්‍රොට්ස්කි සමග කල සාකච්ඡාවක් මතකයට නැංවූවා. ට්‍රොට්ස්කි එම සාකච්ඡාවේ දී මෙසේ සඳහන් කර තිබුනා: “මගේ ජීවිතය නැසීමට තවත් ප්‍රයත්නයක් දැරේවි. මා දන්නා හෝ මගේ නිවසට ප්‍රවිෂ්ට වන යම්  කෙනෙක් විසින් එය සිදු කරාවි.” තමන් ට්‍රොට්ස්කිට ඉතා කැමති වූ බවත්, ට්‍රොට්ස්කිට ඉතා ගෞරව කල බවත්, ට්‍රොට්ස්කි මෙය කී විට තමන් අතිමහත් කම්පනයට පත් වූ බවත් මේ මාධ්‍යවේදියා මට පැවසුවා. එහෙත් “ඔබ දන්නවා ද මොනවා සිදු වුනත් මම ජයග්‍රහනය කරනවා. ඒ ඇයිදැයි ඔබ දන්නවාදැ” යි ට්‍රොට්ස්කි ඔහුගේ විමසා තිබුනා. ජනමාධ්‍යවේදියා ඒ මන්දැයි ඇසූ විට, ඔහු සමීපයට ආ ට්‍රොට්ස්කි “ඒ මම ස්ටැලින්ට වඩා බොහෝ කුසලතා සම්පන්න නිසා” යි ඔහුගේ කනට කොඳුරා කියා තිබුනා. 

ඇත්ත වසයෙන් ම ට්‍රොට්ස්කි සැබෑවට ම පවසා සිටියේ, තමන් සටන් වැදුනු දේශපාලන ඉදිරි දර්ශනය ගැන තමන්ට පැවති විශ්වාසයත් ස්ටැලින් අත්කරගත් තාවකාලික සාර්ථකත්වයන් පැවතිය ද ඔහු සිටියේ ඉදිරි දර්ශනයකින් තොරවය යන්නත් ය. විප්ලවයේ විරුද්ධවාදීන්ට ට්‍රොට්ස්කි කලින් ව්‍යවහාර කර තිබුනු උපමාවක් යොදාගන්නේ නම්, ස්ටැලින් අවසන් වනු ඇත්තේ ඉතිහාසයේ කුනුබක්කිය තුල යි. 

යූඒ: ට්‍රොට්ස්කිගේ ඝාතනය නො වැලැක්විය හැකි වූ බව කියා තිබෙනවා? මෙම තක්සේරුව සමග ඔබ එකඟ වෙනවා ද? නැතහොත් එය වැලැක්විය හැකි ව තිබුනි ද?

ඩීඑන්: එය සංකීර්න ප්‍රශ්නයක්, නො වැලැක්විය හැකි භාවය ගැන ඔබ අදහස් කරන දෙය මත එය රඳා පවතිනවා. ඓතිහාසික ක්‍රියාදාමය ගැන යමෙක් කතා කරන්නේ නම්, අනිවාර්යතාවන් පවතිනවා. ධනපති සමාජය තුල පන්ති අරගලය අනිවාර්යයයි. එම පද්ධතියේ පරස්පර-විරෝධයන් තුලින් විප්ලවය සහ ප්‍රති-විප්ලවය අනිවාර්යයෙන් පැනනගිනවා.. ලෝක ධනවාදයෙහි භූ-දේශපාලනයෙන් යුද්ධයත්, යුද්ධයට එරෙහි අරගලයත් අනිවාර්යයෙන් පැනනගිනවා. එහෙත් ඔබ නිශ්චිත සිද්ධියක් ගැන කතා කරන්නේ නම්, එවිට ඇත්ත වසයෙන් ම “අනිවාර්යතාව” යන යෙදුම භාවිතා කල යුත්තේ අතිශයින් ප්‍රවේසම් සහගත ව යි. ට්‍රොට්ස්කි පෙරදැක තිබුනු පරිදි, ඔහුගේ ජීවිතය තොර කිරීමේ ප්‍රයත්නයක් අනිවාර්ය ව පැවතුනා. සෝවියට් නිලධරය ට්‍රොට්ස්කි මරා දැමීමේ ප්‍රයත්නයක් දැරීම අනිවාර්ය වුනා. එහෙත් එම ප්‍රයත්නය සාර්ථක වේ ය යන්න අනිවාර්ය වුනා ද? නැහැ, එය එසේ වුනේ නැහැ. 1940 මැයි 24දා එය අසාර්ථක වුනා, ඒ වගේ ම 1940 අගෝස්තු 20දා ප්‍රයත්නය සාර්ථක වනු ඇතැයි යන්න අනිවාර්ය වුනේ නැහැ. අතිශය මූලික ආරක්ෂාව පවා අසාර්ථක වීමක් වූ නිසා එය සාර්ථක වුනා.

1940 දී ට්‍රොට්ස්කි මරා දැමීමට යොදාගත් අයිස් කඩන පොරොව අතේ තබාගෙන සිටින මෙක්සිකානු පොලීසිය  

ට්‍රොට්ස්කිගේ නිවහනට ඝාතක රේමන් මර්කාඩර් රිංගවා තිබුනේ ඒජන්තයෙකු විසින්. අගෝස්තු 20දා අපරභාගය අවසානයේ ඔහු කොයෝවාකාන්හි මන්දරයට ලඟා වී තිබුනා. හිරූ පැයූ දිනයක් වූ එදින, ඔහු වැහි කබායක් රැගෙන පැමිනියා. යන්තම් දින තුනකට පෙර මර්කාඩර් මුන ගැසී සිටි ට්‍රොට්ස්කි, එම පුද්ගලයා පිලිබඳ සිය සැක සංකාවන් ප්‍රකාශ කර තිබුනු අතර, යලි කිසි දිනක ඔහු දැකීමට අවශ්‍ය නැති බව පවා සඳහන් කර තිබුනත්, ඔහුගේ රැකවලුන් මෙයට ප්‍රතිචාර දක්වා තිබුනේ නැහැ. විශේෂයෙන් ම, පසු ව අප  අනාවරනය කරගත් පරිදි, කොයෝවාකාන්හි ඔහුගේ ප්‍රධාන ලේකම්වරයා වූ ජෝසෆ් හැන්සන් මත් ස්ටැලින්වාදී ඒජන්තයෙකු වුනා. වැහි කබායක් රැගෙන මර්කාඩර් පැමිනි විට, ඔහු ව පරීක්ෂාවට භාජනය කෙරුනේ නැහැ. සිය වැහි කබාය තුල ස්වයංක්‍රීය තුවක්කුවක්, හිම කඩන ලෝහමය යෂ්ටියක් හා පිහියක් ඔහු ගෙන ආවා. ඔහුගෙන් එම හිම කබාය ලබාගත්තේ නම්, ඝාතනය සිදු නො වීමට ඉඩ තිබුනා. එය සිදු කලේ නැහැ, ට්‍රොට්ස්කිගේ අධ්‍යයන කාමරයට තනි ව ඇතුල් වීමට ඔහුට අවසර ලැබුනා, ප්‍රහාරය සිදු කලේ එතැන දී.

එම නිසා, එදින ඝාතනය සිදු කිරීම අනිවාර්ය වුනේ නැහැ. එය වලක්වාගත හැකි ව තිබුනා. එම අත්දැකීමෙන් උකහා ගත යුතු පාඩම් තිබෙනවා, අපි ඒවා උකහා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. ඉතා තීරනාත්මක ප්‍රශ්නයක් වන්නේ දේශපාලන ආරක්ෂාව, අධිරාජ්‍යවාදී ප්‍රතිගාමීත්වයට එරෙහි අරගලයේ ප්‍රශ්නය බැරෑරුම් ව ගන්නා දේශපාලන පක්ෂයකට එය නො තකා හල නො හැකියි. එනිසා, ට්‍රොට්ස්කිගේ ජීවිතය තොර කිරීමේ ප්‍රයත්නයන් අනිවාර්ය බව අවබෝධ කරගන්නා අතර ම, ඒවායේ සාර්ථකත්වය අනිවාර්ය නො වූ බව අවබෝධ කරගැනීම වැදගත්.

මාක්ස්වාදීන් වන අපි ඉරනම්වාදීන් නෙවෙමු. ඓතිහාසික නියාමයන් පවතින අතර, එම ඓතිහාසික නියාමයන් පූර්ව-නිර්නිත නිගමනයකට තුඩු දෙන්නේ නැහැ, අද දින දේශපාලන තත්වය අවබෝධ කරගැනීම සඳහා එය වැදගත් වෙනවා. එක් අර්ථයකින්, ධනවාදයේ වර්ධනය, අධිරාජ්‍යවාදයේ වර්ධනය ජනසංහාරයට, ෆැසිස්ට්වාදයට හා න්‍යෂ්ටික යුද්ධය වෙත දිවෙනවා. එහෙත් එය සමාජවාදී විප්ලවය වෙතත් ධාවනය වෙනවා. එම නිසා, සැබෑ ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රවනතාවලින් කවරක් ආධිපත්‍යය දරනවා ද, විනාශය කරා ප්‍රවනතා හෝ විප්ලවය කරා ප්‍රවනතා ආධිපත්‍ය දරනවා ද යන්න යි. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ එය යි. 

මෙහි දී අප එලඹෙන්නේ දේශපාලන නායකත්වය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්නය වෙතයි.  මාක්ස්වාදීන් ලෙස අප විශ්වාස කරන්නේ, මානව වර්ගයාගේ විනාශයට තර්ජනය කෙරෙන ප්‍රවනතා තුලම සමාජවාදී විප්ලවයේ සක්‍යතාව ද දරා සිටින බව යි. එම අර්ථයෙන් අපි ඓතිහාසික සුභවාදීන්. විප්ලවයේ හැකියාව පවතිනවා. එහි ජයග්‍රහයනය සිදු විය හැකි යි. එහෙත් අප උදාසීන වන්නේ නැහැ. අවශ්‍ය ක්‍රියාවන් අප නො ගන්නේ නම්, අප සටන් වදින්නේ නැති නම්, අපට නිරවද්‍ය දේශපාලන ක්‍රියාමාර්ගයක් නැති නම්, එම ක්‍රියාමාර්ගය කම්කරු පන්තියට ඒත්තු ගැන්වීමට අසමත් වන්නේ නම්, විනාශයක අන්තරාය ඉතා ඉහල යි. විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට අප සටන් කරන්නේ ඒ නිසයි. 

යූඒ: සමාජවාදී විප්ලවය සඳහා වන අරගලය තුල ඔබ වසර 55ක් තිස්සේ ක්‍රියාකාරී ව සිටිනවා. දේශපාලන ප්‍රතිගාමීත්වයේ බොහෝ දශක ගනනක් තුල ඔබ ඔබේ සුභවාදය සහ අධිෂ්ඨානය පවත්වාගෙන ගොස් තිබෙනවා ද?

ඩීඑන්: මාක්ස්වාදයට පවතින දැවැන්ත වාසිය වන්නේ, එය වෛෂයික යථාර්ථය වෙතට, අනුභූතිවාදී ලෙස නොව, විද්‍යාත්මක ව ප්‍රවිෂ්ඨ වී එය විශ්ලේෂනය කිරීම යි. මතුපිට දෘෂ්ටියේ රූපාකාරයන් පරස්පර-විරෝධී බවත්, ප්‍රතිගාමීත්වයේ ආධිපත්‍යය ලෙස පෙනෙන දෙය, එය තුල ම විප්ලවයේ හැකියාව අඩංගු කරගන්නා බවත්, එමගින් අවබෝධ කරගනු ලබනවා. 1971 දී මා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට බැඳෙන විට, එය බොහෝ දෙනා විසින් සෝවියට් සංගමය සකලාකාරයෙන් බලගතු ලෙස දැකගත් කාලයක් වුනා. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය මිලියන ගනනින් පැවති නමුත්, ඒවායේ ආනුභාවය පදනම් වුනේ අසක්‍ය බව තහවුරු වී තිබූ ව්‍යාජ පිලිවෙත් මත. සෝවියට් සංගමය බිඳවැටීම වේවා, චීනය තුල ධනවාදය පුනස්ථාපනය කිරීම වේවා, සිදු වී ඇති සියල්ල ට්‍රොට්ස්කිවාදී ඉදිරි දර්ශනය විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ  අපේ ඉදිරි දර්ශනය නිරවද්‍ය එකක් ව පැවති බවයි. එය වෛෂයික තත්ත්වය නිවැරදි ව විශ්ලේෂනය කර තිබෙනවා.

වර්ධනයන්ගේ ආරම්භක ප්‍රතිලාභීන් දේශපාලන ප්‍රතිගාමීත්වයේ බලවේග වුවත්, අනෙකුත් ක්‍රියාදාමයන් ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා.. විප්ලව සිදුවන්නේ, සෑම දෙයක් ම සිත්කලු ලෙස සිදුවෙමින් පවතින නිසා වත්, දේවල් පවතිනවාට වඩා තරමක් හොඳින් පැවතිය යුතු නිසා, ඒවා වෙනස් කිරීමට තමන් කැමති බව මිනිසුන් තීරනය කිරීම නිසා වත් නෙවෙයි. සෑම අයෙක්ට ම ආරාධනා පත්‍රයක් යවා උපන් දිනයක් සැමරීමට සහභාගි වන ලෙස ඉල්ලා සිටින උපන් දින සාදයන් ලෙස විප්ලව තමා විසින්ම නිවේදනය කරගන්නේ නැහැ. විප්ලව සෑමවිට ම අනපේක්ෂිත යි. විප්ලව සාමාන්‍යයෙන් ප්‍රතිගාමීත්වයේ ලක්ෂ්‍යයේ දී පැමිනෙන නිසා, සෑමවිට ම ඒවා සිදුවිය නො හැකි ලෙස පෙනුනත්, එක්තරා නිශ්චිත අර්ථයකින් ගත් කල, එය එහි වඩාත් ම ආන්තික වර්ධන අවදියට ලඟා වී තිබෙනවා. 1789  ප්‍රන්සය තුල එය සත්‍ය වූ අතර, 1917 රුසියාවේ දී එය නිශ්චිත ව ම සත්‍ය වුනා.

1917 විප්ලවය සමයේ පෙට්‍රොග්‍රෑඩ් සොල්දාදුවන්ගේ සෝවියට් සභාවේ සැසියක්

වර්තමානයේ අප ජීවත් වන ලෝක තත්ත්වය, යලි වතාවක් පෙන්නුම් කරන්නේ, අපේ යුගයේ යෝධ සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු කිසිවක් විසඳීමට ධනවාදයට පවතින පරිපූර්න නො හැකියාව යි. වචනයේ පරිපූර්න අර්ථයෙන් ම, එය බංකොලොත්. න්‍යෂ්ටික යුද්ධය මානවවර්ගයාගේ ගැටලුවලට ශක්‍ය විකල්පයක් ලෙස කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැහැ, එසේ ම මානව වර්ගයාගේ අතිමහත් කොටස් ජනසංහාරය පිලිගත හැකි යයි විශ්වාස කරන්නේ ද නැහැ. සෑම තැනක ම ප්‍රතිරෝධය වර්ධනය වෙමින් පවතින අතර ම, එම ප්‍රතිරෝධය නිවැරදි දේශපාලන ඉදිරි දර්ශනයක් සමගින් අන්තර්-ක්‍රියාකාරිත්වයට පැමිනීම අවශ්‍යයයි. ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත ම විප්ලවවාදී පිපිරීම්වල මුවවිට අප සිටිනවා, ඒ සමග ම මා සිතන්නේ සුභවාදයෙහි පදනම වන්නේ මෙම වෛෂයික ප්‍රවනතාවන්වල බලය හඳුනාගැනීම බවයි.

මා කලින් කී පරිදි, මනාව සරසා දෙන උපන් දින ත්‍යාගයක් ලෙස ඉතිහාසය, විප්ලව ප්‍රදානය කරන්නේ නැහැ. වෛෂයික තත්ත්වයෙන් එහි විප්ලවවාදී විභාවය උපුටා ගැනීම සඳහා අප එය මත ක්‍රියාත්මක විය යුතු යි. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ එය යි. මහජනයා පසුකර ඇවිත් තිබෙන අත්දැකීම් -සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ, ස්ටැලින්වාදයේ සහ ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත් භාවය ඔවුන් අත්දැක තිබෙනවා- නිසා සමාජ විප්ලවයේ අව්‍යාජ න්‍යාය සහ භාවිතය දෙසට හැරීමක අවශ්‍යතාව ඔවුන් හඳුනා ගනු ඇතැයි මම විශ්වාස කරනවා.

මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කිගෙන් ද එහි අද්‍යතන ප්‍රකාශනය හෙවත් 21වැනි සියවසේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදයෙන් සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාමාර්ගයෙන් යලි වතාවක් ඔවුන් ඔවුන්ගේ පාඩම් උකහා ගනීවි. මම එම ඉදිරි දර්ශනය කෙරෙහි විශ්වාස කරන අතර, මගේ සහෝදරවරුන් හා මම වර්ධනයේ ඊලඟ කාලපරිච්ඡේදය, කම්කරු පන්තිය සමාජ විප්ලවය දෙසට යෝධ ලෙසින් මාරු වීමක් කරනු ඇති බව දැකගනු ඇතැයි අතිශයින් සුභවාදී වන්නේ ඒ නිසා. එතරම් ඈතකට ගමන් කිරීමට පෙර, ඈත අනාගතයට යාමට පෙර, බුයූකාඩාවේ දී අපි තවත් සැමරුමක් පවත්වන අතර, එය පවත්වනු ඇත්තේ එම ඉදිරි දර්ශනය යථාවත් වීමේ වඩා ඉහල අභිවර්ධිත අවදියක දී යයි මම සිතනවා.

Loading