සසප (ශ්‍රී ලංකාව) සම්මේලන යෝජනාව: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!

යුද්ධයට විරුද්ධ වීම හේතුවෙන් වසර 15ක සිර දඬුවමකට යටත් කරන ලද යුක්‍රේන සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීම සඳහා ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයට සහය පල කරමින්, සැප්තැම්බර් 11–13 දිනවල පැවත් වූ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සිවු වන ජාතික සම්මේලනයේ දී මෙම යෝජනාව ඒකමතික ව සම්මත විය.

බොග්ඩාන් නිදහස් කිරීමේ ව්‍යාපාරය පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා freebogdan.org වෙත පිවිසෙන්න.

***

1. සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකා) සිවු වන සම්මේලනය, යුද්ධයට විරුද්ධ වීම හේතුවෙන් අගෝස්තු 10 වැනි දා වසර 15ක සිර දඬුවමකට නියම කරන ලද යුක්‍රේනියානු සමාජවාදියෙකු වන බොග්ඩාන් සිරෝටියුක් සහෝදරයා ආරක්ෂා කිරීම, අපගේ පක්ෂයේ කේන්ද්‍රීය දේශපාලන කර්තව්‍යයක් බව ප්‍රකාශයට පත් කරයි. බොග්ඩාන් සහෝදරයා  වරදකරු කරනු ලැබ ඇත්තේ මොනයම් ම හෝ රාජද්‍රෝහී  හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සම්බන්ධයෙන් නොව, ඔහුගේ අදහස්— එනම්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ලිපි හයක්—සම්බන්ධයෙනි. මෙම තීන්දුව ට්‍රොට්ස්කිවාදයට ම එරෙහි තීන්දුවක් මෙන් ම, 1938 සිට හතරවන ජාත්‍යන්තරය සටන් කර ඇති ඓතිහාසික සත්‍යයට එරෙහි තීන්දුවකි.

2. බොග්ඩාන් සහෝදරයාට එරෙහි නඩු පැවරීම, යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර්  සෙලෙන්ස්කි පාලනය, කම්කරු පන්තිය කෙරෙහි දක්වන සතුරුභාවයෙන් සහ යුක්‍රේනය තුල වර්ධනය වෙමින් පවතින යුද විරෝධී හැඟීම්වලින් වෙන් කල නොහැක. එම පාලනය නාසි සහයෝගිතාකරුවන් වන බන්ඩේරා සහ වෆෙන්- එස්එස් ගැලීෂියා ඒකකයේ (Waffen-SS Galicia Division) සාමාජිකයන් “ජාතික වීරයන්” ලෙස පුනරුත්ථාපනය කරයි; මැතිවරන අහ‌ෝසිකරමින් ද විරුද්ධ පක්ෂ තහනම් කරමින් ද  යුද නීතියේ නියෝග මගින් පාලනය  කරයි; සොල්දාදුවන් මිලිටරි සේවය අත්හැර පලා යාම සම්බන්ධයෙන් අපරාධ නඩු 300,000කට වැඩි දෙනෙකුට  නඩු පවරා ඇති අතර, 2025 වන විට ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න බහුතරයක් සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුනි. බොග්ඩාන්ට දඬුවම් පැමිනවීම, මෙම විරුද්ධත්වය බිය ගැන්වීමට සෙලෙන්ස්කි පාලනය දරන උත්සාහයකි— එනම්, යුද්ධයට විරුද්ධ වීම, ඒ සා දරුනු  ප්‍රතිවිපාකයක් ගෙන එන බව පෙන්වීමට දරන උත්සාහයකි. බොග්ඩාන් හෙලා දකිමින්, ෆැසිස්ට් අධිකරනය, නේටෝවේ වක්‍ර යුද්ධය සාධාරනීකරනය කිරීමට යොදා ගන්නා “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ යුද්ධය” යන ප්‍රෝඩාවේ නිරුවත හෙලි කර තිබේ.

3. බොග්ඩාන් නිදහස් කිරීමේ ව්‍යාපාරය   කෙරෙහි වැඩෙමින්  පවතින මහජන සහයෝගය සහ ධනපති මාධ්‍ය ඒ කෙරෙහි දක්වන කුමන්ත්‍රනකාරී නිහැඬියාව කෙරෙහි බරපතල අවධානයක්  මෙම සම්මේලනය යොමු කරයි. ලොව පුරා කම්කරුවන් සහ තරුනයන්—බ්‍රිතාන්‍යයේ තැපැල් සේවකයන්, ඉන්දියාවේ මරුටි සුසුකි කම්කරුවන්, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ, ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ කම්කරු ක්‍රියාකාරී කමිටු, නැගෙනහිර යුරෝපීය සංක්‍රමනික කම්කරුවන්, ශිෂ්‍යයන්, පුමුඛ ඉතිහාසඥයින් සහ කලාකරුවන්—බොග්ඩාන් නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ. පුවත්පත් අතල‌ොස්සක් උද්ඝෝෂනයට සහය දීමට එඩිතර වුවත්, එකදු ප්‍රධාන බටහිර පුවත් ආයතනයක්වත් මෙම නඩුව වාර්තා කර නැති අතර, ලෝක සමාජවාදී වෙබ් අඩවියමත් යුක්‍රේනය තුල තහනම් කර ඇත. මෙය අතපසු වීමක් නොවේ. මාධ්‍ය නිහඬතාව සෙලෙන්ස්කි පාලනයට සපයන දේශපාලන ආරක්ෂාවක් වන අතර, සෑම රටක ම ධනේශ්වර මාධ්‍ය—ඔවුන් සේවය කරන පාලක පන්තීන් මෙන් ම—කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් යුක්‍රේන රාජ්‍යය සමඟ සිටින බවට පැහැදිලි ම සාක්ෂිය එයයි. මෙම නිහඬතාව බිඳ දැමීම ම විප්ලවවාදී ක්‍රියාවකි.

4. එ බැවින්, බොග්ඩාන් නිදහස් කිරීමේ ව්‍යාපාරය  ද්වීතික හෝ මානුෂීය කර්තව්‍යයක් නොවන බව සම්මේලනය අවධාරනය කරයි. එය යුද්ධයට එරෙහි සටනේ වඩාත් වර්ධිත ස්වරූපයයි. මන්ද, එය මූලික ප්‍රශ්නය—තන්ත්‍ර දෙකට ම එරෙහි ව රුසියානු සහ යුක්‍රේන කම්කරු පන්තියේ එකමුතුව—ප්‍රායෝගික ව  ජය ගත හැකි අරගලයක් තුල ඉදිරිපත් කරන බැවිනි. බොග්ඩාන්ගේ ආරක්ෂාව සඳහා දිනාගන්නා සෑම කම්කරුවෙකු ම යුද්ධයට එරෙහි සටන සඳහා දිනා ගත් කම්කරුවෙකි.

5. සම්මේලනය පහත සඳහන් කර්තව්‍යයන් සඳහා පක්ෂයේ කැපවීම ප්‍රකාශ කරයි: යුදවාදී වෘත්තීය සමිති නිලධාරිවාදයෙන් ස්වාධීන ව, සාමාන්‍ය කම්කරුවන්ගේ ස්වාධීන කමිටු සහ යෝජනා මගින් කර්මාන්තශාලා හා සේවා ස්ථාන තුල මෙම ව්‍යාපාරය ගොඩනැගීමට; බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීම සඳහා සූදානම් කෙරෙමින් සිටින තරුනයන් සහ ශිෂ්‍යයන් වෙත, සමාජ සමනාතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි)  හරහා මෙම උද්ඝෝෂනය ව්‍යාප්ත කිරීමට;  මාධ්‍යයේ සහ ව්‍යාජ- වමේ වාරනය හා නිහඬතාව හුදු අහඹු සිදුවීම් නොව, දේශපාලනික ක්‍රියාවන් බව හෙලිදරව් කිරීමට; සහ මෙම ව්‍යාපාරය  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමඟ එක්සත් කිරීමට. 

6. බොග්ඩාන් නිදහස් වන තුරු සියලු උත්සාහයන් දෙගුන කිරීමට සම්මේලනය ප්‍රතිඥා දෙයි. ඔහුගේ නිදහස දිනා ගනු ලබන්නේ ෆැසිස්ට් රාජ්‍යයක අධිකරන මගින් නොව, ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මගිනි—යුද්ධය අවසන් කිරීමටත්, එහි දෙ පස පවතින පාලන තන්ත්‍ර පෙරලා දැමීමටත් හැකි එක ම බලවේගය එයයි. රුසියාවේ සහ යුක්‍රේනයේ කම්කරුවනි, එක්වවු!

___

බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කර ගැනීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් ලෙස, ඔක්තෝබර් 13 වැනි අඟහරුවාදා සවස 7.00ට සූම් රැස්වීමක් පවත්වනු ඇත. එම රැස්වීමට මෙම සබැඳියෙන් ලියාපදිංචිවන්න. 

Loading