ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරුවන්ගේ විශ්‍රාමික අරමුදල් ධනපති හාම්පුතුන්ගේ පාලනයට යටත් කිරීමට අර අදී

2011 දී මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඊපීඑෆ්/ඊටීඑෆ් ප්‍රතිව්‍යූහකරනයන්ට එරෙහි කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ විරෝධතා අතරතුර දී පොලිස් වෙඩි පහරින් මරා දැමූ රොෂේන් චානක රත්නසේකර සහ පසු ව ඔහු ගේ ඝාතනයට විරෝධය පල කරමින් විරෝධතාවේ යෙදෙන බියගම නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, සේවක අර්ථසාධක අරමුදල් (ඊපීඑෆ්) පනත සංශෝධනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට තීන්දු කර ඇත. කම්කරුවන්ගේ විශ්‍රාමික අරමුදල් පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීමට මග විවර කෙරෙනු ඇති මෙම පියවර පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය කම්කරුවන්  මිලියන 5.6 කෙරෙහි ඍජු ව බලපානු ඇත.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් යෝජිත ආර්ථික ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙලේ මූලික ඉලක්කයක් වන මෙය කලින් පැවැති ආන්ඩු විසින් ක්‍රියාවට දැමීමට වෑයම් කල ද කම්කරුවන්ගේ දැඩි විරෝධය මැද මේ දක්වා ම ත් සාර්ථක වූයේ නැත. දැන් එම අයිඑම්එෆ් ගැති වැඩපිලිවෙල ම රුදුරු ලෙස ක්‍රියාවට දමමින් සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව එම කටයුත්ත සම්පූර්න කිරීමට මෙලෙස වැඩට බැස ගෙන තිබේ. 

මෙම පියවර සෑම කම්කරුවෙකු ම අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතු ය. ඊපීඑෆ් සහ සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) ආන්ඩුවට හෝ සමාගම්වලට අයත් ප්‍රාග්ධන සංචිත නොවේ. ශ්‍රී ලංකාවේ විශාල ත ම විශ්‍රාමික අරමුදල වන මෙය, දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් විසින් දශක ගනනාවක් පුරා  සමුච්චය කරගත් ඉතුරුම්වලින් සමන්විත වේ. මෙම අරමුදල් හාම්පුතුන්ගේ මූල්‍ය අවශ්‍යතාවල ට හෝ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ බලපෑම ට යටත් කරන ඕනෑ ම ප්‍රතිව්‍යුහගත කිරීමක්, කම්කරුවන්ගේ සමාජ ආරක්ෂාව ධනපති හාම්පුතුන්ගේ ලාභ උත්පාදක අවශ්‍යතාවලට නතු කිරීමකි.

ජුනි 15 දා, සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වල කාර්යයන් “ඒකාබද්ධ පාලන රාමුවක්” යටතට ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අනුමැතිය දුන් කැබිනට මන්ඩලය අගෝස්තු 3දා 1958 අංක 15 දරන අර්ථසාධක අරමුදල් පනත  සංශෝධනය කිරීමේ  නීති කෙටුම්පතක් සකස් කිරීම අනුමත කර ඇත.

අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් ඒකාබද්ධ කිරීමේ යෝජිත රාමුව ආන්ඩුව, හාම්පුතුන් සහ සේවකයන් නියෝජනය කරන (වෘත්තීය සමිති)  ත්‍රෛපාර්ශ්වික මන්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන බව ද  අරමුදල් දෙකේ වත්කම් “නීත්‍යානුකූල ව හා මූල්‍යමය වශයෙන් ආරක්ෂිත ව පවතිනු ඇත” යි ආන්ඩුව පවසයි. කිසි සේ ත් ම නැත. එවැනි යාන්ත්‍රනයක මූලික අරමුනු වනු ඇත්තේ, ධනපති හාම්පුතුන්ට අරමුදල පාලනය කිරීමේ සහ ආයෝජනය කිරීමේ ඉඩ සැලසෙන පරිදි පෞද්ගලික ප්‍රාග්ධනය සඳහා  සුවිශල් මූල්‍ය ප්‍රභවයක් බවට එය  පරිවර්තනය කිරීමයි.

මෙම ප්‍රෝඩාවට තවදුරටත් පලිප්පුලමින් ආන්ඩුව එම  සංශෝධනය ඉදිරිපත් කරන්නේ හුදෙක් පරිපාලනය නවීකරනය කිරීම සහ සේවාවන් වැඩිදියුනු කිරීම අරමුනු කරගත් තාක්ෂනික කටයුත්තක මුවාවෙන් ය. ලාභ උත්පාදනයේ  අවශ්‍යතා මත සිදු කරන ආයෝජන අසාර්ථක වූ විට, එම පාඩු අවසානයේ කම්කරුවන්ට දැරීමට බල නොකෙරෙන  බවට පවතින සහතිකය කුමක් ද? එහෙයින් මෙය හුදෙක් “නවීකරනය” පිලිබඳ  ප්‍රශ්නයක් පමනක් යැයි කියන වංචනික තර්කය කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතු ය.

2025 දෙසැම්බර් මාසය වන විට අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සක්‍රිය සාමාජිකත්වය පිලිවෙලින් මිලියන 3.1 සහ මිලියන 2.5 වූ අතර වත්කම්වල මුලු වටිනාකම රුපියල් ට්‍රිලියන 4.94 ක් සහ රුපියල් බිලියන 637.5 කි. පවතින නීතිය යටතේ, එහි සාමාන්‍ය පරිපාලනය සඳහා කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වගකිව යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුව භාරකරු ලෙස කටයුතු කරයි.

වර්තමානයේ අර්ථසාධක  අරමුදල්, රජයේ සුරැකුම්පත්, මුල්‍ය වෙලඳපොලේ කොටස් සහ පිලිගත් පුද්ගලික හෝ රාජ්‍ය සමාගම් සහ බැංකු විසින් නිකුත් කරන නයකර මිලදී ගැනීම සඳහා යොදවයි. ඉන් උපයන පොලිය අරමුදලට එකතු කෙරෙයි.

2011 දී, මහින්ද රාජපක්ෂ ආන්ඩුව ද, අයිඑම්එෆ් නය කොන්දේසි වලට අනුව, මෙම අරමුදල්වල පාලනය පෞද්ගලික අංශයට පැවරීම ඇතුලු ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කලේ ය. පුද්ගලික අංශයේ සේවකයන් සඳහා  “සේවක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල” නමින් නව අරමුදලක් පිහිටුවීම, අර්ථසාධක අරමුදල සඳහා වැටුපෙන් අඩු කරන මුදලට අමතර ව තවත් සියයට 4 ක් අය කර ගැනීම, වසර 10 ක සේවා කාලයක් සම්පුර්න නොකරන සේවකයන් සඳහා එහි ප්‍රතිලාභ ලබා නොදීම සහ ඔවුන්ගේ වැටුපෙන් අය කර ගත් මුදල පවා ආපසු ලබා නොදීම එම කොන්දේසි වලට ඇතුලත් විය.

රාජපක්ෂ ආන්ඩුවේ මෙම ප්‍රයත්නය ට එරෙහි ව අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ බරපතල විරුද්ධත්වයක්  අවුලුවා ලී ය. නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස) සහ ජවිපෙ විසින් පාලනය කරනු ලබන අන්තර්  සමාගම් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති කම්කරුවන්ගේ විරෝධය සීමිත උද්ඝෝෂන වලට කොටු කර විසුරුවා හැරීමට දැරූ උත්සාහය තිබිය දී වෘත්තීය සමිති වලට පිටින් රට පුරා දස දහස් ගනින් කම්කරුවෝ විරෝධතා උද්ඝෝෂනවලට එලඹුනහ. කටුනායක  නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) 20,000ට අධික කම්කරුවෝ එම උද්ඝෝෂනයට සහභාගී වූහ. රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ උද්ඝෝෂනය මර්දනය කිරීම සඳහා  පොලිසිය සහ හමුදාව මුදා හැරියේ ය.  

උද්ඝෝෂනයේ නිරත කටුනායක නිවෙක කම්කරුවන්ට මැයි 30 දා පොලිසිය එල්ල කල රුදුරු ප්‍රහාරයෙන් සිය ගනනකට බරපතල තුවාල වූ සිදු වූ අතර පොලිස් වෙඩි ප්‍රහාරයට ගොදුරු වීමෙන් රොෂේන් චානක නමැති 21 හැවිරිදි කම්කරුවෙක් මිය ගියේ ය.

ආන්ඩුවේ තහනම් නියෝග පිලිගනිමින් මෙම රුදුරු ප්‍රහාරයට විරුද්ධ ව කිසිදු අරගලයක් සංවිධානය කිරීම වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කලේ ය. කෙසේ නමුත්, කම්කරුවන්ගේ පුලුල් විරෝධය හමුවේ රාජපක්ෂ ආන්ඩුවට යෝජිත පනත ඉවත් කර ගැනීමට සිදු විය.

ජවිපෙ/ජාජබ 2024 දී බලයට පත් වූයේ සාම්ප්‍රදායික ධනේශ්වර දේශපාලන පක්ෂ කෙරෙහි පැවති මහජන විරෝධය ගසා කමින් සහ වැඩ කරන ජනතාව ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමිනි.

දිසානායක ආන්ඩුව එම පොරොන්දු මුලුමනින් ම කඩකරමින් ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ ව්‍යාපාර සඳහා වඩාත් වාසිදායක කොන්දේසි නිර්මානය කිරීම ඇතුලු අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත් අකුරට ම ක්‍රියාවට දමයි. විශ්‍රාම අරමුදල්  ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන පනතට සමගාමී ව ආයෝජයන්ට සහ මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි පවතින කම්කරු නීති සංශෝධන පනතක් ගෙන ඒමට ද ආන්ඩුව කටයුතු කරමින් සිටී.

වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය ඊට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීමට සුදානම් නැත. ආන්ඩුවේ මැති-ඇමතියන්  බවට පත් ව සිටින ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයෝ ආන්ඩුව ක්‍රියාවට දමන අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලේ  සහ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනයේ කොටස් කරුවෝ වෙති.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරන පෞද්ගලික සේවක මධ්‍යස්ථානය (පෞසේම), නිවෙකපොසේසේස, ලංකා වෙලද කාර්මික සහ පොදු කම්කරු සංගමය ඇතුලු වෘත්තීය සමිති දිසානායක ආන්ඩුවට නිස්සාර ආයාචනා සහ බලපෑම් කිරීමේ උද්ඝෝෂනයක යෙදී ගෙන සිටී. එම වඳ දේශපාලනයේ අරමුන වන්නේ,  විශ්‍රාම වැටුප් කොල්ලයට එරෙහි ව අව්‍යාජ සහ කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීම දැනුවත් ව වැලක්වීමයි.

මෙය පුදුමයට කාරනයක් නොවේ. ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් කිරීමට ජවිපෙ සමිති නායකයන් ද සමග හවුලේ දායක වූ අතර ඔව්හු අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත.

අගෝස්තු 12 දා යෝජිත අර්ථසාධක පනත සශෝධන ගැන සාකච්ඡා කිරීම සඳහා කම්කරු කොමසාරිස් හමු වීමෙන් පසු මාධ්‍යට කතා කල පෞසේම ලේකම් දේවින්ද කෝදාගොඩ, “ඊපීඑෆ් එක විනාශ කරන ධනපතියන් ගේ සූදුවට එහි සල්ලි කැප නොකරන ලෙස” ආන්ඩුවෙන් ඉල්ලා සිටි අතර  එය “ආරක්ෂා කර ගැනීම සඳහා සංවිධානය වන ලෙස” කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් මෙම විනාශය සිදු කිරීමට නියෝග දුන් අයිඑම්එෆ් නියෝගවලට එරෙහි ව වචනයක් හෝ කතා කලේ නැත. නිරර්ථක උද්ඝෝෂන ගැන දොඩවන පෙසප, ආන්ඩුවේ කප්පාදු පියවරයන් පරාජය කිරීමේ දැනුවත්, පොදු අරගලයකට කම්කරුවන් සංවිධානය කිරීමට සපුරා එරෙහි ය.

කම්කරුවන්ගේ විශ්‍රාමික අරමුදලෙහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන බලමුලුගැන්වීමක් අවශ්‍ය වේ. එමෙන් ම, එය කම්කරුවන්ගේ  රැකියා, වැටුප්,  සහ සෙසු සමාජ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමේ කම්කරු පන්තියේ පොදු අරගලයක් විය යුතු ය.

ඒ සඳහා වෘත්තීය සමිති සහ සියලු ධනේෂ්වර පක්ෂවලින් ස්වාධීන ව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයේ තෝරා පත් කර ගත් නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරු ක්‍රියාකාරී කමිටු සියලු වැඩ පොලවල්, වතු, කර්මාන්ත ශාලා සහ කම්කරු නිවහන් ප්‍රදේශවල පිහිටුවා ගැනීම අවශ්‍ය වේ.

අනෙකුත් අයිතීන්ට මෙන් ම, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් වලට එල්ල කෙරෙන ප්‍රහාරය ජාත්‍යන්තර ව ක්‍රියාත්මක වන ප්‍රහාරයක කොටසකි. එවන්  ප්‍රහාරයක් පරාජය කල හැක්කේ කම්කරුවන් ගේ අරගල හුදෙකලා කිරීමට විවිධ ධනපති හා ව්‍යාජ වාම පක්ෂවලට අයත් වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍ර දරන උත්සාහයන්ට විරුද්ධ ව ජාතික දේශ සීමා ඉක්මවා එම අරගල  සම්බන්ධීකරනය කල හැකි කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර ජාලයක් ගොඩනැගීම තුලින් පමනි.

විශ්‍රාම වැටුප් අරමුදල් ප්‍රතිව්‍යුහකරනය ඇතුලු අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි අරගලය, ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකි. එය, මහා කම්හල්, බැංකු සහ වතු, කම්කරු පාලනය යටතේ ජනසතු කරන සහ ධනපතියන්  අතලොස්සකගේ අවශ්‍යතා වෙනුවෙන් නොව, අතිමහත් බහුතර ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ජීවිතය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමට කැප වූ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනකි.

.

Loading