ජනාධිපති දිසානායක රෝගීන්ට කොත්තමල්ලි නිර්දේශ කිරීම සහ ආන්ඩුවේ සෞඛ්‍ය සේවා කප්පාදුව ගැඹුරු කිරීමේ වැඩපිලිවෙල

යාපනය රෝහලක රෝගීන්ගෙන් පිරී ගිය වාට්ටුවක වැතිර සිටින රෝගීන්. [ඡායාරූපය: ලෝසවෙඅ]

සැප්තැම්බර් 6 වැනි දා, සිය පදවි ප්‍රාප්තියේ දෙ වර්ෂ පූර්නය සමරමින් ජනාධිපති දිසානායක බේරුවල පැවැත් වූ ප්‍රසිද්ධ රැස්වීමක දී ආන්ඩුව ඉදිරියට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සිදු කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරන සම්බන්ධයෙන් අදහස් දැක්වී ය. ඔහු එහි දී සඳහන් කලේ “හිතුනු හිතුනු වේලාවට රෝහලට පැමිනෙන සංස්කෘතිය වෙනස් කර” පවුලකට ලබා දෙන වෛද්‍යවරයෙකුගේ නිර්දේශ යටතේ පමනක් රෝහල් වෙත යා හැකි ක්‍රමවේදයක් නිර්මානය කරන බවයි. 

ජනාධිපති ගේ ප්‍රකාශය, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩා විඳින ජනයාගේ කෝපයට හේතු විය. එය ප්‍රකාශයට පත්කරමින් ක්ෂනික ව විරෝධය පල කරන සමාජ මාධ්‍ය සටහන් පල විය. තම ආන්ඩුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති කිරීමට යන වෙනස් කම් පිලිබඳව අනෙකුත් රැස්වීම් වල කතා කරන විට ඉහත ආකාරයේ ප්‍රකාශ නොකිරීමට දිසානායක වගබලා ගත්තේ ය. එහෙත්, සැප්තැම්බර් 16 දා සිය නායකයාගේ එම අදහස් දැක්වීම “පැහැදිලි කිරීම” සඳහා යයි සෞඛ්‍ය හා ජන මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මාධ්‍යවලට කල ප්‍රකාශයකින් තහවුරු කෙරුනේ මහජන සෞඛ්‍ය සේවය කප්පාදු කිරීම සඳහා වැඩපිලිවෙල ජනාධිපති කියා සිටි ආකාරයෙන් පෙරට දැමීම අරඹා ඇති බවයි.  

 මහජන සෞඛ්‍ය සේවය ගැනත් එය මත විශ්වාසය තබා සිටින කම්කරු පීඩිත මහජනතාව කෙරෙහිත් තමන්ට පවතින පිලිකුල් සහගත ආකල්පය හෙලිකරමින් සෞඛ්‍ය සේවය කලමනාකරනය කල යුත්තේ ඇයිදැයි දිසානායක බේරුවල රැස්වීමේ දී මෙසේ පැවසිය: 

“දැන් පොලට ආවත් ඉස්පිරිතාලෙට යනවා. හන්දියට ආවත් ඉස්පිරිතාලෙට යනවා. එහෙම යන්න බෑ. අපේ අවුරුද්දකට රෝහල්වලට රාජ්‍ය අංශයෙයි පෞද්ගලික අංශයෙයි ඕපීඩී එකෙන් බේත් ගන්නව මිලියන 80ක්. ජනගහනය මිලියන 22යි. ඒ කියන්නේ එක් කෙනා හත් අට සැරය යනවා,” යැයි ඔහු පැවසී ය.

ජනාධිපතිගේ තර්කය අනුව එක් අයෙකුට වසරකට රෝහලකට යාමට හැක්කේ එක් වරකි! ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව සාමාන්‍යයෙන් ජනගහනය මෙන් හත් අට ගුනයක වාර්ෂික බාහිර රෝගීන් ප්‍රමානයක් වාර්තා වීම සාමාන්‍ය කරුනකි. එ මෙන් ම, එය ජනගහනයට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවතින ප්‍රවේශය පිලිබඳ මිනුමකි. 

දිසානායක චෝදනා කරන ආකාරයට ජනතාව රෝහල්වලට යන්නේ විනෝදාංශයට මෙන් බේත් නාස්ති කිරීමට වන අතර වෛද්‍යවරුන් ද අසනීපයක් ඇති ව හෝ නැති ව මෙ ලෙස පැමිනෙන අයට නාස්ති කිරීමට බේත් ලබා දෙයි. නමුත් යථාර්ථය මෙයට හාත්පසින් ම වෙනස් ය.

ජීවන වියදම් සමග පොර බදමින් සිටින කම්කරුවන්ට නම් විනෝදාංශයට මෙන් ඉස්පිරිතාල ගානේ යාමට කාලයක් නැත. අසාධ්‍ය තත්ත්වයක දී වත් ඇතැම් හාම්පුතුන් කම්කරුවන්ට ඉස්පිරිතාලයකට යාමට නිවාඩු ලබා දෙන්නේ ද නැත. තාවකාලික පදනම් මත සේවය කරන කම්කරුවන්ට එක් දිනක් හෝ නිවාඩු ගත හොත් හිමි වන්නේ දන්ඩනීය වැටුප් කප්පාදුවකි. කොත්තමල්ලි බී නිවසට වී විවේක ගත හැකි ආර්ථික පරිසරයක් අනුප්‍රාප්තික ආන්ඩු කම්කරුවන්ට උරුම කර දී නැත. 

රෝගීන් ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන සායනවල නියමිත රෝගීන් පරීක්ෂා කර අවසන් කිරීමට වෛද්‍ය කාර්ය මන්ඩල කාලය සමග සටනක නිරත වෙයි. රෝගීන්ට නැවතත් බේත් ලබා ගැනීමට නැවතත් පෝලිම්වල සිටීමට සිදු වේ. රජයේ ඖෂධශාලාවල නැති නම් දහස් ගනන් වියදම් කරමින් ඒවා පිටින් මිල දී ගැනීමට සිදු වෙයි.

ජනාධිපති දැන් පවතින තත්වය ගැන තම වහසි බස් දෙඩීම තව දුරටත් ගෙන යමින් ආන්ඩුව ඇති කරන්නට යන වෙනස ගැන ද මෙසේ සඳහන් කලේ ය: “ලෙඩා තමයි තීරනය කරන්නේ කොතැනටද යන්න ඕන කියලා. මොන දොස්තර ද හම්බු වෙන්න ඕන කියලා. [මීට පස්සෙ] හම්බු වෙන්න ඕන කෙනා තීරනය කරන්නේ දොස්තර. ඒකට අපි ලබන අවුරුද්දේ ආරෝග්‍යා මධ්‍යස්ථාන 1000ක් හදන්න සැලසුම් කරල තියෙනවා. ප්‍රාථමික වෛද්‍යවරයා ඉන්නවා එයාගේ නිර්දේශයක් ඇති ව තමයි උඩට යන්න පුලුවන්,” යනුවෙන් දිසානායක පැවසී ය. 

ජනාධිපති දිසානායකගේ කතාව අනුව පැහැදිලි වන්නේ මෙම මධ්‍යස්ථාන සෞඛ්‍ය සේවය සපයන මධ්‍යස්ථාන ලෙස නොව, රටේ සෞඛ්‍ය පද්ධතියට ප්‍රවේශ වීම වලක්වන දොරටු ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි. මින් ඉටු කෙරෙනු ඇත්තේ, සෞඛ්‍ය සේවය තුල තව දුරටත් සිදු කිරීමට නියමිත කප්පාදුවට අවකාශ සලසා දීමයි. ඖෂධ හිඟයන් පියවීමට හෝ නියමිත වෛද්‍ය, හෙද සහ සහයක කාර්ය මන්ඩලවල පුරප්පාඩු පිරවීමට ආන්ඩුවට අවශ්‍යතාවක් නැත. දැනටමත් සෞඛ්‍ය පද්ධතිය රෝහල් සතු ඌන පහසුකම් මත වර්ගීකරනය කෙරී පවතියි.

මේ කොන්දේසි නිසා, නය වී හෝ ඇති දෙයක් විකුනා දමා හෝ පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සඳහා කම්කරු පීඩිත මහජනතාව තල්ලු කර දමනු ඇති අතර එසේ ද නොකල හැකි අයට දිසානායක යෝජනා කරන ආකාරයට තම දිවි පරදුවට තබා අවම, හෝ ගොඩ වෙදකම් වල පිහිට පැතීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාව වසර ගනනාවක් තිස්සේ සෞඛ්‍ය වියදම් දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2ට අඩු ප්‍රමානයක පවත්වා ගෙන යන අතර 2023 වන සෞඛ්‍ය වියදමින් සියයට 54.8ක් දරන්නේ කම්කරු පීඩිත මහජනතාවයි. මෑත ම පුවත් වාර්තාවන්ට අනුව මහරගම අපේක්ෂා පිලිකා රෝහල අත්‍යවශ්‍ය ඔෂධ හිඟයන්ගෙන් දැඩි අර්බුදයකට මුහුන දී සිටියි.

පසුගාමී රටක් වශයෙන් පවතින ශ්‍රී ලංකාවේ මහජනතාව ගොඩ වෙදකම්වලින් මුදා ගෙන විධිමත් සෞඛ්‍ය සේවය වෙත යොමු කර ගැනීමට දශක ගනනාවක් තිස්සේ දියත් කල සියලු මහජන සෞඛ්‍ය අධ්‍යාපනගත කිරීම්වලට යුද ප්‍රකාශ කරමින් ජනාධිපති දිසානායක මෙම මධ්‍යස්ථාන විසින් ඉටු කරනු ඇති ක්‍රියාකලාපය පැහැදිලි කලේ ය: “කොත්තමල්ලි ටිකක් අරගෙන විවේකයෙන් ඉන්න කිවුවොත් ගෙදර ගිහින් විවේකයෙන් ඉන්න. මේ බේත් ගන්න යන්නැතිව. ගෙනාවත් ඔක්කොම බොන්නෙත් නෑනේ. එක වේලයි. දවස් තුනකට දෙනවා නේද. මේක නාස්තියක්. මේක අපරාධයක්.”

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල, අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වූ “ශ්‍රී ලංකා සෞඛ්‍ය හා යහපැවැත්ම පිලිබද ජාතික ප්‍රතිපත්තිය 2026-2035” කෙටුම්පත ලංකාවේ මහජන සෞඛ්‍ය සේවය සඳහා ආන්ඩුවේ මුදල් වෙන් කිරීම කලාපයේ රටවලට පහලින් සියයට 2ටත් අඩුවෙන් පවතින බව ද 2032 වනවිට එය සියයට 2.75 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව ද ලියා ඇත. 2023 දී ලංකාවේ ජනයා තම සෞඛ්‍ය වියදම් වලින් සියයට 54.8ක් ම වැය කරන්නේ පුද්ගලික අංශයෙන් වෛද්‍ය උපදෙස්, රෝග පරීක්ෂාව සහ බෙහෙත් මිලදී ගැනීමට බව වාර්තාව සඳහන් කර සිටි. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ “ජාතික ප්‍රතිපත්තිය” මූලික ව යොමු කර ඇත්තේ පුද්ගලික අංශය තහවුරු කිරීමටයි.  

දිසානායක බේරුවල දී මහජනයා පාච්චල් කරමින් ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙම ප්‍රතිපත්තියයි. එය ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) නියම කර ඇති රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. ජාමුඅ සමස්ත මුල්‍ය අරමුන ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ “නයෙහි තිරසාර බව පවත්වා ගැනීම සඳහා” මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමයි. මහජන සෞඛ්‍ය වියදම් ද ඇතුලු ව ආන්ඩුවේ වියදම ආදායම් ලබා ගැනීම, වියදම් පාලනය සහ මූල්‍ය විනය තහවුරු කිරීමේ රාමුව යටතට ගැනෙයි.  

මහජන සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිපත්තිය මෙයයි. එයට ප්‍රමුඛතා ඇත. මහ ධනපතියන්ට ලාභ ගැරීමට අයිඑම්එෆ් ප්‍රතිව්‍යූහකරන ක්‍රියාවට දැමිය යුතු ය; විදේශ නය ගෙවීම කඩිනමින් ආරම්භ කල යුතු ය. මහජනතාවගේ නිදහස් සෞඛය සේවයට මුදල් වෙන් කිරීම නාස්තියකි; අපරාධයකි. 

තම කතාවේ දී රෝහල්වලට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට තමන් නොපමාව සූදානම් සෙයක් මවා පෑමේ උත්සහයක ද දිසානායක නිරත විය. “ලබන වසරේ අයවැයෙන් අවශ්‍ය කැතී ලැබ් සියල්ල ම එකවර ලබා දෙන්නේ” යැයි ඔහු කීය. මේ කැත් ලැබ් (හෘද කැතීටකරන රසායනාගාර) ලබා දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ජපාන ජාත්‍යන්තර ආධාර නය මගින් බව ඔහු සඳහන් කලේ නැත. ආන්ඩුවේ රෝහල් සේවය ගාස්තු අයකර සැපයීම ක්‍රියාත්මක කිරීම වැඩි ඈතක නොවේ. 

දිසානායක විපක්ෂයේ සිටිය දී ද සෞඛ්‍ය සේවයේ කප්පාදු වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදුනේ ය. ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව පැවතිය දී 2020 කෝවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය පැන නැගි විට දී ආන්ඩුවේ සීමිත පීසීආර් පරීක්ෂන පවා විවේචනය කරමින් දිසානායක පැවසුවේ අරමුදල් නොමැති ලංකාව සමාජ දුරස්ථකරනය වැනි පියවරවලට සීමා ගත විය යුතු බවයි.

ධනපති පන්තිය මුහුන දී තිබූ මූල්‍ය අර්බුදය සහ එය මහජනතාව මත පැටවීම ආදි කර්තව්‍යයන් සම්බන්ධයෙන් දිසානායක ඔප්පු කර තිබූ සංවේදීතාව හේතුවෙන් ජවිපෙට සෙසු ධනේශ්වර පක්ෂ අපකීර්තියට පත් ව තිබූ පසුබිමක දී කොලඹ ධනේශ්වර රාජ්‍ය 2024 දී භාර දෙන ලදි. 

ජනාධිපතිවරන සමයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වා දුන්නේ ජනාධිපති කටේ දෙ කොනකින් කතා කරන බවයි. මහජන විරෝධය තම මැතිවරන උදෙසා ගසා කෑමට ජනතාවාදී වාචාල කමේ යෙදෙන අතර ම රටේ ඉහල පෙලේ ව්‍යාපාරිකයන්, තානාපතීන් සහ මූල්‍ය අරමුදල ඉදිරියේ තම සැබෑ අභිලාෂයන් ඒවා නොව මහ ව්‍යාපාර ගැති පිලිවෙත් බව ඔප්පු කිරීමක ඔහු යෙදුනේ ය.

අර්බුදයක් නිර්මානය වී ඇත්තේ ගැඹුරු කරන සෞඛ්‍ය කප්පාදුව නිසා මිස මහජනතාව නිස්කාරනේ රෝහල්වලට ගොස් ඖෂධ නාස්ති කරන නිසා නොවේ. නිදහස් සෞඛ්‍ය සේවයට තීරනාත්මක ලෙස මුදල් වෙන් කිරීමේ මූලික පියවරෙන් තොර ව මේ අර්බුදය ජය ගත නොහැකි ය.

කප්පාදු පිලිවෙත්වලට විරුද්ධව දිගින් දිගට ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පන්ති සටන් පුපුරා ගොස් ඇත. නමුත් මේ අරගල දිගින් දිගට ම වෘත්තීය සමිති නායකයෝ ආන්ඩුවට බලපෑම් දැමීමේ සීමාව තුල සිර කර ගෙන සිටින්නේ සෞඛ්‍ය සේවකයන්ට එරෙහි ව ආන්ඩුව මර්දනයට තර්ජනය කරද්දී ය. මෑතක් වනතුරු ම, සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා නියෝග යටතට පමුනුවා පන්ති අරගල තහනම් කර තිබුනි. 

නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගත හැක්කේ සෞඛ්‍ය සේවකයන් ඇතුලු ඉන් ප්‍රතිලාභ ලබන සමස්ත කම්කරු පන්තිය එය ආරක්ෂා කර ගැනීමට ඒකාබද්ධ අරගලයක් දියත් කිරීමෙනි. මේ අරගලය ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදුවත් මර්දන පියවරවලටත් එරෙහි සමස්ත ධනපති ක්‍රමයට ම එරෙහි දේශපාලන අරගලයක රූපය ගැනීම නොවැලැක්විය හැකි ය. එබඳු අරගලයක් සඳහා ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්න.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙලක් ගෙන යන ජවිපෙ/ජාජබ ආන්ඩුව පසුගිය වසර දෙක පුරාවට ම එම පිලිවෙත් ක්‍රියාවට දැමීමට කැප වුනු අතර එහි අනාගත ඉලක්කය වන්නේ ද එම වැඩපිලිවෙල ඉදිරියට ගෙන ගොස් ලබන වසරේ සිට නැවතත් විදේශ නය ගෙවීම ආරම්භ කිරීමයි. 

ජනාධිපති දිසානායක සෞඛ්‍ය සේවයේ පරිහානියට මහජනයා වගකිව යුතු බවට කල ප්‍රසිද්ධ ප්‍රකාශ අනතුරු අඟවා ඇත්තේ, කම්කරු පන්තිය නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට හා වර්ධනය කිරීමේ අරගලයේ මූලිකත්වය ගැනීමේ හදිසි භාවයයි.

වැඩිදුර කියවන්න

Loading