නොවැම්බර් 10 දා දහවල් රට පුරා රෝහල්වලින් කොලඹට පැමිනි 2,500කට අධික රජයේ වෛද්‍යවරු, ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පෙලපාලියකින් පැමින විරෝධතාවයක නියැලුනාහ. වෛද්‍ය හිඟය, දීමනා ඇතුලු වැටුප් කප්පාදුව, රෝහල්වල ඖෂධ හිඟය, වෛද්‍යවරුන් මත පැටවී ඇති අධික වැඩ බර සම්බන්ධයෙන් සහ මර්දනකාරී අනපනත්වලට විරෝධය දක්වන සටන් පාඨ කියමින් සහ ඒවා ලියැවුනු පුවරු ප්‍රදර්ශනය කරමින් වෛද්‍යවරු පෙලපාලියේ ගමන් කලහ.
සටන් පාඨ පුවරුවල මෙසේ සඳහන් විය: “ආර්ථික අසාධාරනයට, වෛද්‍ය හිඟයට, දීමනා කප්පාදුවට සහ මර්දන අනත්පනත්වලට එරෙහි ව නැඟී සිටිමු”, “වෛද්‍යවරුන්ගේ නේවාසික පහසුකම් කඩිනමින් සංවර්ධනය කරනු”, “චක්‍රලේඛනයෙන් හිමි ප්‍රවාහන පහසුකම් ලබා දෙනු”, “බුද්ධිමය ශ්‍රමය සුරාකෑම නවතනු”, “නිවාඩු දින දීමනාවෙන් කප්පාදු කල තුනෙන් එක වහා ලබා දෙනු”, “DAT e දීමනාව යාවත්කාලීන කරනු.”
“රෝහල් ටික පන අදිනවා බේරගන්න ඕන නැද්ද - රෝහල්වල බෙහෙත් හිඟයි වාට්ටුවේ ඇඳන් හිඟයි”, “සායනයේ තදබදයට - හුස්ම ගන්න ඉඩකුත් නෑ”, “වැඩ කන්දක් ගොඩ ගැහිලා - පඩි කපලා බදු ගහලා”, “ක්වාටස් නෑ වැසිකිලි නෑ - වාට්ටුවේ ඇඳකුත් නෑ”, “දොස්තර නෑ බෙහෙතුත් නෑ - සුව සේවය නිදහස් නෑ”, “මර්දනයෙන් භීෂනයෙන් - අප නවතනු සිතනු එපා” යන සටන් පාඨ හඬ නැඟූ ඔවුහු පෙලපාලියෙන් පසු අඩ හෝරාවක් පමන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනාහ.
පසුගිය කාලයේ සෞඛ්‍ය සේවයේ සිදු වූ දැවැන්ත කප්පාදු හමුවේ කෝපයට පත් ව සිටින තම සාමාජිකයින් සීමිත ප්‍රමානයක් කැඳවා මෙම සීමිත විරෝධතාවය සංවිධානය කර තිබුනේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (ජීඑම්ඕඒ) විසිනි. නිලධාරීන්ට අනුව, විරෝධතාව කැඳවීමට ප්‍රධාන හේතුව , 2027 අයවැයේ දී සංගමය විසින් ඉදිරිපත් කල යෝජනාවලිය ඉටු කර ගැනීමට ආන්ඩුව සමග සාකච්ඡාවක් ඉල්ලූ නමුත් එය නොලැබීමයි.
විරෝධතාවයේ යෙදුනු අය අමතා සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ නැවත නැවතත් ලිපි ලියා ආන්ඩුවෙන් සාකච්ඡාවක් ඉල්ලූ නමුත්, තවමත් පලක් වී නැති බවයි. ඔහු තව දුරටත් පැවසුවේ “නොවැම්බර් මාසේ 12 අයවැයේ දී තම ඉල්ලීම්වලට තැනක් ලැබේ යැයි කියා බලාපොරොත්තු වන බවයි. අනතුරු ව ඔහු පුහු ගර්ජනාවක යෙදුනේ මෙසේ ය: “ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන්නොත්, මතක තියා ගන්න, නොවැම්බර් 12න් පස්සෙ අපි ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට එනවා, ජනාධිපතිතුමා ලෑස්ති වෙලා ඉන්න.” සංගමයේ ලේකම් වන වෛද්‍ය බන්ඩාර වරකාගොඩ පැවසුවේ, “සටන සදාකාලික ව ඉදිරියට ගෙන යන” බවයි.
ජීඑම්ඕඒ නිලධාරීන් කීප දෙනෙක් ම කතා කලද එක් අයෙකු වත්, වෛද්‍ය වෘත්තිකයන්ගේ අයිතීන් ද ඇතුලු ව ආන්ඩුව සෞඛ්‍ය සේවය තුල ගෙන යන කප්පාදුවේ සැබෑ මූලයන් ගැන හෝ එම කප්පාදුව ගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) පනවා ඇති නියෝග ආන්ඩුව විසින් ක්‍රියාත්මක කිරීම ගැන හෝ කිසිදු සඳහනක් නො කලහ. ඊට හේතුව, ආන්ඩුව මෙන් ම, ජීඑම්ඕඒ නායකයෝ ද, ධනපති ආර්ථිකය “අර්බුදයෙන් ගොඩ ගැනීම” සඳහා අයිඑම්එෆ් නියෝග ක්‍රියාවට දැමීමට අවශ්‍යයයි පිලිගෙන සිටීමයි.
වෘත්තිකයන්ගේ සංගමයේ කොටස්කරුවන් ලෙස, ජීඑම්ඕඒ නායකන් ද අයිඑම්එෆ් ලංකාවේ නියෝජිත පිරිසේ නායක පීටර් බෘවර් කොලඹට පැමිනෙන අවස්ථාවල ඔහු හමුවීමට බඩගෑ අවස්ථා එමට ය. අයිඑම්එෆ් නියෝජිත පිරිසටවත් එහි ඒජන්ත ජනාධිපති අනුර කුමාර දිසානායක ආන්ඩුවට වත් කන්නලවු කර කම්කරු පන්තියට හෝ වෘත්තිකයන්ට තම කිසිදු අයිතියක් දිනාගත නොහැක.
සමිති නිලධාරීන් ක්‍රියා කරන්නේ ධනපති ආන්ඩුවේ හා අයිඑම්එෆ් ඒජන්තයන් ලෙස ය යන්න ජීඑම්ඕඒ සාමාජිකයන් ඇතුලු සියලු වෘත්තිකයන් අවබෝධකර ගැනීම අවශ්‍ය ය. වෘත්තිකයන් කම්කරු පන්තියෙන් වෙන් කෙරුනු, මධ්‍යම පන්තික හා විශේෂ වරප්‍රසාද ලබන හා ලැබිය යුතු කොටසක් ලෙස සැලකුනේ නම්-ධනපති ආන්ඩු හා වෘත්තීය සමිති නිලධරය හිතාමතා ම මේ මතය පෝෂනය කලහ-දැන් ධනපති අර්බුදය තුල පෙන්නුම් කෙරී ඇත්තේ, ඔවුන්ගේ අයිතීන් රැක ගැනීම පලල් කම්කරු පන්තියේ අයිතීන් දිනා ගැනීම සමග බැඳී තිබෙන බවයි.
සංගමයේ විරෝධතාව පැවති දිනයේ ම, කැබිනට් තීරන දැනුම් දීමේ රැස්වීමේ දී අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ, එම විරෝධතාව වැඩකට නැති සංදර්ශනයක් බවත්, ආන්ඩුව සෞඛ්‍ය සේවය නැංවීමට විශාල මුදලක් වැය කරමින් කැපවීමෙන් කටයුතු කරන බවත් ය. ඇමතිගේ කතාව ටොම් පචයක් බව වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මන්ඩල පමනක් නොව රෝගීන් ඇතුලු මහජනතාව ද අත්දැකීමෙන් දනිති.
විරෝධතා දිනයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෙකු සමග කතාකල වෛද්‍යවරුන් ගනනාවක් ම පැවසුවේ කොච්චර බලපෑම් දැම්මත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මුලුමනින්ම ක්‍රියාවට දමන ආන්ඩුවෙන්, වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට හෝ මහජනතාවට නිදහස් සෞඛ්‍ය සේවයේ ඉතිරියවත් පවත්වා ගෙන යාම බලාපොරොත්තු විය නොහැකි බවයි. විරෝධතාවයට පැමිනියේ මෙ වැනි සටන් තුලින් අපේ ඉල්ලීම් ඉටු නොවන බව දැන දැන ම වුනත් ප්‍රශ්න ඉවසා ගත නොහැකි නිසා බව ඔවුහු පැවසූහ.
වෛද්‍යවරුන් මෙම පිලිගැනීමෙන් එහාට යා යුතු බව පැහැදිලි කර ගැනීම අවශ්‍යය ය. ආන්ඩුව රෝහල් සහ රසායනාගාර සේවා ඇතුලු සෞඛ්‍ය සමග අනුබද්ධිත සියලු අංශවලට පුද්ගලික අංශය කඩා වැදීම වේගවත් කරමින්, කම්කරු පන්තියේ අරගලවලින් දිනා ගත් නිදහස් සෞඛ්‍ය සේවයේ ඉතිරිපහදු අතුගා දැමීමේ ප්‍රහාරය වේගවත් කර ඇත. ආන්ඩුව සම්පුර්න කරමින් සිටින්නේ පසුගිය දශක හතර පුරා ගෙන ගිය කප්පාදුවයි.
ලෝක අර්බුදය මධ්‍යයේ, ධනපති සංගතවල ලාභ තර කිරීමට හා ලෝක ආධිපත්‍ය සඳහා යුද්ධවලට එලඹී සිටින අධිරාජ්‍යවාදී ආන්ඩු මහජන වියදම් කපන තතු යටතේ සෞඛ්‍ය සේවකයන් එම රටවල ද අරගල අරඹා ඇත. අනෙකුත් අඩු දියුනු රටවල ද සිදු වන්නේ ද මේ කප්පාදුවයි.
සෞඛ්‍ය සේවය සඳහා දැවැන්ත මුදල් වෙන් කිරීම ඇතුලු අවශ්‍යතා වලට ධනපති ක්‍රමය තුල විසඳුම් සොයා ගත නොහැක. නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපන අයිතිය රැක ගැනීම, රැකියා, වැටුප් ඇතුලු ජීවන කොන්දේසි රැක ගැනීමේ පුලුල් අරගලය සමග බැඳී ඇත. අතලොස්සකගේ ලාභය සඳහා නොව සමාජයේ අවශ්‍යතා සැපිරීම සඳහා නිෂ්පාදනය ප්‍රතිසංවිධානය කිරීම කල හැක්කේ කම්කරු පාලනය යටතේ, බැංකු, විශාල වතු සමාගම්, විශාල ව්‍යාපාර ජනසතු කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමෙනි.
සෞඛ්‍ය සේවය රැක ගැනීම සඳහා අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමට නම්, අනෙකුත් සෞඛ්‍ය සේවකයන් මෙන් ම වෛද්‍යවරුන් ද තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා අරගලය තමන් අතට ගැනීම අවශ්‍ය ය. නිමක් නැති විරෝධතාවල කල් මැරීම වෙනුවට මෙම මූලිකත්වය ගැනීමට වෛද්‍යවරුන් හා සියලු වෘත්තිකයන් ද පෙරමුන ගත යුතු ය. විරෝධතා හා උද්ඝෝෂන සංවිධානය විය යුත්තේ, ආන්ඩුවලට බලපෑම් දැමීමේ නිෂ්ඵල ක්‍රියාවන් සඳහා නොව, අයිතීන් දිනා ගැනීමට සැබෑ අරගලයක් දියත් කිරීම සඳහා සමස්ත කම්කරු පන්තිය සමග එක් වීමට ය; ජාත්‍යන්තර සටන් සගයන් සමග එක් වීමට ය.
වැඩිදුර කියවන්න
- 2027 වසර සඳහා කප්පාදු සහිත අයවැයක් ඉදිරිපත් කරන බවට ශ්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වෙයි
- ජනාධිපති දිසානායක රෝගීන්ට කොත්තමල්ලි නිර්දේශ කිරීම සහ ආන්ඩුවේ සෞඛ්‍ය සේවා කප්පාදුව ගැඹුරු කිරීමේ වැඩපිලිවෙල
- සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ ඔන්ලයින් රැස්වීම නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සමාජවාදී මූලෝපායක් ඉදිරිපත් කරයි
- විශ්වවිද්‍යාල ආචාර්යවරු දහස් ගනනක් වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් වැඩවර්ජනය කරති
