Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

පැබ්ලෝවාදී අවස්ථාවාදය

12-1 පශ්චාත් යුදකාලීන ස්ථායීකරනය විසින් ජනනය කරනු ලැබ බීඑල්පීඅයි දිය කිරීම තුල ප‍්‍රකාශයට පත්වූ ධනවාදයේ දේශපාලන පීඩනයෝ පැබ්ලෝ හා මැන්ඩෙල් විසින් නායකත්වය දෙනු ලැබූ සංශෝධනවාදී ධාරාවක් පැනනැගීම ලෙසින් හතර වන ජාත්‍යන්තරය තුල ප‍්‍රකාශනය අත්කර ගත්තාහ. මයිකල් පැබ්ලෝ විසින් ස්ටැලින්වාදයේ ප‍්‍රතිවිප්ලවවාදී ස්වභාවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ තක්සේරුව අතහැර දමනු ලැබීමෙන් ආරම්භ වූ මෙම ප‍්‍රවනතාව, සෑම රටකම කම්කරු ව්‍යාපාරය තුල ක‍්‍රියාත්මක වන ධනේශ්වරයේ ඒජන්සි තුලට හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවන් තොග ගනනේ දියකර හැරීම මගින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය විස්ථාපනය කරමින්, මාක්ස්වාදයේ සියලූම මූලධර්ම සංශෝධනය කිරීමක් වැලඳගැනීම කරා ඉදිරියට ගියේ ය.

12-2 නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් විසින් පාලිත ඊනියා බෆර් රාජ්‍යයන් තුල කර්මාන්ත ජනසතු කිරීම ද නිලධාරිවාදී රාජ්‍ය සැලසුම් ද 1948 දී ආරම්භ වූ කල්හි හතර වන ජාත්‍යන්තරය, එම ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍ර “විකෘත කම්කරු රාජ්‍ය” යයි විලක්ෂණය කිරීමට පියවර ගත්තේ ඉතා සුපරීක්ෂාකාරී සාකච්ඡාවකින් පසුව ය. කම්කරු පන්ති විප්ලවයකින් උපන් සෝවියට් සංගමය මෙන් නොව, මෙම රාජ්‍ය උපතින්ම”විකෘත” ඒවා විය. දේපල සම්බන්ධතාවයන්ගේ වෙනස ජනිත වූයේ කම්කරු පන්ති බලයේ මහාජන සංවිධානයක්, බොල්ශෙවික් වර්ගයේ පක්ෂයක්, විසින් නායකත්වය දෙන ලද සෝවියට් සභා, තුලින් නො වේ. එම දේපල සබඳතා උඩින් අටවන ලද්දේ, කම්කරු පන්තියේ සියලු ස්වාධීන ක‍්‍රියාකාරකම් පාගා දැමූ ස්ටැලින්වාදී පක්ෂ විසිනි. එපමනක් නො ව හතර වන ජාත්‍යන්තරය පැහැදිලි කල පරිදි: “ලෝක දෘෂ්ටියෙන් සලකා බලන කල්හි, සෝවියට් නිලධරය, බෆර් කලාපය සෝවියට් රුසියානු සමූහාන්ඩුවට උකහා ගැනීමේ අරුතින් තමන් සාක්ෂාත් කරගත් ප‍්‍රතිසංස්කරනත්, එකී නිලධරය ම බෆර් කලාපය තුල තම කටයුතු මගින් ලෝක නිර්ධන පන්තියේ විඥානයට එල්ල කල ප‍්‍රහාරයනුත් තුලනාත්මකව සසඳා බලන කල්හි, පෙර කී ප‍්‍රතිසංස්කරන නොතැකිය යුතු වන තරම්ම බරින් අඩු වෙයි.” [22]

12-3 පසුව පැහැදිලි කල පරිදි “විකෘත යන වචනය යෙදීමේ හේතුවෙන්, 1917 ඔක්තෝබරයෙහි ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීම හා 1940 ගනන්වල අවසාන භාගයේ නැගෙනහිර යුරෝපයෙහි ඇතිවූ පෙරලා දැමීම් අතර පවතින තීරනාත්මක ඓතිහාසික වෙනස මත කේන්ද්‍රීය අවධානය යෙදවෙයිඃ එනම්, නිර්ධන පන්තික බලය පිලිබඳ මහජන සංවිධාන හා බොල්ශෙවික් වර්ගයේ පක්ෂයක් විසින් නායකත්වය දෙනු ලැබු සෝවියට් සභා නොමැති වීමයි. තව ද එම වචනයෙන් සැක කටයුතු ඓතිහාසික පැවැත්මක් සහිත වූ ද එසේම - දේශපාලනික හා ආර්ථික යන - සෑම ක්ෂේත‍්‍රයක ම කටයුතුවල දී, තම සම්භවයේ විකෘත හා අසාමාන්‍ය ස්වභාවයේ මුද්‍රාව දරන්නා වූ ද රාජ්‍ය තන්ත‍්‍රයන්ගේ හුදු තාවකාලික වූ පැවැත්මක් ඇඟවෙයි. මේ අනුව, විකෘත යන හැඳින්වීම, එබඳු රාජ්‍ය නව ඓතිහාසික දර්ශන පථයන් මගින් සරසාලනු වෙනුවට, අභිමානවත්ව ඇඟිල්ල දිගුකරන්නේඓතිහාසික බංකොලොත්කම අවධාරනය කරමින් නිර්ව්‍යාජ මාක්ස්වාදී නායකත්වයක් ගොඩනැංවීමේ, පාලක නිලධරයට විරුද්ධව දේශපාලන විප්ලවයක් මගින් නිර්ධන පන්තිය බලමුලු ගැන්වීමේ, නිර්ධන පන්තික බලයේ නිර්ව්‍යාජ බල සංස්ථා ගොඩනැංවීමේ, රාජ්‍ය සැකසුම හා ආර්ථිකය තුල පැරනි ධනේශ්වර සම්බන්ධතාවන්හි අපමන නෂ්ඨාවශේෂයන් විනාශ කර දැමීමේ, අවශ්‍යතාවටය.[23] කෙසේ වුව ද පැබ්ලෝ, 1949 තරම් නුදුරේ දී ම සංක‍්‍රමනය ස්වභාවයක් ගත් තන්ත‍්‍රයන් පිලිබඳ යාවකාලීන ගුනාංගීකරනය, ස්ටැලින්වාදයට ඓතිහාසිකව ප‍්‍රගතිශීලී ක‍්‍රියාකලාපයක් ආරූඪ කලාවූ “සියවස් ගනනක්” පවත්නා “විකෘත කම්කරු රාජ්‍යයන්” පිලිබඳ දිගු කාලීන ඉදිරිදර්ශනයක් බවට පත් කලේය. සීතල යුද්ධයේ ආකෘතියට අනුගත වෙමින් පැබ්ලෝ ධනවාදයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලය වෙනුවට “ධනේශ්වර පර්යාය හා ස්ටැලින්වාදී ලෝකය ලෙස අවශ්‍යයෙන්ම සැදුම්ලත්” නව “වෛෂයික යථාර්තයක්,” ආදේශ කලේය.

12-4 මෙම නව යථාර්තය කම්කරු පන්තියේ හා හතරවන ජාත්‍යන්තරයේ කුමන හෝ ස්වාධීන ක‍්‍රියාකලාපයක් බැහැර කලේය. 1951 පැවති තුන්වන ලෝක සමුලුවේදී පැබ්ලෝ මෙසේ ප‍්‍රකාශ කරමින් ඔහුගේ න්‍යායන්හි දියකරහැරීමේ ඇඟවුම් ගෙනහැර පෑවේය. “අප අතීතයෙන් වඩාත් වෙනස්ව පෙනෙනුයේ අද දින අපගේ ව්‍යාපාරයේ ගුනය ජනිත වනුයේ අපගේ අනාගත ජයග‍්‍රහනවල ස්ථිරම මිම්ම සමන්විත වනුයේ මහජන ව්‍යාපරය එය පවතින හැටියෙන්- එනම් බොහෝ විට ව්‍යාකූල බොහෝ විට ද්‍රෝහී අවස්ථාවාදී මාධ්‍යමික නිලධාරිවාදී හා ඇතැම් විට ධනේශ්වර හා සුලූ ධනේශ්වර නායකත්වයන් යටතේ පවා- අවබෝධ කර ගැනුමට හා අගය කිරීම ට අපට පවතින වඩෙන ශක්තිය හා එම මහජන ව්‍යාපාරය දැන් පවතින මට්ටමෙන් වඩා ඉහල මට්ටම්වලට ඔසවා ලීමේ අරමුනෙන් එම ව්‍යාපාරය තුල අපගේ තැන සොයා ගැනුමට අප දරන ප‍්‍රයත්නයන් හේතුකොට ගෙනය.” [24]

12-5 ලතින් ඇමරිකාව සම්බන්ධයෙන් ගතහොත් පැබ්ලෝ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කුමන නායකත්වයක් යටතේ හෝ පැවති අධිරාජ්‍ය විරෝධී සහ ධනවාද විරෝධී මහාජන ව්‍යාපාරයන් තුලට, ඒවායේ නායකත්වයන්ගේ පන්ති ස්වාභාවය නොතකා, දිය කර හැරිය යුතු යයි කියා සිටියේ ය. මෙම ව්‍යාපාර “ගසා බසා දමා ප‍්‍රතික්ෂේප කිරීම, ඒවා ප‍්‍රතිගාමී, ෆැසිස්ට්වාදී, නැතහොත් අපට නොවැදගත්, ව්‍යාපාරය යයි ලේබල් ගැසීම, පැරනි ආකාරයේ ට්‍රොට්ස්කිවාදී අපරිනත භාවයට, මහජන ව්‍යාපාරය පිලිබඳව වියුක්ත බුද්ධිවාදී විනිශ්චයකට නිදර්ශන වන්නේ ය... දකුනු අප‍්‍රිකාවේ, ඊජිප්තුවේ, උතුරු අප‍්‍රිකානු කොලනිවල, මෑත පෙරදිග රටවල බඳු වෙනත් තන්හි අනුෂාංගිකව විප්ලවවාදී පක්ෂය ගොඩනැංවීම, දැන් ගන්නේ, ජාතික අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමේ හා එම ව්‍යාපාරයට ඒකාබද්ධ වීමේ මාවත යයි අපට වැටහේ.”[25] මෙම දිශානතිය නියෝජනය කලේ ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කිරීමක් ද පසුගාමී ධනපති රටවල් තුල ධනේශ්වර සහ සුලූ ධනේශ්වර නායකත්වයන්ගෙන් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය දිනාගැනීම සඳහා අරගලය මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කිරීමක් ද වේ. මෙම ක‍්‍රියාමාර්ගයේ ගම්‍යයන් මේ වන විටත් ලංකාවේදී හා ඉන්දියාවේදී පැහැදිලි ව තිබුනි: පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා “පොතේගුරුවාදී, වියුක්ත, බුද්ධිවාදී” යයි ඔවුන් විසින් ගරහන ලද බීඑල්පීඅයිහි පැරනි ට්‍රොට්ස්කිවාදයට එරෙහි ව පැබ්ලෝ හා සමාන තර්ක ඉදිරිපත් කරමින් බන්ඩාරනායකට අනුගත වීම සඳහා යුක්ති ප‍්‍රතිපාදනයේ යෙදී සිටියෝ ය.

12-6 බීඑල්පීඅයි ඉන්දියාවේ සමාජවාදී පක්ෂයට ඇතුලු විය යුතු නැතැ යි 1948 දී පැබ්ලෝ අවවාද කර තිබුනි. කෙසේවෙතත්, 1952 පෙබරවාරි වන විට, ඔහු විශේෂ වර්ගයක ඇතුලුවීමේ වාදයක් ජාත්‍යන්තර ව සෑම රටක ම කි‍්‍රයාවට දැමිය යුතු ව ඇතැයි කියා සිටියේ ය. ඉන්දියාවේ දී මෙන් ම, ඇතුලුවීම දැන් තවදුරටත් තාවකාලික උපායාත්මක පියවරක් වූයේ නැත. දීර්ඝකාලීන ඉදිරිදර්ශනයක් විය. එය යුක්ති සහගත කරන ලද්දේ ඕනෑම අනාගත රැඩිකලීකරනයක් ප‍්‍රකාශිත වනු ඇත්තේ, පවත්නා කම්කරු සංවිධාන තුලින් ය යන උපකල්පනය තුලිනි. ඉන්දියාව සම්බන්ධයෙන් ගතහොත් මෙම විශේෂිත වර්ගයේ ඇතුලුවීම් වාදය, ඒ වන විටත් හිටපු බීඑල්පීඅයි නායකයින් අධෛර්යමත් කොට වියවුල් කොට තිබුනි. ඔවුහු ට්‍රොට්ස්කිවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා කුමන වර්ගයක හෝ අරගලයක් තහනම් කරන ලද සංවිධානයක් තුලට හිර වී සිටියෝය. මෙම අවස්ථාවාදී උපාය ජාත්‍යන්තරව යොදා ගැනීමේ ප‍්‍රතිඵලය වූයේ හතර වන ජාත්‍යන්තරයේ තව තවත් ශාඛා විනාශ වී යාම යි.

12-7 පැබ්ලෝවාදී අවස්ථාවාදයේ න්‍යායික පදනම වූයේ වෛෂයිකවාදී විධික‍්‍රමය යි. පසුකලෙක පැහැදිලි කරන ලද පරිදි “වෛෂයිකවාදයේ ආස්ථානය, විප්ලවීය ප‍්‍රායෝගික භාවිතයට වඩා සමපේක්ෂනයයි: අරගලයට වඩා නිරීක්ෂනයයි. එය කල යුතු දේ විස්තර කරනවාට වඩා සිදුවන දේ යුක්ති සහගත කරයි. බලය අල්ලාගෙන ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමට අදිටන් කරගත් පක්ෂයක ප‍්‍රායෝගික භාවිතයට මග පෙන්වන න්‍යායක් ලෙස තවදුරටත් ට්‍රොට්ස්කිවාදය දකිනු වෙනුවට, ඊට වඩා, හතරවන ජාත්‍යන්තරයට සතුරු නිර්ධන පන්තික නොවන බලවේගවල නායකත්වය යටතේ අවසන් වශයෙන් සමාජවාදය සාක්ෂාත් කර ගැනෙන ඓතිහාසික ප‍්‍රවර්තනයක් පිලිබඳව සාමාන්‍ය නිර්වචනය කිරීමක් ලෙස ට්‍රොට්ස්කිවාදය ගනන් ගනු ලබන ඉදිරිදර්ශනයකට මෙම විධික‍්‍රමයෙන් න්‍යායික පදනම සම්පාදනය කෙරුනි. සිදුවීම් දාමයෙහි කිසියම් සෘජු කාර්යභාරයක් ඉෂ්ඨ කිරීම සම්බන්ධයෙන් ට්‍රොට්ස්කිවාදයට සම්මාන කල යුතුවී නම්, ඒ හුදෙක් ස්ටැලින්වාදීන්ගේත්, අර්ධ ස්ටැලින්වාදීන්ගේත් නිසැකව ම ඊට අතිරේකව ඒ හෝ මේ වර්ගයේ සුලු ධනේශ්වර ජාතිකවාදීන්ගේත් කටයුතු අවිඥානකව හසුරුවන කිසියම් ආකාරයක උප විඥානගත මානසික සන්තතියක් හැටියට පමනි.” [26]

12-8 මෙම වෛෂයිකවාදී විධික‍්‍රමය මගින් නො නවතින විප්ලව න්‍යාය, හතර වන ජාත්‍යන්තරයේ ශාඛාවන් සඳහා විප්ලවවාදී ක‍්‍රියාවට මගපෙන්වීම වෙනුවට, වෙනත් පක්ෂ සහ වෙනත් නායකත්වයන්ගේ මාධ්‍ය හරහා ඉබේ ක‍්‍රියාත්මක වූ අනිවාරනීය ඓතිහාසික සන්තතියක බාහිර විස්තරය බවට පරිවර්තනය කරන ලදි. කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනැගීමේ මාර්ගය සම්පාදනය කරනු වෙනුවට පැබ්ලෝවාදීහු, නො නවතින විප්ලව න්‍යාය ධනේශ්වර සහ සුලු ධනේශ්වර පක්ෂ උත්කර්ෂයට නැංවීමේ ක‍්‍රමයක් බවට පරිවර්තනය කලහ.

12-9 පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි අරගලය කූටප‍්‍රාප්ත වූයේ 1953 නොවැම්බර් 16 දා ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායකයා වූ ජේම්ස් පී. කැනන් විසින් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එවන ලද විවෘත ලිපියෙනි. මෙම විවෘත ලිපිය ලෝකයේ සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීන් ඒකරාශී කිරීමේ ලක්ෂ්‍යයක් වූ අතර එය බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රන්ස ශාඛාවන්ගේ සහායෙන් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට දොර හැර දුනි. මෙම ලියුම ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම මෙසේ සාරාංශ කලේ ය:

1. ධනේශ්වර ක‍්‍රමයේ මරලතෝනිය, එන්ට එන්ටම දරුනු වන අවපාත, ලෝක යුද්ධ හා ෆැසිස්ට් වාදය බඳු ම්ලේච්ච ප‍්‍රපංච මගින් ශිෂ්ඨාචාරය විනාශවී යාමේ තර්ජනය ඉස්මතු කරයි. අද දින න්‍යෂ්ටික ආයුධවල වර්ධනය හැකි බැරෑරුම් ම ආකාරයට මෙම අන්තරාය අවධාරනය කරයි.

2. අගාධයට කිඳා බැසීම වැලැක්විය හැකි වනුයේ, සමාජවාදයේ සැලසුම්ගත ආර්ථිකයෙන් ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව විස්ථාපනය කිරීමෙන් හා, ධනේශ්වර ක‍්‍රමය විසින් එහි මුල් දිනවල ආරම්භ කෙරුනු ප‍්‍රගතියේ සර්පිලාකාර ගමන යලි පටන් ගැනීමෙනි.

3. සමාජයෙහි මෙය සාක්ෂාත් කර ගත හැකි වනුයේ, කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනි. කම්කරුවන්ට බලයේ මාවත ගැනුම සඳහා, අද තරම් අන් කිසිදාක සමාජ බලවේගවල ලෝක සම්බන්ධතාව යහපත් නොවූවත්, කම්කරු පන්තිය ම නායකත්වය පිලිබඳ අර්බුදයකට මුහුන දෙයි.

4. මෙම ලෝක ඓතිහාසික අරමුන සපුරාගනුවස් තමන් සංවිධාන වනු පිනිස, සෑම රටකම කම්කරු පන්තිය, ලෙනින් විසින් වර්ධනය කෙරුනු ආකාරයේ විල්ලවීය සමාජවාදී පක්ෂයක් ගොඩනැඟිය යුතුය: එනම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මධ්‍යගත භාවය අපෝහකාත්මකව සංයෝජනය කිරීමෙහි සමත් වන සටන් පක්ෂයකි. - තීන්දුවලට එලඹීමේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ඒවා ක‍්‍රියාත්මක කිරීමේ දී මධ්‍යගත භාවයත්, අනුගාමිකත්වය විසින් පරිපාලනය කෙරෙන නායකත්වයක්, වෙඩිසැර හමුවේ ද විනයගත ආකාරයට පෙරට යාමෙහි සමත් අනුගාමිකත්වයක්.

5. මෙයට පවත්නා ප‍්‍රධාන බාධකය, ස්ටැලින්වාදයයි. රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයෙහි හොඳ නම ගසා කමින් එය කම්කරුවන් ආකර්ෂනය කර ගනේ, හුදෙක් පසුව, කම්කරුවන්ගේ විශ්වාසය පාවා දෙමින් ඔවුන් එක්කෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තුරුල්ලට, උදාසීනත්වයට ඇද දැමීමට හෝ ආපසු ධනේශ්වර ක‍්‍රමය පිලිබඳව ම මිථ්‍යාවන්ට ඇද හෙලීමට ය. ෆැසිස්ට් හෝ රාජාන්ඩුවාදී බලවේගයන්හි තහවුරු වීමේ රූපාකාරයෙන් හා ධනේශ්වර ක‍්‍රමය විසින් පෝෂනය කොට සූදානම් කෙරෙන අලූත් යුද පිපිරුම්වල රූපාකාරයෙන්, කම්කරු පන්තිය මෙම පාවාදීම්වලට වන්දිය ගෙවයි. හතරවන ජාත්‍යන්තරය එය පිලිසිඳගත් තැන් පටන් ම තමන්ගේ ප‍්‍රධාන කර්තව්‍යයන්ගෙන් එකක් බවට පත්කර ගත්තේ, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංඟමය තුලත් ඉන් බැහැරත්, ස්ටැලින්වාදය විප්ලවීය අයුරින් පෙරලා දැමීමයි.

6. හතර වන ජාත්‍යන්තරයේ බොහෝ කන්ඩායම් ද එහි ක‍්‍රියාමාර්ගයට හිත පක්ෂපාතී පක්ෂ හෝ කන්ඩායම් ද හමුවෙහි නම්‍ය උපායන් උදෙසා පවතින අවශ්‍යතාව විසින්, ස්ටැලින්වාදයට යටත් නොවී අධිරාජ්‍යවාදයටත්, (ජාතිකවාදී සංයුතීන් හෝ වෘත්තීය සමිති නිලධරයන් බඳු - එහි සියලුම සුලු ධනපති ආයතන වලටත් විරුද්ධව සටන් කල යුත්තේ කෙසේ දැයි ඔවුන් විසින් දැන ගනු ලැබීම වඩාත්ම අනිවාර්ය භාවයට පත් කෙරේ. (අවසාන විගහ‍්‍රයේදී ස්ටැලින්වාදය වනාහි, අධිරාජ්‍යවාදයේම සුලු ධනපති ආයතනයක් වෙයි. [27]

12-10 විවෘත ලිපිය 1953 නැගෙනහිර ජර්මනියේ වැඩවර්ජන ව්‍යාපාරය හා ප‍්‍රන්සයේ මහා වැඩවර්ජනය තුල ස්ටැලින්වදයට දේශපාලන ආවරනය සපයමින් පැබ්ලෝ ඉටුකල ක‍්‍රියාකලාපය විමසා බැලීය. පැබ්ලෝගේ අත යට චීන ට්‍රොට්ස්කිවාදීන්ගේ ඉරනම වෙත හැරෙමින් විවෘත ලිපිය මෙසේ පැවසීය: විශේෂයෙන්ම පිලිකුල දනවන්නේ හතරවන ජාත්‍යන්තරයේ චීන ශාඛාවෙහි දේශපාලන ආස්ථානය පිලිබඳව පෝෂනය කර තිබෙන අපවාදාත්මක අවනිර්දේශනයයි පැබ්ලෝ විසින් ඔවුන් සිතුවම් කර ඇත්තේ කට්ටිවාදීන් විප්ලවයේ සරනාගතයින් ලෙස ය. ස්ටැලින්වාදය පිලිබඳව පැබ්ලෝගේ මිත‍්‍රසන්ථවය ඔහු යොමුකර ඇත්තේ අපගේ චීන සහෝදරයින්ගේ දැඩි මූලධර්මාත්මක ආස්ථානය අඳුරු කරන අතර මාවෝ තන්ත‍්‍රය නිර්දය ලෙසින් රෝස පැහැ ගැන්වීම කරාය.[28]

12-11 එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයත් ජාත්‍යන්තර කමිටුවත් චීනය විකෘති කම්කරු රාජ්‍යයක් ලෙස හඳුන්වනු ලැබුවේ මාවෝ තන්ත‍්‍රයේ පරිනාමය ප‍්‍රවේශමෙන් සලකා බැලීමෙන් පසුව පමනි. 1955 සිය ජාතික සමුලුවේදී අනුමත කල යෝජනාවකින් එස්ඩබ්ලිව්පීය, චීන විප්ලවය පිලිබඳ සවිස්තර විශ්ලේෂනයක් ඉදිරිපත් කලේය: එනම්, ලෝක දේශපාලනය හා චීනය තුල පන්ති සම්බන්ධතාවන්ගේ පරිවර්තනය කෙරෙහි එහි බලපෑම මෙන්ම, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ හා එහි ප‍්‍රතිපත්ති ලෝක දේශපාලනය කෙරෙහි ඇතිකල බලපෑම ද ය. යෝජනා කෙටුම්පත නිමා කරමින් එය නිගමනය කලේ, 1949 විප්ලවයෙන් පසුව “වෛෂයික ගතිකයෙන් ද අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහි අරගලයේ අභ්‍යන්තර තර්කනයෙන් ද නිලධරයට බලකලේ, ධනවාදයෙන් බිඳී වෙන්වීමටත්, තීරනාත්මක නිෂ්පාදන මාධ්‍යයන් ජනසතු කිරීමටත්, විදේශ වෙලඳාමේ ඒකාධිකාරය පිහිටුවීමටත්, සැලසුම්කරනය ඇරඹීමටත් ය. මේ ආකාරයට අද දින, ස්ටැලින්වාදයේ විකට රූපය පවතිද්දී පවා චීනය, කම්කරු රාජ්‍යයකට පදනම දමනු ලබන නිෂ්පාදන සම්බන්ධතා හා ආයතන හඳුන්වාදීම සඳහා මග හෙලි පෙහෙලි කරයි. තුන්වන චීන විප්ලවය ස්ටැලින්වාදයේ විකෘතියක් වන බැවින් චීනය, විකෘති කම්කරු රාජ්‍යයකි.”[29]

12-12 1980 ගනන්වල ධනේශ්වර දේපොල සම්බන්ධතා යලි පිහිටුවමින් එරට ලෝකයේ ප‍්‍රධානම ලාභ ශ‍්‍රම වෙලදපොල බවට පත්කල චීන තන්ත‍්‍රයේ පසුකාලීන පරිනාමය ජාත්‍යන්තර කමිටුවේ මූලධර්මාත්මක ආස්ථානය මුලුමනින්ම සනාථ කලේය. පැබ්ලෝවාදීන්ට එරෙහිව ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ දේශපාලන විප්ලවයකින් චීන කොමියුනිස්ට් පක්ෂය පෙරලා නොදැමුවහොත් තනි රටක සමාජවාදය පිලිබද ජාතිකවාදී ඉදිරිදර්ශනයෙන් මෙහෙයවෙන මා ඕවාදීන් “විප්ලවය පාවාදෙයි” කෘතිය තුල ට්‍රොට්ස්කි පෙරදුටු ආකාරයට ධනේශ්වර පුනස්ථාපනයේ ඒජන්තයින් බවට පත්වීම නොවැලැක්විය හැකි බවයි. ඒ සමග ම ජාත්‍යන්තර කමිටුව චීන විප්ලවයේ දැවැන්ත ගතිකය ප‍්‍රතික්ෂේප කල විවිධාකාර “රාජ්‍ය ධනවාදීන්ට” ද විරුද්ධ විය. විප්ලවයට පසු අවධියේ දී පෞද්ගලික ව්‍යවසායන් ජනසතු කිරීම හා ආර්ථික සැලසුම්කරනය ක‍්‍රියාත්මක කරන ගමන්ම මා ඕ වාදීන් විකෘති කම්කරු රාජ්‍යයට එරෙහිව විවෘතව හෝ නිහඬව අධිරාජ්‍යවාදය සමග පෙල ගැසුනි.


[22]

ඩේවිඩ් නෝර්ත්, අප රක්නා උරුමය: හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයට කෙරෙන එකතු කිරීමක්,පලමු වන කොටස, (කම්කරු මාවත ප්‍රකාශන, 1990) 216-17පි.

[23]

එම., 241 පිට.

[24]

එම., 257-58 පිටු

[25]

එම., පි.258

[26]

එම., 251-52 පිටු.

[27]

අප රක්නා උරුමය: හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයට කෙරෙන එකතු කිරීමක්, දෙවන කොටස, 317-18 පිටු.

[28]

Trotskyism Versus Revisionism,(සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය), 1වෙලූම,ලන්ඩන්: නිව් පාර්ක්,1974, 312 පිටුව.

[29]

The Third Chinese Revolution and its aftermath, (තුන්වන චීන විප්ලවය හා ඉන් ඉක්බිත්තෙහි), සමාජවාදීන් සඳහා අධ්‍යාපනය, එස්ඩබ්ලිව්පී, 1976, 7 පිටුව.