Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

විවෘත ලිපියට ලසසපයේ ප‍්‍රතිචාරය

13-1 ලසසපය පැබ්ලෝවාදී අවස්ථාවාදයට විරුද්ධව එස්ඩබ්ලිව්පීයට සහ ජාත්‍යන්තර කමිටුවට සහයෝගය දීම ප‍්‍රතික්ෂේප කිරීම, එහි ඉතිහාසයේ තීරනාත්මක සන්ධිස්ථානය වූ අතර, එහි දේශපාලන පිරිහීම ඉමහත් ලෙස වේගවත් කලේ ය. පැබ්ලෝ ස්ටලින්වාදය කෙරේ දක්වන පක්ෂපාතිත්වය දේශපාලනිකව විවේචනය කරන අතරම, ඔහුගේ ආස්ථානයට යටින් පැවති දියකරහැරීම්වාදී දිශානතිය, පාර්ලිමේන්තුවාදයේ හා වෘත්තීය සමිති සින්ඩිකල්වාදයේ සංකලනයක් වූ, තමන්ගේ ම ජාතික ප‍්‍රතිසංස්කරනවාදී දේශපාලනයට අනුගතවීමට අවසරයක් වන බව වටහාගත් ලසසප නායකත්වය, ඊට දැඩිසේ පක්ෂපාත විය. පාර්ලිමේන්තුව සහ වෘත්තීය සමිති යන ක්ෂේත‍්‍ර දෙකම, විප්ලවවාදී පක්ෂය තම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට යොදාගත යුතු සතුරු වේදිකාවෝය. එහෙත් ඒවා අනිවාර්යයෙන්ම කම්කරු පන්තිය තුල පවත්නා ප‍්‍රතිසංස්කරනවාදී මිත්‍යාවන්ට පක්ෂය අනුගත කරවීමට ද දැඩි බලපෑමක් ගෙනෙයි. ලසසප නායකයින් තවමත් වාචිකව ට්‍රොට්ස්කිවාදයට බැඳී සිටියත්, ඔවුහු එන්ට එන්ටම පාර්ලිමේන්තු ආසන ගනන සහ වෘත්තීය සමිතිවල ප‍්‍රමානය අනුව තම සාර්ථකත්වය මනින්නට පටන් ගත්තෝය. ඔවුහු කම්කරු පන්තිය ස්වාධීනව බලමුලූගැන්වීමට වඩා පාර්ලිමේන්තු හවුල් හා සීමිත ඉල්ලීම් වටා කෙරෙන ස්ට‍්‍රයික් සටන්, සමාජවාදයට මාවත වන්නේ යයි දකින්නට පටන් ගත්හ.

13-2 දිවයිනේ ධනපති පාලනය ප‍්‍රධාන අර්බුදයකට ඇද දැමූ 1953 සිදුවීම් මගින්, ලසසප අවස්ථාවාදී දිශානතියේ ප‍්‍රතිවිපාක කවරක්වී දැයි ඒ වන විටත් පෙන්නුම් කර තිබුනි. 1952 මහ මැතිවරනයේ දී එජාපය සැලකිය යුතු බහුතරයක් දිනාගත් අතර ඒකාබද්ධ වූ ලසසප ආසන අහිමි කර ගනිද්දී, 1951 දී බන්ඩාරනායක විසින් පිහිටුවන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) නව පක්ෂයක් වශයෙන් පලමු වතාවට සිය අලුත් මුහුන පෙන්වී ය. කෙසේ වුවත්, වසරක් ඇතුලත, කොරියන් යුද්ධය අවසන් වීමෙන් හටගත් ආර්ථික අර්බුදයට මුහුනපෑම සඳහා එජාප ආන්ඩුව ගත් පියවර මගින් අවුලුවන ලද කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ අර්ධ කැරලිකාරී ව්‍යාපාරයේ බලපෑම යටතේ, එය බිඳ නොවැටුනා පමනි. විප්ලවකාරී ලසසප, කොමියුනිස්ට් පක්ෂය, හා ෆෙඩරල් පක්ෂයේ සහාය ලත් ලසසප, බඩු මිල ඉහල නැංවීමට එරෙහිව විරෝධය පලකිරීම සඳහා, අගෝස්තු 12 දා එක්දින හර්තාලයක් කැඳවීය. ඊට පලවූ ප‍්‍රතිචාරය ලසසප ද ඇතුලු සෑම පක්ෂයක් ම අන්ද මන්ද කලේය. වැඩ වර්ජනය කොලඹ නගරය ඇනහිටවූ අතර විරෝධතා බටහිර හා දකුනේ ගම්බද ප‍්‍රදේශ කරා ද පැතිර ගියේය. බොහෝ ප‍්‍රදේශවල දී විරෝධතා කරුවෝ පොලිස් මර්දනය නොතකා පාරවල් අවහිර කර දුම්රිය පීලි ගලවා දැමූහ. බියපත් එජාප ආන්ඩුව, කොලඹ වරායේ නතරකර තිබුනු බි‍්‍රතාන්‍ය යුද නැවකට රැස්වී හදිසි නීතිය පැනවීය. මිලිටරිය පාරට බැස්සවූ අතර කම්කරු පන්ති පුවත්පත් හා පක්ෂ කාර්යාලවලට මුද්‍රා තබා ඇඳිරි නීතිය පැනවීය. තවත් දින දෙකක් ඉදිරියට ගිය විරෝධතාවන්හි දී පුද්ගලයින් නව දෙනෙක් පොලිසිය විසින් වෙඩි තබා මරා දමන ලදී.

13-3 1953 හර්තාලය, පක්ෂයේ විප්ලවකාරී ස්වභාවය හුවාදැක්වීමේ පසුකාලීන ලසසප මිත්‍යා ප‍්‍රබන්ධනය සඳහා යොදාගනු ලැබීය. යථාර්තය නම්, ලසසපය මහජන ව්‍යාපාරයට කිසිදු නායකත්වයක් සම්පාදනය නොකල බවය. උද්ඝෝෂනය පෙරට ගෙනයාම සඳහා කර්මාන්තශාලාවල, තදාසන්න ප‍්‍රදේශවල හා ගම්බදව ක‍්‍රියාකාරී කමිටු පිහිටුවීම හෝ රාජ්‍ය මර්දනයට එරෙහිව කම්කරුවන්ගේ ආරක්ෂක බලඇනි ගොඩනැඟීම වැනි මූලික පියවර තැබීම වෙනුවෙන් කිසිදු කැඳවුමක් කිරීමට එය අසමත් විය. ඒ වෙනුවට ලසසප නායකයින් කලේ, කොප හා විප්ලවකාරී ලසසප සමඟ එක්ව හර්තාලය අවසන් බව නිවේදනය කිරීම ය. එමගින් විරෝධතා තවත් ඉදිරියට ගෙනගිය අය රාජ්‍ය මර්දනයට අතහැර දැමුනි. සවිස්තරාත්මක ලිපියක් තුලින්, කොල්වින් ආර්. ද සිල්වා, හර්තාලය “කම්කරු ගොවි සන්ධානය පිලිබඳ ලාංඡනය” තැබූ පන්ති අරගලයේ නව අදියරක් වන බව ප‍්‍රකාශ කලේය. එහෙත් දැන් ඇත්තේ “එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට ඉල්ලා අස්වී අලුතින් මහ මැතිවරනයක් පවත්වන ලෙස බලකිරීම” සඳහා සටන යයි, අවසානයේ ඔහු නිගමනය කලේය. හර්තාලය පුරාවට ම ලසසප එය දැකගනු ලැබුවේ, තම පාර්ලිමේන්තු උපාමාරුවල ආධාරකයට නොවැඩි දෙයක් ලෙසය. මෙහි ප‍්‍රතිපල වශයෙන් බන්ඩාරනායකට, මහජනයාගේ විරෝධතා මනෝභාවය ගසාකමින් සිය දේශපාලන ආනුභාවය වැඩිකර ගැනීමට කොන්දේසි සැකසුනි. විශේෂයෙන්ම ලසසප නායකත්වයේ බෙලහීනකම නිසා නොමග ගිය ග‍්‍රාමීය සිංහල ජනතාව අතර දී එසේ විය. එජාප අන්ඩුවට එරෙහිව බන්ඩාරනායක ගෙන ආ විශ්වාස භංග යෝජනාවට ලසසප සිය සහයෝගය දීමෙන් පසුව ඔහුගේ දේශපාලන නැගීම තවත් ශක්තිමත් විය. හර්තාලයේ පරිමානයෙන් තිගැස්මට පත්වූ ශ‍්‍රී ලංකා පාලක පන්තියේ සැලකිය යුතු කොටසක්, ධනපති පාලනයට විකල්ප ආධාරකයක් ලෙස ශ‍්‍රීලනිපයට සිය සහයෝගය ලබා දුන්හ. විරෝධතාවන්ට ශ‍්‍රීලනිපය සහභාගි නොවුනු අතර ඇත්ත වශයෙන්ම බන්ඩාරනායක ඊට විරුද්ධ වී තිබියදීත්, හර්තාලය මගින් ශ‍්‍රී ලංකාවේ පාලක පන්තිය සඳහා කේන්ද්‍රීය චරිතයක් ලෙස ඔහු පෙරමුනට ගෙන ආවේය.

13-4 හර්තාලයෙන් ඉක්බිතිව, ස්ටැලින්වාදී කොප හා විප්ලවකාරී ලසසප සමඟ “වමේ එකතුව” සඳහා ලසසප තුල ගෝසාව ඉහල නැග්ගේය. 1952 මැතිවරනයෙන් පසුව, පක්ෂය ලැබූ පරාජයට හේතුව, සෝවියට් සංගමයේ හා චීනයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් පිලිබඳ ලසසපයේ විවේචන නතර කල යුතු යයි ඉල්ලා සිටි, කොප හා (වි)ලසසප සමග නිතරග ගිවිසුමක් ඇතිකර ගැනීමට අසමත් වීම යයි චෝදනා නැඟූ කන්ඩායමක් හිස ඔසවා තිබුනි. තුන්වන සමුලුව තුල පැබ්ලෝගේ ස්ටැලින්වාදී-ගැති පිලිවෙතෙන් දිරිමත් වූ මෙම “එක්සත්” කන්ඩායම, පක්ෂය “සමාජවාදී රටවල්” කෙරෙහි “කොන්දේසි විරහිත මිත‍්‍රත්වය” දැක්විය යුතු යයි ඉල්ලා සිටිමින්, 1953 ඔක්තෝබර් සම සමාජ පක්ෂ සමුලුවේ දී සංශෝධනයක් ගෙන ආවේය. මෙම සංශෝධනය පරාජය වීමෙන් පසුව ස්ටැලින්වාදී-ගැති කන්ඩායම් පක්ෂයෙන් කැඩී ගොස් (වි)ලසසප හා කොපට එක්වූහ.

13-5 ලසසප විවෘත ලිපියට ප‍්‍රතිචාර දැක්වූයේ මෙම සන්දර්භය තුලයි. එය කැනන්ගේ ඉල්ලීම ඉවත දමා ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කල විට එම පිලිවෙතේ දේශපාලන සාපරාධීත්වය පෙර නොවූ විරූ අයුරින් ඉස්මතු වූයේ, හිටපු බීඑල්පීඅයි නායකයින් පැබ්ලෝගේ සංශෝධනයන්හි ස්ටැලින්වාදී-ගැති ස්වභාවය පිලිබඳව හොඳින්ම දැන සිටි බැවිනි. තව ද එය, පැබ්ලෝවාදය තම පක්ෂයේ ම සාමාජිකත්වය මත ඇතිකල බලපෑම පිලිබඳ සෘජු අත්දැකීමක් ලබා තිබුනේ යන්තම් මඳ කලකට පෙරය. එහෙත් ලසසප, විවෘත ලිපිය නිකුත් කල ආකාරය පිලිබඳ පෙරකදෝරු තර්ක ඉදිරිපත්කොට එයට විරුද්ධ වූ අතර දේශපාලන ආස්ථානයක් ගැනීම ප‍්‍රතික්ෂේප කලේය. ලසසප ඔවුන්ගේ පක්ෂයේ ම ස්ටැලින්වාදී-ගැති ප‍්‍රවනතාවය නෙරපා හැර තිබීම කෙරේ අවධානය යොමු කරවමින් ලෙස්ලි ගුනවර්ධන වෙත ලිපියක් යැවූ කැනන්, කෙලින්ම මෙසේ ද පැවසීය. “ජාත්‍යන්තරවාදීන් ලෙස අපි, අනෙකුත් පක්ෂ තුල හා පොදුවේ ජාත්‍යන්තර ව්‍යාපාරය තුලම ස්ටැලින්වාදී සංහිඳියාවාදයේ විවෘත හෝ සැඟවුනු ප‍්‍රකාශනයන් කෙරෙහි එකම ආකල්පය ගැනීම අත්‍යවශ්‍යය.” [30]

13-6 1954 අප්‍රේල් වන තෙක්ම කල් මැරීමෙන් පසුව ලසසප මධ්‍යම කාරක සභාව, ස්ටැලින්වාදී පක්ෂ ජනතා පීඩනය යටතේ විප්ලවවාදී මාවතට තල්ලු කල හැකිය යන පැබ්ලෝගේ ප‍්‍රකාශයන්හි දුර දිග යන ප‍්‍රතිවිපාක හඳුනා ගනිමින් යෝජනාවක් සම්මත කලේය. “මෙම සංකල්පය, ස්ටැලින්වාදය සම්බන්ධ ට්‍රොට්ස්කිවාදයේ ආස්ථානයන් පිලිබඳ අතිමූලික සංශෝධනයකට තුඩු දෙනවා පමනක් නොව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා වන සියලු යුක්තිසහගත භාවය එමගින් ප‍්‍රතික්ෂේප කෙරේ.” එය සඳහන් කලේය. කෙසේ වුව ද භාවිතයේදී දේශපාලන පැහැදිලිකමේ වියදමෙන් පැබ්ලෝවාදීන් සමග “එක්සත්කම” රැක ගැනීම පිනිස සමගි සන්ධාන හා උපාමාරු දැමීම් කෙරේ ලසසප නැඹුරු වූ අතර එය එස්ඩබ්ලිව්පී හා ජාත්‍යන්තර කමිටුව මුහුනපෑ දුෂ්කරතා තවත් උග‍්‍ර කලා පමනි. අවසානයේදී ලසසප නායකයෝ පැබ්ලෝවාදයට යටත් වූහ. ඔවුහු 1954 පසු භාගයේදී පැබ්ලෝවාදී සිව්වන සමුලුවට සහභාගීව එයට සුජාතභාවයක් අත්කර දෙමින් සුලු සංශෝධන සහිතව එහි යෝජනාවලට සහාය දුන්හ. ඔවුහු පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග ම රැඳී ගත්හ. කම්කරු පන්තිය සඳහා විපත්තිකර ප‍්‍රතිවිපාක ගෙන ආ තරයේ ම අවස්ථාවාදී සම්බන්ධතාවයක ආරම්භය එසේ සිදු විය. මේ මගින් ජාත්‍යන්තර ලේකම් මන්ඩලයට, ආසියාව තුල තමන්ට “ජනතා ට්‍රොට්ස්කිවාදී පක්ෂයක්” ඇතැයි කයිවාරු ගැසීමට හැකිවූ අතර ජාතික කරලියේදී ලසසපයට, තම ප‍්‍රතිසංස්කරනවාදී දේශපාලනය සඳහා ට්‍රොට්ස්කිවාදී අක්ත පත‍්‍ර ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසුනි. පැබ්ලෝවාදයට ලසසප දුන් සහයෝගය ට්‍රොට්ස්කිවාදයට හා ඒ නිසා කම්කරු පන්තියට, විශේෂයෙන් ම ආසියාවේ කම්කරු පන්තියට, දැවැන්ත පහරක් විය. ලසසප හෝ එහි කොටසක් මූලධර්මාත්මක ආස්ථානයක් ගෙන තිබුනේ නම් එය, ජාත්‍යන්තර කමිටුව දැවැන්තව ශක්තිමත් කොට, කලාපය පුරා විශේෂයෙන් ම ඉන්දියාව තුල ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතු පෙරට ගෙන යමින් මාඕවාදයේ විසකුරු බලපෑමට එරෙහි බලගතු විෂ නාශකයක් ලෙස ක‍්‍රියා කිරීමට ඉඩ තිබුනි.


[30]

අවධාරනය මුල් ලේඛනයේ , Trotskyism versus Revisionism(සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය), 2 වෙලුම , ලන්ඩන්: නිව් පාර්ක්, 1974, 89පි.