Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

එස්ඩබ්ලිව්පී යලි එකමුතුව

15-1 1953 දී එස්ඩබ්ලිව්පීයේ ජේම්ස් පී කැනන්, ඔහුගේ විවෘත ලිපිය මෙසේ නිමා කලේය. “පැබ්ලෝගේ සංශෝධනවාදය හා සම්ප‍්‍රදායික ට්‍රොට්ස්කිවාදය අතර බෙදුම් කඩන කෙතරම් ගැඹුරු දැයි කිවහොත්, දේශපාලනිිකව හෝ සංවිධානාත්මකව කිසිදු සම්මුතියක් ඇතිකර ගැනීමට පුලුවන්කමක් නැත.” [32] කෙසේ වෙතත් ඉතා ඉක්මනින් ම එස්ඩබ්ලිව්පීය, පැබ්ලෝවාදයට එරෙහි සිය විරුද්ධත්වය මෘදු කිරීමට පටන් ගත්තේය. 1957 තරම් නුදුරේ දී කැනන්, අයිඑස් සම. එස්ඩබ්ලිව්පීයේ එකමුතුව පිලිබඳ ශුභවාදී බලාපොරොත්තු දල්වමින් ලෙස්ලි ගුනවර්ධනගෙන් ලැබුනු ලිපියකට සාධනීයව ප‍්‍රතිචාර දැනවීය. මෙම මාරුව ඇමරිකානු මධ්‍යම පන්තික රැඩිකල් කවයන් වෙත එස්ඩබ්ලිව්පීයේ වැඩෙමින් පැවති අනුගත වීමේ කොටසකි. 1953දී පැබ්ලෝට එරෙහිව එස්ඩබ්ලිව්පී හා ජාත්‍යන්තර කමිටුව සමග එක්ව සිටි පෙං යන චීන ට්‍රොට්ස්කිවාදියා, දේශපාලන මතභේද පටුවී ඇතැයි කියා සිටිමින් යලි එකමුතු වීමට පක්ෂව දැඩි ලෙස පෙනී සිටියේය.

15-2 සැබවින්ම සම්මතධාරී ට්‍රොට්ස්කිවාදය හා පැබ්ලෝවාදය අතර අගාධය පුලුල් වී තිබුනි. එහෙත් එස්ඩබ්ලිව්පීය, අයිඑස් හා සමාන අවස්ථාවාදී ආස්ථානයන් කරා තල්ලු වෙමින් තිබුනි. දැන් ජෝසෆ් හැන්සන්ගේ නායකත්වය යටතේ එස්ඩබ්ලිව්පී 1960 අවසන් භාගය වන විට, ෆිඩෙල් කැස්ට්‍රෝ හා ඔහුගේ සුලු ධනපති ගරිල්ලා ව්‍යාපාරය විසින් පිහිටුවන ලද කියුබානු තන්ත‍්‍රය, “කම්කරු රාජ්‍යයක්” ලෙස උත්කර්ෂයට නංවමින් සිටියේය. කටෝර අනුභූතිවාදය මත පදනම්වූ එස්ඩබ්ලිව්පී, කම්කරු පන්තියේ කුමන ස්වාධීන ක‍්‍රියාවකට හෝ කියුබානු රාජ්‍යයේ විවෘත සතුරුකම හා කම්කරු බලය පිලිබඳ කුමන හෝ ආයතනයක් නොතිබීම යන දේ නොතකමින්, එහි කම්කරු පන්තික ස්වභාවය තීරනය කෙරෙන්නේ, බෙහෙවින්ම කෘෂිකාර්මික වූ ආර්ථිකය තුල කැස්ට්‍රෝගේ ජනසතු කිරීම් මගින් යයි අවධාරනය කලේය. තව ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහිව, ආධාර පතා කැස්ට්‍රෝ සෝවියට් සංගමය වෙත හැරුනු සහ කියුබානු ස්ටැලින්වාදය සමඟ හාවූ තතු යටතේ එස්ඩබ්ලිව්පී දැඩි සේ කියා සිටියේ විප්ලවයේ ගමන් මගෙහි දී කැස්ට්‍රෝවාදීන් මාක්ස්වාදීන් බවට පරිවර්තනය වන බවයි. “සමස්ත යටත් විජිත විප්ලවවාදී ක‍්‍රියාවලිය ම ජයග‍්‍රහනයේ නව තලයකට එසවූ” සහ “නොනවතින විප්ලවයේ න්‍යායෙහි නිරවද්‍යතාවය නවමු ලෙස සනාථ” කල “ඇමරිකානු මහාද්වීපය තුල පලමු ජයග‍්‍රාහී සමාජවාදී විප්ලවය” පිලිබඳ එස්ඩබ්ලිව්පී අභිවාදනය, පැබ්ලෝවාදීන් සමග එහි යලි එකමුතුවේ උරගල බවට පත් විය.

15-3 1961 හා 1963 අතර කාලයේ සෝෂලිස්ට් ලේබර් ලීගයේ (එස්එල්එල්) බි‍්‍රතාන්‍ය ට්‍රොට්ස්කිවාදියෝ, එස්ඩබ්ලිව්පීයේ අවස්ථාවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව තුල අධිෂ්ඨානවත් අරගලයක් සඳහා මූලිකත්වය ගත්හ. සුලු ධනපති නායකත්වයන්ට “විප්ලවයේ ම තර්කනය” මගින් කම්කරු පන්තිය බලය කරා මෙහෙයවීමට බලකල හැකිය යන එස්ඩබ්ලිව්පී තර්කය, එස්එල්එල් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. හතරවන ජාත්‍යන්තරය හමුවේ ඇති ප‍්‍රධාන කර්තව්‍යය බොල්ශෙවික් වර්ගයේ පක්ෂ ගොඩනැඟීම තුලින් කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීම බව ඔවුහු අවධාරනය කලහ. සංශෝධනවාදයට එරෙහි අරගලය විමර්ෂනය කිරීමෙන් අනතුරුව එස්එල්එල්, 1961 දී මෙසේ නිගමනය කලේය. “පැබ්ලෝවාදී සංශෝධනවාදය ට්‍රොට්ස්කිවාදය තුල ප‍්‍රවනතාවක් ලෙස සැලකීමේ අවධිය නිමා කිරීමට කාලය එලඹ තිබේ.”

15-4 චීනය සම්බන්ධයෙන් පැබ්ලෝ හා මැන්ඩෙල් පූර්වයෙන් යොදාගත් එම වෛෂයිකවාදී ක‍්‍රමවේදය ම එස්ඩබ්ලිව්පී විසින් ද කියුබාව සම්බන්ධයෙන් යොදාගත්තේ ය. “ට්‍රොට්ස්කිවාදය පාවාදී ඇත, එස්ඩබ්ලිව්පීය පැබ්ලෝවාදී සංශෝධනවාදයේ දේශපාලන ක‍්‍රමවේදය ම පිලිගනිති” යන 1962 ජූලියේ පල කරන ලද සිය ලිපිය තුල එස්එල්එල් ජාතික කමිටුව මෙසේ ප‍්‍රකාශ කලේය. “එස්ඩබ්ලිව්පීය සමග අපගේ ලිපි හුවමාරුවේ දී, විප්ලවවාදී පක්ෂවලින් තොරව ‘නොනවතින විප්ලවය සනාථවීම’ පිලිබඳව කතා කිරීම විකාරයක් බව යෝජනා කිරීමට නිර්භීත වීම මගින් අපි බලගතු ප‍්‍රතිචාරයක් ඇවිලවීමු. කෙසේ වෙතත් භාවිතයේ දී, පැබ්ලෝවාදීන් සේ ම එස්ඩබ්ලිව්පී ද කියුබාවේ හා ඇල්ජීරියාවේ සුලු ධනපති ජාතිකවාදී නායකයින් ඉදිරියේ දන්ඩ නමස්කාර කරයි. මෙම ප‍්‍රශ්නයේ දී අපගේ දෘෂ්ටිය එස්ඩබ්ලිව්පීයට එරෙහිව පිහිටන්නේ, හුදෙක් සිදුවීම් මාලාවක් හොඳින්ම පැහැදිලි කල හැක්කේ කාට ද යන කාරනා නිසා නොවේ. ඊට වඩා එය, මෙම පසුගාමී රටවල ට්‍රොට්ස්කිවාදී නායකත්වයේ සැබෑ ප‍්‍රතිපත්තිය හා ක‍්‍රියාමාර්ගය පිලිබඳ ප‍්‍රශ්නයකි. සෑම මාක්ස්වාදී න්‍යායක් සේ ම නොනවතින විප්ලවයේ න්‍යාය ද ක‍්‍රියාවට මග පෙන්වන්නකි. තමන්ගේ ම සෝවියට් බලය සඳහා ස්වාධීන හා අධිෂ්ඨානශීලී කම්කරු පන්තිය හා ගොවි ජනතාව තුල සිටින එහි මිතුරන් සංවිධානය කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන්නක් බවට විශ්ලේෂනය පත්වෙයි. ‘නොනවතින විප්ලවය සනාථ වීම’ පිලිගත් ජාතිකවාදී නායකයින් වෙත මාක්ස්වාදීන් කරන ගෞරවාන්විත පිරිනැමීමක් නොව, මාක්ස්වාදීන් ම වගකීම දරන්නා වූ කර්තව්‍යයකි” [33]

15-5 තව ද කියුබාව හා ඇල්ජීරියාව තුල අත් කර ගත්තා යයි එස්ඩබ්ලිව්පී කියා සිටි ඊනියා සාර්ථකත්වයන්, පසුගාමී ධනේශ්වර රටවල මහජන අරගලයන් තුල ස්ටැලින්වාදය හා සුලු ධනපති රැඩිකල්වාදය පිලිබඳ පූර්න ශේෂ පත‍්‍රයක කොටසක් ලෙස තක්සේරු කල යුතුව ඇති බව එස්එල්එල් අවධාරනය කලේය. ඔවුහු මෙසේ පැවසූහ. “කියුබාව හා ඇල්ජීරියාව හැරෙන්නට, -- ඒ දෙරට පිලිබඳ අවබෝධයක් ඇතිකර ගැනීම සඳහා ද -- ඉරාකය, ඉරානය, ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බොලිවියාව, ඉන්දු චීනය හා තවත් බොහෝ රටවල අත්දැකීම් ද සැලකිල්ලට ගත යුතුය. එවන් ඓතිහාසික විශ්ලේෂනයකින් මතුවනු ඇත්තේ, ‘අවධි දෙක’ පිලිබඳ න්‍යාය මත පිහිටා කටයුතු කල කම්කරු පන්තියේ එම නායකයින් ඉටුකල සැබෑ භූමිකාවයි. ස්ටැලින්වාදය, ‘ප‍්‍රගතිශීලී ක‍්‍රියා කලාපයක් ඉටුකිරීම සඳහා තල්ලු කරගත හැකි’ වීම කෙසේ වෙතත්, මේ සෑම රටක් ඇතුලත ම සැබවින් ම ඔවුන් සිදු කර ඇත්තේ වැඩි දියුනු කම්කරුවන් නිරායුධ කර පාවාදීමයි. ඒ මගින්, වත්මන් අවධියේ දී අධිරාජ්‍යවාදයට අපේක්ෂා කල හැකි එකම දේ වන තාවකාලික ස්ථාවරත්වයක් ඇති කිරීම පිනිස ධනේශ්වර ආන්ඩුවලට අවස්ථාව උදාකර දීමයි. මෙම අර්ථයෙන් හා මෙම අර්ථයෙන් පමනක් ම ‘නොනවතින විප්ලවයේ න්‍යාය සනාථවී’ තිබේ.” [34]

15-6 එසේම එස්එල්එල්, 1962 ප‍්‍රන්ස ආන්ඩුව හා ෆ‍්‍රන්ට් ඩි ලිබරේෂන් නැෂනලේ (එෆ්එල්එන්) නායකත්වය අතර ඇල්ජීරියානු “නිදහස” සඳහා ඇති කර ගත් ඊවියන් ගිවිසුම, “ඇල්ජීරියානු ජනතාව හා අරාබි හා යටත් විජිත විප්ලවය සඳහා දැවැන්ත ජයග‍්‍රහනයක්” නියෝජනය කලේය යන එස්ඩබ්ලිව්පී ප‍්‍රකාශයට ද විරුද්ධ විය. ජාතික ධනේශ්වරයට අධිරාජ්‍යවාදී අවශ්‍යතා සුරක්ෂිත කර දීමේ කර්තව්‍ය බාර කල එවන් නිල පශ්චාත් යුද්ධ කාලීන නිදහස් සම්මුතීන් පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ තක්සේරුව, එස්එල්එල් ආරක්ෂා කලේය. බීඑල්පීය ඉන්දියාවට හා ශ‍්‍රී ලංකාවට අදාලව මෙම තක්සේරුව පැහැදිලිව විස්තාරනය කොට තිබුනි. එස්එල්එල් මෙසේ පැහැදිලි කලේය. “ඇල්ජීරියානු සුලු ධනේශ්වරය, උතුරු අප‍්‍රිකාව තුල ප‍්‍රන්ස ප‍්‍රාග්ධනයේ මූලික අවශ්‍යතා පිලිබඳ කීකරු සහතික කරුවෙක් ලෙස අඛන්ඩව කටයුතු කරන අතර වාරයේ, ප‍්‍රන්ස යටත් විජිතවාදය ඉවත් වීමෙන් ඇතිවූ හිඩැස පිරවීමට බලාපොරාත්තු වෙයි. එම අභිලාෂයේ ප‍්‍රකාශනය ලෙස අපට ඊවියන් සම්මුතීන් දැකගත හැකිය. එහි දී එෆ්එල්එන් නායකයෝ සිය ස්වභාවයට අනුව කටයුතු කරති.” [35]

15-7 1953 භේදයට තුඩුදුන් න්‍යායික හා දේශපාලන ප‍්‍රශ්න පිලිබඳ කිසිදු සාකච්ඡාවකින් තොරව එස්ඩබ්ලිව්පී ද ඒ වන විට ජාත්‍යන්තර කමිටුව සමග අනුබද්ධව සිටි හා සම්ප‍්‍රදායිකව නායකත්වය සඳහා එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදීන් වෙත නෙත් යොමු කල බොහෝ ලතින් ඇමරිකානු රටවල කන්ඩායම් ද 1963 ජූනියේ රෝමයේ පැවති පැබ්ලෝවාදීන්ගේ හත්වන සමුලුවේ දී නිල වශයෙන් ඔවුන් සමග යලි එකමුතු වූහ. නොනවතින විප්ලවයේ න්‍යාය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කිරීමක් වූ පැබ්ලෝවාදීන්ගේ “ලෝක සමුලුවේ” ප‍්‍රධාන යෝජනාව, කියුබානු විප්ලවයෙන් උපුටාගත් නිගමනය වූයේ, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් වදින ලෙනින්වාදී පක්ෂයකින් තොරව “පසුගාමී රටවල සතුරාගේ බෙලහීනකම, මොට්ටවූ ආයුධයකින් පවා බලයට පත්වීමේ හැකියාව ඇති කරයි” යන්නය. පැබ්ලෝවාදීන් විසින් කැස්ට්‍රෝ හා ගරිල්ලා “සන්නද්ධ අරගලය” ඔජ වැඩීම, විප්ලවවාදී කොටස් කම්කරු පන්තියෙන් හුදෙකලා කිරීමටත් ඓතිහාසික පරාජයන්ට ඇද දැමීමටත් දායක වෙමින් ආර්ජන්ටිනාව, බොලිවියාව, චිලී හා ලතින් ඇමරිකාව පුරා ව්‍යසනකාරී ගමනාන්තයක් වූ බව සනාථ කෙරිනි. ලංකාව තුල “මොට්ටවූ ආයුධයක” කර්තව්‍යය ධනපති ශ‍්‍රීලනිප වෙත පැවරීමට වැඩ කල ලසසප නායකයෝ, යලි එකමුතු වීමට හා නව එක්සත් ලේකම් මන්ඩලයක් ස්ථාපිත කිරීමට මුලු හදින්ම සහාය දුන්හ. ඊට හිලව් වශයෙන් එස්ඩබ්ලිව්පීය ජනතා ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස ලසසප හුවා දැක්වීය.


[32]

අප රක්නා උරුමය, දෙවන කොටස, කම්කරු මාවත ප්‍රකාශන, 330 පි.

[33]

Trotskyism Versus Revisionism,(සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය), 3වෙලූම,ලන්ඩන්: නිව් පාර්ක්,1974, 244 පිටුව.

[34]

එම, 250 පි.

[35]

එම, 248 පි.