Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

ශ‍්‍රී ලංකාවේ මහා පාවාදීම

16-1 1964 ජූනියේ දී ලසසප සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ආන්ඩුවට ඇතුලු වීම, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල දිය බෙත්මක් විය. ඒ ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් පක්ෂයක් පලමු වතාවට ධනේශ්වරයේ සේවය සඳහා සෘජුවම කැපවී ගත් බැවිනි. පාවාදීමේ දේශපාලන වගකීම කෙලින් ම එක්සත් ලේකම් මන්ඩලය මත පැටවුන අතර, යන්තම් වසරකට පෙරාතුව එස්ඩබ්ලිව්පීය පැබ්ලෝවාදීන් සමග ප‍්‍රතිපත්ති විරහිතව යලි එකමුතු වීම පිලිබඳව එස්එල්එල් කල සියලු අනතුරු ඇඟවීම් ඉන් සනාථ විය. පැබ්ලෝ, මැන්ඩෙල් හා පියරි ෆ‍්‍රෑන්ක් විසින් කල පාවාදීම පිලිබඳ “පරිපූර්න ම නිදසුන” ලසසප පාවාදීම වූ බව බි‍්‍රතාන්‍ය එස්එල්එල්හි නායක ජෙරී හීලි පැහැදිලි කලේය. “වගකීම මෙම මිනිසුන් ගත යුතුය. පසුගිය 18 වසර පුරා ලංකාවේ ලසසප සමග නිරන්තරව ලිපි හුවමාරුවක් පවත්වාගෙන ගොස් ඇත්තේ ඔවුන්ය. (ලසසප පරිහානියට) පිලිතුර ඇත්තේ ලංකාව තුල නොවේ. එය සොයාගත හැක්කේ පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි අරගලය ජාත්‍යන්තරව හැදෑරීම මගිනි. සභාග ආන්ඩුවේ සැබෑ නිර්මාපකයින් ඉන්නේ පැරීසියේය.”[36]

16-2 බන්ඩාරනායක ආන්ඩුවට ලසසපයේ ඇතුලු වීමට මග පාදා ගනිමින් ස්ටැලින්වාදී කොප හා පිලිප් ගුනවර්ධනගේ මඑපෙ සමග ලසසප, ඇති කර ගත් වාමාංශික එක්සත් පෙරමුනට (වාඑපෙ) එක්සත් ලේකම් මන්ඩලයේ දිරිගැන්වීම හා අනුමැතිය ලැබුනි. 1960 දී අයිඑස්, කම්කරු පන්තියේ පක්ෂවල මැතිවරන පෙරමුනක් සඳහා කැඳවුම් කල අතර, 1963 දී එක්සත් වීමේ සමුලුව “දකුනට ඇදෙන ව්‍යාපාරය වැලැක්වීමටත් මෙම ජනතාවන්ට විකල්ප වමක් වෙත ගමන් කිරීමට උදව් වීම සඳහාත් වාමාංශික එක්සත් පෙරමුනක් පිලිබඳ ප‍්‍රශ්නය (ලසසප විසින්) නිවැරදිව මතු කලේය” යනුවෙන් පවසා තිබුනි.[37] කෙසේ වුව ද වාඑපෙ හරියට ම, 1930 ගනන්වල ට්‍රොට්ස්කි විරුද්ධත්වය පල කල මහජන පෙරමුන වර්ගයේ ම එකකි. තව ද ඊට සම්බන්ධවූ පක්ෂ පන්ති සහයෝගිතාවයේ තහවුරු වූ වාර්තාවන්ට හිමිකම් කීවේය -වර්ගවාදී මඑපෙ, 1956 ශ‍්‍රීලනිප ආන්ඩුව තුල කටයුතු කර තිබුන අතර, ස්ටැලින්වාදී කොප යුද්ධය අවධියේ ලංකා ජාතික සංගමයේ කොටසක්ව සිට එජාප කැමැත්ත පලකලේ නම් එහි ප‍්‍රථම ආන්ඩුවට එක්විය හැකිව තිබුනි.

16-3 1963 අගෝස්තු 12 දින වාමාංශික එක්සත් පෙරමුනේ (වාඑපෙ) සම්මුතියට නිල වශයෙන් අත්සන් තැබුනි. එය සිදුවූයේ හර්තාලයේ 10 වන සංවත්සරය හා කම්කරු පන්තියේ එකමුතුව පිලිබඳ මහා ප‍්‍රකාශ මධ්‍යයේය. දේශපාලන ක‍්‍රියාමාර්ග, ධජ හා සටන් පාඨ කවලම් කර නොගැනීම ද විප්ලවවාදී පක්ෂයේ දේශපාලන ස්වාධීනත්වය ද අවධාරනය කරමින් ට්‍රොට්ස්කි යෝජනා කල එක්සත් පෙරමුනු උපාය සමඟ මෙම අවස්ථාවාදී පෙරමුනට මෙලොව සම්බන්ධයක් තිබුනේ නැත. පැබ්ලෝවාදීන් පැවසූ පරිදි ඒකාබද්ධ වාඑපෙ වේදිකාවට “අව්‍යාජ සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්” නොතිබුනු අතර තිබුනේ, පාර්ලිමේන්තුව හරහා ධනේශ්වර ආකෘතිය තුල දිනාගැනීමට ඇති සීමිත ප‍්‍රතිසංස්කරන ලැයිස්තුවක් පමනි. තව ද එක්සත් ලේකම් මන්ඩලය අනුමත කල ක‍්‍රියාමාර්ගය, මඑපෙ වාර්ගික දේශපාලනයට ප‍්‍රධාන සහන අත්කර දුන්නේය. 1960 දී සිංහල හා දෙමල අතර සමතැන පිලිබඳ සිය ඉල්ලීම අතහැර දැමීමෙන් පසුව ලසසප, දැන් එකඟ වුනේ, පවත්නා සිංහල පමනක් නීතියේ අඩංගු වෙනස්කම් කිරීමේ ස්වභාවය අඩු කල යුතු බවට කල නොපැහැදිලි ඉල්ලීමක් පමනක් අන්තර්ගත කරගත් පොදු වැඩපිලිවෙලකටය. ලසසප මධ්‍යම කාරක සභාව තුල එඩ්මන්ඩ් සමරක්කොඩිගේ නායකත්වයෙන් යුක්ත සුලුතරයක්, වාඑපෙ ක‍්‍රියාමාර්ගය මහජන පෙරමුනුවාදී එකක් ලෙස නිවැරදිව හෙලා දුටු නමුත් ලසසප, වාඑපෙන් කැඩිය යුතු යයි ඉල්ලා නොසිටියේය. සමරක්කොඩිගේ ආස්ථානය සම්භාව්‍ය මාධ්‍යමික මඟහැරීමකි. යෝජිත වැඩපිලිවෙලේ අවස්ථාවාදී ස්වභාවය හඳුනා ගැනීමට ඔහු සමත් වුව ද අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගැනීමට හා පෙරේරා නායකත්වයෙන් බිඳීමකට සූදානම් නොවීය. එකම ට්‍රොට්ස්කිවාදී විවේචනය එල්ල වූයේ බ්‍රිතාන්‍ය එස්එල්එල් වෙතිනි. වාඑපෙ අවස්ථාවාදී එකතුවක් ලෙස හෙලාදුටු එය “ලසසපයේ සිය ගනනක් වන කැපවූ කොමියුනිස්ට්වාදීන් හතර වන ජාත්‍යන්තරයේ මූලධර්ම හා ක‍්‍රියාමාර්ගය යලි පිහිටුවා ගනිමින් සංශෝධනවාදය හා සංශෝධනවාදී නායකයින් පක්ෂයෙන් විරේක කල යුතු යයි” ඉල්ලා සිටියේය.[38]

16-4 ශ‍්‍රීලනිප ආන්ඩුව 1960 පිහිටවූ තැන් පටන් අර්බුදයක ගිලී තිබුනි. සිංහල පමනක් ප‍්‍රතිපත්තිය කෙරෙහි පුලුල්ව පැතිර ගිය දෙමල ජනතාවගේ විරෝධයට ප‍්‍රතිචාර වශයෙන් බන්ඩාරනායක, ෆෙඩරල් පක්ෂය තහනම් කර 1961 වසරේ වැඩි කොටසක් පුරා ක‍්‍රියාත්මක වූ හදිසි නීතිය පැනවූවාය. ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරය හමුවේ ආන්ඩුව, වෘත්තීය සමිති ක‍්‍රියා තහනම් කර වරායට හමුදාව යෙදවීය. 1962 ජනවාරියේ දී අසාර්ථක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් හා හමුදා නිලධාරීන්ගේ කුමන්ත‍්‍රන වෑයම, කම්කරු පන්තිය පාලනය කර ගැනීමේ ලා බන්ඩාරනායකගේ හැකියාව පිලිබඳව පාලක පන්තියේ කොටස් අතර පැවති භීතිය පිලිබිඹු කලේය. පොදු ඉල්ලීම් 21ක් වටා වතු කම්කරුවන් ද ඇතුලු සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් 1963 සැප්තැම්බරයේ පිහිටුවන ලද වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (ජේසීටීයූ ඕ) වැඩ වර්ජනයන්ට තවත් ආවේශය සැපයීය. ලසසපයේ ලංකා වෙලඳ සංගමයේ (සීඑම්යූ) දින 69ක වැඩ වර්ජනය, වැඩට යන ලෙසට ආන්ඩුව දුන් අවසන් නිවේදනය ඉවත දැමූ අතර, 1964 ජනවාරියේ දී සැලකිය යුතු සහන දිනාගැනීමට සමත් විය. තම බහුතරය පිලිබඳ අවිශ්වාසයෙන් පසුවූ බන්ඩාරනායක පෙබරවාරියේ දී පාර්ලිමේන්තු සැසිවාරය නිමා කලාය.

16-5 කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය සමග ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්න මත සිය කැබිනට්ටුව අර්බුදයකට මුහුන දී සිටිය දී බන්ඩාරනායක, වාඑපෙ පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කලාය. ලසසප නායකයින්, මාර්තු 21 වන දින වතු කම්කරුවන්ගේ විශාල කන්ඩායම් ද ඇතුලුව, ඉල්ලීම් 21 ව්‍යාපාරය ගාලු මුවදොර පිටියේ පැවැත්වූ දැවැන්ත රැලිය අමතමින් සිටිය දී, එන්.එම්. පෙරේරා, සභාග ආන්ඩුවක් පිහිටුවීම පිලිබඳව බන්ඩාරනායක සමඟ රහසිගතව සාකච්ඡා පැවැත්වීය. සාකච්ඡා ප‍්‍රසිද්ධියට පත්වීමෙන් පසුව සිය ක‍්‍රියාව යුක්ති සහගත කරමින් බන්ඩාරනායක, පන්ති විඥානයෙන් යුත් ධනේශ්වරයේ නියෝජිතවරියක ලෙස, ඇයගේ විවිධ විකල්ප ප‍්‍රසිද්ධියේ පැහැදිලි කලාය. “සමහරු සිතන්නේ මෙම කරදර (වැඩ වර්ජන) පිටුදැකිය හැක්කේ ආඥාදායකත්වයක් පිහිටුවීම මඟින් බවය. තවත් සමහරු, තුවක්කුවෙන් හා බයිනෙත්තු තුඩෙන් කම්කරුවන් වැඩට දැක්කිය යුතු බව කියති. ඒ අතර අනෙක් අය, මෙම ගැටලුව විසඳීම සඳහා ජාතික ආන්ඩුවක් පිහිටුවිය යුතු බව කියා සිටිති. මම මේ අදහස් වෙන් වෙන්ව හා ලෝක සිද්ධීන්ගේ සන්දර්භයක තබා සලකා බැලුවෙමි. මගේ නිගමනය, මේ කිසිදු විසඳුමක් යා යුතු තැනට අප ගෙනයාම සඳහා උපකාරී නොවන බවයි.... එබැවින් මහත්වරුනි මම, කම්කරු පන්තියේ නායකයින්, විශේෂයෙන් ම පිලිප් ගුනවර්ධන හා එන්.එම්. පෙරේරා යන මහත්වරුන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට තීරනය කලෙමි.[39]

16-6 කොල්වින් ආර් ද සිල්වා හා ලෙස්ලි ගුනවර්ධනගේ නායකත්වය යටතේ වූ ඊනියා “මධ්‍ය” කන්ඩායමේ සහයෝගය ද ඇතිව, පෙරේරා විසින් මෙහෙයවන ලද ලසසප දක්ෂිනාංශය, ශ‍්‍රීලනිප සමග සභාගයක් ඇටවීම සඳහා අනුමැතිය ගැනීමට කඩිමුඩියේ ම ජූනි 6-7 දිනවල පක්ෂ සම්මේලනයක් කැඳවීය. ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන් ජෙරී හීලි කොලඹට පැමිනි අතර සමුලු ශාලාවට ඇතුල්වීම තහනම් කරනු ලැබුවත් පිටත සිට ඔහු දැඩි උද්ඝෝෂනයක නිරත විය. සමුලුව තුලදී පෙරේරා ගෙන ආ යෝජනාව, ශ‍්‍රීලනිප ධනේශ්වර පක්ෂයක් නොව “වඩා ප‍්‍රතිගාමී සමහර කොටස් හලා දමා ඇති රැඩිකල් සුලු ධනේශ්වරය හා පහල මධ්‍යම පන්තිය මත පදනම්වූ පක්ෂයක්” බව හා “ජනසතු කිරීම් වෙනුවෙන් විවිධාකාර පියවර ගත් පක්ෂයක්” බවට තර්ක කරමින් පාවාදීම යුක්ති සහගත කලේය. මෙම ප‍්‍රකාශ, චීනයේ කුවෝමිංටෑනය වැනි සංවිධාන පිලිබඳව ට්‍රොට්ස්කි ලියා ඇති සියල්ලෙහි නිෂේධනය වූ අතර, කියුබාවේ හා ඇල්ජීරියාවේ සුලු ධනපති නායකත්වයන් උත්කර්ෂයට නැංවූ පැබ්ලෝවාදීන්ගේ පිලිවෙත සමග නියමෙට ගැලපුනි. ලසසප නායකත්වය ශ‍්‍රීලනිපයේ වර්ගවාදයට මුලුමනින් ම යටත්වී ඇති බව ද යෝජනාවෙන් පැහැදිලිව ම ප‍්‍රකාශිත විය. බන්ඩාරනායක සමඟ එකඟ වූ දස වැදෑරුම් ප‍්‍රතිපත්ති ලැයිස්තුවට භාෂාව හෝ පුරවැසි ප‍්‍රශ්නය අන්තර්ගත නොවීය. ද සිල්වා හා ගුනවර්ධන යන හිටපු බීඑල්පීඅයි විප්ලවවාදීන්ගේ දේශපාලන හා සදාචාරාත්මක බිඳ වැටීම “මධ්‍ය” යෝජනාවෙන් මොනවට පෙන්නුම් කෙරෙයි. පෙරේරා සමඟ ඔවුන්ට පැවති එකම “මතභේදය” ශ‍්‍රීලනිපයට යටත්වූ කොන්දේසි පිලිබඳවය - සභාග ආන්ඩුවට, ලසසප පමනක් නොව වාඑපෙ අනෙකුත් පක්ෂ ද ඇතුලත් විය යුතුය යන්න ද පමනි.

16-7 යෝජිත සභාග ආන්ඩුව පැහැදිලිව ම හෙලා දුටු විප්ලවවාදී සුලුතරයේ යෝජනාව, “එය නිර්ධන පන්ති විප්ලවයට ද්‍රෝහීකම් කිරීමක්” ලෙස හැඳින්විය. “ලසසප නායකයින් ශ‍්‍රීලනිප ආන්ඩුවකට ඇතුල් වීමේ ප‍්‍රතිපලය, විවෘත පන්ති සහයෝගිතාවය, ජනතාව අවමංගත කිරීම, කම්කරු පන්තිය බෙදීම හා කම්කරු පන්ති ව්‍යාපාරය විනාශ කිරීමට තුඩුදෙමින් වමේ ස්වාධීන විප්ලවකාරී අක්ෂය මකා දමා අරගලයේ ඉදිරි දර්ශනය අතහැර දැමීම” බව එය කියා සිටියේය. එහි ප‍්‍රතිපල වශයෙන් ධනේශ්වර ප‍්‍රතිගාමිත්වයේ බලවේග දුබල කිරීම හෝ නිෂ්ක‍්‍රීය කිරීම කෙසේ වෙතත්, අවසාන වශයෙන් ශක්තිමත් කරනු ඇත.” පෙරේරාගේ යෝජනාවට ඡන්ද 501ක් ද “මධ්‍ය” ට 75ක් හා විපාර්ශවයට 159ක් වශයෙන් ලැබීමෙන් පසුව, විප්ලවකාරී සුලුතරය සමුලුවෙන් පිටව ගොස් වෙනම රැස්වී විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය හෙවත් (වි)ලසසප පිහිටුවා ගන්නා ලදී.

16-8 ක‍්‍රියාදාමය පුරාම එක්සත් ලේකම් මන්ඩලය තරයේ ම අවස්ථාවාදී ක‍්‍රියා කලාපයක් ඉෂ්ඨ කලේය. සමුලුවට සති ගනනකට පෙරාතුව එනම් අප්‍රේල් මාසයේදී එය, ශ‍්‍රී ලංකාවේ වාඑපෙ “තවත් කියුබාවක් හෝ ඇල්ජීරියාවක් නිර්මානය කරමින්, ලෝකය පුරාම විප්ලවවාදී නැඹුරුවක් ඇති කම්කරුවන්ට ඊටත් වඩා විශාල දිරිගැන්වීමක් සැපයීමට සමත්වනු ඇතැයි පවසා තිබුනි.”[40] බන්ඩාරනායක සමග පෙරේරාගේ සාකච්ඡා පිලිබඳ ප‍්‍රවෘත්තිය පැරිසියට ලඟාවූ කල, ආපසු වාඑපෙ කරා යන ලෙස කියා සිටිමින් එක්සත් ලේකම් මන්ඩලය (එලේම) තමන්ගේම දේශපාලන වගකීම වසං කිරීම සඳහා දනිපනි ගෑවේය. එහෙත් උචිත පරිදි හීලි වාඑපෙ, සභාගයේ තිත්ත බෙහෙතට “තැවරූ සීනි” බව පැවසීය. එය බන්ඩාරනායක ආන්ඩුවට පැනීම සඳහා පෙරේරා පාවිච්චි කල එලිපත්තයි. වාඑපෙ ක‍්‍රියාමාර්ගය හා බන්ඩාරනායක ආන්ඩුව සමග ලසසප ඇතිකරගත් ගිවිසුම අතර මූලික වෙනසක් තිබුනේ නැත. එලේම එන්.එම්. පෙරේරා හා ආන්ඩුවේ ඇමතිකම් ගත් තවත් දෙදෙනෙකු නෙරපා හල අතර, ඔහුගේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අයගේ සාමාජිකත්වය අත්හිටුවීය. එහෙත් ලසසප තුල රැඳී සිටි ඊනියා “මධ්‍ය”ට විරුද්ධව මාස ගනනක් යන තෙක්ම කිසිදු පියවරක් ගත්තේ නැත.

16-9 එක්සත් ලේකම් මන්ඩලය ලසසප පාවාදීම පිලිබඳව සිය සාමාජිකත්වයෙන් මතුවූ විවේචන මැඩලන ලදී. ඇමරිකානු එස්ඩබ්ලිව්පී තුල නිල සුලුතරයක් ලෙස කටයුතු කල ටිම් වුල්ෆර්ත්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවන්, බන්ඩාරනායක ආන්ඩුවට ලසසප ඇතුලුවීම පිලිබඳව අභ්‍යන්තර පක්ෂ සාකච්ඡාවක් ඉල්ලා සිටි විට, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල පෙර නොවූ විරූ පියවරක් ගනිමින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලදී. 1961 වසරේ පටන් එස්ඩබ්ලිව්පී පැබ්ලෝවාදය සමග යලි එකමුතු වීමට විරුද්ධව, එස්එල්එල් සමග සිට සටන් වැදුනු සුලුතරය, 1966 නොවැම්බරයේ වර්කර්ස් ලීගය බවට පරිවර්තනය කල හතරවන ජාත්‍යන්තරය සඳහා වූ ඇමරිකානු කමිටුව පිහිටුවා ගත්හ.

16-10 1964 ජූලි නිකුත් කල ප‍්‍රකාශනයක් තුල ජාත්‍යන්තර කමිටුව පහත දැක්වෙන දුර දක්නා නිගමනය ඉදිරිපත් කලේය. “ලසසප සාමාජිකයින් බන්ඩාරනායක සභාගයට ඇතුල් වීම, හතරවන ජාත්‍යන්තරයේ පරිනාමයෙහි සමස්ත අවධියක ම අවසානය සලකුනු කරයි. අධිරාජ්‍යවාදය සඳහා සෘජු සේවය ද කම්කරු පන්තිය සඳහා පරාජය ද සූදානම් කරමින්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සංශෝධනවාදය, සිය ප‍්‍රකාශනය ලබා ගත්තේය.”[41]


[36]

Trotskyism versus Revisionism(සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය), වෙලුම 4, ලන්ඩන්: නිව් පාර්ක්, 1974, 225 පි.)

[37]

ජෙරී හීලි, “ලංකාව, මහා පාවාදීම”, Trotskyism versus Revisionism(සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය), 4 වෙලුම , 233-34 පිටු.

[38]

වයි. රන්ජිත් අමරසිංහ, Revolutionary Idealism and Parliamentary politics (නිව්ස් ලෙටර්, විප්ලවවාදී විඥානවාදය හා පාර්ලිමේන්තුවාදී දේශපාලනය) කොලඹ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය 1998 කෘතියේ 261-62 පිටුවල උපුටා දක්වා ඇත..

[39]

Trotskyism versus Revisionism, (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය) 4 වෙලුම, 241 පිට.

[40]

එම., 235 පි.

[41]

එම., 255 පි.