Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවීම

17-1 ලසසප පාවාදීමෙන් ඉක්බිත්තේ, ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය හෙවත් විකොස පිහිටුවීම, පැබ්ලෝවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙනගිය දේශපාලන හා න්‍යායික අරගලයත්, 1968 සිට 1975 දක්වා ජාත්‍යන්තරව පැන නැඟුනු විප්ලවවාදී නැගිටීම්වල අවධියක් පෙර සලකුනු කරමින් ශී‍්‍ර ලංකාව තුල ඇතිවූ කම්කරුවන්ගේ හා තරුනයින්ගේ පෙරලිකාරිත්වයත් අතර, අන්තර් ඡේදනයේ නිමැවුමක් විය.

17-2 ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලන කම්පනයන්ට විවෘත වූ කුඩා දිවයිනක පිහිටි රාජ්‍යයක් වන ශ‍්‍රී ලංකාව සැමවිටම, පුලුල් ජාත්‍යන්තර ක‍්‍රියාවලීන් පිලිබඳ පූර්ව රංඟනයක් නිරූපනය කලේය. 1960 ගනන් මුල් වසරවල ගිලා බසින තේ මිල ගනන් නිසා ඇතිවූ උග‍්‍ර ගෙවුම් ශේෂ අර්බුදය සමග බැඳුනු ජාත්‍යන්තර ආර්ථික පසුබෑම, ඉහල විරැකියාවක්, විශේෂයෙන්ම විශ්ව විද්‍යාල උපාධිධාරීන් ද ඇතුලු තරුනයින් අතර, නිර්මානය කලේය. තරුනයින් හා කම්කරුවන් පෙරලිකාරී වූයේ හුදෙක් බන්ඩාරනායක ආන්ඩුවට එරෙහිව වර්ධනය වූ ව්‍යාපාරය නිසා පමනක් නොව, 1961 පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කිරීමත් වියට්නාම් යුද්ධය තුල එක්සත් ජනපදයේ මැදිහත්වීම උත්සන්න කිරීමත් ඇතුලූ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ ද හේතුකොට ගෙනය. ලසසපයේ දේශපාලන පරිහානිය තිබියේ වී නමුත්, තවමත් එහි ඉතිරිව පැවති බීඑල්පීඅයි ට්‍රොට්ස්කිවාදී සම්ප‍්‍රදායන් බෙහෙවින් ආකර්ෂනීය විය. පාසැල්වල හා විශ්ව විද්‍යාලවල සැලකිය යුතු ශිෂ්‍ය කොටසක් තමන් ට්‍රොට්ස්කිවාදීන් ලෙස සලකා ගත්හ. රටේ ප‍්‍රධාන විශ්ව විද්‍යාලය වූ පේරාදෙනියේ ට්‍රොට්ස්කිවාදීහු ආධිපත්‍ය දැරූහ.

17-3 ලසසපයේ පාවාදීම, රට තුලත් ජාත්‍යන්තරවත් ප‍්‍රගාඪ බලපෑමක් ඇති කලේය. පැබ්ලෝවාදී නායකත්වය සමග එක්ව ලසසප, ස්ටැලින්වාදය අනුගත වීම මගින් විශේෂයෙන් ම මාවෝවාදය හුවා දැක්වීම මගින්, ආසියාව පුරා ස්ටැලින්වාදී පක්ෂවල බලපෑමට අභියෝගයකින් තොරව පැවතීමට අවකාශ සැලසීය. දැන් ස්ටැලින්වාදීන්ට, තමන්ගේ දේශපාලන අපරාධ කෙරේ යොමුවන අවධානය ලසසපයේ ද්‍රොහීත්වයට මුවාවී මඟහැර ගැනීමේ අවස්ථාව උදා විය. විශේෂයෙන් ම මෙය ඉන්දියාව සම්බන්ධයෙන් එසේ විය. එහි දී පැබ්ලෝවාදය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනාශ කර දමා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට (සීපීඅයි) නිර්බාධිතව වර්ධනය වීම සඳහා ඉඩකඩ සැලසීය. 1961 චීන-සෝවියට් භේදය හා 1962 ඉන්දු-චීන දේශසීමා යුද්ධයෙන් පසුව සීපීඅයි තුල වර්ධනය වූ අර්බුදයට කිසිදු මැදිහත් වීමක් සිදු නොකරන ලදී. අර්බුදයේ ප‍්‍රතිපලය වූයේ, “සංශෝධනවාදී” ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි විරුද්ධත්වය මවාපෑමක් ලෙස ඉන් කැඩී ගිය කොටසක් 1964 දී (මාක්ස්වාදී) ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයිඑම්) පිහිටුවා ගැනීමයි. 1968-69 දී සීපීඅයිඑම් වෙතින් බිඳී ගිය නැක්සලයිට් හෝ මාඕවාදීන්, සීපීඅයි හා සීපීඅයි(එම්) යන සියලු පක්ෂ, 1960 ගනන් අවසානයේ ආරම්භ වී දශකයක කාලයක් ඉන්දියාව වෙලාගනු ලැබූ කම්කරු හා ගොවි අරගල රැල්ල අවධියේ කම්කරු පන්තිය ධනේශ්වරයට දේශපාලනිකව යටත් කිරීම සඳහා සේවයේ යෙදුනහ. සිය ගොවි පදනමේ ගරිල්ලා යුද්ධයෙහි මූලෝපාය මත සිට ක‍්‍රියාකරන අතර තුර නැක්සලයිට්වාදීහු, ට්‍රොට්ස්කිවාදය පිලිබඳ ස්ටැලින්වාදීන්ගේ සියලු මුසා හා අපවාද කන්දරාවට මුක්කුවක් ලෙස, ලසසප පාවාදීම වාචාල සහගතව හුවා දැක්වූහ.

17-4 ශ‍්‍රී ලංකාව තුල දී ලසසපය, කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය අතහැර දැමීම සහ ශ‍්‍රීලනිප සිංහල අධිපතිවාදය වැලඳ ගැනීම, රටට මහත් විපත්තිකර ආනිසංස ගෙන දුන් වාර්ගික දේශපාලනයේ නිර්බාධිත වර්ධනය සඳහා දොර විවර කලේය. ලසසප බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවී සිංහල හා දෙමල කම්කරුවන්ගේ ඒකාබද්ධ ඉල්ලීම් 21 ව්‍යාපාරයට දුන් සහයෝගය අත්හිටුවීමත් සමග එම ව්‍යාපාරය බිඳී ගියේය. අඩ මිලියනයක් දෙමල වතු කම්කරුවන් බලහත්කාරයෙන් පිටමං කිරීමට ඉඩ සැලසූ බන්ඩාරනායක හා ඉන්දීය අගමැති ලාල් බහදූර් ශාස්ත‍්‍රී අතර 1964 ඔක්තෝබරයේ ඇති කර ගත් ගිවිසුමට, ලසසප සහාය දීමත් සමග කම්කරුවන්ගේ මෙම කොටස් අතර ලසසපයට පැවති සහයෝගය ඉක්මනින් ම බිඳ වැටුනි.

17-5 ලසසප කල පාවාදීම හේතුකොටගෙන, අව්‍යාජ මාක්ස්වාදයේ වියදමෙන්, සුලු ධනපති වාර්ගික දේශපාලනයේ විවිධ රූපාකාරයන් පෙරලිකාරීවූ තරුනයින් අතරට රිංඟා ගත්තේය. හිටපු කොප ස්ටැලින්වාදීන් හා මාඕවාදීන් විසින් 1966 දී පිහිටුවාගත් ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) දිවයිනේ දකුනු පලාත් තුල විරැකියාවෙන් පෙලුන සිංහල ගම්බද තරුන කොටස් අතර මුල්බැස ගැනීමට හැකි විය. දේශීය සිංහල ජනතාවාදය සමග මිශ‍්‍ර කල මාඕවාදය හා කැස්ට්‍රෝවාදය තුලින් පෙරාගත් සාරසංග‍්‍රහවාදී කැඳ හැලියක් වූ ජවිපෙට, ලසසපයේ පාවාදීමෙහි එල්ලීගෙන වාචාල සහගත ලෙස “ට්‍රොට්ස්කිවාදය” හෙලා දැකීමට හැකි විය. 1970 ගනන් වල දෙවන ශ‍්‍රීලනිප සභාගයේ ස්වෝත්තමවාදී ප‍්‍රතිපත්ති, දෙමල තරුන කොටස් පෙරලිකාරී කල තතු යටතේ, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය ද ඇතුලු විවිධ දෙමල සන්නද්ධ සංවිධාන ට්‍රොට්ස්කිවාදය හා මාක්ස්වාදය කෙරෙහි සිය විරුද්ධත්වය යුක්තිසහගත කිරීම සඳහා ලසසප ඇමතිවරුන්ගේ කටයුතු මතුකර දැක්වූහ. ලසසපයේ පාවාදීමෙන් දශක දෙකකට ආසන්න කාලයකට පසුව, ශ‍්‍රී ලංකා ධනේශ්වරයේ ප‍්‍රතිගාමී වාර්ගික දේශපාලනය සිවිල් යුද්ධයක් ලෙස පුපුරා ගිය අතර එය දිවයිනේ ඊලඟ සියවස් කාලක අවධිය වසාගත්තේ ය.

17-6 මෙම දේශපාලන රැල්ලට එරෙහිව ට්‍රොට්ස්කිවාදයට හා බීඑල්පීඅයි සම්ප‍්‍රදායන් වෙත ආකර්ශනය වූ පෙරලිකාරී තරුනයින් අතර කුසලතා පූර්න කන්ඩායමක් 1968 දී විකොස පිහිටුවා ගත්හ. කෙසේ වුව ද එය කලහැකි වූයේ ලසසපයේ පාවාදීමට මග පෑදූ ලසසප (වි) තුල දිගටම අධිකාරය දැරූ පැබ්ලෝවාදයේ දේශපාලනය පැහැදිලි කිරීමට ජාත්‍යන්තර කමිටුව කල මැදිහත්වීම තුලින් පමනි. එම තරුනයින් අතර පෙරමුනේම සිටියේ යන්තම් වයස 19 දී ප‍්‍රධාන ලේකම් ලෙස තේරී පත්ව, 1987 වසරේ ඔහුගේ අකල් මරනය දක්වා ම විකොස මෙහෙයවූ කීර්ති බාලසූරිය හා එම දුෂ්කර වාතාවරනය හමුවේ ප‍්‍රධාන ලේකම් ලෙස වගකීම භාරගනිමින් පසුගිය සියවස් කාලක අවධිය පුරා පක්ෂය මෙහෙයවූ විජේ ඩයස්ය. ලසසපයේ පාවාදීම ද දිවයිනේ දිග් ගැසුනු සිවිල් යුද්ධය ද මගින් නිර්මානය කල දැවැන්ත දේශපාලන පීඩනයන් හමුවේ නැඟී සිටීමට විකොසට හැකිවීම, එය ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස පිහිටුවනු ලැබූ ට්‍රොට්ස්කිවාදී මූලධර්මවල ශක්තිය පිලිබඳ හොඳම සාක්ෂියකි.

17-7 ප‍්‍රථමයෙන් 1964 ජූනියේ දී ජෙරී හීලි ද ඉන්පසුව 1964 දෙසැම්බරයේ දී එස්එල්එල් නිව්ස් ලෙටර්හි කතෘ මයික් බන්ඩා ද යන එස්එල්එල් නායකයින් හරහා ජාත්‍යන්තර කමිටුව ලංකාව තුල කල මැදිහත්වීමේ ප‍්‍රතිපල වශයෙන් ලසසපය(වි) තුල ජාත්‍යන්තර කමිටුවට පක්ෂපාතී කන්ඩායමක් ගොඩනැඟුනි. කෙසේ වෙතත් ලසසපයේ භේදය තුලින් ගොඩනැඟුනු පක්ෂයක් වූ ලසසප(වි), පැබ්ලෝවාදයෙන් නොබිඳී, පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය තුලම රැඳී සිටි අතර එය ශුභදායී දේශපාලන වාතාවරනයක් නොවීය. එහි ලේකම් එඩ්මන්ඩ් සමරක්කොඩි 1963 ලෝක සමුලුවට සහභාගිවී එස්ඩබ්ලිව්පීය සමග යලි එකමුතුවීම සඳහා ඡන්දය දී තිබුනි. පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙනගිය අරගලය මූර්තිමත් කරමින් ජාත්‍යන්තර කමිටුවේ අනුගාමිකයෙකු එම “ජාත්‍යන්තර ප‍්‍රශ්නය” විවාදයට ගත යුතු යයි ඉදිරිපත්කල යෝජනාව වැලැක්වීමට ලසසප(වි) ප‍්‍රථම සමුලුවේදී සමස්ත නායකත්වයම, අත්වැල් බැඳගත්හ.

17-8 ලසසප(වි) දේශපාලන යොමුව ගලා ආවේ එක්සත් ලේකම් මන්ඬලයේ වාමාංශික එක්සත් පෙරමුන පිලිබඳ ආස්ථානයෙනි. මූලික කර්තව්‍යය දැකගනු ලැබුවේ, ජේසීටීයූ ඕ ඉතිරිව පැවති කොටස් හරහා ඉල්ලීම් 21 ව්‍යාපාරයේ අරගලය ඉදිරියට ගෙන යාම ලෙස සින්ඩිකල්වාදී අර්ථයෙනි. විකොස පසුව පැහැදිලි කල පරිදි, “ලසසප(වි), කම්කරු පන්තිය ඉදිරියේ ‘වාම නායකයින්’ ද්‍රෝහීන් ලෙස හෙලා දකින අතරතුර, ඔවුන් අරගලය තුලට ඇදගැනීම පිනිස ඉහල මට්ටමේ දී උපාමාරු යොදන සංවිධානයක් බවට පත්විය. මෙම පිලිවෙත මත පදනම් වෙමින්, කම්කරු පන්තිය තුල තමන්ට පැවති කුඩා අනුගාමිත්වය කම්කරු පන්තිය හා තරුනයින් (ලසසප හා කොප) නායකයින් ට එරෙහි අරගලයකට ස්වාධීනව සංවිධානය කිරීම සඳහා නොව, ‘නායකයින් වමට තල්ලු කිරීමේ’ උපාමාරු දැමීම කරා යොමු කලහ.”[42]

17-9 සමරක්කොඩි හා මෙරිල් ප‍්‍රනාන්දු යන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙන දේශපාලන කමිටුවේ මඟපෙන්වීම නොතකා, 1964 දෙසැම්බරයේ දී ශ‍්‍රීලනිප-ලසසප ආන්ඩුව පෙරලා දැමූ රාජාසන කථාවට ගෙන ආ දක්ෂිනාංශික සංශෝධනයට සහාය දැක්වීමෙන් පසුව, ලසසප(වි) කෙරෙහි නැඹුරුවී සිටි තරුන සිසුන් අතර අතෘප්තිය කැපී පෙනෙන ආකාරයකින් වර්ධනය විය. ඔවුන් දුන් ඡන්දය, 1965 මාර්තු මැතිවරනයේ දී ලසසප(වි) සතුව තිබුනු ආසන දෙක ද අහිමි කරමින් පක්ෂයට තිබුනු සහයෝගය බිඳවැටීමට තුඩු දුන්නේය. මැතිවරනයෙන් එජාපය ජයගත් අතර එය, මඑපෙ හා ෆෙඩරල් පක්ෂය ද ඇතුලත් පක්ෂ හතක සභාගයක් ගොඩනැඟීය. මෙම සන්දර්භය තුල, ලසසප(වි) නායකත්වයේ කටයුතු කෙරෙහි විරුද්ධවූ සිසුන් ස්ථරයක් පුලුල් වශයෙන් ට්‍රොට්ස්කිවාදයට සහයෝගය පලකල අසම්මතික කන්ඩාමක් තනාගෙන 1965 නොවැම්බරයේ දී ශක්ති පුවත්පත පලකිරීමට පටන් ගත්හ. එහි නායකයින් වූයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය දේශපාලනය තුල මූලිකත්වයක් ගත් අයයි. ශක්ති කන්ඩායම වියට්නාම් යුද්ධයට එරෙහිව විරෝධතාවකට හා අධ්‍යාපන තත්වය වැඩිදියුනු කරන ලෙස ඉල්ලමින් 1965 දෙසැම්බර් මස සතියක් පුරා පැවති ශිෂ්‍ය වැඩවර්ජනයකට නායකත්වය දුන්හ. මෙය පොලිසිය විසින් ප‍්‍රචන්ඩ ලෙස මඩිනු ලැබිනි. විජේ ඩයස් හා තවත් ගනනාවකගේ පන්ති තහනම් කරනු ලැබූ අතර හිටපු ශිෂ්‍ය නායකයෙක් වැඩ තහනමට ලක් කරන ලදි. සිසුන් හතරදෙනෙකුට පොලිස් භටයෙකු මැරීමට උත්සාහ කලේය යන ගොතන ලද චෝදනා යටතේ නඩු පවරනු ලැබීය.

17-10 කෙසේ වුව ද සියලු රැඩිකල් ලක්ෂන තිබිය දී ම ශක්ති කන්ඬායම ද ලසසප හා කොප නායකයින් වමට තල්ලූ කිරීම සඳහා වූ ලසසප(වි) බලපෑම් දැමීමේ දේශපාලනය මතම පදනම්ව සිටියහ. ලසසප(වි) තුල, ශක්ති කන්ඩායමේ දිශානුගත වීමට අභියෝග කල පුද්ගලයා වූයේ යුද්ධය අවධියේ හා ඉන් පසුව බීඑල්පීඅයි සාමාජිකයෙකුව සිටි විල්ෆ‍්‍රඩ් පෙරේරා හෙවත් “ස්පයික්” පමනි. රාජාසන කථාව මත පැවති ඡන්දය නොතකා හරින ලෙස බන්ඩාරනායකට කැඳවුම් කරමින්, ශ‍්‍රිලනිප-ලසසප 1964 දෙසැම්බරයේ පැවැත්වූ විරෝධතාවන්ට මැදිහත් නොවීම පිලිබඳව (වි) ලසසප විවේචනය කල, ශක්ති නායකයෙකුවූ නිමල් හෙවත් නන්ද වික‍්‍රමසිංහ විසින් 1965 සැප්තම්බරයේ ලියන ලද “දෙසැම්බරයේ පාඩම්” නමැති මාතෘකාව සහිත ලියවිල්ලකට ස්පයික් දිගු පිලිතුරක් ලිවීය. ඔවුන්ගේ ඉල්ලීම් වූයේ ධනේශ්වර ආන්ඩුව ආරක්ෂා කර ගැනීම හා වර්ගවාදී සිරිමා-ශාස්ත‍්‍රී ගිවිසුම ක‍්‍රියාවට නැඟීම බව පෙන්වා දෙමින් ඔහුගේ “දෙසැම්බරයේ පාඩම් නොව ජූනියේ පාඩම්” තුල ස්පයික්, මෙම “පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයන්ගේ” විප්ලවවාදී විභවය පිලිබඳව ලියවිල්ලේ ඇතුලත්වූ ධාරනාවාදී ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කලේය. උකහා ගත යුත්තේ 1964 ජූනියේ කල ලසසප පාවාදීමේ තීරනාත්මක දේශපාලන පාඩම් බව ඔහු අවධාරනය කලේය. කෙසේ වෙතත් ඔහු ද එක් අයෙක් වූ ජාකට හිතවත් කන්ඩායමේ වැඩි දෙනෙකුට ලසසප(වි) නායකත්වය හා එම කන්ඩායම අතර සම්බන්ධතාව කඩාකප්පල් කරගැනීමට අවශ්‍ය නොවූ බැවින් පෙරේරාගේ ලියවිල්ල බෙදා හැරුනේ නැත.

17-11 එහි ප‍්‍රතිපලය වූයේ ශක්ති කන්ඩායම, හිටපු බීඑල්පීඅයි නායකයෙකු හා ලසසප(වි) දේශපාලන කමිටු සාමාජිකයෙකුවූ වී. කරාලසිංහම්ගේ බලපෑමට යටත්වීමයි. නීතිඥයෙකුවූ ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටියේය. බන්ඩාරනායක ආන්ඩුව පෙරලා දැමීම සඳහා සමරක්කොඩි දුන් ඡන්දය, “හිමාලය තරම් ලොකු වැරැද්දක්” බව පවසමින් කරාලසිංහම් ද ලසසප(වි) නායකත්වයට විරුද්ධ විය. මෙසේ පාර්ලිමේන්තු උපායාත්මක වැරැද්දක් අතිශයෝක්තියට නැංවූ විවේචන තුලින් කරාලසිංහම්ගේ දිශාවනතිය විප්ලවවාදී මාක්ස්වාදය වෙතට නොව ආපසු ලසසපය කරා වැටී තිබුනි. 1966 ශක්ති පත‍්‍රයේ පලකල මැයි දිනය සඳහා විවෘත ලිපියකින් කරාලසිංහම් තර්ක කලේ, ශ‍්‍රීලනිප-ලසසප ආන්ඩුවක්, පවත්නා එජාප තන්ත‍්‍රයට ප‍්‍රගතිශීලී විකල්පයක් හා “සැබෑ විප්ලවවාදී ආන්ඩුවක්” දෙසට තැබූ පියවරක් බවට ය. විප්ලවවාදීන් එවන් වර්ධනයන් කෙරෙහි බිය නොවිය යුතු බව ලිවූ ඔහු, කල යුත්තේ “එවන් (සභාග) ආන්ඩුවක් බිහිවීමට උදව් කිරීම” යයි ලිවීය. කරාලසිංහම්ගේ “අනුක‍්‍රමික අතරමැදි තන්ත‍්‍රයන්” වනාහි අන් කිසිවක් නොව, අනුක‍්‍රමික ධනේශ්වර ආන්ඩු බවත්, එය නියෝජනය කලේ “එජාප විරෝධී ජනතාවගේ වඩාත්ම පසුගාමී ස්ථරයන්ගේ පවත්නා විඥානයේ මට්ටමට යටත්වීමක් බවත්” පැහැදිලි කරමින් ස්පයික් එම ලිපිය දීර්ග විවේචනයකට බඳුන් කලේය. 1966 ජනවාරියේ දී ලසසපය, දෙමල භාෂාවට සීමිත නිල පිලිගැනීමක් ලබාදීම සඳහා එවකට පැවති ආන්ඩුව ගෙන ආ පනතට එරෙහිව ශ‍්‍රීලනිප හා කොප සමඟ විවෘත වර්ගවාදී විරෝධතා හා වැඩ වර්ජනවලට එක්විය.

17-12 1966 ඔක්තෝබරය වන විට කරාලසිංහම්, ලසසප සමග භේදය වැරැද්දක් බවත් යලි ලසසප වෙත යා යුතු බවත් සමරක්කොඩිට එරෙහි විවාදයක් තුල විවෘතව කියා සිටියේය. විජේ ඩයස් හා ශක්ති කන්ඩායමේ තවත් එක් සාමාජිකයෙක් පමනක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්හ. ලසසපය තුලට ඇතුලුවීමක් ලෙස වෙස් මාරුකල කරාලසිංහම්ගේ උපාමාරුවට රැවටුනු අනෙක් කොටස මුලින් එයට පක්ෂව ඡන්දය දුන්හ. කෙසේ වෙතත්, එහි වාම පාර්ශවයට නායකත්වය දුන් අනුර ඒකනායක, කීර්ති බාලසූරිය හා නන්ද වික‍්‍රමසිංහ එවකට ශ‍්‍රී ලංකාවට පැමින සිටි එස්එල්එල් දේශපාලන කමිටු සාමාජික ටෝනි බන්ඩා සමග සබඳතා ගොඩනඟා ගැනීමෙන් පසුව ශක්ති කන්ඩායම බිඳී ගියේය. ලසසපයට ඇතුලු නොවන ලෙසට බන්ඩා දුන් උපදෙස් පිලිගත් ඔවුන්ට, ස්පයික් හමුවීමටත් ප‍්‍රථම වතාවට ඔහුගේ ලිපි කියවීමටත් අවස්ථාව ලැබුනි. විජේ ඩයස් ද ඇතුලත් වූ කන්ඩායමක් ලෙස ඔවුහු තහවුරු වූ අතර 1953 ද 1961-63 කාලයේ ද ජාක පැබ්ලෝවාදයට එරෙහිව කල අරගලයේ ලිපි ලේඛන ක‍්‍රමානුකූලව හැදෑරූහ.

17-13 ටෝනි බන්ඩාගේ මග පෙන්වීම යටතේ මෙම කන්ඩායම ආරම්භයේ දී විරෝධය පුවත්පත පලකිරීමටත් කම්කරු පන්තියේ අරගල වලට මැදිහත් වීමටත් පටන් ගත්හ. ලසසප(වි) තුල ස්පයික්ගේ මැදිහත් වීම පැබ්ලෝවාදයේ ක‍්‍රියාකලාපය පැහැදිලි කර ගැනීමට තවදුරටත් උපකාරී විය. 1967 පෙබරවාරියේ දී අර්නස්ට් මැන්ඩෙල් කොලඹට පැමිනි අවස්ථාවේ ස්පයික් එක්සත් ලේකම් මන්ඩලයේ නායකයාට අභියෝග කිරීම සඳහා සාමාජික රැස්වීමක් උපයෝගී කර ගත්තේය. “ලසසපයේ පරිහානියටත් අවසානයේ එය මුහුන පෑ ව්‍යසනයටත් හතරවන ජාත්‍යන්තරයේ නායකත්වය කෙලින්ම වගකිව යුතු යයි ද පරිහානියේ මූලයන් පැවතුනේ ලසසපයේ සාමාජිකයින් ද ඇතුලත් හතරවන ජාත්‍යන්තරයේ නායකත්වය තුල ම යයි ද මම චෝදනා කරමි. සති කිහිපයක් ඇතුලත මැන්ඩෙල්ගේ පෙලඹවීම මත ලසසප(වි), සය මසකට පෙර ස්පයික් විසින් ලියන ලද යංග් සෝෂලිස්ට් සඟරාවේ කතුවැකිය මුල් කරගෙන “පරීක්ෂනයක්” දියත් කරන ලදී. එහි දී ස්පයික්, ත්‍රෛ‍මහාද්වීපික සමුලුවේ දී හතරවන ජාත්‍යන්තරය වෙත කැස්ට්‍රෝ එල්ල කල වියරු සහගත ප‍්‍රහාරය මුල් කර ගෙන ඔහු හෙලා දැක තිබුනි. “ෆිඩෙල් කැස්ට්‍රෝගේ විප්ලවකාරී නිර්ව්‍යාජ භාවය පිලිබඳව සැකයට තුඩුදෙන පරිදි ඔහු විවේචනය කිරීම මගින් කැස්ට්‍රෝට එරෙහිව රාජ අපරාධයක්” කල බවට බාලා තම්පෝ හා මධ්‍යම කාරක සභාව තමාට චෝදනා කරන්නේ යයි ප‍්‍රකාශ කරමින් ස්පයික් දිරිමත් ලෙස තම ආරක්ෂාව වෙනුවෙන් ක‍්‍රියා කලේය. තම පිලිතුර තුල ඔහු මෙසේ පැවසීය. “එහෙත්, මා කැස්ට්‍රෝ විවේචනය කලේ ‘ශ්‍රේෂ්ඨ කියුබානු නායකයා’ සමඟ සැසඳු කල නිකමකු වන සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස නොව, ලියොන් ට්‍රොට්ස්කි විසින් ගොඩනඟන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ සාමාජිකයෙකු වීම ගැන ආඩම්බර වන පුද්ගලයෙකු ලෙස බවට මම මන්දීකාරකව වගඋත්තර බඳිමි... ජාත්‍යන්තර කම්කරු පන්තිය රවටා අවමංගත කිරීමට ගත් උත්සාහය හා ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහි දඩයමක් වක‍්‍රාකාරයෙන් උසිගැන්වීම නිසා කැස්ට්‍රෝ විවේචනය කිරීමට මම එඩිතර වීමි.” 1968 අප්‍රේල් මාසයේ ලසසප(වි) සමුලුවේදී ස්පයික්, එක්සත් ලේකම් මන්ඩලයේ සංශෝධනවාදී දේශපාලනයෙන් මුලුමනින්ම බිඳී වෙන්විය යුතු බවට හා මධ්‍යම කාරක සභාව විසුරුවා හැර ජාත්‍යන්තර කමිටුව සමග වහාම සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සමත් මධ්‍යම කාරක සභාවක් පත්කර ගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කලේය. ඉන් කෙටි කලකට පසුව ස්පයික් ලසසප(වි) යෙන් බිඳුනු අතර පැබ්ලෝවාදී දේශපාලනය ප‍්‍රසිද්ධියේ ම හෙලා දුටුවේය.

17-14 1966 ජාත්‍යන්තර කමිටුවේ තෙවන සම්මේලනයේ පාඩම් විරෝධය කන්ඩායමේ සාමාජිකයින් උගන්වා ගැනීම සඳහා තීරනාත්මක විය. සමුලුව පැවැත්වුනේ එස්ඩබ්ලිව්පී යලි එකමුතු වීමෙන් හා පැබ්ලෝවාදය හතරවන ජාත්‍යන්තරයේ බොහොමයක් ශාඛා දියකර හැර තිබූ දුෂ්කර කොන්දේසි යටතේ ය. මෙම තත්වයට අනුගත වෙමින් කෙටුම්පත් යෝජනාව, හතරවන ජාත්‍යන්තරය ම විනාශයට පත්ව තිබෙන නිසා එය “යලි ගොඩනැගිය” යුතු යයි කියා සිටියේය. සමුලුවේ දී බ්‍රිතාන්‍ය එස්එල්එල්, පැබ්ලෝවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය දේශපාලන හා න්‍යායික අරගලය තුලින් හතරවන ජාත්‍යන්තරයේ අඛන්ඩත්වය සුරක්ෂිත කර ඇතැයි අවධාරනය කලේ ය. පසුව සංශෝධනය කල ලියවිල්ල තුල මෙසේ සඳහන් වෙයි. “විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ ප‍්‍රවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන සංශෝධනවාදයට එරෙහි න්‍යායික හා ප‍්‍රායෝගික අරගලය ගෙනයාමට සමත් වූ එකම ව්‍යාපාරය ලෙස ජාත්‍යන්තර කමිටුව, හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික අඛන්ඩතාවය ආරක්ෂා කරනු ලැබීය.” ප‍්‍රන්සයේ ඔවික්ස් ඔව්රියේරි හා එක්සත් ජනපදයේ ජේම්ස් රොබට්සන්ගේ ස්පාටසිස්ට් ප‍්‍රවනතාවය යන කන්ඩායම් දෙක සමඟ දේශපාලන සහයෝගිතාවක් පැවැත්විය හැකි ද යන්න තීරනය කිරීම පිනිස සමුලුවට සහභාගී වන ලෙස ඔවුන්ට ආරාධනය කර තිබිනි. ඔවුන් පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි අරගලය අවඥාවට ලක් කලේ ය. “වර්තමාන ධනවාදයේ අර්බුදය කෙතරම් තියුනු හා ගැඹුරු ද යත් කම්කරුවන් හීලෑ කිරීම සඳහා, දෙවන හා තුන්වන ජාත්‍යන්තරයන්හි පරිහානියට සංසන්දනාත්මක වන පරිද්දෙන්, ට්‍රොට්ස්කිවාදී සංශෝධනවාදය අවශ්‍යය යන මතියට” රොබට්සන් තරයේ විරුද්ධ විය. රොබට්සන් කියා සිටියේ මෙය “අපගේ වත්මන් වැදගත්කම පිලිබඳ දැවැන්ත අධි තක්සේරුවක්” බවය. දෙවසරකට පෙර ලසසප පාවාදීමේ පාඩම ඔහු එලෙසින් ප‍්‍රතික්ෂේප කලේය.

17-15 විකොස ආරම්භක සමුලුව 1968 ජූනි 16 හා 17 දිනවල පැවැත්වින. සමුලුවට ඉදිරිපත් කල ප‍්‍රධාන වාර්තාවෙන් බාලසූරිය, ජාත්‍යන්තර කමිටුවේ තුන්වන සමුලුවේ අතිශය මූලික පාඩම් ගෙනහැර දක්වමින්, විකොස ගොඩනැගීමෙහි ලා ඒවායේ වැදගත්කම අවධාරනය කලේය. සාකච්ඡාව අතර වාරයේ අවධානය යොමුවූ මූලික ප‍්‍රශ්නය වූයේ, ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ අඛන්ඩතාවයි. ලසසප, ලසසප(වි) හා ශක්ති කන්ඩායම තුලින් තම ඉතිහාසය සලකුනු කරගත් ශ‍්‍රී ලංකාවේ විප්ලවවාදී ප‍්‍රවාහයක් ජාත්‍යන්තර කමිටුව සමග ඇතිකරගත් එකතුවක් ලෙස සමුලුව දැක ගත් ප‍්‍රවනතාවකට එරෙහිව එය අවධාරනය කලේ ට්‍රොට්ස්කිවාදයේ අඛන්ඩතාවය සටහන් වී ඇත්තේ පැබ්ලෝවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලය තුල බවය. ජාත්‍යන්තර කමිටුවේ ශඛාවක් ලෙස විකොස පිහිටුවීමට හැකිවූයේ්, 1953, 1961-63 භේදයන්ගේ පාඩම් මත පදනම් වීමෙන් සහ ලසසප, ලසසප(වි) පමනක් නොව, ශක්ති කන්ඩායමේ ද අවස්ථාවාදී දේශපාලනයෙන් අති මූලික ලෙස බිඳී වෙන්වීමෙන් පමනි.

17-16 සමුලුව ඒකච්ඡන්දයෙන් සම්මත කල යෝජනාවක් මෙසේ ප‍්‍රකාශ කලේය. “මෙම සමුලුව 1966 අප්‍රේල් මාසයේ පවත්වන්නට යෙදුන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තුන්වන සමුලුවේ දී අනුමත කල ‘හතරවන ජාත්‍යන්තරය යලි ගොඩනැගීමේ’ යෝජනාව සමග මුලුමනින් ම එකඟ වන බව කියා සිටියි. මෙම සමුලුව, හතරවන ජාත්‍යන්තරය මධ්‍යගත කම්කරු පන්ති නායකත්වය ලෙස ගොඩනැගීමේ නව අභියෝගයන්ට මුහුන දීමේදී හතරවන ජාත්‍යන්තරයේ ක‍්‍රියාමාර්ගය හා විධි ක‍්‍රමය සඳහා අනවරතයෙන් ගෙන ගිය සිය අරගලය තුලින් ජාත්‍යන්තර කමිටුව අත් කර ගත් අධිකාරය මත, පූර්න විශ්වාසය තබයි. මෙම සමුලුව, සියලු වර්ගයේ සංශෝධනවාදයන්ට එරෙහි අශමනීය අරගලයක් තුලින් ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස ලංකාවේ කම්කරු පන්ති විප්ලවයේ පක්ෂය ගොඩනැගීමේ කර්තව්‍යයට පූර්න ලෙසින් කැපවෙයි. මෙම කර්තව්‍ය හැකි උපරිම දුරටත් සෑම තැනකදීත් සෑම අවස්ථාවන්හිදීත් පන්ති අරගලය තුල ක‍්‍රියාත්මකව මැදිහත් වීම සමග නොවෙන් කල හැකි පරිදි බැඳී තිබෙන බව ද ප‍්‍රකාශ කර සිටියි.” සමුලුව වියට්නාම් යුද්ධය හා ඒ වන විට ආරම්භ වී තිබුනු ප‍්‍රන්සයේ මැයි ජූනි මහා වැඩ වර්ජනය පිලිබඳව තවත් යෝජනා දෙකක් ද සම්මත කලේය.


[42]

අවධාරනය මුල් ලේඛනයේ , විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 1972 වසරේ පැවැත්වූ සමුලුවේදී අනුමත කල "අපේ‍්‍රල් අර්බුදය හා පක්ෂ ඉතිහාසය" යන අභ්‍යන්තර යෝජනාව, 20 පිටුව, (අවධාරනය මුල් ලේඛනයේ)