Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

2000 වසරේ ශ‍්‍රී ලංකාවේ අර්බුදය

33-1 2000 අපේ‍්‍රල් මාසයේ දී අලිමංකඩ කඳවුර එල්ටීටීඊය අතට පත්වීමත් සමග ආරම්භ වූ මිලිටරි පරාජයන් මාලාවක් හමුවේ, ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව නව සහශ‍්‍රකය ආරම්භයේ දී පරිපූර්න වියවුලකට ඇද වැටුනි. “1948න් මෙපිට කොලඹ පාලනය මුහුනපෑ බරපතල ම අර්බුදය” වශයෙන් ඇය හැඳින්වූ තත්වය හමුවේ ජනාධිපතිනි කුමාරතුංග, දේශපාලන මුක්කුවක අවශ්‍යතාවය පිලිබඳව නොඉවසිලි සහගත වූවාය. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පක්ෂයක් ලෙස නිල වශයෙන් පිලි නොගත් සසප (හා එහි පූර්වගාමී විකොස)ට හදිසියේ ම වාගේ නිල පිලිගැනීමක් ප‍්‍රදානය කෙරුනි. සතියකට පසුව, දේශපාලන අර්බුදය සාකච්ඡාවට ගැනෙන සර්ව පාක්ෂික සමුලුවකට පැමිනෙන ලෙසට සසප වෙත ජනාධිපතිගෙන් ආරාධනයක් ලැබුනි. මෙම ආරාධනය ප‍්‍රතික්ෂේප කල ප‍්‍රකාශයක් තුල විජේ ඩයස්, මෙම සාකච්ඡාා, “ආන්ඩුව දැනටමත් ගෙන ඇති තීරන මත රබර් මුද්‍රාව තබා ගැනීම, සිය ප‍්‍රතිපත්තිවලට විශ්වාසනීයත්වයක් ලබාගැනීම සහ දිවයින පුරා සිංහල හා දෙමල යන දෙකොට්ඨාශයේ ම වැඩකරන ජනතාවට විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙනදුන් යුද්ධයක් තවදුරටත් ඉදිරියට ගෙන යාමට සහාය ගොනුකිරීම සඳහා අරමුනු කර ගත්” බව ප‍්‍රකාශ කරමින් ඒවා හෙලා දුටුවේය.

33-2 ලෝසවෙඅ හා ජාත්‍යන්තර කමිටුවේ 2000 ජූනි සැසියේ දී, කුමාරතුංගගේ ලිපියේ අර්ථභාරය හා ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවන් සඳහා එහි දේශපාලන පාඩම්, දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. සිය ආරම්භක වාර්තාව තුල ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේය: “රටක ආන්ඩුව සමග සර්ව පාක්ෂික සාකච්ඡාවලට සහභාගී වන ලෙස අපේ ව්‍යාපාරයේ ශාඛාවකට ලැබී ඇති ආරාධනය ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසයෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස අප හඳුනාගත යුතුය. මෙය අපට ගෞරවය දැක්වීම ගැන ආඩම්බරවීම සම්බන්ධ කාරනයක් නොවේ. සත්තකින්ම අපි එසේ නොසිතමු. ඒ වෙනුවට එය, අප කාලයක් තිස්සේ මතු කරන කරුනක් සැලකිය යුතු ලෙස සනාථ වීමකි. එනම්, නිශ්චිත පක්ෂ, සංවිධාන, පුද්ගලයින් හා සම්බන්ධතා අධිකාරය දරා සිටින, කිසිවක් වෙනස් නොවන්නේ යයි ද මුලුමනින්ම ඝනීභූත යයි පෙනීගිය, දිගු කලක් ස්ථාපිත දේශපාලන සබඳතාවන්ගෙන් යුක්ත මතුපිටට යටින්, ඉමහත් වෙනසක් සිදුවෙමින් පන්ති සම්බන්ධතා වෙනස් වෙමින් පවතින බවයි. තාක්ෂනයේ ඇතිවන විශ්මයජනක පරිවර්තනයන් මගින් තීව‍්‍ර කෙරෙන, සමාජ ආර්ථික අධස්තලයන්ගේ චලනය සහ ලෝක වෙලඳාමේ හා ආර්ථික සංසරනයේ රටා තුල සිදුවන වෙනස්කම් -- එනම්, නිෂ්පාදන මාදිලීන් හා නිෂ්පාදන සම්බන්ධතා තුල සිදුවන ප‍්‍රගාඪ වෙනස්කම් -- සමස්ත දේශපාලන උපරි ව්‍යුහය තුලට දරුනු ලෙස කඩාවැදීමේ බලවේග ගොඩනගමින් ද හදිසි හා රංගක මෙන්ම ව්‍යසනකාරී වූ දේශපාලන පරිවර්තනයන් සඳහා මග සකසමින් ද සිටී.”

33-3 සැසිවාරය උදාසීනතාවය හෝ දේශපාලන අකර්මන්‍යතාවය දෙසට පවත්නා කුමන ප‍්‍රවනතාවයක් හෝ ගැන අනතුරු අඟවා සිටියේ ය. රාජ්‍ය මර්දනය යොදාගැනීම මෙන් ම, ධනේශ්වර පාලනයට නව සහාය පදනමක් ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් තුලින් ලබාගැනුමට ඉදිරියේ දී දැරිය හැකි ප‍්‍රයත්නයන් ද ඇතුලත්, හදිසි දේශපාලන වෙනස්වීම්වලට ජාත්‍යන්තර කමිටුව සූදානම්ව සිටිය යුතු විය. අවධාරනය කරනු ලැබුවේ, පක්ෂයේ සූදානම ඇති කර ගැනීමටත් එය නුසූදානම් තත්වයකට ඇද නොවැටීම සහතික කරගැනීමත් සඳහා, තිරසාර දේශපාලන සහ න්‍යායික වැඩකටයුතුවල අවශ්‍යතාවය යි. පක්ෂය දේශපාලන ප‍්‍රශ්න සමග නිරන්තරව පොරබැදීම මගින්, ධනේශ්වර සමාජය කම්කරු පන්තිය සහ එහි පෙරටු බලඇනිය මත ස්වාභාවිකව ඇති කරන්නා වූ පීඩනයන් පරයා, සිද්ධීන් කෙරෙහි සුලු ධනපති හා ධාරනාවාදී ආකාරයකින් ප‍්‍රතිචාර දැක්වීමෙන් වලක්වාලනු ඇත. කම්කරු පන්තියේ සහ ගම්බද ජනතාවගේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක වර්ධනයෙහි ලා, සාරභූත අන්තර්ගතය ලෙස ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ඉටු කරන භූමිකාව පිලිබඳව වටහා ගැනීමක් ද මීට ඇතුලත් විය.