Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

යුද්ධය සහ මිලිටරිවාදය

34-1 සීතල යුද කාලීන භූ දේශපාලනික රාමුවේ අවසානය, අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් තීව‍්‍ර වීමකට හා මිලිටරිවාදය පුපුරා යාමට තුඩු දුනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ඉතිරිව පවත්නා එකම “සුපිරි බලය” ලෙස, තමා සතුව පවත්නා මිලිටරි බලය, ආක‍්‍රමනශීලීව යොදා ගනිමින් තම ආර්ථික පසුබෑම පූරනය කර ගැනීමට මාන බැලීය. 1990 දී ඉරාකය විසින් කුවේටය ආක‍්‍රමනය කිරීම කඩතුරාව කර ගනිමින්, බල ශක්තියෙන් ආඪ්‍ය මැද පෙරදිග මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා වූ තම දිගු කාලීන සැලසුම් එක්සත් ජනපදය විසින් කි‍්‍රයාවට නංවන ලදි. සෝවියට් සහ චීන තන්ත‍්‍රයන් ද සෑම රටකම කම්කරු නිලධරය ද සමග එක්ව, තමන්ගේ ම අනාගත මංකොල්ලකාරි අභිලාෂයන් යුක්තියුක්ත කිරීම සඳහා සියලු අධිරාජ්‍යවාදී බලවත්තු 1990-91 ගල්ෆ් යුද්ධයට පිටුබලය දුන්හ. ජාත්‍යන්තර කමිටුව 1991 දී අධිරාජ්‍යවාදී යුද්ධයට සහ විජිතවාදයට එරෙහිවනු! නමින් පලකල ප‍්‍රකාශනයෙන් නව යටත්විජිතවාදයේ අලුත් යුගයක් විවෘත වී ඇති බැව් නිගමනය කලේය. “ඉරාකය තුල ගෙනයන සැබෑ බෙදා වෙන් කිරීම, අධිරාජ්‍යවාදීන් ලෝකය යලි බෙදා වෙන් කිරීම අරඹා ඇති බව සංඥා කරයි. අධිරාජ්‍යවාදයේ අවස්ථාවාදී ක්ෂමාලාපකයන් විසින් අතීතයට අයත් යයි හැඳින් වූ ආක‍්‍රමන සහ ඈඳා ගැනීම්, නැවත වරක් දවසේ න්‍යාය පත‍්‍රයට ඇතුලත් වී ඇත.” යි එය සඳහන් කලේය.[72]

34-2 ප‍්‍රථම ගල්ෆ් යුද්ධය කර ගෙන යන ලද්දේ එක්සත් ජාතීන්ගේ ධජය යටතේ වුවත් 1999 දී සර්බියාවට එරෙහි එක්සත් ජනපද-නීත මිලිටරි ආක‍්‍රමනයට, එවන් විලිවස්නයක් තිබුනේ නැත. බෝල්කනයේ නේටෝ යුද්ධයට හේතුව ලෙස ඉදිරිපත් කරන ලද්දේ, කොසොවා වරුන් ජනඝාතනයට ලක් වීම වැලැක්වීම ය. මෙය නව යටත් විජිත මෙහෙයුම් යුක්තිසහගත කරන මානව හිතවාදී කඩතුරාවක් ලෙස සාමාන්‍යකරනය කරන ලදි. යථාර්ථයේදී බෝල්කන් යුද්ධය වනාහි, සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු, විශේෂයෙන්ම මධ්‍යම ආසියාවේ අලුතෙන් ස්ථාපනය කෙරුනු සම්පත්-ආඪ්‍ය සමූහාන්ඩු තුල විවරවූ නව අවස්ථා ද ගසාකෑම එල්ල කර ගත්, පුලුල් එක්සත් ජනපද මුලෝපායක කොටසකි. මැද පෙරදිග සහ මධ්‍යම ආසියාව යටත් කර ගැනීමේ එක්සත් ජනපද අභිලාෂයන් ඉදිරියට ගෙන යාමක් ලෙස, 2001 ඇෆ්ඝනිස්ථානය තුල ද 2003 ඉරාකය තුල ද සිදු කරන ලද ආක‍්‍රමන යුක්තියුක්ත කිරීම සඳහා බුෂ් පරිපාලනය විසින් 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය ඩැහැ ගන්නා ලදී. “පූර්ව භංග යුද්ධය” නම් වූ බුෂ්ගේ නව පිලිවෙත, දෙවන ලෝක යුද්ධයෙන් පසුව නාසි නායකයන්ට එරෙහි නඩු විභාගයේ දී ඔවුන්ට එල්ල කල ප‍්‍රධාන අපරාධ චෝදනාව, එනම් ආක‍්‍රමනික යුද්ධයක් ගෙනයාම, සමග මුලුමනින්ම සම විය. ඉරාක යුද්ධයට එරෙහිව ප‍්‍රන්සයේ නායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය තුල මතුවූ සීමිත විරුද්ධත්වය මුලුමනින්ම පාදක වූයේ, මැද පෙරදිග තුල අනෙකුත් බලයන්ගේ මුල්බැසගත් ආසක්තයන්ට එරෙහිව, එක්සත් ජනපදය කි‍්‍රයා කරමින් සිටිතැයි යන භීතියයි. පෙර නොවූ විරූ ලෙස ඉරාක ආක‍්‍රමනයට එරෙහිව පැනනැගුනු ජාත්‍යන්තරව-සම්බන්ධීකරනය කෙරුනු දැවැන්ත මහජන විරෝධතා තුල, යුද විරෝධී ව්‍යාපාරයේ වෛෂයික විප්ලවවාදී විභවය මෙන්ම එහි දේශපාලනික දුබලතාව -- එනම් ආන්ඩුවලට පීඩනය යෙදීම හරහා හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යුද්ධය නතර කල හැකිය යනුවෙන් සියලු ව්‍යාජ රැඩිකල් සංවිධාන වගා දිගා කල මරනීය මිථ්‍යාව - යන දෙකම කැපී පෙනින. යුද්ධය වැලැක්විය හැක්කේ එයට යටින් පවත්නා හේතුව වන, ලාභ පද්ධතිය සහ ලෝකය කැබලිවලට වෙන්කරමින් ගොඩ නගා ඇති යල් පිනූ ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනක් ය යන මාක්ස්වාදයේ මූලික පාඩම, විරෝධතාවල අසාර්ථකත්වය මගින් අවධාරනය විය.

34-3 පසුගිය දශක දෙක පුරා ඇමරිකානු මිලිටරිවාදයේ පුපුරායාම මගින් ලෝකය පුරා, විශේෂයෙන්ම දකුනු ආසියාව තුල, ප‍්‍රගාඪ අසමතුලිතකාරක බලපෑමක් ජනිත කර ඇත. පකිස්ථානය සහ ඉන්දියාව යන දෙරට ම තම රට තුල පවත්නා තියුනු සමාජ ආතතීන් අපසරනය කරනු සඳහා එකිනෙකාට එරෙහිව ස්වෝත්තමවාදී මනෝ ගතීන් අවුලුවද්දී, දෙරට අතර ආතතීන් තීව‍්‍ර වී ඇත. මෙම රටවල් දෙක ම 1998 දී න්‍යෂ්ටික අවි අත්හදා බැලූ අතර, 1999 දී පකිස්ථානය සිය හමුදා භටයන් සහ ඉස්ලාමීය සටන්කරුවන් රිංගවා, ඉන්දියානු පාලිත ජම්මු-කාශ්මීරයේ කාර්ගිල් ප‍්‍රදේශය අල්ලා ගත් කල්හි, දෙරට යුද්ධය මුවවිටටම පැමිනියේ ය. සටන්කරුවන්ට දෙන සහාය ඉවත් කර ගන්නා ලෙස එක්සත් ජනපදය පකිස්ථානයට බල කිරීමෙන් පසු, ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ නායකත්වයෙන් යුක්ත මිලිටරිය බලය ඩැහැ ගත්තේය. ඇෆ්ගනිස්තානයේ තලිබාන් තන්ත‍්‍රයට දෙන සහාය අවසන් කරන ලෙසත්, එක්සත් ජනපදයේ නායකත්වයෙන් ගෙනයන යුද්ධයට උදව් කරන ලෙසත්, මුෂරාෆ්ට බල කරමින් එක්සත් ජනපදය 2001 දී පකිස්තානය තවත් අස්ථාවර කලේය. වොෂින්ටනයේ ව්‍යාජ “ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” වාසිය ඩැහැගත් නව දිල්ලිය, ඉස්ලමාබාදය සම්බන්ධයෙන් වඩවඩා යුදවාදී ප‍්‍රවිෂ්ටයක් ගත්තේය. 2001 දෙසැම්බරයේ දී ඉස්ලාමීය සටන්කරුවන් නවදිල්ලියේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පහරදීමෙන් පසුව, ඉන්දියාව අඩ මිලියනකටත් වැඩි හමුදා භටයින් සංඛ්‍යාවක් පකිස්තානු දේශ සීමාවට යැවීය. න්‍යෂ්ටික යුද බලවතුන් දෙදෙන අඩියක් පස්සට ගත්තේ පූර්න පරිමාන යුද්ධයක මුවවිටේ මාස ගනනක් සැරීමෙන් පසුව ය. දශකයක් දිගු ඇෆ්ගනිස්තානයේ නව විජිතවාදී වාඩිලා ගැනීම, දේශ සීමා ඉක්මවමින් පකිස්තානය තුලට විහිදී ඇති අතර, ජනාධිපති ඔබාමා යටතේ එය ඇෆ්පැක් යුද්ධය බවට පත්ව ඇත. පකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශ තුල උත්සන්න කෙරෙන සීඅයිඒ ඩ්‍රෝන් ප‍්‍රහාර හා එක්සත් ජනපද පිටු බලය ලබන පකිස්තානු හමුදාවන් සිදු කරන ව්‍යසනකාරී මෙහෙයුම් හේතුවෙන් ඉස්ලාමාබාදයේ ගැඹුරු දේශපාලන අර්බුදය තව දුරටත් උග‍්‍ර කෙරී ඇත. 1947 න් මෙපිට දකුනු ආසියාවට අධිරාජ්‍යවාදීන් සෘජුව මැදිහත් වූ පලමු අවස්ථාව වන ඇෆ්පැක් යුද්ධයට විරුද්ධත්වය දැක්වීමට, ප‍්‍රතිගාමී ඉස්ලාමික කන්ඩායම් හැර අන් කවරකු හෝ නොමැතිවීම තරම්, ඉන්දියානු උප මහාද්වීපය පුරා ධනේශ්වරයේ ද කම්කරු පන්තිය තුල කි‍්‍රයාත්මක වන එහි ඒජන්සිවල ද බංකොලොත්භාවය පෙන්වන වෙනත් සාක්ෂියක් නොමැත.


[72]

Fourth International (හතරවන ජාත්‍යන්තරය), 18 වන වෙලූම, අංක 1, ගිම්හාන-සරත් 1991, 2 පිටුව.