ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය වතුකරයේ “ප්‍රචන්ඩත්වය” ගැන සාකච්ඡා කරයි

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 09 දින Sri Lanka’s National Security Council to discuss “violence” in estates  යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

හිටපු රියර් අද්මිරාල් වරයෙකු වන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය (ජාආක) අද දින වතුකරයේ  “ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න” සාකච්ඡා කරන බව, ගිය සති අන්තයේ සන්ඩේ ටයිම්ස් පත්‍රයට කීවේ ය. ඔහු මෙම ප්‍රකාශය කලේ, කම්කරුවන් වතුකරය තුල ප්‍රචන්ඩ ක්‍රියාවල යෙදෙන බවට, වැවිලිකරුවන් හා පොලීසිය කරන කියාපෑම්වලට ප්‍රතිචාර දක්වමිනි. 

පසුගිය සැප්තැම්බරයේ කප්පාදු පියවරයන්ට එරෙහි ව පිකට් උද්ඝෝෂනයේ යෙදෙන උඩ රදැල්ල වත්තේ කම්කරුවන් (ලෝසවෙඅ)

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වය දරන ජාආකට අගමැති මහින්ද රාජපක්ෂ, ප්‍රධාන ඇමතිවරු, සන්නද්ධ හමුදාවල, පොලීසියේ හා ඔත්තු සේවයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් සහ අනෙකුත් ඉහල රාජ්‍ය නිලධරයන් ඇතුලත් වේ. වතුකරය තුල ඊනියා ප්‍රචන්ඩත්වය ජාආක විසින් ප්‍රමුඛ කරුනක් ලෙස සලකා සාකච්ඡා කිරීම, ඉහල වැටුප්, සමාජ කොන්දේසි ඉහල දමා ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා දීර්ඝ හා කටුක අරගලයක නිරත වතු කම්කරුවන්ට එරෙහිව එල්ලවන  බරපතල  තර්ජනයකි.

වතු කම්කරුවන්ගේ කායික පහරදීමේ තර්ජනවලින් ආරක්ෂා විම පිනිස, ආයුධ හා ආයුධ පුහුනුව ඉල්ලමින්, වතු අධිකාරීවරු සිය ගනනක් මාර්තු 3දා හැටන් නගරයේ ප්‍රකෝපකාරී විරෝධතාවක් පැවැත්වූහ.

“ආරක්ෂක කරුනු” සාකච්ඡා කිරීම සඳහා තම සංවිධානයට ජනාධිපති, අගමැති හා ආරක්ෂක ලේකම් සමග හමුවීමක් අවශ්‍ය බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (සීපීඑස්) සභාපති දයාල් කුමාරගේ මාධ්‍ය වෙත පැවසී ය. “ප්‍රමානවත් ආරක්ෂාවක් සපයන ලෙසත්, හැකි නම්, වතු තුල මුර සංචාරයේ යෙදෙන ලෙසත්” ඔහු බලධාරීන්ගෙන් ඉල්ලුවේය.

කම්කරුවන් අතර තවතවත් නොසන්සුන්තාව ඇතිකිරීමට තුඩු දිය හැකි නිසා, කලමනාකරුවන්ට ආයුධ සැපයීමක් නො කරන බව වීරසේකර සන්ඩේ ටයිම්ස් පත්‍රයට කීවේ ය. එහෙත්, ජාආක රැස්වීම ප්‍රාදේශීය වතු සමාගම්වල (ආර්පීසී) උත්සුකතා “සැලකිල්ලට ගනිමින්” “වතු කලමනාකාරීත්වයට ආරක්ෂාව සැපයීම තහවුරු කරන” බව, ඔහු පැහැදිලි කලේ ය. 

හැටන් උසාවියෙන් පිටත ප්‍රකෝපකාරී විරෝධතාවක යෙදෙන වතු කලමනාකරුවන් (ඡායාරූපය සඳහා ස්තුතිය: කේ. ක්‍රිෂාන්තන්)

මාර්තු 3දා පැවති වැවිලිකරුවන්ගේ විරෝධතාව ආරම්භ කරන ලද්දේ, මස්කෙලියේ ඕල්ටන් තේ වත්තේ අධිකාරී සුභාෂ් නාරායනන්ට එරෙහි ඊනියා ප්‍රචන්ඩත්වයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය. දින කිහිපයක් රෝහල්ගත ව සිටීමට බලකෙරුනු නාරායනන්ට කම්කරුවන් කන්ඩායමක් ශාරීරික ව පහර දුන් බව වැවිලිකරුවෝ කියා සිටිය හ. තවත් වතු දෙකක ද ප්‍රහාරයන් හටගත් බව සීපීඑස් චෝදනා කලේ ය.

ලංකා කම්කරු කොංග්‍රසයෙහි (සීඩබ්ලිව්සී) නිලධාරීන්ගේ සහයෝගය ඇතිව පොලීසිය පෙබරවාරි 18දා අට දෙනෙකු හා මාර්තු 1දා තවත් දෙදෙනෙකු වසයෙන් ඕල්ටන් කම්කරුවන් 10ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, චූදිත ප්‍රහාරයට ඔවුන් සම්බන්ධ වී යයි චෝදනා කරමිනි.

ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන සීඩබ්ලිව්සීය, රාජපක්ෂ ආන්ඩුවේ පාර්ශවකරුවෙකි. එහි නායක ජීවන් තොන්ඩමන් වතු යටිතල පහසුකම් ඇමතිවරයා ය. සීඩබ්ලිව්සී හා අනෙකුත් සියලු වතු වෘත්තීය සමිතිවලට වතු කම්කරුවන්ට එරෙහි ව ආන්ඩුව, වතු සමාගම් හා පොලීසිය සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමේ දීර්ඝ සහ නීච ඉතිහාසයක් තිබේ.

අත්අඩංගුවේ සිටින ඕල්ටන් කම්කරුවන් 10 දෙනා, මාර්තු 3දා හැටන් මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටි විට, වැවිලිකරුවන්ගේ නීතිඥයා ඔවුන්ට ප්‍රචන්ඩත්වය පිලිබඳ චෝදනා නගමින්, මෙසේ ප්‍රකාශ කලේ ය: “ත්‍රස්තවාදය ඉස්මතු වන්නේ මෙලෙස යි.” කම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් මෙම ප්‍රකෝපකාරී ප්‍රකාශය ප්‍රතික්ෂේප කලේ, එය, මහන්සි වී වැඩකරන වතු ශ්‍රම බලකායට එරෙහි අපහාස කිරීමක් ලෙස විස්තර කරමිනි.

ඇප දීම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා, අත්අඩංගුවේ පසුවන්නන් මාර්තු 10දා දක්වා මහනුවර බන්ධනාගරයේ රිමාන්ඩ් භාරයට පත්කලේ ය. සමාගම් හා පොලීසිය ඒකාබද්ධ ව කරන චෝදනා අත්අඩංගුවේ සිටින සියලු කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වතු කම්කරුවන්ට එරෙහි ද්‍රෝහීත්වය ගැඹුරු කරමින් සීඩබ්ලිව්සීය, තවත් කම්කරුවන් 16 දෙනෙකු හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව කියා ඇත. කඳුරට සිවිල් සංවිධාන සම්මේලනයේ (යූඑෆ්සීඕ) ප්‍රකාශයෙක් ඊයේ අනාවරනය කල පරිදි, තොන්ඩමන්ගේ උපදෙස් මත ක්‍රියාකරන සීඩබ්ලිව්සී නීතිඥ පෙරුමාල් රාජදුරෙයි, මෙම කම්කරුවන් මාර්තු 10දා උසාවියට ඉදිරිපත් කරනු ඇත. යූඑෆ්සීඕ යනු වෘත්තීය සමිති සමග සමීප ව ක්‍රියා කරන රාජ්‍ය නො වන සංවිධානයකි.

මෙම අලුත් “සැකකරුවන්” 16 දෙනා හා බන්ධනාගාරගත ඕල්ටන් කම්කරුවන් 10 දෙනා වනාහි ඉහල වැටුප් ඉල්ලමින් හා කලමනාකාරීත්වයේ තර්ජනයන්ට විරුද්ධ ව සටන් වදිමින් පෙබරවාරි 2දා ඇරඹූ අඛන්ඩ වැඩ වර්ජනය කඩාකප්පල් කිරීම පිනිස සමාගම් හා පොලීසිය දියත් කරන කුමන්ත්‍රනයකට ගොදුරු වූවන්ය.  

වැඩ වර්ජනයේ පලමු දින, සැකසූ තේ ප්‍රවාහනය කිරීම වර්ජකයන් විසින් වැලැක්වීමෙන් අනතුරු ව, එක් කම්කරු කාන්තාවකට තුවාල සිදු කරමින්, කලමනාකරුවෙක් ඕල්ටන් වත්තේ කම්කරුවන්ට ශාරීරික ව පහර දුන්නේ ය. 

ඕල්ටන් වත්තේ වැඩ වර්ජනය ඇරඹුනේ, දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටින රුපියල් 1000ක මූලික දෛනික වැටුප සඳහා, සීඩබ්ලිව්සීය පෙබරවාරි 5දාට කැඳවුම් කල ජාතික වැඩ වර්ජනයට දින තුනකට පෙර ය.

වෘත්තීය සමිතිය මෙම වැඩ වර්ජනය කැඳවූයේ, ඛාදනය වන තම ජීවන කොන්දේසි රැකගැනීමට වතු කම්කරුවන් අතර වැඩෙන සටන්කාමිත්වය සමහන් කිරීමේ අරමුනිනි. රුපියල් 1000ක මූලික දෛනික වැටුපක් ඉල්ලීම, වසර හයකට පෙර 2015 දී ඉස්මතු වූ නමුත්, මෙම ඉල්ලීම සඳහා කම්කරුවන් නිරත වූ වැඩ වර්ජන හා විරෝධතා, සීඩබ්ලිව්සීය හා අනෙකුත් වතු වෘත්තීය සමිති විසින් එක දිගටම පාවා දී ඇත. 

ඕල්ටන් වත්තේ කම්කරුවෝ, වත්තේ කලමනාකරුවාගේ නිල නිවසට පිටත පෙබරවාරි 17දා විරෝධතාවක යෙදුනේ, ඔහුගේ හොරිකඩ ක්‍රියාකාරකම්වලට එරෙහි ව ය. වතු කම්කරුවන්ගේ “ප්‍රචන්ඩත්වය” යි සමාගම චෝදනා කරන සිද්ධිය මෙය යි.

වතු කම්කරුවන්ගේ සාමූහික ක්‍රියා පුපුරා යාමේ සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල වර්ජන පැන  නැගීමේ තර්ජනය පිලිබඳ ව තැතිගෙන සිටින රාජපක්ෂ ආන්ඩුව, වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවන බව සඳහන් කරන ගැසට් පත්‍රයක් මාර්තු 1දා නිකුත් කලේ ය. මෙයට රුපියල් 900ක මූලික වැටුපක් හා රුපියල් 100ක ජීවන වියදම් දීමනාවක් අඩංගු වේ.

මෙම අප්‍රමානවත් වැටුප් වැඩි කිරීමට පවා ප්‍රාදේශීය වතු සමාගම් එකඟ වී නැත. සහතික කල අවම ආදායමක් සඳහා වසරකට වැඩ දින 300ක් සේවකයන්ට සම්පාදනය කරන වගන්ති ඇතුලු පැරනි සාමූහික ගිවිසුම් අහෝසි කරන බවට ඔවුන් තර්ජනය කර තිබේ.

නඩත්තු වියදම් අධික වීම හේතුවෙන් වැටුප් වැඩි කල නො හැකි බව ප්‍රාදේශීය වතු සමාගම් කියා සිටිති. ඵලදායීතාව ඉහල දැමිය යුතු බවත්, ජාත්‍යන්තර ව තරඟකාරී වීම පිනිස අනෙකුත් පිරිවැය කප්පාදු පියවරයන් පැනවිය යුතු බවත් ඔවුහු අවධාරනය කරති.

“වතුවල ප්‍රචන්ඩත්වය” පිලිබඳ චෝදනාවේ සහ ආන්ඩුව මෙය ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් ලෙස සැලකීමට තීන්දු කිරීමේ පසුබිම මෙය යි. වතු කම්කරුවන්ගේ පෙරලිකාරිත්වය තලා දැමීමටත්  “ඵලදායී නො වන” වතු ප්‍රතිව්‍යුහකරනය හා පුද්ගලීකරනය ඇතුලු වතු හිමියන්ගේ ඇනවීම් පටවනු ලැබීමටත් මර්දනීය පියවරයන් උත්සන්න කිරීම සූදානමේ වෙමින් පවතී. 

පොලිස් ජීප් රථයක් මෑත දවස් කිහිපයේ ඕල්ටන් වත්තේ මුර සංචාරයේ යෙදෙමින් තිබෙන්නේ වෘත්තීය සමිතිවල විරෝධයකින් තොර ව ය. මෙය, සූදානම් කරමින් පවතින ප්‍රචන්ඩ මෙහෙයුම්වල පෙර ඇඟවුමකි.  

“සිරගත කල වතු කම්කරුවන් නිදහස් කරනු! සමාගම්-පොලිස් කුමන්ත්‍රන වලින් සියලු කම්කරුවන් ආරක්ෂා කරනු!”   යන හිසින් මාර්තු 1දා සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිකුත් කල ප්‍රකාශය තුල කරන ලද අනතුරු ඇඟවීම් මෙම වර්ධනයන් විසින් සනාථ කරයි.

ඕල්ටන් වත්තේ කම්කරුවන් නිදහස් කරන ලෙස බලකිරීමටත්, සියලු කම්කරුවන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමට අවශ්‍ය දේශපාලන ක්‍රියා මාර්ගය හා පන්ති ක්‍රියා සාකච්ඡා කිරීමටත්, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරුවන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස, එම ප්‍රකාශය වතු කම්කරුවන් උනන්දු කලේ ය.

ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි ව දැන් දියත් කෙරෙමින් පවතින,  හාම්පුතුන්, රාජ්‍යය හා වෘත්තීය සමිතිවල ඒකාබද්ධ කුමන්ත්‍රනය, සමස්ත කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයකි. එමගින්, කොවිඩ්-19 වසංගතය විසින් තීව්‍ර කර ඇති තියුනු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, කම්කරු පන්තියට එරෙහි ව රාජපක්ෂ ආන්ඩුව දියත් කරන කප්පාදු ප්‍රහාරයන්ට එරෙහි සකල සියලු විරෝධයන් මැඩීමට එය සූදානම් වන බව පෙන්නුම් කරයි. 

ඉහල යන විදේශ නයේ හා ඇද වැටෙමින් පවතින අපනයන ආදායම්වල බර කම්කරු පන්තිය මතට පටවන බවටත්, ලාබ පුම්බන බවටත්, ධනපති පන්තියට පොරොන්දු වෙමින් රාජපක්ෂ ආන්ඩුව බලයට පත් විය. මෙම න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීම පිනිස, කම්කරු පන්තිය බෙදීමේ අටියෙන් දෙමල හා මුස්ලිම්වරුන්ට එරෙහි වාර්ගික හා ආගමික ආතතීන් අවුලුවමින් සිටින ආන්ඩුව, මිලිටරිය මත පදනම් වන ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කරමින් සිටී.

මෙම ප්‍රහාරය පරාජය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ  ආන්ඩුවක් සඳහා සටන් වැදීමෙන් පමනි. සසප සටන් වදින ඉදිරි දර්ශනය එය යි.

Loading