අහ්නාෆ් ජසීම් කවියා ආරක්ෂා කරනු!

මහජන පෙත්සම - කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක)

අහ්නාෆ් ජසීම් කවියා පසුගිය වර්ෂයේ මැයි 16 වන දින ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ වසරක් ගතවී තිබේ. ඔහුට එරෙහිව අධිකරනය හමුවේ කවර හෝ විධිමත් චෝදනාවක් නැඟීමෙන් තොරව ඔහු දිගින් දිගටම රඳවා ගනු ලැබ ඇත. මෘග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන යටතේ යැයි කියමින් ත්‍රස්ත මර්දන හා විමර්ශනය කිරීමේ කොට්ඨාසය (ටීඅයිඩී) කවියා අත්අඩංගුවට ගැනු ලැබුූයේ, 'ශිෂ්‍යයන්ට වර්ගවාදය හා අන්තවාදය උගැන්වීමේ හා ඒ පිලිබඳ පොත් පලකිරීමේ' ව්‍යාජ චෝදනා මතය. ඔවුන්ගේ එම චෝදනා පිලිගනිමින් ස්වයං-අපරාධාරෝපනයක යෙදීමට අහ්නාෆ් බිය ගැන්වීමේ හා ඔහුට බල කිරීමේ දුෂ්ඨ ප්‍රයත්නයක යෙදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ඔහුගේ රඳවා ගැනීම දික් ගස්සමින් හිඳී.

සාහිත්‍ය රැස්වීමක් අමතන අහ්නාෆ් ජසීම්

අහ්නාෆ් විසින් ලියනු ලදුව 2017 දී පල කරන ලද 'නවරසම්' (රස නවය) යන කාව්‍ය සංග්‍රහය කිසිදු අධිකරනයකින් තහනම් කර නැත. තවද, ටීඅයිඩීයේ ව්‍යාජ චෝදනාවලට පටහැනි ලෙස එම පොත අයිඑස්අයිඑස් සංවිධානය හෙලාදකිමින් ද, ඉස්ලාම් ධර්මය සමඟ ඊට කිසිත් සම්බන්ධයක් නැති බව පලකරමින් ද, සාමය, සමාජ එක්සත්භාවය හා වර්ගවාද-විරෝධය වෙනුවෙන් පෙනී සිටී.

අන්තනෝමතික හා නීතිවිරෝධී ආකාරයෙන් අහ්නාෆ් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට එරෙහිව එල්ල වූ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයකි. මෙම කවියා, මුස්ලිම් ප්‍රජාව බිය ගැන්වීම හා කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින සිය ගනනක් පුද්ගලයන් අතරින් එක් අයෙකු පමනෙකි.

26 හැවිරිදි මුස්ලිම් තරුනයෙකු වන අහ්නාෆ් දෛනික කම්කරුවෙකුගේ දරු පස් දෙනෙකු අතරින් වැඩිමහලු පුත්‍රයාය.

පොලීසියේ චෝදනා ඍජුවම බැහැර කොට ඇති අහ්නාෆ් කිසිදු වරද පිලිගැනීමක් ප්‍රතික්ෂේප කර ඇත. 2019 අප්‍රේල් 21 වන දින, 269 ක් ජනයා මරා දමමින් හා තවත් සිය ගනනකට තුවාල කරමින් කොලඹ හා පර්යන්තයන්හි සිදු කෙරුනු පාස්කු ඉරිදා ප්‍රහාර සමඟ මෙම කවියාට කිසිදු සම්බන්ධයක් නැත. සිය උපාධිය සම්පූර්න කිරීමත් සමඟම, 2019 ජූලියේ අහ්නාෆ් දමිල භාෂා හා සාහිත්‍ය ගුරුවරයෙකු ලෙස පුත්තලමේ පිහිටි ස්කූල් ඔෆ් එක්සලන්ස් නම් පෞද්ගලික ජාත්‍යන්තර පාසලේ සේවයට බැඳී තිබින. ඔහු නැවතී සිටියේ 'සේව් ද පර්ල්ස්' නම් සුබසාධක සංවිධානයකට අයත් ගොඩනැඟිල්ලක තාවකාලිකව පවත්වා ගෙන ගිය සයනාගාරයකය.

සේව් ද පර්ල්ස් සංවිධානය පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ සම්බන්ධ කිරීමේ ප්‍රයත්නයක යෙදෙන පොලීසිය ඔවුන් 'මුස්ලිම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටියේ ද' යන්න පිලිබඳ විමර්ශනයක යෙදෙමින් සිටී. සේව් ද පර්ල්ස් සමඟ සම්බන්ධකම් ඇති, ඊට එරෙහි මෙකී චෝදනා ප්‍රතික්ෂේප කල, මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා ද 2020 අප්‍රේල් මාසයේ සිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අතර, මෙම වසරේ මාර්තුවේ ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලදී.

සිය නීතිඥයන් හෝ තම පවුලේ අය හමුවීමේ අවස්ථාව අහ්නාෆ්ට අහිමි කර ඇති අතර, නිසි නෛතික ක්‍රමවේදය ඔහුට අහිමි කොට ඇත. වරෙක නිදා ගන්නා අවස්ථාවේ පවා මාංචු ලා තබමින් ද, සෞඛ්‍යයට අහිතකර කොන්දේසිවලට ඔහු නිරාවරනය කරමින් ද ඔහු කුරිරු, අමානුෂික හා අවමන් සහගත ආකාරයේ සැලකිල්ලකට බඳුන් කොට ඇත. වර්තමාන ප්‍රවෘත්ති දැන ගැනීමේ හෝ පුස්තකාලයක් පරිහරනය කිරීමේ අවස්ථා ඔහුට අහිමි කර ඇත.

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) පසුගිය පෙබරවාරි 16 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ප්‍රකාශයක් මඟින් කවියා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම හෙලා දකිමින් කොන්දේසි විරහිතව ඔහු වහාම නිදහස් කලයුතු බවට හා ඔහුට එරෙහිව අපරාධ චෝදනා නැඟීමේ කටයුතු වහා නවතා දැමිය යුතු බවට කැඳවුම් කලේය.

එම ප්‍රකාශනයේ මෙසේ සඳහන් විය: 'පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින ජනාධිපති රාජපක්ෂ, ධනපති මහා ව්‍යවසායකයන්ගේ උත්සුකයන්ට සේවය කරමින් මුල සිටම කටයුතු කලේ පුලුල්ව මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කිරීමටය. ඔහුගේ ආන්ඩුව විවෘතවම කම්කරු පන්තියට එරෙහි ආර්ථික යුද්ධයක් ප්‍රකාශයට පත් කලේය..'

ප්‍රකාශනය වැඩි දුරටත් පැහැදිලි කලේ, 'මෙකී පසුබිම තුල, ලේඛකයන්, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව ගෙනයන දඩයම වනාහි, ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලින් ඉක්බිති, අන්ත දක්ෂිනාංශික සිංහල-බෞද්ධ කොටස්වල ද සහාය ඇතිව මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කෙරුනු රුදුරු වර්ගවාදී උද්ඝෝෂනයකට ගාමකය සැපයූ, සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත් වඩාත් උත්සන්න ආකාරයකින් දිගටම පවත්වා ගෙන යාමකි,' යනුවෙනි.

කොරෝනා වෛරස් වසංගතය කෙරේ ආන්ඩුවේ නොසැලකිලිමත් ප්‍රතිචාරය හා එහි මිනීමරු පිලිවෙත, ආන්ඩුව කෙරේ මහජන අප්‍රසාදය නව මට්ටමකට ගෙන ගොස් ඇත්තේ, එහි දේශපාලන අර්බුදය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය තවතවත් ගැඹුරු කරමිනි.

අහ්නාෆ් නිදහස් කර ගැනීම සහතික කොට ගත හැක්කේ මෙකී අත්අඩංගුවට ගැනීම්වලට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව, ජාතික හා ජාත්‍යන්තර කම්කරු පන්තිය, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරි දර්ශනය මත පදනම්ව, තරුන තරුනියන්, කලාකරුවන්, බුද්ධිමතුන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අගයන සියල්ලන් තමා වටා ගොනු කර ගනිමින් සිදු කරන පුලුල් දේශපාලන අරගලයකින් පමනෙකි.

අහ්නාෆ් හා මිලිටරි පොලිස් දඩයමට ගොදුරු වූ අන්‍යයන් - කම්කරුවන්, මාධ්‍යවේදීන්, ලේඛකයන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, කලාකරුවන් - ආරක්ෂා කිරීමට, තම ප්‍රදේශ හා වැඩබිම්වල ද, තම ක්ෂේත්‍රවල ද ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවමින්, සමාජවාදී පිලිවෙත් මත පදනම්ව, අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද ඇතුලුව ප්‍රකාශනයේ හා කලාවේ නිදහස ආරක්ෂා කිරීමේ ඒකාබද්ධ අරගලයක් දියත් කිරීමට ඉදිරිපත් වන ලෙස කප්‍රනිආක දිවයින තුල කම්කරු පන්තියට ද, ලෝකය පුරා එහි පන්ති සහෝදරයන්ට ද කැඳවුම් කලේය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගය කරන, කමිටුවේ එකී ප්‍රකාශනය හා මෙම ප්‍රසිද්ධ කැඳවීම සමඟ එකඟ වන සියලු දෙනාට, ශ්‍රී ලංකාවේ ආන්ඩුවට ආමන්ත්‍රනය කරන පහත දැක්වෙන පෙත්සමට අත්සන් තබන ලෙසත්, අහ්නාෆ් ජසීම් කවියාගේ ආරක්ෂාව සඳහා ප්‍රකාශ නිකුත් කරන ලෙසත් කප්‍රනිආක කැඳවුම් කරයි.

ඔන්ලයින් පෙත්සමට සබැඳිය:

Petition · Secretary, Ministry of Defence of Sri Lanka: අහ්නාෆ් ජසීම් කවියා ආරක්ෂා කරනු! · Change.org

***

ලේකම්,

ආරක්ෂක අමාත්‍යාංශය,

15/5, බෞද්ධාලෝක මාවත,

කොළඹ 3.

නීතිපති,

නීතිපති දෙපාර්තමේන්තුව,

අලුත්කඩේ,

කොළඹ 12.

පොලිස්පති,

පොලිස් මූලස්ථානය,

කොළඹ 1.

මහත්වරුනි,

අහ්නාෆ් ජසීම් කවියා වහා නිදහස් කිරීම

මෙහි පහත අත්සන් තබන අපි, 'නවරසම්' කාව්‍ය සංග්‍රහයේ කර්තෘවරයා වන අහ්නාෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගැනීම හා ඔහු දිගටම රඳවා තබා ගැනීම තරයේ හෙලා දකිමු. ඔබේ ආන්ඩුවේ කප්පාදු හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරවලට එරෙහිව කම්කරු පන්තියේ අරගල මැඬලීම සඳහා එම පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට දැරෙන ප්‍රයත්නයක් වශයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ඔබ දියත් කර ඇති වර්ගවාදී ව්‍යාපාරයට අහ්නාෆ් කවියා ද ගොදුරු වී ඇති බව අපි වටහා ගෙන සිටින්නෙමු. අහ්නාෆ් ජසීම් කවියා දේශපාලන සිරකරුවෙකැයි ප්‍රකාශ කරන අපි, ඔහු නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටීම කවියාගේ ද, මෙරට මහජනයාගේ ද ප්‍රකාශනයේ නිදහස සහ කලාවේ නිරතවීමේ නිදහස අමුඅමුවේ උල්ලංඝනය කිරීමකැයි කියා සිටිමු.

අහ්නාෆ් ජසීම් කවියා ශ්‍රී ලංකා පොලීසිය චෝදනා කරන වැරදි කිසිවක් සිදු කොට නොමැති බව පිලිබඳව අපට යුක්තියුක්ත වැටහීමක් ඇත.

එබැවින්, අහ්නාෆ් ජසීම් කවියා වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහිව අපරාධ චෝදනා මත සිදු කෙරෙන පරීක්ෂන හා නඩු කටයුතු නවතා දමන ලෙසත් ඔබ මඟින් නියෝජනය කෙරෙන ශ්‍රී ලංකා ආන්ඩුවෙන් මෙසේ ඉල්ලා සිටිමු. තව ද, කවියාට සිදු වූ අලාභය හා පීඩාවන් වෙනුවෙන් ඔහු වෙත විශාල වන්දි මුදලක් ගෙවන ලෙස ද අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

මෙයට, පහත අත්සන් තබන අපි:

(...)

Loading