වසංගතය ව්‍යසනකාරීව පැතිර යද්දී ධනපති ආර්ථිකය විවෘතව තබාගැනීමට පෙසප තල්ලුව සපයයි

ලංකාව තුල කොරෝනා ආසාදිතයන් සහ මරන ව්‍යසනකාරී ලෙස ඉහලයාම හමුවේ, පූර්න වශයෙන් රට අගුලු දැමීමක අවශ්‍යතාවය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයෝ දැඩිව අවධාරනය කරති. එමෙන්ම, එම පියවර නොගැනීම සම්බන්ධයෙන් කම්කරු-පීඩිත මහජනතාව අතර ආන්ඩුවට එරෙහිව බලගතු විරෝධයක් ද වඩෙමින් පවතී.

මෙම තතු යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පෙරට පැනගෙන සිටින්නේ යම් සීමාසහිත සංචරන සීමා පැනවීම හරහා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටීමටයි. කැපී පෙනෙන පරිදි තම සෑම යෝජනාවක්ම ධනපති ආර්ථිකයේ පැවත්මට අභියෝග නොකරන සීමාවක පවත්වාගැනීම ගැන පෙසප නායකයෝ සැලකිලිමත් වී ඇත.

 

පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ (Source: Facebook)

ඵලදායී අන්දමින් සංචරන සීමා නොපනවන්නේ නම් එලඹෙන සති කිහිපය තුල දැවැන්ත පරිමාන ජාතික ව්‍යසනයක් ඇති කරනු ඇතැයි අනතුරු අඟවමින් වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගම් කිහිපයක් ඒකාබද්ධව පසුගිය සෙනසුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ ලිපිය මත පදනම් වෙමින් “මුලු රටම නොවයි නම් අවම වශයෙන් දැවැන්ත අවදානමක ලක්වී තිබෙන දිස්ත්‍රික්කවලට හෝ සංචරන සීමා පනවන” ලෙස පසුගිය සඳුදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. 

ධනපති ලාභ උත්පාදනය අබාධිතව පවත්වාගෙන යනුවස් “ආර්ථිකය විවෘතව තබා ගැනිම” සඳහා ආන්ඩුව ඇතුලු පාලක පන්තිය සහ ධනපති මාධ්‍ය ගෙනයන ප්‍රතිගාමී උද්ඝෝෂනය හමුවේ  සෘජුව ප්‍රකාශ නොකල ද, වෛද්‍ය වෘත්තිකයන් විසින් ජනාධිපතිට යවන ලද ලිපියෙන් සහ අනෙකුත් විශේෂඥයන්ගේ අනාවරනයන් මගින් අවධාරනය කෙරෙන්නේ, දසදහස් සංඛ්‍යාත මහජනතාවගේ ජීවිත විනාශය නතර කිරීම සඳහා රට පූර්න වශයෙන් අගුලු දැමීම වහා ක්‍රියාත්මක කලයුතු අත්‍යවශ්‍ය පියවරක් බවයි. එහෙත් ජයගොඩ හෝ වෙනත් කිසිදු පෙසප නායකයෙකු එවැන්නක් සෘජුව ප්‍රකාශ කිරීමෙන් වැලකී ආන්ඩුවේ අභිමතයන්ට එකඟතාව පලකර ඇත.

ආන්ඩුව පසුගිය සති අන්තයේ සංචරන සීමා පනවා හැරෙන පමාවෙන් නිවේදනය කලේ ඒවා ඇඟලුම් ඇතුලු අපනයන කර්මාන්තයන්ට අදාල නොවන බවයි. මෙම තීන්දු වලින් යලි යලිත් පැහැදිලි වන්නේ ආන්ඩුවේ ඊනියා වසංගත මර්දන වැඩපිලිවෙල පදනම් වන්නේ මහජන ජීවිත බේරාගැනීමේ අවශ්‍යතාවය මත නොවන බවයි. 

වසංගතයේ මුල සිටම, රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලොව පුරා ධනපති ආන්ඩු ක්‍රියාත්මක වූයේ මිනිස් ජීවිත වලට ඉහලින් ධනපති ලාභය පිහිටුවීමේ සාපරාධී පිලිවෙත මතයි. මෙම නරුම පිලිවෙත ව්‍යාජ-වම ඇතුලු සියලුම ධනේශ්වර ගැති සංවිධාන විසින් අනුමත කරනු ලැබ ඇත්තේ වඩ වඩාත් දක්ෂිනාංශික ආස්ථානයන් කරා යොමුවෙමිනි. 

තම කම්හලෙන් ආසාදිතයන් වාර්තා වෙද්දී නිෂ්පාදනය අඛන්ඩව පවත්වාගෙන යන කර්මාන්තශාලා හිමියන් “විවේචනය” කල පෙසප නායකයා අවසානයේදී කියා සිටියේ, “ආසාදිතයන් වාර්තා වුනාම ඒ කර්මාන්ත ශාලා සති දෙකක්, තුනක් හෝ මාසයක්” වසා දැමිය යුතු බවයි.

කම්කරුවන් ආසාදනයන්ට ලක්වීමට ප්‍රමුඛතම හේතුව වනුයේ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවා අඛන්ඩව පවත්වාගෙන යාමයි. වසංගතයේ තෝතැනි බවට පත්ව තිබෙන ඇඟලුම් කම්හල් මේ අතරින් මූලික වෙයි. සෞඛ්‍ය අනාරක්ෂිත කම්හල්තුල ද, තදබදය සහිත පොදු ප්‍රවාහන මාධ්‍යයන්හි ද පවත්නා දැඩි අවදානම මධ්‍යයේ තම දරු-පවුල් රැකීම සඳහා රැකියාවට යාමට කම්කරුවන්ට බලකෙරී ඇත.   මෙම නරුම පිලිවෙතට සහාය දෙමින් ජයගොඩ කියා සිටින්නේ කම්කරුවන් ආසාදිත වූවහොත් පමනක් යම් පියවරක් ගැනීම ප්‍රමානවත් බවයි.

රාජපක්ෂ තන්ත්‍රය ඇතුලුව ලොව පුරා ආන්ඩුවල ක්‍රියාපිලිවෙත් වලින් දිගින් දිගටම හෙලි වනුයේ, වසංගතයේ පාලනය ධනපතියන්ගේ ලාභ අරමුනු ඔස්සේ මෙහෙයවන ධනපති පාලක පන්තිය අත පවතින තාක් මහජන ජීවිත ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර නොගැනෙනු ඇති බවයි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 8වනදා නිකුත් කල කල ප්‍රකාශය තුල කම්කරුවන්ට අවධාරනය කෙරුනේ මෙම ධනේශ්වර ගැති ක්‍රියාමාර්ගයන් ගෙන් වෙන්වී වසංගතය සම්බන්ධයෙන් තීන්දුගැනීමේ කාර්යය තමන් අතට ගත යුතු බවයි. තරුන හා ග්‍රාමීය ජනතාව තම නායකත්වය යටතේ පෙලගැස්වීම සඳහා සෑම කර්මාන්ත ශාලාවකම හා අසල්වැසි ප්‍රදේශකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට කම්කරුවන් වහා පෙරට පැමිනිය යුතු බව එම ප්‍රකාශයෙන් පෙන්වා දුනි. 

සියලුම අත්‍යවශ්‍ය නොවන සේවා සහ කර්මාන්ත සම්පූර්නයෙන්ම වසා දමන ලෙසත්, අත්‍යවශ්‍ය සේවාවන්හි රැකියාවේ යෙදෙන අයට වෛරසය ආසාදනය නොවීමට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙසත් කම්කරු පන්තිය බල කල යුතු බව එහිදී සසප කියා සිටියේ ය. ඒ සමගම, වසා දැමෙන කම්හල් සහ අනෙකුත් ආයතනයන්හි කම්කරුවන්ට පූර්න වැටුප් ද ආදායම් මාර්ග අහිමිවන අයට සම්පූර්න වන්දි ද ලැබිය යුතුය.    

මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ අත්පත් කර ගෙන වසංගතය මර්දනය සහ පුලුල් මහජනතාවන් ආර්ථික විනාශයෙන් ගලවාගැනීම සඳහා එම මුදල් යොදාගැනීම යන ඉල්ලීම් පෙරදැරිව කම්කරුවන් එම ක්‍රියාකාරී කමිටු තුල මැදිහත් විය යුතුය. සසප අවධාරනය කරන්නේ, කම්කරු පන්තියට මෙම ක්‍රියාමාර්ග සඳහා සටන් කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස පමනක් බවයි.

පෙසප ඇතුලු ව්‍යාජ වම්මුන්ගේ උත්සාහය වන්නේ මෙම ඉදිරිදර්ශනයෙන් කම්කරු පන්තිය සන්නද්ධවීම වලකාලීමයි. ඔවුන් ඒ සඳහා සෑම විටම ජපකරන මන්තරය වන්නේ වසංගතය මැඩලීම සඳහා “ප්‍රමානවත් රාජ්‍ය මැදිහත්වීමකි”. ඔවුන් කම්කරු පන්තියට යෝජනා කරන්නේ මෙම රාජ්‍ය මැදිහත්වීම ලබාගැනීම වෙනුවෙන් ආන්ඩුවට එක දිගටම බලපෑම් දමමින් රස්තියාදු විය යුතු බවයි. 

“වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සිරුරු අතර පරතරය තබාගෙන අපි දේශපාලනිකව එකතු වෙමු. මුව වසාගෙන හඬ නගමු” යනුවෙන් පෙසප නායකයා පවසන්නේ කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කර ධනපති ආන්ඩුවලට කන්නලව් කරන්නන් බවට පත්කිරීමටයි. 

වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා නිසි සංචරන සීමා පැනවීම, එන්නත්කරනය පුලුල් කිරීම, සෞඛ්‍ය සේවාවන් සහ කාර්ය මන්ඩල පුලුල් කිරීම, කම්හල්වල හාම්පුතුන් නිසි සෞඛ්‍යාරක්ෂක පිලිවෙත් අනුගමනය කර ඇද්දැයි සොයා බැලීම ආදී වශයෙන් යුත් දීර්ඝ ලැයිස්තුව ජයගොඩ ඉදිරිපත් කරන්නේ, “නිෂ්පාදන පලදායිත්වය” ඉහල දැමීම සඳහා කර්මාන්තශාලා තුල පවතින සීමිත සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද පවා ලිහිල්කිරීමට ධනපතියන්ට අවසරදුන් ආන්ඩුවකටයි.  

ධනපති ක්‍රමයට තදින් බැඳීගත් පෙසප වැනි ව්‍යාජ වම්මු, වසංගතයට ලොවපුරා ආන්ඩු දක්වන ප්‍රතිචාරයන් හි සාපරාධීභාවය එක් එක් පාලකයාගේ අසමත්කමක් හෝ දුර්ගුනයක් ලෙස මිස, ධනපති ක්‍රමයේ ඓතිහාසික අසමර්ථභාවය ලෙස නොදකිති. ආන්ඩුවේ වැඩපිලිවෙල තුල අඩුපාඩු පවතින බවට පෙසප නායකයන් නිරන්තරයෙන් මැසිවිලි නගන්නේ එබැවිනි. 

පසුගිය වසර මුලදී පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්  අගමැති රාජපක්ෂට යැවූ ලිපියකින් ධනපති ආන්ඩුවේ මෙම “අඩුපාඩු” වේලාසනින්ම සාධාරනීකරනය කර තිබුනි. එම ලිපියේ ගුනරත්නම් පැවසුවේ, “ලංකාව මෙවන් අත්දැකීමකට මුහුනදුන් අවස්ථා සුලභ නොවන බැවින් ඇතැම් අඩුපාඩු සිදුවීම අපේක්ෂා කල හැකි” බවයි.

වසංගතය බිහිසුනු අන්දමින් ජීවිත බිලිගනිද්දී, පෙසප වැනි ධනේශ්වර ක්‍රමයේ ක්ෂමාලාපකයෝ, ලොවපුරා ධනපති ආන්ඩුවලට වසංගතයට මුහුනදීම සඳහා පැවැති නුසූදානම, හුදු අත්දැකීම් හිඟකමකට හෝ අනපේක්ෂිතභාවයේ ප්‍රතිඵලයකට ඌනනය කිරීමට පටන්ගත්හ. මෙවැනි වසංගතයක් පිලිබඳව විද්‍යාඥයන් විසින් වසර ගනනාවක කරන ලද අනතුරු ඇඟවීම් තිබියදී ලංකාවේ පාලක පන්තිය ඇතුලු ලොවපුරා පාලක පන්තීන් ඒවා නොතකා හලේ අහම්බයකින් හෝ අතපසුවීමකින් නොවේ. 

පසුගිය දශක කීපය තුල ඔවුනගේ පිලිවෙත වූයේ, එවන් ව්‍යසනයකට මුහුනදිය හැකිවන අයුරින් මහජන සෞඛ්‍ය සේවය ගුනාත්මක අයුරින් ඉමහත් ඉහලකට නැංවීම නොව, ඊට විපරීතව, පැවති සීමිත සෞඛ්‍ය සේවාවන් පවා අනවරතව කප්පාදු කිරීමයි. සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ සුබසාධනයන් මෙලෙස කපා දැමීම ධනපති ක්‍රමයේ මරලතෝනියේ ප්‍රකාශනයකි. 

පසුගිය මාර්තු මාසයේ සිට ආන්ඩුව පීසීආර් පරීක්ෂන පහත හෙලා සහ ආශ්‍රිතයන් සොයායෑම අවමකොට වසංගතය පහවයමින් පවතින බවට කල මවාපෑම වෘත්තීය සමිති සහ සියලු ධනේශ්වර ගැති සංවිධාන සමග එක්ව සම්පූර්නයෙන්ම කරේ තබාගත් පෙසපය වසංගතයේ මෙවැනි පුපුරායාමක් පිලිබඳව කම්කරු පන්තියට කිසිඳු අනතුරු ඇඟවීමක් කලේ නැත. ආන්ඩුවේ ප්‍රෝඩාව පිලිබඳ සැබෑ ලෙස අනතුරු ඇඟවමින් එවැනි ප්‍රෝඩාවක අරමුන කුමක්දැයි කම්කරු පන්තියට පැහැදිලි කල එකම මාධ්‍යය වූයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පමනි. 

මාර්තු 19වනදා ලෝසවෙඅ හි පලවූ ලිපියක  මෙසේ පැහැදිලි කෙරුනි: “එවැනි ව්‍යාජයක් පවත්වා ගැනීම තුලින් ආර්ථිකය පූර්න වශයෙන් විවෘත කර, ධනපති ලාභෝත්පාදනය අබාධිතව ඉදිරියට ගෙනයනුවස්, කම්කරුවන් වැඩට දැක්කීම සඳහා ආන්ඩුව පදනම් දමාගනියි.”

“උත්සව සමයේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිලිබඳව ආන්ඩුව අවම මැදිහත්වීමක් හෝ නොකල හෙයින් වසංගතය ඔඩුදුවා ඇති” බව ජයගොඩ ඉහත මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය. ඊට හේතුව වූයේ “මහා පරිමානයේ රෙදිපිලි විකුනන ව්‍යාපාරිකයන්ගෙන් ආන්ඩුවට එල්ලවී තිබූ පීඩනය” බව ඔහු ඒ සමගම කියා සිටියේය. 

ජයගොඩ පවසන අයුරු රාජපක්ෂ ආන්ඩුවේ පියවර හුදෙක් එක් එක් ක්ෂේත්‍රයේ ධනපතියන් යොදන පීඩනය මත රඳා පවතින්නක් නොව, ධනපති පාලක පන්තීන් මෙහෙයවෙන කේන්ද්‍රීය පිලිවෙතින්, එනම් කවර ලෙසින් හෝ මහධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කර දීම මත නිර්නය කෙරෙන්නකි. වසංගතය මෙවැනි ව්‍යාසනකාරී මට්ටම් කරා නැගීමට ප්‍රධානතම හේතුව වනුයේ ආන්ඩුව මුලසිටම අනුගමනය කල, වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීමේ මිනීමරු “නව සාමාන්‍යය” පිලිවෙත යි. පෙසප කිසිවිටෙක මෙයට විරුද්ධ වූයේ නැත.

වසංගතය හමුවේ තමන්ගේ ජීවිත මෙන්ම ජීවන කොන්දේසි විනාශවී යාමට එරෙහිව ලොවපුරා කම්කරු-පීඩිත මහජනතාවන් අරගලයට පිවිසීම ධනපති ක්‍රමයේ අර්බුදයෙන් ජනිත කෙරී ඇති ප්‍රහාරයන්ට එරෙහි ඔවුන්ගේ සටන්කාමී ප්‍රතිචාරයයි. එම ප්‍රතිචාරය ගැන ධනපති පාලක පන්තීන් සහ ඔවුනගේ ආරක්ෂකයන් වන වෘත්තීය සමිති මෙන්ම මෙම ව්‍යාජ-වම්මුද බියට පත්වී සිටිති. මෙම පන්ති සටන් ධනපති ක්‍රමයට එරෙහි අරගලයක් කරා වර්ධනයවීම වැලැක්වීමට පෙසප සියලු උත්සාහයන් දරති.

ව්‍යාජ-වම්මුන්ගේ මෙම මඩකිරීම් වලට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීම සඳහා  හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි ශාඛා පක්ෂ වන සමාජවාදී සමානතා පක්ෂ පෙරමුන ගෙන සිටියි. එහිලා තීරනාත්මක ආරම්භකත්වයක් ගනිමින් මෙවර පවත්වන ලද සිය අන්තර්ජාල මැයි දින රැලියේදී හජාජාක ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක්  පිහිටුවීම සඳහා ගෝලීය කම්කරු පන්තියට කැඳවුම් කලේය.

Loading