පාලක ප්‍රභූව කොරෝනා වෛරස් වසංගතයට දක්වන මිනීමරු ප්‍රතිචාරයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

මෙහි පලවන්නේ 2021 අගෝස්තු 17 දින Build action committees to fight the Sri Lankan ruling elite’s homicidal re! sponse to the coronavirus pandemic යන මාතෘකවෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි.

වේගයෙන් පැතිර යමින් පවතින කොරෝනාවෛරස් වසංගතයට හා එහි මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි ව සටන් වැදීමට ජාතික පරිමාන අගුලු දැමීමක් හා අනෙකුත් බරපතල පියවරයන් ඉල්ලමින් ස්වාධීන සෞඛ්‍ය විශේෂඥයන් විසින් කල ඉල්ලීම්, ගිය සතියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යලි වතාවක් ප්‍රතික්ෂේප කලේ ය.

මිනිස් ජීවිතවලට ඉහලින් ධනපති ආර්ථිකය පවත්වාගෙන යාම හා මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ පිම්බීම ප්‍රමුඛතාව විය යුතු ය යන එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, බ්‍රසීලයේ, ඉන්දියාවේ හා අනෙකුත් රටවල තම ගෝලීය සගයන්ගේ පිලිවෙත ම රාජපක්ෂ පාලනය විසින් ද අනුයමින් සිටී.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකා සමාජිකයින් වයස්ගත මුස්ලිම් කාන්තාවකට කොවිඩ්-19 සඳහා එන්නත කොලඹ පිහිටි ඇගේ නිවසේදී ලබා දීමට කටයුතු කරති. 2021 අගෝස්තු 14, සෙනසුරාදා(ඒපී ඡායාරූපය/ එරංග ජයවර්ධන)

2022 ජනවාරි වන විට මුලු මරන සංඛ්‍යාව 30,000කට පමන ඉහල නැගීමට ආන්ඩුවේ අප්‍රමානවත් අවම සංචරන සීමා හේතු වනු ඇතැයි අනතුරු අඟවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞස) අනුග්‍රහය ලබන වෛද්‍ය විශේෂඥයන් කන්ඩායමක් පසුගිය සතියේ දී ආන්ඩුවට වාර්තාවක් භාර දුන්නේ ය.

“අපේ හදිසි ප්‍රමුඛතාව වන්නේ ජීවිත ආරක්ෂා කිරීමයි” යි කී විශේෂඥ කන්ඩායම, “අත්‍යවශ්‍ය සේවාවලට හැර, අන්තර්-දිස්ත්‍රික් සංචරන සීමා ඇතුලු දැඩි ව බලාත්මක සංචරන සීමා” ද “කෙටි කාලසීමාවකට ඇඳිරි නීතිය” සහ අනෙකුත් පියවරයන් ද ගන්නා ලෙස නිර්දේශ කලේ ය. මෙම යෝජනා ක්‍රියාවට දැමුව හොත් ජනවාරි මාසය වන විට ජීවිත 18,000ක් ආරක්ෂා කර ගැනීමට උදව් වනු ඇතැයි ඔවුහු සඳහන් කලහ. එම පියවර නොගතහොත් දැනටමත් හෙම්බත් වී ඇති රටේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී, තත්වය වඩා බරපතල වනු ඇතැයි එය අනතුරු ඇඟවී ය.

යලි යලිත් කරන ඉල්ලීම් හා ඉහල නගින මහජන කෝපය මධ්‍යයේ, ඊයේ පටන් රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය පැනවීම ඇතුලු සමහර සීමිත සංචරන සීමාවන් පැනවීමට රාජපක්ෂ ආන්ඩුව ක්‍රියා කර තිබේ. මුහුන බේරා ගැනීමේ පියවරක් වන මෙය, මහ ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලට බල නො පායි.

කොවිඩ්-19 පිලිබඳ සීමිත නිල සංඛ්‍යා ලේඛන පවා දිගහැරෙන ව්‍යසනයේ බරපතලකම පෙන්නුම් කරයි. අගෝස්තු 1දා පටන් අඟහරුවාදා දක්වා නිල මරන සංඛ්‍යාව 1,700ට වැඩි සංඛ්‍යාවකින් 6,263 දක්වා ඉහල ගොස් තිබෙන අතර, ආසාදන සංඛ්‍යාව 50,000කින් 362,074 දක්වා වැඩි වී ඇත.

ආන්ඩුව හිතා මතා ම පීසීආර් පරීක්ෂන ප්‍රමානය අවශ්‍ය මට්ටමට වඩා අඩුවෙන් ගෙනයන තතු තුල, මෙම සංඛ්‍යාවන් සැබෑ තත්වය නිවැරදි ලෙස පිලිබිඹු නො කරයි. සමහර දිස්ත්‍රික්කවල ආසාදනය වූ දහස් ගනනක් දෙනා නිල සංඛ්‍යා ලේඛන තුලට අඩංගු කරනු ලැබ නැතැයි අනාවරනය වී ඇත.

වසංගතය ආරම්භයේ පටන් ම, ලංකාවේ සියලු ධනපති පක්ෂ, ගැත්තර ජන මාධ්‍ය ද වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම කන්ඩායම් ද ආර්ථිකය යලි විවෘත කිරීම ඇතුලු ව කොරෝනා වෛරසයට ප්‍රතිචාර වසයෙන් රාජපක්ෂ ආන්ඩුව ගෙන යන වැඩපිලිවෙලට සහයෝගය දී තිබේ. ආන්ඩුව සෞඛ්‍ය ව්‍යසනය සම්බන්ධයෙන් ක්‍රියා කරන සාපරාධී ස්වභාවය ගැන කම්කරුවන් හා දුගීන් අතර නැගී තිබෙන කෝපය සමහන් කිරීම පිනිස, දැන් මෙම සංවිධාන ආන්ඩුව පිලිබඳව බයාදු විවේචන කරමින් සිටිති.

සිය ජාත්‍යන්තර සගයන් මෙන් ම රාජපක්ෂ ආන්ඩුව ද “නව සාමාන්‍යය තුල ආර්ථිකය ක්‍රියාත්මක විය යුතු” බව හා මහජනයා “වෛරසය සමග ජීවත් වීමට ඉගනගත යුතු” බව ප්‍රකාශ කරයි. “සංවර්ධනය වෙමින් පවතින රටවලට අගුලු දැමීම් ඔරොත්තු නො දෙන” බව අප්‍රේල් මාසයේ දී ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කලේ ය.

ආන්ඩුව මූලිකවම කනස්සලුවී සිටින්නේ, අපනයන හා විදෙස් ප්‍රේෂනවල තියුනු ඛාදනයක් ද සංචාරක කර්මාන්තයේ ඇද වැටීමකට හා ආර්ථික වර්ධනය පහත වැටීමකට ද තුඩුදෙමින්, ගෝලීය වසංගතය ලංකාවේ ආර්ථිකය මත ඇතිකර තිබෙන බලපෑම ගැනයි.

රාජපක්ෂ පාලනය, ලාභ නය හා බදු සහන සම්පාදනය කරමින් මහ ව්‍යාපාර ආරක්ෂා කිරීමට, රුපියල් බිලියන ගනන් පොම්ප කර ඇත. නය පැහැර දැමීමේ අද්දර සිටින කොලඹ ආන්ඩුව, පවත්නා නය ආපසු ගෙවීමට වඩ වඩා විදේශීය නය ලබාගෙන ඇත්තේ, අර්බුදයේ ආර්ථික බර මහජනයාගේ මත පටවන අතරතුර ය.

විශේෂයෙන් ම ඇඟලුම් කම්හල් ඇතුලු අපනයන නිෂ්පාදනය කරන කම්හල් විවෘත කිරීමට ඉඩ දෙමින්, පසුගිය වසරේ මාර්තු මැද සිට පැනවූ කෙටි එක් මසක අගුලු දැමීමකින් පසුව, ආපසු වැඩට එන ලෙස සේවකයන්ට නියෝග කෙරුනි. මෙම වැඩපොලවල සෞඛ්‍යාරක්ෂන පියවරයන් අවම තත්වයේ නැතහොත් කිසිසේත්ම නො පැවති තත්වය තුල, කම්කරුවන් දහස් ගනනකට වෛරසය ආසාදනය විය.

මේ වසරේ මැයි හා ජුනි මාසවල දී, සංචරන සීමා පැනවීමට ආන්ඩුවට බල කෙරුන ද ජූලි 5දා එම සීමාවන් ඉවත් කෙරුනි. අලුතින් ඉස්මතු වන හා පහසුවෙන් බෝවන ඩෙල්ටා ප්‍රභේදය පිලිබඳ අනතුරු ඇඟවීම් නො තකා, නිවසේ සිට වැඩ කල සියලු රාජ්‍ය සේවකයන්ට පෙරලා වැඩපොලවලට වාර්තා කරන ලෙස ආන්ඩුව ජූලි 28දා නියෝග කලේ ය.

ගෙවී ගිය මාස 18 තුල සංචාරක ක්ෂේත්‍රය තුල රැකියා ලක්ෂ පහක් පමන අතුගෑවී ගොස් ඇති අතර, අවිධිමත් අංශයේ ද එවන් සංඛ්‍යාවකට රැකියා අහිමි වී තිබේ. ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල සහයෝගය ලබන මහ ව්‍යාපාරිකයන් බොහෝ කම්කරුවන් දොට්ට දමා, වැටුප් කපා, වැඩ පැය ගනන් දීර්ඝ කර ඇත්තේ පවතින කම්කරු නීති උල්ලංඝනය කරමිනි.

ලංකාවේ රෝහල් සහ තාවකාලික කොරෝනා වෛරස් මධ්‍යස්ථාන දැනට ම පිරී ඉතිරී යමින් පවතී. කොවිඩ්-19 රෝගීන් දහස් ගනනක් බලහත්කාරයෙන් ඊනියා නිවාස-පාදක ප්‍රතිකාර මත තබා ඇත්තේ, සුදුසු වෛද්‍ය ප්‍රතිකාර නොමැති ව ය.

ආසාදිතයන් වෙනුවෙන් වෙන් කර ඇති රෝහල් වාට්ටු රෝගීන් බිම හා කොරිඩෝරවල සෑමතැනම වැතිර සිටින, අපිරිසිදු වැසිකිලිවලින් යුත් නරකාදි බවට පත්ව ඇත. රාජ්‍ය අංශයේ රෝහල්වලට කොරෝනා වෛරස් රෝගීන් සඳහා වැඩි වැඩියෙන් වාට්ටු වෙන් කිරීමට සිදු වී ඇති නිසා අනෙකුත් රෝගවලින් පීඩා විඳින්නන් මරනයට පත්වීමේ අන්තරාය මතුවී තිබේ. තව තවත් මරන සිදු වීමේ හැකියාව ඉහල දමමින්, වෛද්‍යමය ඔක්සිජන් හිඟයක් පවතී.

කොලඹ ප්‍රධාන ලමා රෝහල වන රිජ්වේ ආර්යා රෝහල, කොරෝනා වෛරසය ආසාදිත ලමුන්ගෙන් පිරී තිබේ. “තරමක්” ආසාදිත ලමුන් “නිවසේ රැකවරනය” යටතේ තබා ගන්නා ලෙස දෙමව්පියන්ට උපදෙස් දෙනු ලැබ ඇත. බහුවිධ ඉන්ද්‍රීය ප්‍රදාහය (එම්අයිඑස්-සී) වැනි අනෙකුත් මාරාන්තික රෝගයන්ට ද දැන් ලමුන් මුහුන දෙයි. දැනට එම්අයිඑස්-සී රෝගය ලමුන් 35කට වැලඳී ඇතැයි සැක කෙරෙන අතර, එක් ලමයෙකු මියගොස් තිබේ.

පසුගිය දශක හතර පුරා අනුප්‍රාප්තික ආන්ඩු ක්‍රියාවට දැමූ විවෘත වෙලඳපොල පිලිවෙත් මගින් අඩපන කරන ලද රටෙහි සීමිත මහජන සෞඛ්‍ය පද්ධතිය පවතින්නේ බිඳවැටීමේ අද්දර ය. ආරක්ෂිත වැඩ කොන්දේසි, පුද්ගල ආරක්ෂක උපකරන හා ප්‍රමානවත් මුහුනු ආවරන ලබාගැනීමට පවා වැඩ බරින් මිරිකී සිටින සෞඛ්‍ය සේවකයන්ට සටන් වැදීමට සිදුව ඇත. ආධාරක සෞඛ්‍ය සේවකයන් 2,000ක්, හෙදියන් 1,000ක්, පවුල් සෞඛ්‍ය කම්කරුවන් 600ක් හා වෛද්‍යවරුන්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, සමහර මරන ද වාර්තා වී තිබේ.

කොලඹ හා තදාසන්න ප්‍රදේශවල රෝහල් කිහිපයක්, ඒවායේ මෘතශරීරාගාර පිරී ඇති බව හා ශීතකරනවලින් පිටත මල සිරුරු ගබඩා කරන බව වාර්තා කර ඇත. සමහර ආදාහනාගාර දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

වසංගතයට “විසඳුම” “එන්නත්කරනය” බව ජනාධිපති රාජපක්ෂ අවධාරනය කරයි. වසංගතයට එරෙහි සටනේ දී එන්නත්කරනයන් තීරනාත්මක නමුත්, රාජපක්ෂ “එන්නත්කරන” මන්තරය යලි යලිත් ජප කරන්නේ මහජනයා කෙරෙහි පවතින අනුකම්පාවක් නිසා නො ව, ආර්ථිකය හා ලාභ ඉපැද්දවීම අඛන්ඩ ව ගෙනයාම තහවුරු කරගැනීමට ය. මේ දක්වා සෞඛ්‍ය බලධාරීන් සම්පූර්නයෙන් එන්නත්කරනය කිරීමට සමත් වී ඇත්තේ ජනගහනයෙන් සියයට 20ටත් අඩු පිරිසකට පමනි.

ජනගහනයෙන් භාගයක් පමන එන්නත්කරනයට බඳුන් කර ඇති එක්සත් ජනපදය හා අනෙකුත් රටවල් තුල, ඩෙල්ටා ප්‍රභේදය ද ඇතුලු වෛරස් ප්‍රභේදවලින් ආසාදනයවීම් ඉහල යන බවත්, මරන සංඛ්‍යාවන් ඉහල නගිමින් පවතින බවත්, රාජපක්ෂ ආන්ඩුව දුෂ්ට ලෙස නො තකා හරී.

ලංකාව හා අනෙකුත් දුප්පත් රටවල් තවත් ප්‍රශ්නයකට මුහුන දෙති: එක්සත් ජපනදයේ හා එක්සත් රාජධානියේ ලාභ පිපාසිත ඖෂධ සංගතයන්, මෙම ඌන සංවර්ධිත රටවලට එන්නත් සැපයීම් සීමා කරමින් සිටියි.

දිග හැරෙමින් පවතින අර්බුදය පිලිබඳ ව තැතිගැනී සිටින ලංකාවේ පාර්ලිමේන්තු “විපක්ෂ” --සමගි ජන බලවේගය (සජබ), එක්සත් ජාතික පක්ෂය (එජාප), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (දෙජාස)- පසුගිය වසරේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවූ සර්ව-පාක්ෂික සම්මේලනයට වහාම දිව ගොස්, ඔවුන්ගේ සහයෝගය ප්‍රකාශයට පත්කල හ. රාජපක්ෂ විසින් අන්තරායකාරී ලෙස ආර්ථිකය යලි විවෘත කිරීමට ද ඔවුහු සහයෝගය දුන් හ.

ගෙවී ගිය සතති දෙක තුල, සජබ, එජාප හා ජවිපෙ ජාතික පරිමාන අගුලු දැමීමකට කැඳවුම් කර ඇත. ආන්ඩුව මෙය ප්‍රතික්ෂේප කල විට, සජබ හා ජවිපෙ දැන් ස්වයං-හුදකලාවකට ලක්වන ලෙස මහජනයාගෙන් ඉල්ලති. සියලු පක්ෂ, සියලු ආගම්වල පූජකයන් හා ව්‍යාපාරිකයන් සමග ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වීමේ ආරම්භකත්වය ගන්නා ලෙස එජාපය ආන්ඩුවට කන්නලවු කරයි. දිගහැරෙන සෞඛ්‍ය හා සමාජ අර්බුදය සමාජ පිපිරීමක් උද්ගත කරනු ඇතැයි මේ සියලු පක්ෂ බියවී සිටිති.

ඒ අතර ම, මිලිටරිය හා අන්ත-දක්ෂිනාංශික සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට, රාජපක්ෂ ආන්ඩුව වේගයෙන් ගමන් ගනිමින් සිටී. රාජ්‍ය අංශයේ බොහෝ කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා තහනම් කරමින් විෂඝෝර අත්‍යවශ්‍ය සේවා නීති පනවා ඇති ආන්ඩුව අප්‍රේල් මාසයේ පටන් සෑම දිස්ත්‍රික්කයක ම යුද, ගුවන් හා නාවික හමුදා භටයන් සීරුවෙන් තබා තබේ. කිසිදු විරුද්ධ පක්ෂයක් මෙම පියවරයන්ට විරුද්ධ වී නැත.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අගුලු දැමීමක් පනවන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා ඇත. ඒ අතර ම, මහා සමාගම් මත සියයට 1ක බද්දක් පනවන ලෙස හා වසංගතය පිලිබඳව ක්‍රියා කිරීමට ගම් මට්ටමේ කමිටු තනන ලෙස එය කැඳවුම් කර තිබේ. මෙම අර්බුදය සමග පොර බැදීම සඳහා කම්කරු පන්තිය ගන්නා ඕනෑ ම ස්වාධීන මැදිහත්වීමක් වැලැක්වීමට ඔවුහු අධිෂ්ටානවත් ව සිටිති.

මිනිස් ජීවිතවලට ඉහලින් ලාභ සූරා ගැනීමේ පිහිටුවීමේ ආන්ඩුවේ පිලිවෙත් ද ආන්ඩුවට මුක්කුව දීමට විරුද්ධ පක්ෂ දරන මංමුලා සහගත උත්සාහයන් ද , කම්කරු පන්තිය විසින් තීරනාත්මක ලෙස ප්‍රතික්ෂේප කල යුතු ය.

සෑම වැඩපොලක ම හා කම්හලක ම සේවකයෝ, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීම අවශ්‍ය ය. රට ජාතික පරිමානයෙන් අගුලු දැමීමක් සහ අත්‍යවශ්‍ය නො වන කම්හල්වල සියලු සේවකයන්ට සම්පූර්න වන්දි සමගින් එම නිෂ්පාදන නැවැත්වීමක් ඔවුන් ඉල්ලා සිටිය යුතු ය. අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන සියලු කම්කරුවන්ට සුදුසු සෞඛ්‍ය හා ආරක්ෂක රැකවරනය සම්පාදනය කල යුතු ය.

ස්වයං-රැකියා කරන කම්කරුවන්ට, ප්‍රමානවත් ජීවන දීමනා හා අනෙකුත් අවශ්‍ය කරන සහයෝගය සම්පාදනය කරනු ලැබිය යුතු ය. ස්වයං-රැකියාවල නියුක්ත කුඩා වෙලෙන්දන්, ත්‍රී-රෝද රථ රියැදුරන්, ගොවියන් හා ධීවරයන්ට ද ප්‍රමානවත් සමාජ සහනාධාර පිරිනැමිය යුතු ය.

නව උපකරන හා යටිතල පහසුකම් සම්පාදනය කිරීම සමගින්, සෞඛ්‍ය අංශය යෝධ පරිමානයෙන් හා හදිසියෙන් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් බිලියන ගනන් සම්පාදනය කල යුතු ය.

මෑත සති කිහිපයේ දී, සෞඛ්‍ය, වතු, දුම්රිය හා අධ්‍යාපන අංශවල කම්කරුවන් නියැලෙන වැඩ වර්ජන, විරෝධතා හා පෙලපාලි පැවතී තිබේ. 200,000ට අධික ගුරුවරු හා විදුහල්පතිවරු සහභාගි වන “ඔන්ලයින් ඉගැන්වීම්” වර්ජනය, දැන් එහි දෙවන මාසයට පිවිස ඇත. දශක ගනනක් තිස්සේ කඳු ගැසී තිබෙන සමාජ ප්‍රශ්න වසංගතය හේතුවෙන් තවත් ගැඹුරු වී ඇති නිසා මෙම අරගල පුපුරා ගොස් තිබේ.

තම සමාජ බලය පෙන්වා තිබෙන කම්කරුවන් ඉහතින් දක්වන ලද පිලිවෙත් සඳහා සටන් කිරීම පිනිස, තරුන ජනයා හා දුගීන් රැලි කරගනිමින්, වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් බිඳී, ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට දේශපාලන ආරම්භකත්වය ගත යුතු ය.

ලාභ පිම්බීමටත්, විදේශීය නය ගෙවීමටත් සෑම පියවරක් ම ගනිද්දී පවා, ධනපති පන්තිය හා එහි ආන්ඩුව මුදල් නැතැයි කියති. පසුගිය වසරේ දී, ලංකාවේ විශාලතම සංගත නවය රුපියල් බිලියන 80ක ලාභ පොදිගසා ගත්තේ, කම්කරුවන් විනාශකාරී කොන්දේසිවලට මුහුන දෙද්දී ය. සෑම දිනක ම, ප්‍රධාන සමාගම් හා බැංකු විසින් යෝධ ලාභ උපයා ගැනීම පිලිබඳ මාධ්‍ය වාර්තා පල වේ. ඇත්තෙන්ම, අවශ්‍ය මුදල් පවතී.

මහ ව්‍යාපාරිකයන් පිම්බීමට පිදේනි දීමට යොදා ඇති සියලු අරමුදල්, හදිසි සෞඛ්‍ය පහසුකම් ගොඩනැගීමට සහ කම්කරුවන්ට හා දුගීන්ට සමාජීය සහයෝගය සම්පාදනය කිරීමට යලි දිශාගත කල යුතු ය. විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කල යුතු ය.

මෙම අරගලය සමාජවාදී පිලිවෙත් සඳහා වන සටන සමග සම්බන්ධ කල යුතු යයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරයි. විශාල වතු, සමාගම් හා බැංකු, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කල යුතු ය. සුලුතරයේ ලාභ නොව, බහුතරයේ අවශ්‍යතා සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට තිබෙන එක ම මාවත මෙය යි. එවන් ක්‍රියා මාර්ගයකට, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීම අවශ්‍ය වෙයි.

මෙය ජාත්‍යන්තර අරගලයක් බව සසප නිරන්තරයෙන් පැහැදිලි කර ඇත. වසංගතය වනාහි ගෝලීය ධනවාදයේ අර්බුදය ගැඹුරු කර ඇති ප්‍රේරක සිද්ධියක් බව, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

වසංගතය දූරීභූත කිරීම සඳහා වන සටනේ දී අවශ්‍ය වන විද්‍යාත්මක ඥානය හා සම්පත් බලමුලු ගැන්වීම සඳහා, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සම්බන්ධීකෘත ප්‍රයත්නය අවශ්‍ය වෙයි. සෑම රටක් තුල ම ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, කම්කරුවන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානයක් තනන ලෙස හජාජාක කැඳවුම් කර ඇත්තේ ඒ නිසා ය. සසප ලංකාව හා දකුනු ආසියාව තුල මෙම ක්‍රියා මාර්ගයට සටන් වදී.

මෙම ක්‍රියා මාර්ගය සාකච්ඡාවට ගෙන, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කරමින් මෙම ජාත්‍යන්තර උද්ඝෝෂනය ඉදිරියට ගෙන යන ලෙස, සසප කම්කරුවන්ගෙන් හා තරුන ජනයාගෙන් ඉල්ලා සිටී.

Loading