ක්ලිෆ් ස්ලෝටර්: දේශපාලන චරිතාපදානයක් (1928-1963) පලමුවන කොටස

[මෙහි පලවන්නේ Cliff Slaughter: A Political Biography (1928–1963) - Part 1 යන මැයෙන් 2021 අගෝස්තු 04දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]


1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

ක්ලිෆ් ස්ලෝටර්ගේ මෙම දේශපාලන චරිතාපදානය 1923 හා 1963 අතරතුර කාල පරිච්ඡේදය අලලා ලියැවී ඇත.

හැඳින්වීම

ක්ලිෆ් ස්ලෝටර් 92 වන වියෙහි දී, 2021 මැයි 3 වන දින එංගලන්තයේ ලීඩ්ස්හි දී මිය ගියේය.

1957 සිට 1986 දක්වා ස්ලෝටර් බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු සංගමයේ (එස්එල්එල්), කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) නායකත්වය තුල ජෙරී හීලි හා මයිකල් බන්ඩා සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කලේය. 1963 දී ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂය පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමඟ ප්‍රතිපත්ති විරහිත ලෙස කල යලි එක්සත්වීමට එරෙහිව සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදයේ න්‍යායික පදනම් ආරක්ෂා කල ඓතිහාසික වැදගත්කමකින් යුත් ලේඛන මාලාවක ප්‍රධාන කර්තෘවරයා වූයේ ස්ලෝටර්ය. ඔහු හජාජාකයේ ලේකම්වරයා ලෙස වසර ගනනාවක් කටයුතු කලේය.

ක්ලිෆ් ස්ලෝටර්

1960 ගනන්වල ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා ස්ලෝටර් ලබාදුන් චිරස්ථායී දායකත්වය, ඔහුගේ ඉනික්බිති කාලයේ දේශපාලන අවස්ථාවාදය හා විප්ලවවාදී මාක්ස්වාදය ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ද සමඟ ඛේදනීය ආකාරයෙන් විලක්ෂනය වෙයි. 1985-86 කාලයේ කම්කරු විප්ලවවාදී පක්ෂය තුල වූ, හීලි, බන්ඩා සමඟ තමන් කේන්ද්‍රීය ලෙස වගකිවයුතු වූ අතිබරපතල අර්බුදයක් මධ්‍යයේ, බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජිකයන් අවමංගත කිරීමටත්, කවිපය බිඳවැටීමේ හේතු පිලිබඳ කවර හෝ බැරෑරුම් තක්සේරුවක් සිදු කිරීම අවහිර කිරීමටත්, ජාත්‍යන්තර කමිටුව අපකීර්තියේ හෙලීමටත් තමාට කල හැකි සියල්ල කිරීමට ස්ලෝටර් කටයුතු කලේය.

1986 පෙබරවාරි 8 වන දින ලන්ඩන් පොලිසියේ පොලිස් භට මුලක් විසින් පිරිවරනු ලැබූ ස්ලෝටර්, හජාජාකයට සහාය දුන් කවිප සාමාජිකයන් පක්ෂ සම්මේලනයට සහභාගීවීම එම පොලිස් භටයන්ගේ සහායයෙන් වලක්වා ලමින්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී වෙන් වූයේය.

තමන්ට හිමි වූ දීර්ඝායුෂ ක්ලිෆ් ස්ලෝටර්ට කාරුනික වූවක් නොවීය. ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී යන විට තවමත් හුදෙක් 57 හැවිරිදි වූ ස්ලෝටර්ට, ඔහුගේ ජීවිතයේ ඉතිරි වසර 35 ගත කිරීමට නියමිතව පැවැතියේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ගත කල 30 වසර තුල තමන් විසින් ආරක්ෂා කරනු ලැබ තුබූ සියලු මූලධර්ම ප්‍රතික්ෂේප කරමින් හා හෙලා දකිමින්ය. කවිපය විනාශ කල අර්බුදය සම්බන්ධයෙන් සියලු වගකීමෙන් මඟ හැර යාමේ වංක උත්සාහයක යෙදෙමින් ස්ලෝටර් ඒ පිලිබඳ දෝෂය පැටවූයේ, (“කිසිදු විරුද්ධත්වයකට ඉඩ නොදෙන්නෙකු” ලෙස තමන් විසින් සඳහන් කරන ලද) හීලි මත සහ, අන් සියල්ලටම වඩා, ලෙනින් හා ට්‍රොට්ස්කි මතය. භේදයෙන් අනතුරුව එලැඹී දශකවල දී, කවිපයේ බිඳ වැටීමේ මූලයන් පැවැතියේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක් ගොඩ නැඟීම අවශ්‍ය වේය යන සාවද්‍ය විශ්වාසය තුලයැයි ඔහු විසින් අවධාරනය කරනු ලැබීමට නියමිත විය. 1996 දී පහත දැක්වෙන නිවේදනයත් සමඟ ස්ලෝටර්, තමන් විසින් මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරනු ලැබීම සාරාංශගත කලේය: “කම්කරු පන්තිය 'සඳහා' පක්ෂයක් හා වැඩ පිලිවෙලක් සම්පාදනය කිරීමේ සමස්ත අදහසෙන් මුලුමනින් බිඳී යාම අත්‍යවශ්‍යය. ...'[1]

මෙම වාක්‍ය ඛන්ඩය මඟින්, 30 වසරකට ඉහත පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි අරගලය තුල තමන් සටන් වැද සිටි කේන්ද්‍රීය මූලධර්මයෙන් - එනම්, සමාජවාදයේ විජයග්‍රහනය රඳා පවතින්නේ, මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩ නැඟීම හරහා පමනක් සාක්ෂාත් කර ගත හැකි වන, කම්කරු පන්තියේ සමාජවාදී විඥානය සඳහා අරගලය මතය යන මූලධර්මයෙන් - තමා සම්පූර්නයෙන් බිඳී ගොස් ඇති බැව් ස්ලෝටර් පැහැදිලිව පෙන්වා දුන්නේය.

ක්ලිෆ් ස්ලෝටර් ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කල කාලයේ ජාත්‍යන්තර කමිටුව තුල ඔහු සමග එක්ව වැඩ කල හා ඔහුගෙන් උගෙන ගත් අයට, නිර්ලජ්ජී වංචනිකත්වයකින් හා නරුමකමකින් යුතුව ඔහු මාක්ස්වාදී න්‍යාය හා දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම පිලිබඳව පිලිකුලක් ඇතිවීම නොවැලැක්විය හැකිය. එහෙත් 1985-86 සමයේ හා ඉන්පසු එලැඹී වසරවල ඔහුගේ ක්‍රියා කලාපය සම්පූර්නයෙන්ම පුදුම දනවන අයුරින් ප්‍රාදූර්භූත වූවක් නොවේ. ඉන් ඉහත දශකයේ ස්ලෝටර්ගේ කටයුතුවල දකින්නට ලැබුනු ගුනානාත්මක පරිහානිය මඟින් පිලිබිඹු වූයේ, කවිපය වඩවඩාත් එලිපිටම ට්‍රොට්ස්කිවාදයෙන් පසුබැස යාමයි. එකී පරිහානියේ ක්‍රියාවලියම ඔහුගේ සමීපතම සහෝදරවරුන්ගේ පරිනාමය තුල ද පෙනෙන්නට තිබින.

1930 ගනන්වල සිට ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව දේශපාලන විප්ලවයේ ට්‍රොට්ස්කිවාදී වැඩ පිලිවෙල අත දරා සිටි ජෙරී හීලි, සිය දේශපාලන ජීවිතය අවසන් කලේ මිඛායෙල් ගොර්බචෙව් වෙනුවෙන් පෙනී සිටි ක්ෂමාලාපකයෙකු ලෙස ය. 1940 ගනන්වල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට බැඳී සිය සමස්ත වැඩිහිටි ජීවිතය තුල ක්‍රෙම්ලිනයේ ප්‍රතිවිප්ලවවාදී පිලිවෙත්වලට එරෙහිව සටන් වදිමින් ගත කර තුබූ මයිකල් බන්ඩා හදිසියේම හතරවැනි ජාත්‍යන්තරය හෙලා දකිමින් ස්ටැලින් පිලිබඳ සිය ප්‍රසාදය නිවේදනය කලේය. අන්‍යොන්‍ය වශයෙන් හුවමාරු වූ වඩාත්ම කඨෝර චෝදනා හා ප්‍රතිචෝදනා මධ්‍යයේ ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධතා මුලුමනින් බිඳ වැටී තුබුනේ වූ මුත්, හීලි, බන්ඩා හා ස්ලෝටර් සිය සමීප සහයෝගීතාවය පැවැති වර්ෂවල දී තමන් විසින් ආරක්ෂා කරනු ලැබ තුබූ දේශපාලන ආස්ථානවලට එකහෙලාම පටහැනි ආස්ථාන කරා සම්ප්‍රාප්ත වූයේ අඩු වැඩි වශයෙන් එක විටමය. ඔවුන්ගේ සාමූහික දේශපාලන පරාවක්‍රය නිර්නය කරන ලද්දේ, 1970 ගනන් හා 1980 ගනන්වල තීරනාත්මක දශකයන්හි බ්‍රිතාන්‍යය තුල හා ජාත්‍යන්තරව ඇති වූ පන්ති අරගලයේ වර්ධනය තුල මුල් බැස ගත් සමාජ හා දේශපාලන ක්‍රියාවලීන් විසිනි.

ට්‍රොට්ස්කිවාදයෙන් ඔහුගේ බිඳීම මූලික බිඳීමක් වීය යන කරුන ද, ඔහු එය ක්‍රියාත්මක කල විලාසය ද සැලකූ කල ස්ලෝටර්ගේ මරනය භාවාතිශය මතකයන්ට නිමිත්තක් නොවේ. කෙසේවෙතත්, මිනිසුන් මිය ගිය පසුව ද ජීවත් වන්නේ ඔවුන් සිදු කල නපුර පමනක් නොවේ. ඔහුගේ ජීවිතය ඇගැයීමේ දී, ඔහුගේ ජීවිතයේ දේශපාලනමය හා බුද්ධිමය වශයෙන් වඩාත්ම ඵලදායී කාල වකවානුව තුල බ්‍රිතාන්‍යය ඇතුලත හා ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදය සඳහා සටන් වැදීමෙහි ලා ඔහු ඉටු කොට තුබූ අතිශය සාධනීය කාර්යභාරය නොතකා හැරීම මඟින් ස්ලෝටර් අනුකරනය කිරීමට මම ක්‍රියා නොකරමි.

මා ප්‍රථමවරට ක්ලිෆ් ස්ලෝටර් මුන ගැසී ඔහුගේ දේශනයට සවන් දුන්නේ හරියටම මීට අඩ සියවසකට ඉහත 1971 ජූලියේ දීය. දේශපාලන කටයුතුවල ගමන් මාර්ගය තුල අප අතර ඇති වූ බොහෝ සාකච්ඡා මෙන්ම ඔහුගේ ලේඛන හා දේශන ද මාක්ස්වාදියෙකු ලෙස මගේ අධ්‍යාපනයට සැලකිය යුතු ප්‍රතිපදානයක් සිදු කලේය. එහෙත් ස්ලෝටර් ඔහු සිදු කල දෙයින් මෙන්ම සිදු කිරීමෙන් වැලකී සිටීමට තෝරා ගත් දේ වලින් ද යන දෙ ආකාරයෙන්ම, කම්කරු විප්ලවවාදී පක්ෂය වඩවඩාත් එහි න්‍යායික හා දේශපාලනික පෙල ගැස්මෙන් පිට පැන අවමංගතවීම සඳහා සැලකිය යුතු වගකීමක් සෙස්සන් සමඟ බෙදා ගන්නට වූයේය. 1980 ගනන්වල, දේශපාලන අවස්ථාවාදය සාධාරනීකරනය කිරීම සඳහා උපයෝගී කොට ගැනුනු, මාක්ස්වාදී විධික්‍රමය සම්බන්ධ හීලිගේ අසත්‍යකරනය හෙලිදරව් කිරීමට තීරනාත්මක ලෙස මැදිහත් විය හැකිව සිටි කිසියම් එක් පුද්ගලයෙකු වී නම්, ඒ ක්ලිෆ් ස්ලෝටර් ය. එහෙත් ඔහු දැනුවත්ව තෝරා ගත්තේ එසේ නොකොට සිටීමටයි. තවද, 1985-86 ඉක්බිති ඔහුගේ කාර්යභාරය විසින් අප අතර පැවැති සියලු දේශපාලන හා පෞද්ගලික ආශ්‍රයන් කෙලවර කරන ලදී. ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් හා ලේඛන කර්කශම විවේචනයට භාජනය කිරීමට මා බැඳී සිටි අතර, ඉන් කිසිවක් හෝ ඉවත් කර ගැනීම තිබියේවා, වෙනස් කිරීමට වුව, මට අවශ්‍යතාවයක් නොවීය. එහෙත් එහි උත්ප්‍රාසය වන්නේ, ස්ලෝටර්ට එරෙහිව මා ලියූ දේ, කිසිසේත් නොඅඩු ලෙසින්, මුල් වසරවලදී ඔහු කෙරෙන් මා උගෙන තුබූ දේ වලින් මහත් සේ ආභාෂය ලැබ තිබීමයි. මීලඟට එන ක්ලිෆ් ස්ලෝටර්ගේ දේශපාලන චරිතාපදානය ලිවීමේ දී මෙම විසංවාදය දිගටම පැවැතියේය.

ඩේවිඩ් නෝර්ත්

2021 ජූලි 30

ක්ලිෆ් ස්ලෝටර්ගේ පසුබිම හා ජීවිතයේ මුල් අවුරුදු

ක්ලිෆ් ස්ලෝටර්ගේ පියා වූ ෆ්‍රෙඩ්රික් ආතර් ස්ලෝටර් 1907 දී දකුනු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි උපත ලැබුවේය. සිය හිරිමල් තුරුනු වියේදීම ඊසානදිග එංගලන්තයට සංක්‍රමනය වූ ෆ්‍රෙඩ්, ඩර්හැම්හි ගල් අඟුරු පතල් කම්කරුවෙකු ලෙස රැකියාවක් සොයා ගත්තේය. ඔහු එහි දී, පතල් කම්කරුවන්ට ද, සමස්තයක් ලෙස කම්කරු පන්තියටම ද ව්‍යසනකාරී ප්‍රතිවිපාක දනවන අයුරින් වෘත්තීය සමිති සම්මේලනය (ටීයූසීය) විසින් පාවා දෙන ලද 1926 මහා වැඩ වර්ජනයේ අත්දැකීම තුලින් ගමන් කලේය. 1903 දී උපන් ඇනී එලිසබෙත් ස්ටොකෙල් ඩර්හැම්හි දී ඔහුට හමු වූ අතර, 1928 අප්‍රේල් මාසයේ දී ඔහු ඇය විවාහ කර ගත්තේය. තරුන යුවල යෝර්ක්ෂයර්හි ඩොන්කැස්ටර් කරා සංක්‍රමනය වූ අතර, එහිදී ඔවුන්ගේ ප්‍රථම දරුවා වූ ක්ලිෆර්ඩ් ඔක්තෝබරයේ දී උපත ලැබීය. ඉන්පසුව ඔහුට කීත් හා නැන්සි නම් සොහොයුරු සොහොයුරියන් දෙපලක් ද ලැබින. 1938 දී ෆ්‍රෙඩ්රික් ස්ලෝටර් සිය පවුලේ සාමාජිකයන් සමඟින් ලීඩ්ස් කරා සංක්‍රමනය වුනු අතර, ක්ලිෆ් ස්ලෝටර් සිය වැඩිහිටි ජීවිතය මුලුමනින්ම ගත කලේ එහිය.

බ්‍රිතාන්‍යයේ 1926 මහා වැඩ වර්ජනය

ජ්‍යෙෂ්ඨ ස්ලෝටර්ගේ අභාවයෙන් පසු වර්කර්ස් ප්‍රෙස් පුවත්පතේ ඒ පිලිබඳව 1974 නොවැම්බර් 14 වන දින පල කෙරුනු ප්‍රවෘත්තියෙහි කියැවුනේ, “1920 ගනන් හා 1930 ගනන්වල ඔහුගේ අත්දැකීම් විසින්, ධනපති ක්‍රමය පිලිබඳ කර්කශ වෛරයක් ද, කම්කරු පන්තියේ සමාජ විප්ලවයේ අත්‍යවශ්‍යතාව පිලිබඳ බලගතු ඒත්තු ගැනීමක් ද ඔහු තුල ඇතිකරනු ලැබ තුබූ බවයි.” වර්කර්ස් ප්‍රෙස් පුවත්පතට අනුව ෆ්‍රෙඩ්, “1926 මහා වැඩ වර්ජනය නැවත නැවතත් සිහිපත් කරමින්, තමන් ද ඉන් එක් අයෙකු වූ පතල් කම්කරුවන්ගේ සටන් ශක්තිය සහ ටීයූසී නායකත්වයේ බියසුලු පාවාදීම විසංසන්දනය කලේය.” [2]

1930 ගනන්වල දී ෆ්‍රෙඩ් ස්ලෝටර් ගෙන් ගෙට යමින් රක්ෂන ආවරන විකුනන අලෙවිකරුවෙකු විය. පසුව ලීඩ්ස්හි ජෝන් ෆවුලර් ට්රැක්ටර් කම්හලෙහි කම්කරුවෙකු ලෙස රැකියාවක් සොයා ගැනීමට ඔහුට හැකි විය. එහිදී ඔහු කැඳවුම්කරුවෙකු (වැඩපොල සමිති නියෝජිතයෙකු) බවට පත්විය. දෙවැනි ලෝක යුද්ධය අතරතුර කිසියම් අවස්ථාවක ෆ්‍රෙඩ් ස්ලෝටර් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට (සීපීයට) බැඳුනේය. ඇනී එලිසබෙත් ද සීපීයට බැඳුනු නමුත් එතුල ඇගේ ක්‍රියාකාරීත්වය සිය සැමියාට වඩා බෙහෙවින් අඩු එකක් විය. යුද්ධයෙන් පසුව දොරින් දොර යමින් කම්කරු පන්ති පවුල්වලට විශ්ව කෝෂ විකුනන වෙලඳ ප්‍රචාරකයෙකු ('කැන්වසර්වරයෙකු') ලෙස ෆ්‍රෙඩ් ස්ලෝටර් සිය රැකියාවට පෙරලා පැමිනියේය.

ක්ලිෆ් ස්ලෝටර් සිය ලමා වියේ දී අගහිඟකම්වලින් මහත් සේ පීඩා වින්දේය. පසු කලෙක ඔහුගේ බිරිය වූ බාබරා ස්ලෝටර් (විවාහයට පෙර - බෙනට්) මෙසේ සිහිපත් කරයි: “අට අවුරුදු වියේ දී එක් දිනෙක ඔහු පාසල ඇරී ගෙදර ආ විට දකින්නට ලැබුනේ ඔහුගේ මව ගෙදර සාලයේ තැඹිලි පැහැති ඇසුරුම් පෙට්ටියක් මත හිඳ ගෙන වැලැපෙන අන්දමයි. හිඟ ගෙවල් කුලියේ හිලව්වට ගෙදර තිබූ ගෘහ භාන්ඩ සියල්ලම පාහේ පිස්කල් නිලධාරීන් විසින් ගෙන යන ලදුව තිබිනි. මෙය ඔහුට කිසිදා අමතක නොවූ අත්දැකීමකි.” [3]

ලීඩ්ස්හි මොඩර්න් හයි ස්කූල් නම් පිරිමි පාසලේ අධ්‍යාපනය ලද ක්ලිෆ් ශාස්ත්‍රග්‍රහනයේ දී විශිෂ්ඨ දස්කම් දක්වමින්, එම පාසලේ ශිෂ්‍යයන් අතරින් කේම්බ්‍රිජ් සරසවියේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් දිනා ගත් පලමුවැන්නා බවට පත් විය. තමන් ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය සිය පියාගේ ආනුභාවය යටතේ ක්ලිෆ් ස්ලෝටර් උසස් පාඨශාලාවේ සිටියදීම ලෙනින්ගේ කෘතීන් ද මාක්ස්වාදයේ සම්භාව්‍ය ලේඛන ද කියැවීමට පටන් ගත්තේය. 1947 වන විට ස්ලෝටර් තරුන කොමියුනිස්ට් සංගමයේ (වයිසීඑල්හි) ක්‍රියාකාරී ලෙස කටයුතු කලේය.

1946 පැවැති ශිෂ්‍ය විනෝද චාරිකාවක දී ක්ලිෆ් ස්ලෝටර් (පසු පේලියේ වමේ සිට දෙවැන්නා). බාබරා බෙනට් ඉදිරි පේලියේ වමේ සිට දෙවැන්නියයි.

උසස් පාඨශාලාවේ අධ්‍යාපනය සම්පූර්න කිරීමෙන් පසු, සරසවියට යාමට පූර්වයෙන්, පතල් කම්කරුවෙකු ලෙස වැඩ කිරීමට ස්ලෝටර් තීරනය කලේ, බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමට විකල්පයක් ලෙසය. ඔහු වැඩ කලේ ලීඩ්ස් වලින් එපිට කුඩා ගම්මානයක් වූ වුඩ්ල්ස්ෆර්ඩ්හි වෝටර් හයි ගල් අඟුරු ආකරයේ ය. ස්ලෝටර් උදේ වැඩ මුරය සඳහා යාමට සූදානම්වීම සඳහා අවශ්‍ය වෙලාවට පැයකට කලින් පිබිදෙන්නේ ලෙනින්ගේ ලේඛන අධ්‍යයනය කිරීමට ඔහුට කාලය ලැබෙන පරිදිය. මෙම අත්දැකීම, මාක්ස්වාදී න්‍යාය තුල ඔහු වඩවඩාත් කිඳී යන තතු තුල ඔහුට විස්තීර්න දැනුමක් ප්‍රදානය කරමින් සහ කම්කරු පන්ති ජීවිතය හා අරගල පිලිබඳ යථාර්ථයන් කෙරේ සංවේදීතාවයක් ගොඩ නඟමින් ස්ලෝටර් මත සිය සලකුන සනිටුහන් කලේය. බාබරා ස්ලෝටර් නිරීක්ෂනය කල පරිදි: “කම්කරු පන්තියේ ජීවිතය පිලිබඳව ඔහුට පැවැති අවබෝධය අතිශය ගැඹුරු එකකි. කම්කරු පන්ති ජීවිතය පිලිබඳව බොහෝ දේ ඉගෙන ගැනීමෙන් තොරව ඔබට මහ පොලොව යට, දන ගසා හිඳිමින්, අඩි තුනක් උස ඉල්ලම් තට්ටු සවල් ගසමින්, සහ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධ නිරන්තර වර්ජන අරගලවලට සහභාගී වෙමින් දෙවසරක් ගත කල නොහැක. එය, රුසියානු විප්ලවය පිලිබඳ හා ලෙනින්ගේ ලේඛන පිලිබඳ ඔහුගේ අධ්‍යයනය සමඟ සංයෝග වෙමින්, කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය හරහා බලය ගැනීමේ අවශ්‍යතාව ඔහුට ඒත්තු ගැන්වීය.” [4]

ගල් අඟුරු ආකරයේ වැඩ කිරීමෙන් පසු ස්ලෝටර් තවත් මාස ගනනාවක් ලීඩ්ස්හි ඉංජිනේරු කර්මාන්තයේ සේවය කලේය. 1949 ඔක්තෝබරයේ ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කලේය. පලමුව සිය ප්‍රධාන විෂයය ලෙස ඉතිහාසය හැදෑරූ ඔහු පසුව සමාජ මානව විද්‍යාව කරා සිය අවධානය යොමු කලේය. 1952 දී ස්ලෝටර් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලැබීය. අධ්‍යාපන කටයුතු අතරතුර ම දිගටම සමාජවාදී දේශපාලන ක්‍රියාකාරීත්වයේ නිමග්නව සිටි ඔහුට, සරසවියේ දී දක්ෂිනාංශික ශිෂ්‍යයන්ගේ ප්‍රකෝප කිරීම්වලට මුහුන පෑමට සිදු විය. එක් වරක් සිය කාමරය කරා පෙරලා ආ ඔහු දුටුවේ තමන්ගේ ද තම සගයෙකු වූ යුදෙව් ජාතික සිසුවෙකුගේ ද ඇඳුම් ශයනාගාර ගොඩනැඟිල්ලෙන් එලියේ පිහිටි චතුරශ්‍රාකාර කොටසට වීසි කර දමා තීබූ අයුරුයි.

1950 ඔක්තෝබරයේ දී, කේම්බ්‍රිජ්හි අධ්‍යාපනය ලබන අතරතුර ම ස්ලෝටර්, ඊට වසර ගනනාවකට ඉහත දී ඔහුට හමුව සිටි බාබරා බෙනට් විවාහ කර ගත්තේය. බාබරාගේ මාපිය දෙපොල සමාජවාදයට කැප වී සිටියවුන් වූ අතර, ඇය 1944 දී, ලීඩ්ස් සරසවියේ සමාජ විද්‍යාව හදාරන අතරතුර කොමියුනිස්ට් පක්ෂයට බැඳුනාය. විවාහයෙන් පසුව ගෙවුනු මුල් දෙවසර තුල නව යුවල කේම්බ්‍රිජ්හි දිවි ගෙවූ අතර, ඔවුහු කොමියුනිස්ට් පක්ෂය තුල ක්‍රියාකාරීව සිටියෝය. ජේ.ඩී. බර්නල් ඇතුලු ප්‍රමුඛ පෙලේ කොමියුනිස්ට් පක්ෂ බුද්ධිමතුන් විසින් පවත්වන ලද දේශනවලට ඔවුහු සහභාගී වූහ.

ක්ලිෆ් ස්ලෝටර් හා බාබරා බෙනට්ගේ මංගල ඡායාරූපය (ඔක්තෝබර්, 1950)

කේම්බ්‍රිජ් සරසවියෙන් උපාධිය ලැබීමෙන් පසුව ක්ලිෆ් ස්ලෝටර් හා බාබරා ලීඩ්ස්හි පදිංචියට ගියෝය. ස්ලෝටර් ලීඩ්ස් සරසවියේ රැකියාවක් ලබමින්, නෝමන් ඩෙනිස් හා ෆර්නැන්ඩු හෙන්රිකස් යන වෘත්තීය සගයන් සමඟ යෝක්ෂයර්හි හුදෙකලා පතල් කම්කරු ජන කන්ඩායමක් පිලිබඳ පර්යේෂන පැවැත්වීය. සිය පර්යේෂනයේ කොටසක් ලෙස, ස්ලෝටර් හා ඩෙනිස් මාස ගනනාවක් එම ප්‍රදේශයේ ගල් අඟුරු පතලක් තුල වැඩ කලෝය.

මෙම පර්යේෂනය මත පදනම්ව ස්ලෝටර්, ඩෙනිස් හා හෙන්රිකස් Coal Is Our Life (ගල් අඟුරු යනු අපේ ජීවිතයයි) නමින් පොතක් ලිවූහ. අද ද එය බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවල සමාජ විද්‍යාව පිලිබඳ ප්‍රාමානික පාඨ ග්‍රන්ථයක් ලෙස සැලකේ.

තරුන වියේ සිටි ස්ලෝටර් දේශපාලන හා සංස්කෘතිකමය ප්‍රයුක්තීන් සම්බන්ධයෙන් තීව්‍ර අවධානයකින් පසු වූ බැව් බාබරා ස්ලෝටර් සිහිපත් කරයි. සිය ශාස්ත්‍රාලයීය පර්යේෂන හා දේශපාලන අධ්‍යයනයන්ට අතිරේකව ස්ලෝටර්ට ඉංග්‍රීසි හා ප්‍රංශ සාහිත්‍යය පිලිබඳ පෘථුල දැනුමක් පැවතින. ස්ටෙන්ඩාල්, ෆ්ලෝබෙයාර් හා සෝලාගේ නවකතා ඔහු බාබරාට හඳුන්වා දුන්නේය. සිය ජීවිතයේ එම අවධියේ දී සමාජවාදය සඳහා සටන් වැදීමට කැප වී සිටි ස්ලෝටර්, පෞද්ගලික සාර්ථකත්වයේ සාම්ප්‍රදායික ආකාරයන් පිලිබඳව කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.

ක්ලිෆ් හා බාබරා ස්ලෝටර් සිය දියනිය සමඟ

කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීව කටයුතු කල නමුදු, “සමාජවාදය කරා බ්‍රිතාන්‍ය මාවත” නම් එහි 1951 වැඩ පිලිවෙල තුල විස්තාරනය කෙරුනු ප්‍රතිසංස්කරනවාදී අනුස්ථාපනය, රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී න්‍යාය සමඟ සංහිඳියාවකට ගෙන ඒම අසීරු බව ස්ලෝටර්ට පෙනී ගියේය. එමෙන්ම, ස්ටැලින්ගේ ප්‍රකාශ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව, ප්‍රතික්ෂේප කල නොහැකි ඒවා ලෙස කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් විසින් පිලි ගනු ලැබීම පිලිබඳව ද ඔහු විස්මයට පත් විය. ඔහුට දැනුමක් හෝ හැකියාවක් නැතැයි නිසැකවම පෙනී ගිය දේ සම්බන්ධයෙන් පවා සෝවියට් ආඥාදායකයා කියූ හෝ ලියූ සියල්ල ශුද්ධ වූ ශුභාරංචියක් ලෙස පිලිගන්නා ලදී.

තමාට කොමියුනිස්ට් පක්ෂයට බැඳීමට මඟ පෙන්වූ කොන්දේසි හා ස්ටැලින්වාදී ව්‍යාපාරය තුල සිය අත්දැකීම් පිලිබඳව බාබරා ස්ලෝටර් මෙසේ පවසයි:

අවුරුදු 63 කට ඉහත දෙවැනි ලෝක යුද්ධය අවසානය කරා එලැඹෙමින් පවතිද්දී මම කොමියුනිස්ට් පක්ෂයට බැඳුනෙමි. වයස 18 දී මා දේශපාලනයට පිවිසුනේ එසේය. එක් දහස් නවසිය තිස් ගනන්වල දී ද, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ භයංකාර සිද්ධීන් තුල දී ද, ඉනික්බිති දෙවැනි ලෝක යුද්ධයේ දී ද, මගේම පවුල ද ඇතුලත් ව කම්කරු පන්තිය අත් විඳගත් දුක් පීඩාවන් දරුවෙකු ලෙස දුටු මම, යුද්ධ-පූර්ව දින කරා ආපසු යාමක් නැතැයි අධිෂ්ඨාන සහගත වීමි. එලෙසම සිතූ තවත් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වූහ. යුද්ධය තුල දී රුසියානු විප්ලවයේ ජයග්‍රහන ආරක්ෂා කිරීමෙහි ලා රුසියානු කම්කරු පන්තිය දැක්වූ වීරත්වය නිසා කොමියුනිස්ට් පක්ෂයට දැවැන්ත කීර්තියක් අත්පත් වී තිබින. දහස් ගනන් අන්‍යයන් සේ ම මා ද සීපීයට බැඳුනේ, එය විප්ලවවාදී පක්ෂයක්ය යන වැරදි සංකල්පනය මත ය.

ඊලඟ 11 වසර තුල මට මුලුමනින්ම සාවද්‍ය වූ අධ්‍යාපනයක් ලබා දෙන ලදී. වාම විපක්ෂයේ හා හතරවැනි ජාත්‍යන්තරයේ අරගල පිලිබඳව මට කිසිදු දැනුමක් නොවීය. ඇත්තෙන්ම ට්‍රොට්ස්කිවාදීන් පිලිබඳව විස්තර කෙරුනේ, “ෆැසිස්ට්වාදීන්ට වඩා නරක” වූ, අනර්ථකාරීත්වයේ කිසියම් ආකාරයක මූර්තීන් ලෙස ය. මා මෙය ගැන ප්‍රශ්න කලේයැයි මට හරියටම කිව නොහැක. එහෙත් සීපීය විප්ලවවාදී පක්ෂයකින් බෙහෙවින් දුරස් වූවක් බැව් වටහා ගැනීමට මට එතරම් කාලයක් ගත වූයේ නැත. එහෙත් මට වෙනත් විකල්පයක් පෙනෙන්නට නොතිබුනි.” [5]

ක්ලිෆ් ස්ලෝටර් 1950 ගනන්වල මුල් භාගයේ සිය දියනිය සමඟ

කෘෂෙව්ගේ “රහස් දේශනය”

ක්ලිෆ් හා බාබරා ස්ලෝටර්ට බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මාවත පිලිබඳ කවර සැක ශංකා පැවතියේ වී නමුදු, ඔවුන් ස්ටැලින්වාදයෙන් බිඳී ට්‍රොට්ස්කිවාදය කරා හැරීම වූ කලී, 1956 දී ලෝක ස්ටැලින්වාදී ව්‍යාපාරය තුල පැන නැඟුනු අර්බුදයකට දැක්වුනු ප්‍රතිචාරයක් විය. 1956 පෙබරවාරි 25 වන දින, එනම්, ස්ටැලින්ගේ මරනයෙන් හරියටම තුන් අවුරුද්දක් පිරීමට තදාසන්න දිනෙක, නව සෝවියට් පක්ෂ නායකයා වූ ද, මිය ගිය ඒකාධිපතියාගේ හෙන්චයියෙකු ලෙස දීර්ඝ කාලයක් පුරා සිටියා වූ ද නිකිතා කෘෂෙව්, සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනය අමතා පැය 4 ක “රහස් දේශනයක්” පැවැත්වීය. ස්ටැලින් ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් ලෙනින් ලියා තිබූ, දීර්ඝ කාලයක් පුරා සඟවනු ලැබ තිබුනු ලෙනින්ගේ අන්තිම කැමති පත්‍රය එහි දී කෘෂෙව් සම්මේලන නියෝජිතයන් හමුවේ කියැවීය.

නිකිතා කෘෂෙව් සිය "රහස් දේශනය" පවත්වයි

මවිතයෙන් තෝන්තු ව ගිය නියෝජිතයන් අමතමින් කෘෂෙව්, සෝවියට් සංගමය තුල දීර්ඝ කාලයක් පුරා අඩ-දෙවියෙකු ලෙස සැලකුම් ලැබූ ස්ටැලින් සැබැවින්ම, දහස් සංඛ්‍යාත බෝල්ෂෙවික් නායකයන් හා පක්ෂපාතී කොමියුනිස්ට්වරුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන අපරාධකරුවෙකැයි කියා සිටියේය. ඔහු මෙසේ සඳහන් කලේය:

ස්ටැලින් ක්‍රියා කලේ ජනයාට ඒත්තු ගැන්වීම, පැහැදිලි කිරීම හා ඔවුන් සමඟ ඉවසිලිවන්ත සහයෝගයක් පවත්වා ගැනීම හරහා නොව, ඔහුගේ සංකල්ප පැනවීම හා ඔහුගේ අදහස්වලට මුලුමනින් අවනත වන ලෙස බල කර සිටීම හරහා ය. කවරෙකු හෝ මෙම සංකල්පවලට විරුද්ධ වී නම් හෝ, තමාගේම දෘෂ්ඨි කෝනය හා තමාගේම ආස්ථානයේ නිරවද්‍ය බව සනාථ කිරීමට යත්න දැරී නම්, ඔහුගේ ඉරනම වූයේ නායකත්ව සමූහයෙන් ඉවත් කිරීම හා ඉනික්බිතිව ඔහුගේ චිත්ත ධෛර්යය සිඳ බිඳ දැමීමට හා කායිකව විනාශ කිරීමට බඳුන් වීමයි. ප්‍රමුඛ පක්ෂ නායකයන් ද, අවංක හා කොමියුනිස්ට්වාදය කරා මාවතට කැපවූ සාමාන්‍ය පක්ෂ ක්‍රියාකාරීන් ද ස්ටැලින්ගේ ඒකාධිපත්‍යයේ ගොදුරු බවට පත් වූ, [1934 පැවැති] 17 වන පක්ෂ සම්මේලනයෙන් ඉක්බිතිව එලැඹි කාල පරිච්ඡේදය සඳහා මෙය විශේෂයෙන්ම සත්‍ය විය.

ස්ටැලින් 'ජනතාවගේ සතුරා' යන සංකල්පයට උත්පාදනය ලබා දුන්නේය. ... එය, විප්ලවවාදී නෛතිකභාවයේ සියලු ප්‍රතිමානයන් උල්ලංඝනය කරමින් ස්ටැලින් සමඟ කවරාකාරයකින් හෝ එකඟ නොවන කවරෙකුට හෝ වුව එරෙහිව කුරිරුතම මර්දනය භාවිතා කිරීමට ඔහුට අවකාශ සලසා දුනි. ... සාමාන්‍යයෙන් වරදකාරීත්වය ඔප්පු කිරීමේ එකම සාක්ෂ්‍යය ලෙස ඇත්තෙන්ම භාවිත කෙරුනේ චුදිතයාගේම “පාපෝච්චාරනයන්” ය. මෙය වත්මන් නීති විද්‍යාවේ සියලු ප්‍රතිමානයන්ට එරෙහිව යාමක් විය. පසු සොයාබැලීම් වලින් සනාථ වී ඇති පරිදි, මෙම “පාපෝච්චාරනයන්” චුදිතයාට එරෙහිව කායික පීඩනයන් යෙදීම හරහා ලබා ගත් ඒවා විය. මෙය විප්ලවවාදී නෛතිකභාවය සුවිශද ආකාරයෙන් උල්ලංඝනය කිරීම් කරා ද, සහමුලින්ම නිර්දෝෂී පුද්ගලයන් - අතීතයේ පක්ෂයේ ගමන් මඟ ආරක්ෂා කල [පුද්ගලයන්] - ගොදුරු බවට පත්වීම කරා ද මාවත සකස් කලේය. ...

එක් පුද්ගලයෙකුගේ අන්තනෝමතිකත්වය අන්‍යයන්ගේ අන්තනෝමතිකත්වයන්ට දිරි දෙමින් ඒවාට අවසරය ලබා දුනි. දහස් ගනන් පුද්ගලයන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම් හා පිටුවාහල් කිරීම් ද, නඩු විභාගයකින් සහ යථා පරීක්ෂනයකින් තොරව මරා දැමීම් ද විසින්, අනාරක්ෂිතභාවයේ, භීතියේ හා අපේක්ෂා භංගත්වයේ පවා තතු නිර්මානය කෙරින.

ඇත්ත වශයෙන් ම මෙම තතු පක්ෂ ශ්‍රේනීන් හා වැඩකරන ජනයාගේ සියලු ස්ථරවල එක්සත් භාවය කෙරේ දායක නොවූ අතර, ඊට පටහැනි ලෙස, එමඟින් මඟ පෑදුනේ සමූලඝාතනයන් හා පක්ෂපාතී, එහෙත් ස්ටැලින්ට කරදරයක් වූ කම්කරුවන් පක්ෂයෙන් නෙරපා හැරීම් කරා ය. [6]

ස්ටැලින් “පුද්ගලාභිවාදනයක්” ගොඩ නංවා තුබූ බවත්, සමස්ත පක්ෂය කිසියම් අභිරහස් ආකාරයකින් ඊට ගොදුරු වූ බවත් කියා සිටිමින් කෘෂෙව් හා සෝවියට් දේශපාලන මන්ඩලයේ ඔහුගේ අනුචරයන් යත්න දැරුවේ අපරාධවල සියලු වගකීම ස්ටැලින්ට බැර කිරීම මඟින් ඒවා සම්බන්ධ තමන්ගේ වගකීමෙන් අත සෝදා ගැනීමටය. සත්තකින්ම මෙම දේශපාලන භූත කතාවෙන් කිසිවක් හෝ පැහැදිලි නොකෙරේ. 1920 ගනන්වල සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුල පැවැති, එහි අවසන් ප්‍රතිඵලය ලෙස ස්ටැලින් බලය කරා නැඟුනු දේශපාලන අරගලය පිලිබඳව කවර හෝ පරීක්ෂා කිරීමකින් එය වැලැකී සිටියේය. එම පක්ෂ අභ්‍යන්තර අරගලය පිලිබඳ කිසියම් හෝ සඳහන් කිරීමක් සිදු කෙරුනු තාක් දුරට, ට්‍රොට්ස්කිට එරෙහි ව්‍යාපාරය නිවැරැදියැයි කෘෂෙව් විසින් අවධාරනය කරනු ලැබීමට පමනක් එය සීමා විය:

ස්ලෝටර් 1950 ගනන්වල මැද භාගයේ දී

“ට්‍රොට්ස්කිවාදීන්, දක්ෂිනාංශිකයන් සහ ධනේශ්වර ජාතිකවාදීන් සමඟ පක්ෂය බැරෑරුම් සටනක් සිදු කල බවත්, එකී සටන මඟින් ලෙනින්වාදයේ සියලු සතුරන් දෘෂ්ඨිවාදාත්මක වශයෙන් නිරායුධ කරන ලද බවත් අපි තහවුරු කල යුත්තෙමු. මෙම දෘෂ්ඨිවාදාත්මක අරගලය සාර්ථකව සිදු කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂය ශක්තිමත් වෙමින් පන්නරය ලැබීය. මෙහි දී ස්ටැලින් සාධනීය කාර්යභාරයක් ඉටු කලේය.” [7]

ස්ටැලින්වාදී පක්ෂ අර්බුදයේ

“රහස් දේශනයේ” පෙල ජාත්‍යන්තර මාධ්‍ය කරා සේන්දු වෙමින් ගනන් කර නිම කල නොහැකි තරම් භාෂාවන්ට පරිවර්තනය වන්නට වූ කල, කෘෂෙව්ගේ හෙලිදරව් කිරීම් ලොව පුරා කොමියුනිස්ට් පක්ෂ තුල කම්පන රැල්ලක් ජනනය කලේය. සියලු ප්‍රධාන කොමියුනිස්ට් පක්ෂවල නායකයන්ට - මින් බොහෝ දෙනා පක්ෂය තුල තමන් දැරූ තනතුර සම්බන්ධයෙන් ස්ටැලින්ට නය ගැතිව සිටි, මොස්කව් හොර නඩු විභාග උද්‍යෝගයෙන් අනුමත කොට තිබූ, අසංඛෙය සංඛ්‍යාත අනෙකුත් අපරාධ සාධාරනීකරනය කොට සිටි අය වූහ - සිය සාමාජිකත්වයෙන් පැන නැඟුනු ප්‍රශ්නවල උදම් රල වේගයකට හදිසියේම මුහුන දීමට සිදු විය. තම තමන්ගේ රටවල් තුල පුංචි ස්ටැලින්ලා විලාසයෙන් පෙනී සිටි ලොව පුරා කොමියුනිස්ට් ලොක්කන්ට, “විප්ලවවාදී නෛතිකභාවය උල්ලංඝනය කිරීම” ලෙස ක්‍රෙම්ලිනය විසින් දැන් හඳුන්වනු ලබන දෙය සම්බන්ධයෙන් ස්වකීය පෞද්ගලික වගකීම පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින ලදී. කෙතෙක් කාලයක් පුරා ඔවුහු දැන දැනම තමන්ගේම ජාතික පක්ෂවල සාමාජිකයන්ට වැරැදි තොරතුරු සපයමින් ඔවුන් වැරැදි මං වල ගෙන ගොස් තුබුනෝ ද?

එහෙත් ස්ටැලින්වාදී නායකයන් වඩාත්ම භීතියට පත් කල ප්‍රශ්න වූයේ ස්ටැලින්ගේ අපරාධ පිලිබඳ බිඳ හෙලිය නොහැකි අනාවරනය තුලින් නිර්දය ලෙස මතු වී ආ ඒවාය: ට්‍රොට්ස්කි නිවැරැදි ද? 1923 දී ලෙනින් අවසන් වරට ගිලන් වූ කාල පරිච්ඡේදයේ හා ඉනික්බිතිව 1924 දී සිදු වූ ඔහුගේ අභාවයෙන් පසු සෝවියට් කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල දිග හැරුනු අරගලයේ සමස්ත ගමන් මඟ සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය නොවන්නේ ද? ට්‍රොට්ස්කිගේ දේශන හා ලේඛන පල කිරීමට කාලය එලැඹී නොමැති ද? ස්ටැලින්ගේ භීෂනයේ ගොදුරු බවට පත් වූ ට්‍රොට්ස්කි හා දහස් ගනන් ඔහුගේ අනුගාමිකයන් “පුනරුත්ථාපනය කොට” ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් ලෙස ගෞරවයට පාත්‍ර කල යුතු ද?

මෙම ප්‍රශ්නවලින් එකකටවත් “එසේයැ”යි පිලිතුරු දීමට හැකියාවක් කෘෂෙව්ට හෝ අන් කිසි කොමියුනිස්ට් පක්ෂ නායකයෙකුට හෝ නොවීය. ට්‍රොට්ස්කි හා වාම විපක්ෂය 1920 ගනන් හා 1930 ගනන්වල ගෙන ගිය දේශපාලන අරගලය කිසි විටෙකවත් හුදු පුද්ගලයෙකු ලෙස ස්ටැලින්ට එරෙහිව ගෙන ගිය අරගලයක් නොවීය. ට්‍රොට්ස්කිගේ විචාරනය එල්ල කෙරුනේ සමස්ත නිලධරවාදී තන්ත්‍රය වෙතය. ස්ටැලින් එය පුද්ගලවත් කලේය. ට්‍රොට්ස්කි පැහැදිලි කර තිබූ පරිදි, ස්ටැලින්වාදී තන්ත්‍රය වූ කලී, “තනි රටේ සමාජවාදය” පිලිබඳ ප්‍රතිමාක්ස්වාදී න්‍යායයේ පදනම මත නිලධරය විසින් කම්කරු පන්තියේ බලය පැහැර ගනු ලැබීමේ නිෂ්පාදිතයක් විය. ජාත්‍යන්තර කම්කරු පන්තිය දැනුවත්ව හා ක්‍රමානුකූල ලෙස පාවාදීම ද ඇතුලත් ස්ටැලින්වාදී තන්ත්‍රයේ අපරාධවල මූලයන් පැවැතියේ සෝවියට් සංගමය තුල “අසමානතාවයේ පොලිස් භටයා” ලෙස ක්‍රියා කල නිලධරයක වරප්‍රසාද එය විසින් ආරක්ෂා කරනු ලැබීම තුලය. 1933 දී හිට්ලර් ජර්මනියේ බලයට නැඟීමත් සමඟ හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීමට ට්‍රොට්ස්කි කල කැඳවීම, ස්ටැලින්වාදී තන්ත්‍රය ප්‍රතිසංස්කරනය නොකල හැකි බවත්, කම්කරු පන්තිය දේශපාලන විප්ලවයක් මඟින් එය පෙරලා දැමීම අත්‍යවශ්‍ය බවත් ඔහු විසින් හඳුනා ගනු ලැබීම සමඟ සමපාත විය.

ට්‍රොට්ස්කිගේ විචාරයේ නිරවද්‍ය බව පිලිගනු තබා, එම විචාරය පිලිබඳ සාකච්ඡාවකට ඉඩ දීමට හෝ, ක්‍රෙම්ලිනය වේවා, ජාතික ස්ටැලින්වාදී පක්ෂ වේවා සූදානම් නොවූහ. ඇත්තෙන්ම පිලිවෙලින් ප්‍රංශ හා බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂවල ප්‍රධාන ලේකම්වරුන් වූ මොරිස් තොරෙස් හා හැරී පොලිට්, මොස්කව් හොර නඩුවලට ගොදුරු වූවන් පුනරුත්ථාපනය නොකරන්නැයි කෘෂෙව්ට අධියාචනය කොට තිබින. පොලිට් යටතේ බ්‍රිතාන්‍ය සීපීය හොර නඩු හා දන්ඩන පැනවීම් අනුමත කොට තිබින. ලොව පුරා ස්ටැලින්වාදී සංවිධාන තුල වර්ධනය වෙමින් පැවැති ආරාවුල ශමනය කරනු වස් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව 1956 ජූනි 30 වන දින, එනම්, කෘෂෙව්ගේ රහස් දේශනයෙන් යන්තම් සිව් මසක් ගත වූ තැන යෝජනාවක් සම්මත කලේය. ස්ටැලින්ගේ අපරාධ හා, අන් සියල්ලටමත් වඩා ඒවායේ වඩාත් ගැඹුරු දේශපාලන හේතු පිලිබඳව තව දුරටත් සාකච්ඡා කිරීම සම්පූර්නයෙන් නවත්වා ලීමට එමඟින් ප්‍රයත්න දැරුනි.

මොරිස් තොරෙස්

එහෙත් කෘෂෙව්ගේ දේශනය මඟින් ප්‍රේරනය වූ ස්ටැලින්වාදී සංවිධාන ඇතුලත අර්බුදය 1956 ශිශිරයේ පෝලන්තයේ හා හංගේරියාවේ පැතිර ගිය විරෝධතා මඟින් අතිමහත් ලෙස තීව්‍ර කෙරින. ප්‍රති-ස්ටැලින්කරනයේ හා ස්වයං-ප්‍රතිසංස්කරනයේ ක්‍රියාදාමයන් තමන් විසින් සම්පූර්න කරනු ලැබ තුබූ බවට ක්‍රෙම්ලින් තන්ත්‍රයේ ස්වයං ප්‍රකාශිත කියාපෑම්, හංගේරියානු කම්කරු පන්තියේ නැඟීම කෲර ලෙස මැඬ පැවැත්වීමට බුඩාපෙස්ට් කරා යුද ටැංකි යැවීමට ගත් තීරනයත් සමඟ සුනුවිසුනුව ගියේය.

1956 දී බුඩාපෙස්ට් නගරය

ක්‍රෙම්ලිනය සිය මැදිහත්වීම ෆැසිස්ට් ප්‍රතිවිප්ලවයක් මැඩ පැවැත්වීමක් ලෙස හඳුන්වා දුන් අතර, මාධ්‍යවේදී පීටර් ෆ්‍රයර්ගේ වාර්තාවලින් එකී මුසාවාද ප්‍රතික්ෂේප කෙරුනි. බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ දීර්ඝකාලීන සාමාජිකයෙකු වූ ෆ්‍රයර් හංගේරියාවට සංචාරය කර තිබුනේ පක්ෂයේ පුවත්පත වූ ඩේලි වර්කර් හි වාර්තාකරුවෙකු ලෙසය. ඔහුගේ වාර්තා ක්‍රෙම්ලින් ප්‍රචාරයන් සමඟ පරස්පර වූ හෙයින් ඒවා බ්‍රිතාන්‍ය සීපීය විසින් වාරනය කරන ලදී. ෆ්‍රයර් ඩේලි වර්කර් පුවත්පතෙන් සිය ඉල්ලා අස්වීම නිවේදනය කල කල්හි බ්‍රිතාන්‍ය ස්ටැලින්වාදීහු විෂකුරු මඩ ගැසීමේ ව්‍යාපාරයකින් ඊට ප්‍රතිචාර දැක්වූහ. ඔහු හුදෙකලා කිරීමේ අරමුනින් පලමුවෙන් ඔහුගේ සාමාජිකත්වය තහනම් කල කොමියුනිස්ට් පක්ෂය ඊලඟට ඔහු නෙරපා හැරියේය. එහෙත් මෙම නිලධාරිවාදී ක්‍රියාව විසින් සංවිධානය තවදුරටත් අපකීර්තියට පත් කරන ලදී. මාස කිහිපයක් තුල 7,000 ක් දෙනා - එනම්, ආසන්න වශයෙන් එහි සාමාජිකත්වයෙන් සියයට 20 ක් පමන - බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයෙන් ඉල්ලා අස් වූහ.

ෆ්‍රයර්ගේ නෙරපා හැරීම නොතකා, 1956 දෙසැම්බරයේ ප්‍රකාශයට පත් කෙරුනු ඔහුගේ Hungarian Tragedy (හංගේරියානු ඛේදවාචකය) කෘතිය බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය පුරා රාව ප්‍රතිරාව නැංවීය. ඔහු ඛෙදවාචක දෙකක් සම්බන්ධයෙන් ලිවීය. පලමුවැන්න වූයේ, “දැරිය නොහැකි මට්ටමට නැඟී තිබූ ප්‍රජා පීඩනයට හා දරිද්‍රතාවයට එරෙහි බහුජන නැඟී සිටීමක් - මහජන විප්ලවයක් - ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍යයේ හමුදාව විසින් කුඩු පට්ටම් කර දමනු ලැබීම” යි. [8]

ක්‍රෙම්ලිනයේ බේගල් චෝදනා ෆ්‍රයර් ප්‍රතික්ෂේප කලේය:

මෙම නැඟී සිටීමේ පාලනය සියතට ගැනීමට ප්‍රතිගාමීන් නිසැකවම ප්‍රයත්න දරමින් සිටි නමුදු, එය ෆැසිස්ට්වාදීන් හෝ ප්රතිගාමීන් විසින් සංවිධානය නොකෙරුනු බව හා පාලනය නොකෙරුනු බව මම මගේම දෑසින් දුටුවෙමි. “ප්‍රතිවිප්ලවය”ට එරෙහි සටනකට ඇද දැමුනු සෝවියට් හමුදා ඇත්තෙන්ම සටන් කලේ ෆැසිස්ට්වාදීන් හෝ ප්‍රතිගාමීන් සමඟ නොව හංගේරියාවේ සාමාන්‍ය ජනයා - කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන් හා සෙබලුන් - සමඟ බව මම මගේම දෑසින් දුටුවෙමි. 1944-5 කාල පරිච්ඡේදයේ හංගේරියාව ජර්මානු ෆැසිස්ට් පාලනයෙන් මුදා ගත්, ජර්මානු ෆැසිස්ට්වාදීන් සමඟ සහයෝගීව ක්‍රියා කල මහා ඉඩම් හිමියන් හා මහා ධනපතියන් පන්නා දමා ඉඩම් ප්‍රතිසංස්කරනය හා සමාජවාදී ප්‍රතිසංස්කරනයේ මුල පිරීම ශක්‍යතාවයක් බවට පත් කල එම හමුදාවටම දැන් හංගේරියානු ජනතාවගේ හොඳම පුතුන් සමඟ සටන් වැදීමට සිදු වී තිබින. [9]

මෙම ආක්‍රමනය හංගේරියානුවන් 20,000 ක හා රුසියානුවන් 3,500 කගේ ජීවිත අහිමි කලේය. බුඩාපෙස්ට් නගරයේ විශාල කොටස් විනාශ කෙරුනු අතර, සටන්වලදී දස දහස් ගනනක් තුවාල ලැබූහ.

දෙවැනි ඛේදවාචකය වූයේ එම මැදිහත්වීමේ දීර්ඝකාලීන දේශපාලන ප්‍රතිවිපාකයන්ය. රතු හමුදාව නාසි ග්‍රහනයෙන් හංගේරියාව විමුක්ත කර ගැනීම නිසා සෝවියට් දේශය උරුම කොට ගෙන තුබූ සහානුභූතිය මුලුමනින්ම මකා දැමින. එම සහානුභූතිය, රුසියාව කෙරේ වෛරයක් හා අත්‍යන්ත මංමුලාවක් මඟින් විස්ථාපනය කෙරින. ෆ්‍රයර් මෙසේ ලිවීය:

ධනපති ක්‍රමය ආපසු ගෙන්වා ගැනීමට හෝ ඉඩම් හිමියන් යලි එනු දැකීමට බොහෝ හංගේරියානුවන්ට අවශ්‍ය නැති අතරම, ඔවුහු අද දින නිවැරැදි ලෙසම, කොමියුනිස්ට්වාදය ලෙස හඳුන්වා දෙමින් ඔවුන් වෙත ඉදිරිපත් කෙරුනු දරිද්‍රතාවයේ, නීරස භාවයේ හා භීතියේ තන්ත්‍රය පිලිකුල් කරති. මෙහි වගකීම කෙලින්ම පැවරෙන්නේ කොමියුනිස්ට් නායකයන්ගේ උර මතය. ප්‍රමුඛ කොටම, මහජනයාට මිහිබට පාරාදීසයක් පිලිබඳ ප්‍රතිඥාව දී ඔවුන්ට පූර්ව යුද්ධ සමයේ පැවැති අද්මිරාල් හෝතිගේ ෆැසිස්ට් ආඥාදායකත්වය තරමටම මර්දනකාරී වූ ද, එතරම්ම ගර්හා කටයුතු වූ ද පොලිස් රාජ්‍යයක් ලබා දුන් රාකොෂි, ෆර්කස් හා ජෙරෝ මතය. කම්කරුවෝ සූරාකෑමට හා දාමරිකකම්වලට පාත්‍ර කොට මුසාවෙන් රවටන ලදහ. ගොවීහු සූරාකෑමට හා දාමරිකකම්වලට පාත්‍ර කොට මුසාවෙන් රවටන ලදහ. ලේඛකයෝ ද කලාකරුවෝ ද වඩාත්ම දෘඩතර දෘෂ්ඨිවාදී යකඩ සැට්ට තුල සිර කොට, ඔවුන්ට දාමරිකකම් කොට මුසාවෙන් රවටන ලදහ. යමෙකු තමන් සිතන දේ ප්‍රකාශ කිරීම, නොගැලපෙන ප්‍රශ්නයක් ඇසීම, අඩු තරමින් පරිස්සම්සහගත, නිරන්තරව ඇසෙන, දෘඩ හා ඒකාශ්මික සුනරුත් බසින් පෙලගස්වනු නොලැබූ භාෂාවකින් දේශපාලන ප්‍රශ්න පිලිබඳව කථා කිරීම පවා, සෑම තැනකම පැතිර සිටින රහස් පොලිසියේ දෝෂ දර්ශනයට පාත්‍ර වීමේ අවදානමට මුහුන දීමක් විය. මෙම ඉහල වේතන ලැබූ සංවිධානයේ අරමුන මතු පිටින් පෙනෙන පරිදි නම් ධනේශ්වර ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රයත්නවලින් ජනයා ආරක්ෂා කිරීම විය. එහෙත් භාවිතයේදී එය කතිපයාධිපත්‍යයේ බලය ආරක්ෂා කලේය. මේ අරමුන වෙනුවෙන් එය වාරනය, චින්තාවන් පාලනය කිරීම, සිරගත කිරීම, වධ බන්ධන හා ඝාතනය ද ඇතුලු වඩාත්ම අශික්ෂිත විධික්‍රම යොදා ගත්තේය. ඛේදවාචකය නම්, එවැනි තන්ත්‍රයක් සමාජවාදී සමාජයක් ලෙස, 'ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයක්' ලෙස හා කොමියුනිස්ට්වාදය කරා මාවතේ ප්‍රථම පියවර ලෙස ඉදිරිපත් කොට තිබීමයි. [10]

ෆ්‍රයර් මීලඟට අවධානය කැඳවූයේ තවත් ඛෙදවාචකයක් වෙතය. ඒ වූ කලී, හංගේරියාවට සංචාරය කර තුබූ, එහෙත්,

අප අතර හෝ පවා, එහි සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි යන්න පිලිබඳ සත්‍යය, අපි අපේ මුලු හදවතින් හා ආත්මයෙන්, ප්‍රජා පීඩක තන්ත්‍රයක් ආරක්ෂා කරමින් සිටියෙමුය යන සත්‍යය, පිලි ගැනීමෙන් වැලැකී සිටි බ්‍රිතාන්‍ය කොමියුනිස්ට්වාදීන් පිලිබඳ ඛෙදවාචකයයි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ විසිවන සම්මේලනය අපේ ඇස් වටා බැඳ තුබූ බැඳුම් අඩ වශයෙන් ඉවත් කරන තුරු ම අපි, සමාජවාදය ගොඩ නැඟීමේ ඇතැම් “නිශේධනීය පැති” ලෙස අප විසින් හඳුන්වා දෙන ලද දේ පැවැති බැව් පිලිගතිමු; සෞඛ්‍ය සම්පන්න විවේචන හා ස්වයං විවේචන මඟින් මෙම “නිශේධනීය පාර්ශ්වයන්” මැඩ පවත්වා ගත හැකි බවට අපට විශ්වාසයක් තිබින. විසිවන සම්මේලනයෙන් ඉක්බිතිව, “දෝෂ”, “අපයෝජනයන්” හා “සමාජවාදී නෛතිකභාවය උල්ලංඝනය කිරීම්” ගැන හා, ඇතැම්විට “අපරාධ” ගැන පවා කථා කිරීමට තරම් මහත් සාහසිකකමක් දැක්වීමට අපට අපි ඉඩ හලෙමු. එතෙකුදු තවමත් අපි, ඉදි කෙරෙමින් පවතින්නේයැයි අපේ ප්‍රචාරක ව්‍යාපාරය විසින් අපට කියා දෙන ලද මතු වී එන දීප්තිමත් නව සමාජය, අපේ ජීවිත කාලය තුල දැක ගැනීමට තුබූ අපේම අතිශය බලගතු ආශාවේ ගොදුරු බවට පත් ව සිටියෙමු. [11]

බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු ස්ටැලින්වාදයේ අර්බුදයට ප්‍රතිචාර දක්වති

පීටර් ෆ්‍රයර්ට, මොස්කව් හොර නඩු පිලිබඳ ප්‍රශ්න කිරීම නිසා 1937 දී බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපනු ලදුව සිටි, බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකයා වූ ජෙරී හීලි හමුවන්නේ 1956 පසුභාගයේ මෙම කම්පනකාරී මාසවලදී ය. මේ දිනවල “ද ක්ලබ්” ලෙස හඳුන්වනු ලැබූ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ලේබර් පක්ෂය ඇතුලත කන්ඩායමක් ලෙස ක්‍රියාත්මක වූයේය. බ්‍රිතාන්‍ය සීපීය ඇතුලත අර්බුදය සම්බන්ධ එක් වාර්තාවක සිහිපත් කෙරෙන පරිදි, ෆ්‍රයර් හීලි කරා ආකර්ෂනය වූයේ “ස්ටැලින් සම්බන්ධයෙන් ඔහු නිවැරැදි වූ නිසා පමනක් නොව, ස්ටැලින්වාදය පිලිබඳව හේතු දැක්වෙන ඓතිහාසික න්‍යායක් පිලිබඳව ඔහු උජාරුවෙන් කතා කල නිසාය.” [12] ෆ්‍රයර්ගේ හංගේරියානු ඛේදවාචකය කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් අතර බෙදාදීම සඳහා පුස්තිකාවක් ලෙස පල කිරීමට හීලි කටයුතු සංවිධානය කලේය.

ජෙරී හීලි

කුඩා බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ස්ටැලින්වාදී පක්ෂයේ අර්බුදය තුලට මැදිහත්වීම ඓතිහාසික වැදගත්කමකින් යුත් දේශපාලන ජයග්‍රහනයක් විය. ජෙරී හීලි නිසැකවම මෙම මැදිහත්වීම සඳහා ආවශ්‍යක දේශපාලන ආවේශය - එමෙන්ම, ඇත්තෙන්ම බුද්ධිමය ආවේශය ද - සැපයීය. ඔහුගේ තීරනාත්මක කාර්යභාරය නිර්නය වූයේ හුදෙක්ම - ඔහුගේ කඨෝරතම සතුරන්ට පවා පිලිගැනීමට සිදු වන ගුනාංග වන - ඔහුගේ පෞද්ගලික ගතිකත්වය, අනම්‍ය අධිෂ්ඨානය හා අපූර්ව අධිකථන හැකියාව මත පමනක් නොවීය. ඔහුගේ ජීවිතයේ මෙම තීරනාත්මක කාල පරිච්ඡේදයේ දී නායකයෙකු ලෙස හීලිට පැවැති අපූර්වතම ගුනාංගය වූයේ, කම්කරු පන්තියේ නව මහජන විප්ලවවාදී සමාජවාදී පක්ෂය - හතරවැනි ජාත්‍යන්තරය - ගොඩ නැඟිය යුතුව ඇත්තේ ස්ටැලින්වාදයට එරෙහි අරගලය තුල ට්‍රොට්ස්කි විසින් මතු කෙරුනු දැවැන්ත ඓතිහාසික ප්‍රයුක්තීන් පිලිබඳ පැහැදිලිකමේ පදනම මත ය යන්න පිලිබඳව ඔහුට පැවැති අවබෝධයයි. මෙම පැහැදිලිකම හුදෙක් පක්ෂය ගොඩ නැඟීමේ දී කාලය අවසර දෙන පරිදි අවධානය දිය යුතු වූ එක් “අංශයක්” නොව, හීලි නිරතුරුව අවධාරනය කල පරිදි, විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමේ සැබෑ සාරය විය. මක්නිසාද යත්, විප්ලවවාදී කාර්යධරයන්ට හා කම්කරු පන්තියට අධ්‍යාපනය දීමේ අත් හල නොහැකි පදනම එය වූ නිසාය.

තව ද, ද ක්ලබ් කන්ඩායම, එහි ප්‍රමානාත්මක කුඩා බව හා අත්‍යන්ත ලෙස සීමිත මූල්‍ය සම්පත් නොතකා, ලෝක ස්ටැලින්වාදී ව්‍යාපාරය ඇතුලත අර්බුදයට දේශපාලනිකව සූදානම්ව සිටියේය. ඒ, ඉන් ඉහත තෙවසර තුල හතරවැනි ජාත්‍යන්තරය ඇතුලත එය ගෙන යමින් සිටි දේශපාලන අරගලය මඟිනි.

හතරවැනි ජාත්‍යන්තරය සහ පැබ්ලෝවාදයට එරෙහි අරගලය

1953 නොවැම්බරයේ දී, හතරවැනි ජාත්‍යන්තරය තුල අශමනීය දේශපාලන හා ක්‍රියා මාර්ගික වෙනස්කම් කුලු ගැන්වෙමින් එය ප්‍රතිවිරුද්ධ කන්ඩායම් දෙකකට බෙදා ලීය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ ලේකම් මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩේල් විසින් නායකත්වය දෙන ලද එක් කන්ඩායමක්, සෝවියට් ස්ටැලින්වාදී නිලධරය හා එහි හවුල්කාර පක්ෂවල ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි 1933 හා 1938 අතරතුර වර්ධනය කල විශ්ලේෂනය, දෙවැනි ලෝක යුද්ධයේ හා ඉනික්බිතිව සිදු වූ සිදුවීම්වල ගමන් මඟ විසින් අවලංගු හා නිෂ්ප්රභ කරනු ලැබ ඇතැයි නිගමනය කර තිබීන. සෝවියට් සංගමය නාසි ජර්මනිය පරදවා ලද ජයග්‍රහනය, හා නැගෙනහිර යුරෝපයේ “බෆර් රාජ්‍යවල” “මහජන ප්‍රජාතන්ත්‍රවාදයන්” පිහිටුවීම, මඟින් විදහා දක්වා තුබුනේ ස්ටැලින්වාදයට ට්‍රොට්ස්කි පෙර දැක නොතිබූ විප්ලවවාදී කාර්යභාරයක් ඇති බවයැයි කියා සිටි පැබ්ලෝ හා මැන්ඩේල්, මෙම “විකෘත කම්කරු රාජ්‍යය”, ස්ටැලින්වාදී පක්ෂවල අනුබලය යටතේ සමාජවාදය කරා විකල්ප මාවතක් නියෝජනය කරතැයි ප්‍රකාශ කලෝය.

මෙම සංශෝධනවාදී ඉදිරි දර්ශනය පැබ්ලෝ හා (එවකට පක්ෂය තුල 'ජර්මේන්' යන නම භාවිතා කල) මැන්ඩේල් විසින් ලියන ලද ලේඛනයක විස්තාරනය කරනු ලදුව, 1951 දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර විධායක කමිටුවේ නව වන පුන්සැසියේ දී සම්මත කර ගන්නා ලදී. එහි මෙසේ සඳහන් විය:

අපගේ ව්‍යාපාරයට වෛෂයික සමාජ යථාර්ථයෙහි හරය වනුයේ ධනේශ්වර පාලනය හා ස්ටැලින්වාදී ලෝකයයි. තවද අප කැමති වුවත් නොකැමති වුවත් සාමාන්‍යයෙන් මෙම කොටස් දෙකින් සමාජ යථාර්ථය සමන්විත වෙයි; ධනේශ් වර ක්‍රමයට විරුද්ධ බලවේග මේ මොහොතේ සෝවියට නිලධරයේ නායකත්වය හෝ බලපෑම යටතේ පවතින හෙයිනි. [13]

තවද, එජ අධිරාජ්‍යවාදය හා සෝවියට් සංගමය අතර උත්සන්න වෙමින් පවත්නා ගැටුම නව ලෝක යුද්ධයකට මඟ පාදනු ඇත. එය ස්ටැලින්වාදී නායකත්වයෙන් යුත් ලෝක විප්ලවයක රූපාකාරය අත්පත් කර ගනු ඇති අතර, එහි ප්‍රතිඵලය ලෙස ශතවර්ෂ ගනනක් පවතිනු ඇති “විකෘත කම්කරු රාජ්‍ය” නිර්මානය වනු ඇත. “ධනේශ්වර තන්ත්‍රය” සහ “ස්ටැලින්වාදී ලෝකය”අතර ව්‍යසනකාරී යුද්ධය දුර ක්ෂිතිජයේ මතුවෙමින් එන තතු යටතේ හතරවැනි ජාත්‍යන්තරයේ ස්වාධීන පැවැත්මකට යුක්තියුක්තභාවයක් නැතැයි පැබ්ලෝ අවධාරනය කලේය:

ජාත්‍යන්තරයේ තෙවන ලෝක සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද, විවිධ වර්ගයේ රටවල් පිලිබඳ සමස්ත උපාය, දැන් නිර්නය කෙරෙන්නේ, අප විසින් කරන ලද අති මූලික තක්සේරුව මගින්ය යන්න අපි නොනවත්වා කියා සිටිමු. එනම්, දෙන ලද ස්වභාවයකින් යුක්ත සහ බලවේගවල දෙන ලද සම්බන්ධතාවයක් තුල සාපේක්ෂව කෙටි කාල පරිච්ඡේදයක් ඇතුලත, ජාත්‍යන්තර තත්ත්වය ලෝක යුද්ධයක් දිශාවට අප්‍රතිවර්ත්‍ය ලෙස විකාශය වෙමින් පවති.

අප සහ අන්‍යයන් - අප හැර දමා පලා ගිය අය ද මීට ඇතුලත් ය - අතර වෙනස ඇත්තේ, අප නිෂ්ක්‍රිය ලෙස මෙම නිරීක්ෂනය සිදු නොකිරීම තුලය. අපි, මීට වඩා එකඟ විය හැකි, වඩාත් පහසු විකාශයක අන් කිසියම් ශක්‍යතාවයක් පිලිබඳව අපේ ආත්මවල පත්ලෙන් සිහින දකිමින් පසු නොවන්නෙමු. මායාවන්ගෙන් අපම සනසවා ගැනීමට අපට අවශ්‍ය නැති හෙයින්, අපි මේ මොහොතේ දී මේ තතුවලට අනුව, සැබැවින්ම සිදුවන දෙයට අනුව ක්‍රියා කිරීමට කිරීමට ප්‍රයත්න දරමු. [14]

ට්‍රොට්ස්කිවාදීන්, ඉදින් දිග හැරෙමින් පවත්නා “යුද්ධ-විප්ලවය” තුල ඔවුන්ට ඉටු කිරීමට යම් කාර්යභාරයක් තිබිනි නම් ඒ තාක් දුරට, වෛෂයික සිදුවීම් විසින් ඉල්ලා සිටින පරිදි විප්ලවවාදී මාවතක් දිගේ යාමට ස්ටැලින්වාදීන් දිරිමත් කරමින්, ස්ටැලින්වාදී සංවිධානවල උපදේශකයන් ලෙස සේවය කරනු ඇත. එබැවින්, ට්‍රොට්ස්කිවාදීන්ට මෙම නිහතමානී දේශපාලන කාර්යභාරය හොඳින්ම ඉටු කල හැකිව තුබුනේ තමාගේම සංවිධාන විසුරුවා හැර ස්ටැලින්වාදී පක්ෂ තුලට ඇතුලු වීමෙනි.

මෙම ඉදිරි දර්ශනය විසින් අවුලුවා ලන ලද දේශපාලන භේදය, ස්ටැලින්ගේ මරනය සිදු වී වහා එලැඹී කාලයේ - 1953 මාර්තු 5 වන දින - සෝවියට් සංගමය තුල ඇති වූ වර්ධනයන් විසින් කුලු ගන්වන ලදී. දේවත්වයට කිට්ටු ස්ථානයකට නංවා තිබූ ස්ටැලින්ගේ ප්‍රතිරූපයේ ප්‍රභාව ප්‍රහීන කිරීමටත්, ආඥාදායකයාගේ ජීවිතයේ අවසාන මාසවල දියත් කොට තිබූ අපරූපී යුදෙව්-විරෝධී ව්‍යාපාරය නවතා දැමීමටත්, රාජ්‍ය මර්දනයේ මට්ටම අඩු කිරීමටත් ක්‍රෙම්ලිනයේ නව නායකයන් විසින් ගනු ලැබූ පියවර සෝවියට් නිලධරය ස්වයං ප්‍රතිසංස්කරනය වීමේ ප්‍රගතිශීලී ක්‍රියාදාමයක සංඥාවන් ලෙස පැබ්ලෝ හා මැන්ඩේල් නිවේදනය කලෝය. 1953 ජූනියේ නැගෙනහිර බර්ලිනයේ කම්කරු පන්ති නැඟිටීම වෝල්ටර් උල්බ්‍රිච්ට් නායකත්වය දැරූ පාලක ස්ටැලින්වාදී නිලධරය විසින් කෲර ලෙස තලා දමනු ලැබීමෙන් මෙම මනස්සෘෂ්ඨිය ඉක්මනින්ම සුනුවිසුනු වී ගියේය.

ඔවුන්ගේ දිරිගැන්වීමත් සමඟ දියකරහැරීම්වාදී කන්ඩායම් හතරවැනි ජාත්‍යන්තරය පුරා ජාතික ශාඛාවල වර්ධනය විය. ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පීය) තුල කොක්රාන් හා ක්ලාක් විසින් නායකත්වය දෙන ලද පැබ්ලෝවාදී කන්ඩායම “පැරනි ට්‍රොට්ස්කිවාදය කුනු කූඩයට දමනු” යන සටන්පාඨය භාවිත කලේය. බ්‍රිතාන්‍ය ශාඛාව තුල ජෝන් ලෝරන්ස්ගේ නායකත්වය ලද පැබ්ලෝවාදී කන්ඩායම ද ක්ලබ් සංවිධානය කොමියුනිස්ට් පක්ෂය තුලට දිය කර දැමිය යුතුයැයි ඉල්ලා සිටියේය.

ස්ටැලින්වාදයේ කාර්යභාරය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය සංශෝධනය කිරීම හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිලිවෙලට එල්ල කරන ලද පැබ්ලෝවාදී ප්‍රහාරයේ තීරනාත්මක අංගයක් විය. එහෙත් මෙසේ ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කිරීම මාක්ස්වාදී ව්‍යාපාරයේ පදනම් මූලධර්ම ද - එනම්, නායකත්වයේ තීරනාත්මක කාර්යභාරය හා කම්කරු පන්තිය තුල සමාජවාදී චින්තනය සඳහා එහි අරගලය ද - ප්‍රතික්ෂේප කිරීමක් විය. 1953 නොවැම්බර් 3 වන දින කොක්රාන්-ක්ලාක් කන්ඩායම නෙරපා හැරීමෙන් පසු, එස්ඩබ්ලිව්පීයේ ජාතික කමිටුව හමුවේ පැවැත්වූ සිය සම්පින්ඩන දේශනය තුල ජේම්ස් පී. කැනන් මෙය පැහැදිලි කලේය:

නායකත්වය යනු සමස්ත ලෝකයේම කම්කරු පන්තියේ එකම නොවිසඳුනු ගැටලුවයි. ලෝකයේ කම්කරු පන්තිය හා සමාජවාදය අතර පවත්නා එකම බාධකය නායකත්වය පිලිබඳ නොවිසඳුනු ගැටලුවයි. “පක්ෂය පිලිබඳ ප්‍රශ්නය” යන්නෙන් අදහස් වන්නේ එයයි. කම්කරු ව්‍යාපාරයේ අර්බුදය නායකත්වයේ අර්බුදයයැයි සංක්‍රමනීය ක්‍රියා මාර්ගය තුල කියැවෙන විට ඉන් අදහස් කෙරෙන්නේ එයයි. එහි අර්ථය වන්නේ, කම්කරු පන්තිය ඓතිහාසික ක්‍රියාවලියට සචේතනික ප්‍රකාශනයක් ලබා දෙමින්, අරගලයේ දී ජනයාට නායකත්වය දිය හැකි විප්ලවවාදී පක්ෂය නිර්මානය කිරීමේ ගැටලුව විසඳන තුරු මේ කරුන තීරනය නොවී පවතින බවයි. එය - එනම්, පක්ෂය පිලිබඳ ප්‍රශ්නය - සියලු ප්‍රශ්න අතරින් වඩාත්ම වැදගත් එක ය.

තව ද, ඉදින් පැබ්ලෝවාදයෙන් අප බිඳී යාම - දැන් අපට එය පැහැදිලිව දැකිය හැකිය - ඉදින් එය තනි කරුනකට සිඳවුවහොත් හා තනි කරුනකට ඒකාග්‍ර කලහොත්, මේ එයයි: පක්ෂය පිලිබඳ ප්‍රශ්නයයි. පැබ්ලෝවාදයේ වර්ධනය ක්‍රියාවට නැංවෙනු අප දැක ඇති හෙයින් දැන් අපට එය පැහැදිලිව පෙනී යයි. පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සාරය වන්නේ අද දවසේ ට්‍රොට්ස්කිවාදයේ වඩාත්ම ප්‍රානභූත කොටස වන එම කොටස - පක්ෂය පිලිබඳ ප්‍රශ්නය තුල සංක්ෂිප්ත කොට ඇති, මිනිස් වර්ගයාගේ අර්බුදය කම්කරු ව්‍යාපාරයේ නායකත්වයේ අර්බුදය ලෙස වන සංකල්පය - පෙරලා දැමීමයි.

පැබ්ලෝවාදය හුදු ට්‍රොට්ස්කිවාදය පෙරලා දැමීමට අරමුනු කරනු පමනක් නොවේ; එහි ඉලක්කය වන්නේ ට්‍රොට්ස්කිවාදය තුල ඇති ට්‍රොට්ස්කි ලෙනින්ගෙන් ඉගෙන ගත් එම කොටස පෙරලා දැමීමයි. ලෙනින් ඔහුගේ සමස්ත යුගයට සිදු කල විශිෂ්ඨතම ප්‍රතිපදානය වූයේ, විප්ලවයේ දී කම්කරුවන්ට නායකත්වය දීමට සමත් පෙරටු බලඇනි පක්ෂයක් ගොඩ නැඟීමේ ඔහුගේ අදහස සහ ඒ සඳහා ඔහුගේ අධිෂ්ඨාන සහගත අරගලයයි. තව ද, ඔහු තම න්‍යාය තමාගේම ක්‍රියාකාරීත්වයේ කාල වකවානුවට සීමා කලේ නැත. 1871 තරම් ඈත අතීතය කරා ගිය ඔහු, ප්‍රථම නිර්ධන පන්ති විප්ලවය වූ පැරිස් කොමියුනය පරාජය වීමේ තීරනාත්මක සාධකය වූයේ, මහජන ව්‍යාපාරයට දැනුවත් ක්‍රියා මාර්ගයක් හා ස්ථිරසාර නායකත්වයක් ලබාදීමෙහි සමත් විප්ලවවාදී මාක්ස්වාදී පෙරටු බලඇනි පක්ෂයක් නොපැවතීම බව පැවැසුවේය. ට්‍රොට්ස්කි ලෙනින්වාදියෙකු බවට පරිවර්තනය වූයේ, 1917 දී ලෙනින්ගේ මෙම කොටස ට්‍රොට්ස්කි විසින් පිලිගනු ලැබීම මඟිනි.

එය - විප්ලවවාදී පක්ෂයේ තීරනාත්මක කාර්යභාරය පිලිබඳ ලෙනින්වාදී සංකල්පය - සංක්‍රමනීය ක්‍රියාමාර්ගය තුල ලියැවී ඇත. එච්. ජී. වේල්ස්ගේ විද්‍යා ප්‍රබන්ධයකින් පැවසෙන පරිදි “වල්ගා තරුවේ දිනයේ දී” ස්ටැලින්වාදී මාදිලියේ වේවා, නැතහොත් ප්‍රතිසංස්කරනවාදී මාදිලියේ වේවා ද්‍රෝහී නිලධරයන්ගේ හිස් තුලට යම් ආකාරයකින් අදහස් පෙරී විත්, විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයකින් - එනම්, ලෙනින්වාදී - ට්‍රොට්ස්කිවාදී පක්ෂයකින් තොරව සමාජවාදී විප්ලවය සාක්ෂාත් වී එය එහි අවසානය කරා ම ගෙන යනු ඇතැයි යන සංකල්පය වෙනුවෙන් පැබ්ලෝවාදීන් වීසි කර දමන්නේ මෙම සංකල්පයයි. එය පැබ්ලෝවාදයේ සාරයයි. පැබ්ලෝවාදය යනු පක්ෂයක් හා ක්‍රියා මාර්ගයක් වෙනුවට ලබ්ධියක හා දේව වාක්‍යයක ආදේශයයි. [15]

1953 නොවැම්බර් 16 වන දින, පැබ්ලෝ හා පැබ්ලෝවාදය සමඟ තීරනාත්මක දේශපාලනික හා සංවිධානාත්මක බිඳීමක් සඳහා කැඳවුම් කරමින් කැනන් ලෝකය පුරා ට්‍රොට්ස්කිවාදීන් වෙත සිය විවෘත ලිපිය නිකුත් කලේය. මෙම ලිපිය තුල කැනන්, ස්ටෑලින්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී තක්සේරුව සම්බන්ධ පැබ්ලෝගේ සංශෝධනය නිසැක ලෙස ප්‍රතික්ෂේප කලේය. ඔහු එහි මෙසේ ලිවීය:

[ස්ටැලින්වාදය] 1917 ඔක්තෝබර් විප්ලවයේ කීර්තිය ගසා කෑම මඟින් කම්කරුවන් තමා වෙත ආකර්ෂනය කර ගනු ලබන්නේ, පසුව - එය ඔවුන් තැබූ විශ්වාසය පාවා දෙන හෙයින් - ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ හස්ත ග්‍රහනය කරා, උදාසීනත්වයට කරා, හෝ පෙරලා ධනපති ක්‍රමයේ මායාවන් කරා විසි කර දමනු පිනිසය. ෆැසිස්ට්වාදී හෝ රාජාන්ඩුවාදී බලවේග තහවුරු වීමේ ආකාරයෙන්, සහ ධනපති ක්‍රමය විසින් ඇති දැඩි කරනු ලැබ සූදානම් කෙරෙන යුද්ධ වශයෙන් මෙම පාවාදීම්වලට වන්දිය ගෙවනු ලබන්නේ කම්කරු ජනයා විසින්ය. හතරවැනි ජාත්‍යන්තරය එහි ආරම්භයේ සිට, සෝවියට් සංගමය ඇතුලත හා ඉන් පිටත ස්ටැලින්වාදය පෙරලා දැමීම තම ප්‍රමුඛ කර්තව්‍යයන් අතරින් එකක් ලෙස නියම කොට ගෙන ඇත. [16]

සතියක ඇවෑමෙන් 1953 නොවැම්බර් 23 වන දින, පැබ්ලෝගේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලයට විපක්ෂව ලොව පුරා සිටින සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන්ගේ නායකත්ව සංවිධානය වශයෙන් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ගැනීම නිවේදනය කරමින් යෝජනාවක් සම්මත කෙරින. ජෙරී හීලි මෙම ඓතිහාසික යෝජනාවට අත්සන් තැබූ සිව් දෙනාගෙන් එක් අයෙකු විය.

බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය 1953 භේදයෙන් දේශපාලනිකව ශක්තිමත් වෙමින් ඉස්මතු විය. නිලධරය තුල (මලෙන්කොව් ලෙස වේවා, නැතහොත් ඇතැම්විට මිකොයාන් ලෙස වේවා) මතුවන එක් හෝ අනෙක් ප්‍රගතිශීලීයැයි කියනු ලබන ප්‍රවනතාවල අනාගතාපේක්ෂාවන් සම්බන්ධයෙන් කෙලවරක් නැතිව සමපේක්ෂනය කරමින් සිටි පැබ්ලෝ හා මැන්ඩේල්ට පටහැනි ලෙස, ස්ටැලින්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනය බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් විසින් ආරක්ෂා කරනු ලැබීම, ක්‍රෙම්ලිනය තුල කන්ඩායම් අරගල සම්බන්ධයෙන් ධාරනාවාදී තක්සේරු සිදු කිරීමෙන් වැලැකී සිටීමේ ශක්‍යතාව ඔවුන්ට ලබා දුන්නේය. ප්‍රතිගාමී හා අසක්‍ය “තනි රටේ සමාජවාදය” පිලිබඳ න්‍යායය හා එහි නවතම ප්‍රභේදය වූ අධිරාජ්‍යවාදය සමඟ “සාමකාමී සහජීවනය” මත පදනම් වූ, සමස්ත ස්ටැලින්වාදී ව්‍යාපාරයේ අර්බුදය පිලිබඳව බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු අවධාරනය කලෝය.

හීලි බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් බලමුලු ගන්වයි

එබැවින් බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු 1956 අර්බුදයට සූදානම්ව සිටියෝය. 20 වන පක්ෂ සම්මේලනයේ දී කෘෂෙව් විසින් ස්ටැලින් හෙලා දකිනු ලැබ ඇති බැව් ඔහුට අසන්නට ලැබුනු ශීත ඍතුවේ අගභාගයේ හිරිපොද වැහි වැටෙන ශීතල ශනිදා සන්ධ්‍යාව පිලිබඳව හීලි පසුව සිහිපත් කොට ඇත. කථාවේ සම්පූර්න පෙල බ්‍රිතාන්‍ය මාධ්‍යවල පල වූ කල්හි, “රහස් දේශනය” ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලයෙහි තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන බව හීලි එක්වනම හඳුනා ගත්තේය. දීර්ඝ කාලයක ඇවෑමෙන්, 1923 හා 1940 අතරතුර සෝවියට් නිලධාරයට හා “අසත්‍යකරනය පිලිබඳ ස්ටැලින් ගුරුකුලය”ට එරෙහිව “වයසක තැනැත්තා” ගෙන ගිය වීරෝදාර අරගලය කෙලින්ම සෛන්ධවයාගේ ම මුවින්ම - හරිහැටිම කියතොත් සෛන්ධවයාගේ නොව නිකිටා කෘෂෙව්ගේ මුවින් - තහවුරු කර ඇත.

කල යුත්තේ කුමක්දැයි හීලි දැන සිටියේය. ස්ටැලින්වාදී පක්ෂයේ තමන්ට සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීමට ඉඩකඩක් පවතින සෑම සාමාජිකයෙකුගේම ලැයිස්තුවක් සකසා ගන්නා ලෙස ඔහු තම කුඩා සංවිධානයේ සාමාජිකයන්ට අවධාරනයෙන් කියා සිටියේ ය. අතීතයේ දී ඔවුන් ට්‍රොට්ස්කිවාදය පිලිබඳව කුමක් කියා තිබුනත් ඔවුන් මුන ගැසීමට ගොස් කෘෂෙව්ගේ කථාව ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරන මෙන් හීලි උපදෙස් දුන්නේය. හීලිමත්, තමන් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙකුව සිටිය දී දැන සිටි සියල්ලන් - 1937 දී ඔහු නෙරපා හැරීමට පක්ෂව ඡන්දය දුන් ඉහත “සහෝදරවරුන්” ද ඇතුලු සියල්ලන් - සොයා එංගලන්තයේ, වේල්සයේ හා ස්කොට්ලන්තයේ අහුමුලු නොහැර දුම්රියෙන් ද, මෝටර් රථයෙන් ද ගමන් කලේය. ඔහු තරුන කොමියුනිස්ට් ලීගයේ තමා සිටි කාලයේ “පැරනි මිතුරන්” ඇමතීය. ඔවුන්ගෙන් ඇතැමෙක් බලගතු වෘත්තීය සමිති සම්මේලනයේ (ටීයූසීයේ) ඉහල හා අතිශය වැදගත් තනතුරු කරා නැඟ සිටියෝය.

එය බොහෝ සේ වෙලා ගත වන, අසීරු හා නිරතුරුව හෙම්බත් කරවන සුලු කටයුත්තක් විය. අවිශ්වාසය පල කරන හිස සැලීම් කොතෙකුත් විය. ඇතැම්විට ඉකිගසා වැලපීම් ය. ඉඳහිට පැරනි වැරදිවලට සමාව ඉල්ලූ අවස්ථා ද විය. 1930 ගනන්වල මුල් භාගයේ තමන් සමීපව වැඩ කර තිබූ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙකු හමුවීමට ඔහු ගියේය. හීලි නෙරපා හැරීමෙන් පසුව මේ තැනැත්තා ඔහු සමඟ කථා කිරීම ප්‍රතික්ෂේප කලේය. ප්‍රසිද්ධ පෙලපාලිවල දී අහම්බෙන් හමු වූ විට හීලි “මොස්ලේවාදී” ෆැසිස්ට්වාදියෙකුයැයි ප්‍රසිද්ධියේ ඔහු ඇවිස්සීමට තැත් කල අවස්ථා පවා විය. දැන් ඔහු ප්‍රවාහන හා පොදු කම්කරු සමිතියේ නායක තනතුරක් හෙබවීය. හීලි ඔහු හමුවේ කෘෂෙව්ගේ කථාව ඡේදයෙන් ඡේදය විස්තර කලේය. හීලි දේශනය පිලිබඳ සිය විමර්ශනය සම්පූර්න කල පසුව දැන් බලගතු වෘත්තීය සමිති නිලධාරියෙකු වන ඔහු මෙසේ පිලිතුරු දුන්නේය: “ඇත්තෙන්ම ජෙරී, පසුගිය වර්ෂ ගනනාවම පුරා ඔබ නිවැරැදියැයි මම සිතමි.” එහෙත්, ස්ටැලින්වාදීන්ගෙන් ප්‍රසිද්ධියේ බිඳීම තිබියේවා, ට්‍රොට්ස්කිගේ පුනරුත්ථානය ඉල්ලා සිටීමට හෝ ඔහු සූදානම් නොවීය. වෘත්තීය සමිතිය තුල ඔහු දැරූ නිලය රඳා පැවතුනේ කොමියුනිස්ට් පක්ෂ නායකත්වයේ සහයෝගය මතය.

බොහෝ දුෂ්කරතා නොතකා, හංගේරියාව ආක්‍රමනය කිරීමට ද පූර්වයෙන්, කොමියුනිස්ට් පක්ෂයේ බැරෑරුම් භින්නමතික සාමාජිකයන්ගේ දිනෙන් දින වැඩි වෙමින් පැවැති සංඛ්‍යාවක් අතරේ සැලකිය යුතු නියෝජනයක් තහවුරු කර ගැනීමෙහි ලා හීලි හා 'ද ක්ලබ්' සමත් වූහ. හීලි විසින් ට්‍රොට්ස්කිවාදයට දිනා ගන්නා ලද කොමියුනිස්ට් පක්ෂ බුද්ධිමතුන් අතර ටොම් කෙම්ප් හා බ්‍රයන් පියර්ස් ද වූහ. හීලි හා ද ක්ලබ් කන්ඩායම ලේබර් පක්ෂය තුල ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවාදයට විප්ලවවාදී විකල්පයක් සොයමින් සිටියවුන්ගේ සහයෝගය දිනා ගනිමින්, අතිශය වැදගත් ඓතිහාසික ප්‍රයුක්තීන් ඉදිරිපත් කලෝය.

මතු සම්බන්ධයි.

සටහන්:

[1] ක්ලිෆ් ස්ලෝටර්, A New Party for Socialism—Why? How? By Whom? On What Programme? Answers to Some Burning Questions—And Some New Questions (ලන්ඩන්: කම්කරු විප්ලවවාදී පක්ෂය, 1996), පි. 68.

[2] Workers Press, නොවැම්බර් 18, 1974, පි. 12.

[3] බාබරා ස්ලෝටර් ඩේවිඩ් නෝර්ත් වෙත එවූ ඊ මේල් පනිවුඩය, ජූලි 27, 2021.

[4] බාබරා ස්ලෝටර් ඩේවිඩ් නෝර්ත් වෙත එවූ ඊ මේල් පනිවුඩය, ජූලි 26, 2021.

[5] බාබරා ස්ලෝටර්, සමාජවාදී සමානතා පක්ෂය (එජ) ආරම්භක සම්මේලනය ආරම්භ කිරීම පිලිබඳ සටහන්, ජූලි 2008.

[6] යොමුව මෙතැනින්

[7] එම

[8] යොමුව මෙතැනින්

[9] එම

[10] එම

[11] එම

[12] මෙම සඳහන ලබා ගෙන ඇත්තේ Revolutionary History සඟරාවේ 7 වන වෙලුමේ 2 අංක 2 හි පල වූ ඇලිසන් මැක්ලෝඩ්ගේ The Death of Uncle Joe සම්බන්ධ විමංසනයකිනි. එයට මෙතැනින් පිවිසෙන්න. 1944 සිට 1957 සිය ඉල්ලා අස් වීම දක්වා Daily Worker පත්‍රයේ ලේඛිකාවක වූ මැක්ලෝඩ් දිගටම ට්‍රොට්ස්කිවාදයට හා ජෙරී හීලිට කඨෝර ලෙස සතුරු ආස්ථානයක් දරන්නීය. මෙය, මැක්ලෝඩ් සංවේගයෙන් සලකන කරුනක් වන ෆ්‍රයර් කෙරේ හීලිට පැවැති ආනුභාවය ඇය විසින් පිලිගනු ලැබීමට වඩාත් වැඩි වැදගත්කමක් හිමි කර දෙයි. විචාරය ලියන තැනැත්තා ද හීලිට සතුරු මත දරන්නෙකු වන අතර, ඔහු හීලි හඳුන්වන්නේ ෆ්‍රයර්ගේ යක්ෂයා ලෙසය.

[13] උපුටා ගැනීම: අප රක්නා උරුමය, ඩේවිඩ් නෝර්ත්, පරිච්ඡේදය: “පැබ්ලෝවාදී අවස්ථාවාදයේ ස්වභාවය”.

[14] “For a Decisive Turn in France,” International Information Bulletin, නොවැම්බර් 1952, පි. 5.

[15] ජේම්ස් පී. කැනන්, Speeches to the Party (නිව්යෝර්ක්: Pathfinder Press, 1973), 181–82 පිටු

[16] ක්ලිෆ් ස්ලෝටර්, සංස්කාරක, Trotskyism Versus Revisionism: A Documentary History (ලන්ඩන්: New Park Publications, 1974), වෙලුම 1, The Fight Against Pabloism in the Fourth International, 298–301පිටු

Loading