ඩීසයිඩ් වතු කම්කරුවන් වැඩ වේගවත් කිරීමට සහ මර්දනයට එරෙහි ව නැවතත් වර්ජනයේ

මස්කෙලිය අප්කොට්හි ග්ලෙනුයිජ් වත්තේ ඩීසයිඩ් කොටසේ කම්කරුවෝ 300ක් පමන පසුගිය සිකුරාදා වැඩ වේගවත් කිරීමටත් කම්කරුවන්ට එරෙහි පරිපාලනයේ අඩන්තේට්ටම්වලටත් එරෙහි ව නැවතත් වැඩවර්ජනයක් ආරම්භ කලහ.

වර්ජනයේ යෙදෙන ඩීසයිඩ් වත්තේ කම්කරුවෝ [ස්තූතිය: කේ. කිෂාන්තන්]

වැඩ වර්ජනය මේ දක්වාමත් පැවැත්වෙයි. වත්තේ ක්‍රියාත්මක වන ලංකා කම්කරු කොංග්‍රසයත් (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමයත්, (එන්යූඩබ්ලිව්) වතු සමගම සමග පෙලගැසී සිටින තතු යටතේ කම්කරුවන් වර්ජනයට බැස ඇත්තේ වෘත්තීය සමිතිවලට පිටින්, ස්වාධීන ව ය. පසුගිය වැඩවර්ජන තුල දීද මෙම සමිති ක්‍රියා කලේ ඒවා කඩාකප්පල් කිරීමට ය.

වැඩවර්ජනයට හේතු වූයේ සිකුරාදා කම්කරුවන් 17 දෙනෙකු පමා වී වැඩට පැමිනුනේ යැයි චෝදනා කරමින් කලමනාකරු ඔවුන්ට වත්තේ වැඩ ලබා දීම ප්‍රතික්ෂේප කිරීමයි. වැඩ වේගවත් කිරීම්වලට එරෙහි ව සටන්කාමී වී සිටින කම්කරුවන් බිය වැද්දීමටත් වර්ජන සටන්වල යෙදුනු කම්කරුවන්ගෙන් පලිගැනීමටත් මෙ බඳු අයුක්ති සහගත තීරන වතු පරිපාලනය ගන්නා බවට ඩීසයිඩ් කම්කරුවෝ චෝදනා කරති. වත්තේ කලමනාකරු මාරු කල යුතු බවට එම කම්කරුවෝ බල කර සිටිති.

ඩීසයිඩ් වර්ජනයට සහය පල කරමින් වර්ජනයට එක් වූ ග්ලෙනුයිජ් වත්තේ කම්කරුවෝ [ලෝසවෙඅ]

පසුගිය සැප්තැම්බර් 21 වැනි දා සිට ඔක්තෝබර් 6 වැනි දා දක්වා සති දෙකකට ආසන්න කාලයක් ග්ලෙනුයිජ් වත්තේ කම්කරුවෝ වැඩ වේගවත් කිරීම්වලට එරෙහි ව ස්ට්‍රයික් සටනක යෙදී සිටියහ. දෛනික වැටුප් ලෙස රුපියල් දහසක් කම්කරුවන්ට ගෙවීමට නම් ඉහල වැඩ ඉලක්ක සම්පූර්න කලයුතු බවට නියම කර ඇති සමාගම ඒවා සම්පූර්න කල නොහැකි සේවකයන්ගේ වැටුප් කපයි. ඒ අනුව ග්ලයිනුජ් වත්තේ දෛනික දලු ඉලක්ක කිලෝ 16 සිට 20 දක්වා ඉහල නංවා සතියේ වැඩ දින ගනන අඩු කොට පිරිමි කම්කරුවන්ට දිනකට තනකොල කිලෝ 700ක් දක්වා කැපීමට ඉලක්ක ලබා දී ඇත. කිලෝ 20 ඉලක්කය සම්පූර්න නොකරන දලු නෙලන කම්කරුවන්ට කිලෝවකට රුපියල් 40ක් වැනි මුදලක් ගෙවනු ලැබේ.

තේ අපනයන කම්කරුවන්ගේ සංගමය මේ වසර සඳහා තේ අපනයන ඉලක්කය වන රුපියල් බිලියන 1.3 ජයගත හැකි බවට සහතික වෙයි. වසංගතය හේතුවෙන් සැපයුම් දාම බිඳ වැටීම, රසායන පොහොර හිඟය සහ තේ වතු නිසි පරිදි නඩත්තුව අත හැරීම මැද මේ ඉලක්ක කරා ලඟා වන්නේ අර්බුදයේ බර තව තවත් කම්කරුවන් මත පටවමිනි.

කොවිඩ්-19 ගෝලීය වසංගතය විසින් උග්‍ර කෙරී ඇති ධනේශ්වර අර්බුදය කම්කරු පන්තිය මත පැටවීමට ක්‍රියා කරන සමාගම් කම්කරුවන්ගේ ප්‍රතිරෝධය මර්දනය කිරීමට හැකි සෑම ශක්තියක් ම යොදති.

වතුකරය පුරා ම කම්කරුවන් මුහුන දී සිටින්නේ මෙවැනි කොන්දේසිවලට ය. ඉහල යන ජීවන වියදමෙන් ද කම්කරුවන්ගේ ජීවන කොන්දේසි පල්ලටම වැටී ඇත. මෙම කප්පාදු පියවරයන්ට එරෙහි ව කම්කරුවන්ගේ විරෝධය ඇවිලී තිබේ. මෙම කොන්දේසිවලට එරෙහි ව අරගල මාලාවක් වතුකරය තුල පැන නැගෙමින් පවතී.

සැප්තැම්බර් 21 වැනි දා ඩීසයිඩ් වත්තේ අරගලය පැන නැංගේ ද එහි කොටසක් වශයෙනි. වත්තේ ක්‍රියාත්මක සමිති වන සීඩබ්ලිව්සී සහ එන්යූඩබ්ලිව් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කර වර්ජනය පරාජය කිරීමට කොන්දේසි සකසමින් වතු පරිපාලනය සමග සහයෝගී වූහ.

මෙ බඳු තත්ත්වයක් යටතේ කම්කරුවන්ගේ අරගලයට නායකත්වය සම්පාදනය කිරීමට ඉදිරිපත් වුනේ, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මග පෙන්වීම යටතේ ගොඩනගා ගෙන ඇති ග්ලෙනුයිජ් කොටසේ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවයි. ක්‍රියාකාරී කමිටුවේ මග පෙන්වීම මත ඩීසයිඩ් කම්කරුවන්ගේ වර්ජනයට සහයෝගය ලබා දෙමින් ඔක්තෝබර් 29 වැනි දා සිට ග්ලෙනුයිජ් කොටසේ 200 දෙනෙකු වන කම්කරුවෝ ද වර්ජනයට එක් වූහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කල පරිදි, වර්ජනයෙන් අනතුරු ව කම්කරුවන්ට තර්ජනය කිරීම් සහ වැඩ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම් වැනි අඩන්තේට්ටම් දිගින් දිගට ම සිදු විය. වෘත්තීය සමිති මේ මර්දනීය පියවරයන්ට නිහඬ ව සහය දුන්හ.

නැවතත් ඩීසයිඩ් වත්තේ කම්කරුවන් ආරම්භ කර ඇති ස්ට්‍රයිික් අරගලය සම්බන්ධයෙන් පසුගිය ඉරිදා රැස් වූ ග්ලෙනුයිජ් ක්‍රියාකාරී කමිටුව සාකච්ඡා කලේ ය. කම්කරුවන්ට එරෙහි මර්දන ක්‍රියාවන් වතු කලමනාකරු වෙතින් ප්‍රකාශයට පත් වූව ද ඒවා ආන්ඩුවේ සහයෝගය ලබන සියලු වතු සමාගම් විසින් උසිගන්වා ඇති ප්‍රහාරයක කොටසකි. එනිසා හුදෙක් කලමනාකරු ඉවත්කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳේ. අවශ්‍ය වන්නේ වතු සමාගම්වල ප්‍රහාරය පරාජය කිරීමට සෙසු වතු කම්කරුවන් ද ඇතුලු සමස්ත කම්කරු පන්තිය ම බලමුලු ගන්වමින් අරගලය සංවිධානය කර ගැනීමයි.

වතුකරයේ අරගල පැන නැගී ඇත්තේ ලංකාවේ අනෙකුත් අංශවල හා ජාත්‍යන්තරව වැඩෙන පන්ති අරගලවල කොටසක් ලෙසය.

දෛනික ඉලක්කය කිලෝ 16 ට අඩු කරනු!, දෛනික වැටුප ලෙස රුපියල් 1000ක් ලබා දෙනු!, සතියකට දින 6ක් වැඩ ලබා දෙනු! යන ඉල්ලීම් මත ස්ට්‍රයික් අරගලය පෙරට ගෙන යාමට හා අවශේෂ වතුවල කම්කරුවන්ගේ සහාය දිනා ගැනීමට, ග්ලෙනුයිජ් වත්තේ කම්කරුවන්ගේ නියෝජිත කන්ඩායමක් ඩීසයිඩ් වත්තට ගොස් සාකච්ඡා කල යුතු බවට ක්‍රියාකාරී කමිටු රැස්වීම තීරනය කලේ ය.

Loading