අයවැයෙන් තම ඉල්ලීම් ඉටු නොකිරීමට එරෙහිව 50,000 කට අධික සෞඛ්‍ය කම්කරුවෝ වැඩ වර්ජනය කරති

අයවැයෙන් තම ඉල්ලීම් ඉටු නොකිරීමට එරෙහිව, රාජ්‍ය සේවයේ නියුතු සෞඛ්‍ය කම්කරුවන් 50,000 කට අධික සංඛ්‍යාවක් නොවැම්බර් 24,25 දෙදින තුල අසනීප නිවාඩු උද්ඝෝෂනයක නිරත වූහ. විරෝධතා ක්‍රියාමාර්ගය සංවිධානය කල සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අනුව රෝහල් 1100ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 365ක් තුල මෙය ක්‍රියාත්මක වී ඇත.

නොවැම්බර් 17 වනදා දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ හෙදියන්ගේ පිකට්වැට (ඡායාරූප අනුග්‍රහය : ෆේස්බුක්-ජීඑන්ඕඒ්)

මෙම විරෝධතාවයට විවිධ ශ්‍රේනි වලට අයත් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සහ මහජන පරීක්ෂකවරු එක් වූහ. ආන්ඩුවෙන් තමන්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර නොලැබුනු තත්වය තුල මෙම උද්ඝෝෂනය අද උදෑසන 7.00 දක්වා ක්‍රියාත්මක විය.

ඔවුන්ගේ මූලික ඉල්ලීම් වන්නේ 'රනුක්ගේ වැටුප් කමිටු වාර්තාවේ' නිර්දේශ ක්‍රියාත්මක කර විෂමතා ඉවත් කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල ඩැට් නමින් හැඳින්වෙන ප්‍රවාහන දීමනාව රුපියල් 3,000 සිට 10,000 දක්වා ඉහල දැමීම, අතිකාල රේට්ටු මූලික වැටුපෙන් 1/80 බවට පත් කිරීම හා උසස්වීම් වලට අදාල චක්‍රලේඛ නිකුත් කිරීම ආදියයි.

සෞඛ්‍ය කම්කරුවෝ මෙම ඉල්ලීම් මත අරගලයට පැමිනියේ සති තුනක කාලයක් ඇතුලත තෙවන වතාවටයි. මීට පෙර නොවැම්බර් 9 වනදා අසනීප නිවාඩු ක්‍රියාමාර්ගයක්ද, 17 වනදා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක්ද සම්මේලනය විසින් කැඳවීය.

වෘත්තීය සමිති 16ක් ඇතුලත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මෙම විරෝධතාවය කැඳවූයේ සෞඛ්‍ය කම්කරුවන් අතරේ වැඩෙන විරෝධය දියකර හැරීමට වුවද, කම්කරුවන්ගේ ඉහල සහභාගීත්වය පෙන්නුම් කරන්නේ මෙම ප්‍රහාර නැවැත්වීමට තමන්ට ඇති දැවෙන උවමනාවයි. සෞඛ්‍ය කම්කරුවන් මෙම ක්‍රියාමාර්ගයට පැමිනියේ ආන්ඩුව විසින් පනවා ඇති රුදුරු 'අත්යාවශ්‍ය සේවා' නීති සහ වැඩ වර්ජන නීති විරෝධී කෙරෙන 'මහජන ආරක්ෂක' රෙගුලාසි මධ්‍යයේ ය.

ආන්ඩුව ඉල්ලීම් වලට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැත. සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අරගලයට පෙර 22 වනදා කම්කරුවන්ගේ කැරලිකාරීත්වය සමනය කිරීමේ අරමුනෙන්, ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙස) සමග සාකච්ඡාවක් පැවැත්වීය. නිල ඇඳුම් දීමනාව තුනෙන් පංගුවකින් ඉහල දැමීම, DAT දීමනාව 10,000 ක් දක්වා වැඩි කිරීම සහ මූලික වැටුපෙන් 1/100 ක රේට්ටුවක් මත අතිකාල සේවා දීමනා ලබා දීම යන ව්‍යාජ පොරොන්දු කිහිපයක් එහිදී ලබා දුනි.

ආන්ඩුව යලිත් වතාවක් දෙදින විරෝධතාවය තුලද පෙන්වමින් සිටින්නේ තමන් අයවැයෙන් කම්කරුවන් මත එල්ල කල ප්‍රහාර ආපසු හැරවීමට නුසූදානම් බවයි. නමුත් වෘත්තීය සමිති අනුයමින් සිටින්නේ යලි යලිත් ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර පිලිවෙතයි.

ශ්‍රේනිවාදීව බෙදී ඇති වෘත්තීය සමිති කම්කරුවන් ඒකාබද්ධ කිරීමට දක්වන සතුරුභාවය ප්‍රකාශයට පත් කරමින් රාසේඑහෙස වැඩ වර්ජනයට සහභාගී නොවීය. අනෙක් අතට විරෝධතාවයට සහභාගී වූ වෘත්තීය සමිති 16 පවා එය ක්‍රියාත්මක කලේ ධනපති ආන්ඩුවට කිසිදු අභියෝගයක් සිදු නොකෙරෙන ආකාරයට අසනීප නිවාඩු ක්‍රියාමාර්ගයකට යමිනි.

ඒ හරහා කම්කරුවන් නිවෙස් තුලට කොටු කෙරුනු අතර කම්කරුවන්ගේ ශක්තිය විදහා දැක්වෙන, අවශේෂ කොටස් අරගලයට ඒකාබද්ධ කෙරෙන විරෝධතා උද්ඝෝශන පැවැත්වීම සීමා කෙරිනි. වැඩ වර්ජනයේ අවසාන දිනය වන බ්‍රහස්පතින්දා දිනයේ පමනක් කොලඹ, මහනුවර ජාතික රෝහල් සහ අනුරාධපුර, මඩකලපුව, රත්නපුර ශික්ෂන රෝහල් තුල සීමිත උද්ඝෝෂන සංවිධානය කර තිබිනි.

සමිතිවල මෙම ප්‍රතිගාමී ස්වභාවයේ මූලය පවතිනුයේ ධනපති රාජ්‍යයට ඒවායේ පවත්නා අභේද්‍ය සම්බන්ධතාව තුලය. වෘත්තීය සමිති, කම්කරු පන්ති‌යට එරෙහිව, ධනපතියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන කාර්මික පොලීසි බවට පත්ව බොහෝ කල් ය.

මෙය ප්‍රකාශයට පත් කරමින්, ඊයේ කොලඹ ජාතික රෝහලේ පැවති විරෝධතාවයේදී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ නායකයෙකු වන සමන් රත්නප්‍රිය සඳහන් කලේ ඔවුන් ආන්ඩුවට දින හයක් කල් දීමට “ලෑස්ති” බවයි. අයවැයෙන් සෞඛ්‍යය සඳහා වියදම් බිලියන 6කින් කප්පාදු කරමින් මෙම ඉල්ලීම් ඉටු කිරීමට තමන් නුසූදානම් බව ආන්ඩුව පෙන්වා තිබියදීත් මෙසේ කල් දීම් ඉඩ ප්‍රස්ථාව සපයන්නේ ධනපති රාජ්‍යයට සිය මර්දනයේ හස්තය ශක්තිමත් කර ගැනීමටයි.

අනෙක් අතට සම්මේලනයේ නායකයෝ මෙය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ගේ සහ සෞඛ්‍ය ඇමතිගේ ප්‍රශ්නයක් බවට සිඳුවීමට උත්සාහ දරති. තවත් නායකයෙකු වන රවී කුමුදේශ් ජනාධිපතිවරයාට ආයාචනා කරමින් “තේරෙන්නෙ නැති දැනෙන්නෙ නැති නිලධාරීන් මේකට පත් කරලා, උද්ධච්ඡ ඇමතිවරු මේකට පත් කරලා අපේ ප්‍රශ්න විසඳන්න බෑ” යනුවෙන් පැවසුවේය. සමිති නායකයන්ගේ මෙම ප්‍රකාශ, කම්කරුවන්ගේ විරුද්ධත්වය ප්‍රහාරයේ සැබෑ මූලයෙන් වෙනතකට හරවයි.

කම්කරුවන් මත එල්ල කෙරෙන ප්‍රහාරයේ මූලය ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය බව වෘත්තීය සමිති දැනුවත්ව වසන් කරයි. ලෝකය පුරා ආන්ඩු, මෙම ගෝලීය ධනේශ්වර අර්බුදයේ බර මහජනතාව මත පටවමින් සිටිති. රාජ්‍ය වියදම් කප්පාදු කිරීම, සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කිරීම, භාන්ඩ මිල සම්බන්ධ සීමා ඉවත දැමීම එහි ප්‍රකාශනයන් ය. එවන් අනාවරනයකට වෘත්තීය සමිති සතුරු වන්නේ, ඉහඳ පනුවන් ලෙස තමන් ද තදින් බැඳී සිටින ධනපති ක්‍රමයටම එරෙහි අරගලයකට එමගින් කම්කරු පංතිය යොමු කෙරෙන බැවිනි.

ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩු වලට එරෙහි දේශපාලන වැඩපිලිවෙලකින් තොරව කම්කරුවන්ට තම ඉල්ලීම් දිනාගැනීම සඳහා අව්‍යාජ අරගලයක් දියත් කල නොහැක. එවන් වැඩපිලිවෙලකට එරෙහිව පිහිටා සිටින වෘත්තීය සමිති ඇතුලු ධනපති සංවිධාන වලින් ස්වාධීනවූ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, කම්කරුවන් අරගලය තම අතට ගත යුත්තේ එබැවිනි.

විවිධ රෝහල් වල සෞඛ්‍ය කම්කරුවෝ වෘත්තීය සමිති වල මෙම නිස්සාර බලපෑම් දැමීමේ ක්‍රියාමාර්ග වලට එරෙහිව ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූහ.

ගම්පොල රෝහලේ හෙදියක් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාවය අවධාරනය කරමින් “කොටසක් විතරක් වර්ජනය කරලා වැඩක් නෑ. සටන් කරනවා නම් හැමෝම එකතු වෙලා සටන් කල යුතුයි” යනුවෙන් සඳහන් කලාය. ඇය වැඩි දුරටත් පැවසුවේ එම වැඩ වර්ජන, නිරවද්‍ය ක්‍රියාමාර්ගයක් මත සංවිධානය කල යුතු බවයි. වෘත්තිය සමිති වල “වැඩ වර්ජන වලින් ඉල්ලීම් දිනා ගන්න බෑ” යන්න තමන්ට වැටහෙන බව ඇය සඳහන් කලාය.

එම රෝහලේම හෙද සේවකයෙකු සඳහන් කලේ ඒකාබද්ධ වීමට ඇති ප්‍රධානම බාධකය වෘත්තීය සමිති බවයි. “ධනපති ක්‍රමය සමග ගැටෙන සටන්” වලට සමිති නොපැමිනෙන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය. වෘත්තීය සමිති වල නිස්සාර ක්‍රියාමාර්ගයන්හි ස්වභාවය පැහැදිලි කරමින් “අවුරුදු 25 කට කලින් මුහුන දුන්න ප්රශ්න තවමත් තියෙනවා, වෘත්තිය සමිති ඒවා විසඳල නෑ” යනුවෙන් ඔහු සඳහන් කලේය.

මහනුවර රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ හෙද සේවකයෙක් සඳහන් කලේ සමිති ඉල්ලා සිටින සොච්චම් වැටුප් වැඩිවීම පවා ලැබුනත් “අද ජීවත් වෙන්න නොහැකි” බවයි. “හොඳින් ජීවත් විය හැකි වැටුප් වැඩිවීමක් හැම කම්කරුවෙකුට ම අවශ්‍ය වෙලා තියෙනවා” යැයි ඔහු පැවසුවේය.

“පාරිභෝගික භාන්ඩ සහ සේවාවන්හි මිල ඉහල යාමට අනුපාතිකව ස්වයංක්‍රීය ලෙස වැටුප්වල ඉහල යාමක් වහාම ලබා දෙනු!” යන ඉල්ලීම සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) ඉදිරියට ගෙන ඇත්තේ එබැවිනි. කෙසේ වෙතත් එවන් ඉල්ලීමක් දිනා ගත හැක්කේ ලාභ ගරන ධනපති ක්‍රමයටම එරෙහි අරගලයකින් පමනකි.

සෞකක්‍රික එවන් අරගලයකට කැඳවුම් කරමින් “සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය මුහුන දෙන අභියෝග ජය ගත හැක්කේ කෙසේද?” යන ශීර්ෂය යටතේ නොවැම්බර් 23 වනදා ප්‍රකාශයක් පල කලේය. කම්කරුවන්ගේ පන්ති ශක්තිය මෙම අරගල තුලට ගොනු කරගැනීම පිනිස ක්‍රියාකාරී කමිටු සඳහා කැඳවුම් කරමින් එය මෙසේ සටහන් කලේය.

“කට්ටිවාදී - ශ්‍රේනිවාදී බෙලහීන 'උද්ඝෝෂන' පරයා ජාතික වශයෙන් පමනක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අප සහෝදර වැඩ කරන ජනතාව සමඟ අපගේම දේශපාලන ක්‍රියා මාර්ගය මත සංවිධානය වීම, එලෙස අපගේ බල සංස්ථා ගොඩ නගා ගැනීමේ පදනමයි.”

දෙදින විරෝධතාවයේද යලිත් වතාවක් සනාථ වී ඇත්තේ කම්කරුවන්ගේ ස්වාධීන බල සංස්ථා ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයයි.

Loading