ඕල්ටන් වතු කලමනාකාරීත්වය කම්කරුවන්ට එරෙහිව ගොනු කල බොරු නඩුව සඳහා තව තවත් චෝදනා සොයති

කටුකැලේ වත්තේ වැඩ වර්ජනයේ යෙදී සිටි කම්කරුවෝ [ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍යය]

අප්-කොට් හි ඕල්ටන් වතුයායේ වතු කම්කරුවන් 22 දෙනෙකුට සහ තරුනයින් දෙදෙනෙකුට එරෙහි නඩුව, ජනවාරි 27 වන දින හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී නැවත වරක් මැයි 11 දක්වා කල් තැබිනි. චුදිත කම්කරුවන් විසින් වත්තේ “පොදු දේපලවලට හානි කිරීම” පිලිබඳ වාර්තාවක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන තෙක් නඩුව කල් දමන ලෙස සමාගමේ නීතීඥයෝ ඉල්ලා සිටි අතර, එය නඩු විභාගයට අත්‍යවශ්‍ය බව අවධාරනය කලහ.

මෙම කම්කරුවන් සහ තරුනයන්, ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) සහාය ලබන සමාගමේ සහ පොලිසියේ කුමන්ත්‍රනයක ගොදුරු බවට පත්ව ඇත. මොවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ, පසුගිය වසරේ පෙබරවාරි මස 17 වැනිදා වතු කලමනාකරුට සහ සහකාර කලමනාකාරවරයාට ශාරීරික පහරදීම් සිදුකල බවට ය. කම්කරුවන්, මෙය සම්පූර්නයෙන්ම අසත්‍ය බව පවසන අතර මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරති.

සීඩබ්ලිව්සී ය ලබාදුන් ලැයිස්තුවකට අනුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එහි සාමාජිකයින්ට එරෙහි මෙම අලජ්ජී ක්‍රියාව පෙන්නුම් කරන්නේ සීඩබ්ලිව්සී ය සමාගමේ සහ රාජ්‍යයේ මෙවලමක් ලෙස ක්‍රියා කරන බවයි.

වතු යායේ ශාඛා ඇති ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) විසින්ද ඒ හා සමාන කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන් නිහඬව දුෂ්ට කුමන්ත්‍රනය අනුමත කරමින් කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසිවක් නොකලහ. රට තුල සහ ජාත්‍යන්තරව ද වතු වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ අනෙකුත් වෘත්තීය සමිති හා සමානව ය.

සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් වත්මන් පාලනයේ රාජ්‍ය අමාත්‍යවරයෙකි. අනෙකුත් වෘත්තීය සමිති නායකයින්ට ද පසුගිය පාලන සමයෙහි අමාත්‍යවරුන් ලෙස කටයුතු කල වාර්තාවක් තිබේ.

පොලීසිය, පසුගිය වසරේ පෙබරවාරි 18 වැනිදා සිට මාර්තු 3 වැනිදා දක්වා, කන්ඩායම් වශයෙන් ‘සැකකරුවන්’ අත්අඩංගුවට ගැනීම ආරම්භ කලේය. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් මාර්තු 10 වනදා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුනි. එදින ඔවුනට ඇප ලබා දුන්නේ දැඩි කොන්දේසි මතයි.

ඔවුන්ට ඇප ලබා දී වසරකට ආසන්න කාලයක් ගත වී ඇත. ඔවුන් තෙවරක් මහේස්ත්‍රාත්වරයා හමුවට කැඳවා තිබුනි. කෙසේ වෙතත්, පොලීසිය ඔවුන්ට එරෙහිව විධිමත් චෝදනා ගොනු කර නොමැත. මෙම ප්‍රමාදය විසින්ම තහවුරු වන්නේ සමාගම සහ පොලිසිය චෝදනා ගොතමින් ඔවුන්ගේ කුමන්ත්‍රන දිගටම කරගෙන යන බව ය.

කම්කරුවන් දැඩි දඬුවම්වලට ලක් කිරීම ඉලක්ක කරගෙන කිසිදු සාක්ෂියකින් තොරව, චුදිතයන් විසින් “මහජන දේපොලට”, එනම් කලමනාකරුගේ බංගලාවට හානි කල බවට චෝදනාවක් ඉදිරිපත් කිරීමට සමාගම සහ පොලිසිය දැන් උත්සාහ කරයි.

ඇබෝට්ස්ලී වත්තේ කම්කරුවෝ රුපියල් දහසේ වැටුප ඉල්ලා 2018 දෙසැම්බර් මාසයේ හැටන් නගරය දක්වා පෙලපාලියකින් යති [ලෝසවෙඅ ඡායාරූපයකි]

පසුගිය වසරේ මාර්තු 22 වැනිදා, ඕල්ටන් වතුයාය පාලනය කල හොරන වැවිලි සමාගම, උසාවි ඉදිරියේ චුදිතයන් ඇතුලුව කම්කරුවන් 38 දෙනෙකු
කිසිදු පරීක්ෂනයකින් තොරව වහාම නෙරපා හරින ලදී. හොරන වැවිලි සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් සමාගමට අයත් වේ. සමාගමේ තීරනයේ අත්තනෝමතික ස්වභාවය පෙන්නුම් කරමින්, මෙම පිරිසෙන් සේවකයින්ගෙන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත්තේ සේවා ලිපියක් පවා නොමැතිව ය.

කලමනාකාරීත්වය විසින් තමා නීතිවිරෝධී ලෙස නෙරපා හැරීමට එරෙහිව කම්කරුවන් තම මුදල් වියදම් කරමින් කම්කරු උසාවිවල නඩු පවරන ලදී. පසුව, කම්කරුවන්ගේ කෝපය වෙනතකට යොමු කිරීම සඳහා වෘත්තීය සමිති ද මේ සම්බන්ධයෙන් නඩු පවරන ලදී. මෙම නඩු ජනවාරි 26 වැනි දින හැටන් කම්කරු විනිශ්චය සභාවේදී විභාගයට ගත් නමුත් පැමිනිලි පාර්ශ්වයේ මීලඟ නඩු විභාගය මාර්තු 29 වැනි දිනටත් අනෙක් නඩු විභාගය මාර්තු 31 දිනටත් කල් තැබිනි.

සේවයෙන් පහ කරන බවට කිසිදු ලිපියක් යොමු නොලද අයට නැවත රැකියා ලබා දෙන ලෙස කම්කරු විනිශ්චය සභාව නියෝග කලේය. ඔවුන්ට රැකියා ප්‍රතික්ෂේප කල කාලය සඳහා වන්දි ගෙවීම ගැන ඔහු සඳහන් කලේ නැත. කෙසේ වෙතත්, සමාගම තවමත් ඔවුන් නැවත සේවයට කැඳවා නැත. ශ්‍රී ලංකාවේ කම්කරු උසාවි සාමාන්‍යයෙන් ගන්නේ සේවකයන්ගේ පැත්ත නොව, සේවා යෝජකයන්ගේ පැත්ත ය.

ඕල්ටන්හි දඩයම ආරම්භ වූයේ, අඩු වැටුප්වලට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරෝධය විසුරුවා හැරීම සඳහා, දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා සීඩබ්ලිව්සී විසින් පසුගිය වසරේ පෙබරවාරි 5 දා කැඳවා තිබූ එක්දින ජාතික වැඩවර්ජනයට ඔවුන් සහභාගී වීමෙන් පසුව ය. මෙම ඉල්ලීම ප්‍රථමයෙන් මතුවූයේ දශකයකට පමන පෙරය. ඇත්ත වශයෙන්ම, යහපත් ජීවිතයක් සඳහා එය ප්‍රමානවත් නොවේ. කම්කරුවන් මෙම ඉල්ලීම මත, එකට පසු තවෙකකට ආකාරයෙන් නොකඩවා අරගලයට පැමිනි නමුත් වෘත්තීය සමිති විසින් ඒවා පාවා දෙන ලදී.

ඕල්ටන්හි කම්කරුවන් වැඩ වර්ජනයට සහභාගී වූ විට, ඔවුන්ගෙන් සමහරෙකුට ශාරීරිකව හිරිහැර කරමින් කලමනාකාරීත්වය ප්‍රකෝප කිරීම් සිදු කලේය. කම්කරුවන් වැඩ වර්ජනය දිගටම කරගෙන ගිය අතර පෙබරවාරි 17 දින ඔවුහු කලමනාකරුගේ බංගලාව ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වූහ. එය කුමන්ත්‍රනයක් ඇවිස්සීම සඳහා සමාගම විසින් භාවිතා කරන ලදී.

ඕල්ටන්හි මර්දනය මගින් පෙන්නුම් කෙරුනේ, සියලු වතුවල වැඩ බර වැඩි කිරීම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර ගැනීම සඳහා නිර්දය ප්‍රහාර මුදා හැරීමට සමාගම් විසින් ගත් නව හැරීමකි. වසංගතයෙන් උග්‍ර වූ අර්බුදය, හාම්පුතුන් විසින් වතු ප්‍රතිව්‍යූහගත කිරීම සීඝ්‍රයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනේ.

අධික ශ්‍රම පිරිවැය නිසා පාඩු විඳින බව පවසන සමාගම්, සූරාකෑම තීව්‍ර කිරීමේ මාධ්‍යයක් ලෙස “ආදායම් බෙදාගැනීමේ” ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඉල්ලා සිටිති. මෙම ක්‍රමයට අනුව තේ පඳුරු දහස් ගනනක් කම්කරුවන් අතර බෙදා හැරේ; පවුල සමඟ වෙහෙසෙන ඔහු හෝ ඇය ඒවා රැකබලා ගත යුතුය; සමාගම යෙදවුම් සහ උපකරන සපයා දෙයි. අස්වනු නෙලීමෙන් පසු සමාගම නිෂ්පාදනය භාර ගනී; සේවායෝජකයාගේ වියදම් සහ ලාභ සඳහා අඩු කිරීමෙන් පසු ඉතිරිය සේවකයාට ඔහුගේ ආදායම ලෙස ලබා දෙනු ඇත.

මෙම ක්‍රමය, අඳගොවි ක්‍රමයට නෑකම් කියන අතර එය ක්‍රියාත්මක කල විට කම්කරුවන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල සහ ඉතිරිව ඇති සුබසාධන ක්‍රියාමාර්ග අහිමි වනු ඇත. මෙම ක්‍රමය මුලින්ම ක්‍රියාත්මක කල වතුවල කම්කරුවෝ ඊට විරුද්ධ වූහ.

අඩු වැටුප්වලට එරෙහිව වතුකරයේ නොසන්සුන්තාව වර්ධනය වෙමින් තිබියදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෛනික වැටුප රුපියල් 1000 ක් ලෙස ගැසට් කලේය. එමගින්, පාලක සභාගයේ හවුල්කරුවෙකු වන සීඩබ්ලිව්සී ද ඇතුලු වෘත්තීය සමිතිවල සහාය ඇතිව රාජපක්ෂ කම්කරුවන් අතර කෝපය වෙනතක හැරවීමට උත්සාහ කලේය.

කෙසේ වෙතත්, සමාගම්, ආන්ඩුවේ නියෝගය ප්‍රතික්ෂේප කල අතර, දෛනික වැටුප රුපියල් 1000 ක් ගෙවීමට නම් සේවකයන්ගේ වැඩ බර විශාල ලෙස වැඩි කරන ලෙස ඉල්ලා සිටියේය. මෙම ප්‍රහාරයට එරෙහිව එක් වත්තකට පසු තවෙකක් ලෙස අරගල මාලාවක් පැන නැගුනි.

ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය පුලුල් ලෙස ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින්, පසුගිය වසරේ මුල් භාගයේ සිට සමාගම් සෑම වත්තකම වැඩ බර වැඩි කිරීමට පටන් ගත්හ.

ආදායම් බෙදාගැනීමේ ක්‍රමය ඕල්ටන් වතුයායේ අර්ධ වශයෙන් හඳුන්වා දුන්නේය. මේ ක්‍රමය යටතේ තේ පඳුරු 2000-3000 ක් කම්කරුවන් අතර බෙදා දෙයි. ඔවුන් වැඩ කල යුත්තේ වෙනත් ස්ථානවල නොව, මෙම ඉඩමේ පමනි.

තනකොල ඉවත් කිරීම ඇතුලු වත්ත පිරිසිදු කිරීමටත්, පවුලේ සියලු දෙනා සමඟ වෙනත් ඕනෑම කටයුත්තකට සහභාගි වීමටත් ඔවුන්ට සිදුවේ. කිලෝග්‍රෑම් 18 ක් නෙලන කම්කරුවාට දෛනික වැටුප රුපියල් 1000 කි. ඉලක්කයට යන්න බැරි අයට තේ දලු කිලෝවකට රුපියල් 40 ක් ලැබේ.

මෙම ක්‍රමය, හොරන වතුයාය යටතේ ෆෙයාර්ලෝන්, ස්ටොක්හෝම්, මනේලු සහ ගවරවෙල ඇතුලු අප්-කොට් හි අනෙකුත් වතුවල ද හඳුන්වා දී ඇත.

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම, වැඩ බර වැඩිවීමට, වැටුප් කැපීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීමට එරෙහිව වතු කම්කරුවන් අතර වැඩෙන විරෝධය මැඩපැවැත්වීම සඳහා වතු කම්කරුවන්ට එරෙහි මර්දනය වැඩි කිරීමේ කොටසකි.

පසුගිය වසරේ සැප්තැම්බර් 29 වැනිදා හොරන වැවිලි සමාගම විසින් පාලනය කරනු ලබන තලවාකැලේ, කටුකැලේ වතුයායේ, පොලිසිය විසින් වර්ජක කම්කරුවන්ට එරෙහිව සිදුකල ප්‍රකෝප කිරීම් මාලාවකින් පසුව කම්කරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුහු වැඩිවන වැඩ බරට එරෙහි සටනක නිරත වී සිටියහ.

අත්අඩංගුවට ගත් අය ඔක්තෝබර් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනු අතර, සෑම දිනකම අවසාන ඉරිදා දිනයේදී පෞද්ගලිකව පොලිස් ස්ථානයට පැමිනීම ඇතුලු දැඩි කොන්දේසි යටතේ ඇප නියම කෙරිනි. ඔවුන් සේවයෙන් පහ කර ඇත.

සියලුම වතු වෘත්තීය සමිති, ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහිව සමාගම් හා ආන්ඩුව විසින් සිදුකරන දඩයම සමග සහයෝගයෙන් කටයුතු කරන අතරේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක් මර්දනයේ වින්දිතයින් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයක් දියත් කල අතර ඕල්ටන් වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (ඒඩබ්ලිව්ඒසී) පිහිටුවීමට මූලිකත්වය ගත්තේය.

සසප සහ ඒඩබ්ලිව්ඒසී ඉල්ලා සිටියේ වින්දිත කම්කරුවන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කරන ලෙසත්, සේවයෙන් පහ කරන ලද සෑම සේවකයෙකුම කොන්දේසි විරහිතව යලි පිහිටුවන ලෙසත් ය.

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහිව බොරු නඩු ඇටවීම සහ ගොදුරු කර ගැනීම පරාජය කල හැක්කේ කම්කරු පන්තිය සක්‍රීයව බලමුලු ගැන්වීමෙන් පමනි. එය කල හැක්කේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සඳහා වන අරගලය මත පදනම්ව වෘත්තීය සමිති බිඳ දැමීමෙන් සහ වතු සහ අනෙකුත් සෑම වැඩකරන ස්ථානයකම කම්කරුවන්ගේම ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් පමනි.

Loading