කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

[මෙය Sri Lankan action committee to hold a public meeting in defence of Julian Assange යන මැයෙන් අද දින පල වූ දැන්වීමේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ, කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක), ව්‍යාජ චෝදනා මත එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ අනතුරේ සිටින විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීමේ ගෝලීය ව්‍යාපාරයේ කොටසක් ලෙස, පෙබරවාරි 24 වන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ (ඉන්දියානු සම්මත) වේලාවෙන් සවස 7 ට ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි.

අසාන්ජ් චෝදනාවට ලක්වූ අපරාධය වූයේ, එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ යුද අපරාධ, මහජනතාවට එරෙහි ඔත්තු බැලීම් සහ රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරව් කරන ලියකියවිලි ප්‍රකාශයට පත් කිරීමයි. ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන අසාන්ජ් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ස්වීඩන් සහ ඕස්ට්‍රේලියානු ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද දරුනු දඩයමකට ගොදුරු වී ඇත.

ජනවාරි මාසයේදී, අසාන්ජ් තමා පිටුවහල් කිරීමේ නඩුවට එරෙහිව එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරන අභියාචනයක අයිතිය දිනා ගත්තද, සම්මානලාභී මාධ්‍යවේදියා බ්‍රිතාන්‍ය රජය විසින් රඳවා තබා ගනු ලැබීමේ පසුගිය වසර තුනේ අත්දැකීම් පෙන්නුම් කරන්නේ අධිකරනය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, අසාන්ජ්ට එරෙහිව එක්සත් රාජධානියේ දෙසැම්බර් 10 වැනි දා දුන් තීන්දුව ඔහුගේ අඛන්ඩ හිරිහැර යුක්ති සහගත කිරීම සඳහා නීතිය නොපිට හැරවීමක් ලෙස හෙලා දුටුවේය. අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කරනු ලැබුවහොත්, ඔහු ඔත්තු බැලීමේ චෝදනාවලට මුහුන දෙනු ඇති අතර එය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හා සමහරවිට මරන දඬුවමට යටත් වනු ඇත.

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ බැල්කනියේ සිට ආධාරකරුවන්ට ආචාර කරයි. [අනුග්‍රහය: ඒපී ඡායාරූප/ෆ්‍රෑන්ක් ඔගස්ටින්, ගොනුව] [AP Photo/Frank Augstein]

යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ප්‍රකෝප කිරීම් සහ න්‍යෂ්ටික ලෝක යුද්ධයක ඉහල යන අන්තරාය මධ්‍යයේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි යුදවාදී සහචරයින්ගේ කුරිරු ස්වභාවය හෙලිදරව් කල අසාන්ජ් නිදහස් කර ගැනීමේ සටන ජාත්‍යන්තර කම්කරු පන්තියට තීරනාත්මක ප්‍රශ්නයකි.

කප්‍රනිආක මෙම රැස්වීම සංවිධානය කර ඇත්තේ ලෝසවෙඅ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ගෙන යන මූලධර්මාත්මක අරගලයට පුර්න සහයෝගය ලබා දෙමිනි. අසාන්ජ්ගේ නිදහස සහ ඔහුගේ පීඩාවේ අවසානය රඳා පවතින්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම මත ය.

කප්‍රනිආක හි අරමුන වන්නේ අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී පිලිවෙත් මත ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද කම්කරුවන් සහ පීඩිතයන් බලමුලු ගැන්වීමයි. ඉන්දියාවේ මෝදි ආන්ඩුව මෙන්, ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ද, කම්කරු පන්ති අරගල මර්දනය කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දෙමින්, දැඩි ආඥාදායක ප්‍රතිපත්ති අනුගමනය කරයි. දින දෙකකට පෙර, ජනාධිපති රාජපක්ෂ, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සෘජු ප්‍රහාරයක් එල්ල කරමින්, සෞඛ්‍ය හා විදුලිබල අංශයේ කම්කරුවන්ගේ අරගල තහනම් කරමින් අත්‍යාවශ්‍ය සේවා නියෝග පැනවීය.

අසාන්ජ් ආරක්ෂා කිරීමේ සටන ධනේශ්වර ආන්ඩු විසින් එල්ල කරන මෙම ප්‍රහාරයන්ට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැක. අපි කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම රැස්වීමට සක්‍රීයව සහභාගී වන ලෙසත් ජූලියන් අසාන්ජ් නිදහස් කර සියලු ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ සටනට සම්බන්ධ වන ලෙසත්ය. පහත සබැඳියෙන් රැස්වීම සඳහා ලියාපදිංචි වන්න.

Meeting Registration - Zoom

Loading