ජනාධිපතිවරයා සෞඛ්‍ය හා විදුලිබල කම්කරුවන්ට එරෙහි ව අත්‍යවශ්‍ය සේවා යටතේ වැඩ වර්ජන තහනමක් පනවයි

සෞඛ්‍යය හා විදුලිබල සැපයුම් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කරමින් සහ එම අංශවල කම්කරුවන් වැඩ වර්ජන කිරීම තහනම් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිකුරාදා රාත්‍රීයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කලේ ය.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත් (ඊපීඑස්ඒ) ප්‍රකාශනයේ අසන්න එල්ලය වන්නේ, හෙදියන්, අතුරු වෛද්‍ය සේවකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂන ශිල්පීන් සහ ඖෂධ කම්කරුවන් ඇතුලු 65,000ට අධික සෞඛ්‍ය කම්කරුවන් නියැලී සිටින අඛන්ඩ වැඩ වර්ජනය මැඩීම යි. පසුගිය සඳුදා (පෙබරවාරි 7) ආරම්භ කරන ලද මෙම ජාතික පරිමාන වැඩ වර්ජනය, වෘත්තීය සමිති 18ක සන්ධානයක් වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය (සෞවෘස) විසින් කැඳවන ලදී.

2022 පෙබරවාරි 11 නුවරඑලියේ පාගමනක යෙදෙන සෞඛ්‍ය සේවකයෝ [ෆේස්බුක්]

විදුලිබල අංශය පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව ගන්නා පියවරයන්ට විරෝධය පල කරමින් සිටින 26,000ක් පමන වන ලංකා විදුලිබල මන්ඩලයේ ශ්‍රම බලකාය ද මෙම නියෝගයේ ඉලක්කයකි. රජයට අයත් කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක්, එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට විකුනා දැමීමට කොලඹ ආන්ඩුව තීන්දු කොට ඇත.

ජනාධිපතිගේ නියෝගය පනවන ලද්දේ ජාතික පරිමාන වැඩ වර්ජනයෙහි නිරත වී සිටින හෙදහෙදියන්ට එරෙහි ව උසාවිය පැනවූ තහනම් නියෝගය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කල තතු තුල ය. කොලඹ දිස්ත්‍රික් උසාවිය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) නායක සමන් රත්නප්‍රියට බ්‍රහස්පතින්දා නියෝග කලේ, ඔහුගේ සමිතිය වැඩ වර්ජනයට සහභාගි වීම වහා ම “අත්හිටුවන” ලෙස යි. එහෙත් මෙම නියෝගය ප්‍රතික්ෂේප කල හෙදහෙදියන් දහස් ගනනක්, රටෙහි විවිධ ප්‍රදේශ තුල සිකුරාදා හා සෙනසුරාදා දිනවලද තම සගයන් සමග අඛන්ඩ ව අරගලයේ නිරත වූ හ.

සෞඛ්‍යය හා විදුලිය “ප්‍රජාවේ ජීවිතයට අත්‍යවශ්‍ය” බවත්, “ඒවා බාධනය හෝ නතර කර දැමීමේ හැකියාවක්” පවතින බවත්, රාජපක්ෂගේ ප්‍රකාශය කියා සිටියේ ය. “රෝහල්, හෙද නිවාස, බෙහෙත්ශාලා සහ අනෙකුත් ඒ හා සමාන ආයතන තුල සිටින රෝගීන් භාරගැනීම, රැකබලා ගැනීම, සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීම සහ එම ආයතන නඩත්තු කරගෙන යාමට අවශ්‍ය හෝ උවමනා කරන ඕනෑ ම ආකාරයක සේවාවන්, වැඩ හෝ ශ්‍රමය පවත්වාගෙන යා යුතුය” යි, හෙදහෙදියන් විශේෂයෙන් ඉලක්ක කරගනිමින් ඔහු සඳහන් කලේ ය.

ඊපීඑස්ඒ පනතේ නීති යටතේ, සේවයට වාර්තා නො කරන මෙහි සඳහන් කරනු ලබන ආයතනවලට අයත් ඕනෑ ම සේවකයෙකු, “මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වැරදිකරු කොට” වසර දෙකේ සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවමකට” හා/හෝ රුපියල් 2,000 සිට 5,000 දක්වා වන දඩයකට හෝ ඒ දෙකට ම යටත් කරනු ලැබිය හැකි ය. මෙලෙස වැරදිකාරී වන අයගේ “චංචල හෝ නිශ්චල දේපොල” රාජසන්තක කොට, ඔහුගේ හෝ ඇයගේ නම “ඕනෑ ම වෘත්තීය හෝ රැකියා ෙල්ඛනයකින් ඉවත් කරනු ලැබිය” හැකි ය.

“කායික ක්‍රියාවක් හෝ කිසිදු ආකාරයක කතාවක් හෝ ලේඛනයක්” හරහා “පුද්ගලයෙක් වැඩට යාමෙන් වැලැක්වීම පොලඹවන, ප්‍රේරනය හෝ දිරිමත් කිරීම” ද වරදකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඉලක්කගත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන අයට ද ඒ හා සමාන ව දඬුවම් කරනු ලැබිය හැක.

පසුගිය මැයි මාසයේ දී, සංවර්ධන නිලධාරීන්ගේ වැඩ වර්ජනයක් බිඳීමට, රාජපක්ෂ ආන්ඩුව ඊපීඑස්ඒ යොදාගත්තේ ය. ජුනි මාසයේ දී, සෞඛ්‍යය, වරාය, විදුලිබල, ඛනිජ තෙල්, තැපැල්, බැංකු හා සමහර රාජ්‍ය පරිපාලන කාර්යාල ඇතුලු මූලික රාජ්‍ය ආයතන ආවරනය වන පරිදි මෙම නීතිය විස්තීර්න කරන ලද්දේ, එම අංශවල වැඩ වර්ජන හා විරෝධතාවන් මතුවීමට ප්‍රතිචාර වශයෙනි.

නීතිය මාස කිහිපයක් දක්වා දීර්ඝ කරනු ලැබුව ද ආන්ඩුව එය ක්ෂනික ව ක්‍රියාත්මක කිරීමට කටයුතු නො කලේ, කම්කරුවන්ගේ ප්‍රතිප්‍රහාරයක් පිලිබඳ භීතියෙනි. මෙම අරගල පාවාදුන් වෘත්තීය සමිතිවල සහයෝගය සහිත ව, ආන්ඩුව සිය නියෝගය ඉදිරියට ගෙනයාම නතර කලේය. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඇතුලු කිසිදු වෘත්තීය සමිතියක්, මෙම මර්දනීය නීතිය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ නැත.

රාජපක්ෂගේ නවතම නියෝගයෙහි ඉලක්කය වන්නේ, මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සම්පාදනය කිරීම නොව, කෝවිඩ්-19 වසංගතය විසින් තියුනු ලෙස ගැඹුරු කර ඇති රට තුල වැඩෙන ආර්ථික අර්බුදය මධ්‍යයේ, යහපත් වැටුප් හා සේවා කොන්දේසි සඳහා කම්කරුවන් ඉදිරිපත් කරන යුක්ති සහගත ඉල්ලීම් මර්දනය කිරීම යි.

ජාත්‍යන්තරව අනකුත් පාලක පන්තීන් මෙන් ම, රාජපක්ෂ ආන්ඩුව ද කෝවිඩ්-19ට ප්‍රතිචාර දක්වා ඇත්තේ, මානව ජීවිතවලට වඩා මහ ව්‍යාපාරිකයේ ලාභවලට ප්‍රමුඛත්වය දෙමිනි. දැනට ලංකාව තුල ඔමික්‍රෝන් ප්‍රභේදය සිසාරා යද්දී, අතශයින් බෝවනසුලු මෙම ප්‍රභේදයෙහි පැතිරීම වැලැක්වීමට අවශ්‍ය මහජන සෞඛ්‍ය පියවරයන්ට වලකැපීම හෝ ඒවා ඉවත් කිරීම ආන්ඩුව විසින් සිදුකරමින් සිටී. පරීක්ෂන හා රෝගීන් හඳුනාගැනීම අවමයකට අඩු කරනු ලැබෙද්දී, ආසාදිත යයි සොයාගනු ලබන්නන් ව “නිවෙස් තුල නිරෝධායනයට” යොමු කරනු ලැබේ.

වසංගතය ලංකාවේ ධනවාදයට මංමුලා සහගත ආර්ථික අර්බුදයක් නිර්මානය කර ඇත. රට විදෙස් නය පැහැර හැරීමේ අද්දර සිටින අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පලල් හිඟයන් හේතුවෙන් මහජනයා කුසගින්නට ඇද වැටෙන තතු තුල ගැඹුරු වන සමාජ කැලඹිල්ලකට මුහුන දෙයි. ඉන්දියාවෙන් ආහාර හා ඖෂධ ක්ෂනික ව ආනයනය කිරීම පිනිස ඩොලර් බිලියන 1ක නය ගනුදෙනුවක් අත්සන් තැබීම සඳහා, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරියේ එන සති දෙක තුල සැලසුම් කර ඇති ඉන්දීය සංචාරය පෙන්නුම් කරන්නේ මෙම අර්බුදයේ දරුනු මට්ටම යි.

මෙම ආර්ථික අර්බුදයෙහි බර මහජනයා පිට පැටවීමට රාජපක්ෂ ආන්ඩුව අධිෂ්ඨානවත් ව සිටී. සෞඛ්‍ය කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දිය නො හැකි බව ඊයේ පැවති උත්සවයක දී ප්‍රකාශ කල සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීම එකහෙලා ප්‍රතික්ෂේප කලේ ය.

සෞඛ්‍ය කම්කරුවන් වර්ජන තහනම ප්‍රතික්ෂේප කිරීම හා ඔවුන් නියැලී සිටින කාර්මික ක්‍රියාව හේතුවෙන් රාජපක්ෂ පාලනය සැලී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මන්ඩලය වැටුප් හා කොන්දේසි අරබයා වැඩ වැරූ අතර, ඊට පසුදින දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලික අංශ කම්කරුවන් සිය ගනනක් සේවක අර්ථසාධක අරමුදලට වටිනාකම් මත එකතු කල බද්දක් පැනවීමට ආන්ඩුව ගත් තීන්දුවට විරුද්ධ ව විරෝධතා දැක්වූ හ.

හෙදහෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය කම්කරුවන් සටන් කිරීමට ඔවුන්ට පවතින අධිෂ්ඨානය ප්‍රදර්ශනය කරද්දී, රහෙනිස නායකත්වය උසාවි තහනම් නියෝගයට හා රාජපක්ෂගේ ඊපීඑස්ඒ විධානයන්ට ප්‍රතිචාර දැක්වූයේ, තම සමිතිය වහා ම වැඩ වර්ජනයෙන් ඉවත් වන බව සෙනසුරාදා නිවේදනය කරමිනි.

තම සමිතිය “අධිකරනයට ගරු කරන” බවත්, උසාවි තහනම් නියෝගය ඉවත් කරගත් වහා ම යලිත් අරගලයට සම්බන්ධ වන බවත්, රහෙනිස සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කලේ ය. තම සමිතිය “ජාත්‍යන්තර අධිකරනයේ” දී ඊපීඑස්ඒ පනතට අභියෝග කරන බව ඔහු ඊයේ කීවේ ය.

අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයේ දිගට ම නියැලෙනු ඇති බවත්, සාකච්ඡා හරහා සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම් ආන්ඩුවට විසඳිය හැකි බවත්, සෞවෘස නායක රවී කුමුදේශ් වෙනත් මාධ්‍ය හමුවක දී කියා සිටියේ ය.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ නායක රවී කුමුදේශ් [ෆේස්බුක්]

මෙම ගැටලු ලංකාව ඇතුලත විසඳිය නො හැකි නම්, තමන් “ජාත්‍යන්තරයට” යන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තීය සමිතියේ නායක උපුල් රෝහන ප්‍රකාශ කලේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ) ගැන අදහස් කරමිනි.

පසුගිය වසෙර් සෞඛ්‍ය කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතාවල ආරම්භයේ සිට ම, සෞවෘස හා එයට අයත් වෘත්තීය සමිති තොරොම්බල් කර ඇත්තේ, කම්කරුවන්ගේ ඉල්ලීම් ලබාදීම පිනිස පීඩනය යොදා කොලඹ පාලනය නම්මා ගත හැකි ය යන දේශපාලන මනඃකල්පිතය යි. අරටුවට ම සාවද්‍ය වන මෙම කියාපෑම් සැලසුම් කෙරුනේ, ආන්ඩුවේ තීව්‍ර වන ප්‍රහාර මධ්‍යයේ කම්කරුවන් නිරායුද කොට දේශපාලනික ව උගුලට හසු කිරීමට යි.

“ජාත්‍යන්තරයට”-එනම්, මානව හිමිකම් සංවිධාන හා අයිඑල්ඕව වෙතට- ගොස් වැඩ වර්ජනය කිරීමේ අයිතිය ආරක්ෂා කරන බවට වෘත්තීය සමිති කරන අවධාරනය, තවතවත් මායාවන් පතුරුවා හැරීමකි. මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට සේවය කරන මෙම ජාත්‍යන්තර ආයතන, ජාත්‍යන්තර කම්කරු පන්තියට අත්‍යන්තයෙන් හතුරු ය. සෞඛ්‍ය හා විදුලිබල කම්කරුවන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ආරක්ෂා කරගත හැක්කේ ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට හැරීමෙන් පමනි.

මෙම ඉදිරි දර්ශනයට බලගතු ලෙස විරුද්ධ වන වෘත්තීය සමිති, සෞඛ්‍ය කම්කරු වැඩ වර්ජනය නවතා දැමීම සඳහා තිරයෙන් පිටුපස සිට මංමුලා සහගත ලෙස ක්‍රියා කරමින් සිටිති. ආන්ඩුවට ගැති රාජ්‍ය සේවා හෙද සංගමය සහ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සමිතිය, වර්ජන ක්‍රියාමාර්ගයට විරුද්ධ වී දිගට ම එය කරගෙන යයි. ජනාධිපති රාජපක්ෂ සෞඛ්‍ය කම්කරුවන්ට එරෙහි ව අත්‍යවශ්‍ය සේවා නීති යොදාගැනීම, ලංකාවේ එකදු වෘත්තීය සමිතියක් විසින් වත් හෙලා දැක නැත.

2022 පෙබරවාරි 13 මහනුවර නගරය වෙත පෙලපාලියකින් යන මහනුවර රෝහලේ සෞඛ්‍ය සේවකයෝ [ලෝසවෙඅ]

රාජපක්ෂ ආන්ඩුව සමග පන්ති එකමුතුව පෙන්නුම් කරමින් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජවිපෙ හා දෙමල ජාතික සන්ධානය ඇතුලු විපක්ෂයේ පාර්ලිමේන්තු පක්ෂ, ආන්ඩුවේ ක්‍රියාව හමුවේ මුනිවත රකිති. ආන්ඩුව තුල සිටියේ වේවා නැති වේවා, මෙම පක්ෂ එක්කෝ කම්කරුවන්ට විරුද්ධ ව ඊපීඑස්ඒ පියවරයන් යොදාගෙන ඇත, නැතහොත් ඒවා ක්‍රියාත්මක කිරීමට සහයෝගය දී ඇත.

ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, විෂඝෝර ඊපීඑස්ඒ නීති වහා ම ඉවත් කරගන්නා ලෙස බල කරන අතරම, සියලු සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට හා ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර පරාජය කිරීමට කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලුගන්වන ලෙස, කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

රාජපක්ෂ ආන්ඩුවේ නවතම ප්‍රහාරය සහ වෘත්තීය සමිති එයට නිවට ලෙස යටත් වීම පෙන්නුම් කරන්නේ, තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් ආරක්ෂා කරගැනීමට කම්කරුවන් ස්වාධීන ව සංවිධානය වීමේ හදිසිභාවය හා අවශ්‍යතාව යි. සමස්ත වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන් ස්වාධීන ව, සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග සන්ධානගත, සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සඳහා සටන් වැදීම පිනිස ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය කරයි.

Loading