ශ්‍රී ලංකාවේ හෙද හෙදියන් උසාවි තහනම නොතකා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සමඟ අඛන්ඩව වැඩ වර්ජනයේ

[මෙය Sri Lankan nurses defy court ban and remain on indefinite strike with other health workers මැයෙන් 2022 පෙබරවාරි 12 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

බ්‍රහස්පතින්දා සවස කොලඹ දිස්ත්‍රික් උසාවිය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිසං) සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව වාරන නියෝගයක් නිකුත් කරමින්, සෞඛ්‍ය සේවකයින් දහස් ගනනක් විසින් ගෙන යන අඛන්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගය තුල වෘත්තීය සමිතියේ මැදිහත්වීම වහාම 'අත්හිටුවීමට' නියෝග කලේය. එම නියෝගය පිලිබඳ අවසන් තීරනය පෙබරවාරි 24 වැනිදා නිකුත් කිරීමට නියමිත අතර එදිනට අධිකරනයේ පෙනී සිටින ලෙස රත්නප්‍රියට අධිකරනය දැනුම් දී ඇත.

සාමාජිකයින් 20,000 ක් පමන සිටින රහෙනිසං, සඳුදා ආරම්භ වූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ ජාතික වැඩ වර්ජනයට සම්බන්ධ වෘත්තීය සමිති 18 න් එකකි. හෙද හෙදියන්, පරිපූරක වෛද්‍ය සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂනවේදීන් සහ ඖෂධවේදීන් ඇතුලු සෞඛ්‍ය කම්කරුවන් 65,000 කට අධික පිරිසක් වැඩ වර්ජනයේ නිරතව සිටිති.

උතුරු පලාත් සෞඛ්‍ය සේවකයින් 2021 දෙසැම්බර් 30 දින යාපනයේ වැඩ වර්ජනයක නිරත වෙමින් [ලෝසවෙඅ මාධ්‍ය]

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයට (සෞවෘස) මෙම ක්‍රියාමාර්ගය කැඳවීමට බල කෙරුනේ අඩු වැටුප් හා පිරිහෙන කොන්දේසි සම්බන්ධයෙන් එහි සාමාජිකයින්ගේ වැඩෙන විරෝධය මධ්‍යයේ ය. වර්ජකයින් ඉල්ලා සිටින්නේ වැටුප් විෂමතා නිවැරදි කිරීම, ප්‍රවාහන සහ හදිසි රාජකාරි ඇමතුම් දීමනාව රුපියල් 3,000 සිට 10,000 දක්වා ඉහල දැමීම, අතිකාල ගාස්තු වැඩි කිරීම සහ උසස්වීම් ක්‍රියා පටිපාටි වැඩි දියුනු කිරීමයි.

උසාවිය හෙද හෙදියන් වෙන් කර පහර ඒල්ල කර ඇතත්, වැඩවර්ජන තහනමේ අරමුන සියලු සෞඛ්‍ය සේවකයින්ගේ කාර්මික ක්‍රියාමාර්ග බිඳ දැමීමයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවකයින් උසාවි නියෝගය කඩ කරමින් සිටින්නේ ඔවුන්ගේ දිගුකාලීන ඉල්ලීම් දිනා ගැනීමේ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කරමිනි.

ඊයේ (11) අනුරාධපුර, හම්බන්තොට සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවකයින් දහස් ගනනක් උද්ඝෝෂන කලහ. කුරුනෑගල, මාතර, බදුල්ල, වවුනියාව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද එවැනිම පිරිසක් බ්‍රහස්පතින්දා විරෝධතා දැක්වූහ.

වැඩවර්ජන අත්හිටුවීමේ නියෝගයක් සඳහා ඉල්ලීම ශ්‍රී ලංකා නීතිපති (ඒජී) විසින් කරන ලදී. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරු උසාවියට පැවසුවේ “වැඩවර්ජනය හේතුවෙන් රෝගී සත්කාරවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති” බවයි.

රජයේ ඉහලම තලයේ නියෝගයක් නොමැතිව නීතිපතිවරයාගේ මැදිහත්වීම සිදු නොවනු ඇත. එය සිදුවූයේ, බදාදා අනුරාධපුරයේ පැවති ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) මහජන රැලියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වර්ජනය හෙලා දැකීමෙන් පසුවය.

“විවිධ දේශපාලන බලවේගවල බලපෑම” යටතේ රාජ්‍ය සේවකයන් වැඩ වර්ජනවලට යොමු වන බව ප්‍රකාශ කල රාජපක්ෂ මෙසේද පැවසීය: “ජනතාවට සහ රටට සේවය කිරීමට රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් ඇත.”

'ජනතාව' පිලිබඳ රාජපක්ෂගේ උත්සුකයන් ව්‍යාජ ය. ඔහුගේ ආන්ඩුව, කොවිඩ්-19 මැඩපැවැත්වීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අවසන් කර ඇති අතර ජනගහනය බහුජන ආසාදන හා මරනවලට පත් කිරීමට කොන්දේසි සකසයි. එය, කොවිඩ්-19 ගෝලීය වසංගතය මගින් නරක අතට හැරෙන අර්බුදයේ බර කම්කරුවන් සහ දුප්පතුන් මත පැටවීමට අධිෂ්ඨාන කර ඇත.

ආන්ඩුවේ සමාජ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තියේ අනෙකුත් කොටස් දිරිමත් කරනු ඇතැයි යන බියෙන්, සෞඛ්‍ය සේවකයින්ගේ කාර්මික ක්‍රියාමාර්ගය මර්දනය කිරීමට කොලඹ ආන්ඩුව මංමුලා සහගතව ක්‍රියා කරයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය, දුම්‍රිය, විදුලිය, වරාය, ඛනිජ තෙල් හා වතු කම්කරුවන් සම්බන්ධ කර ගනිමින් පසුගිය වසරේ දිවයින පුරා වැඩ වර්ජන හා අරගල පුපුරා ගියේය. වැටුප් වැඩිවීමක් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් 26,000 ක් පමන එක්දින ජාතික විරෝධතාවක් ඊයේ පැවැත්වීය.

2022 පෙබරවාරි 10 වැනි දින යාපන විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයින්ගේ වැඩ වර්ජනයේ විරෝධතාවයක් ​[ලෝසවෙඅ මාධ්‍ය]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සෞඛ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනයට සහ අනෙකුත් කාර්මික ක්‍රියාමාර්ගවලට ඇති අයිතියට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරය හෙලා දකී. ආන්ඩුවේ මර්දනකාරී නෛතික පියවරයන්ට විරුද්ධ වන ලෙසත් සියලුම සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට බලමුලු ගැන්වෙන ලෙසත් අපි සමස්ත කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිමු. පරදුවට තබා ඇත්තේ සිය ජීවන හා සමාජ කොන්දේසි ආරක්ෂා කර ගැනීමට සියලු කම්කරුවන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි.

ආන්ඩුවට පක්ෂපාතී රාජ්‍ය සේවා හෙද සංගමය (රාසේහෙසං) සහ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමය (සලංසෞසේසං) වැඩවර්ජනයට හොරිකඩකම් කරයි. මෙය ආන්ඩුවේ හස්තය ශක්තිමත් කර ඇති අතර එහි මර්දනකාරී පියවරයන්ට මග විවර කර ඇත. කෙසේ වෙතත්, රාසේහෙසං සහ සලංසෞසේසංට අයත් බොහෝ සාමාජිකයින් මෑත දිනවල කාර්මික ක්‍රියාමාර්ගයට සම්බන්ධ වීමට පටන් ගෙන ඇති අතර තම වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනය බිඳ දැමීමට දැරෙන තැත හෙලා දැක ඇත.

පසුගිය වසරේ, සෞවෘස වත්මන් ඉල්ලීම් මත සීමිත වැඩවර්ජන 10 ක් පැවැත්වීය. ජනාධිපති රාජපක්ෂගේ සහ ඔහුගේ සෞඛ්‍ය ඇමතිගේ හිස් පොරොන්දු මත වෘත්තීය සමිති විසින් මෙම අරගල නවතා දමා පාවා දෙන ලදී.

සෞඛ්‍ය සේවකයින් වැඩවර්ජනයේ යෙදී සිටින අතර, සෞවෘස උසාවි නියෝගයෙන් පසු වර්ජනය අත්හැරීමට කාලය ගනන් කරමින් සිටියි. ඊයේ උදෑසන රාහෙනිසං මුහුනුපොත (GNOA Facebook) වාචාල ලෙස මෙසේ ප්‍රකාශ කලේය: 'එක් වාරන නියෝගයක් නොව එවැනි 10 ක් ගෙන ආවත්, මෙම සන්ධානයේ 65,000 කට වැඩි නිලධාරීන් අරගලය දිගටම ගෙන යනු ඇත.'

ඊයේ සවස රත්නප්‍රිය මාධ්‍ය වෙත පැවසුවේ 'වාරන නියෝගය ලැබුනු වහාම සංගමයේ විධායක කමිටුව රැස්වීමක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කරන' බවයි. සෞවෘස සභාපති රවී කුමුදේශ් පැවසුවේ, “කිසිදු නියෝගයක් නිකුත් කිරීමක් ගැන අපි දන්නේ නැහැ. නිකුත් කරතිබේ නම්, අපි එවැනි දේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්නෙමු' යනුවෙනි.

තම සාමාජිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සහ ආන්ඩුවේ නවතම ප්‍රහාරයට එරෙහිව දේශපාලන අරගලයක් ගෙන යාමට කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරීමට සෞවෘස ට කිසිදු අදහසක් නැත. ජාතික රාජ්‍යයට බැඳී සිටිමින්, කම්කරුවන් බලමුලු ගැන්වීමක් ආන්ඩුව හා ධනේශ්වර පන්තිය සමග සෘජු ගැටුමක් ඇති කරනු ඇතැයි සියලු වෘත්තීය සමිති බිය වෙති.

මේ සතියේ, සෞවෘස සභාපති කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට ප්‍රසිද්ධියේ ආයාචනා කලේ, වෘත්තීය සමිති සන්ධානයට වැඩවර්ජනය නතර කිරීමට හැකි වන පරිදි වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් “පොරොන්දුවක්” දෙන ලෙස ය.

සැලකිය යුතු කරුනක් නම්, ශ්‍රී ලංකාවේ එකදු වෘත්තීය සමිතියක්වත් සෞඛ්‍ය සේවකයින්ට එල්ල වූ ප්‍රහාරය හෙලා දැක හෝ ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් නොවීමයි. මෙම නිහඩතාවයෙන් ශක්තිමත් වූ ආන්ඩුව සිය ප්‍රහාරය තීව්‍ර කලේය.

ඊයේ සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ල වර්ජකයින් හෙලා දුටුවේ, “වෘත්තීය සමිති කාරයින්ට, තියුනු ලෙස ගොඩනගාගත් හා උපාමාරු දැමිය හැකි දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා හොඳින් පදනම් වූ හේතු සහ සාකච්ඡා ඉවත දැමීමේ පුරුද්දක්” ඇති බව ප්‍රකාශ කරමිනි.

වරාය සහ නාවික කටයුතු පිලිබඳ අමාත්‍ය රෝහිත අබේවර්ධන පාර්ලිමේන්තුවේදී වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින්ට පහර දෙමින් මෙසේ ප්‍රකාශ කලේය: “අත්‍යවශ්‍ය සේවාවලට අදාල අංශවල වැඩ වර්ජන මැඩපැවැත්වීමට නීති සම්පාදනය කල යුතුයි. බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා.” වැඩ වර්ජන විරෝධී නීති හඳුන්වා දෙන ලෙස ඔහු අධිකරන ඇමති අලි සබ්‍රිගෙන් ඉල්ලා සිටියේය. ප්‍රධාන ආයතනවල වැඩ වර්ජන තහනම් කරන ලෙස සබ්‍රි පසුගිය මාසයේ ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍ය, ආන්ඩුවේ තර්ජනවලට පිටුබලය දෙමින්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව මිය ගිය මිනිසෙක් සහ දරුවෙකු පිලිබඳ කථා සහ දුක් විඳින රෝගීන්ගේ ඡායාරූප සමඟින් වර්ජකයන්ට එරෙහිව දුෂ්ට ප්‍රචාර ගෙන යමින් සිටී.

වර්ජකයන්ට පොලු මුගුරුවලින් පහර දිය යුතු යැයි ආන්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි උපුටා දක්වමින් දිනපතා-සිංහල පුවත්පතක් වන දිවයිනේ උමතු සහගත කතුවැකියක් සඳහන් කලේය. “මේ රට බහුවිධ අර්බුදයකට මුහුන දී සිටී... මහජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවන් කඩාකප්පල් කරන වැඩ වර්ජනවලට අපි විරුද්ධ වෙමු... සෞඛ්‍ය සේවකයින් මිනිසුන්ගේ මිනී වලවල් හාරමින් සිටිති. ජනතාව කුපිත වුවහොත් සෞඛ්‍ය සේවකයින්වම එම මිනීවලවලට දමනු ඇත,” පුවත්පත ප්‍රකාශ කලේය.

මිනිස් ජීවිතවලට ඉදිරියෙන් ලාභය තබා, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වලට වල කපා, ආර්ථිකය යලි විවෘත කරමින් වසංගත මරන සාමාන්‍යකරනය කරන රාජපක්ෂ ආන්ඩුවේ, “වසංගතය විදාරනය වුනාවේ” කොරෝනා වෛරස් ප්‍රතිපත්තිවලට මුලුමනින්ම සහය දෙන මෙම මාධ්‍ය ආයතනවල අශික්ෂිත ප්‍රචාරයන් කම්කරුවන් හෙලා දැකිය යුතුය.

සෞඛ්‍ය කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාකාරකම් උසාවිය මගින් තහනම් කිරීමෙන් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ පාලනය සමස්ත කම්කරු පන්තිය සමග සෘජු ගැටුමකට ගමන් කරමින් සිටින බවයි. මංමුලා සහගත ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ආන්ඩුවට, ලොව පුරා සිටින එහි සගයන් මෙන්, කම්කරු පන්තියේ කිසිදු ක්‍රියාවක් ඉවසා සිටිය නොහැක.

රාජපක්ෂ ආන්ඩුව සහ එහි මහා ව්‍යාපාරික ප්‍රතිපත්ති පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ දේශපාලන හා කාර්මික ශක්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවය, එය යලිත් වරක් තියුනු ලෙස ඉදිරිපත් කරයි.

කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සෑම සේවා ස්ථානයකම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, ශ්‍රී ලංකාව පුරා සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය සමග ඔවුන්ගේ එකමුතුකම ගොඩනගා ගත යුතුය. මෙම අරගලය සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන අරගලය මත පදනම් විය යුතුය. කම්කරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයන් සමාජවාදී සමානතා පක්ෂයට බැඳී මෙම වැඩපිලිවෙල සඳහා සටන් කල යුතුය.

Loading