ජුලියන් අසාන්ජ් "බ්‍රිතාන්‍යයේ ග්වොන්තනාමෝ බොක්ක" ලෙස නම් ලද බෙල්මාර්ෂ් සිපිරි ගෙයි දින දහසක් ගෙවයි

[මෙය Julian Assange passes one thousand days in Belmarsh Prison, dubbed “Britain’s Guantanamo Bay” යන මැයෙන් 2022 ජනවාරි 04 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

බ්‍රිතාන්‍යයේ උපරිම ආරක්ෂාව යොදා ඇති බෙල්මාර්ෂ් සිර ගෙදර තුල අඛන්ඩව සිර ගත කර සිටින ජුලියන් අසාන්ජ් අඛන්ඩව ඒ තුල දින දහසක් රැඳී සිටීමේ කුරිරු මං සලකුන ජනවාරි 5 වැනි දා සනිටුහන් කෙරේ. මෙම කාලය තුල විකිලීක්ස්හි මෙම ප්‍රකාශකයා හා මාධ්‍යවේදියා ලන්ඩනයේ මුඩුම පර්යන්තයක පිහිටි වින්ඩ්ස්වෙප්ට් නිම්නයේ ඇති අනතුරක පූර්ව නිමිති හඟවන සිය සිර කුටියේ බිත්තිවලින් පිටතට පමුනුවා ඇත්තේ, සිය ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික අයිතිවාසිකම් පාගා දමා ඇති බ්‍රිතාන්‍ය අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට පමනි.

සති 50 ක් - නැතහොත් දින 350 ක් - පුරා අසාන්ජ් ඇප නියෝග යටතේ රඳවා ගෙන සිටිනු ලැබූයේ 2012 තරම් ඈත කාලයක කලැයි ව්‍යාජ ලෙස ගොතන ලද වරදකට චෝදනා කරමිනි. දේශපාලන රැකවරන සඳහා අසාන්ජ් විසින් ඉදිරිපත් කොට තුබූ අයැදුම් පත එක්සත් ජාතීන් විසින් අනුමත කොට පිලිගෙන තිබුනු බැව් සැලැකිල්ලට ගත් විට, මෙම චෝදනා මුලුමනින්ම නීත්‍යානුකූල නොවූ ඒවා විය. ඇප නියෝග කල් ඉකුත්ව ගිය තැන් පටන් විකිලීක්ස් ප්‍රකාශකයා කිසිදු අපරාධ චෝදනාවකින් තොරව රිමාන්ඩ් භාරයේ රඳවා තබා ගෙන ඇත.

ඔහුගේ දැනට පවතින හා අනිශ්චිත රඳවා ගැනීම හුදෙක්ම සේවය කරන්නේ ඔහු සිය රටට භාර දෙන ලෙස එක්සත් ජනපදය ඉදිරිපත් කර ඇති ඉල්ලීමට පහසුකම් සැපයීම සඳහා පමනෙකි. එක්සත් ජනපදයේ එම ඉල්ලීමේ අරමුන වන්නේ, ඇමරිකානු යුද අපරාධ හෙලිදරව් කිරීම පිලිබඳව, වසර 175 ක උපරිම සිර දඬුවමක් ලබා දිය හැකි චෝදනා යටතේ අසාන්ජ්ට නඩු පැවරීමයි.

ජුලියන් අසාන්ජ් 2019 දී බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ [Photo: Just Giving]

මෙම උදර්පන ඉල්ලීම වූ කලී, අසාන්ජ් හා විකිලීක්ස් විනාශ කිරීමේ එජ රාජ්‍ය සැලසුමක නිරුවත ආවරනය කිරීමට යොදා ගත් ඊනියා නෛතික දිඹුල් පත්‍රයකි. ඔහු ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරනය ලබා සිටි අතරවාරයේ සිය නීතිඥයන් සමඟ පැවැත්වූ සන්නිවේදනයන් පිලිබඳව නීති විරෝධී ලෙස ඔත්තු බැලීම හා, පසුගිය වසරේ අවසාන කාලයේ හෙලිදරව් වූ පරිදි, ඔහු පැහැර ගෙන යාමේ හෝ ඝාතනය කිරීමේ සැලසුම් ද ඊට ඇතුලත් විය. එක්සත් ජනපදයේ මෙම ක්‍රියා කලාපය මාධ්‍ය නිදහසට හා දේශපාලන නඩු විභාගයන්හි විනිවිද භාවයට එරෙහිව එල්ල කෙරුනු ඍජු ප්‍රහාරයක් ලෙස සිවිල් නිදහස හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන අපමන සංඛ්‍යාවක් විසින් හෙලා දකිනු ලැබ ඇත.

මේ සියල්ල තිබියදී, බ්‍රිතාන්‍යයේ දුස්සහායක ඉහල අධිකරනය පසුගිය නොවැම්බරයේ දී උදර්පන ඉල්ලීමට අවසර දුන්නේය. ඒ අනුව අසාන්ජ් මුහුන පා සිටින්නේ, දිගින් දිගටම අවිනිශ්චිත කාලයක් බෙල්මාර්ෂ්හි රඳවනු ලැබ සිටීම හෝ, ගුවන් යානයක පටවා ඔහු ඝාතනය කිරීමට සැලසුම් කල එජ රාජ්‍ය ආයතනවල අතට ඔහු පත් කිරීම යන ඉරනම් දෙකෙන් එකකටය. ඔහුගේ මෙම ඝෝර දුර්දශාව විසින්, ඔහු වහා නිදහස් කරන ලෙසත්, ඔහු උදර්පනය කිරීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටීමට කම්කරු පන්තියේ ජාත්‍යන්තර සංවිධානයක් ගොඩ නැඟීමේ හදිසි භාවය අවධාරනය කෙරේ.

බෙල්මාර්ෂ් සිර කඳවුර 1991 දී පිහිටුවන ලද්දේ මනුෂ්‍ය ඝාතන, ලිංගික දූෂන හා භීෂනය සම්බන්ධ වැරදි ඇතුලත්ව, ප්‍රචන්ඩ අපරාධවලට චෝදනා ලබා සිටින 'A ප්‍රවර්ගයට' අයත් සිරකරුවන් රඳවා තැබීමටය. 9/11 ප්‍රහාරයෙන් ඉක්බිති සම්මත කෙරුනු අතිවිශේෂ ප්‍රති-ත්‍රස්තවාදී නීතිවල පදනම මත චෝදනාවකින් තොරව, දින නියමයකින් තොරව හා බොහෝ දුරට මුලුමනින්ම පාහේ හුදෙකලා කොට සිරකරුවන් රඳවා ගැනීමට එය භාවිතා කෙරුනු හෙයින් පලමුව, 2000 ගනන්වල මුල් කාලයේ දී, මෙයට බ්‍රිතාන්‍යයේ ගුවන්තනෝමා බොක්ක යන නම පටබැඳී තිබින.

එවක් පටන්, කාර්ය මන්ඩලය සම්බන්ධ වූ උල්ලංඝනයන් හා සිරකරුවන්ගේ මූලික අයිතීන් නිරන්තරව අහිමි කිරීම් ද ඇතුලුව, මෙම සිර කඳවුර තුල සිදුවන මානව හිමිකම් උල්ලංඝනවල ඉහල මට්ටම් පිලිබඳ නිල සහ ස්වාධීන වාර්තා විසින් ලේඛනගත කරනු ලැබ ඇත.

වඩාත්ම මෑත වාර්තා පදනම් වූයේ පසුගිය ජූලි හා අගෝස්තු මාසවල බන්ධනාගාර ප්‍රධාන පරීක්ෂකවරයාගේ 'නිවේදනය නොකෙරුනු චාරිකා' මතය. එහිදී පාර්ශව ගනනාවකින්ම පැවතුනු පරිහානිගත තතු ඔහු විසින් සොයා ගැනින.

එහි හැඳින්වීමේ මෙසේ දැක්වේ: 'සිරකරුවන් විසින් ස්වයං හිංසා පමුනුවා ගැනීමේ ඉහල නැඟෙන මට්ටම් පිලිබඳව බන්ධනාගාරය ප්‍රමානවත් අවධානයක් යොමු කොට නොමැති අතර, සියදිවි හානි කර ගැනීමේ අවදානමෙන් යුත් සිරකරුවන් පාලනය කිරීමක් හෝ ඔවුන් පිලිබඳ සැලකිලිමත් වීමක් ප්‍රමානවත් පරිදි සිදු වී නැත. මෙම සිරකරුවන් ආරක්ෂිතව තබා ගැනීම සහතික කර ගනු සඳහා මෙකී ක්ෂේත්‍රයෙහි හදිසි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.'

දශකයක් පුරා ඔහු පාත්‍ර වී සිටින වධ හිංසාවන්ගෙන් පැන නැඟී ඇති ස්වයංඝාතක විෂාදය ද ඇතුලුව, අසාන්ජ් පිලිබඳව ලේඛනගත වී ඇති සෞඛ්‍ය ගැටලු සැලකිල්ලට ගත් කල, මෙම ප්‍රකාශයට විශේෂ වැදගත්කමක් හිමි වේ. මින් ඉහත 2018 දී සිදු කෙරුනු 'නිවේදනය නොකෙරුනු චාරිකාවේ' සිට මේ දක්වා අවම තරමින් සිරකරුවන් සිව් දෙනෙක් සිය දිවි නසා ගෙන ඇත.

'වැඩ නොකරන 52% ක් සිරකරුවන් දිනකට පැය 23 ක් තම අගුලු ලූ කුටි තුල ගත කරමින් හුන් අතර, අධ්‍යාපන අංශය, ව්‍යායාම් ශාලාව හා පුස්තකාලය වසරකට වැඩි කලක් භාවිතයට නොගෙන හිස් ව පැවතිනැ'යි, අසාන්ජ් ද ඇතුලුව සිරකරුවන් බහුතරයක් මුහුන පාන තතු පිලිබඳව වාර්තාව සඳහන් කරයි.

2018 දී, සිරකරුවන්ගේ ආරක්ෂාව 'යුක්තියුක්ත ලෙස යහපත්'යැයි ප්‍රධාන පරීක්ෂකවරයා විසින් සලකා ගනු ලැබූයේ, ඒ පිලිබඳ ස්වාධීන වාර්තා එම නිරීක්ෂනයට පටහැනිව පැවතීම නොතකා ය. 2021 වාර්තාව තුල, එකී නිල විනිශ්චය පවා පහතට වැටී ඇත්තේ, 'සිරකරුවන්ට හිමි වන ඵල විපාක 'ප්‍රමානවත් තරමට යහපත් ඒවා නොවේ'යැයි සලකා ගැනීම ලෙසය.

සිරකරුවන්ගෙන් හතරෙන් පංගුවක් විසින් හඟනා ලද්දේ තමන් අනාරක්ෂිත බවය. පරීක්ෂකවරයා සොයා ගත් පරිදි: 'අපේ අවසාන පිරික්සුමේ පටන් බලය යෙදවීම ඉහල ගොස් තිබින. සිදුවීම්වල දී කාර්ය මන්ඩලය ශරීරයේ පලඳා සිටින වීඩියෝ කැමරා සක්‍රියනය කිරීම නිත්‍ය ලෙස සිදු නොකලෝය. කාර්ය මන්ඩලයේ ප්‍රකාශ සනාථ කිරීමේ වීඩියෝ වාර්තා නොපැවතීම හේතුවෙන්, එම සියලු අවස්ථාවලදී බලය යෙදීම අත්‍යවශ්‍ය වීදැයි තහවුරු කර ගැනීමට අපට නොහැකි විය.'

වාර්තාව වැඩිදුරටත්, දිරාපත් නාන කුටීර හා සිර කුටි ද, බොහොමයක් සිරකරුවන්ට පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය නොලැබීම ද ඇතුලුව අනෙකුත් අතිශය අශෝභන තතු ලේඛනගත කරයි.

නව වසර අද්දර දී අසාන්ජ්ගේ ආදරවන්තිය ස්ටෙලා මොරිස්ගේ ට්විටර් පල කිරීමක මෙම කොන්දේසි රූ සටහන් ලෙස ලේඛනගත කොට දක්වා තිබින. අසාන්ජ්ගේ සිරකුටිය තුල තැටිගත කෙරුනු, කැලඹුනු හඬ තැලීම්වල හා අනුමාන කල හැකි පරිදි බන්ධනාගාර රැකවලුන් සතු බල්ලන්ගේ බිරුම්වල අඛන්ඩ අමිහිරි ඝෝෂාවලින් සමන්විත වූ විනාඩි එක හමාරක හඬ පටියක් ද ඊට ඇතුලත් විය. මොරිස් මෙම පල කිරීමට සිරස්තලය යොදා තිබුනේ මෙසේය: “What does New Year's Eve sound like from Julian #Assange's cell in Belmarsh prison? Just like it sounded on Christmas Day and every day since he was imprisoned on 11 April 2019. (බෙල්මාර්ෂ්හි ජුලියන් අසාන්ජ්ගේ සිර කුටිය තුල නව වසරේ උදාවේ රාවය ඇසෙන්නේ කෙසේද? හරියටම, නත්තල් දිනයේ හා 2019 අප්‍රේල් 11 දින ඔහු සිරගත කෙරුනු දිනයේ පටන් සෑම දිනකමත් ඇසුනු රාවය පරිද්දෙන්මය.”

අසාන්ජ් සිර කොට තැබීම වූ කලී, පසුගිය දශකය පුරා ම ඔහු බඳුන් වූ, දීර්ඝ කාලයක් පුරා දෙනු ලබන මානසික වධ හිංසාවන්ගේ රාජ්‍ය දන්ඩනයක නව රූපාකාරයකින් සමන්විත වෙතැයි 2019 ජූනියේ එක්සත් ජාතීන්ගේ නිලධාරි නිල්ස් මෙල්සර් විසින් තහවුරු කෙරුනු තතු තුල පවා ඔහුගේ සිර අඩස්සිය නොඅඩුව දිගටම පැවැතී ඇත. දෙවසරකට වැඩි කාලයක් පුරා වෛද්‍යවරු සිය ගනනක් අසාන්ජ් විශ්ව විද්‍යාල ශික්ෂන රෝහලකට මුදා හැරීමට හෝ නිදහස් කිරීමට ක්‍රියා කරන්නැයි යලියලිත් ඉල්ලා ඇත්තේ, එසේ නොකලහොත් ඔහු බන්ධනාගාරයේ මිය යනු ඇතැයි අනතුරු හඟවමිනි. පසුගිය ඔක්තෝබරයේ අසාන්ජ් සුලු ආඝාතයකට බඳුන් වූ බව මොරිස් තහවුරු කර ඇත. තව ද, අසාන්ජ් ස්වයං හිංසා පමුනුවා ගැනීමේ හෝ සිය දිවි නසා ගැනීමේ අවදානමෙන් යුතු බැව් බෙල්මාර්ෂ් අධිකාරීහු යලියලිත් නිශ්චය කොට ඇත්තාහ.

2021 ජනවාරියේ දී බ්‍රිතාන්‍ය මහේස්ත්‍රාත් අධිකරනය සීමාසහිත වෛද්‍යමය හේතූන් මත අසාන්ජ් පිටුවාහල් කිරීම අවහිර කලේය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ ගැටලු ඇමරිකානු බන්ධනාගාරවල පවත්නා දරුනුතම තතු සමඟ එක් වූ කල එය ඔහුගේ ජීවිත හානියට හේතු වීමට බොහෝ සේ ඉඩ ඇති හෙයින් එය දුෂ්ට පියවරක් වනු ඇතැයි අධිකරනය නිශ්චය කලේය. කොයිහැටිවෙතත්, එය ඔහුගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කලේ අසාන්ජ් බෙල්මාර්ෂ්හි අතිශය අශෝභන තතු තුලට අතහැර දමමිනි.

ඉහත තීන්දුව සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඉදිරිපත් කල අභියාචනයක් පිලිබඳ විභාගයේ දී ඉහල අධිකරනය එපරිද්දෙන්ම අසාන්ජ්ගේ විත්තිවාචකය විසින් සම්පාදනය කෙරුනු වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි පිලිගත්තේය. එහෙත් කෙසේවෙතත්, ඉහල උසාවිය, අසාන්ජ් රඳවා ගෙන සිටිනු ලැබීමට අනුමැතිය දුන් අතර, එපමනක් නොව, (එක්සත් ජනපදය තුල) අසාන්ජ්ගේ සිර අඩස්සියේ කොන්දේසි විත්ති පක්ෂය විසින් කියා සිටින ලද තරම් නරක නොවනු ඇතැයි ඇමරිකානු අධිකාරීන් ලබා දුන් වංචාකාරී හා ස්වයං පරස්පර-විරෝධී 'සහතික කිරීම්'වල පදනම මත ඔහු එජට භාරදීමට අවසර දෙමින් එජ අභියාචනය පිලිගත්තේය.

පසුගිය මාසයේ අවසාන භාගයේ අසාන්ජ්ගේ නීතිඥයෝ එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අයැදුම්පතක් ගොනු කලෝය.

ප්‍රසිද්ධ ප්‍රකාශයක් මඟින් මොරිස් මෙසේ පැහැදිලි කර ඇත: 'ජුලියන් අසාන්ජ් එක්සත් ජනපදයට භාර දෙනු ලැබුවහොත් ඔහු SAMs (විශේෂ පාලන පියවර) සහ / හෝ ADX (උපරිම පාලන බන්ධනාගාරය) යන තන්ත්‍ර යටතට පත්වීම ඇතුලු සම්පූර්න හුදෙකලාවට තදාසන්න තත්ත්වයකට හෙලනු ලැබෙතැයි ද, එවැනි හුදෙකලාවක් සියදිවි නසා ගැනීමේ ඉහල අවදානමක් ඇති කෙරෙන මට්ටමකට ඔහුගේ මානසික තතු පිරිහෙලනු ලැබීමට හේතු විය හැකැයි ද තමන් ඉදිරියේ ඉදිරිපත් වූ සාක්ෂි මත පදනම්ව දෙසැම්බර් 10 වන දින ඉහල අධිකරනය මහේස්ත්‍රාත් අධිකරනයේ තක්සේරුව පිලිගත්තේය. 'පීඩාකාරී' උදර්පනයන් තහනම් කෙරෙන උදර්පන පනතේ එස්. 9 යටතේ ඔහු එජ අතට පත් කිරීම වලක්වා ලීමට පහල උසාවිය කටයුතු කලේ මෙම අධිගමනයන් මත ය.

'කෙසේවෙතත්, 2021 ජනවාරි 4 වන දින උදර්පන නඩුවෙන් එජ පරාජය වීමෙන් පසුව, හුදෙක් එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයට ලිපියක් එවමින් ජුලියන් අසාන්ජ් SAMs හා ADX යටතට පත් කිරීම සම්බන්ධයෙන් සහතික වීමක් සිදු කර ඇතැයි යන කරුන මත පමනක් පදනම් ව, උදර්පනය වැලැක්වීමේ පහල උසාවියේ තීන්දුව නිෂ්ප්‍රභා කිරීමට ඉහල උසාවිය කටයුතු කලේය. මෙම සහතික වීමේ ලිපියේ පලමුවන හා සිව්වන කරුනු යටතේ දැක්වෙන්නේ, ඉදින් අසාන්ජ් මහතා 2021 ජනවාරි 4 දිනට පසුව, ඔහු SAMs කොන්දේසි යටතේ හෝ ෆ්ලෝරන්ස්හි ADX පරිශ්‍රයේ හෝ රඳවා තැබිය යුතුයැයි සිය පුද්ගලානුබද්ධ ඇගයීම තුල නිශ්චය කිරීමට හේතුභූත වන කිසිවක් කියයි නම් හෝ කරයි නම් අසාන්ජ් මහතාට 'SAMs කොන්දේසි පැනවීමේ' සහ ඔහු 'ADX යැවීමට නියම කිරීමේ' බලය එක්සත් ජනපදය සියතේ තබා ගන්නා බවයි. පහල උසාවියේ තීන්දුව නිෂ්ප්‍රභා කිරීමට මෙකී කොන්දේසිගත සහතිකවීම් පමනක් ප්‍රමානවත්යැයි ඉහල උසාවිය සලකා ඇත.'

එම සහතිකවීම් හුදෙක් කොන්දේසි සහගත පමනක් නොවේ. ඒවා ලබා දී ඇත්තේ, අසාන්ජ් පිලිබඳව ඔත්තු බැලූ බවටත්, ඔහු නීති විරෝධී ලෙස පැහැර ගෙන යාමට සැලසුම් කල බවටත් හෙලිදරව් වී ඇති ආන්ඩුවක් විසිනි. යුක්තියුක්ත ලෙස, මෙම සාක්ෂ්‍යය පමනක් වුව, උදර්පන අයැදුම් පත්‍රය කෙටියෙන්ම නිෂ්ප්‍රභ කර දැමීමට හේතු විය යුතුව තිබින.

කෙසේවෙතත්, අසාන්ජ්ට හිංසා කිරීමට බ්‍රිතාන්‍ය අධිකාරීන්ගේ හා ඕස්ට්‍රේලියානු ආන්ඩුව ද ඇතුලත්ව එජ අනුචරයන්ගේ සහයෝගය ලැබී ඇත. මක්නිසාද යත්, ඒ වූ කලී, පුලුල්ව පැතිර පවත්නා යුද-විරෝධී මනෝභාවයන් මැඩ පැවැත්වීම සඳහා ද, දේශපාලනික කොටු කිරීම් හා හිංසා පීඩා කිරීම් සඳහා පූර්වාදර්ශයක් නිර්මානය කිරීම සඳහා ද කෙරෙන වඩාත් පුලුල් ව්‍යාපාරයක පෙරමුනු හිස වන නිසාය.

මොරිස් හා අනෙකුත් ප්‍රමුඛ අසාන්ජ් ආධාරකරුවෝ මෑත දිනවල දී මෙම වඩාත් පුලුල් සන්දර්භය දෙසට ඇඟිලි දිගු කොට ඇත්තාහ. ඔවුහු, අවම වශයෙන් දශ ලක්ෂයක් ජීවිත වැනසූ ඉරාක ආක්‍රමනයට සිය ආන්ඩුව සහභාගී කරවූ ඉරාක බ්‍රිතාන්‍යයේ හිටපු ලේබර් පාක්ෂික අගමැති ටෝනි බ්ලෙයාර් නයිට් පදවියට නැංවීම හා, එම නීතිවිරෝධී යුද්ධයේ අපරාධ රාශියක් හෙලිදරව් කල අසාන්ජ් සිර අඩස්සියේ තැබීම අතර වන තියුනු විලක්ෂනය සනිටුහන් කොට ගෙන ඇත්තාහ.

අසාන්ජ් දිගටම රඳවා ගෙන සිටීම හා ඉහල අධිකරනයේ තීන්දුව යලිත් පෙන්නුම් කරන්නේ, ඔහුගේ නිදහස දිනා ගත හැක්කේ සමස්ත ධනේශ්වර ස්ථාපිතයට එරෙහිව කෙරෙන දේශපාලන අරගලයක් හරහා පමනක් බවයි. එවැනි අරගලයක්, අසාන්ජ්ට වධහිංසා පැමිනවීමට පෙරමුන ගෙන ඇති එම ආන්ඩුවලට එරෙහිව අරගලයට ඇතුලු වෙමින් සිටින කම්කරු පන්තිය තුල පදනම් විය යුතුව ඇත.

Loading