ඉදිරිදර්ශන

රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ දේශපාලන හා ඓතිහාසික පසුබිම

[මෙය The political and historical background to the US war drive against Russia යන මැයෙන් 2022 පෙබරවාරි 23 වන දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

සඳුදා සවස, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසි රැස්වීමක් පැවැත්වීය. එය වෙන් වූයේ, එදින උදෑසන, නැගෙනහිර යුක්‍රේනයේ කලාප දෙකක ස්වාධීනත්වය පිලිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ගත් තීරනය ප්‍රධාන ධනේශ්වර බලවතුන් විසින් හෙලා දකිනු ලැබීම සඳහා ය.

වම් පස, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, 2022 පෙබරවාරි 21 වැනි දා සඳුදා, රුසියාවේ මොස්කව්හි ක්‍රෙම්ලිනයේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක මුලසුන හොබවමින්. (ඒපී හරහා ස්පුට්නික්, ක්‍රෙම්ලින් ඡායාරූප එකතුවෙනි.)

එසේම, සඳුදා රුසියානු රජය වාර්තා කලේ යුක්රේන සන්නද්ධ පිරිස් සහිත වාහන දෙකක් තම දේශසීමාවලට ඇතුලු වීමේදී විනාශ කර දමමින් යුක්රේන සොල්දාදුවන් පස් දෙනෙකු මරා දැමූ බව ය. යුක්රේන රජයේ දැවැන්ත මිලිටරි ප්‍රහාරවලට ඉලක්ක වී ඇති නැගෙනහිර යුක්රේනයට තමන් හමුදා හමුදා යැවූ බව රුසියාව නිවේදනය කලේ ය.

මෙම වර්ධනයන් සනිටුහන් කරන්නේ, යුක්‍රේනයේ ගැටුම රුසියාව, එක්සත් ජනපදය සහ නේටෝ මිලිටරි සන්ධානයේ ප‍්‍රධාන යුරෝපීය බලවතුන් සම්බන්ධ කරගනිමින් පූර්න යුද්ධයක් දක්වා වර්ධනය වීමේ සැලකිය යුතු තීව්‍ර වීමකි.

අර්බුදකාරී තත්වයන් යටතේ, මාධ්‍ය තුල නිර්දය ලෙස ප්‍රවර්ධනය කරන මිලිටරිවාදී ප්‍රචාරයන්ගෙන් මංමුලා නොවී සිටීම අවශ්‍ය වේ. මේ සඳහා, වත්මන් වර්ධනයන් ඒවායේ පුලුල් ඓතිහාසික සන්දර්භය තුල පිහිටුවිය යුතු ය. වර්තමාන ගැටුම එක රැයකින් ඇති වූවක් නොවේ. එය නේටෝව නැගෙනහිර යුරෝපය දෙසට ව්‍යාප්ත කිරීමට නිර්දය ලෙස කටයුතු කර ඇති ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ සමස්ත ප්‍රකෝපකරන හා ක්‍රියා මාලාවක කූටප්‍රාප්තියකි.

වසර හයකට පෙර, 2016 පෙබරවාරි 18 වැනි දින, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 'සමාජවාදය සහ යුද්ධයට එරෙහි සටන' යන මැයෙන් ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරමින් වර්තමාන යුද අන්තරාය විශිෂ්ට නිරවද්‍යතාවයකින් පෙර දුටුවේ ය.

ලෝසවෙඅ මෙම ප්‍රකාශයේ උපුටා ගත් කොටස් පහතින් නැවත පල කරයි. ප්‍රකාශය දැන් පුපුරා යන වර්ධනයන් ඉතා පැහැදිලිව පුරෝකථනය කලේය යන කාරනය ම, බයිඩන් පරිපාලනය තම යුද තර්ජන, 'රුසියානු ආක්‍රමනකාරීත්වයට' ක්ෂනික ප්‍රතිචාරයක් සහ යුක්‍රේනයේ 'ස්වෛරීභාවය සහ භෞමික අඛන්ඩතාව' ආරක්ෂා කිරීම උදෙසා බවට ප්‍රකාශයන් බලගතු ලෙස ප්‍රතික්ෂේප කරන්නකි. වත්මන් අර්බුදය පිටුපස ඇති ගාමක බලවේගයන් සහ තුන්වන ලෝක යුද්ධයේ අන්තරාය නැවැත්වීමට කුමක් කල යුතුද යන්න තේරුම් ගැනීමට කැමති සියලු දෙනා විසින් මෙම ප්‍රකාශය ප්‍රවේශමෙන් අධ්‍යයනය කල යුතුය.

***

2016 පෙබරවාරි 18 වැනි දින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ, “සමාජවාදය සහ යුද්ධයට එරෙහි සටන” ප්‍රකාශයෙන් කල උපුටා ගැනීම්

ඇමරිකා එක්සත් ජනපදය, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කර 15 වසරකට පසුව, එන්ට එන්ටම ප‍්‍රසාරනය වන අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වයේ මහා සුලිය තුලට සමස්ත ලෝකයම ඇදගනිමින් තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සංවිධානය කරනු ලබන ආක‍්‍රමන හා මැදිහත්වීම් මගින් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා සිරියාව වනසා දමනු ලැබ ඇත. රුසියාව සමග යුද්ධය සඳහා වන සූදානමේදී නේටෝව, දැවැන්ත ප‍්‍රතිසන්නද්ධ ව්‍යායාමයක නිරතව සිටියි...

ලෝකය එලඹ සිටින්නේ ව්‍යසනකාරී ගෝලීය ගැටුමක අද්දරට ය. ධනපති ආන්ඩුවල නායකයින්ගේ ප‍්‍රකාශ එන්ට එන්ටම යුදවාදී ස්වභාවයක් අත්කර ගනියි. යුක්‍රේනයේ හා සිරියාවේ කුලීකාර යුද්ධ මගින් රුසියාව හා නේටෝව පූර්න පරිමාන ගැටුමකට සමීප කර තිබේ... 1914 පලමු ලෝක යුද්ධයත්, 1939 දෙවන ලෝක යුද්ධයත් පුපුරා යාමට පෙර වසර වලදී මෙන් ම අද දින ද ප‍්‍රධාන බලවතුන් අතර යුද්ධයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ දුරස්ත නොවන බව ද එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩි බව ද පමනක් නොව එවැන්නක් නොවැලැක්විය හැකි තත්වයකට එලඹ ඇතැයි ද යන නිගමනය කරා දේශපාලන නායකයෝ ද මිලිටරි සැලසුම්කරුවෝ ද නිගමනය කර ගෙන සිටිති....

යුද්ධය කරා දිවීම කේන්ද්‍රගතව ඇත්තේ, සිය ගෝලීය පරමාධිකාරී බලය පවත්වාගැනීම පිනිස ඇමරිකාව දරන ව්‍යායාමය තුලය. 1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීම දැකගනු ලැබුවේ, ලෝකය පුරා අනභියෝගී ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අවස්ථාවක් ලෙසය. අධිරාජ්‍යවාදී ප‍්‍රචාරකයින් එය උත්කර්ෂයට නැංවූයේ, එක්සත් ජනපදයේ අනභියෝගී බලය පෙරට ගෙන යමින් වෝල් වීදියේ අවශ්‍යතා ඉටුකරන, “නව ලෝක පර්යායක්” තුල, “ඉතිහාසයේ අවසානය” සලකුනු කරන “ඒක ධ‍්‍රැවීය මොහොතක්” නිර්මානය වීම ලෙසය. පෘතුවි ගෝලයේ දැවැන්ත පරාසයක විහිද ගිය සෝවියට් සංගමය, යුරෝපයේ නැගෙනහිර දේශසීමාවන්හි සිට ශාන්තිකර සාගරය දක්වා පැතිර තිබුනි. බෙලහීන කල රුසියාව හා අලුතෙන් නිදහස ලත් මධ්‍යම ආසියානු රටවල් විසින් අරක්ගෙන තිබුනු යුරේසියාවේ මහා භූ ස්කන්ධය, සංගතවල සූරාකෑම හා කොල්ලය සඳහා දැන් යලි “විවෘත” වී ඇත. චීන ස්ටැලින්වාදී තන්ත‍්‍රය, 1989දී කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය මැඩීම පිනිස පොලිස්-රාජ්‍ය බලය යොදා ගැනීමත්, දැවන්ත ලාභ ශ‍්‍රම තටාකය අන්තර් ජාතික සංගත සඳහා විවෘත කල “නිදහස් වෙලඳ කලාප” විවෘත කිරීමත් හරහා එරට තුල ධනවාදය පුනස්ථාපනය කලේය...

එවන් භූමූලෝපායික සැලසුම් යොදාගැනීම, යුරෝපයේදී මෙන්ම ආසියාවේදී ද පැහැදිලිව දැක ගත හැකිය. යුක්‍රේනය හා බෝල්ටික් රටවල අන්ත ජාතිකවාදී පාලකයින්ට මිලිටරි සහයෝගය ලබාදෙන බවට ඇමරිකාව දෙන පොරොන්දු වලට හා නැගෙනහිර යුරෝපය තුල නේටෝ මිලිටරි තරකිරීම් වලට, රුසියාව මුහුනදී සිටින අතර චීනයට එරෙහිව ඉන්දු පැසිෆික් කලාපයේ ක‍්‍රමානුකූලව ගොඩ නගන ඇමරිකානු හා සහචර මිලිටරිවල වැටලීම් සිදුවෙමින් තිබේ. ඇමරිකානු පාලක පන්තිය, න්‍යෂ්ටික බලවතුන් වන රුසියාව හා චීනය, ප‍්‍රමාදවී නොව, ඉක්මනින්ම දනගැස්විය යුතුය යන නිගමනය කරා එලඹ සිටිති. වොෂින්ටනයේ අරමුන, ඒ දෙරට අර්ධ යටත් විජිත රටවල තත්වයට ඇද දමා, “හදබිමේ” පාලනය සියතට ගෙන ලෝකය පාලනය කිරීමයි....

හිට්ලර්ගේ තුන්වන රීකය වැටීමෙන් වසර 70ට පසුව ජර්මානු පාලක පන්තිය, යලි වතාවක් ඉල්ලා සිටින්නේ, යුරෝපයේ බලවතෙක් ලෙස මෙන්ම ලෝක බලවතෙක් ලෙස ප‍්‍රමුඛත්වය තම රාජ්‍යයට ලැබිය යුතු බවය. ජර්මානු ජනතාව තුල ගැඹුරටම මුල් බැස ඇති යුද විරෝධී මානසිකත්වය හමුවේ බර්ලිනය, මැද පෙරදිග හා අප‍්‍රිකාවේ සිය අවශ්‍යතා අවධාරනය කිරීම පිනිස මිලිටරි බල ඇනි යොදවා තිබේ. ප‍්‍රති සන්නද්ධ කිරීමේ වැඩසටහන් වෙනුවෙන් දැවැන්ත මුදල් කන්දරාවක් යොදවමින් ආන්ඩුව, ජර්මානු අධිරාජ්‍යවාදී අභිලාෂයන් පුනර්ජීවනය කිරීම යුක්ති සහගත කිරීමේ අරමුනෙන්, දේශපාලන සංස්ථාපිතය, මාධ්‍ය හා ශාස්ත‍්‍රාලිකය පුරා, නාසි තන්ත‍්‍රයේ ක්ෂමාලාපකයින් වැඩට බස්සවා ඇත...

තමන්ගේ පාර්ශවයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය, තවමත් ලන්ඩනය පදනම් කරගත් මූල්‍ය හා බැංකු සමාගම්වල සැලකිය යුතු ගෝලීය ක‍්‍රියාන්විතයන් ප‍්‍රසාරනය කිරීම පිනිස, ඇමරිකාවේ පරිහානිය අවස්ථාවක් කර ගැනීමට වෙහෙසෙයි. ප‍්‍රන්සය, වයඹ දිග අප‍්‍රිකාව තුල සිය පැරනි යටත් විජිත ආධිපත්‍යය යලි අත්කර ගැනීම පිනිස මෙහෙයවී ගනියි...

ධනපති ජාතික රාජ්‍ය පද්ධතියේ අර්බුදය, එකිනෙකට සතුරු ඉදිරිදර්ශන දෙකක් මතු කරයි. අධිරාජ්‍යවාදය, ධනපති ජාතික රාජ්‍ය පද්ධතියට ආවේනික ආර්ථික හා භූමූලෝපායික අවශ්‍යතාවන්ගේ ගැටුම ජයගැනීමට උත්සාහ කරන්නේ, අන් සියලු එදිරිවාදීන් මතින් ලෝකයේ එක් අධිපතියෙකු ජයග‍්‍රහනය කරවීමෙනි. අධිරාජ්‍යවාදී භූමූලෝපායික ගනන් බැලීමේ අරමුන මෙය වන අතර, එහි අනිවාර්ය ප‍්‍රතිපලය ගෝලීය යුද්ධයයි.

ධනපති පන්තියේ භූදේශපාලනයට එරෙහිව, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයට මහජන පදනම වෛෂයිකව නිර්මානය කරන සමාජ බලවේගය වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එය සනිටුහන් කරන්නේ, සමස්තයක් ලෙස ජාතික රාජ්‍ය පද්ධතියේම අවසානය හා ගෝලීය ආර්ථිකය, සමානතාවයේ හා විද්‍යාත්මක සැලසුම් කරනයේ පදනම මත පිහිටුවීමය. අධිරාජ්‍යවාදය, ධනපති පර්යාය රැක ගැනීමට උත්සාහ කරන්නේ යුද්ධය තුලින්ය. කම්කරු පන්තිය, ගෝලීය අර්බුදය විසඳීමට උත්සාහ කරන්නේ සමාජ විප්ලවය තුලින්ය. විප්ලවවාදී පක්ෂයේ මූලෝපාය වර්ධනය කරන්නේ, අධිරාජ්‍යවාදී ජාතික රාජ්‍යයේ භූදේශපාලනය නිෂේධනය කරමිනි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, විප්ලවවාදී පක්ෂය අනුගමනය කරන්නේ, “යුද්ධයේ සිතියම නොව පන්ති අරගලයේ සිතියමයි.”...

රුසියානු ආන්ඩුව වනාහි, සෝවියට් රාජ්‍යය බිඳ විසුරුවා හැරීමෙන් ද ජනසතු දේපොල සම්බන්ධකම් අහෝසි කිරීමෙන් ද පසුව ස්ටැලින්වාදී නිලධරය කෙරෙන් මතුවී ආ කතිපයාධිකාරයේ නියෝජිතයෙකි. මාක්ස්වාදී ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගය ප‍්‍රචන්ඩ හා ප‍්‍රතිවිප්ලවවාදී ලෙස ප‍්‍රතික්ෂේප කිරීමක් වූ, ස්ටැලින්වාදයේම ආන්තික ප‍්‍රතිපලය ලෙස, ඔවුහු, “මහා රුසියානු” ජාතිකවාදය හුවා දක්වති...

ලෝක ආර්ථිකය හා ලෝක දේශපාලනය නව අදියරකට පිවිස ඇත. නැගෙනහිර යුරෝපය තුල ධනේශවර පුනස්ථාපනය සමග ආරම්භවී, ස්ටැලින්වාදය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් කුලුගැන්වුනු, ධනපති විජයග‍්‍රහනවාදයේ අවධිය නිමාවී ඇත. පාලක පන්තිය විසින් සහතික කෙරුනු පරපුටු ධන රාශිකරනයේ සමපේක්ෂන කඩදාසි නිවස බිඳවැටෙයි. ඇද වැටෙන කොටස් වෙලඳපොලවල වටිනාකම්, ඒ ක්ෂේත‍්‍රවල හුලං බස්සනවා පමනක් නොව, ධනේශ්වර ගැති න්‍යායඥයින් හා දේශපාලන නායකයන් පිලිබඳ වාර්තාව හා විශ්වාසනීයත්වය ද කුඩු පට්ටම් කරයි.

***

වසර දෙකකට පෙර ආරම්භ වූ කොවිඩ්-19 වසංගතයේ පිපිරීම, වසර හයකට පෙර හජාජාක විසින් හඳුනාගත් ප්‍රවනතාවයන් තීව්‍ර කර ඇත. වසංගතය යනු සමකාලීන ධනේශ්වර සමාජයේ සියලු මූලික ප්‍රතිවිරෝධතා ත්වරිත කර ඇති 'ප්‍රේරක සිදුවීමකි'.

වර්තමාන අර්බුදය, වසර හයකට පෙර ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය සහ එම ප්‍රකාශය ගෙන ආ නිගමන දෙකම සනාථ කරයි. “ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහිව වැඩකරන ජනතාව හා තරුනයන් ඇතුලු මහා මහජනතාව එක්සත් කරමින්, යුද්ධයට එරෙහි නව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය,” හජාජාක ප්‍රකාශ කලේය; 'යුද්ධයේ උමතුව උපදවන එම ධනේශ්වර අර්බුදයම සමාජ විප්ලවය සඳහා ආවේගය ද ජනනය කරයි.'

ප්‍රකාශය, යුද්ධයට එරෙහි ව්‍යාපාරයක් සඳහා පහත අත්‍යවශ්‍ය දේශපාලන පදනම් ගෙනහැර දැක්වීය:

● යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප‍්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

● නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාපතිත්වය හා මිලිටරිවාදය ද යුද්ධය ද සඳහා වන මූලික හේතුව වන, යල් පිනූ, ආර්ථික ක‍්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව, යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

● එබැවින්, නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

● සියල්ලටත් වඩා නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය.

ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන හදිසි දේශපාලන කර්තව්‍යය මෙයයි.

පෙබරවාරි 26 වැනි දා සෙනසුරාදා (ශ්‍රී ලංකා වේලාවෙන් පෙබරවාරි 27 අලුයම 2.30), ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තර ඔන්ලයින් රැස්වීමක් පවත්වයි, “කොවිඩ් සමඟ සටන් කර ජීවිත සුරකිමු! තුන්වන ලෝක යුද්ධය දෙසට යන ධාවනය නවත්වනු!' අද දින, මෙම තීරනාත්මක ජාත්‍යන්තර අවස්ථාවට සහභාගී වීමට ලියාපදිංචි වී, වේලාව වෙන් කර ගන්නා ලෙස අපි ලොව පුරා සිටින අපගේ සියලුම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading