සෞඛ්‍ය කම්කරු වැඩ වර්ජනය පාවාදීම පිලිබඳ ලෝසවෙඅ ලිපිය ගැන සෞඛ්‍ය සමිති නායකයාගේ විරුද්ධත්වය

වෘත්තීය සමිති සෞඛ්‍ය කම්කරුවන්ගේ අඛන්ඩ වැඩ වර්ජනය පාවා දෙයි” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ලිපිය ගැන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ (සෞවෘස) සභාපති රවී කුමුදේශ් සමාජවාදී සමානතා පක්ෂයේ මුහුනු පොත තුල සිය විවේචනය සෝපහාස වැකියකින් මෙසේ සටහන් කර තිබේ.

“තව සුමානයක් ඔහොම කිය කියා ඉන්නකෝ. පස්සේ මේ පෝස්ටුව මකලා දාන්න බැරියෑ.”

ලෝසවෙඅයේ පලවූ ලිපියේ පැහැදිලි කර ඇත්තේ, තම දිගුකාලීන ඉල්ලීම් කිසිවක් දිනා නොගෙන ම සෞවෘස විසින් වර්ජනය පාවා දීම පිලිබඳව ය. මෙම ලිපිය, කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ සෞඛ්‍ය සේවකයන් ගෙනගිය අරගලයන් පිලිබඳව ලෝසවෙඅ හි අප විසින් පලකරන ලද ලිපි දුසිම් ගනනකින් එකකි.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් (ඡායාරූපය ෆේස්බුක් වෙතිනි)

ලිපිය තුල සඳහන් කර ඇති කරුනු හා ඉදිරිපත් කෙරෙන කම්කරු පන්ති ඉදිරි දර්ශනය පිලිබඳව කුමුදේශ් කිසිවක් නොකියයි. පෝස්ටුව මකා දැමිමට අපට බලකෙරෙමින් සතියකින් සිදු වන්නට යන “විශ්මය” කුමක්ද යන්න පිලිබඳව වත් ඔහු සෝපාහාස වාක්‍ය තුල සඳහන් කර තිබුනා නම් උචිත ය. පසුගිය සෞඛ්‍ය කම්කරු අරගල වල අනේක වාරයන් හි සිදු කෙරුනු පාවාදීම් වලට වඩා ඔහු ඇතුලු සමිති නායකයින් සතියකින් උදා කරන අවස්ථාව වෙනස් වන්නේ කෙසේදැයි ඒමගින් වටහා ගත හැකිව තිබිනි. ලිපිය ගැන මීට වැඩි යමක් නො කියන්නේ කියන්නට දෙයක් නැති නිසා බව තේරුම් ගැනීම් අපහසු නොවේ.

කෙසේ වුවද මෙම පෝස්ටුව ලියූ දින ම, එනම් පෙබරවාරි 18 වන දින, සෞවෘස නායකයා මාධ්‍ය අමතමින් සති දෙකකින් කරන්නට යන අරුමය යලිත් ප්‍රකාශ කර සිටියේය. එය නොදුටු අයෙකුට වැඩබිම වෙබ් අඩවියේ හෝ ද මොර්නින් අන්තර්ජාල ප්‍රකාශයෙන් බලාගත හැකි ය.

'මේ ඉන්න ජනාධිපතිවරයා, අපේ ජනාධිපතිවරයා මිසක් එක එක්කෙනාගේ ජනාධිපතිවරයා නොවෙයි' යනුවෙන් කුමුදේශ් තමන්ට ද, මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුවට මෙන්ම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට 'අයිතියක්' ඇතිබව බැගෑපත් ලෙස ප්‍රකාශ කලේය. ඊලඟට ඔහු ආනන්දට මෙන් තමන්ට නොසැලකීම ගැන ජනාධිපතිට මෙසේ ආඩපාලි කිවේය:

'අපි මෙච්චර උද්ඝෝෂන, වර්ජන කර තිබියදීත් ජනාධිපතිවරයා සාකච්ඡාවට කැඳවලා තියෙන්නේ මෙම වර්ජනය කඩාකප්පල් කිරීමට කටයුතු කල ස්වාමින් වහන්සේ නමක්'. ජනාධිපතිට තමන් සමග ද සාකච්ඡාවට කාලය ඇතිබව පෙන්වමින් ඔහු මෙසේ ද සඳහන් කර ඇත: 'අපි දවස් 14ක් දීලා තියෙනවා මෙම ප්‍රශ්නය විසඳන්න.'

කුමුදේශ් වර්ජනය නතර කරමින් කල මේ හා සමාන ප්‍රකාශ අපගේ ලිපියේ ලියා ඇත. ඔහුගේ කෝපයට හේතුවී ඇත්තේ, ලෝසවෙඅ ඉහත සඳහන් ලිපිය අතීතයේ මෙම සමිති පෙරමුන එවැනිම ප්‍රකාශ දෙමින් සෞඛ්‍ය සේවකයන්ගේ අරගල අතර මග නතර කලාක් මෙන්ම මෙවර ද සිදුකල ක්‍රියාවේ තේරුම පැහැදිලි කර දීමයි.

සමිති පෙරමුන විසින් ආන්ඩුවට කල් දීම සහ ජනාධිපතිට කරන ආයාචනය ලෝසවෙඅ ලිපියේ පැහැදිලි කෙරෙන්නේ “පාවාදීම අරබයා සෞඛ්‍ය කම්කරුවන් අතර වැඩෙන කෝපය අපසරනය කිරීමේ මංමුලා සහගත හා නරුම උත්සාහයක්” ලෙසය. මර්දනීය අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතට සෞඛ්‍ය අංශය ගැනීම ප්‍රකාශයට පත් කොට රාජපක්ෂ සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් දීම වෙනුවට මර්දනය එල්ල කිරීමට සුදානම් වෙද්දී ඔහුට ආයාචනය කිරීම අභූතයක් බව අපි ප්‍රකාශ කලෙමු.

අප සඳහන් කලේ 'පසුගිය සතියේ උසාවි තහනම් නියෝගය සහ මර්දනීය අත්‍යවශ්‍ය සේවා ආඥාව පැහැදිලි කරන්නේ, ආන්ඩුවටත් අර්බුද-ග්‍රස්ත ධනපති ක්‍රමයටත් එරෙහි ව කම්කරු පන්තිය ඒකාබද්ධ දේශපාලන සටනක් සිදුකිරීමේ හදිසි අවශ්‍යතාව යි. සෞඛ්‍ය සේවකයන්ගේ ද සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ද වැඩ කොන්දේසි හා වැටුප්වල වර්ධනය වීම් මෙන් ම වැඩ වර්ජනය කිරීමට ඇති අයිතිය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීම එවන් අරගලයක් සූදානම් කිරීමකින් තොර ව දිනාගනු ලැබිය නො හැක.'

අප ලිපිය මෙම නොවැලැක්විය හැකි දේශපාලන සටන සඳහා ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලේය: “සෞඛ්‍ය සේවක වර්ජනය වටා සහයෝගය බලමුලු ගන්වමු” මැයෙන්, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව පෙබරවාරි 10දා නිකුත් කල ප්‍රකාශය සඳහන් කල පරිදි: “වෘත්තීය සමිතිවලින් ස්වාධීනවූ සහ වෘත්තීය සමිති නිලධරයන්ට ඉඩක් නොමැති, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටු සෑම සෞඛ්‍ය ආයතනයක ම ගොඩනැගිය යුතු ය.”

'ලංකාවේ වේවා භූගෝලයේ වේවා, ධනවාදයේ අර්බුදයට ජාතික විසඳුමක් නැති බවත්, වසංගතයට, යුද්ධයට හා සමාජ අසමානතාවට එරෙහි ව ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතු වෙමින්, කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයට සටන් වැදිය යුතු බවත්' සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටු ප්‍රකාශය අවධාරනය කලේ ය.

කුමුදේශ් කිපී ඇත්තේ මේ ක්‍රියාමාර්ගය ගැනයි. කම්කරුවන් වෘත්තීය සමිතිවල යකඩ සැට්ටය ඉරාගෙන අරගලය තමන් අතට ගැනීමට ඔහු විරුද්ධය.

සෞවෘස දින 14ක් කල් දීම නිමාවන විට සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රශ්න ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආකල්පයේ වෙනසක් ඇතිවේයැයි රවි කුමුදේශ්, සමන් රත්නප්‍රිය ඇතුලු නායකයන් සිතනවා ද? ඔද්දල් වී ඇති ආර්ථික අර්බුදය විසඳී සෞඛ්‍ය කම්කරුවන් ගේ ඉල්ලීම් දීමට රාජපක්ෂ ක්‍රියාකරනු ඇතැයි ඔවුන් ගනන් බලන සේ ය.

සිදුවෙමින් ඇත්තේ මෙහි ප්‍රතිවිරුද්ධයයි. කෝවිඩ්-19 වසංගතයෙන් ගැඹුරු වන ලෝක අර්බුදය මධ්‍යයේ ආන්ඩුව හා ලංකාවේ ධනපති පන්තියේ ආර්ථික හා මූල්‍ය බිඳ වැටීම උග්‍ර වෙයි. ලැබෙන පඩිපත හා සොච්චම් ආදායම කාදමමින් කම්කරුවන් හා දුගීන් මුහුන දෙන සමාජ ව්‍යසනකාරිත්වය වැඩිදියුනු වේ.

රාජපක්ෂ සෞඛ්‍ය හා විදුලිය අංශවලට පැනවූ අත්‍යවශ්‍ය සේවා නියෝග යලිත් අත්තනෝමතික ලෙස දීර්ඝකර ඇත්තේ එම අංශවල පමනක් නොව අරගලවලට ඒමට නියමිත කම්කරුවන්ට ද අනතුරු ඇඟවීමක් ලෙස ය. රාජපක්ෂ සෑම දිස්ත්‍රික්කයක ම හමුදාව සීරුවෙන් සිටුවීම යලිත් දීර්ඝ කර ඇත.

ජනාධිපති මේ පියවර ප්‍රකාශයට පත්කර ඇත්තේ ඔහුගේ පෞද්ගලික පරිභෝජනයට නොවන බව ද අති දරුනුවන අර්බුදයක් මධ්‍යයේ පෙරලිකාරිවන කම්කරු පන්තියට එරෙහිව පොලාපැන පහර දෙමින් ආඥාදායක පාලනයකට මාරුවීමට බව ද හිතනමතන කම්කරුවන්ට හා තරුනයන්ට තේරුම් ගැනීම අපහසු නැත. එහෙයින් රවී කුමුදේශ් කියන්නාක් මෙන් 'තව සුමානයකින්” සිදුවන අරුමයක් නැත.

හොඳයි. සති දෙකක කල් දීම නොතකා ජනාධිපති ඉල්ලීම් ඉටු නොකල හොත්, සෞඛ්‍ය සේවකයන්ගේ කැලඹීම මධ්‍යයේ, සමිති නායකත්වය යලිත් වර්ජනය කැඳ වුවහොත්! සෞඛ්‍ය සේවකයන් දින නවයේ අරගලයේදී මුහුන දුන් ප්‍රශ්නය තවත් උග්‍රවී මතුවේ: එනම්, ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප්‍රතිපත්ති දේශපාලනිකව පරාජය නොකර ජීවන වියදමට සරිලන ශීලාචාර වැටුප් වර්ධනයන් ලබා ගැනීමට හෝ වෙනත් අත්‍යවශ්‍ය අයිතීන් දිනාගැනීමට නොහැකි වන බව යි; ගෝලීය අර්බුදයකින් තමන් හා අනෙකුත් කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න ආන්ඩුවට බලපෑම් දැමීමේ මිථ්‍යාවකට කොටුවී විසඳා ගත නොහැකි බවයි; එක හා සමාන ප්‍රශ්නවලට මුහුන දෙන අනෙකුත් කම්කරුවන් හා ජාත්‍යන්තර පන්ති සගයන් සමග එක්ව ධනවාදයට එරෙහි සටනකට යා යුතු බවයි.

මෙම ප්‍රශ්න යට ගසා තම සාමාජිකයන් දේශපාලනිකව නිරායුධ කරන කුමුදේශ් ඇතුලු සෞවෘස නායකයන් කල පාවාදීම තුල පරාජයක් ගෙන ඒමේ අන්තරාය පවතී.

සෞවෘස නායකයන්ගේ හා එම සමිති ඇතුලුව සියලු වෘත්තිය සමිතිවල මෙම භූමිකාව ඔවුන්ගේ පුද්ගලික දුෂ්ටත්වයකින් පැන නැගී ඇති කරුනක් නොවේ. එය නිර්නය වී ඇත්තේ වෘත්තීය සමිති හා ධනපති ක්‍රමය අතර ඇති සම්බන්ධයෙනි. ඒවා, ධනපතික්‍රමය සමග කේවල් කිරීම සමග බැඳී ඇත.

කාල් මාක්ස් පෙන්වා දුන් පරිදි:

“වෘත්තීය සමිතිවලට ඇත්තේ කර්මාන්තයේ විවිධ ශාඛාවල සම්ප්‍රදායිකව පවත්වාගෙන එන මට්ටමට වඩා පහතට වැටුප් අඩුවීම වලක්වාලීමට නොඅඩු ඉලක්කයකි. ඉන් කියවෙන්නේ ශ්‍රම ශක්තියේ මිල එහි වටිනාකමෙන් පහලට ඇදවැටීම වැලැක්වීමට ඒවාට උවමනා බවය.'

ජර්මනියේ සිටි මාක්ස්වාදී විප්ලවවාදිනියකවූ රෝසා ලක්සම්බර්ග් එය පැහැදිලිකලේ

'සත්‍ය කාරනය නම්, වෘත්තීය සමිතිවල ප්‍රාථමික කර්තව්‍යය... සමන්විත වන්නේ ධනේශ්වර වැටුප් නියාමය සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයක්, එනම්, වත්මන් වෙලඳපොල මිලට තම ශ්‍රම ශක්තිය විකිනීම සඳහා මාධ්‍යයක් සම්පාදනය කිරීමෙන් බවය.' (මෙම උපුටා ගැනීම් දෙකම “භූගෝලීයකරනය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය මැයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නිකුත් කල ප්‍රකාශයෙනි: එම සිංහල පරිවර්තනයේ 76 වන පිටුව).

අධිරාජ්‍යවාදයේ ගරාවැටෙන යුගයේ, සමිතිවල මෙම ක්‍රියාකලාපය ධනපති පන්තියේ ලාභ හා ජාතික ආදායම ආරක්ෂා කර දීමට ක්‍රියත්මක වන්නේ කම්කරුවන්ගේ අයිතීන් උදුරා ගැනීමට ඉඩ දෙන්නන් ලෙසය.

දැනට දශක හතරකට පමන ඉහතදී කම්කරු ඉල්ලීම් දිනා ගැනීම සඳහා ආන්ඩු වලට බලපෑම් කිරීමේ සංවිධාන ලෙස යම් මෙහෙවරක් ඉටු කල වෘත්තීය සමිති මේ වනවිට ධනපති ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් කම්කරුවන්ගේ මූලික අවශ්‍යතාවයන් පවා පාවා දෙන සංවිධාන බවට පත්වී තිබේ. මෙම ඛාදනයේ අන්තර්ගතය පවතින්නේ ධනපති ලෝක ආර්ථිකයම පරස්පරයන්ගෙන් ඇලලී ගොස් තියුනු කඩා වැටීමකට මුහුන දීම තුලය. මෙම ලෝක ආර්ථික කඩා වැටීම තියුනු ලෙස ප්‍රකාශ වන රටක් බවට ලංකාව පත්ව තිබේ.

විදේශ සංචිත සිඳී ගොස් නය ගෙවීම් පැහැර හැරීමේ අද්දර සිටින ලංකාවේ තියුනු වන අර්බුදය කම්කරු පන්තිය මත පැටවීමේ ධනපති ආන්ඩුවේ ඒ්ජන්තයන් බවට සමිති පත්ව ඇත. ධනපති ක්‍රමය රැක ගැනීම සිය පැවැත්ම සහතික කර ගැනීමේ මාවත බැවින් සමිතිවල ප්‍රමුඛතාවය වී ඇත්තේ කම්කරු අවශ්‍යතාවන් දිනා ගැනීම නොව ධනපති අර්බුදයට කර ගැස්සවීම සඳහා කම්කරු පන්තිය කරබදු කරදීමයි. සෞවෘසයේ පාවාදීමේ මූලය ඒයයි.

සෞවෘස නායකයන් ද ඇතුලු සියලු සමිති නිලධරයන් රටේ ආර්ථික හා විදේශ මුදල් අර්බුදය ගැන දැනුවත් බව මෙන්ම තම ඉල්ලීම් තදින් තල්ලු කරන්නේ නැතිබව කියන්නේ මේ නිසාය.

පාලක පන්තිය මෙන්ම ජාතික රාජ්‍යයට ගැටගැසී සිටින සමිති හා නිලධරයන් භීතියට පත්ව සිටින්නේ, වසංගතයෙන් උග්‍ර කෙරී ඇති අර්බුදය පැටවීමට එරෙහිව පැනනැගී ඇති අරගලය වෛෂයිකව ධනවාදය සමග ගැටෙන විප්ලවවාදී පිපිරීම් බවට පත්වීම ගැන ය. මෙම අරගල යටපත් කිරීමට සමිති යොදා ගන්නා අතරම අනෙකුත් අවස්ථාවාදීන්ගේ සහයෝගය ලබමින් පාලක පන්තීන් ආඥාදායක පාලන ක්‍රම කරා හැරෙමින් සිටින්නේ ලාභ පද්ධතිය රැක ගැනීමේ තම විෂඝෝර අවි අමෝරා ගෙනය.

කම්කරුවන් ඉදිරියේ පැන නැගී ඇති කර්තව්‍ය වන්නේ අනෙකුත් පීඩිතයන්ගේ සහයෝගය දිනා ගනිමින් ධනවාදය පෙරලා දැමීමේ සමාජවාදී පිලිවෙත්වලට සටන් කිරීමයි.

එනමුදු, ධනවාදය පෙරලා දමා සමාජවාදී ක්‍රමයකින් එය විස්ථාපනය කිරීමේ විප්ලවාවාදී විඥානය ස්වයංසිද්ධව අත්පත්කරගත නොහැකි ය. එය කල හැකිවන්නේ කම්කරු පන්තියේ පෙරටු බල ඇනිය නියෝජනය කරන විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමෙනි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ ලොවපුරා සටන් වදින්නේ මේ ඉදිරිදර්ශනයෙනි. ශ්‍රී ලංකාව තුල සමාජවාදී සමානතා පක්ෂය මෙම අරගලය ගෙන යයි.

Loading