වෘත්තීය සමිති සෞඛ්‍ය කම්කරුවන්ගේ අඛන්ඩ වැඩ වර්ජනය පාවා දෙයි

[මෙය අද දින Sri Lanka unions betray health workers’ indefinite strike යන මැයෙන් පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ලංකාවේ වෘත්තීය සමිති 18ක සන්ධානයක් වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය (සෞවෘස), දීර්ඝ-කාලයක් පවතින එහි ඉල්ලීම්වලින් කිසිවක් දිනා නො ගෙන, සෞඛ්‍ය සේවකයන් 65,000කට අධික පිරිසක් සම්බන්ධ වූ අඛන්ඩ ජාතික වැඩ වර්ජනය ඊයේ නතර කලේ ය.

රට පුරා හෙද හෙදියෝ, අතුරු වෛද්‍ය සේවකයෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍ය රසායනාගාර තාක්ෂන ශිල්පියෝ සහ ඖෂධවේදියෝ පෙබරවාරි 7දා වැඩ වර්ජනය ආරම්භ කල හ. වැටුප් විෂමතා නිවැරදි කිරීම, රුපියල් 3,000 සිට 10,000 දක්වා ප්‍රවාහන හා අඛන්ඩ වැඩ දීමනා වැඩි කිරීම, ඉහල අතිකාල රේට්ටු ලබාදීම සහ වැඩි වර්ධිත උසස් වීමේ පටිපාටි යනාදිය ඔවුන්ගේ ඉල්ලීම් අතරට ඇතුලත් විය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයෝ 2021 ඔක්තෝම්බර් 8 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකාවේ කොලඹ පැවති වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් අතරතුර වඩා හොඳ වැටුප් සහ පුද්ගලික ආරක්ෂක උපකරන ඉල්ලා සටන් පාඨ කියති. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

සිය සමිති සාමාජිකයන් බදාදා පෙරලා වැඩට යනු ඇති බව ප්‍රකාශ කරමින් සෞවෘස සභාපති රවී කුමුදේශ් මෙම පාවාදීම අඟහරුවාදා නිවේදනය කලේ ය. වැඩ වර්ජනය නැවැත්වීම “තාවකාලික” බව කියාපෑ ඔහු, “සද්භාවයෙන්” කටයුතු නො කිරීම ගැන සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට දොස් පවරමින්, අර්බුදයට මැදිහත් වන ලෙස ජනාධිපති රාජපක්ෂගෙන් බැගෑපත්ව ආයාචනය කලේ ය.

පාවාදීම අරබයා සෞඛ්‍ය කම්කරුවන් අතර වැඩෙන කෝපය අපසරනය කිරීමේ මංමුලා සහගත හා නරුම උත්සාහයක් යෙදුනු කුමුදේශ්, “ජනාධිපතිතුමා අපේ දුක්ගැනවිලිවලට සංයුක්ත විසඳුම් නො දුන්න හොත්, ඕනෑ ම අවස්ථාවක දී” සෞවෘස සාමාජිකයන් වැඩ වර්ජන ක්‍රියාව යලි අරඹනු ඇති බව ප්‍රකාශ කලේ ය.

මෙය අභූතයකි. මර්දනීය අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ, පසුගිය සෙනසුරාදා රාජපක්ෂ සෞඛ්‍ය අංශය අත්‍යවශ්‍ය සේවාවක් බව ප්‍රකාශයට පත්කලේ ය. අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝනය කරන ඕනෑ ම සෞඛ්‍ය කම්කරුවෙකුට බරපතල සිර දඬුවම් හා දඩ පනවා දඬුවම් කරනු ලැබිය හැකි ය. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා උද්ඝෝෂනයේ යෙදෙන්නෝ ද එවන් දඬුවම්වලට මුහුන දෙනු ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා, ආන්ඩුව විසින් කූත්තු කරන ලද නීතිපතිවරයා, වැඩ වර්ජනය තුල රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිස) සහභාගි වීම වහා ම “අත්හිටුවන” ලෙස නියෝග කරන ලද උසාවි තහනම් නියෝගයක් ලබා ගත්තේ ය. උසාවියේ නියෝගයට හිස නැමූ රහෙනිස නායක සමන් රත්නප්‍රිය, ඔහුගේ වෘත්තීය සමිතිය ක්ෂනික ව වැඩ වර්ජනයෙන් ඉවත් වන බව නිවේදනය කලේ ය.

ජනාධිපතිවරයාට කල ආයාචනා තුල මෙම මර්දනීය ක්‍රියාවන් ගැන කිසිවක් නො කියූ සෞවෘස නායකයෝ, පැය කිහිපයක සාකච්ඡාවකින් සෞඛ්‍ය කම්කරුවන්ගේ ගැටලු විසඳනු ලැබිය හැකි බව කියා සිටිය හ.

තම සාමාජිකයන් “වෘත්තිකයන්” බවත්, “රට මුහුන දෙමින් සිටින මූල්‍ය දුෂ්කරතාව පිලිබඳ ව දන්නා” බවත්, “මේ මොහොතේ දී මුදල් සඳහා වෘත්තීය සමිති තල්ලුව නො දෙන්නේ” ඒ නිසා බවත්, කුමුදේශ් මාධ්‍ය වෙත පැවසී ය. ඕනෑ ම එකඟතාවක් “ප්‍රතිපත්තිමය” පමනක් වනු ඇතැයි ඔහු කීවේ ය. වෙනත් වචනවලින් කියතොත්, අන් සෑම වෘත්තීය සමිතියක් මෙන් සෞවෘස ද ශ්‍රී ලංකාවේ ධනවාදයෙහි අර්බුදය සඳහා කම්කරු පන්තිය ලවා වන්දිය ගෙවීමට අවශ්‍ය ඕනෑ ම දෙයක් කරනු ඇත.

සෞවෘස වැඩ වර්ජනය නවතා දැමීම, සටන් කිරීම සඳහා සෞඛ්‍ය කම්කරුවන් අතර පවතින අධිෂ්ටානයට ඍජු ලෙස ප්‍රතිවිරුද්ධ වූවක් විය. රාජපක්ෂගේ මර්දනීය අත්‍යවශ්‍ය සේවා නියෝගය සහ රහෙනිසට එරෙහි උසාවි තහනම් නියෝගය ප්‍රතික්ෂේප කරමින් සෞවෘස සාමාජිකයන් අඟහරුවාදා දක්වා දිගට ම වර්ජනයේ යෙදුනු අතර, සඳුදා කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත 5,000ක් පමන දෙනා විරෝධතා පැවැත්වූ හ.

ආන්ඩුවේ මර්දනය හා තර්ජන සමග, වැඩ වර්ජකයන්ට එරෙහි ව හතුරු මාධ්‍ය ප්‍රහාරයක් අත්වැල් බැඳගෙන ඇත. වැඩ වර්ජකයන්ට එරෙහි ව ක්‍රියා කරන ලෙස, අභ්‍යන්තර ආරක්ෂක ඇමති සරත් වීරසේකර සඳුදා කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ බව මාධ්‍ය වාර්තා කලේ ය. “මහජනයා කඩාකප්පල්කරුවන්ට එරෙහි ව ක්‍රියා කරනු ඇත” යි රාජපක්ෂ ඔහුට කියූ බව වාර්තා වේ. ඔහු වෙනත් යමක් නොකීවත්, රාජපක්ෂගේ පාලක පක්ෂයෙහි මන්ත්‍රීවරු වැඩ වර්ජිත සෞඛ්‍ය කම්කරුවන්ට එරෙහි ව මැර ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රසිද්ධියේ උද්ඝෝෂනය කරමින් සිටිති.

ආන්ඩුව වැඩ වර්ජනයට එරෙහි ව “මූලෝපායික ලෙස උසාවි නීතිය යොදාගෙන ඇති” බවත්, තමන් කිසිදු ප්‍රධාන ඉල්ලීමකට එකඟ නො වෙමින්, වෘත්තීය සමිති නායකයන් ව වැඩ වර්ජනය නතර කිරීමේ අවශ්‍යතාව ගැන සාකච්ඡාවල දී “ඒත්තු ගැන්වීමට” සමත් වූ බවත්, සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ල සඳුදා දෙරන රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවක දී කී‌වේ ය.

ආන්ඩුවට-ගැති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ (රාසේඑහෙස) සහ විපක්ෂයේ ජවිපෙ විසින් පාලනය කරන සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ (සලසෞසේස) හොරිකඩ මෙහෙයුම්, ආන්ඩුවේ හස්තය ශක්තිමත් කර ඇත. එහෙත් ඒවායේ සමිති සාමාජිකයෝ බොහෝ දෙනෙක් වෘත්තීය සමිති නායකයන්ට විරුද්ධ වී වැඩ වර්ජනයට සම්බන්ධ වූ හ.

ආරම්භයේ පටන් ම, ආන්ඩුව සමග ගැටුමක් වැලැක්වීමට සෞවෘස නායකත්වය ඔවුන්ට හැකි හැම දෙයක් ම කර ඇත්තේ, පසුගිය වසර පුරා එම ඉල්ලීම් මත ම සීමිත වර්ජන 10ක් කැඳවමින් හා ආන්ඩුවට සාමාන්‍ය නිෂ්ඵල ආයාචනා නිකුත් කරමිනි. සාමාජිකයන්ගේ වැඩෙන කෝපයට ප්‍රතිචාර ලෙස මේ මාසයේ කැඳවූ අඛන්ඩ වැඩ වර්ජනයෙන් ආන්ඩුවට පීඩනය යොදා සෞඛ්‍ය කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රදානය කිරීමට බලකෙරෙනු ඇතැයි සෞවෘස කියාසිටියේ ය.

පසුගිය සතියේ උසාවි තහනම් නියෝගය සහ මර්දනීය අත්‍යවශ්‍ය සේවා ආඥාව පැහැදිලි කරන්නේ, ආන්ඩුවටත් අර්බුද-ග්‍රස්ත ධනපති ක්‍රමයටත් එරෙහි ව කම්කරු පන්තිය ඒකාබද්ධ දේශපාලන සටනක් සිදුකිරීමේ හදිසි අවශ්‍යතාව යි. සෞඛ්‍ය සේවකයන්ගේ ද සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ද වැඩ කොන්දේසි හා වැටුප්වල වර්ධනය වීම් මෙන් ම වැඩ වර්ජනය කිරීමට ඇති අයිතිය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීම එවන් අරගලයක් සූදානම් කිරීමකින් තොර ව දිනාගනු ලැබිය නො හැක.

කෝවිඩ්-19 වසංගතයේ ගෝලීය ඉහල යාම, ලංකාවේ ආර්ථිකය අකර්මන්‍ය කර ඇති අතර, මුදල් හිඟයෙන් පෙලෙන ආන්ඩුව අර්බුදයේ බර වැඩකරන ජනයාගේ පිට මත පැටවීම සඳහා සෑම ආකාරයකින් ම උත්සාහ දරමින් සිටී. ලෝකයේ සෑම ආන්ඩුවක් මෙන් කොලඹ පාලනය ද සාපරාධී හා ලාභ පිපාසය මගින් ධාවනය කරන “වෛරසය සමග ජීවත්වීමේ” පිලිවෙත් වැලඳගෙන ඇත.

සෞඛ්‍ය කම්කරුවන්ගේ ජාතික වැඩ වර්ජනය සෞවෘස විසින් නවතා දැමීම, හුදෙක් සෞඛ්‍ය සේවකයන්ට පමනක් නො ව සමස්ත කම්කරු පන්තියට ද තීරනාත්මක අත්දැකීමකි. එය සිදු වූයේ ගුරුවරුන් දින 100ක් නියැලුනු ඔන්ලයින් ඉගැන්වීමේ වැඩ වර්ජනය ගුරු වෘත්තීය සමිති විසින් පාවාදීමෙන් පසුය.

සෞඛ්‍ය කම්කරුවන්ගේ වැඩ වර්ජනයට ලංකාවේ කිසිදු වෘත්තීය සමිතියක් සහෝදරත්වය ප්‍රකාශ කර නැති අතර, එය ආරක්ෂා කිරීමට ද පැමින නැත. ආන්ඩුවේ මර්දනීය අත්‍යවශ්‍ය සේවා ආඥාව ගැන ඔවුන් සියලු දෙනා පවත්වාගෙන යන්නේ මාරාන්තික නිශ්ශබ්දතාවකි.

සෞඛ්‍ය කම්කරුවන්ගේ වැඩ වර්ජනය යලි වතාවක් පෙන්වා දෙන්නේ, සටන්කාමීත්වය සහ අධිෂ්ටානය පමනක් ප්‍රමානවත් නො වන බව යි. අරගලය තමන්ගේ ම අතට ගැනීම සඳහා කම්කරුවෝ ඔවුන්ගේ ම ස්වාධීන සංවිධාන -වැඩපොල ක්‍රියාකාරී කමිටු- ගොඩනැගීම කරා තීරනාත්මක ව හැරීම අවශ්‍ය ය.

“සෞඛ්‍ය සේවක වර්ජනය වටා සහයෝගය බලමුලු ගන්වමු” මැයෙන්, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව පෙබරවාරි 10දා නිකුත් කල ප්‍රකාශය සඳහන් කල පරිදි: “වෘත්තීය සමිතිවලින් ස්වාධීනවූ සහ වෘත්තීය සමිති නිලධරයන්ට ඉඩක් නොමැති, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටු සෑම සෞඛ්‍ය ආයතනයක ම ගොඩනැගිය යුතු ය.”

ලංකාවේ වේවා භූගෝලයේ වේවා, ධනවාදයේ අර්බුදයට ජාතික විසඳුමක් නැති බවත්, වසංගතයට, යුද්ධයට හා සමාජ අසමානතාවට එරෙහි ව ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතු වෙමින්, කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයට සටන් වැදිය යුතු බවත් එම ප්‍රකාශය අවධාරනය කලේ ය.

සෞවෘස පාවාදීම කෝපයෙන් යුතු ව හෙලාදකිමින් සෞඛ්‍ය කම්කරුවන් කිහිප දෙනෙක් මේ සතියේ දී ලෝසවෙඅ සමග කතා කල හ.

බදුල්ල රෝහලේ හෙදියක් මෙසේ කීවා ය: “(ජනාධිපති රාජපක්ෂ) පොරොන්දු දුන්නත් කිසිවක් ක්‍රියාත්මක කලේ නැහැ. මේ වතාවෙත් වෘත්තීය සමිති ඉල්ලන්නේ පොරොන්දුවක් පමනයි. මේ මර්දන නීති පරාජය කරන්න, වෘත්තීය සමිතිවල හුදකලා අරගල හරහා අපට බැරි බව පැහැදිලි යි. අපට වැඩකරන ජනයාගේ පලල් සන්ධානයක් අවශ්‍ය යි.”

මහනුවර රෝහලේ හෙද නිලධාරියෙක් කම්කරුවන්ට ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය බව කීවේ ය. “ජවිපෙ වැනි හොරිකඩ වෘත්තීය සමිති හෙලිදරව් වුනා. ඉහල යන උද්ධමනයේ අර්ථය වෙන්නේ අපි ඉහල වැටුප් වැඩි වීමක් මෙන් ම උද්ධමන වන්දියක් ඉල්ලිය යුතු බව යි, එහෙම නැත්නම් වැටුප් ඉල්ලීමකට අර්ථයක් නැහැ. වෘත්තීය සමිති කරන්නෙ කම්කරුවන් එකමුතු කරනවාට වඩා බෙදන එක. ඊට විරුද්ධ ව, අත්‍යවශ්‍ය සේවා පියවරයන් වැනි විෂඝෝර නීතිවලට විරුද්ධ ව සටන් කරන්න සියලු අංශවල කම්කරුවන් හා සෞඛ්‍ය අංශයේ සියලු‌ශ්‍රේනි එකමුතු කල යුතු යි.”

“වසංගතය සමය තුල පවා පොහොසතුන්ට කාලය හොඳයි, දුගීන් බොහෝ සෙයින් විඳවනවා. ජීවන වියදම ඉහල යනවා, දිනපතා අපේ තත්ත්වය නරක අතට හැරෙනවා. අපේ වැටුප් එකතැන පල්වෙන නිසා තමයි කම්කරුවන් කෝපවෙලා ඉන්නෙත්, සෞඛ්‍ය කම්කරුවන් උද්‍යෝගයෙන් වැඩ වර්ජනයට සහභාගි වුනෙත්. ශ්‍රේනි හා ක්ෂේත්‍ර භේද නො තකා සියලු කම්කරුවන් ඉන්නේ එක ම බෝට්ටුවේ ...ධනපති පන්තිය හැම වෙලාවෙ ම දිනනවා, ඒත් අපිට මේකට ඉඩ දෙන්න බැහැ. වෘත්තීය සමිති අපි වෙනුවෙන් කතා කරන්නේ නැහැ”ගම්පොල රෝහලේ හෙදියක් පැවසුවාය.

මහනුවර රෝහලේ මානසික රෝග වාට්ටුවක හෙදියක් මෙසේ අදහස් පලකලා ය: “වෘත්තීය සමිති ඉටු කරන ක්‍රියා කලාපය පිලිකුල් සහගතයි. ඔවුන් ඡන්දයක් කැඳෙවුවා නම්, අතිමහත් බහුතර හෙද හෙදියන් අරගලය ඉදිරියට ගෙන යාමට ඡන්දෙ දෙනවා. සියලු කම්කරුවන් ජීවන වියදම වැනි එක ම ප්‍රශ්නවලට මුහුන දෙනවා, දැවෙන ප්‍රශ්නය වන්නේ වෘත්තීය සමිති මුලුමනින් විරුද්ධ වී ඇති ඒකාබද්ධ අරගලයක්. ආන්ඩුව වෘත්තීය සමිති වැඩවලින් වාසි ලබනවා.”

Loading