සෞඛ්‍ය සේවකයන් අරගලයට ඒම තමන් අමාරුවෙන් පාලනය කරගෙන සිටින බව සමිති නායකයෝ ආන්ඩුවට පවසති

සමිති 18 ක සන්ධානයක් වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය (සෞවෘස) කිසිදු ඉල්ලීමක් දිනා නොගනිමින් සෞඛ්‍ය සේවකයන් මාර්තු 2 සහ 3 දෙදින පැවැත්වූ දීප ව්‍යාප්ත වර්ජනය තවත් පාවාදීමකින් අවසන් කලේය.

අතුරු වෛද්‍ය සේවකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂනවේදීන් ඇතුලු 50,000ක් පමන වර්ජනයට සහභාගී වුහ. වැටුප් විෂමතා ඉවත් කිරීම, ඇමතුම් සේවා හා අතිකාල දීමනා වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් 7ක් දිනා ගැනීමට දිගු කලක් තිස්සේ ඔවුහු සටනක යෙදී සිටිති.

කැඳවූයේ සංකේත වර්ජනයක් නමුත් ආන්ඩුව දිගින් දිගටම ඉල්ලීම් ගැන නොතැකීම ගැන සිය සාමාජිකයන් අතර වැඩෙන කෝපය හමුවේ වර්ජනය අඛන්ඩව ඉදිරියට ගෙන යන බව සෞවෘස පසුව නිවේදනය කලේ ය. කෙසේ වුවද, සමිති නායකයන්ගේ ඉලක්කය වූයේ බලධාරීන් සමග කුමන හෝ සාකච්ච්ඡාවක් ලබාගෙන වර්ජනය නතර කිරීමයි. එදින සෞඛ්‍ය අමාත්‍යංශ ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබු විරෝධතා උද්ඝෝෂනය ද සෞවෘස විසින් අවලංගු කරනු ලැබී ය.

මාර්තු 3 වෙනිදා සවස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එච්. මුනසිංහ සෞවෘස සමිති නායකයන් සමග හදිසි සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව සෞවෘස නිවේදනය කලේ දින 10 ට තාවකාලිකව වර්ජනය අත්හිටුවන බව ය.

අමාත්‍යංශ ලේකම් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව ඉක්බිති ව වර්ජනය නතර කිරීමට හේතු දක්වමින් සෞවෘස නිකුත් කල මාධ්‍ය ප්‍රකාශයෙන් හෙලිදරවු වන්නේ සමිති එකමුතුව ආන්ඩුවට ගැතිවී ගෙනයන ක්‍රියාකලාපය යි.

'සෞඛ්‍ය ලේකම්වරයා හදිසි සාකච්ඡාවක් කැදවා දැක්වූ ප්‍රතිචාරය ද, විදුලිය හා තෙල් අර්බුදය හේතුවෙන් මහජනතාව ලක් වී ඇති පීඩාව ද සැලකිල්ලට ගනිමින්' වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටු වීමට තිරනය කල බව සඳහන් මාධ්‍ය ප්‍රකාශයේ මෙසේ ද ලියා ඇත:

'අමාත්‍යංශ ලේකම්වරයා සමග කල සාකච්ඡාවේ දී යම් ධනාත්මක තත්වයක් අප දැක්කා. .. අපට වර්ජනය කර කර ඉස්සරහට යන්න ඕනේ නැහැ. ...පොහොට්ටුවේ සමිති විතරක් ජනාධිපති සමඟ සාකච්ඡා කරල නොයෙක් දේ ලැබුන කියල කියනවා. ඒතකොට සාමාජිකයන්ව කලමනාකරනය කර ගනිමින් මේ ප්‍රශ්නයට මුහුන දෙන්න උත්සාහ කරන අපිව නැවත නැවතත් වර්ජන වලට තල්ලු කරනවා'.

අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡාවේ දී, වර්ජනය නතර කිරීමට තරම් බලපෑ සමිති නායකයන් දුටු 'ධනාත්මක තත්වය' කුමක් දැයි පැහැදිලි කර නැත. ඔවුන් අඛන්ඩ වර්ජනයක් කරන බවට උදේ තීන්දු කරන විට 'විදුලිය හා තෙල් අර්බුදය හේතුවෙන් මහ ජනතාව ලක් වී ඇති පීඩාව' දැක නැත. ඔවුන්ට මහජනයා ගැන කම්පාව පහල වී ඇත්තේ අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡාවෙන් පසුවය!

ධනාත්මක තත්වය හා මහජනයා විඳින පීඩාව ආදී ප්‍රකාශ අමු ව්‍යාජයන් ය. ඔවුන් ඇත්තෙන්ම සිදුකරමින් සිටින්නේ, සෞඛ්‍ය සේවකයන් අරගලයට ඒම 'කලමනාකරනය' කිරීමයි. මේ කලමනාකරන සුත්‍රයේ ඇත්ත තේරුම නම් සමිති සාමාජිකයන් අරගලයට ඒම වලක්වා ගැනීමට ක්‍රියා කිරීමයි. ඔවුන් ආන්ඩුවට කියා සිටින්නේ අනෙක් සමිති සමග පමනක් නොව තමන් ද සාකච්ඡා වලට කැඳවා ගනිමින් සාමාජිකයන් හික්මවා ගැනීමට හැකි කොන්දේසි නිර්මානය කර දෙන ලෙස ය.

'අත්‍යාවශ්‍ය නියෝග සහ වෘත්තීය සමිති මර්දනයට එරෙහිව මහජන කතිකාව' මැයින් මාර්තු 2 වෙනිදා කොලඹ නව නගර ශාලාවේ පැවැත් වූ රැස්වීමක දී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) සභාපති රත්නප්‍රිය, තමන් ද සම කැඳවුම්කරුවෙකු වන සෞවෘස නිකුත් කල ප්‍රකාශයේ ඉහත දැක්වූ අදහස් තවත් හොඳින් පැහැදිලි කලේය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය අතුලසිරි සමරකෝන්, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙකු වන ශිරාල් ලක්තිලක, අනිද්දා පත්‍රයේ කතෘ කේ.ඩි.ජනරංජන ලංකා වානිජ කාර්මික හා පොදු කම්කරු සංගමයේ තවත් සමිති කිහිපයක් එක්ව පැවැත්වූ මේ රැස්වීමේ අරමුන වුයේ සෞවෘස ගෙනයන පාවාදීමේ වැඩපිලිවෙල ආවරනය කිරීමයි.

“ආන්ඩුවට සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන ආකාරය” නොතේරෙන නිසා වැඩ වර්ජන දිගට ඇදෙන බව කී රත්නප්‍රිය රටේ පවතින තත්වය නිසා ලක්ෂ ගනන් පඩි හෝ දීමනා නොඉල්ලූ බවද සඳහන් කලේය. 'අපි ආන්ඩුවට කිව්වා සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සෙ බලාගමු. හැබැයි අපිට හිමි තැන දෙන්න කියලා... මොන ව්‍යසනය ආවත් මිනිස්සු එක්ක හිටපු මිනිස්සු හැටියට අපි තීරනය කලා වැඩ වර්ජන වලට යන්නෙ නෑ කියල. නොවැම්බර් මාසේ ඉඳල පලාත්බද සංකේත වර්ජන 11 කලේ සාමාජිකත්වය කලමනාකරනය කර ගැනීමට”.

මෙම ප්‍රකාශ පැහැදිලි කිරීමක් අනවශ්‍ය තරමට ම පැහැදිලිය. රත්නප්‍රිය කියන්නේ මෙයයි: 'ආන්ඩුවට සල්ලි නැත්නම් පඩි වැඩිවීම් එපා. සල්ලි තියන වෙලාවක ඒ ගැන බලා ගමු. අපි වැඩවර්ජන නොකරන්න තීන්දු කලා. පලාත්වල සංකේත වර්ජන 11 කලේ සාමාජිකත්වය කලමනාකරනය කර ගැනීමට.”

සෞවෘස වර්ජනය නතර කලේ සාමාජිකත්වයේ විරුද්ධත්වය නොතකා බවත් සෞඛ්‍ය සේවකයන්ගේ අරගල වැලක්වීමට ඔවුන් හිතාමතා ම කටයුතු කරන බවත් කුමුදේශ් ගේ සහ රත්නප්‍රිය ගේ කතාවලින් අතිශයින් පැහැදිලිය.

එය හුදෙක් සෞවෘස සම්බන්ධ කාරනාවක් පමනක් නොවේ. ශ්‍රී ලංකාවේත්, ජාත්‍යන්තරවත් වෘත්තීය සමිතිවල භූමිකාව එයයි. ඔවුන් ක්‍රියාත්මක වන්නේ ධනපති රාජ්‍යයේ සහ හාම්පුතුන් වෙනුවෙන් කම්කරුවන් හික්මවන හා ඔවුන්ගේ අරගල කඩාකප්පල් කරන කාර්මික පොලීසියක් ලෙසය.

අත්‍යාවශ්‍ය සේවා නීති සහ අධිකරන වාරන නියෝග වලට විරුද්ධව 'සටන්' කරන බව නව නගර ශාලාවේ පැවති රැස්වීමේ දී රත්නප්‍රිය පූච්චානමක් අද බෑවේය. එය කරන්නේ කෙසේ දැයි ඔහු කිවේ නැත. තම සංගමයට පනවා ඇති අධිකරන වාරන නියෝගය හිස් මුදුනින් පිලිගෙන සිටින රහෙනිස සභාපති සමන් රත්නප්‍රිය, තම සමිති සාමාජිකයන් පසුගිය දා වර්ජනයට සහභාගි කලේ නැත.

විවිධ ආකාරයෙන් අමෝරා ඇති මෙම රාජ්‍ය මර්දනය පරාජය කල හැක්කේ කම්කරු පන්තිය ආන්ඩුවට හා ධනපති පන්ති පාලනයට එරෙහිව මෙහෙයවීමෙනි. කම්කරුවන් අරගලයට මෙහෙය වීම ධනපති පන්ති පාලනය සමග ගැටුමක් කරා යන බව දන්නා ඔවුන් එය වලකාලති. ඔවුන් ඊට දී ඇති නම 'සාමාජිකයන් කලමනාකරනය' කිරීමයි.

සෞඛ්‍ය සේවකයන් පසුගිය වසරේ සහ මෙම වසර තුල වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධ ඉල්ලීම් අරබයා වර්ජන, උද්ඝෝෂන සහ රැලි පවත්වමින් යලි අලිත් අරගලවලට එලැඹ ඇත. සෞඛ්‍ය සේවකයන් 65,000 ට අධිකව සම්බන්ධ වූ පෙබරවාරි 7 සිට 16 දක්වා කෙරුන අඛන්ඩ අරගලය පාවාදුන් සමිති නායකයෝ 'අර්බුදය' විසඳීමට මැදිහත් වන ලෙස ජනාධිපති රාජපක්ෂට ආයාචනා කලහ.

ගෝලීය වසංගතයෙන් උද්ගත කෙරුන ගැඹුරු ආර්ථික අර්බුදය තුල කම්කරු පන්තියේ කවර හෝ ඉල්ලීමක් ඉවසා සිටීමට රාජපක්ෂ ආන්ඩුව සුදානම් නැත. මෙම තතු තුල කම්කරු පන්තිය මුහුන දෙන ප්‍රශ්න වැඩි දියුනු වීමක් මිස ඒවායේ අඩු වීමක් නැත. 'පවතින තත්වය තුල වැටුප් වැඩිකිරීම පිලිබඳ ඉල්ලීම් කල් දැමීමට වෘත්තීය සමිති ඉදිරිපත්වීමෙන් ඔවුන් ක්‍රියාත්මක වී සිටින්නේ ධනපති ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාරවලට කම්කරුවන් කරබදු කිරීමට ය.

වෘත්තීය සමිති කියන පරිදි රාජපක්ෂ ආන්ඩුව මත වැඩි පීඩනයක් යෙදීමෙන් හෝ ජනාධිපතිට ආයාචනා කිරීමෙන් හෝ කම්කරු පන්තියට තමන්ගේ ඉල්ලීම් දිනාගත නොහැකි ය. ඔවුන් අයිතීන් සඳහා සටන තමන් අතට ගත යුතු ය. එය කල හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීන ව, කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් හා එවන් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක් හරහා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කර ගැනීමෙනි.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය මෙම අරගලය ගෙන යයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකල සෞඛ්‍ය සේවකයෝ වෘත්තීය සමිති මෙන් ම, ආන්ඩුව කෙරෙහි ද සිය කෝපය පල කලහ .

යාපනය රෝහලේ සෞඛ්‍ය සේවකයෙක් මෙසේ පැවසීය: “සියලුම වෘත්තීය සමිති වැඩකරන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව. මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ සමිතිය රාජපක්ෂ ආන්ඩුව සමග ඉන්නේ. රහෙනිස යුඇන්පියත් එක්ක. ඔවුන් සාමාජිකයන් රවට්ටනවා. ආන්ඩුව වර්ගවාදය අවුස්සලා කම්කරුන්ව භේද කරනවා. අපට අවශ්‍ය එකමුතු වී ඒකාබද්ධ අරගලයක් කිරීමට. ඒවගේ ම සමහර මාධ්‍ය අපට විරුද්ධ ව මහජනයා අවුස්සනවා. කොවිඩ් 19 වසංගතයට අපි කෙලින් ම මුහුන දෙනවා. පුද්ගලික ආරක්ෂක උපකරනවත් රජයෙන් ලැබෙන්නේ නැහැ. බඩු මිල ඉහලයාම දරා ගන්න බැහැ”.

මහනුවර ජාතික රෝහලේ විකිරන ශිල්පියෙක් මෙසේ පැවසීය: “අපට සමිති ගැන දැන් කිසිම විශ්වාසයක් නැහැ. සමිති නායකයෝ සටන් පාවා දීමට ලැබෙන වරප්‍රසාද වලින් පොහොසතුන් වෙලා. වෘත්තීය සමිති තුල කිසි ම ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් නැහැ. අරගලයක් පටන් ගැනීම, අවසන් කිරීම, ඉල්ලීම් සහ සටන් පාඨ ගැන තීන්දු ගන්නේ ඒ අය. සාමාජිකයන්ට තියෙන්නේ ඔවුන්ගේ යෝජනාවලට අත උස්සන්න විතරයි. කිසිම ස්වාධීන අදහසක් පැවසීමට ඉඩක් නැහැ. අත්‍යාවශ්‍ය සේවා නීතිවලට විරුද්ධ ව සටන් කිරීම ප්‍රධාන කාරනාවක් වුනත් ඒ සඳහා කිසිම මැදිහත්වීමක් නැහැ”

“සටන් කල යුත්තේ ජීවත් වීමට අවශ්‍ය වැටුපක් සඳහා මිසක් ගුරුවරුන්ට වඩා මුදලක් ගැනීමට නොවෙයි. වෘත්තීය සමිතිවලට සදාකාලික ව කම්කරුවන් පාවා දෙන්න බැහැ. සාමාජිකයන්ගේ කෝපය ඉක්මනින් ම පුපුරලා යාවි. එවිට ඔබ යෝජනා කරන ක්‍රියාකාරී කමිටු විකල්පයක් විදිහට මතු වේවි. සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ වෙන්න මම කැමතියි. වර්ජනය පාවාදීම සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවුන ලිපි සහෝදර කම්කරුවන් අතර බෙදා හරිමින් මම ඔවුන්ව දැනුවත් කරනවා' යැයි ඔහු පැවසී ය.

Loading