ජාතික පරිමාන විරෝධතා ලංකාවේ ආන්ඩුව ගැඹුරු අර්බුදයකට ඇද වැටීම උත්සන්න කරයි

[මෙය Nation-wide protests escalate plunging Sri Lankan government into deep crisis මැයෙන් 2022 අප්‍රේල් 5 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

අහස උසට නගින උද්ධමනය, ඉන්ධන හා අනෙකුත් මූලික භාන්ඩ හිඟය සහ දෛනිකව සිදු කරන පැය ගනන් දිගු විදුලිබල කප්පාදු හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරන මහජන විරෝධතා ඊයේ ලංකාව පුරා තවදුරටත් ඉදිරියට ගියේය. දැවැන්ත පොලිස් හා මිලිටරි බලමුලුගැන්වීමක පිටුබලය සහිත ව ආන්ඩුව විසින් පනවන ලද හදිසි නීතිය හා පැය 36ක ඇඳිරි නීතිය ප්‍රතික්ෂේප කරමින් ඉරිදා පැවතුනු විරෝධතාවලින් පසුව, ආන්ඩුව ගැඹුරු දේශපාලන අර්බුදයක ගිලී සිටී.

2022 අප්‍රේල් 4දා වරාය හා නාවික ඇමති රෝහිත අබේගුනවර්ධනගේ කලුතර කාර්යාලයට පිවිසීමට උත්සාහ දරන විරෝධතාකරුවන් පොලීසිය විසින් වලක්වයි (ඡායාරූපය: ෂෙහාන් ගුනසේකර)


දිවයිනේ සෑම ප්‍රදේශයක ම විරෝධතා පැවැත්වෙයි. උතුරේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 1,000ක් පමන සහ මඩකලපුවේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් සිය ගනනක් විරෝධතා පෙලපාලි පැවැත්වූ හ. බස්නාහිර පලාතේ හෝමාගම, මහරගම, මොරටුව, ගම්පහ හා ජා-ඇල ද වයඹ පලාතේ කුරුනෑගල ද උතුරු මැද පලාතේ අනුරාධපුර ද දකුනේ ගාල්ල හා මාතර ද ඇතුලු අනෙකුත් නගර හා උපනගරවල විශාල විරෝධතා පැනනැගුනි. කුඩා නගරවල හා මහා මාර්ග මංසන්ධිවල දී ගනන් නැති කුඩා විරෝධතා පවත්වන ලදී.

“යනු-ගෝඨා-යනු” හා අනෙකුත් සටන් පාඨ හඬ නැගූ විරෝධතාකරුවෝ, ආන්ඩුවේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස වැටලූ හ. විරෝධතාකරුවන් කන්ඩායමක් අගමැති මහින්ද රාජපක්ෂගේ තංගල්ලේ පෞද්ගලික නිවහන වන කාල්ටන් නිවස වැටලූ අතර, පොලීසිය ඔවුන් විසිරවීමට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේ ය. පෙලපාලි කිහිපයක් අවහිර කිරීම සඳහා පොලීසිය මාර්ග බාධක ඉදිකලේ ය.

අන්තර්වාර ආන්ඩුවක් බිහිකිරීමට රාජපක්ෂ දරන ප්‍රයත්නයට ප්‍රතිචාර දක්වමින්, විරෝධතාකරුවෝ “පැලැස්තර එපා” වැනි සටන් පාඨ පුවරු රැගෙන ගියේ නවතම උපාමාරු පැහැදිලි ව ප්‍රතික්ෂේප කරමිනි. අනෙකුත් අය ආහාර, ඖෂධ හා ඉන්ධන හිඟය සම්බන්ධයෙන් තීව්‍ර මහජන කෝපය පලකල හ. තවත් සමහර අය කිසිදු ප්‍රධාන පක්ෂයක් කෙරෙහි අවිශ්වාසය පලකලේ “මහජනතාවට බලය,” “අපේ අනාගතය විනාශ කරන්න එපා,” “ඇති දැන් හොඳට ම ඇති” හා “හොරකම් කල මුදල් ආපසු අපට දෙනු” වැනි සටන් පාඨ හඬ නගමිනි.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අඛන්ඩ විරෝධතාව (ලෝසවෙඅ මාධ්‍ය)


කම්කරු පන්තික කොටස් මහජන විරෝධතාවන්ට සම්බන්ධ වූ හ. වඩාත් කැපී පෙනෙන ලෙස, හෙදියන් සිය ගනනක් හා කනිෂ්ඨ කාර්ය මන්ඩල සෞඛ්‍ය කම්කරුවෝ, කොලඹ ජාතික රෝහලෙන් පිටත විරෝධතා පැවැත්වූ හ. පේරාදෙනියේ විරෝධතා උද්ඝෝෂනයට විශ්ව විද්‍යාල ආචාර්යවරු හා අනධ්‍යයන කම්කරුවෝ ද එක් වූ හ. ස්ථාන කිහිපයක දී නීතිඥයෝ ද විරෝධතාවන්ට සම්බන්ධ වූ හ.

ආන්ඩුව එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ලුහුටා යයි. ඊයේ ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු අගමැති මහින්ද රාජපක්ෂ හැර සමස්ත කැබිනට් මන්ඩලයේ ම ඉල්ලා අස්වීම පිලිගත් අතර, වර්තමාන අර්බුදය විසඳීම සඳහා අන්තර්වාර ආන්ඩුවකට එක් වන ලෙස විරුද්ධ පක්ෂවලට මංමුලා සහගත ආයාචනයක් නිකුත් කලේ ය.

ප්‍රධාන විරුද්ධ පක්ෂ තුන ම මෙම ආයාචනය එකහෙලා ප්‍රතික්ෂේප කල හ. විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස මෙසේ ප්‍රකාශ කලේ ය: “ශ්‍රීලපොපෙ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුන) ඇතුලත් වන ආන්ඩුවක කිසිදු තනතුරක් භාරගැනීමට අපි සූදානම් නැහැ.” ශ්‍රීලපොපෙ යනු රාජපක්ෂගේ පාලක සභාගයේ ප්‍රධාන පක්ෂය යි.

දෙමල ජාතික සන්ධානය (දෙජාස) ද ජනාධිපතිගේ අදහස ප්‍රතික්ෂේප කලේ ය. “විපක්ෂ මන්ත්‍රීවරුන් සමගින් කැබිනට්ටුව ප්‍රතිස්ථාපනය කිරීමට ඔහු කරන යෝජනාව විකාරයක්, එය ඔහුගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටින මහජනයා ව කෝපයට පත්කරනවා” යි දෙජාස ප්‍රකාශක මදියපරනන් ඒබ්‍රහම් සුමන්දිරන් මාධ්‍ය වෙත කීවේ ය.

අප්‍රේල් 4දා මහනුවර පැවති විරෝධතා පෙලපාලිය (ලෝසවෙඅ මාධ්‍ය)


එවන් ආන්ඩුවකට සම්බන්ධ වීම දේශපාලන දිවිනසා ගැනීමක් වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) එකහෙලා ප්‍රකාශ කලේ ය. “ඇද වැටෙමින් පවතින ආන්ඩුවකට විපක්ෂ මන්ත්‍රීවරු මුක්කුව දෙනු ඇතැයි සිතන්නා සැබෑ ම උන්මත්තකයෙක්” යයි ජවිපෙ නායක අනුර දිසානායක කොලඹ දී වාර්තාකරුවන්ට පැවසී ය.

මේ කිසිදු පක්ෂයක් අතීතයේ දී ආන්ඩුව සමග ඒකාබද්ධ වීමට පසුබට වී නැත. 2020 දී සර්ව-පාක්ෂික සමුලුවට සහභාගි වූ ඔවුහු, කෝවිඩ්-19 වසංගතයට දිවයින පුරා නිදහසේ පැතිරීමට ඉඩ දෙමින්, 2020 මැද දී ආර්ථිකය හැල්මේ යලි විවෘත කිරීමේ රාජපක්ෂගේ තීරනයට පිටුබලය දුන් හ. එහෙත්, මහජන කෝපයේ මට්ටම කොතෙක් ද යත්, අත්‍යන්තයෙන් අපකීර්තිමත් රාජපක්ෂ ආන්ඩුව සමග සහයෝගි වීමට ඔවුන් කිසිවෙක් නිර්භය නැත.

සජබ, ජවිපෙ හා දෙජාස යන සියලු පක්ෂ ජනාධිපති රාජපක්ෂ හෙලාදකිමින් ඔහුට ඉල්ලා අස්වන ලෙස කියන නමුත්, කම්කරු පන්තිය හා ගම්බද ජනයා මත නව බර පැටවීමෙන් තොර ව, වර්තමාන ආර්ථික අර්බුදයට වෙනත් කිසිදු විසඳුමක් ඔවුන් සතු ව නැත. ඇප පැකේජයක් ඉල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වෙත යන ලෙස සජබ යලි යලිත් ආන්ඩුවට කැඳවුම් කර ඇති අතර, අනිවාර්යයෙන් ම රුදුරු කප්පාදු පිලිවෙත් කැටිව එනු ඇති පියවරක් වන එය, දැන් ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටී.

ඊයේ දහවල් වන විට, රාජපක්ෂ පත්කර තිබුනේ ඇමතිවරුන් හතර දෙනෙකු පමනි. රාජපක්ෂගේ හිටපු නීතිඥ හා අධිකරන ඇමති අලි සබ්රි මුදල් ඇමති ලෙස පත්කරන ලද්දේ, පාලක සභාගය තුල ම ද ඇතුලු ව ආර්ථික අර්බුදය හැසිරවූ ආකාරය හේතුවෙන් පලල් ලෙස විවේචනයට බඳුන් ව ඇති ජනාධිපතිගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ විස්ථාපනය කරමිනි. ජී. එල්. පීරිස්, දිනේශ් ගුනවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන තිදෙනා ඔවුන් කලින් දැරූ විදේශ කටයුතු, අධ්‍යාපන සහ මහා මාර්ග ඇමති ධූරවලට යලි පත්කරන ලද්දේ ය.

අප්‍රේල් 4දා මහරගම පැවති විරෝධතාව (ලෝසවෙඅ මාධ්‍ය)

ආර්ථික අර්බුදයට ආමන්ත්‍රනය කරනුයේ කෙසේදැයි යන්න මත පැනනැගි මතභේද හේතුවෙන්, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමත් සමග ආන්ඩුව තව දුරටත් අර්බුදය තුලට ලුහුටා ගියේ ය. මහ බැංකුවේ අප්‍රේල් මූල්‍ය පිලිවෙත් විමර්ශනය නිකුත් කොට පොලී අනුපාත පිලිබඳ තීරනයක් ගැනීමට නියමිත ව ඇත්තේ අද ය. දැන් සිදුවනු ඇත්තේ කවරක් ද යන්න ගැන එය කිසිවක් ඉඟි කලේ නැත.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ කුලීකාර යුද්ධය විසින් සුවිසල් ලෙස තීව්‍ර කර ඇති, කෝවිඩ්-19 වසංගතය විසින් ජනනය කරන ලද ගෝලීය ආර්ථික ව්‍යසනය, ලංකාවේ ආර්ථිකයට දරුනු ලෙස පහර දී තිබේ. විදෙස් සංචිත මුදල්වල දැඩි හිඟය ඛනිජ තෙල් නිෂ්පාදන, අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා අනෙකුත් මූලික භාන්ඩ ආනයනය කඩාකප්පල් කර ඇත. රට පවතින්නේ එහි සුවිශාල විදේශ නය ගෙවීම පැහැර හැරීමේ අද්දර ය.

ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ, සම්මත කොටස් මිල දර්ශකය තියුනු ලෙස ඇද වැටීම හේතුවෙන්, කොලඹ කොටස් හුවමාරුව සඳුදා දෙවරක් වෙලඳ කටයුතු අත්හිටුවී ය. ශ්‍රී ලංකා කොටස් වෙලඳපොල මාර්තුවේ දී සියයට 23ක් අහිමි කරගත්තේ, ඊට පෙර මාසයේ දී සියයට 11කින් ඇදවැටීමෙන් පසුව වන අතර, මේ වසරේ සමස්ත ඇදවැටීම සියයට 32කි.

හැටන් නගරයේ ආන්ඩු-විරෝධී විරෝධතාව, අප්‍රේල් 4 (ලෝසවෙඅ මාධ්‍ය)

පාලක සභාගයට බහුතරය අහිමිවීමේ සියලු සංඥාවන් පෙන්නුම් කෙරෙන පාර්ලිමේන්තුව අද දිනයේ රැස්වීමත් සමග දේශපාලන ආරවුල තව දුරටත් තීව්‍රවීම පමනක් සිදුවනු ඇත. මහජන විරෝධය මධ්‍යයේ, පක්ෂ කිහිපයක් හා විමතික කන්ඩායම් පෙන්නුම් කර ඇත්තේ, සභාගයෙන් වෙන් වී ස්වාධීන කන්ඩායම් ලෙස කටයුතු කරන බව ය.

ආන්ඩුව අඛන්ඩ ව වර්තමාන උපායන් පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේ නම්, පාලක ශ්‍රීලපොපෙහි මන්ත්‍රීවරුන් 50ක් ස්වාධීන ව කටයුතු කරනු ඇතැයි හිටපු රාජ්‍ය ඇමති නිමල් ලන්සා කියා තිබේ. අලුතින් පත්කරන ලද ඇමතිවරුන් හතර දෙනා සම්බන්ධයෙන් ඊයේ ප්‍රශ්න මතු කල, මන්ත්‍රීන් 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), තමන් පාලක සභාගයෙන් ඉවත් වන බව ප්‍රකාශ කලේ ය. එසේ සිදු වුවහොත්, ආන්ඩුව මන්ත්‍රීවරුන් 225ක් සහිත පාර්ලිමේන්තුවේ සුලුතරයක් බවට ලඝු වනු ඇත.

ඊ ලඟ ආන්ඩුවේ සංයුතිය හා රූපාකාරය කවරක් වුවත්, අවසානය දක්වා ම ධනවාදය ආරක්ෂා කරන පක්ෂවලින් සමන්විත වන එයට, වැඩකරන ජනයාගේ පීඩාවන් වැලැක්වීමට කිසිවක් කල නො හැක. කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මෙන් ම, මේ සියලු පක්ෂ බහුතර සාමාන්‍ය ජනයාගේ යහපත, සෞඛ්‍යය හා ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයේ ලාභ හා සුපිරි ධනවතුන්ගේ ධනය තබති.

දේවල් තමන්ගේ ම අතට ගතයුතු යයි කම්කරු පන්තිය උනන්දු කරමින් විරෝධතා ව්‍යාපාරයට මැදිහත් වන එක ම පක්ෂය ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය යි. මෙම අර්බුදය පුරා නිහඬතාව රැක ඇති වෘත්තීය සමිතිවලින් හා ධනපති පන්තියේ සියලු පක්ෂවලින් ස්වාධීන ව කර්මාන්තශාලා හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු‌ගොඩනගන ලෙස එය කැඳවුම් කරයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන සටනේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීම හරහා, වැඩකරන ජනයාගේ අවශ්‍යතාවන්ට අනුකූලව අර්බුදය විසඳිය හැකි එක ම මාවත වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පදනම දැමිය හැක්කේ එවන් ක්‍රියාකාරී කමිටුවලට ය.

Loading