ආන්ඩු විරෝධී උද්ඝෝෂන දිගට ම යද්දී ලංකාවට තවමත් මුදල් ඇමතිවරයෙකු පත් කර ගැනීමට නොහැකි වෙයි

[මෙහි පලවන්නේ අප්‍රේල් 8වන දින Sri Lanka still has no finance minister amid continuing anti-government protests යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි. එසේ වුවද, මුදල් ඇමති ලෙස පත්කිරීමෙන් පය 24ක් ගතවන්නටත් මත්තෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිට යැවූ බව නිවේදනය කල අලි සබ්‍රි ඊයේ සවස් භාගය වන විට සඳහන් කලේ තම ලිපිය ජනාධිපති පිලි නොගත් නිසා දිගට ම තනතුරේ සිටින බවයි. මෙම පිනුම් ගැසීම් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ දේශපාලන අර්බුදයේ ගැඹුරුකමයි.]

මුලු කැබිනට්ටුව ම ඉල්ලා අස්වීමෙන් දින ගනනක් යන තුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තීරනාත්මක මුදල් ඇමතිකම සඳහා සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වී ඇත. දැනට රට දශක ගනාවකින් පසුව දරුනු ම ආර්ථික අර්බුදයකින් ඇලලී ඇති අතර නය පැහැර හැරීමේ අද්දරට පැමින ඇත. පිරිහෙන විදේශ විනිමය, ඉන්ධන, ආහාර හා බෙහෙත් හිඟයකට තුඩු දී තිබෙන අතර, පිම්මේ ඉහල නඟින මිල ගනන් හා දිගු විදුලිය කපාහැරීම්, ජනාධිපති හා ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බව කියා සිටින අඛන්ඩ මහජන විරෝධතා අවුලුවා තිබේ.

ජනාධිපතිගේ සොයුරා වන බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමති වූ අතර, ඔහු ආර්ථික අර්බුදය පිලිබඳ ව පාලක සභාගය තුල මෙන්ම පුලුල් වශයෙන් ද දෝෂ දර්ශනයට ලක්ව සිටී. ඔහු සමඟ මුලු කැබිනට්ටුව ම සඳුදා දින ඉල්ලා අස්වීමෙන් පසු ව, විකල්පයක් ලෙස, ජනාධිපතිගේ නීතිඥ හා සමීපතමයෙකු වන අලි සබ්‍රි පත්කරන ලදී. පැය 24ක් ගතවෙන්නට මත්තෙන් ඔහු ද අස්විය.

අඩුව පිරවීමට ජනාධිපති කොලඹ සංස්ථාපිතය ම පීරා බැලූ නමුත්, ඊයේ වන තුරුත් විස බඳුන බාර ගැනීමට කිසිවෙකුත් කැමැත්තක් නොදක්වන බව පෙනී ගියේ ය. හිටපු වෙලඳ ඇමති බන්දුල ගුනවර්ධන ගෙන් ද ඒ ගැන විමසූ නමුත් ඔහු ද එය බාර ගැනීමට “අදි මදි” කල බව ඩේලි මිරර් පත්‍රය වාර්තා කර තිබුනි.

අප්‍රේල් 7 දා රාගමදී පැවති විශ්ව විද්‍යාල සිසුන්ගේ සහ තරුනයන්ගේ විරෝධතාවයක් [ලොසවෙඅ]

ආන්ඩුවට එරෙහි ව නැගෙන මහජන කෝපය හමුවේ, 'ආන්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන් පසුබෑමකට ලක් ව ඇති අතර, ජනාධිපතිවරයාට ඇමතිකමට සුදුසු අපේක්ෂකයෙකු සොයා ගැනීමට නොහැකි වීමත් සමඟ ඔවුන් එකිනෙකාට බෝලය පාස් කරන බවක් පෙනේ' යනුවෙන් ලිපියේ සඳහන් විය. අත්‍යවශ්‍ය ආර්ථික ආධාර ලබා ගැනීම සඳහා මුදල් ඇමති, අප්‍රේල් දෙවන සතිය වන විට වොෂින්ටනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන දූත පිරිසේ ප්‍රධානියා විය යුතු බැවින්, ජනාධිපතිට ලැබී තිබෙන කාලය අවසන් වෙමින් ඇති බව එය පැහැදිලි කලේ ය.

රාජපක්ෂ නව මහ බැංකු අධිපතිවරයෙකු සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු පත් කර ඇතත්, ජාමූඅ වෙතින් හදිසි ඇප නයක් ඉල්ලා සිටීමට සිදුවන කන්ඩායමට නායකත්වය දීමේ වගකීම භාර ගැනීමට කිසිවෙකුට අවශ්‍ය නැත. එවැනි ඕනෑම පැකේජයක් නොවැලැක්විය හැකි ලෙස ම දැඩි කප්පාදු පියවර නිර්දේශ කරනු ඇති අතර එය නිසැක ව ම කුසගිනි හා සාගිනි තත්ත්වයන් එලඹ ඇති තතු යටතේ කෝපාවිෂ්ඨ විරෝධතා අවුලුවාලනු ඇත.

මුදල් ඇමතිවරයෙකු සොයා ගැනීමට ඇති නොහැකියාව පෙන්නුම් කරන්නේ, සමස්තයක් ලෙස ආන්ඩුව සහ කොලඹ දේශපාලන සංස්ථාපිතය ගිල ගනිමින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයේ දැවැන්ත බව පමනි. ආන්ඩුව දැනට සමන්විත වන්නේ, ජනාධිපති, අගමැති සහ විදේශ කටයුතු, අධ්‍යාපන සහ ප්‍රවාහන අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ඇටසැකිල්ලක් බඳු කැබිනට් මන්ඩලයකිනි.

බදාදා සහ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවති දෙදින විවාදයේ හාස්‍යජනක ස්වභාවයෙන්, පාලක කවයන් තුල ඇති ව්‍යාකූලත්වය තවදුරටත් ඉස්මතු විය. අඟහරුවාදා තොග පිටින් ඉවත්වීම හේතුවෙන් ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 114ක තුනී බහුතරයකට ආන්ඩුවේ සංඛ්‍යාව අඩු විය.

අර්බුදය පිලිබඳ විවාදය ආරම්භ කරමින් කථානායක අනතුරු ඇඟවූයේ, ඉදිරියේ සාගතයකට රට මුහුන දෙන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකුගේ අවධානයක් ඒ කෙරෙහි යොමු නොවූ අතර වාද විවාද නාටකයක් බවට පත් විය.

සමගි ජන බලවේගය( සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන විරුද්ධ පක්ෂවලට - විරෝධතා ඇවිලවීම සහ 'ප්‍රචන්ඩත්වය' උසිගන්වන බවට ආන්ඩුවේ මන්ත්‍රීවරු චෝදනා කලහ. යථාර්ථය නම්, ඔවුන්ගේ පාලනයෙන් පිටත ඉමහත් ලෙස පුපුරා ගිය විරෝධතාවල විරුද්ධ පක්ෂවලට ඇත්තේ අල්ප භූමිකාවකි.

විපක්ෂයේ පක්ෂ ද මෙම මහජන ව්‍යාපාරය කෙරෙහි ආන්ඩුව මෙන්ම භීතියට පත්ව සිටිති. ජාතික සමගි ආන්ඩුවකට බැඳීමට රාජපක්ෂ කල ආයාචනය ඔවුහු ප්‍රතික්ෂේප කලහ.

ජනාධිපතිට ඉල්ලා අස්විය යුතු බව පවසමින් සජබ මන්ත්‍රීවරු නැවතත් පාර්ලිමේන්තුවේ විරෝධතාවයක නිරත වූ නමුත් ජනතාව මුහුන දී සිටින අර්බුදයට එම පක්ෂයට විසඳුමක් නැත. ජාමූඅ වෙත ගොස් ඇප නයක් ලබා ගැනීම සඳහා එහි කුරිරු කොන්දේසි පිලිගන්නා ලෙස සති ගනනාවක් තිස්සේ ඔවුන් ආන්ඩුවට බලකරමින් සිටී.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ජනාධිපති රාජපක්ෂ ඉල්ලා අස්වන්නේ නම් අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවීමේ දී අනෙකුත් ධනේශ්වර පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තම පක්ෂය සූදානම් බව සහ කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කලේය. එමගින් ඔහු ප්‍රකාශයට පත් කලේ සිය පක්ෂයේ පන්ති ස්වභාවයයි.

'ජනාධිපතිවරයා දිගටම බලයේ සිටින අතරතුර එන කිසිම අතුරු ආන්ඩුවක් හෝ වෙනත් යාන්ත්‍රනයක් මේ රටේ පුරවැසියන් පිලිගන්නේ නැහැ,' ඔහු පැවසීය. “ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි. මෙම කොන්දේසිය යටතේ අපි සභාගයක් හෝ අතුරු පාලනයක් සඳහා ඕනෑම යෝජනාවක් සාකච්ඡා කිරීමට සූදානම්.

ජනතාවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් පමනක් නොව කලින් කලට කෙරෙන සමාජවාදී වාචාලකම් පිලිබඳව ද අපකීර්තිමත් ජවිපෙ, “ජනතාවගේ ආන්ඩුවක්” සඳහා වන අවශ්‍යතාවය ගැන කියමින්, විරෝධතා ව්‍යාපාරයේ හිතවතෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ දරයි. ජනතාවගේ ආන්ඩුවක් පිලිබඳව ජවිපෙ යෝජනාව දිසානායක පැහැදිලි කලේය, එනම්, වැඩකරන ජනතාවගේ පිටුපසින් ඇතිකරන, ධනපති පක්ෂවල හා දෙශපාලඥයන්ගේ නීච එකතුවකි.

තරුන ජනයා ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවට මහනුවරදී උද්ඝෝෂනය කරති [WSWS Media]

සැලකිය යුතු දේශපාලන කැලඹීම් මධ්‍යයේ, 2004-2005 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සභාග ආන්ඩුවට ඇතුල් වූ ජවිපෙ ගැන, කම්කරු පන්තිය ඒ වන විටත් අත්දැකීම් ලබා තිබුනි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස දිසානායක ම පත්වූ අතර, ජවිපෙ ඇමතිවරුන් හතර දෙනා, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජාමූඅ කප්පාදු නියෝග බලාත්මක කිරීමට මූලික වූහ. ඊටත් වඩා ගැඹුරු ආර්ථික අර්බුදයක කොන්දේසි යටතේ අදත් එය ම කිරීමට ජවිපෙ නො පැකිලෙනු ඇත.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය බදාදා වාර්තා කලේ, ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නරකම මුදල් ඒකකය බවට පත්ව ඇති අතර අතර ඒ අතින් එය රුසියානු රූබලයට ද පිටුපසින් සිටින බවයි. වසර ආරම්භයේ සිට රුපියලේ අගය සියයට 32න් පහත වැටී ඇත. බ්ලූම්බර්ග් අනුව කොලඹ කොටස් හුවමාරුව, ලෝකයේ නරක ම තැනට වැටී ඇති රුසියානු කොටස් වෙලඳපොලට පමනක් දෙවැනි වේ.

මාර්තු මාසයේ දී උද්ධමනය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 18.5ට ලඟා වූ නමුත් ආහාර උද්ධමනය සියයට 30ක් තරම් ඉහල මට්ටමක පැවතීම නිසා වැඩ කරන ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට ඇති විටෙක පවා ඒවා මිල දී ගැනීමට අපහසු ය. ඇත්ත තත්ත්වය ඊට වඩා දරුනු ය. ජෝන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ස්ටීව් එච් හැන්කි ගනනය කර ඇත්තේ, මාර්තු 24 වන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 55 දක්වා ඉහල මට්ටමකට නැඟ ඇති බවයි - එය, වෙනිසියුලාව, සිම්බාබ්වේ, ලෙබනනය, තුර්කිය සහ සුඩානයට පසුව ලෝකයේ හයවන ඉහලම උද්ධමනයයි.

මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් තිබේ. ශ්‍රී ලංකාව සිය ඖෂධ අවශ්‍යතාවලින් සියයට 85කට වැඩි ප්‍රමානයක් ආනයනය කරතත් ඒ සඳහා ගෙවීමට ආන්ඩුව සතුව ඇමෙරිකානු ඩොලර් නොමැත. කොලඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ ගෝඨාභය රනසිංහ ගාඩියන් පුවත්පතට පැවසුවේ, රෝහල් පල්ලමට වැටෙමින් පවතින අතර ජීවිත රැසක් අනතුරේ පවතින බවයි.

“හෘද රෝග, රුධිර පීඩන, හෘදයාබාධ සඳහා වැදගත් වන ඖෂධ සියල්ල අවසන් වෙමින් ඇත. බොහෝ පිලිකා ඖෂධ ද දැන් ලබා ගත නොහැකි බව මම අසා ඇති අතර එය ඉතා කනගාටුදායක තත්වයක්, ” යැයි ඔහු පැවසී ය. 'මිනිසුන් අරගල කරනවා, ඔවුන් වීදිවල ඉන්නවා, නමුත් අපිත් දරුනු අර්බුදයක සිර වී සිටිනවා, මට එයින් මිදෙන මාර්ගයක් පෙනෙන්නේ නැහැ.'

සෞඛ්‍ය, අධ්‍යාපන හා විදුලිය ඇතුලු සමහර රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති අකමැත්තෙන් නමුත්, කොලඹ සහ අනෙකුත් නගරවල සීමිත විරෝධතා කැඳවා ඇත. මෙම වෘත්තීය සමිති ම පසුගිය වසර දෙක පුරා එකක් පාසා තවෙකක් වශයෙන් වැඩ වර්ජන අරගල පාවා දී ඇත. ඔවුන් දැන් මැදිහත් වී සිටින්නේ, තම සාමාජිකයන් අතර නැගෙන කෝපය පාලනය කිරීමට සහ යටපත් කිරීම සඳහායි.

සෞඛ්‍ය අර්බුදයට විසඳුම් ඉල්ලා වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් රෝහල් සේවකයින් ඊයේ රට පුරා විරෝධතා පැවැත්වීය. පසුගිය දින දෙක තුල කොලඹ, කලුතර, රත්නපුර, මහනුවර, කුරුනෑගල, ත්‍රිකුනාමලය, රත්මලාන, මොරටුව, ගලේවෙල, බිංගිරිය, මහරගම ඇතුලු නගර රැසක විරෝධතා පැවැත්විනි.

කයිට්ස් රෝහලෙන් පිටත සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයක යෙදී සිටී[WSWS Media]

මොරටුව, සබරගමුව ඌව වෙල්ලස්ස, රජරට, වයඹ, විවෘත විශ්වවිද්‍යාලය ඇතුලු විශ්වවිද්‍යාල සිසුන් දහස් ගනනක් ද ඊයේ විරෝධතාවලට එක්ව සිටියහ. සමහර පාසල් සිසුන් ද ඊට එක්ව සිටියා.

වර්තමානයේ දේශපාලන සංස්ථාපිතය, ගැඹුරු අර්බුදයක ගිලී ඇත. එහෙත්, මහජනතාව මුහුන දෙන මංමුලා සහගත තත්වයට කම්කරු පන්තිය තමන්ගේම විසඳුම ඉදිරිපත් නොකරන්නේ නම්, ධනේශ්වර පන්තිය ඉන් ගොඩ එමින් ඒකාධිපති මාර්ග හරහා ඊටත් වඩා විශාල බරක් වැඩ කරන ජනතාව මත පටවනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය ඊයේ, රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමා අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල ප්‍රකාශයක් පල කලේ ය. තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි අතර සුරක්ෂිත ආහාර, ඉන්ධන සහ ඖෂධ ලබාදීම සඳහා සමාජවාදී ක්‍රියාමාර්ගයක් ගෙනහැර දැක්වීය.

එම ප්‍රකාශය සැලකිල්ලෙන් අධ්‍යයනය කරමින් ක්‍රියාවට නංවන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. සියල්ලටත් වඩා, ඔබ මෙම දේශපාලන ඉදිරිදර්ශනයට එකඟ නම්, මෙම අරගලවලට නායකත්වය දීමට අවශ්‍ය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසපට බැඳී එය ගොඩනඟන්න.

Loading