පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුමුවට පත් වී දුසිම් දෙකක් තුවාල ලබති

[මෙය One killed, two dozen injured as Sri Lankan police fire on protestors මැයෙන් 2022 අප්‍රේල් 20 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, ඊයේ රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා සිටිති. 

ඉරිදා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද හා සඳුදා  රජයට අයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද පෙට්‍රල් හා ඩීසල් මිල වැඩි කිරීම්වලට විරුද්ධ ව, රට පුරා සෑම නගරයක ම පාහේ විරෝධතා පුපුරා ගියේ ය.

චමින්ද ලක්ෂාන් (ඡායාරූපය: ෆේස්බුක්)

ඊයේ සිදු වූ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය ඇසින් දුටුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ, මරුමුවට පත් පුද්ගලයා රඹුක්කන නාරම්බැද්ද ගම්මානයේ ජීවත් වූ දෙදරු පියෙකු වන 40-හැවිරිදි චමින්ද ලක්ෂාන් බවයි. ධනවතුන්ගේ නිවාසවල ඇති කරන අලින්ට තම ලොරියෙන් ආහාර සැපයීම ඔහු ජීවනෝපාය ලෙස කරගෙන ගියේ ය. 

අනෙක් ප්‍රදේශවල මෙන් ම, පෙට්‍රල් හා ඩීසල් නො ලබා, රඹුක්කන ඉන්ධන බෙදාහැරීමේ ස්ථානයේ ද දහස් ගනනක් මහජනයා පසුගිය දවස් තුන තිස්සේ පෝලිම්වල බලා සිට ඇත. සඳුදා රාත්‍රීයේ දී පෙට්‍රල් බවුසරයක් ඉන්ධන පොලට ලඟා විය. ඊයේ බෙදාහැරීම ආරම්භ කල විට, තමන් දවස් ගනනක් තිස්සේ බලා සිටි නිසා, ඉන්ධන කලින් මිලට ම ලබා දෙන ලෙස මහජනයා ඉල්ලා සිටිය හ. 

එය ප්‍රතික්ෂේප කල විට, මහා මාර්ගය හා දුම්රිය මාර්ගය හරස් කරමින් මහජනයා විරෝධතාව ඇරඹූ හ. රඹුක්කන හා ඒ ආසන්න පොලිස් ස්ථානවලින් පොලීසිය මහා පරිමානයෙන් බලමුලු ගන්වන ලදී. දහවල වන විට තත්ත්වය අතිශයින් උනුසුම්  සහගත විය. මහජනයා ඉවත් වීම ප්‍රතික්ෂේප කල විට, පොලීසිය කඳුලු ගෑස් යොදාගෙන පහර දුන්නේ ය. ඊලඟට එක්වර ම, කිසිදු අනතුරු ඇඟවීමකින් තොර ව, පොලීසිය සෙනග මතට ජීව උන්ඩවලින් වෙඩි තැබීම ඇරඹුවේ ය.

ගාඩියන් පුවත්පත විසින් උපුටා දැක්වූ වීඩියෝ පටයක “අනෙකුත් අයට උපදෙස් දෙමින් සිටි කැරලි මර්දන ඇඳුමින් සැරසී සිටි ජ්‍යෙෂ්ටනිලධාරියෙක් ‘වෙඩි තියන්න, වෙඩි තියන්න, උන් එලවා දමන්න’” යි අන දෙනු පෙන්නුම් කෙරෙයි.

 2022 අප්‍රේල් 19දා රඹුක්කන දී සිදු කල පොලිස් ප්‍රහාරයෙන් පසුව ‌තුවාල සිදු වූ පුද්ගලයෙකු රෝහල්ගත කරනු ලබයි (ඡායාරූපය: ෆේස්බුක්) 

තුවාල සිදු වූවන් රඹුක්කන හා කෑගල්ල රෝහල්වලට ගෙන එනු ලැබී ය. ලක්ෂාන් කෑගල්ල රෝහලේ දී මිය ගියේ ය. බරපතල තුවාල සිදු වූ පුද්ගලයන් පස් දෙනෙකුට ද එම රෝහලේ ම ප්‍රතිකාර කරනු ලැබේ.

සවස වන විට, රඹුක්කන පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගත්තේ ය. එම ප්‍රදේශය හරහා ගමන් කිරීමෙන්  වලකින ලෙසට පොලීසිය මහජනයාට දැනුම් දී ඇත.  මුර්ගකම පිලිබඳ කුප්‍රකට විශේෂ කාර්ය බලකා ඒකක පොලීසිය විසින් එම ප්‍රදේශයේ යොදවා ඇත. ගල්වලින් පහර දීමෙන් පසුව තමන් වෙඩි තැබූ බව පොලීසිය කියා සිටියි.

ඊයේ විරෝධතාවට ආසන්නත ම හේතුව වූයේ නවත ම ඉන්ධන මිල ඉහල දැමීම යි. එහෙත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, ලක්ෂ ගනනක් වැඩකරන ජනයා සති දෙකකට වැඩි කාලයක් තිස්සේ විරෝධතා පවත්වමින් සිට ඇත.

කොලඹ ගාලු මුවදොර පිටියේ දී, “ගෝඨා ගෙදර යනු” යන සටන් පාඨය ඉස්මතු කරමින්, විරෝධතාකරුවන් 10,000ක් පමන එක්රැස් වී සිටිති. පිම්මේ ඉහල යන උද්ධමනය, ආහාර, ඖෂධ හා ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය සහ දීර්ඝ දෛනික විදුලි කප්පාදු හේතුවෙන් මහජනයා කෝපයට පත් ව සිටිති.

එම සටන් පාඨය යටතේ ම, රඹුක්කන ප්‍රදේශයේ ද ගෙවී ගිය දවස් කිහිපය තුල විරෝධතා පැවැත්වී ඇත. 

2022 අප්‍රේල් 19දා රඹුක්කන දුම්රිය මාර්ගයක වාඩිලා සිටිමින් ඉන්ධන ඉල්ලන විරෝධතාකරුවෝ (ඡායාරූපය: ෆේස්බුක්)

අනතුරු ඇඟවීමකින් තොර ව රඹුක්කන දී විරෝධතාවට එල්ල කල ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාරය, විරෝධතා දක්වන පලල් මහජනතාව බියවැද්දීම සඳහා දැරූ දැනුවත් උත්සාහයකි. පැය ගනනක් තිස්සේ දුම්රිය මාර්ගයට බාධා කල සෙනග මතට වෙඩි තැබීමේ තීන්දුව ගත හැකි ව තිබුනේ ඉහල ම මට්ටම්වලින් පමනි.

ආන්ඩුව මුහුන දී සිටින්නේ, වැඩකරන ජනයා මත නව බර පැටවීම් හැරෙන්නට වෙනත් විසඳුමක් නැති පෙර නුවූ විරූ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදයකට ය.‍මහ බැංකුව විදේශ නය ගෙවීම තාවකාලික ව අත්හිටුවීම ප්‍රකාශයට පත් කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) හදිසි සහයෝගය යැදීමට ලංකාවේ නියෝජිත කන්ඩායමක් දැන් වොෂින්ටනයේ සිටී.

තත්ත්වය  තම පාලනය යටතේ පවතින බව පෙන්නීම සඳහා, රාජපක්ෂ පාලනය විරෝධතා ව්‍යාපාරය අවසන් කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ දරයි. අලුතින් පත්කරන ලද නව කැබිනට්ටුව ඇමතූ ජනාධිපති රාජපක්ෂ, “විරෝධතාව කලහකාරී  බවට හැරවීමට අවස්ථාවාදීන්ට ඉඩ නො දෙන්නැ” යි විරෝධතාකරුවන්ට වක්‍ර අනතුරු ඇඟවීමක් කලේ ය.

එහෙත්, කම්කරුවන්ට හා දුගීන්ට ජීවත්වීමට ආහාර සොයා ගැනීම පවා අසීරු කරමින් තත්වය නරක අතට හැරෙන තත්වය නිසා විරෝධතා පැන නැගී තිබේ.

මේ සතියේ මිල වැඩිකිරීම් සමග, මේ වසර තුල පමනක්, පෙට්‍රල් මිල සියයට 91කින් ද ඩීසල් මිල සියයට 139කින් ද වැඩිකරනු ලැබ ඇත. මෙය වනාහි, ජාත්‍යන්තර ව තෙල් මිල ගනන් ඉහලට තල්ලු කර ඇති යුක්‍රේන යුද්ධයේ ඍජු ප්‍රතිඵලයකි.

ඉන්ධන මිල ගනන් විශාල ලෙස ඉහල දැමීම, ප්‍රවාහනයේ හා අනෙකුත් බොහෝ භාන්ඩවල පිරිවැය ඉහල දමමින් මිල ඉහල දැමීම් දාමයක්  ඇති කරයි. ඊයේ, බස් ගාස්තු සියයට 35කින් ඉහල දැමීමට ආන්ඩුව අනුමැතිය දුන්නේ ය. තාප ජනක විදුලිබල ජනනයට අවශ්‍ය ඩීසල් සඳහා ගෙවීමට ආන්ඩුව අසමත් වන තතු යටතේ, එය දීර්ඝ දෛනික විදුලි කප්පාදු වැඩ දිගට ම ගෙන යයි.

ඊයේ, දිවයිනේ ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදන සමාගම, පිටි කිලෝවක මිල රුපියල් 40කින් වැඩි කරන බව නිවේදනය කලේ ය. ක්ෂනික ව ග්‍රෑම් 400 පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහල දැමූ බේකරි හිමියෝ, ඔවුන්ගේ අනෙකුත් නිෂ්පාදනවල මිල ද ඉහල දමන බව ප්‍රකාශ කලහ.

රුදුරු කප්පාදු පියවරයන් සහිතව  ජාමූඅ සමග ගිවිසුම ඇතිකර ගත්විට සිදු වනු ඇත්තේ වැඩකරන ජනයා මුහුන දෙන තත්ත්වය වඩාත් නරක් වීම පමනකි . ජනගහනයේ දුප්පත් ම කොටස්වලට වඩාත් ම දැඩි ලෙස පහර වැදෙන අයවැය පරතරය ගැඹුරින් කප්පාදු කිරීම, රජයට අයත් ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම හා එකතු කල අගය මත බදු වැඩි කිරීම ඇතුලු ඇප නය කොන්දේසි ජාමූඅ දැනට මත් ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය අංශයේ රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් යෝධ ලෙස කැපීම්, රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය හෝ වානිජකරනය, සමාජ සහන වැඩසටහන් උපුටා දැමීම සහ නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍ය සේවයේ ඉතුරි වී තිබෙන දේ ගැඹුරින් කපාහැරීම් ලෙස මෙම පියවරයන් ක්‍රියාත්මක වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ව පැටවිය නො හැකි මෙම කප්පාදු න්‍යාය පත්‍රය, වැඩකරන ජනයාගේ අධිෂ්ටානවත් ප්‍රතිරෝධයට මුහුන දෙනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ඊයේ රඹුක්කන දී විරෝධතාකරුවන්ට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙලා දකියි. එය වනාහි, තිරයෙන් පිටුපස සිට ආන්ඩුව සූදානම් කරමින් සිටින, විරෝධතා ව්‍යාපාරය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා මිලිටරිය හා පොලීසිය යොදාගැනීම පිලිබඳ ව, අනතුරු ඇඟවීමේ සංඥාවකි. 

සසප, වැඩකරන ජනයාට ඔවුන්ගේ දැවෙන අවශ්‍යතා සඳහා සටන් කිරීමට පවතින අයිතිය -මෙහි දී නම්, සිය දෛනික ක්‍රියාකාරකම් ඉටු කරගැනීම සඳහා වැඩකරන ජනයාට සාධාරන මිලකට ඉන්ධන මිල දී ගැනීමේ හැකියාව- ආරක්ෂා කරයි. සියලු දෙනා සඳහා ඉන්ධන, ආහාර, ඖෂධ හා අනෙකුත් මූලික භාන්ඩ සැපයීම සුරක්ෂිත කිරීමට ආන්ඩුවට හා සංගතවලට නො හැකි නම්, නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරු පන්තිය තමන් අතට ගත යුතු ය.

කම්හල්, වැඩපොලවල් හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කැඳවුම් කරයි. කම්කරුවන්, ගොවීන්, තරුනයන් හා දුගීන්ගේ වියදමින් ධනවතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන ලාභ පද්ධතිය රකින වෘත්තීය සමිතිවලින් හා විරුද්ධ පක්ෂවලින්, මෙම ක්‍රියාකාරී කමිටු ස්වාධීන වීම අවශ්‍ය ය.

කම්කරු පන්තියට සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීම පිනිස, ක්‍රියාකාරී සමාජවාදී ක්‍රියා මාර්ගයක් සසප විසින් ඉදිරිපත් කර ඇත. 

Loading