දෙමල ජාතිකවාදීන් මහජන විරෝධතාවලට එරෙහිව ශ්‍රී ලංකා ආන්ඩුවට මුක්කු ගැසීමට උත්සාහ කරති

[මෙය Tamil nationalists try to prop up Sri Lankan government against mass protests මැයෙන් 2022 අප්‍රේල් 19 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාව පුරා, ආහාර සහ ඉන්ධන සඳහා මිල ගනන් ලඟාවිය නොහැකි ලෙස ඉහල නගින විට ජනතා කෝපය පිපිරෙමින් තිබේ. කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක හමුදාවන්ට පිටුපාමින්, වාර්ගික හා ආගමික රේඛා කපාගෙන, ශ්‍රී ලංකා ආන්ඩුව පෙරලීමට බල කරන මහජන විරෝධතාවලට එක්සත් වෙමින් සිටිති.

එම්. ඒ. සුමන්දිරන් (ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

දශක ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ දෙමල ජාතිකවාදයේ මධ්‍යස්ථානයක් වූ යාපනය විශ්වවිද්‍යාලය තුල ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙමල, සිංහල සහ මුස්ලිම් සිසුන් විරෝධතා පාගමන් සඳහා එක්සත් විය. සිද්ධියෙන් කම්පනයට පත් වූ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වහාම සියලු අධ්‍යයන කටයුතු අත්හිටුවා විශ්වවිද්‍යාලය වසා දමන ලදී. සති ගනනාවක් තිස්සේ, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සහ ඒ සමග මිතුරු දෙමල ජාතිකවාදී ප්‍රවනතා, විරෝධතා පිලිබඳ බිහිරි නිශ්ශබ්දතාවයක් පවත්වා ගෙන ගියහ.

අප්‍රේල් 13 දා, ටීඑන්ඒ නායක එම්. ඒ. සුමන්තිරන් හදිසියේම ටීඑන්ඒ නිශ්ශබ්දතාවය බිඳ දැමුවේ, සති ගනනාවක් තිස්සේ තමන් වෛරයට පාත්‍ර වූ රාජපක්ෂ තන්ත‍්‍රය හා අනෙකුත් ප‍්‍රමුඛ පෙලේ ශ‍්‍රී ලංකාවේ දේශපාලඥයින් සමග කම්කරුවන්ට පිටුපසින් සාකච්ඡා කරමින් සිටි බව නිවේදනය කිරීමට ය. මෙම සාකච්ඡාවල අරමුන, දේශපාලන 'ස්ථාවරත්වය' නිර්මානය කිරීම, විරෝධතා අවසන් කිරීම සහ බැංකුවල හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ශ්‍රී ලංකාව මත පැටවීම බව සුමන්තිරන් පැහැදිලි කලේය.

සුමන්තිරන් විවෘතව පැහැදිලි කලේය: “හිටපු ජනාධිපති සිරිසේන මට කතා කලා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිනිය [බන්ඩාරනායක කුමාරතුංග] උදේ මට කතා කලා. අනිත් නායකයෝ මාත් එක්ක කතා කරනවා. දේශපාලන තත්වය ස්ථාවර කිරීමට උත්සාහ කිරීම සඳහා දැනට පවතින බොහෝ සාකච්ඡාවලට මම සම්බන්ධ වී සිටිනවා. මම ඊයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දුන් උපදෙස වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රජයම පියවර ගන්නේ නම් අපට ඉදිරියට යා හැකි බවයි. මම ඔහුට පෞද්ගලිකව මගේ අදහස කිව්වා.'

මොනතරම් නරුම වංචාවක්ද! සුමන්තිරන්ට අවශ්‍ය වන්නේ, ශ්‍රී ලංකාවට 'ඉදිරියට යාමට' හැකි වන පරිදි, ඔහුගේම අත්තනෝමතික පාලන තන්ත්‍රය අහෝසි කිරීමට රාජපක්ෂ කැමැත්තෙන්ම සැලසුම් කරන බව කම්කරුවන්ට හා තරුනයන්ට විශ්වාස කරවීමයි. මෙය භයානක දේශපාලන මුසාවකි. රාජපක්ෂ සහෝදරයන් වන ගෝඨාභය සහ මහින්ද යනු දස දහස් ගනන් අනාරක්ෂිත මිනිසුන්ගේ ලෙයින් දෑත් තෙමාගත් කුරිරු දේශපාලන අපරාධකරුවන්‍ ය. රාජපක්ෂ සොහොයුරන් තමන්ම ප්‍රතිසංස්කරනය වෙනු ඇතැයි යන මිත්‍යාවන් පතුරුවා හරින ප්‍රතිගාමීන්ට, කෙනෙකුට දිය හැකි එකම පිලිතුර නම්: කිසිම යක්ෂයෙක් තමාගේම නියපොතු කපා ගන්නේ නැත යන්නයි.

සුමන්තිරන් කතා කිරීමට යන්තම් දින දෙකකට පෙර, අගමැති මහින්ද රාජපක්ෂ සෘජුවම විරෝධතාකරුවන්ට තර්ජනය කලේය. “ඔබ පාරේ විරෝධතා දක්වන සෑම තත්පරයක් පාසාම අපේ රටට ඩොලර් ලැබීමේ අවස්ථා අහිමි වේ,” රාජපක්ෂ පැවසුවේ, “මෙම ක්‍රියාවන් හරහා ශ්‍රී ලංකාව අපේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකට ලිස්සා යා හැකි” බවට අනතුරු අඟවමිනි.

ආන්ඩුව විසින් සිදු කරන ලද සිංහල හා දෙමල සමූලඝාතන වලින් පිරී ගිය ශ්‍රී ලංකාවේ ඉතිහාසය සලකන විට, මෙය විරෝධතා ලෙයින් ගිල්වා දැමීමේ තුනී ලෙස වසන් කල තර්ජනයකි. 2009 ජනාධිපති ලෙස රාජපක්ෂ විසින්ම, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සටන්කාමීන් පරාජය කිරීමේදී දෙමල සිවිල් වැසියන් දස දහස් ගනනක් සමූල ඝාතනය කිරීමට නායකත්වය දුන්නේ ය. එහෙත්, යුක්තිය පතා දෙමල ජනතාවට නායකත්වය දෙන බව කුහක ලෙස පවසන සුමන්තිරන්, එම රාජපක්ෂ සමගම ඔහුගේ රහස් සාකච්ඡා ගැන නිර්ලජ්ජිතව පුරසාරම් දෙඩුවේය.

සාගින්නෙන් පෙලෙන, දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවක් මත විනාශකාරී ජාමූඅ කප්පාදු පියවර පැනවීමෙන් තත්වය 'නිවැරදි කිරීම' සඳහා රාජපක්ෂ බලයේ රැඳී සිටීම ටීඑන්ඒ අරමුන බව සුමන්තිරන් පැහැදිලි කලේය. “වහාම ජාමූඅට කතා කරන්න. නය දෙන රටවල් සහ සංවිධාන සමඟ කතා කරන්න' යනුවෙන් රාජපක්ෂට පැවසීමෙන් පසු, ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මෙම අර්බුදයට අනුප්‍රාප්තික ආන්ඩු වගකිව යුතුය. නමුත් අන්තිම වැරැද්ද සිදු වුනේ මේ ජනාධිපතිගේ ධූර කාලේ. ඒ නිසා මෙය නිවැරදි කිරීමේ වගකීම ඔවුන්ට පැවරී තිබෙනවා.”

මෙම සන්දර්භය තුල, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනප්‍රිය ඉල්ලීම සුමන්තිරන් විසින් ආයාචනය කර සිටීම දැවැන්ත දේශපාලන ප්‍රෝඩාවකි.

සුමන්තිරන් කතා කිරීමට සතියකට පෙර සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) එම ඉල්ලීම ඉදිරියට ගෙන යන දේශපාලන ප්‍රකාශයක් නිකුත් කලේය. නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය මත පදනම්ව, සසප අරගලයට එන වැඩකරන ජනතාව සඳහා විප්ලවවාදී මාවතක් සකස් කලේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, කම්කරු පන්තිය විසින් නායකත්වය දෙන, වාර්ගික හා ආගමික රේඛා කපාගෙන ඒකාබද්ධ වූ මහජනතාවගේ විප්ලවවාදී බලමුලු ගැන්වීමකට අත්‍යවශ්‍ය බව එය පැහැදිලි කලේය. සෑම කෙනෙකුටම ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් ප්‍රධාන අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස එය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

සුමන්තිරන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ප්‍රතිගාමී පන්ති අන්තර්ගතයකින් පුරවන හිස් සටන් පාඨයක් බවට පත් කරයි. ටීඑන්ඒ උත්සාහ කරන්නේ රාජපක්ෂට මුක්කු ගැසීමටත්, ජනතාව කෙරෙහි බැංකු වල අනපනත් ශක්තිමත් කිරීමටත්, කම්කරුවන් හා පීඩිතයන් තම පොදු පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට එක්සත් වීම වැලැක්වීම සඳහා වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදීමටත් ය. ටීඑන්ඒහි සැලකිය යුතු කොටස්, විශේෂයෙන්ම දෙමල ෆෙඩරල් පක්ෂය, (අයිටීඒකේ) සිංහලයන්ට එරෙහි ව වාර්ගික වෛරය අවුස්සමින් සිටිති.

අයිටීඒකේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්, දෙමල ජාතිකවාදීන්ගේ කුහක වර්ගවාදී ප්‍රචාරවල ප්‍රමුඛ භූමිකාවක් රඟ දක්වයි. මෑත දේශනයකදී, ශ්‍රී ලංකා හමුදාවේ ජාතිවාදී දෙමල විරෝධී යුද්ධය ගැන සඳහන් කරමින් ඔහු සිංහලයන්ගේ වර්තමාන දුක්ගැනවිලි ගැන සතුටු විය: “1990 ගනන්වල ශ්‍රී ලංකාවේ සම්බාධකවලට මුහුන දුන්නේ දෙමල ජනතාවයි. දැන් සිදුවෙමින් පවතින දේ දෙමල අපි වසර 20 කට වැඩි කාලයක් අත්විඳිමින් සිටිනවා. දැන් තමයි, මේ රටේ, මේ කාලකන්නිකමට මුහුන දෙන්න සිංහලයා ලෑස්ති වෙන්නේ. උන් දැන් පෝලිමේ හිටගෙන ඉන්නවා.'

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් එල්ටීටීඊයට දෙමල බහුතරයක් සිටි උතුරේ මිලිටරි පාලනය පැවති සමය, සිවිල් යුද්ධය පැවති සමය, ශ්‍රීධරන් ප්‍රශංසා කලේය. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ මිනිසුන්ගේ දුක් වේදනා සහ යුද්ධයේදී ඔවුන් මුහුන දුන් ආහාර හා බලශක්ති හිඟය අවතක්සේරු කරමින් ඔහු මෙසේ පැවසීය: “ප්‍රභාකරන්ගේ යුගයේ යමෙකු කුසගින්නෙන් මිය ගිය බව ඔබ දැන සිටියාද? ප්‍රභාකරන්ගේ යුගයේ ඉන්ධන සඳහා පෝලිමේ සිටි අය ගැන ඔබ කවදා හෝ අසා තිබේද?

ශ්‍රීධරන්ගේ තර්කය ප්‍රතිගාමී ප්‍රෝඩාවකි, මන්දයත් අද අර්බුදය සියලු වාර්ගික සහ ආගමික පසුබිම්වල වැඩ කරන සහ වෙහෙසෙන සියලු මිනිසුන්ට බලපාන බැවිනි. අත්‍යාවශ්‍ය ආහාර හා වෛද්‍ය සැපයුම් හිඟය, දරාගත නොහැකි මිල ඉහල යාම සහ රාජපක්ෂ කල්ලියේ දූෂනයට එරෙහි ව ශ්‍රී ලංකාව පුරා සිංහල, දෙමල සහ මුස්ලිම් ජනයා විරෝධතා පවත්වති.

ශ්‍රීධරන් සිංහලයන්ට එරෙහිව සිය වාර්ගික ප්‍රහාරයන් එල්ල කරන්නේ ඔහු මහජනතාවගේ නැඟීම පිලිබඳව භීතියට පත්ව සිටින නිසාත් සසප පෙනී සිටින දෙයට විරුද්ධ වන නිසාත් ය: සසප කම්කරු පන්තියේ සමගිය සඳහා සටන් කරයි.

ඒ අතරම, ශ්‍රීධරන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලේ තැවරුනු හින්දු-ස්වෝත්තමවාදී තන්ත්‍රය දෙසට ටීඑන්ඒ ව්‍යාප්තියට නායකත්වය දෙයි. 2002 ගුජරාට් මුස්ලිම් සංහාරය සඳහා පමනක් නොව, කොවිඩ්-19 වසංගතය තුල මිලියන 5 කට අධික මිනිසුන්ගේ අකල් මරන සඳහා ද මෝදි වගකීම දරයි. එහෙත් දශක ගනනාවක් තිස්සේ ඉන්දීය ධනේශ්වරයේ ඉත්තන් ලෙස සේවය කල ටීඑන්ඒ නායකයෝ, මහජනතාවගේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂන අතරතුර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හදිසි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිනි විට ඔහු හමුවීමට ඉක්මන් වූහ.

ජයශංකර් දෙමල ජාතික සන්ධානයට උපදෙස් දුන්නේ, ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට හෝ බලය ගැනීමට උත්සාහ නොකරන ලෙසත්, ශ්‍රී ලංකාවේ ගර්හාවට ලක් වූ ආන්ඩුව සමඟ උපාමාරුවල නිරත වන ලෙසත් ය. 'නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ උත්සාහයට එක් නොවන්න,' යනුවෙන් පැවසූ ඔහු තවදුරටත් මෙසේ පැවසීය: 'ආන්ඩුව කියා සිටින්නේ එම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවයි. ඉන්දියාව ඇතුලු පාර්ශ්වයන් ලංකාවට කතා කලොත් කියයි ව්‍යවස්ථා සම්පාදනයේදී දෙමල ජාතික සන්ධානය අපිත් එක්ක වැඩ කරනවා කියලා... නව ව්‍යවස්ථාවේ ප්‍රශ්නයට අහුවෙන්න එපා, ඒක බලාගෙන ඉන්න එපා, වෙනත් ගැටලු සම්බන්ධයෙන් රැවටෙන්න එපා, ඒවා ඉක්මනින් ලබා ගැනීමට උත්සාහ කරන්න.'

ප්‍රතිගාමී මෝදි ආන්ඩුව සමග ටීඑන්ඒ සාකච්ඡා මගින්, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමට ඔවුන් දුන් පොරොන්දුවේ වංචාව හෙලිදරව් කරයි. විධායක ජනාධිපති ක්‍රමය පවතින ව්‍යවස්ථාවට අත නොතබා ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට ඔවුන් උත්සාහ කර නැත. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වොෂින්ටනය සහ නවදිල්ලිය සමඟ ටීඑන්ඒහි දිගුකාලීන පෙලගැසීමේ කොටසක් ලෙස සහ චීනය සමඟ ඔවුන්ගේ වැඩෙන ගැටුමේ කොටසක් ලෙස, ටීඑන්ඒ, ශ්‍රී ලංකාව තුල යම් ආකාරයක ඉන්දියානු මැදිහත්වීමක් දේශපාලනිකව සූදානම් කිරීමට උත්සාහ කරයි.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මලයි මලර් පුවත්පත සමඟ අන්තර්ජාල සාකච්ඡාවක දී ශ්‍රීධරන් ඉන්දීය පාලක ප්‍රභූවෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ, “චීනය ඇතුලු බොහෝ රටවලට දකුනේ උදව් කල හැකි නමුත් දෙමල ජනතාව කිසිම සහනයක් නැති' බැවින් ශ්‍රී ලංකාවට මැදිහත් වන ලෙස යි. ශ්‍රී ලංකාවේ දෙමල බහුතරයක් වෙසෙන උතුරේ ජීවිත බේරා ගැනීම සඳහා ඔහු පැවසුවේ, “තමිල්නාඩු ආන්ඩුව වෙනම යාන්ත්‍රනයක් නිර්මානය කල යුතුයි. සහන සැපයුම් සහ ආහාර ද්‍රව්‍ය වහාම එවන ලෙස මම අතිගරු [තමිල්නාඩු] මහ ඇමති එම්.කේ. ස්ටාලින් ගෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.' යනුවෙනි.

ඉන්දියාවට ශ්‍රී ලංකාව තුල මැදිහත් විය හැකි පදනම පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, “1987 දී ඉන්දියාව ඊලාම් දෙමල ජනතාවගේ නියෝජිතයා ලෙස අත්සන් කලා. එය ඊලාම් දෙමල ජනතාව ආරක්ෂා කිරීමේ අයිතිය ඉන්දියාවට සහ තමිල්නාඩු ජනතාවට අයත් වන ජාත්‍යන්තර ගිවිසුමක්,” යනුවෙනි.

'දෙමල ජනතාවට සමෘද්ධිමත් ජීවිතය නැවත පැමිනේ' යන මැයෙන් වූ 1987 ඉන්දු-ලංකා ගිවිසුම, කම්කරුවන් සඳහා ලේ වැකි උගුලක් බව ඔප්පු වූවකි. එය ඉන්දියානු ස්ටැලින්වාදී පක්ෂවල සහාය ඇති ව ශ්‍රී ලංකා හා ඉන්දීය ආන්ඩු විසින් ක්‍රියාත්මක කරන ලදී. ඉන්දියන් ආක්‍රමනික හමුදා පසුව ඔවුන් පාලනය කල ප්‍රදේශවල සිවිල් ජනතාව වෙත දරුනු ලෙසට හැරී, මිනිසුන් 6,000 කට වැඩි පිරිසක් මරා දමමින් සහ කාන්තාවන් දූෂනය කරමින් ජනගහනය භීතියට පත් කලහ.

එදත් අද මෙන්ම සිංහල දෙමල ධනේශ්වරය, පහල සිට අනතුරට එරෙහිව ශ්‍රම බෙදීමක් ඇති කිරීමට උත්සාහ කලහ. ඉන්දියානු හමුදාව සහ එක් ව දෙමල ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ ඊලාම් මහජන විප්ලවවාදී විමුක්ති පෙරමුන (ඊපීආර්එල්එෆ්) වැනි දෙමල ජාතිකවාදී මිලීෂියාවන් උතුරේ ජනතාවට පහර දීමත් සමඟ 60,000කට වැඩි සිංහල තරුනයන් සංඛ්‍යාවක් ඝාතනය කරමින් දකුනේ මහජන නොසන්සුන්තාව තලා දැමීමට කොලඹ පාලනයට අවශ්‍ය හමුදාන නිදහස් කර දුන්නේ ය.

සමාජවාදී ඉදිරිදර්ශනයකින් ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වෙමින්, කම්කරු පන්තියට සහ දෙමල සුලුතරයට ප්‍රගතිශීලී විසඳුමක් යෝජනා කලේ සසප පමනි. සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 1987 එහි ප්‍රකාශයේ මෙසේ ලිවීය:

“ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ පාලනය දැන් රැඳී ඇත්තේ උතුරේ ඉන්දියානු වාඩිලෑමේ සහ දකුනේ දෙමල විරෝධී ජාතිවාදයේ ද්විත්ව කුලුනු මත ය. ඕනෑම රටක් තුල සියලු ජාතික, වාර්ගික සහ ආගමික කන්ඩායම්වල ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතාවය සාක්ෂාත් කරගත හැක්කේ නිර්ධන පංතිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවයෙන් පමනක් බව මෙම තත්ත්වය හුදෙක් විදහා දක්වයි. ගාන්ධි සහ ජයවර්ධනගේ කුමන්ත්‍රන ඉන්දීය උපමහාද්වීපයේ ජාතික ධනේශ්වරයේ ම්ලේච්ඡ ස්වභාවය හෙලිදරව් කර ඇති අතර, මෙම නවතම ඓතිහාසික අත්දැකීම සුලු ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත් බව පෙන්නුම් කර ඇත...'

මෙම වැකි, වසර 35 කට පෙර ශ්‍රී ලංකාව තුල ඉන්දියානු මැදිහත්වීම තුල සිදු වූ සිදුවීම් පමනක් නොව, අද ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරුවන් මුහුන දෙන දේශපාලන කර්තව්‍යයන් ආලෝකවත් කරයි. ගෝලීය වසංගතය, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝහි යුද ධාවනය සහ ඉහල යන ගෝලීය උද්ධමනය මගින් මෙහෙයවනු ලබන—ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව මුහුන දෙන අර්බුදයට ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ විවිධ වාර්ගික කන්ඩායම්වලට ප්‍රගතිශීලී විසඳුමක් නොමැත.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, මෙම ජාත්‍යන්තර අර්බුදය විසින් අවුලුවා ඇති ගැටලු වලට කිසිදු ජාතිකවාදී පක්ෂයකට, විශේෂයෙන්ම දෙමල ධනේශ්වර ජාතිකවාදී කන්ඩායම් කිසිවකට ප්‍රගතිශීලී විසඳුමක් නොමැති බවයි. සසප විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන තම ඉල්ලීමට පැහැදිලි පන්ති අන්තර්ගතයක් ලබා දී ඇති අතර, මෙම කර්තව්‍යය පැවරෙන්නේ, සමාජවාදය සඳහා අරගලයක් තුල ඉන්දියාවේ කම්කරුවන් ද ඇතුලුව වාර්ගික, ආගමික හා ජාතික රේඛා හරහා ඔවුන් ඒකාබද්ධ කරන කම්කරු පන්තියේ ක්‍රියාකාරී කමිටු වෙත බව අවධාරනය කර ඇත.

මෙම පදනම මත, ජනතාවගේ මිතුරෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින්, ටීඑන්ඒ රාජපක්ෂ කල්ලියට මුක්කු ගැසීමට උත්සාහ කරන පුහු වාචාලකමට, සසප මුලුමනින්ම සතුරු ය.

Loading