සසප සාමාජිකයින්ට ගෝල්ෆේස් පිටියේදී මැර තර්ජන එල්ල කල මොවුන් කවුද?

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව පලවා හැරීමේ මහජන උද්ඝෝෂනයේ කොටසක් ලෙස අප්‍රේල් 28 පැවති මහ වැඩ වර්ජනය අතරතුර පෙලපාලි වලින් ගෝල්ෆේස් උද්ඝෝෂන භූමිය වෙත පැමිනි දහස් සංඛ්‍යාත කම්කරුවන්ට හා අවශේෂ ජනතාවට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් නිකුත් කල ප්‍රකාශය බෙදා හරිමින් සිටි සසප සාමාජිකයින් වෙත එහිදී මැර තර්ජනයක් එල්ල විය.

සසප ප්‍රකාශයේ මාතෘකාව වූයේ “රාජපක්ෂ ආන්ඩුව පලවා හරිනු! විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරනු! අන්තර්වාර පාලන තන්ත්‍ර එපා! ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු! කුසගින්නට - ජාමුඅ කප්පාදුවට එරෙහිවනු! කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා සියල්ලන්ට අහාර, ඉන්ධන සහ බෙහෙත් සුරක්ෂිත කරගැනීමේ සමාජවාදී ක්‍රියා මාර්ගයට සටන් කරමු!” යන්නයි.

ධනපති රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම ධනපති විරුද්ධ පක්ෂ වල කම්කරු විරෝධී ක්‍රියා කලාපය පැහැදිලි කර, රුදුරු ධනපති ප්‍රහාරයන් පරාජය කලහැකි සමාජවාදී ක්‍රියා මාර්ගය එයින් කම්කරු පන්තියට ඉදිරිපත් කර තිබිනි. මෙම සටන ඉදිරියට ගෙන යාම සඳහා කම්කරු පන්තිය විසින් සිය කම්හල් හා වැඩපලවල මෙන්ම වතු, රෝහල් හා කම්කරු පන්තික නිවහන් ප්‍රදේශ වලද ක්‍රියාකාරී කමිටු තනා ගත යුතු බවට ප්‍රකාශයෙන් අවධාරනය කෙරුනි.

සසප සාමාජිකයින් උද්ඝෝෂන භූමියේ රතු කුරුස ප්‍රථමාධාර කූඩාරම් අසල සිය පත්‍රිකාව බෙදමින් සිටියදී, මැරයින් දෙදෙනෙක් කඩා පැන පත්‍රිකාව බෙදීමට ඉඩදිය නොහැකි බව පවසමින් වහාම එය නතර කරන ලෙස බල කලහ. අනතුරුව සසප සාමාජිකයින් අත තිබුනු පත්‍රිකා උදුරාගත් ඔවුහු “ගුටි නොකා” ඉවත් වන ලෙස තර්ජනය කලහ.

මැර ප්‍රහාරය මෙහෙයවූ මොවුන් කවුද? (ලෝසවෙඅ මාධ්‍ය)

ඔවුන්කවුදැයි සසප සාමාජිකයින් විමසූ කල නම් හෙලි කිරීම ප්‍රතික්ෂේප කල මැරයෝ තමන් ගෝල්ෆේස් උද්ඝෝෂනයේ සංවිධායකයන් යැයි කියා සිටියහ.

පත්‍රිකාවෙන් ඉදිරිපත් කෙරී ඇත්තේ, අද දින වර්ජනයේ යෙදී සිටින කම්කරුවන්ට මෙන්ම දින ගනනාවක් ගාලු මුව දොර හා රට පුරා උද්ඝෝෂනයේ යෙදී සිටින ජනයාටද තම අරගලය ජය ගැනීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ගය බව සසප සාමාජිකයෝ අවට මහජනතාවට පැහැදිලි කලෝය. ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව පලවා හැරීමෙන් නොනැවතී සටන වැඩ කරන ජනයාගේ ජයග්‍රහනය දක්වා ගෙනයාමේ මාවතක් අවශ්‍ය බව ද ඔවුහු පෙන්වා දුන්හ.

එහෙත් දිගටම තර්ජන එල්ල කල මැරයෝ, “අප ගෝඨාභය එලවන්න වැඩ කරනව. ඊට පස්සෙ අපිට පුලුවන් කාව හරි දා ගන්න” යනුවෙන් ගුගුලෝය. අවට රැස්වූවන් සසප සාමාජිකයින්ට එරෙහිව උසි ගැන්වීමේ ප්‍රයත්නයක නිරත වූ මැරයෝ, ගෝඨාභය රාජපක්ෂගෙන් රුපියල් 5,000 බැගින් ලබාගෙන පැමිනි “පන්දාහේ කෑලි” ලෙස සසප සාමාජිකයන් හැඳින්වූහ.

පත්‍රිකාවේ සඳහන් දේශපාලනික කරුනු සවිස්තරාත්මකව ඉදිරිපත් කරමින් සසප දේශපාලනයට රාජපක්ෂ සමඟ කිසිම සම්බන්ධයක් නැති බව සසප සාමාජිකයෝ මහජනතාවට පෙන්වා දුන්හ. මැරයන් ඊට පිලිතුරු දුන්නේ “තවදුරටත් කතා පැවැත්වුවහොත් තමුසෙලාට ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් කරන්න වෙන විධියට වැඩ හදල දෙන්න අපට පුලුවන්” යැයි කායික තර්ජන එල්ල කරමිනි.

තමන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ පත්‍රිකාවේ “සමාජවාදී සමානතා පක්ෂය” යැයි සටහන් කිරීම වන අතර මෙය නිර්පාක්ෂික උද්ඝෝෂන භූමියක් බව ඔවුහු කියා සිටියහ. එදිනම එම උද්ඝෝෂන භූමියේ වේදිකාව මත, පෙරටුගාමී සමාජවාදී පක්ෂ‌යේ හා ජනතා විමුක්ති පෙරමුනේ නායකයන් ලෙස මහජනතාව ඉදිරියේ අනන්‍යවූවන් කතා කර තිබෙන බව සසප සාමාජිකයින් පෙන්වා දුන්විට මැරයින් කියා සිටියේ ඔවුන් පක්ෂ වල නමින් කතා නොකරන බවයි.

තම පක්ෂයේ නමින් කතා නොකිරීම කොතරම් නම් වංචාවක්දැයි ඇසූ සසප සාමාජිකයෝ 'අපට එවැනි වංචනිකයන් වීමට අවශ්‍ය නැතැ'යි කියා සිටියහ. ධනපති පක්ෂ වලට හා ඊට කත් අදින ව්‍යාජ වමට එරෙහිව කම්කරු පන්තියට හා තරුන පීඩිත ජනයාට අත්‍යවශ්‍ය සමාජවාදී දේශපාලන ක්‍රියා මාර්ගය සසප නමින්ම පැහැදිලිව ඉදිරිපත් කරන බවත්, ඊට අපට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවත්, එය අප කරන්නේ පොදු භූමියක සිට බවත් පැවසූ විට මෙම මැරයින් කලේ තම ප්‍රහාර උත්සන්න කිරීමයි.

එක් මැරයකු සසප සාමාජිකයකු ගේ බඳ වටා අත දමා තද කර ගනිමින් “අපි තමුසෙලව පොලිසියට අල්ලා දෙනවා කඩාකප්පල්කාරීන් හැටියට” යයි කියමින් ඔහු අඩි කිහිපයක් ඇද ගෙන යාමට උත්සාහ දැරුවද අවට සිටියවුන්ගෙන් ඊට කිසිම සහයක් පල නොවීම නිසා ඒම උත්සාහය ව්‍යර්ථ විය.

වහසිබස් දෙඩූ මැරයෝ, 'පිටකොටුවෙන් හෝ කොල්ලුපිටියෙන් මෙපිට' පත්‍රිකා බෙදීමට ඉඩ නොදෙන බවට තර්ජනය කරමින් ඔවුන්ගේ සහයට පොලිසිය සිටින බවට ඇඟවුම් කලහ.

එතැනට රැස්වූවන් අතරින් සමහරෙක් මැරයින්ට හඬගා කියා සිටියේ 'ඔක්කොටම ඇත්තේ එකම අරමුන නිසා' මෙවැනි තර්ජන කරමින් ප්‍රශ්න ඇති කිරීම නොකල යුතු බවයි.

මැරයින් ඊට ප්‍රතිචාර දැක්වූයේ අවට සිටියවුන්ගේ ජංගම දුරකතන බලහත්කාරයෙන් ලබාගෙන ඒ්වායේ සටහන් කර තිබූ මෙම සිද්ධියේ වීඩියෝවන් හා ඡායාරූප මකා දමමිනි.

අනතුරුව මොවුන් එතනින් ඉවත්වූයේ කායික තර්ජන නොකඩවා එල්ල කරමින් සසප පත්‍රිකාද පොදි ගසා ගෙනය.

මෙම මැරයින් කවුද? ඔවුන් නඩත්තු තරන්නේ කවුද? ඔවුන්ගේ නම් හා පසුබිම කුමක්ද? ඔවුන්ව යොදවා ඇත්තේ කවුරුන් විසින්ද?

වැඩිදුර කියවන්න

Loading