උතුරේ දුගී පවුල් දරිද්‍රතාව දරා ගත නොහැකි ව ඉන්දියාවේ සරනාගත කඳවුරුවලට පලා යති

යුද්ධයෙන් ඉරි තැලී ගිය ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ දුගී දෙමල ජනතාව රට අත හැර ඉන්දියාවට සංක්‍රමනය වීම්වල වැඩි වීමක් වාර්තා වී ඇත. තම අත දරුවන් ද රැගෙන මෙ ලෙස අවදානම් සහගත මුහුදු ගමනකින් ඉන්දියාවට සංක්‍රමනය වන ඔවුන් අවම පහසුකම් සහිත සරනාගත කඳවුරුවලට ගාල් කරනු ලැබෙති.

මේ වසරේ ගතවූ සිවුමස තුල පමනක්, 84 දෙනෙක් ඉන්දියාවට බෝට්ටු මගින් සංක්‍රමනය වී ඇති බව මැයි 15 වැනි දා දි අයිලන්ඩ් වාර්තා කලේ ය. අප්‍රේල් 10 වන ඉරිදා අලුයම, ශ්‍රි ලාංකික පවුල් පහකට අයත් 19 දෙනෙකු ඉන්දියාවේ දනුෂ්කොඩි වෙත බෝට්ටු දෙකකින් කන්ඩායම් දෙකක් වසයෙන් ලඟා වූ බව යාල් තිනක්කුරල් වාර්තා කලේ ය.

අත දරුවන් දෙදෙනෙකු ද ඇතුලු දස දෙනෙකුගෙන් යුත් එක් කන්ඩායමක් ත්‍රිකුනාමලයේ පදිංචිකරුවෝ වෙති. නව දෙනෙකුගෙන් යුතු අනෙක් කන්ඩායමට අයත් වූවෝ මන්නාරමේ සහ යාපනයේ පදිංචිකරුවෝ වෙති. සෙනසුරාදා රාත්‍රියේ ඔවුන් ඉන්දියාවට රැගෙන ආ ෆයිබර් බෝට්ටු ඉරිදා අලුයම දනුෂ්කොඩියට කිලෝ මීටර දෙකක් දුර තිබිය දී මුහුදේ ම බස්සා ආපසු ගොස් ඇත. මෙ ලෙස ගොඩබිමට තරමක් ඈතින් සංක්‍රමනිකයන් බස්සවා බෝට්ටු ආපසු යන්නේ ඉන්දියානු නාවික හමුදාවේ අත් අඩංගුවට පත් වුවහොත් බෝට්ටු නැවත මුදා නොහරින බැවිනි.

පීනා ගෙන වෙරලට සේන්දු වූ ඔවුහු පොලිසිය තමන් අත් අඩංගුවට ගෙන සරනාගත කඳවුරක් වෙත යවනු ඇතැයි අපේක්ෂාවෙන් බොහෝ වේලාවක් ගත කිරීමෙන් පසු ව සරනාගත කඳවුර ඇති තැන අසා දැනගෙන බස් රථයකින් පැමින භාර වී ඇත.

ශ්‍රී ලංකාවේ සිට බෝට්ටු මගින් ඉන්දියාවේ දනුෂ්කොඩි කරා සේන්දු වූ තවත් 20 දෙනෙක් මන්ඩපම් සරනාගත කඳවුරේ රඳවා සිටිති.

මෙ ලෙස තම තෙමස් ගැබිනිය සමග ඉන්දියාවට ගිය කොඩීෂ්වරන් ඩේලි තන්දි පුවත්පතට ලබා දුන් ප්‍රකාශයක දී තමන් ඉන්දියාවට පැමිනීමට බල කෙරුනු කොන්දේසි මෙ ලෙස විස්තර කර තිබුනි. “ලංකාවේ කෘෂිකාර්මික කම්කරුවෙකු විදියට ජීවිකාව කලා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන බීජ, කෘමිනාශක ඇතුලු කිසිදු දෙයක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තියෙන නිසා රැකියා නැති වුනා. මගේ බිරිඳ මාස තුනක ගර්භනි මවක්. මේ තත්ත්වය තුල ඇයව රැක බලා ගැනීම මේ ආර්ථික කොන්දේසි සමග කරන්න පුලුවන් කමක් නෑ. ඇයගේ සියලු ම රත්තරන් බඩු උගස් කර ලබා ගත් සල්ලි බෝට්ටු ගාස්තුව වසයෙන් ගෙවලා අපි ඉන්දියාවට එන්න තීරනය කලා.”

ධීවරයෙකුගේ බිරිඳක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට උසුලා ගත නොහැකි තම ජීවන කොන්දේසි මෙ ලෙස විස්තර කලා ය.

“එදිනෙදා රැකියාව කරන කෙනෙකුට බඩු මිල දරා ගන්න බෑ. මෙහේ හිටියොත් බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. මගේ සැමියා ධීවරයෙක්. දැන් භූමිතෙල් හිඟයි. ආහාර සලාක කාඩ් පතට සතියකට එක් අයෙකුට භූමිතෙල් ලීටර තුනක් රුපියල් 100 බැගින් කෝප් සිටි වෙලඳ සැල් හරහා ලබා දෙනවා. කඩෙන් ගන්න භූමිතෙල් ලීටරයක් රුපියල් 250යි.'

නය මත ෆයිබර් බෝට්ටු මිල දී ගත් ධීවරයන් මුහුදු යාමේදී තම සහායට කුලී ධීවරයන් යොදා ගන්නා නමුත්, භූමිතෙල් හිඟය සහ ඒවායේ අධික මිල ගනන් හේතුවෙන් කුලී ධීවරයන් රැගෙන යාම අඩුකොට ඇතිබව ඇය පැවසුවා ය. 'මේ නිසා ඒ ආකාරයට දිවි රැක ගත් අය විශාල ප්‍රමානයක් මොන ම ආදායම් මාර්ගයක්වත් නැති ව අසරන වෙලා තියෙනවා. අපිත් අන්ත අසරන වෙලා තියෙන්නෙ ඒ විදියටයි.

දැන් සතියට දවස් දෙකයි මූදු යන්න ලැබෙන්නෙ. සතියක ආදායම රුපියල් 3000යි. මේකෙන් මොකක් ද කරන්න පුලුවන්?

'ඇන්කර් කිරි පිටි පැකට් එකක් ගන්න නම් යෝගට් 4ක් අනිවාර්යෙන් ගන්න ඕන කියලා නියමයක් කඩවලින් දා ගෙන තියෙනවා. කිරිපිටි පැකට් එකමත් රුපියල් 850ක්. ලමයින්ට උනක් හෙම්බිරිස්සාවකටවත් පැනඩෝල් පෙත්තක් හොයා ගන්න නෑ.'

මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට තරම් ආදායම් මාර්ග නැති තත්ත්වයක් තුල නය වීම හැර වෙන විකල්පයක් නොමැති බව ඇය කීවාය. 'අපේ ගමේ හැමෝ ම නය ගෙවා ගන්න බැරුවයි ඉන්නේ. නය හිමියන්ගෙන් කරදර වැඩි වෙනවා. අපේ අයිඩෙන්ටි කාඩ් උදුර ගෙන යනවා.”

මාර්තු මාසයේ අග දී ඉන්දියාවට පලා ගිය සරනාගතයෙකු වන සිවසංගරී නම් තරුන කාන්තාව තමන් මුහුන දුන් සමාජ කොන්දේසි සහ ඉන්දියාවට සංක්‍රමනය වීමේ දී මුහුන දුන් අන්තරායකාරී අත්දැකීම, මාර්තු 23 දා බීබීසී දෙමල සේවයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක විස්තර කර තිබුනි.

“දවසකට කෑම වේලකට රුපියල් 2000ක් වැය වෙනවා. මස් මාලු කෑම වේලට එකතු කර ගන්නවා නම් රුපියල් 3000ක් වියදම් වෙනවා. මගේ සැමියා දිනකට රුපියල් 1500ක් පමන උපයන කුලී කම්කරුවෙක්. කොහොමද ලමයින්‍ය කන්න බොන්න දෙන්නෙ. ආන්ඩුවෙන් අපිට කිසි ම උදවුවක් ලැබිල නෑ. මේ වගේ තත්ත්වයක් තුලයි මගේ මල්ලිගේ පවුලත් සමග මුහුදේදි මැරුනොත් මැරුනාවේ කියන අවදානම ගෙන ඉන්දියාවට එන්න තීරනය කලේ.

“ලංකාවෙන් පිටත් වී පැයකට පසු ව බෝට්ටුවේ එන්ජිමේ යාන්ත්‍රික දෝෂයක් ඇති වුනා. එන්ජිම යලි පන ගස්වා ගන්නකන් මුහුද මැද ලමුන් එක්ක පැය 37ක් මහ අවුවේ බොන්න වතුර නැති ව කන්න කෑම නැති ව ජීවිතය එක්ක පොර බැදුවා. ලංකාවේ උදේ ඇහැරුනු වෙලේ ඉඳන් නින්දට යන කන් හැම තත්පරයක් ම ගත කිරීම ම අභියෝගයක්. අපි වගේ ම තවත් බොහෝ පිරිසක් ඉන්දියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”.

මාර්තු මාසයේ අග දී ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකික දුගී දරු පවුල්වල සාමාජිකයෝ අමානුෂික අයුරින් එකිනෙකා වෙන් කරමින් සිරගත කරනු ලැබූහ. 2012 සිට ශ්‍රී ලාංකික සරනාගතයන් ඉන්දියාවට පැමිනීටම ලබා දී තිබූ අවසරය ඉවත් කොට නීති විරෝධී සංක්‍රමනය යටතේ දඬුවම් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ.

සාගින්නෙන් එන දුගී ජනතාවට සලකන අමානුෂික ආකාරය සම්බන්ධයෙන් පැන නැගුනු මහජන විරෝධය මැද තමිල්නාඩු ආන්ඩුවට සරනාගතයන් අත් අඩංගුවට නොගෙන සරනාගත කඳවුරු විවෘත කිරීමට බල කෙරුනි. කෙසේ නමුත් මෙම සරනාගත කඳවුරුවල දෙමල සරනාගතයන් ජීවත් වන්නේ කිසිදු සමාජ අයිතියකට උරුමකම් නොකියන අර්ධ සිරකරුවන් වසයෙනි.

සරනාගත කඳවුරුවල දී උපත ලබා හැදී වැඩුනු තරුනයන් උපාධි සුදුසුකම් සපුරා තිබියේ වුව ද රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ ශිෂ්ටසම්පන්න රැකියාවක් ලබා ගැනීමට ඔවුන්ට අවසර නැත. දහස් ගනනක් සාක්ෂරතාවයෙන් තොර තරුනයන්ට කුලී කම්කරුවන් ලෙස වැඩ කිරීමට සිදු ව ඇත. මෙම කඳවුරු තුල මූලික පහසුකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැත. ඔවුන්ට ඉන්දියානු පුරවැසි අයිතීන් ලබා දීම දිගින් දිගට ම ප්‍රතික්ෂේප කෙරෙයි. මෙම කඳවුරුවල සියදිවි නසා ගැනීම් සුලභ ය. (කියවන්න: ඉන්දියාවේ බලධාරීහු ලංකාවේ සරනාගතයන් ගැන කිඹුල් කඳුලු හෙලති)

පසු ගිය සතියේ දී, තමිල්නාඩු මහ ඇමතිගේ කරුනාවේ ව්‍යාජභාවය එලිදරවු කරමින්, ඉන්දියාව නැවතත් සරනාගතයන් පැමිනීම අවහිර කිරීමට තම වෙරල මුර සංචාර තර කලේ ය. ලංකාවේ අර්බුදය දිගින් දිගට ම ගැඹුරු වන තතු යටතේ සරනාගතයන්ගේ පැමිනීම විශාල වසයෙන් ඉහල යනු ඇතැයි ඔවුන් ගනන් බලා ඇත.

නය අර්බුදයක සිර වී සිටින ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත, අර්බුදයේ බර මහජනතාව මත පැටවීමේ කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාවට දමමින් සිටින අතර වැඩි දුර නය ලබා ගැනීම සඳහා එම වැඩපිලිවෙල තීව්‍ර කිරීමේ අවශ්‍යතාවෙන් පෙලේ.

කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල උතුරු නැගෙනහිර මහජනතාව මත පැටවීමට දෙමල ජාතිකවාදී පක්ෂ ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව සමග හවුල් වී ඇත්තේ “මේ දුක් විඳලා දෙමල ජනතාවට පුරුදුයි” යනුවෙන් පවසමිනි. දෙමල මහජනතාවගේ සමාජ ප්‍රශ්නවලට මේ පක්ෂ විසඳුමක් නොවනවා සේ ම, සිංහල සහ දෙමල කතා කරන කම්කරු-පීඩිත මහජනතාව මෙම රුදුරු ප්‍රහාරයන්ට එරෙහි ඒකාබද්ධ අරගලයකට පිවිසීම සම්බන්ධයෙන් ද විරුද්ධ ය. (කියවන්න: දෙමල ජාතිකවාදීන් මහජන විරෝධතාවලට එරෙහිව ශ්‍රී ලංකා ආන්ඩුවට මුක්කු ගැසීමට උත්සාහ කරති)

උග්‍ර වන සමාජ ප්‍රහාර හමුවේ පසුගිය වසර තුල විදෙස් ගත වීමට සූදානම් වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාවන් විශාල වශයෙන් වැඩි විය. විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම් විශාල වශයෙන් ඉහල ගොස් තිබුනි. කෙසේ නමුත් දියුනු රටවලට වීසා ලබා ගැනීමේ දුෂ්කරතාව නිසා ම බොහෝ තරුනයන්ට සිදු වන්නේ වඩා හොඳ ජීවන කොන්දේසි සොයමින් නීති විරෝධී ආකාරවලට එම රටවලට සංක්‍රමනය වීමට ය.

කෙසේ නමුත් සංක්‍රමනය පිලිතුරක් නොවන්නේ ශ්‍රි ලංකාවේ මතු වී ඇති සමාජ අර්බුදය ලෝක ධනවාදය කඩා වැටීමේ සන්තතිය විසින් නිෂ්පන්න වූවක් වන බැවිනි. කෝවිඩ්-19 ගෝලීය වසංගතයත්, යුක්‍රේනය මැදිකරගෙන එක්සත් ජනපද-නැටෝ බලයන් රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධයත් නිසා, ඊනියා දියුනු රටවල පවා ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල අනාරක්ෂිත බවක් ඇති කරමින්, ලෝකය පුරා මහජනතාවන් මුහුන දෙන දුෂ්කර සමාජ කොන්දේසි වැඩි දුර ගැඹුරු කෙරෙමින් පවතී.

Loading