කම්කරුවන්ට හා ගම්බද පීඩිතයින්ට එරෙහි ව අගමැති පන්ති යුද පිලිවෙත් ප්‍රකාශයට පත්කරයි

[මෙය Sri Lankan prime minister declares class war policies against workers and rural toilers මැයෙන් 2022 ජුනි 9 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

අඟහරුවාදා පාර්ලිමේන්තුව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, කෝවිඩ්-19 වසංගතය හා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ සන්ධානයේ වක්‍ර යුද්ධය විසින් තීව්‍ර කරනු ලැබ ඇති, පෙර නුවූ විරූ ආර්ථික කඩාවැටීමෙහි සම්පූර්න බර කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයින් දැරිය යුතු ය යන විධානයන් යලි අවධාරනය කලේ ය.

රනිල් වික්‍රමසිංහ (ඡායාරූපය: රනිල් වික්‍රමසිංහ ෆේස්බුක් පිටුව)

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන් හා අහස උසට නගින මිල ගනන් ද දීර්ඝ දෛනික විදුලි කප්පාදු ද හේතුවෙන් ජනාධිපති විසින් ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවැත්වෙන මහජන විරෝධතා මධ්‍යයේ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ඉවත් වීමට සිදුවීමෙන් පසුව, ජනාධිපති වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කලේ ය. එක්සත් ජාතික පක්ෂයට (එජාප) නායකත්වය දෙන හා එම දක්ෂිනාංශික පක්ෂයේ එක ම මන්ත්‍රීවරයා වන වික්‍රමසිංහට මහජන සහයෝගයක් නැත.

ලංකාව මුහුන දෙන රුදුරු හා ගැඹුරු වන ආර්ථික අර්බුදය ඉස්මතු කර දැක්වූ වික්‍රමසිංහ, මෑත මාසවල දී රටෙහි මූලික ආහාර ද්‍රව්‍යයන්හි සිඳී යන අස්වැන්න ගැන කතා කලේය.

2022 දී රටෙහි ආර්ථිකය සියයට 3.5කින් හැකිලෙනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව කල පුරෝකථනයකට අවධානය යොමු කල ඔහු, “මාස කිහිපයක් තුල අපේ ආහාර වේල් සලකද්දී බරපතල දුෂ්කරතාවන්ට හා හිඟයන්ට මුහුන දීමට අපට සිදු වෙනවා” යි කීවේ ය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, තත්ත්වය ඊටත් වඩා නරකයි. ඔවුන්ට අනුව වර්ධනය සියයට ඍන 6.5ක් වෙනවා” යැයි අනතුරු ඇඟවීම දක්වා වික්‍රමසිංහ ඉදිරියට ගියේ ය. කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට එරෙහි ව ඔහු හා ජනාධිපති රාජපක්ෂ මුදාහැරීමට ආරම්භ කරන පන්ති යුද පිලිවෙත් තීව්‍ර කිරීමක් සාධාරනීකරනය කිරීම පිනිස ඔහු මෙම සංඛ්‍යා ලේඛන උපුටා දැක්වී ය.

“අපේ සාම්ප්‍රදායික දේශපාලන දෘෂ්ටීන් කෙටිකාලයකට” පසෙක තබා, “රට යලි ගොඩනැගීමට සාමූහික ප්‍රයත්නයක්” දැරිය යුතු බව ඔහු ප්‍රකාශ කලේ ය. “මේ ප්‍රයත්නයේ දී, සමස්ත රටේ ජනතාව භූමිකාවක් ඉටු කල යුතු යි.”

වෙනත් වචනවලින් කියන්නේ නම්, පාලක පන්තිය මුහුන දෙන අර්බුදයට ලංකාවේ වැඩකරන මහජනයා කෙසේ හෝ වගකිව යුතු අතර, එම නිසා, රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව හා ධනේශ්වර පාලනය පවත්වාගෙන යාම පිනිස, “රට යලි ගොඩනැගීමේ” හා “ආර්ථික ස්ථාවරත්වය” ස්ථාපිත කිරීමේ බරට කරගැසිය යුතු ය. “මෙහි දී අපේ ප්‍රමුඛ කාරනය වන්නේ ආර්ථික ස්ථාවරත්වය වුවත්, ආර්ථික ස්ථාවරත්වය නිර්මානය කිරීමෙන් පමනක් අපට ප්‍රකෘතිමත් විය නො හැකි යි. අපි අපේ රටේ ආර්ථිකය ම ප්‍රකෘතිමත් කිරීම අවශ්‍යයි” යි වික්‍රමසිංහ කීවේ ය.

ලංකාව මුහුන දෙන කටුක ආර්ථික අර්බුදය තාවකාලික ව වලක්වා ගැනීමට දරන මංමුලා සහගත උත්සාහයේ දී ඔහු ලබා ගැනීමට යත්න දරන හදිසි නය පහසුකමක් සඳහා පූර්ව-කොන්දේසියක් ලෙස, රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) පැහැදිලි කර ඇත. රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම, බදු ඉහල දැමීම් සහ රාජ්‍ය අංශයේ රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් හා ඉතිරි ව තිබෙන සහනාධාර කැපීම මගින් අයවැය පරතරය විෂඝෝර ලෙස කැපීම් මෙම පියවරයන්ට ඇතුලත් වේ.

වික්‍රමසිංහ අගමැති ධූරයට පත්කරන අතර ම, හැකි ඉක්මනින් මෙම කඨෝර පියවරයන් ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී වගකීම භාර දෙමින්, රාජපක්ෂ ඔහු ව මුදල් ඇමති තනතුරට ද පත්කලේ ය.

ජුනි 2දා, වික්‍රමසිංහ එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 8 සිට 12 දක්වා ඉහල නැංවී ය. කම්කරු පන්තියේ වැඩි කොටස් හසු වන පරිදි ආදායම් බදු ජාලයද පලල් කර අතර, විදුලි සංදේශ බදු ඉහල දමමින් සමහර භාන්ඩ මත නව අධිභාර පැනවීම ද සිදුකරන ලදී.

වැඩපොලවල් වෙත “අත්‍යවශ්‍ය” කාර්යය මන්ඩලය පමනක් කැඳවීම හා අතිකාල දීමනා සීමා කිරීම ඇතුලු විවිධ ක්‍රම මගින්, වියදම් කපා හරින ලෙස රාජ්‍ය අංශයේ ආයතනයන්ට උපදෙස් දෙනු ලැබ තිබේ. රැකියා, වැටුප් හා රාජ්‍ය අංශයේ කම්කරුවන්ට ලැබෙන අනෙකුත් සීමිත ප්‍රතිලාභ කැපීම සඳහා සූදානම් වීමක් ලෙස මෙම පියවරයන් පවතී.

ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්, වික්‍රමසිංහ අඟහරුවාදා රාත්‍රීයේ ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සමග සාකච්ඡා කලේ ය. කාර්යය මන්ඩල මට්ටමේ එකඟතාවක් කරා හැකි ඉක්මනින් එලැඹීමට, ජ්‍යෙෂ්ඨ ජාමූඅ නියෝජිත කන්ඩායමක් ලංකාවට සංචාරය කල යුතු බව ඔහු ඉල්ලා සිටියේ ය.

ඔහුගේ පාර්ලිමේන්තු කතාවේ දී, රාජ්‍ය අංශයේ කම්කරුවන් මතට අනාගත ප්‍රහාරයන් ධාවනය කරන ආර්ථික සාධක සමහරක් ගැන ද වික්‍රමසිංහ ඉඟි කලේ ය. “අපේ රටේ දැන් පවතින තත්ත්වය තුල, රජයට අයත් කිසිදු ව්‍යවසායකට එහි පාඩු ආවරනය කරගැනීම සඳහා අරමුදල් සම්පාදනය කිරීම ආන්ඩුවට කල නො හැකි යි. රජයට හෝ රජයට අයත් බැංකුවලට තව දුරටත් එම නය බර දරා සිටිය නො හැකි යි” යි ඔහු කීවේ ය.

මැයි 29දා, තම නිලධාරීන්ගේ රැස්වීමක් ඇමතූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, විශ්‍රාම යාමට සූදානම් වන රාජ්‍ය අංශයේ සේවකයන් “(රටේ ඒක පුද්ගල ආදායම් මට්ටම) එක්සත් ජනපද ඩොලර් 10,000 දක්වා ලඟා වන තෙක්” විශ්‍රාම වැටුප් හෝ පාරිතෝෂික ඉල්ලා නො සිටිය යුතු බව කීවේ ය. දැනට පවතින මිලියන 1.7 රාජ්‍ය අංශ රැකියා සංඛ්‍යාවට ප්‍රතිකූල ව, “දරාගත හැකි උපරිම රැකියා සංඛ්‍යාව 500,000ක් හෝ වැඩි ම වුවහොත් 800,000ක්” බවට ද ඔහු කනිපින්දම් කීවේ ය. මෙහි අර්ථය වන්නේ, දැනට සිටින රාජ්‍ය-අංශ ශ්‍රම බලකායෙන් සියයට 50 සිට 70 දක්වා විනාශභාග් කිරීමයි.

පාර්ලිමේන්තුව කල කතාවේ දී, නව කප්පාදු පියවරයන් පැටවීම සඳහා දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂවල එකමුතු කම සඳහා වික්‍රමසිංහ කැඳවුම් කලේ, ආන්ඩුවේ “ආර්ථික, සමාජ-දේශපාලනික හා රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරනවලට” උපායාත්මක මතභේද පසෙක තබා සහයෝගය දක්වන ලෙස ආරාධනා කරමිනි.

“පලමුව අපි රට ගොඩනගමු. අපි මේ අර්බුදයෙන් අපේ රට ආරක්ෂා කරගමු. මේ උත්සාහයන්ට ඔබේ සහයෝගය දෙන්න. නියමිත කාල රාමුවක් ඇතුලත රට සාමාන්‍ය තත්ත්වය කරා පැමිනීමෙන් පසුව, ඔබට ඔබේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යලි පැමිනිය හැකියි” යි ඔහු කීවේ ය.

මෙම ම්ලේච්ඡ සමාජ පියවරයන්ට කම්කරු පන්තිය හා ගම්බද දුගීන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්දැයි යන්න ගැන පාලක ප්‍රභූවේ කිසිදු කොටසකින් පැනනැගිය හැකි ඕනෑ ම පසුබට වීමක් ආපසු හැරවීමේ උත්සාහයක යෙදුනු වික්‍රමසිංහ, දෙවන ලෝක යුද්ධය සමයේ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ගැන සඳහන් කලේ ය.

“වින්ස්ටන් චර්චිල්ගෙන් උපුටා දක්වමින් මගේ ප්‍රකාශය සමාප්ත කිරීමට මම කැමතියි. ‘අසුභවාදියා සෑම තත්ත්වයක් තුල ම දුෂ්කරතා දැකගනියි; විශ්වාස කරන්නා සෑම දුෂ්කරතාවක් තුල ම අවස්ථාවක් දැකගනියි,’” යනුවෙන් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ ය. “අපේ මාවතේ පැමිනෙන සෑම අවස්ථාවක ම වාසිය අපි ගත යුතු යි. විශ්වාසයෙන් යුතු ව රට ගොඩනැගීමට අපි මේ අවස්ථාවන් යොදා ගන්නවා. රට යලිත් සාමාන්‍ය තත්ත්වය කරා ගෙන ඒමට අපි සියලු දෙනා සම්පූර්න වගකීම ගන්නවා.”

සත්‍ය වසයෙන් ම, සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ඔවුන්ගේ ව්‍යාජ-වාම අන්තේවාසිකයන් සමගින්, දැනටමත් ක්‍රියාවට දැමෙන ජාමූඅ පිලිවෙත්වලට ඔවුන්ගේ සහයෝගය ප්‍රදර්ශනය කර ඇත.

ඔවුන්ගෙන් කිසිවෙක්, ගිය සතියේ නිවේදනය කරන ලද වැට් බදු ඉහල දැමීම් හා අනෙකුත් යෝධ බදු ඉහල දැමීම්වලට විරුද්ධ වී නැති අතර, රාජ්‍ය අංශය තුල සූදානම් කෙරෙමින් පවතින යෝධ රැකියා කප්පාදු හෙලා දැක නැත. තව ද සජබ, ජවිපෙ හා දෙජාස අතීතයේ දී ඒ හා සමාන රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේ දී ආන්ඩුවලට සහයෝගය දීම හෝ ඒවා ක්‍රියාවට දැමීම සිදු කර ඇත. මීට කලින් ජාමූඅ වෙත නො යාම ගැන රාජපක්ෂ ආන්ඩුව පෙර දී සජබ විසින් විවේචනය කල අතර, නවතම ජාමූඅ විධානයන් ගැන නිහඬ ව සිටිමින් ජවිපෙ සිය වක්‍ර සහයෝගය සංඥා කර ඇත.

රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව සූදානම් කරන සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයන් තමන් පිලිගන්නේ නැති බව කම්කරුවන්, තරුනයන් හා ගම්බද ජනයා දැනට මත් පෙන්නුම් කර ඇත. අප්‍රේල් 28 හා මැයි 6 දිනවල පැවැත්වූ එක් දින මහා වැඩ වර්ජන දෙකට ද විරෝධතාකරුවන්ට ආන්ඩුවේ ඇවිලවීමෙන් එල්ල කල මැර ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මැයි 9දා අරඹා, වෘත්තීය සමිති විසින් මැයි 11දා ආපසු කැඳවන ලද මෑත ම මහා වැඩ වර්ජනයට ද මිලියන ගනනින් සහභාගි වීම මගින්, රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව පසුගිය මාස දෙක පුරා පැවතීගෙන යන මහජන විරෝධතාවල දී කම්කරු පන්තිය කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කර ඇත.

ආන්ඩුවේ ප්‍රතිව්‍යුහකරන හා පුද්ගලීකරන පියවරයන් අරබයා නැගෙමින් පවතින කෝපය ගිල්වා දැමීමට අපොහොසත් ලංකා විදුලිබල මන්ඩලයේ ඉංජිනේරු සංගමය, උතුරු පලාත තුල ඉන්දියාවේ අදානි සංගතයට සුලං-බල ව්‍යාපෘතීන් ස්ථාපිත කිරීමට ඉඩ ලබා දෙමින් විදුලිබල පනතට කරන වෙනස්කම්වලට විරෝධය පෑම පිනිස, බදාදා රාත්‍රීයේ සිට ජාතික වෘත්තීය ක්‍රියාමාර්ගයක් කැඳවුම් කර ඇත.

මෙලෙස සැලසුම් කර ඇති වැඩ වර්ජන ක්‍රියා මාර්ගයට, විදුලිබල සැපයුම හා සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රතිචාර දක්වා ඇත්තේ, එය මෙම කම්කරුවන් සමග පමනක් නො ව, සමස්ත කම්කරු පන්තිය සමගම ගැටීමේ මාවතකට පිවිසී තිබෙන බව පැහැදිලි කරමිනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අඛන්ඩ ව විස්තර කර ඇති පරිදි, වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ, වැඩ වර්ජන හා අනෙකුත් කාර්මික ක්‍රියා මර්දනය කොට පාවාදෙමින් ආන්ඩුව හා හාම්පුතුන් වෙනුවෙන් වැඩකරන කාර්මික පොලීසියක් ලෙසයි.

සෑම කම්හලක, වැඩපොලක, වත්තක හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සංවිධානය වී මෙම අරගල තමන්ගේ ම අතට ගැනීමට කම්කරු පන්තිය ක්‍රියාකල යුතු ය.

සසප දේශපාලන සහයෝගය හා මගපෙන්වීම මත ක්‍රියාකරන එවන් කමිටු, සමාජවාදී පිලිවෙත්වලට කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන සටනට කම්කරු පන්තියේ හා ගම්බද පීඩිතයන්ගේ සියලු කොටස් රැලි කරගත යුතු ය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දියත් කරන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාකස) සමග බද්ධ විය යුතු මෙම ක්‍රියාකාරී කමිටු, ගෝලීය ධනවාදයට එරෙහි පොදු අරගලයක් තුල සිය ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග ලංකාවේ කම්කරුවන්ගේ එකමුතුව තනා ගත යුතුය.

Loading