ජාත්‍යන්තර විරෝධය හමුවේ ඉන්දියාවේ හින්දු අධිපතිවාදී ආන්ඩුව බී‌ජේපී නායකයින්ගේ මුස්ලිම් විරෝධී උසිගැන්වීම් වලින් නරුම ලෙස දුරස් වෙයි

[මෙය Facing an international outcry, India’s Hindu supremacist government cynically distances itself from top BJP officials’ anti-Muslim incitement මැයෙන් 2022 ජූනි 13 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික විරෝධයකට මුහුන දෙමින්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් හින්දු අධිපතිවාදී භාරතිය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව, පක්ෂයේ ඉහල නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉස්ලාම් ආගමික වක්තෘ මොහම්මඩ්ට අවමන් කරමින් සිදුකල ද්වේෂ සහගත ප්‍රකාශයන්ගෙන් දුරස්ථ වීමට නරුම ලෙස වෑයම් කලේ ය.

බීජේපීය අඛන්ඩව මුස්ලිම් විරෝධී උසිගැන්වීම් සහ ප්‍රකෝප කිරීම්වල නිරතව සිටින්නකි. එම පක්ෂයේ ප්‍රධානියා ලෙස 2014 දී මෝදි බලයට පත් වූ දා පටන් මෙය සත්‍යයකි. කෙසේ වෙතත්, 2019 මැයි මාසයේ පැවැති මහමැතිවරනයෙන් බීජේපීය දෙවනවරටත් බහුතරයක් දිනා ගැනීමෙන් පසු, කොවිඩ්-19 වසංගතය සහ එහි ආර්ථික බිඳවැටීමත්, යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාව සමඟ එක්සත් ජනපදය/නැටෝව විසින් උසිගන්වන ලද යුද්ධය මගින් ඇති කරන ලද පීඩාවත් විසින් ඉන්දියාව විනාශයට පත් කර ඇති කොන්දේසි යටතේ වර්ගවාදී උසිගැන්වීම ගුනාත්මකව නව අවධියකට නැංවිනි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි (ෆේස්බුක්) [Photo: Narendra Modi Facebook page]

මෙම සිද්ධියේදී මෝදි ආන්ඩුව, මුස්ලිම් විරෝධී හැඟීම් ඇවිස්සීමට දැනුවත්ව ක්‍රියාත්මකවූ බීජේපීහි නිලධාරීන්ව විනය ගත කිරීමේ සංදර්ශනයක් දැක්වුයේනම්, ඒ, ඔවුන්ගේ ප්‍රකාශයන් ඉන්දුනීසියාව, තුර්කිය, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලු මුස්ලිම් රාජ්‍ය දුසිමකට වැඩි ගනනක අවධානයට හා හෙලා දැකීමට ලක් වූ නිසාම පමනකි.

මැයි 27දා පැවැති රූපවාහිනී විවාදයකදී, භාරතීය ජනතා පක්ෂයේ ජාතික ප්‍රකාශක නූපූර් ෂර්මා විසින් ආගමික වක්තෘ මොහොමඩ් නින්දාවට පත් කලේ, ඔහු ලමා අපචාරකයෙකු යැයි යෝජනා කරමිනි. බීජේපීහි දිල්ලි මාධ්‍ය සංසද ප්‍රධානී නවීන් කුමාර් ජින්ඩාල්, තවදුරටත් නින්දා සහගත අදහස් එකතු කරමින්, ට්විටර් හි ෂර්මාගේ ප්‍රකාශ ප්‍රවර්ධනය කිරීමට පැනගත්තේ ය.

අපේක්ෂා කල පරිදිම, මෙම ප්‍රකාශයන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම්වරුන්ගේ කෝපාන්විත විරෝධතා ඇවිලවූයේ ය. එවිට, බීජේපීය තර්ජනය කිරීම් හා දාමරිකකම් මගින් ඒවාට ප්‍රතිචාර දැක්වූයේ ය.

ජූනි 3 සිකුරාදා යාඥාවෙන් පසු උතුරු ඉන්දියාවේ ප්‍රධාන කාර්මික නගරයක් වන කාන්පූර්හි මුස්ලිම්වරු විරෝධතාවක් පැවැත්වූ විට, මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ගේ නායකත්වයෙන් සමන්විත උත්තර් ප්‍රදේශ්හි බීජේපී ප්‍රාන්ත ආන්ඩුව ඔවුන් වෙත කඩාපැන, දුසිම් ගනනක් අත්අඩංගුවට ගෙන තවත් සිය ගනනකට එරෙහිව පැමිනිලි ගොනු කලේය. 'මහන්ත්' හෙවත් ප්‍රමුඛ හින්දු පූජකයෙකු වන ආදිත්‍යනාත්, මෝදි විසින්, ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්න ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස අභිෂේක කිරීමට පෙර, මුස්ලිම්වරුන්ට ප්‍රචන්ඩකාරී ප්‍රහාර උසිගැන්වීම සම්බන්ධයෙන් අපරාධ චෝදනාවන්ට ලක්ව සිටින්නෙකි.

දින දෙකකට පසුව, ජූනි 5දා, මෝදි නගරයට පැමිනීමට නියමිත දිනකදී, කාන්පූර්හි සමහර මුස්ලිම්වරුන් බන්ද් (මහා වැඩ වර්ජනයක්) කැඳවූ විට, බීජේපීය සහ එහි හින්දු ස්වෝත්තමවාදී සහචරයින් විසින් බලමුලු ගන්වන ලද හින්දු අන්තවාදී දාමාරිකයෝ ඔවුන්ට පහර දුන්හ. මෙයින් ඇවිලුනු වාර්ගික ගැටුම්වලින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුලු 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ප්‍රචන්ඩත්වය ආරම්භ කල අය “කිසිවෙකුට හඳුනාගත නොහැකි වූ” බව මෝදි ආන්ඩුවේ මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනතට (සීඒ්ඒ්) එරෙහිව විරෝධතා මෙහෙයවූ ප්‍රාදේශීය මුස්ලිම් නායකයෙකු වන හයාත් සෆර් හෂ්මි දි හින්දු පුවත්පතට පැවසීය. 'පෙනීයන ආකාරයට, ඔවුන් ගැටුම් ඇති කිරීමට කැඳවනු ලැබූ පිටස්තරයින්' බවද ඔහු පවසා තිබේ.

වාර්ගික ප්‍රචන්ඩත්වය අතරතුර සහ ඉන් පසුව පොලිසිය විසින්, හෂ්මි ඇතුලු දුසිම් ගනනක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සියල්ලෝම පාහේ මුස්ලිම්වරුන් ය. නිසැකවම ප්‍රධාන අමාත්‍ය ආදිත්‍යනාත්ගේ නියෝග ලත් උසස් පොලිස් නිලධාරියෙක්, මුස්ලිම් විරෝධතාකරුවන්ට පහර දෙද්දී පෙරලා පොලිසියට ගල් ප්‍රහාර එල්ල කල ගොඩනැගිලි බුල්ඩෝසර් කිරීමට දිව්රුවේ ය.

උත්තර් ප්‍රදේශ්හි මුස්ලිම්වරුන් ඉලක්ක කරගත් මැර ප්‍රචන්ඩත්වයට රජය කොල එලි දල්වන අතරේම, කාන්පූර් විරෝධතා අවුලුවාලූ බීජේපී නිලධාරීන්ගේ වර්ගවාදී අපහාස සම්බන්ධයෙන් ජාත්‍යන්තර විරෝධය මැඩපැවැත්වීම සඳහා යම් දුරකට හානිපූරනයක නිරතවීමට මෝදි ආන්ඩුවට සිදු විය.

සිදුවීම, මුස්ලිම් රටවල් දුසිමකට වැඩි ප්‍රමානයක් ප්‍රසිද්ධියේ හෙලා දැක ඇති අතර බොහෝ දෙනෙක් එකී රටවලට අනුයුක්ත ඉන්දියානු තානාපතිවරයා කැඳවා වඩාත් දීර්ඝ තරවටු කිරීමක් ද කර තිබේ.

විශේෂයෙන්ම නවදිල්ලිය සම්බන්ධයෙන් අරාබි ගල්ෆ් රාජ්‍යයන්ගේ ප්‍රතිචාරය වැදගත්ය. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාවට තෙල් සපයන ප්‍රධාන සැපයුම්කරුවන් වන අතර, ඉන්දියාව තෙල්වලින් සියයට 80 කට වඩා ආනයනය මත රඳා පවතී. බීජේපී නිලධාරීන්ගේ ප්‍රකාශ හෙලා දුටු පලමු රාජ්‍යය වූ කටාර්, ඉන්දියාවේ එල්එන්ජී (ද්‍රවීකරනය කල ස්වභාවික වායු) ආනයනයෙන් සියයට 40 ක් සපයයි. ගල්ෆ් රාජ්‍යවල සිටින ඉන්දියානු සංක්‍රමනික සේවකයන්ගෙන් ඉන්දියාවට වාර්ෂිකව ප්‍රේෂන බිලියන ගනනක් ලැබේ. අවසාන වශයෙන්, නවදිල්ලියේ වොෂින්ටනය සමඟින් පුලුල් වන මූලෝපායික සන්ධානයට අනුව, ගල්ෆ් රාජ්‍යයන්, වඩාත් වැදගත් ඉන්දියානු මිලිටරි-ආරක්ෂක හවුල්කරුවන් වේ.

මේ අනුව, ෂර්මා, මොහොමඩ්ට නින්දා කිරීමෙන් දින නවයකට පමන පසු සහ ජින්ඩාල් ඇගේ අදහස් ප්‍රවර්ධනය කිරීමෙන් පසු, බීජේපීය ඔවුන්ට එරෙහිව පියවර ගත්තේය. මෝදි සහ අනෙකුත් ඉහලම කැබිනට් ඇමතිවරුන් විසින්, බීජේපීයේ නැගී එන තරුවක් වන ෂර්මාගේ --ඇගේ ට්විටර් පිටුව මෝදි සහ අනෙකුත් ප්‍රධාන බීජේපී කැබිනට් ඇමැතිවරුන් අනුයයි ('follow' කරයි-- බීජේපී සාමාජිකත්වය “වැඩිදුර විමර්ශනය සඳහා” යැයි කියමින් අත්හිටුවන ලදි. ජින්ඩාල් නෙරපා හැරිනි.

බීජේපී ප්‍රධාන ලේකම් අරුන් සිං විසින් ව්‍යාජ දෝෂමුක්ත ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ටික කලකට පසුව මෙම විනය ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කරන ලදි. එය, ඉස්ලාම් ලබ්දියේ නිර්මාතෘට එරෙහිව බීජේපී නිලධාරීන්ගේ මඩ ගැසීම සහ ඔවුන් විසින් අවුලුවා ඇති මතභේදය පිලිබඳ කිසිදු සඳහනක් කිරීම ඉතා සූක්ෂම ලෙස මග හරිමින්, බීජේපී “සියලු ආගම්වලට ගරු කරන” සහ “ඕනෑම ආගමක් අදහන පුද්ගලයින්ට අපහාස කිරීම දැඩි ලෙස හෙලා දකින” බව ප්‍රකාශ කලේය. සියලුම ඉන්දියානුවන්ට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතිය පිලිබඳව ඉන්දීය ව්‍යවස්ථාවේ ප්‍රතිඥාවට යටත් වෙමින්, එම ප්‍රකාශය, භාරතීය ජනතා පක්ෂය “සියල්ලන් සමාන වන සහ සියලු දෙනා ගෞරවාන්විතව ජීවත් වන ශ්‍රේෂ්ඨ රටක් බවට ඉන්දියාව පත් කිරීමට කැපවී සිටින” බව පැවසීය.

මෝදිගේ සහ ඔහුගේ බීජේපීහි කුහකකමට සහ නරුමත්වයට සීමාවක් නැත.

බීජේපීය එහි සමස්ත ඉතිහාසය පුරාවටම ක්‍රිස්තියානුවන්ට, දාලිත්වරුන්ට සහ විශේෂයෙන්ම මුස්ලිම්වරුන්ට එරෙහි වර්ගවාදී උද්ඝෝෂන සහ ප්‍රචන්ඩත්වය සමඟ සහසම්බන්ධ වී ඇත. එය, හින්දු සංස්කෘතික පුනර්ජීවනය, ප්‍රකාශනය සහ “ආත්මාරක්ෂාව” පිලිබඳ ස්වේච්ඡා සංවිධානයක් වන, මිත්‍යාදෘෂ්ටික රාෂ්ට්‍රිය ස්වයම්සේවක් සංග් (ආර්එස්එස්) හි දේශපාලන හස්තය වේ. මෝදි ඇතුලු බොහෝ බීජේපී නායකයින් සහ කේඩරයන් ආර්එස්එස්හි යාවජීව සාමාජිකයින් වන අතර, බීජේපී නායකත්වය රජයේ ප්‍රතිපත්ති සහ කැබිනට් අමාත්‍යාංශ බෙදා හැරීම පිලිබඳව ආර්එස්එස් ප්‍රධානීන් සමඟ නිතිපතා සාකච්ඡා කරයි.

බීජේපීය, වී. ඩී. සාවර්කාර් විසින් වර්ධනය කර විස්තාරනය කරන ලද හින්දු ජාතිකවාදී මූලධර්මය වන හින්දුත්වා (Hindutva) අභිවර්ධනය කරයි. 1930 ගනන්වල අග භාගයේ සමස්ත ඉන්දීය හින්දු මහාසභාවේ ප්‍රධානියා ලෙස සිටි සාවර්කාර්, “ජාති-විරෝධී” මුස්ලිම් සුලුතරය සමඟ කටයුතු කිරීමේදී “හින්දු ජාතිය” අනුගමනය කල යුතු ආදර්ශයක් ලෙස හිට්ලර් විසින් යුදෙව්වන්ට හිංසා කිරීම ප්‍රසිද්ධියේ අගයකල අයෙකි.

2002 දී ගුජරාටයේ මුස්ලිම් විරෝධී සංහාරය උසිගැන්වීමේ සහ ඒවාට ආධාර, අනුබල දීමේ ඔහුගේ කාර්යභාරය සඳහා මෝදි ජාතික වශයෙන් ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් වූ අතර, එයින් 2,000 ක් පමන මිනිසුන් -- ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් දුප්පත් මුස්ලිම්වරුන්ය-- මිය ගිය අතර තවත් කිහිප දහසකට නිවාස අහිමි විය.

මෝදි අගමැති ලෙස සේවය කල අට වසරක කාලය තුල, පාලක පක්ෂයේ විවෘත හෝ නිහඬ සහයෝගය ඇතිව, බීජේපී ජාතික සහ ප්‍රාන්ත ආන්ඩු හෝ ඔවුන්ගේ හින්දු දක්ෂිනාංශික සහචරයින් විසින් සිදු කරන ලද වර්ගවාදී ප්‍රකෝප කිරීම් මෙහි විස්තර කිරීමට නොහැකි තරම්‍අනේක ය.

ඒවාට පහත සිදුවීම් ද ඇතුලත් ය:

* දිලිඳු මුස්ලිම්වරුන්ට සහ දාලිත්වරුන්ට ලාභ ප්‍රෝටීන් ප්‍රභවයක් සහ සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ජීවනෝපාය ද අහිමි කරන 'ගව ඝාතන විරෝධී' නීති;

*'ගව ආරක්ෂාවේ' හෝ 'ලව් ජිහාද්' (හෙවත් අන්තර්-ආගමික සබඳතා වලට) එරෙහි වීමේ නාමයෙන් වර්ගවාදී සුපරීක්ෂාකාරී ප්‍රහාර දිරිමත් කිරීම;

* වෙනස් කොට සැලකීමේ 2019 පුරවැසි සංශෝධන පනත;

*ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම ප්‍රාන්තය වන ජම්මු සහ කාශ්මීරයේ විශේෂ ස්වයං පාලන තත්වය ඉවත් කර, එය හුදු ඒකාබද්ධ ප්‍රදේශයක් දක්වා පහත හෙලා, එය අසීමාන්තිකව මධ්‍යම රජයේ භාරකාරත්වය යටතට පත් කිරීම.

සමාජ අර්බුදය ගැඹුරු වී, යෝධ විරැකියාව, ඉහල යන මිල ගනන්, වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ විනාශකාරී ප්‍රතිචාරයට සහ එහි “ආයෝජක ගැති” ප්‍රතිපත්තිවලටත් එරෙහිව ඉන්දියාවේ කම්කරුවන් හා ග්‍රාමීය දුගීන් අතර විරෝධය නැගී ඒමත් සමඟම, මෝදි සහ ඔහුගේ බීජේපී ආන්ඩුව ඔවුන්ගේ වර්ගවාදී ප්‍රහාරය උග්‍ර කර ඇත.

බීජේපීහි පැහැදිලි අරමුන වන්නේ, වැඩෙන සමාජ කෝපය, සාංකාව සහ ඉච්ඡාභංගත්වය වාර්ගික කලකෝලාහල වෙත හරවා යැවීම සහ හින්දු ආධිපතිවාදී ක්‍රියාකාරීන්, කම්කරු පන්තියට එරෙහිව ප්‍රහාරක හේවායින් ලෙස බලමුලු ගැන්වීමයි.

මෙය වඩ වඩාත් අනතුරු ඇඟවීම්සහිත සහ නොපනත් ස්වරූපයන් ගනිමින් තිබේ. මෝදි සහ ඔහුගේ ප්‍රධාන හෙංචයියා වන ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා, මුස්ලිම්වරුන් 'සමූලඝාතනය' කිරීමට කැඳවුම් කර ඇති බීජේපී නායකයින් සමඟ දැඩි සම්බන්ධයක් තිබෙන බවට තහවුරු වී ඇති හින්දු සාධූන් (ශුද්ධ මිනිසුන්) විසින් මෑත කාලයේදී සිදුකල කථා හෙලා දැකීමට කෙලබිඳක් හෝ හෙලා නැත. මේ අතර, බීජේපී ප්‍රාන්ත සහ ප්‍රාදේශීය ආන්ඩු, දැන් මුස්ලිම්වරුන්ගේ නිවාස සහ වෙලඳසැල් බුල්ඩෝසර් කිරීමට නියෝග කිරීම සම්මත පුරුද්දක් බවට පත් කරගෙන සිටිති—ආන්ඩු විරෝධී විරෝධතාවලට සහභාගී වූ බවට ඔවුන් චෝදනා කරන්නන්ගේ සහ “නීති විරෝධී සංක්‍රමනිකයින්” යයි කියන දෙපාර්ශවය සම්බන්ධයෙන්ම එය එසේ ය.

“හින්දු දක්ෂිනාංශයේ නිර්දය ආක්‍රමනශීලී බවේ” පෙර නොවූ විරූ බවත්, මෝදි ආන්ඩුව එම අන දීමට නායකත්වය නොදෙන විට, ෆැසිස්ට්වාදී බලවේග දිරිගන්වමින් සහ ධෛර්යමත් කරමින් සිටින බවත් පිලිගැනීමට පසුගිය සතියේ කතුවැකියකදී ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට බල කෙරුනි:

යන්තම් මීට වසර කිහිපයකට පෙර පවා දුර්ලභ සිදුවීම් වූ, භයානක ලෙස භේදකාරී වාචාල කතා සහ රාජ්‍ය/පොලිස් ක්‍රියා සහ ප්‍රතිචාර, දැන්, කම්පනයට පත් වීමේ හැකියාව පාහේ නැති කරවන තරමට නිතර නිතර සිදු වේ. සියලුම ප්‍රභේදවල උග්‍ර අනන්‍යතා දේශපාලනය ඉන්දියාවට අලුත් දෙයක් නොවේ. අලුත් දේ වන්නේ හින්දු දක්ෂිනාංශයේ නිර්දය ආක්‍රමනශීලීත්වයයි—සහ, මෙම සමහර ආක්‍රමනකාරීත්වයන් විශේෂයෙන් පිලිකුල් සහගත වූ විට පවා ප්‍රධාන බීජේපීයෙන් හෝ ආන්ඩුවේ නායකත්වයෙන් කිසිදු විවේචනයක් නොපැමිනීමයි.…

ගෙවල් ඩෝසර් කිරීම, ඉතිහාස මහාචාර්යවරුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට රාජද්‍රෝහී චෝදනා එල්ල කිරීම, මාංශ ආහාර අලෙවි කරන පදික වෙලෙන්දන් ඉවත් කිරීම, හලාල් මස් සහ නමාස් (මුස්ලිම් යාඥාවකි) සිදුකරන ස්ථානවල මතභේද ඇති කිරීම, මේ-පල්ලිය-කෝවිලකි [වර්තමානයේ මුස්ලිම් පල්ලි පිහිටි භූමිභාගයන් අතීතයේ හින්දු කෝවිල් තිබූ ස්ථානයන් ලෙස නම් කරන ලෙස ඉල්ලා ගෙනියන විෂකුරු උද්ඝෝෂනය] යන පෙත්සමට පහල උසාවිවල අමුතු පිලිගැනීම් ගැන මොන කතා ද—මෙම ආයතනික ප්‍රතිචාර සියල්ල රූපවාහිනියේ සහ ට්විටර්වල දක්ෂිනාංශික පුරසාරම් සඳහා දිරිගන්වන නිමිති වී ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත නොකියන හා එයට කිව නොහැකි දෙය නම්, සමස්ත ඉන්දීය පාලක පන්තිය, එහි පක්ෂ, රාජ්‍ය ආයතන සහ මාධ්‍යය, හින්දු ස්වෝත්තමවාදී දක්ෂිනාංශයේ නැඟීමෙහි කොටස්කරුවන් බව ය.

මෝදි සහ ඔහුගේ බීජේපීය 2014 දී මහා ව්‍යාපාරිකයන් විසින් බලයට තල්ලු කරනු ලැබුවේ, කම්කරු-සූරාකෑම වැඩි කිරීමටත්, ලෝක තලය මත එහි මහා බල අභිලාෂයන් වඩාත් ආක්‍රමනශීලී ලෙස තහවුරු කිරීමටත්, ඉන්දියාවේ ධනේශ්වර ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමත් සඳහා ය. මහා අවපාතයෙන් හා දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු, පූර්වාදර්ශයකින් තොරව වැඩෙන මහජන විරෝධය සහ ගෝලීය ආර්ථික හා භූ දේශපාලන කැලඹීම් හමුවේ නිර්දය ලෙස තම අවශ්‍යතා ලුහුබැඳීමට ඇති හොඳම ඔට්ටුව ලෙස වසර අටකට පසුවත්, ඔවුන් තවමත් දකින්නේ හින්දු ප්‍රබලයෙකු වන මෝදි ය.

ඔවුන්ගේ වර්ගවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී, උසාවි, බීජේපීයට සහ හින්දු දක්ෂිනාංශයට නැවත නැවතත් ආධාර කර ඇත. මේ සඳහා වඩාත්ම කුප්‍රකට උදාහරනය නම්, අයෝධ්‍යාවේ බාබ්‍රි මස්ජිඩ් භූමියේ රාම් දෙවියන්ට කෝවිලක් ඉදිකිරීම සඳහා හින්දු දක්ෂිනාංශයේ දිගුකාලීන ඉල්ලීම ඉටු කරන ලෙස මෝදි ආන්ඩුවට “නියෝග” කල 2019 නොවැම්බර් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව යි. බීජේපීයේ සහ ආර්එස්එස් හි ඉහලම නායකයින්ගේ උසිගැන්වීම මත සහ ශ්‍රේෂ්ඨාධිකරනයේම නියෝග කෙලින්ම නොතකා හරිමින්, 1992 දෙසැම්බරයේදී මුස්ලිම් පල්ලිය සමතලා කර දමන ලදි.

කොන්ග්‍රස් පක්ෂය සහ ස්ටැලින්වාදී සීපීඑම් සහ සීපීඅයි විසින් “අනාගාමිකත්වයේ” පවුරක් ලෙස ප්‍රවර්ධනය කරන ලද අනෙකුත් විවිධ පක්ෂ සියල්ලෝම හින්දු දකුනට අනුගත වෙමින් ද ඒ ගැන නොතකා සිටිති, නැතිනම්, කුලවාදයේ, වාර්ගික-ජාතිකවාදයේ හෝ ආගමික-පදනම් මත වර්ගවාදයේ වෙනත් ප්‍රභේදයක් මත වාරුවී හින්දු දකුනට විරුද්ධ වෙති. වර්තමානයේ 'හින්දුත්ව-ලයිට්' (මෘදු හින්දුත්වය) වැලඳ ගැනීම ගැන ඇතම් මාධ්‍යවල පවා විවේචනයට ලක්ව ඇති කොන්ග්‍රස් පක්ෂය, බීජේපීහි පැරනි දිගුකාලීන දේශපාලන සගයා වන ෆැසිස්ට්වාදී 'ශිව සේනා' හි නායකත්වය දරන, ඉන්දියාවේ දෙවන වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේ සභාග ආන්ඩුවක කනිෂ්ඨ හවුල්කරුවෙකි.

සිකුරාදා, භාරතීය ජනතා පක්ෂයේ නිලධාරීන්ගේ වර්ගවාදී මඩ ගැසීම් පිලිබඳ විරෝධතා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල යලිත් පුපුරා ගිය විට, කොන්ග්‍රසයේ සභාග හවුල්කරුවෙකු වන ජාර්කන්ඩ් ආන්ඩුව, පුද්ගලයින් දෙදෙනෙකුගේ මරනයට හේතු වූ කුරිරු පොලිස් මර්දනයකට නියෝග කලේය, ඉන් එක් අයෙක්, හිසට වෙඩි වැදුනු අවුරුදු 15 ක පිරිමි ලමයෙකි.

රැකියා කප්පාදුව, පුද්ගලීකරනය, කොන්ත්‍රාත් ශ්‍රමය, කඩාවැටුනු රාජ්‍ය සේවාවන් සහ වසංගතය මධ්‍යයේ සුවආරක්ෂක උපකරන නොමැතිකමට එරෙහිව ඉන්දියාව පුරා පැන නැගෙන අරගල, සියලු වාර්ගික, කුල, ජාති-භාෂාමය බෙදීම් කපාගෙන වැඩෙන කම්කරු පන්තියේ වෛෂයික එකමුතුව පෙන්නුම් කරයි. මෝදි ආන්ඩුවට, හින්දු දක්ෂිනාංශයට සහ ඉන්දියානු ධනේශ්වරයේ සාකල්‍යයෙන් ජරාජීර්නවූ, වාර්ගිකව ආසාදිතවූ ආයතනවලට එරෙහිව වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ අරගලයේ මූලිකත්වය ගත හැක්කේ සහ එසේ මූලිකත්වය ගතයුතු වන්නේ සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ මෙම බලවේගය යි.

Loading