පාර්ලිමේන්තුවේ පක්ෂ, මන්ත්‍රී අතුකෝරල ඝාතනය ගැන ශෝක යෝජනා විවාදය ආන්ඩු විරෝධීන්ට එරෙහි උසිගැන්වීම්වලට යොදා ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතනය පිලිබඳව ශෝකය පල කිරීම සඳහා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිය ආන්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීන් විසින් යොදා ගැනුනේ ආන්ඩුවට එරෙහිව විරෝධතාවල යෙදෙන්නන්ට එරෙහි ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීමටයි. ආන්ඩු පක්ෂවල නායකයන්, විශේෂයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව රුදුරු කඩා පැනීමක යෙදුනාහ.

අතුකෝරල ඝාතනය සිදුවූයේ රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මැර නඩයක් ගෝල්ෆේස් හි වාඩිලා සිටින උද්ඝෝෂනකරුවන්ට හා අගමැති නිල නිවස ඉදිරිපිට සිටි විරෝධතාකරුවන්ට එරෙහිව උසිගන්වා මුර්ග ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව ය. ඊට විරුද්ධව යයි රටේ විවිධ ප්‍රදේශවල ගෙනගිය ප්‍රහාර මධ්‍යයේ එල්ල වූ මැර ප්‍රහාරයකින් අතුකෝරල මරනයට පත්විය.

මැයි 09 දා විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කලේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පැවැත්වූ රැස්වීමක දී අවුස්සා පාරට බස්සන ලද මැර නඩයකි. එවක ආන්ඩුවේ මැති ඇමතියන් ගනනාවක් ඔවුන් මෙහෙයවූහ.

පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට මුලපිරූ මහින්ද රාජපක්ෂ කතා කලේ, ගෝල්ෆේස් ප්‍රහාරයට සම්බන්ධ නැති උපාසකයෙකු ලෙසය. අතුකෝරල ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාව වෙනුවෙන් සේවය කල තැනැත්තෙකු ලෙස පින්තාරු කරමින් “එහෙම කෙනෙක්ව මරා දමපු අයගේ අරගලය තවදුරටත් සාමකාමී එකක් වෙන්න විදිහක් නෑ. අරගලකරුවන්ගේ හිත්වල වෛරය, අත්වල ලේ තැවරිලා” යයි රාජපක්ෂ ප්‍රකාශ කලේ ය.

උපාසක ලීලාවෙන් රාජපක්ෂ කල ප්‍රකාශ පිලිකුල් සහගත ය. මැයි 09 දා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමේ දී, තමාට ඉල්ලා අස්වන ලෙසට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කල ඔහු රැස්වීමට සහභාගීවූවන් ඔවුන්ට එරෙහිව උසි ගැන්වූයේ ය. විරෝධතාකරුවන් දුසිම් ගනනකට බරපතල තුවාල සිදුකරමින් මැරයන් පහරදෙද්දී පොලිසිය හා හමුදාව එයට ඉඩ දී බලා සිටියේය.

අතුකෝරාලගේ මරා දැමීම අතීතයේ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) හා දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටිටිඊ) “ඝාතනවලට” සමාන යයි ද රාජපක්ෂ කීවේ ය.

අතුකෝරල දක්වා ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කල රාජපක්ෂ, ඉන් නාලන්ද එල්ලාවල හැර සෙසු සියලු මන්ත්‍රීවරු එල්ටීටීඊ විසින් ඝාතනය කල බවට පදනම් විරහිත ප්‍රකාශයක් සිදු කලේ ය. ධනපති පාලක පන්තියේ කොටස් උනුන් මරා ගන්නා තැනට පත් වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක ඝාතනය තරම් අතීතයක සිටයි. දෙමල ජනතාවට එරෙහි යුද්ධය උත්සන්න කිරීමත් සමග වර්ධනය වුන අර්බූද තුල දී කොලඹ දී සිදු කෙරුනු ඝාතන සියල්ල කිසිදු වගවිභාගයකින් තොරව බැර කෙරුනේ එල්ටීටීඊ ය වෙතයි.

2009 දී එල්ටීටීඊ යට යුදමය වශයෙන් අත්කර දුන් පරාජය මහජනයාටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් “පාරේ බැහැල යන්න පුලුවන් තත්වයක්” නිර්මානය කල බව පැවසූ රාජපක්ෂ “දැන් ඒ තත්වය වෙනස් වෙලා” යයි වැඩි දුරටත් කියා සිටියේ ය.

බෙදුම්වාදී එල්ටීටීඊයේ හා ජවිපෙ හි අතීත ත්‍රස්ත ක්‍රියා සසප කිසිසේත්ම අනුමත නොකරයි. සසප එම සංවිධානවල දේශපාලනයට එරෙහිව ඍජුව සටන් කල හා සටන් කරන පක්ෂයකි. නමුත්, කිව යුත්තේ රාජපක්ෂ ඇතුලු කොලඹ පාලක පන්ති නියෝජිතයන් දෙමල සිවිල් වැසියන් ලක්ෂ ගනනක් ඝාතනයට හා “අතුරුදහන් කිරීම්වලට” මුලුමනින්ම වගකිවයුතු බවයි. සාමාන්‍ය සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනයට ලක් කෙරුනු යුද්ධයේ අවසන් කාලපරිච්ඡේදය අධීක්ෂනය කලේ ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂත් ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂත් ය.

“ජවිපෙ, ප්‍රා, කලු බලල්ලු” වැනි සංවිධාන 1989/90 ගනන්වල ඝාතනවල යෙදුනු බව රාජපක්ෂ ප්‍රකාශ කලේ ය. “අපිට මතකයි මේ වගේ දෙවල් සිද්ධ වුනේ 88/89 කාලේ. තමන්ගේ සතුරාව මරලා දේශද්‍රෝහීන් ලෙස නම් කරලා මිනිය දන හිසට පහලින් කනත්තට ගෙනියන්න නියම කලා. ඒකයි අතුකෝරලටත් කරන්න හැදුවේ”.

ජවිපෙ ෆැසිස්ට් ත්‍රස්ත ක්‍රියා කම්කරුවන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එල්ල වෙද්දී ප්‍රා හා කලු බලල්ලු ක්‍රියා කලේ ජවිපෙ ක්‍රියාකාරීන් පමනක් නොව ගම්බද තරුනයන් 60,000ක් පමන ඝාතනය කල රාජ්‍ය හමුදාවල කුලී හමුදා ලෙසයි. මෙම ඝාතන හා වර්ගවාදී යුද්ධය ගැන රාජපක්ෂ දැන් සිහිපත් කරන්නේ හේතුවක් ඇතිවය. එනම්, ආන්ඩුවට හා ධනපති පන්ති පාලනයට විරුද්ධ වන්නන් කුරිරු ලෙස තලාදැමිය යුතු බව අවධාරනය කිරීමට ය.

මහින්ද රාජපක්ෂගේ උඩගෙඩි දීම මත මැයි 9 දා ආන්ඩු විරෝධීන්ට එරෙහිව සංවිධානය කෙරුනු මැර ප්‍රහාරය එවැනි මර්දනයක, විශේෂයෙන්ම කම්කරු පන්තිය එල්ල කරගත් මර්දනයක, ඇරඹුමක් ලෙස සිදුකලත් එය බූමරන්ගයක් විය. කොලඹ වරාය, රෝහල් හා තැපැල් සේවකයන් හා තවත් දහස් ගනනක් ජනයා වහාම ගෝල් ෆේස් පිටියට පැමිනි අතර පසුදා සිට ලක්ෂ ගනනක් සහභාගිවූ අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් විය.

ජනාධිපති රාජපක්ෂ හමුදාව වීදි බස්සා අඳිරි නීතිය පැනවීමත් සමග ආන්ඩුව සමග ගැටීමක් බවට මහා වර්ජනය පත්වේයයි බියවූ වෘත්තීය සමිති නායකයෝ වර්ජනය අත්හැරීමට තීන්දු කලහ. රාජපක්ෂ හුස්ම කටක් ගෙන, එක්සත් ජනපද ගැති වික්‍රමසිංහ අගමැති කමට පත්කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) මුර්ග කප්පාදු වැඩපිලිවෙල ඇතුලු ප්‍රහාර උසිගන්වමින් සිටී.

ආන්ඩු විරෝධී උද්ඝෝෂනකරුවන්ට එරෙහි ප්‍රහාර තරයේ හෙලා දුටු සමාජවාදී සමානතා පක්ෂය (සසප), ඊට පලිගැනීම් වස් පොදු පෙරමුනේ මැති ඇමතියන්ට පහරදීම් හා දේපොල හානි කිරීම් ඇතුලු ප්‍රකෝපකාරී ක්‍රියා අනුමත නොකරන බවද ඒවා කෙලින්ම තුඩු දෙන්නේ ආන්ඩුවේ හා රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට බව කියා සිටියේ ය. ඉන් පසු ආන්ඩුව උසිගන්වා ඇති මර්දනයෙන් එය මනාව තහවුරු වේ.

මෙවන් ප්‍රකෝපකාරී ක්‍රියා කම්කරු පන්තියේ විධික්‍රම නොවේ. කම්කරු පන්තියට ධනපති රාජ්‍ය ප්‍රහාර පරාජය කල හැක්කේ තම කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගන්වා සිදු කරන ස්වාධීන දේශපාලන අරගලයකින් පමනක් බව සසප අවධාරනය කලේය.

සසප කල අවධාරනය සනාථ කරමින්, ගෙවල් ගිනි තැබීම් සම්බන්ධව දැනටමත් පොලීසිය 1,800 ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රහාරයට එරෙහිව වැඩුනු මහජන විරෝධය මධ්‍යයේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැර ප්‍රහාරයට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සනත් නිශාන්ත ඇතුලු 30 ක පමන පිරිසකි. ඔවුන් ඇප පිට මුදා හැර ඇත.

රාජපක්ෂගේ විසකුරු කතාවට උඩගෙඩි දෙමින් අගමැති වික්‍රමසිංහ එවන්ම කතාවක් කලේ ය. “ලක්ෂමන් කදිරගාමර් ඇමතිවරයාව ඝාතනය කරද්දි එතුමා විවේචනය කරලා කතා කලේ එල්ටීටීඊ සංවිධානය, දැන් ඒක ඇතුලෙන් කරනවා” යැයි ඔහු කිවේය. අතුකෝරාලගේ ඝාතනය හෙලා නොදැක්කේ යයි ධනපති දෙමල ජාතික සන්ධානයේ ආර්. රාසමානික්කම් ට ඔහු චෝදනා කලේය. මෙවැනි ප්‍රකාශ වාර්ගික ආතතීන් අවුලුවාලීමේ නිහීන උත්සාහයක් ඇඟවුම් කරයි.

ගෙවල් ගිනි තබා ඇත්තේ 20 වැනි සංශෝධනයට ඡන්දය දුන් නිසා යයි රාසමානික්කම් පැවසූ බව කියමින් වික්‍රමසිංහ ඔහු හෙලා දැක්කේ ය. මැයි මස මුල විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව වට කල අවස්ථාවක දී රාසමානික්කම්හට බේරී යෑමට හැකි වූ බවත් පසු දා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායක කුමාර් ගුනරත්නම් සමග රාසමානික්කම් සිටින ඡායාරූප පලකල බවත් වික්‍රමසිංහ කිවේ ය.

රාසමානික්කම් සිදු කල ප්‍රකාශ ඉල්ලා අස් කර නො ගතහොත් කමිටුවක් පත්කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දෙන්නැයි ද වික්‍රමසිංහ කතා නායකගෙන් ඉල්ලා සිටියේය.

“පෙසප දුමින්ද නාගමුව කියනවා මේ පලමු රැල්ල විතරයි. දෙවනි රැල්ල පටන් ගන්නවා කියලා. මොකක්ද ඒ රැල්ල 225 ම මරා දමන රැල්ල දැයි” තවත් මන්ත්‍රීයෙක් ප්‍රශ්න කලේ ය. ජනාධිපතිට ජනාධිපති ලේකම් කාර්යාලයටවත් යා ගත නො හැකි වී ඇත්තේ විරෝධතාකරුවන්ට නිදැල්ලේ සැරිසැරීමට ඉඩ හැරීම නිසා යයි හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ආන්ඩුවට චෝදනා කලේ ය.

රාසමානික්කම් මහජනයා අතර ආන්ඩුව කෙරහි පැතිරෙන විරෝධය ගසා කෑමට මොන වාචාල ප්‍රකාශ කලත් ඔහු හා ඔහුගේ පක්ෂය ධනපති පන්ති පාලනයේ රැකවලුන් ය.

පෙසප ධනපති ගැති දේශපාලනයට සසප සහමුලින්ම විරුද්ධ ය. එහෙත් පෙසප හා ගෝල්ෆේස් පිටියේ විරෝධතාවල යෙදෙන පිරිස් ගැන ආන්ඩුවේ නායකයන්ගේ ප්‍රකාශ දේශපාලන විරුද්ධවාදීන් මැඩලීම සඳහා ගෙනයන ප්‍රචාරයක කොටසකි. විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් ආන්ඩු පක්ෂය සමග තමන්ගේ එකඟත්වය පෙන්වූයේ තමන් ත්‍රස්තවාදයට කොහොමත් විරුද්ධ බව කියමිනි.

ජවිපෙ මෙදින විවාදයට සම්බන්ධ වූයේ නැත. 1988-1990 සිය ෆැසිස්ට් මැර ප්‍රහාර ජනතා නැගිටීම් ලෙස ඔජවඩන ජනතා විමුක්ති පෙරමුන [එහි බෑයා වන ව්‍යාජ වාම පෙසප ද එසේ කරයි] එදින විවාදයට සහභාගී වූයේ නැත.

තමන් මැයි 9 දා, ගෝල් ෆේස් පිටියේ විරෝධතා කරුවන්ට පහරදීමෙන් පසු රටපුරා සිදුකල පලිගැනීමේ ප්‍රහාර වලට ජවිපෙ සම්බන්ධ යයි පොදු පෙරමුනු නායකයන් හා ඇතැම් පොලිස් නිලධාරීන් කල ප්‍රකාශ ගැන විමසීමට පක්ෂයේ නායකයන් වන විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති පොලිස්පති හමුවූහ. ප්‍රහාර ගැන අත්අඩංගුවට ගත් බොහෝදෙනා ජවිපෙට සම්බන්ධ නැතිබව පොලිස්පති කිවේයැයි හේරත් පැවසීය. මෙම ප්‍රහාරවලට තම පක්ෂය ඈඳීමේ තැතක් ඇතැයි ජවිපෙ නායකයන් පොලීසියේ ප්‍රධානියාට පැමිනිලි කර ඇත. මොවුන් බියට පත්ව ඇත්තේ තම පක්ෂය ගැන ධනපති පන්තියේ විශ්වාසය බිඳේය යන්න ගැනයි.

වර්ධනය වන ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බූදය හමුවේ, රාජ්‍ය අංශයේ සේවක කප්පාදුව, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය, බදු බර ඉහල දැමීම හා සුභසාධන කප්පාදුව ඇතුලු ජාමූඅ රුදුරු කප්පාදු ක්‍රියාවට නැගීම වික්‍රමසිංහ ඇතුලු පාලක පන්තියේ එකම විකල්පයයි. අතුකෝරල ඝාතනය සම්බන්ධ පාර්ලිමේන්තු සැසියේ දී පාලක පන්ති නියෝජිතයන් ප්‍රකාශ කොට ඇත්තේ මෙම කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේ දී කම්කරු පන්තියෙන් හා තරුනයන්ගෙන් එල්ලවන කවර බාධාවක් හෝ තලා දැමිය යුතු බවයි.

Loading