දරිද්‍රතාවට හා කුසගින්නට මුහුන දෙන තිදරු මවක් දිවි නසා ගැනීමට තැත් කරයි

(මෙහි පලවන්නේ Facing poverty and starvation, Sri Lankan mother of three attempts to take her life මැයෙන් 2022 ජුනි 18දා පලවූ ලිපියේ පරිවර්තනය යි.)

දරාගත නො හැකි දරිද්‍රතාවට මුහුන දෙන වැල්ලවායේ වරුනගම ගම්මානයේ තිදරු මවක්, මේ මස මුල දී දිවි නසා ගැනීමට තැත් කලා ය.

හිටපු ඇඟලුම් කම්කරු කාන්තාවක් වන 33-හැවිරිදි වරුනි දිල්හානි, අතිශයින් විෂ සහිත කනේරු ඇට කෑමෙන් දැඩි ලෙස රෝගාතුර ව වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු ව, වහා ම බදුල්ල රෝහලට මාරු කර යවන ලද අතර, එහි දී ඇය දින දෙකක් ප්‍රතිකාර ලැබුවා ය.

දිල්හානි හා ඇයගේ පවුල හමුවීමට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ පසුගිය ඉරිදා (ජුනි 12) ගිය හ. තවමත් රෝගාතුර ඇය, දැරිය නො හැකි වේදනාව හේතුවෙන්, කතා කිරීමට නො හැකි ව ඇඳක වැතිරී සිටියා ය. ඇයට දීර්ඝ කාලයක් විවේකය අවශ්‍ය බව විස්තර කල ඩබ්ලිව්. ඒ. අනුර නම් වූ ඇගේ 43-හැවිරිදි ස්වාමි පුරුෂයා, වෛද්‍යවරුන් උපදෙස් දී ඇති පරිදි දින දෙකකට පසු ඇය නැවත රෝහලට ගෙන යාමට අවශ්‍ය රුපියල් 8,000 සොයාගන්නේ කෙසේදැයි පසුතැවිල්ලෙන් පසු වුනේ ය.

වරුනගම පිහිටි වරුනි දිල්හානිගේ හා ඩබ්ලිව්. ඒ. අනුරගේ පවුලේ නිවස (ලෝසවෙඅ මාධ්‍ය)

මෙම ඛේදනීය සිද්ධියෙන් හා ලෝසවෙඅ වාර්තාකරුවන් ට අනුර පැහැදිලි කල කරුනු මගින්, පාලක ප්‍රභූව හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන තන්ත්‍රය විසින් පටවනු ලැබෙමින් පවතින ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ කම්කරුවන් හා පීඩිත මහජනයා මුහුන දෙමින් සිටින සමාජීය ව්‍යසනය ඉස්මතු කර දැක්වේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල අහස උසට නගින මිල ගනන් හා මූලික ආහාර ද්‍රව්‍යවල හිඟයන්, මිලියන ගනනකට දරුනු ලෙස ආහාර වේල් අඩුකිරීමට බලකර ඇත්තේ, තවත් අය කුසගින්නට ඇද දමමිනි.

අනුර ඔහුගේ පවුල මුහුන දෙන මංමුලා සහගත තත්ත්වය ලෝසවෙඅ වාර්තාකරුවන්ට විස්තර කලේ ය: “මම දියවැඩියා රෝගියෙක්. විෂබීජයක් යාම නිසා එක් අතක් කපන ලෙස මට උපදෙස් දුන්නා. ඒක කොලඹ ජාතික‌රෝහලේ දී සුවකලත්, දියවැඩියා තත්ත්වය අඩු වෙලා නැහැ. මං ලෙඩවෙලා ඉන්න කාලෙ අපි ජීවත් වුනේ ත්‍රීවීල් එකෙන් උපය ගත්ත ආදායමෙන්.”

දියවැඩියාවෙන් පෙලෙන ඩබ්ලිව්. ඒ. අනුර වරුනගම දී (ලෝසවෙඅ මාධ්‍ය)

“වරුනගමට එන්න කලින් අපි පිලියන්දල ජීවත් වුනා. දිල්හානි කහතුඩුවෙ හයිඩ්‍රාමනී ගාමන්ට් ෆැක්ටරියෙ වැඩකලා. ඇය රෙදි කැපීමට හා මැසීමට දක්ෂයි. මහන මැෂිමක් ගන්න සල්ලි තිබුන නම්, ඇයට රෙදි මහල ආදායමක් උපය ගන්න තිබුන. මේ සියල්ල ගැන සිතීම නිසා, ඇය මානසික ව පීඩා වින්දා” යැයි ඔහු කීවේ ය.

“ත්‍රීවීල් රථයේ අයිතිකාරයගෙ කොටස ගෙවුවට පස්සෙ ලැබෙන ආදායමෙන් පමනක් අපි ජීවත් වුනා. අපේ ගෙදර තියන බඩු මුට්ටු අපි හම්බ කරගත්ත දේවලින් මිලට ගත්තෙ” යැයි ඔහු වැඩි දුරටත් කීවේ ය.

නිවාස ප්‍රශ්න හා අනෙකුත් ගැටලු නිසා ඔහුගේ පවුල වරුනගමට පැමිනි බව ඔහු සඳහන් කලේ ය. දිල්හානිගේ මව ඔවුන්ට වරුනගම පිහිටි කුඩා ඉඩමක් ලබා දුන්න ද අවුරුදු 4, 5 හා 9 හැවිරිදි දියනියන් තිදෙනෙකු සිටින නිසා දිල්හානිට රැකියාවකට යාමට නො හැකි විය.

“අපිට තියෙන ලොකු ම ප්‍රශ්නෙ තමා හොඳ ගෙයක් නැති එක. අපිට මේ කටුමැටි ගෙදර හෝ ඉඩමෙ අයිතිය නැහැ” යි ඔහු කීවේ ය. “ලඟ ම තියෙන පාසලට අපි කිලෝමීටර පහක් යා යුතු යි. ඒ පාසලේ පන්ති පවත්වන්නෙ 5 ශ්‍රේනියට යනකම් විතරයි. ඒකට යන්න අපි උක් ඉඩම මැදින් පයින් යන්න ඕන. ඒත් ලමයි අවුවට කර වෙනව.'

“මීට කලින් මම ත්‍රීවීල් එකෙන් මගේ ලමයින් පාසලට එක්කන් ගියා, ඒත් දැන් අහස උසට නැගල තියෙන පෙට්‍රල් මිල හා පෙට්‍රල් හිඟය නිසා දැන් අපිට හයර් නැහැ. අපිට වෙනත් ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා දරුවන්ට වෙන කා එක්ක හරි පාසලට පයින් යන්න වෙලා තියනව.

“භාන්ඩවල ඉහල මිල නිසා මෙහේ මිනිස්සු එදිනෙදා වේල ගැටගසා ගන්න අරගලයක යෙදෙනව. උක් වත්තෙ වැඩකරන අයට දවසට ම ගෙවන්නෙ රුපියල් 1,200ක් විතරයි. දවස් කුලී වැඩකරපු අයට දැන් වැඩ ඇත්තෙ ම නැහැ. නියඟය නිසා මිනිසුන්ට බඩ ඉරිඟු වගා කරන්නත් බැහැ. ඉඩම වල්වැදිල තිබුනත් වල් නාශක නැහැ. අපේ ගැටලුවලට කෙලවරක් නැහැ, අපි ඔක්කොම එක ම ගැටලුවලට මුහුන දෙනවා” යැයි ඔහු කීවේ ය.

“රුපියල් 5,000ක දීමනාවක් දෙනව කියල ආන්ඩුව කිවුවත්, බොහෝ දෙනෙකුට ඒක ලැබිල නැහැ. ඒක ගැන ඇහුවොත් බැනුම් අහන්නයි වෙන්නෙ. මේ රුපියල් 5,000 දීමනාවයි සමෘද්ධියයි අපට ඕන. බොන වතුර ඇතුලු ව තමන් සොයාගන්න දෙයින් ජීවත් වෙන්න මිනිස්සු උත්සාහ කරනවා, ඒත් අපිට සල්ලි නැති නිසා බඩු ගන්න බැහැ. මේ සියලු දේවල් අපේ පවුලෙ ප්‍රශ්න තව තවත් උග්‍ර කලා” යි අනුර කීවේ ය.

ජුනි 11 දිවයින පුවත්පත “දිවි නසා ගන්නත් හිඟා කමු” නමැති විෂකුරු කතුවැකියක් පලකලේ ය. එය වරුනගම දිවි නසා ගැනීමේ උත්සාහය ගැන කෙලින් ම සඳහන් නො කලත්, දරිද්‍රතාවෙන් බැටකන පවුල්වල තත්ත්වය ගැන සඳහන් කලේ ය.

එය නරුම ලෙස මෙසේ ප්‍රකාශ කලේ ය: “කෙසේ වුවද අතපය හතර පන තිබෙන පියෙකුට ඇති ලොකුම වගකීම වන්නේ කවර හෝ ආකාරයකින් සිය දරුවන් පෝෂනය කිරීමය... අපට ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ ඉහත සඳහන් පවුලේ පියා දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා කිසිදු යමක් නොකිරීමය.” ඉන්පසු මෙම කතුවැකිය ලංකාව තුල “කුසගින්න සැමදා තිබී ඇති” බවත්, අනාගතයේ දී එය තවත් දරුනු වනු ඇති බවත් උදාසීන ලෙස ප්‍රකාශ කලේ ය.

වෙනත් වචනවලින් කිය‌ොත්, වර්තමාන තත්ත්වය පිලිබඳ ව මහජනයාට දොස් පැවරිය යුතු අතර, වරුනගම ඛේදනීය දිවි නසා ගැනීමේ වගකීම, එම දුගී පවුලේ පියා අත පවතී.

ලංකාවේ පුවත්පත් හා රූපවාහිනී නාලිකා, මහමග සිට හිඟා කන පවුල් දෛනික ව පලකරමින්, ඉහල මිල ගනන් හා හිඟයන් පිලිබඳ ව ආන්ඩුවට දොස් පවරන්නේ, මෙම සමාජීය ව්‍යසනයෙන් මූලාශ්‍රය වන්නේ ධනවාදය ය යන යතාර්ථය සැඟවීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරන අතරවාරයේ ය. මෙහි වගකීම පවතින්නේ ආන්ඩුව හා මහා ව්‍යාපාරිකයන් මත මිස එයට ගොදුරු වන්නන් මත නො වේ.

වැල්ලවාය පිහිටා ඇත්තේ, ලංකාවේ ආර්ථික අර්බුදයෙන් හා ආන්ඩුවේ ම්ලේච්ඡ පියවරයන්ගෙන් වඩාත් ම පහර වැදුනු ප්‍රදේශයක් වන මොනරාගල දිස්ත්‍රික්කයේ ය. පැල්වත්ත සීනි සමාගමට අයත් උක් වතුවල විශාල කම්කරුවන් හා ගොවීන් සංඛ්‍යාවක් සේවයේ නියුතු අතර, බොහො දෙනා ජීවත් වන්නේ අනුරගේ පවුල ජීවත්වන නිවස වැනි කටුමැටි නිවාසවල ය.

1980 ගනන්වල දී, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට උක් වැවීම බහුජාතික සංගත විසින් ආරම්භ කලේ ය. ගොවීන්ට උක් වැවීම සඳහා අක්කර හතරක ඉඩම් කට්ටි ද නිවසක් තනාගැනීම සඳහා අක්කර භාගයක් සහ පොහොර ද පැල්වත්ත සීනි සමාගම විසින් සපයනු ලැබිනි. මෙය, ඔවුන් තමාගේම ඉඩම්වල වැටුප් වහලුන් බවට පරිවර්තනය කලේ ය.

ඉඩම් අත්පත් කරගැනීම, අඩු අස්වනු මිල හා බීජවල ඉහල පිරිවැයට එරෙහි ව වෙල්ලස්සේ කුඩා උක් ගොවීන් අතර පුපුරා ගිය අරගල මර්දනය කල එවක ආන්ඩුවේ සහයෝගය සහිත ව උක් සමාගම් ස්ථාපිත කෙරුනි.

“උක් ටොන් එකක් රුපියල් 6,000ක් වටිනවා, අක්කර 4කින් අපි ටොන් 20ක් නිපදවීම අවශ්‍ය යි. අස්වනු නෙලීම, ශ්‍රමය හා ප්‍රවාහනයට අපට රුපියල් 153,000ක් පමන අවශ්‍ය වෙනවා” යි බුත්තල උක් ගොවිකු වන සුජිත් ලෝසවෙඅ ට පැවසී ය.

“නය පදනම මත මම නිෂ්පාදනය පටන් ගත්තා. අස්වනු නෙලීමෙන් පසු සමාගම අපට රුපියල් 250,000ක් ගෙවුවත්, සමාගමට නය ආපසු ගෙවුවට පස්සෙ ඉතුරු වෙන්නෙ සුලු මුදලක් විතරක් නිසා මම වගා කටයුතු අත්හැරියා” යැයි ඔහු කීවේ ය.

වියලි කාලගුනයක් සහිත මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් දරිද්‍රතාවෙන්, මන්දපෝෂනයෙන් හා විරැකියාවෙන් බැටකන, ලංකාවේ වඩාත් ම පීඩිත ගොවීන් අතරට අයත් වේ.

2016 සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, මොනරාගල දිස්ත්‍රික්කය තුල පවුල් 149,215ක් සිටි අතර ඉන් සියයට 38ක් ම කිසිසේත් ම නො සෑහෙන සමෘද්ධි ප්‍රතිලාභීන් විය. 2019 දී එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල වාර්තා කලේ, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ලමා මන්දපෝෂන අනුපාතයන් පිලිවෙලින් සියයට 25.4ක් හා සියයට 21.8ක් වූ අතර, එම අගයන් දකුනු සුඩානයේ අනුපාතයන්ට ඉතා සමීප බව යි.

කෝවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කරනු ලබන හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය විසින් තීව්‍ර කරනු ලබන ලෝක ආර්ථික අර්බුදය, වේගවත් උද්ධමනයකට හා ලොව පුරා පවතින ආහාර අර්බුදයකට තුඩු දී තිබේ. රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විධානය කරන ම්ලේච්ඡ සමාජ ප්‍රහාර වටයෙන් වටය පටවද්දී, වරුනි දිල්හානිගේ දිවි නසා ගැනීමට තුඩු දුන් සමාජීය සන්ත්‍රාසයන් තීව්‍ර වනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය විස්තර කර ඇති පරිදි, ධනේශ්වර පද්ධතිය ඇතුලත මෙම ප්‍රහාරවලට සමාජීය ව ප්‍රගතිශීලී විකල්පයක් නැත. එවන් විකල්පයක් සඳහා අවශ්‍ය කරන්නේ, කම්කරු පන්තිය ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, දරිද්‍රතාවේ හා සමාජ පීඩනයේ මූලාශ්‍රය වන ධනපති ක්‍රමයට අවසානයක් තැබීම සඳහා, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම යි.

කියවන්න: ශ්‍රී ලංකාවේ චින්තන පර්ෂදයක් වැඩෙන සමාජ අසමානතාව පිලිබඳ අනතුරු අඟවයි

Loading