සසප ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ල කල රාජ්‍ය ප්‍රහාරය හෙලා දකියි

[මෙය SEP condemns state attack on Galle Face protesters in Sri Lanka මැයෙන් 2022 ජූලි 23 පල වූ සසප ප්‍රකාශයේ පරිවර්තනයයි.]

සිකුරාදා පාන්දර, කොලඹ ගාලු මුදොර පිටියේ දී, ආන්ඩුවට එරෙහි නිරායුධ විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ම්ලේච්ඡ පොලිස්-මිලිටරි ප්‍රහාරය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් හෙලා දකී. ගෝඨාභය රාජපක්ෂට මෙන්ම දැන් ඔහුගේ අනුප්‍රාප්තිකයා වන රනිල් වික්‍රමසිංහට ද ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරන ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් විසින් ගාලු මුවදොර පිටිය  වාඩිලා ගෙන තිබුනි.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

වික්‍රමසිංහ විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පැය 24ක් ගතවන්නටත් මත්තෙන් සිදු වූ මෙම *ප්‍රහාරය පැහැදිලි ව ම මුදා හැරියේ ඔහු විසිනි. වැඩබලන ජනාධිපති ලෙස ඔහු ගත කල කෙටි කාලය තුල, හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර, හිතුමතේ ක්‍රියාකිරීමට ආරක්ෂක හමුදාවන්ට ඉඩ දී, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් “ෆැසිස්ට්වාදීන්” ලෙස හංවඩු ගැසුවේ ය. දිවයින පුරා “මහජන සාමය” පවත්වාගෙන යාම සඳහා මිලිටරියට නියෝග කරන ආඥාවක් ඔහු බ්‍රහස්පතින්දා නිකුත් කලේ ය.


මෙම මෙහෙයුම ඉතා හොඳින් සැලසුම් කරනු ලැබිනි. විරෝධතාකරුවන්ට කල්තියා දැනගැනීමට ඉඩක් නොතබමින් හා මහජන අවධානය යොමු වීම වලක්වනු වස්, එය දියත් කරන ලද්දේ අලුයම 1.30ට පමන ය. ගාලු මුවදොර පිටියට පිවිසෙන සියලු මාර්ග අවුරාලන ලදී. මුහුනු ආවරනය කරගත් පොලිස් භටයන් හා සොල්දාදුවන් 1,000ක් පමන, සෑම දිශාවකින් ම විරෝධතා බිමට පිවිස, විරෝධතාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට කායික ව පහර දී ඔවුන්ගේ කූඩාරම් හා තාවකාලික ඉදිකිරීම්  විනාශකර දැමූ හ. ජාතික රෝහලට පුද්ගලයන් 14 දෙනෙකු ඇතුලත් කරන ලද අතර, නව දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුනි.

සිකුරාදා සවස 2 වන විට තමන් ගාලු මුවදොර පිටිය අසල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ඉවත් වන බව විරෝධතාවේ සංවිධාකයන් ඒ වන විටත් නිවේදනය කර තිබුනේ යන්න නො තකා වික්‍රමසිංහ ම්ලේච්ඡ ප්‍රහාරයට බලය දුන්නේ ය. පැහැදිලි ව ම එහි ඉලක්කය වූයේ හුදෙක් ගාලු මුවදොර මුදාගැනීම පමනක් නො ව, පසුගිය මාස තුන පුරා විරෝධතාවන්ට හා වැඩ වර්ජනවලට සම්බන්ධ වී ඇති මිලියන ගනන් දෙනාට තර්ජනාමක පනිවුඩයක් ද යැවීම යි.

වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු විධානයන් නිර්දයව ක්‍රියාවට දැමීමට සූදානම් වන බවත්, එම පියවර මාලාව දැනටමත් දරුනු හිඟයන්ට හා අහස උසට නගින බඩු මිලට මුහුන දෙමින් සිටින වැඩකරන ජනයා අතර වඩාත් ඉහල මට්ටමක මහජන විරෝධයක් අවුලුවාලනබව ආන්ඩුව හොඳින් ම දන්නා බවත්, සසප වැඩකරන ජනයාට අනතුරු අඟවයි. පාලක පන්තිය සතුව ඇත්තේ එකම පිලිතුරකි, එනම් මහා පරිමාන මර්දනය යි. වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කරනු ලැබ ඇත්තේ එය ක්‍රියාවට දැමීම සඳහා ය.

“පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය” වනාහි ධනපති පන්තියේ ආඥාදායකත්වය සඳහා වන ව්‍යාජ මූනත්තහඩුවක් පමනක් යන්න ප්‍රහාරය විසින් හෙලිදරවු කරයි. ව්‍යවස්ථාව හා “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කරන බවට වික්‍රමසිංහ කරන කියාපෑම ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම මිසක අනෙකක් නො වේ. ඒකපාර්ශවික ව ආන්ඩු පත්කිරීම හා විසුරුවා හැරීම, ආඥාවන් යොදාගෙන පාලනය කිරීම, හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත්කිරීම සහ වැඩකරන ජනයාට එරෙහි ව මරනීය ප්‍රහාරයන් යොදා ගැනීමේ බලය මිලිටරියට සහ පොලීසියට පැවරෙන නියෝග නිකුත් කිරීම ආදී වශයෙන් වූ ආඥාදායකයෙකු සතු දුර දිග යන බලතල ව්‍යවස්ථාව වික්‍රමසිංහට ලබා දෙයි.

විපක්ෂ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (දෙජාස), පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ව්‍යාජ-වාම ආවතේවකරුවන්, ඊනියා සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ ගාලු මුවදොර පිටියේ විරෝධතා නායකයෝ යනාදී පාලක පන්තියේ සියලු පක්ෂ සහ දේශපාලනඥයෝ ව්‍යවස්ථාවේ හා පාර්ලිමේන්තුවේ පූජනීයත්වය ප්‍රකාශ කරති.  නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීමට බදාදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දය මහජනතාවට අපේක්ෂාවක් ලබාදුන්නේය යන මිථ්‍යාව ඔවුන් සියල්ලෝම ඉදිරියට දැමූ හ.

බදාදා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රයෝගය, “කම්කරු පන්තියට, තරුනයන්ට හා ගම්බද දුගීන්ට එරෙහි ප්‍රෝඩාවක් හා කුමන්ත්‍රයක්” ලෙස හෙලා දුටුවේ සසප පමනි. මහා ව්‍යාපාරිකයන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ජාමූඅ සහ ජාත්‍යන්තර ආයෝජකයෝ, ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනයා මත පැටවීමටත්, ඕනෑ ම විරුද්ධත්වයක් මර්දනය කිරීමටත්, වික්‍රමසිංහට මුලුමනින් ම සහයෝගය දෙති.

ධනපති පාලනයේ නිර්දය ආරක්ෂකයෙකු ලෙස වික්‍රමසිංහට දීර්ඝ වාර්තාවක් තිබේ. වෙලඳපොල-ගැති පිලිවෙත්වලට එරෙහි ව 1980 ගනන්වල පුපුරා ගිය මහා වැඩ වර්ජනයක් බිඳ දමමින් කම්කරුවන් දසදහස් ගනනක් දොට්ට දැමූ හා දිවයිනෙහි විනාශකාරී වාර්ගික යුද්ධය ආරම්භ කල 1983 කුප්‍රකට දෙමල-විරෝධී සංහාරයන් ක්‍රියාවට දැමූ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ ඇමතියෙක් ලෙස ඔහු කටයුතු කලේ ය. 1988-90 කාලයේ ගම්බද තරුනයන් අතරින් මතු වූ කැරලිකාරිත්වයට එරෙහිව එජාප ආන්ඩුව කල ලේවැකි කඩාපැනීමේ දී, මිලිටරිය විසින් මෙහෙයවූ ඝාතක කල්ලි විසින් 60,000ක් සමූල ඝාතනය කෙරුනු අතර, එහිදී වධකාගාරයක් හා ඝාතකාගාරයක් වූ බටලන්ද අධීක්ෂනය කිරීම ගැන වික්‍රමසිංහට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල විය.


සිකුරාදා සිදුකල පොලිස්-රාජ්‍ය මෙහෙයුම පලල් විරෝධතා අවුලුවනු ඇතැයි පැහැදිලි ව උත්සුක වූ කොලඹ එක්සත් ජනපද තානාපතිනි ජුලී චංන්ග්, විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රචන්ඩ ප්‍රහාරය අරබයා “ගැඹුරු උත්සුකතා” පලකරමින් හා “ඉවසීමෙන් කටයුතු කරන ලෙස හා තුවාල ලැබූවන්ට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ක්ෂනික ව ලබා දෙන ලෙස බලධාරීන්ගෙන්” ඉල්ලමින්, ට්විටර් පනිවුඩයක් නිකුත් කලා ය. මොන තරම් කුහකත්වයක් ද! තමන්ගේ ම කොල්ලකාරී අවශ්‍යතා ඉදිරියට දැමීම සඳහා පමනක් “මානව හිමිකම්” ඉස්මතු කරන එක්සත් ජනපදය, වික්‍රමසිංහ ආන්ඩුවේ අනාගත අවභාවිතයන් සම්බන්ධයෙන්, ඇල්මැරුනු උත්සුකයන් ප්‍රකාශයට පත් කිරීම් හැර ඊට වැඩි දෙයක් නොකරනු ඇත.

2022 ජූලි 11 සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටින මහජනයා (ඡායාරූපය: ලෝසවෙඅ)

වික්‍රමසිංහ ජනාධිපති ලෙස ස්ථාපනය කිරීමට මාවත පාදා ඇති වෘත්තීය සමිති සහ විරුද්ධ පක්ෂ, ඔහුගේ ආන්ඩුවට පීඩනය යෙදීමෙන් සහන ලබාගත හැකිය යන මාරාන්තික මිථ්‍යාව ඉදිරියට දමමින් සිටිති. කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීම මගින්, ඔවුහු, ඕනෑ ම  විරෝධතාවක් මතට කඩා පැනීම සඳහා ආරක්ෂක හමුදාවන්ට නියෝග කිරීම පිනිස වික්‍රමසිංහට අත්තනෝමතික බලය ලබා දෙති.

ප්‍රධාන වෘත්තීය සමිති පෙරමුනක් වන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ (ටීයූසීසී) සම-කැඳවුම්කරු වන රවි කුමුදේශ්, අවම වසයෙන් ඊලඟ මැතිවරනය වන තෙක් වත්, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ගේ අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා “අවංක ව සහයෝගය” දෙන ලෙස ඉල්ලා වික්‍රමසිංහට ආයාචනා කරන විවෘත ලිපියක් ලීවේ ය.

ආන්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාරය තුල නිරත ව සිටින කන්ඩායමක් වන “නිර්-පාක්ෂික අරගලකරුවන්ගේ ජාතික ව්‍යාපාරය,” ඔවුන්ගේ විරෝධතාව විසිරවීමෙන් පසු අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් පැවැත්වී ය. වික්‍රමසිංහට මාසයක හෝ දෙකක කාලයක් ලබා දෙන බවත්, තෘප්තිමත් ප්‍රතිචාරයක් නො ලදහොත් ඔවුන්ගේ විරෝධතා යලි අරඹන බවත්, ඔවුහු ප්‍රකාශ කල හ.

වික්‍රමසිංහ එයට ඔහුගේ පිලිතුර දී ඇත. තමන් මුහුන දෙන දරාගත නො හැකි ජීවන කොන්දේසිවලට එරෙහි වැඩකරන ජනයාගේ විරෝධයට පිලිතුරු දෙනු ඇත්තේ මිලිටරි ප්‍රචන්ඩත්වය සමගිනි.

සිකුරාදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරය හෙලාදුටුව ද, මිලිටරි ප්‍රචන්ඩත්වයට යටින් දිවෙන මූලාශ්‍රය ආවරනය කිරීමට උත්සාහ දැරුවේ ය. රාජපක්ෂවරු ආරක්ෂා කිරීම ගැන ඔහු වික්‍රමසිංහට චෝදනා කලේ, ඔවුන් ව පහකල විරෝධතාකරුවන්ගෙන් පලිගැනීමට රාජපක්ෂවරු වික්‍රමසිංහට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි කියමිනි.

එහෙත්, වික්‍රමසිංහ ක්‍රියාකරමින් සිටින්නේ, රාජපක්ෂවරුන් වෙනුවෙන් නො ව, පුපුරා ගොස් ඇති මහා මහජන නැගිටීම හේතුවෙන් භීතියට පත්ව සිටින සමස්ත පාලක පන්තිය වෙනුවෙනි. වික්‍රමසිංහ යනු, ධනපති ආර්ථිකයේ බංකොලොත් භාවය, වැඩකරන ජනයාට කිසිදු සහනයක් දිය නො හැකි බව හා ඕනෑ ම විරුද්ධත්වයක් රුදුරු ලෙස මර්දනය කල යුතු බව අවබෝධ කරගන්නා ධනේශ්වරයෙහි පන්ති සවිඥානික නියෝජිතයෙකි.

සර්ව-පාක්ෂික අන්තර්-කාලීන ආන්ඩුවක් සඳහා තල්ලුව දෙමින් සිටින ජවිපෙ හා විරුද්ධ පක්ෂ ද තල්ලු වනු ඇත්තේ හරියට ම එලෙස ක්‍රියාකිරීමට ය.

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහි ව යොදාගන්නා මිලිටරි/පොලිස් ප්‍රචන්ඩත්වය වනාහි, ධනපති පන්තියෙහි පක්ෂවලට බලයේ රැඳී සිටීමට ඉඩ දුනහොත්, සිදුවනු ඇත්තේ කුමක් ද යන්න පිලිබඳ අනතුරු ඇඟවීමකි. “කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” යන හිසින් ජූලි 20දා සසප නිකුත් කල ප්‍රකාශය තුල ඉදිරිපත් කරන ලද දේශපාලන ආරම්භකත්වය *ඉමහත් හදිසිභාවයකින් ගතයුතුබව එමගින් කම්කරුවන්ට හා ගම්බද පීඩිතයන්ට අවධාරනය කරයි. “ගෝඨාභය රාජපක්ෂගේ හා රනිල් වික්‍රමසිංහගේ අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජමිතුරන් විසින් අටවනු ලබන ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට එරෙහි විප්ලවීය දේශපාලන විකල්පයක්” ලෙස එවන් සම්මේලනයක් කැඳවීමේ අවශ්‍යතාව එය විසින් පැහැදිලි කෙරුනි.

මෙම සම්මේලනය කැඳවීම සඳහා පදනම් ස්ථාපිත කිරීමට, සෑම වැඩපොලක, කම්හලක, වත්තක, නිවහන් ප්‍රදේශයක හා ගම්බද ප්‍රදේශයක ම තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු තනාගන්නා ලෙස සසප කම්කරුවන්ට හා ගම්බද පීඩිතයින්ට කැඳවුම් කරයි. දේශපාලන සංස්ථාපිතය, රාජ්‍ය යාන්ත්‍රනය හා මිලිටරිය වැඩි දුර ප්‍රචන්ඩත්වය සූදානම් කරද්දී, කම්කරු පන්තිය, සිය ක්‍රියාකාරී කමිටු හරහා, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නො සැලී ආරක්ෂා කරමින් ප්‍රතිචාර දැක්විය යුතු ය. පවතින සියලු උපක්‍රම හරහා තම ධනය හා වරප්‍රසාද ආරක්ෂා කරගැනීමට අධිෂ්ටානවත් ව සිටින දූෂිත හා මුදලට නැමෙන පාලක ප්‍රභූන්ගෙන් බලය අත්පත්කරගැනීම හා සමාජවාදී ඉල්ලීම් සඳහා කරන සටන සමග ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම නො වෙන්කල හැකි ලෙස බැඳී තිබේ.

සසප ප්‍රකාශය ප්‍රකාශ කල පරිදි, “කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්” සඳහා කරන කැඳවුම මගින්, “එහි බලවේග ශක්තිමත් කරගැනීමටත්, ගම්බද ජනයාගේ ක්‍රියාශීලී සහයෝගය දිනාගැනීමටත්, සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේ ම පාලනයට පදනම දැමීමටත්, කම්කරු පන්තියට දේශපාලන මූලෝපාය සම්පාදනය කරයි.” මෙම අරගලය සමාජවාදය සඳහා දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව ගෙන යන පලල් දේශපාලන අරගලයක කොටසකි.

Loading