අලුතින් පත් වූ ජනාධිපති වික්‍රමසිංහ විරෝධතාකරුවන්ට එල්ල කල ම්ලේච්ඡ පොලිස්-මිලිටරි ප්‍රහාරය මෙහෙයවයි

[මෙය Newly-installed Sri Lankan President Wickremesinghe oversees brutal police-military assault on protesters මැයෙන් 2022 ජූලි 22 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

අද අලුයම ශ්‍රී ලංකා සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් සිය ගනනක් කොලඹ ගාලු මුවදොර පිටියේ ප්‍රධාන විරෝධතා භූමියට පහර දුන්හ. මුහුනු ආවරනය කරගත් රාජ්‍ය හමුදාවන් බර අවි රැගෙන, කිසිවෙකු අත නොහැර පෙලපාලිකරුවන්ට පහර දුන් අතර දුසිම් ගනනක් රෝහල් ගත කරන ලදී.

අලුතින් තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2022 ජූලි 21, බ්‍රහස්පතින්දා, කොලඹදී සිය දිවුරුම් දීමේ උත්සවයේදී දිවුරුම් දීමෙන් පසු අත්සන් කරන අයුරු, (ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය විසින් ඒපී පුවත් සේවය වෙත සපයන ලද ඡායාරූපයකි.) [AP Photo/Sri Lankan President's Office]

බදාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමෙන් පසු අලුයම 2 ට එල්ල කල ප්‍රහාරය ඔහුගේ පලමු ක්‍රියාවයි. එය දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන නායකයා සූදානම් කරමින් සිටින්නේ කුමක් ද යන්න පිලිබඳ දැඩි අනතුරු ඇඟවීමකි.

ඔහුගේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපති රාජපක්ෂ, පසුගිය සතියේ අපරාධකරුවෙකු මෙන් රටින් පලා ගිය දා සිට, පසුගිය මාස තුනක කාලය පුරා දිවයිනම කැලඹූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට වික්‍රමසිංහ සපථ කර ඇත.

අද (22) උදෑසන ප්‍රහාරය සෘජුවම උසිගන්වන ලද්දේ වික්‍රමසිංහ විසිනි, ඔහු ස්ථාපනය කිරීමෙන් ටික වේලාවකට පසුව බදාදා රාත්‍රියේ මෙසේ ප්‍රකාශ කලේය: “අපි නීතියට අනුකූලව ඔවුන් සමඟ දැඩිව කටයුතු කරන්නෙමු. දේශපාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලා හඬනඟන නිහඬ බහුතරයකගේ අභිලාෂයන් යටපත් කිරීමට විරෝධතාකරුවන් සුලුතරයකට අපි ඉඩ දෙන්නේ නැහැ.”

විරෝධතාකරුවන් 'සුලුතරයක්', 'නිහඬ බහුතරයක්' යටපත් කරන බවට කරන ප්‍රකාශ කිසිවකු විශ්වාස නොකරන ශෝචනීය බොරු ය. විරෝධතා සහ වැඩ වර්ජන ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ඒවා ය. සත්තකින්ම වික්‍රමසිංහ අරඅඳිමින් සිටියේ මෙම මහා ව්‍යාපාරය තලා දැමීමට දැවැන්ත හමුදා බලය යෙදවීමටයි.

ගාලුමුවදොර පිටිය ඉදිරිපිට ඇති ජනාධිපති ලේකම් කාර්යාලයේ වාඩි ලා ගැනීම අවසන් කරන බව විරෝධතාකරුවන් පැවසුවද අද උදෑසන ප්‍රහාරය සිදු කර ඇත. ඔවුන් එවැන්නක් පැවසුවේ, රජයේ ගොඩනැගිලිවල යම්කිසි වාඩිලාගැනීමක් නීති විරෝධී බවත්, ඊට සම්බන්ධ වූවන්ට නීතියට අනුව කටයුතු කරන බවටත් වික්‍රමසිංහ කල අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාරයක් වශයෙනි. විරෝධතාකරුවන් බොහෝ දෙනා නිදා සිටියදී අල්ලා ගැනීමට හැකි නිසාත් සහ පුලුල් බලමුලු ගැන්වීමකින් ප්‍රහාරයට මුහුන නොදෙන බව සහතික නිසාත් එය මහ රැයේ සූදානම් කරන ලදී.

රාජ්‍ය ම්ලේච්ඡත්වයට, බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවේ මාධ්‍යවේදියෙකුට සිදුකල පොලිස් ප්‍රහාරයක් ද ඇතුලත් ය. ප්‍රහාරයට ලක් වූවන්ගෙන් බොහෝ පිරිසකට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූ අතර ඇතැමුන් බරපතල තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරය, ධනේශ්වර පාලනය යථා තත්වයට පත් කිරීම සඳහා දේශපාලන ප්‍රභූව විසින් දියත් කරන ලද වියරු ප්‍රයත්නයේ එක් තියුනු තුඩකි. මෙය සිදුවෙමින් පවතින්නේ, සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි මහජන විරෝධයේ කොන්දේසි යටතේ ය. රාජපක්ෂ බලයෙන් පහ කරන ලෙස ඉල්ලා සිටි විරෝධතාකරුවෝ, දැන් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිති. ඔහුට මහජන පසහයක් නොමැත, ඔහු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගත්තේ සාමාන්‍ය ජනතාව විසින් නොව පාර්ලිමේන්තුව විසිනි.

'පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම එපා' යනු කම්කරු පන්තියේ සහ විරෝධතා ව්‍යාපාරයේ දිගුකාලීන ජනප්‍රිය ඉල්ලීමකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ, මීට පෙර පැවති, 2022 අප්‍රේල් 3 දින විරෝධතාවය අතර්තුර කැරලි මර්දන පොලිසිය එය අවහිර කරයි [ලෝසවෙඅ මාධ්‍ය]

විරෝධතාකරුවන්ට එල්ල වූ ප‍්‍රහාරය මෙහෙයවන අතරතුර, වික‍්‍රමසිංහ ඔහුට සහාය දෙන ලෙස සියලු පාර්ලිමේන්තු පක්ෂවලට යලි යලිත් ආයාචනය කලේය. බදාදා ව්‍යාජ මැතිවරන ක්‍රියාවලිය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කලේය: “පසුගිය පැය 48 තුල අපි බෙදී සිටියෙමු. ඒ කාලය ඉවරයි. අපි දැන් එකට වැඩ කල යුතුයි.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපතිවරන අපේක්ෂකයෙකු වන ඩලස් අලහප්පෙරුම සහ මැතිවරනයේදී ඔහුට සහාය දුන් සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස, වික්‍රමසිංහ සමග වැඩ කිරීමට තමන් සූදානම් බව දැනටමත් පෙන්නුම් කර ඇත.

ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමකදී ප්‍රේමදාස, වික්‍රමසිංහ හමුවූ අතර, තමා සමග “සුහද හා අවංක අදහස් හුවමාරුවක් සිදු වූ බවත්, දුක්ඛිතභාවය හා ව්‍යසනය වැලැක්වීම සඳහා සාධනීය සහය ලබාදීමට විපක්ෂයේ අධිෂ්ඨානය යලි යලිත් අවධාරනය කල බවත්” ප්‍රකාශ කලේය. පාර්ලිමේන්තු පක්ෂ සියල්ලම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ඉල්ලා සිටින කප්පාදු පියවර ක්‍රියාවට නැංවීමට සිය කැමැත්ත කලින්ම ප්‍රකාශ කර ඇත.

බදාදා මැතිවරනයෙන් පසු කොලඹ කොටස් වෙලඳපොලේ සති පහක් තුල ඉහලම අගය ගත් අතර ඉන් සාරාංශගත කෙරුනේ වික්‍රමසිංහ බලයට පත් කිරීම සම්බන්ධයෙන් මහා ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිචාරය යි, එනම්, ඔහු කප්පාදු පිලිවෙත් අනුකම්පා විරහිතව ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ ලාභ ඉහල නංවනු ඇතැයි යන විශ්වාසයයි.

කොලඹ සිටින එක්සත් ජනපද සහ ඉන්දීය තානාපතිවරු වික්‍රමසිංහගේ තේරී පත්වීම සාදරයෙන් පිලිගෙන ඇත. බදාදා මැතිවරනයට දින දෙකකට පෙර පාර්ලිමේන්තු කථානායක අබේවර්ධන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනේඩියානු, ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත තානාපතිවරුන් සමඟ ඉහල මට්ටමේ ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීය.

එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් පසුව ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් වික්‍රමසිංහ සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන බවයි, සියලු පාර්ලිමේන්තු පක්ෂවලට සහයෝගයෙන් කටයුතු කරන ලෙස වන ඔහුගේ ආයාචනය ඇය ද ප්‍රතිරාවය කලාය. “මෙම අභියෝගාත්මක කාලවලදී, ආර්ථික අර්බුදය විසඳීමට, ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම තහවුරු කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සඳහා එක්ව ක්‍රියා කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීම, සියලු පාර්ශවයන්ට අත්‍යවශ්‍ය වනු ඇත,” ඇය පැවසුවාය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විශ්වාසනීය ඒජන්තයෙකු ලෙස වික්‍රමසිංහගේ වාර්තාව සැලකිල්ලට ගෙන, චීනයට එරෙහි සිය මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට කොලඹ වඩාත් සමීපව ඒකාබද්ධ කිරීමට වොෂින්ටනය කටයුතු කරනු ඇත.

කොලඹ පාලක සංස්ථාපිතයට සහ නරක අතට හැරෙන ආර්ථික අර්බුදයට එරෙහිව ශ්‍රී ලංකා මහජනතාවගේ ගැඹුරු වෛරයට සංවේදී වූ කොලඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නව ජනාධිපතිවරයා පිලිගනිමින් ප්‍රවේශමෙන් තෝරාගත් වචන සහිත ප්‍රකාශයක් නිකුත් කලේය.

'ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු, අසල්වැසියෙකු සහ මිත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යයන් සහ සාරධර්ම, ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව හරහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්ථාවරත්වය සහ ආර්ථික නගා සිටුවීම සඳහා වන ගමනට අපි දිගටම සහාය වන්නෙමු,' එය පැවසීය.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ උපුටා දක්වන ලද නිර්නාමික ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරියෙක් මෙසේ ප්‍රකාශ කලේය: 'ඔහු ඉතා දැඩි අභියෝගවලට මුහුන දෙයි... මැතිවරනය ජයග්‍රහනය කිරීම එක දෙයකි, කාර්යය [නියමිත කාලයට] කර ගැනීම, මෙය ඔහු පිලිබඳ සැබෑ පරීක්ෂනයයි.'

මෙම ප්‍රකාශයන් පෙන්වා දෙන්නේ, සැලසුම්ගත ජාමූඅ පියවරයන්ට එරෙහිව දැනටමත් කුසගින්නෙන් පෙලෙන වැඩකරන ජනතාව විසින් නොවැලැක්විය හැකි ලෙස පුපුරා යාම මැඩලීමට නව පාලන තන්ත‍්‍රයට ඇති හැකියාව පිලිබඳ ඉන්දීය පාලක ප‍්‍රභූවේ උත්සුකතාවයන් ය. ශ්‍රී ලංකාවේ උග්‍රවන සමාජ-ආර්ථික හා දේශපාලන අර්බුදය ගෝලීය ආර්ථික කැලඹීමේ තියුනුම ප්‍රකාශනය වන අතර එය නොනැසී පවතින කොරෝනා වෛරස් වසංගතය සහ යුක්‍රේනය භාවිතා කරමින් රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝහි වක්‍ර යුද්ධය මගින් උත්සන්න විය.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි මාස පහක කාලය තුල ශ්‍රී ලාංකීය ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුන දෙනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ දැනට පවතින සියයට 50 ක පමන උද්ධමන අනුපාතය ඉක්මනින් සියයට 70 දක්වා ඉහල යනු ඇතැයි ඔහු කලින් අනාවැකි පල කල අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනුවක් තීන්දු කිරීම සඳහා “ස්ථාවර” ආන්ඩුවක් අවශ්‍ය බව අවධාරනය කලේය.

වික්‍රමසිංහ නිල වශයෙන් ජනාධිපති වීමට පැය කිහිපයකට පෙර, ජාමූඅහි කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ කලේ එහි ඊනියා මුදවාගැනීමේ සාකච්ඡා “හැකි ඉක්මනින්” අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. ඇය අනතුරු ඇඟවූයේ, “දිගින් දිගට යන සාකච්ඡා සරලව සාර්ථක නොවන බවට අවබෝධයක් ඇත, [නව] ආන්ඩුවක් පත්වීමෙන් සති කිහිපයකට පසු තීරනාත්මක ක්‍රියාමාර්ගයක් තිබිය යුතු ය.”

වෙනත් වචන වලින් කිවහොත්, සියලු දේශපාලන විරුද්ධත්වයන් තලා දැමීමට සහ කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව මත ජාමූඅහි කප්පාදු ප්‍රහාර එල්ල කිරීමට පොලිස්-මිලිටරි බලය අනුකම්පා විරහිතව යෙදවීම ඇතුලුව, තමන් ගත යුතු ඕනෑම ක්‍රියා මාර්ගයක් ගන්නා බව නැවත නැවතත් පෙන්නුම් කර ඇති වික්‍රමසිංහට, ජාමූඅ සිය පනිවිඩයෙන් සවිය දී තිබේ.

සැලසුම් කර ඇති ක්‍රියාමාර්ගවලට රාජ්‍යය අතේ පවතින අත්‍යාවශ්‍ය සේවා පුද්ගලීකරනය, රාජ්‍ය අංශය තුල ලක්ෂ ගනනක රැකියා කප්පාදුව, මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය බිඳ දැමීම සහ සිය දහස් ගනනකට යන්තම් ජීවත් වීමට අවශ්‍ය සීමිත සහනාධාර ඉවත් කිරීම ඇතුලත් වේ.

මෙම ප්‍රහාරය අනිවාර්යයෙන්ම කම්කරු පන්තියේ සමාජ විරෝධය තීව්‍ර කරනු ඇත.

විධායක ජනාධිපති ලෙස, කප්පාදු න්‍යාය පත්‍රයේ සියලු විරුද්ධවාදීන්ට එරෙහිව පොලිස් මිලිටරි මර්දනය මුදා හැරීමට වික්‍රමසිංහට පුලුල් පරිමාන ඒකාධිපති බලතල ඇත. සිකුරාදා ප්‍රහාරය ඔහු වඩාත් පුලුල් ලෙස සැලසුම් කරන දෙය පිලිබඳ අනතුරු ඇඟවීමකි.

වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ඔසවා තැබීම සහ මෙම වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමට ඔහු දරන උත්සාහය සම්පූර්නයෙන්ම රඳාපවතින්නේ විරුද්ධ පක්ෂ සහ ඔවුන්ගේ ආවතේවකාරයන් මතය.

ශ්‍රීලංපොපෙ, සජබ සහ අනෙකුත් පාර්ලිමේන්තු පක්ෂ, අන්තර්වාර, සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවීමට වික්‍රමසිංහ සමග වැඩ කරන විට, විවිධ ව්‍යාජ-වාම සංවිධාන සහ වෘත්තීය සමිති මෙම ප්‍රතිගාමී උපාමාරු පිටුපස කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් හරවා යැවීමට වෙහෙස නොබලා වැඩ කරමින් සිටිති.

සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත මෙම කුරිරු ජාමූඅ-ගැති පාලනයට සහ ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව මහජන අරගල සඳහා ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් විය යුතු බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක් අනතුරු අඟවා ඇත.

ඊයේ තීරනාත්මක ප්‍රකාශයක් නිකුත් කරමින් සසප කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සූදානම් විය යුතු යැයි කියා සිටියේය. ඔවුන් ප්‍රවේශ වන අරගල සංවිධානය කිරීම සහ සම්බන්ධීකරනය කිරීම සඳහා වූ මෙම සම්මේලනය කම්කරුවන් හා දුගීන් විසින්ම පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටු වලින් සමන්විත වනු ඇත.

එවැනි කමිටු විශාල ජාලයක් ඒකාබද්ධ කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන අරගලය, “කම්කරු පන්තියට තම බලවේග තහවුරු කර ගැනීමටත්, ග්‍රාමීය ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය දිනා ගැනීමටත්, සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේම පාලනයකට පදනම දැමීමටත් දේශපාලන මූලෝපායක් සපයයි.”

කම්කරුවන්, තරුනයින් සහ ගම්බද ජනතාව මෙම ප්‍රකාශය තුල විස්තාරනය කර ඇති විප්ලවවාදී වැඩපිලිවෙල අධ්‍යයනය කල යුතුය, සාකච්ඡා කල යුතුය, ඒ අනුව ක්‍රියා කල යුතුය.

Loading