ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දක්ෂිනාංශික, එක්සත් ජනපද ගැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරා පත් කර ගනී

[මෙය Sri Lankan parliament elects rightwing, pro-US Ranil Wickremesinghe as president මැයෙන් 2022 ජූලි 21 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ඊයේ (20) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්, ඡන්දය ප්‍රකාශ කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 න් 134 කගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කරන ලදී. අනෙකුත් අපේක්ෂකයන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක පිලිවෙලින් ඡන්ද 82 ක් සහ 3 ක් ලබා ගත්හ.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

පෙර නොවූ විරූ ආර්ථික, දේශපාලනික හා සමාජීය අර්බුදයක් මධ්‍යයේ වික්‍රමසිංහ විධායක ජනාධිපති ධූරයට පත්වන්නේ එහි පුලුල් බලතල සහිතවය. ජූලි 9 වැනි දා දැවැන්ත ආන්ඩු විරෝධී උද්ඝෝෂනවලින් අනතුරුව රටින් පලා ගොස්, පසුව ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයෙහි ඉතිරි වසර දෙක සඳහා ඔහු සේවය කරනු ඇත.

මෙය වටලන ලද පාලක පන්තියකි. වැඩ කරන ජනතාවට ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී කිසිදු අදහසක් නොතිබුනා පමනක් නොව, ඔවුන්ව සම්පූර්නයෙන්ම බැහැර කරනු ලැබීය. දැඩි ලෙස සන්නද්ධ සොල්දාදුවන්, පොලිසිය සහ බාධක වලින් වට වූ බලකොටුවක් බවට පත් කර තිබූ පාර්ලිමේන්තුවේ වසා දැමූ දොරවල් පිටුපස ඡන්දය පැවැත්විනි.

වික්‍රමසිංහට මහජන පදනමක් නොමැති අතර ජනතාව අතර පුලුල් ලෙස පිලිකුලට ලක්ව ඇත. 2020 මැතිවරනයේදී සියල්ල අතුගා දැමුනු, ශේෂ වී ගිය එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එකම පාර්ලිමේන්තු නියෝජිතයා ඔහුය. එසේ වුවද, මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට බලකෙරුනු මැයි මාසයේදී ඔහු අගමැති ලෙස ද, ගෝඨාභය රාජපක්ෂ පලා යන විට වැඩ බලන ජනාධිපති ලෙස ද, දැන් ජනාධිපති ලෙස ද පත් කරන ලදී. දැනටමත් කොලඹ සහ ප්‍රාදේශීය නගරවල විරෝධතා සහ විරෝධතා ස්ථාන ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිටී.

වික්‍රමසිංහ තෝරාගෙන ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු නියෝග නිර්දය ලෙස පැටවීමටත් පසුගිය මාස තුන පුරා පිපිරී ගිය මහජන නැගිටීම ගෙල සිර කිරීමටත් ය. ඔහු ජනාධිපති ධූරය සඳහා ඔහුගේ තනතිල්ල සකස් කලේ, දුක් වේදනා සමනය කිරීමට පොරොන්දු වූ වැඩකරන ජනතාව වෙත නොව, ධනේශ්වර 'පාලනය' යලි ස්ථාපිත කිරීමට හැකි අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකාවේ පාලක පන්තිය, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙත ය.

වැඩබලන ජනාධිපති ලෙස වික්‍රමසිංහගේ ප්‍රථම ක්‍රියාව වූයේ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ 'ෆැසිස්ට්වාදීන්' ලෙස ඔහු හෙලා දුටු විරෝධතාකරුවන් මර්දනය කිරීමට හමුදාවට සහ පොලිසියට පූර්න නිදහස ලබා දීමයි. ඊයේ ජනාධිපති ලෙස පත් වීමෙන් පසු, ඔහු මහජන නැගිටීමට එරෙහිව යුද ප්‍රකාශ කලේ ය: “ඔබ ආන්ඩුව පෙරලා ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ, එය නීතියට පටහැනිය.” එම පනිවිඩය අවධාරනය කිරීම සඳහා ඔහු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි පොලිසියට සහ හමුදා නිලධාරීන්ට පෞද්ගලිකව ස්තුති කිරීම දක්වා ගියේය.

වික්‍රමසිංහ කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට එරෙහිව තමන් වටා සමීප වන ලෙස සියලු සංස්ථාපිත පක්ෂවලට ආයාචනයක් ද කලේය. 'ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා දුෂ්කර තත්වයකයි... ඉදිරියෙන් විශාල අභියෝග තිබේ' යයි ඔහු ප්‍රකාශ කලේ, විපක්ෂ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාසට, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ මෛත්‍රීපාල සිරිසේනට තමා සමග එකට වැඩ කරන ලෙස විශේෂ ආයාචනයක් කරමිනි. ධනේශ්වරය අනුකම්පා විරහිත මර්දනයක් සූදානම් කරද්දී, විරුද්ධ පක්ෂ 'ප්‍රජාතන්ත්‍රවාදය' පිලිබඳ වැරහැලි නාඩගමක් රඟදැක්වීම සඳහා සර්ව පාක්ෂික අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවීමට බලපෑම් කරමින් සිටී.

අලහප්පෙරුමට ජනාධිපති ධූරය සඳහා සහාය දුන් ප්‍රේමදාස වහාම එක්ව වැඩ කිරීමට ඇති කැමැත්ත පෙන්නුම් කලේ, “ආර්ථිකය නිසි මගට ගෙන මේ රට බේරා ගැනීමට... විපක්ෂය අපගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇත” යනුවෙනි. අලහප්පෙරුම සිය හඬ අවදිකරමින් නරුම ලෙස ප්‍රකාශ කලේ: “මගේ උත්සාහය වූයේ ගැඹුරින්ම දුක් විඳින ජනතාවට විසඳුම් ලබා දීම සඳහා සම්මුතිය මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීමයි.”

මහජනතාවට එරෙහිව ජාමූඅ කප්පාදු හා පොලිස්-රාජ්‍ය මර්දනය ක්‍රියාවට නැංවීමට සමස්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී පාර්ලිමේන්තු කන්ඩායම ම කැපවී සිටී. වික්‍රමසිංහ ජනාධිපති ධූරයට තෝරාගනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාත්මක කරන්නෙකු ලෙස දශක ගනනාවක් තිස්සේ ඔහුගේ දේශපාලන වාර්තාව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අතකොලුවක් වීම සහ කම්කරුවන්ට සහ ගම්බද දුගීන්ට එරෙහි ලේවැකි රාජ්‍ය ප්‍රචන්ඩත්වයට ඔහුගේ සහයෝගය නිසාය.

වික්‍රමසිංහ ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1977 දී ය. දක්ෂිනාංශික ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ බෑනනුවන් ලෙස, පුලුල් ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපතිවරයකු පිහිටුවීම සඳහා සහ වැඩකරන ජනතාවගේ ජීවන කොන්දේසි විනාශ කල පුලුල් විවෘත වෙලඳපොල ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යවස්ථාව නැවත ලියූ එජාප ආන්ඩුවේ තරුන කටයුතු සහ රැකියා අමාත්‍යාංශ ඔහුට කඩිනමින් පැවරිනි.

මහජන විරෝධය පුපුරා ගිය විට, 1980 දී වර්ජිත රාජ්‍ය අංශයේ කම්කරුවන් 100,000 කට අධික සංඛ්‍යාවක් සේවයෙන් පහ කල, ජයවර්ධන කැබිනට් මන්ඩලය තුල ඔහු සිටියේය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහු 1981 දී අධ්‍යාපනය පිලිබඳ කුප්‍රකට ධවල පත්‍රිකාව ගෙන ආවේය, එය මහජන අධ්‍යාපනය සඳහා වන ආන්ඩුවේ වියදම් කපා හැරීමේ සැලැස්ම විය.

එහි වෙලඳපොල ගැති පිලිවෙත්වල බලපෑමට එරෙහිව පැමිනි අඛන්ඩ විරුද්ධත්වයට කූඤ්ඤ ගැසීම සඳහා එජාපය තෝරා ගත්තේ, 1983 ජුලි මස ම්ලේච්ඡ දෙමල විරෝධී සංහාරයන් තුල කූටප්‍රාප්තියට පත් වූ දුෂ්ට දෙමල-විරෝධී ප්‍රචාර සහ ප්‍රකෝපකරනයන් ය, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ගිනිබත් කරන ලද අතර දස දහස් ගනනක් දෙමල ජනයාට පලා යාමට සිදු විය. සිය දහස් ගනන් ජීවිත බිලිගත් සහ දිවයිනේ විශාල ප්‍රදේශ විනාශ කල දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව යූඇන්පී සහ ඉන් පසුව පත් වූ කොලඹ ආන්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිගාමී වාර්ගික යුද්ධයේ ආරම්භය, මෙම සංහාරය සනිටුහන් කලේය.

1980 ගනන්වල අගභාගයේ සහ 1990 ගනන්වල මුල් භාගයේදී, වත්මන් විපක්ෂ නායකවරයාගේ පියා වන ජනාධිපති රනසිංහ ප්‍රේමදාස යටතේ එජාප ආන්ඩුව, දිවයිනේ දකුනේ රැකියා විරහිත ග්‍රාමීය තරුනයින් අතර නැගුනු අසහනය තලා දැමීම සඳහා අසීමිත ප්‍රචන්ඩත්වයේ රැල්ලක් මුදා හැරියේය. සන්නද්ධ හමුදාවන් සහ ඒවාට සම්බන්ධ ඝාතක කල්ලි අවම වශයෙන් තරුනයින් 60,000 ක් වගවිභාගයක් නැතිව මරා දැමීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින වික්‍රමසිංහ, එවකට, කුප්‍රකට බටලන්ද වධකාගාරවල තරුනයන්ට වධහිංසා පැමිනවීම් සහ ඝාතනය කිරීම් අධීක්‍ෂනය කල බවට ප්‍රසිද්ධ චෝදනාවක් තිබේ. තවත් ලේවැකි මර්ධනයක් ද සමගින් සෑම මාධ්‍යයකින්ම ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමට ඔහු තෝරාගෙන ඇත්තේ, පාලක පන්තිය සඳහා වන නීච වැඩ කි‍්‍රයාවට නැංවීමට ඔහු ඉතා සමීපව සම්බන්ධ වී ඇති නිසා ය.

ජේ.ආර්. ජයවර්ධන මෙන්ම වික්‍රමසිංහ ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන අතවැසියෙකි. 2015 දී එක්සත් ජනපදය විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කිරීම සඳහා සංවිධානය කරන ලද පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමේ ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය. වොෂින්ටනය මහින්ද රාජපක්ෂට සතුරු වූයේ, 2009 වසරේ එල්ටීටීඊය තලා දැමීමේදී මිලිටරිය විසින් සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ වගකීම නිසා නොව, ඔහු බීජිනය සමඟ ඇති සමීප සබඳතා නිසා ය. සිරිසේන යටතේ අගමැති ලෙස වික්‍රමසිංහ එක්සත් ජනපදය කෙරෙහි විදේශ ප්‍රතිපත්තිය නාටකාකාර ලෙස ප්‍රතිනිර්මානය කිරීමට සහ චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම්වලට ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමට මූලික විය.

වික්‍රමසිංහ දැනටමත් පුලුල් ලෙස පිලිකුලට වෛරයට පාත්‍ර වී ඇත. ඔහු පිහිටුවන ආන්ඩුවේ නිශ්චිත සංයුතිය කුමක් වුවත්, එහි න්‍යාය පත්‍රය පැහැදිලිය: කම්කරු පන්තියේ හා ග්‍රාමීය ජනතාවගේ වියදමින් ධනවත් සංගත ප්‍රභූවේ සහ ජාත්‍යන්තර මූල්‍යකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමයි. කිසිදු ද්‍රව්‍යයක් සඳහා සහනයක් ලබා දීමට පාලක පන්තියට මුදල් නැත. මීලඟ ආන්ඩුව, දැනටමත් පුලුල්ව පැතිරුනු දුක්ඛිතභාවය විසින් නිර්මානය කර ඇති නිරන්තර හිඟය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල අහස උසට නැගුනු මිල ගනන් මත තවත් පීඩාවන් සහ දුක් ගැහැට ගොඩ ගසනු ඇත..

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම සංවිධාන සහ වෘත්තීය සමිති, මහජනතාව මුහුන දෙන සමාජ අර්බුදය අපකීර්තිමත් පාර්ලිමේන්තුව සහ ධනේශ්වරයේ පක්ෂ හරහා විසඳිය හැකිය යන මිත්‍යාව දිගටම පෝෂනය කරමින් සිටින බවට සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි. වික‍්‍රමසිංහගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටින අතරම, සර්ව පාක්ෂික අන්තර්වාර ආන්ඩුවක් සඳහා විරුද්ධ පක්ෂ කැඳවීමට ඔවුහු දිගටම සහයෝගය දක්වති— ඒවා නම්, 'රට බේරාගැනීම සඳහා' වෙනත් වචන වලින් කිවහොත් ධනවාදය බේරා ගැනීම සඳහා වික‍්‍රමසිංහ සමග එක්ව වැඩ කිරීමට තමන් කැමති බව ඊයේ ප‍්‍රකාශ කල පක්ෂ ම ය.

සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ මුලුමනින්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන මාවතක ගමන් කරන ලෙසත් අරගලයේ තමන්ගේම ස්වාධීන ආයතන ස්ථාපිත කරන ලෙසත් ය. තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සමාජ අයිතීන් සඳහා අරගලයක් දියත් කිරීම සඳහා, අපකීර්තිමත් ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ වෘත්තීය සමිති ගෝලබාලයන්ගෙන් සහමුලින්ම ස්වාධීනව, ක‍්‍රියාකාරී කමිටු ජාලයක් පිහිටුවන ලෙස කම්කරුවන්ගෙන් හා ගම්බද දුගීන්ගෙන් අපි ඉල්ලා සිටිමු. තරුනයන් සහ ගම්බද දුගීන් තමා වෙත පෙලගස්වා ගනිමින්, කම්කරු පන්තිය සමාජවාදී පිලිවෙත්වලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පදනම දමනු ඇත. මෙය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසකි.

Loading