බදාදා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වංචනික ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යායාමයක් මගින්, දැවැන්ත අධිකාරී බලතල සහිතව ජනාධිපති තෝරා ගනියි

[මෙය Sri Lanka’s parliament to elect president Wednesday with vast authoritarian powers in fraudulent anti-democratic exercise මැයෙන් 2022 ජූලි 20 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

මාස ගනනක මහජන වැඩවර්ජන හා විරෝධතා මගින් බලයෙන් පලවා හරින ලද ඒකාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලය තුල ඉතිරිව ඇති වසර දෙකකට ආසන්න කාලය සම්පූර්න කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බදාදා දිනයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගනු ඇත. ජූලි 9 දා, ආන්ඩුවේ හදිසි නියෝග සහ මහජන මර්දනයේ තර්ජන නොතකා, මිලියනයකට අධික ජනතාවක් කොලඹට රැස් වීමෙන් ඉක්බිතිව තතු මෙසේ කුලුගැන්වින..

සඳුදා නිකුත් කල ප්‍රකාශය තුල, සමාජවාදී සමානතා පක්ෂය (සසප) අද දින ඡන්දය “කම්කරු පන්තියට, තරුනයන්ට හා ගම්බද දුගීන්ට එරෙහි ප්‍රෝඩාවක් හා කුමන්ත්‍රනයක්” ලෙස හෙලා දුටුවේය. විරෝධතාකරුවන්ගෙන් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ඇති බව සඳහන් කරමින් සසප ප්‍රකාශය මෙසේ අවධාරනය කලේ ය: “පාර්ලිමේන්තුව කිසිදු ආකාරයකින් වැඩකරන ජනතාවගේ, එනම් සමාජයේ පරම බහුතරයේ දේශපාලන හැඟීම් සහ අවශ්‍යතා නියෝජනය නොකරයි.”

විරෝධතාකරුවන් ජූලි 9 වැනිදා සිට දින කිහිපයක් ජනාධිපති මන්දිරය අල්ලාගෙන සිටියහ.

අඟහරුවාදා පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමට නම් කරන ලද අපේක්ෂකයින් තිදෙනාම—රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක—ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) හදිසි නය ලබා ගැනීම සඳහා දැවැන්ත කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට සූදානම් ය. ඔවුන් සියල්ලන්ටම, කම්කරු පන්තියට හා ගම්බද දුගීන්ට එරෙහිව මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා තහවුරු කිරීමට කැප වූ ධනේශ්වර දේශපාලනඥයන් ලෙස දිගු වාර්තා තිබේ.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකයා වන වික්‍රමසිංහ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලයෙකු ලෙසත් ජාමූඅ කප්පාදු පියවර නිර්දය ලෙස ක්‍රියාත්මක කරන්නෙකු ලෙසත් කුප්‍රකට දූෂිත දේශපාලන අතවැසියෙකි. ඔහු තම පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වුව ද, මැරයන් සහ රාජ්‍ය ප්‍රචන්ඩත්වය හරහා ආන්ඩුවට එරෙහි ජනතා විරෝධය මැඩලීමේ අසාර්ථක ප්‍රයත්නය ඇවිලවීම හේතුවෙන් ස්වකීය සොහොයුරු මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට සිදුවීමෙන් පසු, බිත්තියටම හේත්තු වුනු ගෝඨාභය රාජපක්ෂ මැයි 12 දා, 1993 සිට හයවන වතාවටත් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කලේ ය.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ රටින් පලා ගිය නිසා වික්‍රමසිංහ තමා අන්තර්වාර ජනාධිපති ලෙස පත් කර ගැනීමට උපාමාරු දැමූ අතර, එතැන් පටන් මහජන නැගිටීම ලේ වැකි ලෙස මර්දනය කිරීමට පියවර ගෙන තිබේ.

රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොජපෙ) ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන දිනේෂ් ගුනවර්ධන විසින් වික්‍රමසිංහ ඊයේ නිල වශයෙන් ජනාධිපති ධුරය සඳහා නම් කරන ලදී. පැහැදිලිව පෙනෙන ආකාරයට, ඔහු නෙරපා හරින ලද ජනාධිපතිවරයාගේ සහ බෙදීම්වලින් දුර්වල වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ බොහෝ දෙනෙකුගේ පිටුබලය භුක්ති විඳින අතර, තවමත් පාර්ලිමේන්තුවේ බහුතර ආසන දරයි.

ඩලස් අලහප්පෙරුම ශ්‍රීලපොජපෙ මන්ත්‍රීවරයෙකි. කෙසේවෙතත්, පාර්ලිමේන්තු ජනාධිපතිවරන ඡන්ද විමසීමේදී ඔහුගේ සහයෝගයෙන් වැඩි ප්‍රමානයක් ලැබෙනු ඇත්තේ, ඔහු සහ ශ්‍රීලපොපෙ ආධාරකරුවන්ගෙන් බිඳී ගිය කන්ඩායම සමඟ ගිවිසුමකට එලඹ ඇති, විපක්ෂය ලෙස පෙනීසිටින කොටසින් ය.

අලහප්පෙරුම සිය දේශපාලන ජීවිතය ආරම්භයේදීම “වාමාංශික” ලෙස පෙනී සිටීමට උත්සාහ කලේය. ඔහු 1994 දී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් තේරී පත් වූ සන්ධාන ආන්ඩුවේ සේවය කල අතර තරුන කටයුතු, ක්‍රීඩා වැනි අමාත්‍යාංශ කිහිපයක් ද දැරීය. පසුව ඔහු රාජපක්ෂවරුන්ගේ සමීපතමයෙකු බවට පත් විය. ඔහු ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂගේ 10 වසරක පාලන සමයේදී (2005-15) විවිධ තනතුරු දැරූ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ බලශක්ති ඇමති හා පසුව ජනමාධ්‍ය ඇමති විය.

දැන් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රැඳී සිටිමින් රාජපක්ෂවරුන්ගෙන් ඈත් වීමට උත්සාහ කරන්නේ, පැහැදිලි ලෙසම පුද්ගලික ධනය සහ බලය තහවුරු කර ගැනීමේ උවමනාවෙන් යුතුවය.

මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල දේශප්‍රේමය යන විෂකුරු දේශපාලනයන්ගේ මිශ්‍රනයක් මත පදනම්ව 1960 දශකයේ මැද භාගයේ බිහි වූ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකයා අනුර කුමාර දිසානායක ය. නායකයින් තම මිලිටරි ඇඳුම් සැප පහසු දේශපාලන ඇඳුමකට මාරු කර ගත් මෙම පක්ෂය, කොලඹ තන්ත්‍රය චීනයට එරෙහිව එහි යුද ධාවනයට සමීපව ඒකාබද්ධ කිරීම සඳහා එක්සත් ජනපදය විසින් අනුග්‍රහය දක්වන ලද පාලන තන්ත්‍ර මාරු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස 2015 දී බලයට පත් වූ එජාප ප්‍රමුඛ පරිපාලනයට ද සහාය දුන්නේ ය.. 1990 ගනන් මුල සිට බලයට පත් වූ සියලුම ශ්‍රී ලංකාවේ ධනේශ්වර පක්ෂ සහ නායකයින්ට ජවිපෙ නොකඩවා සහයෝගය ලබා දී ඇත.

1994 දී, එය ජනතා සන්ධානයේ නායිකා චන්ද්‍රිකා කුමාරතුංගගේ ජනාධිපතිධුරය දිනා ගැනීමේ ව්‍යාපාරයට සහය දුන් අතර, 2004 දී ඇයගේ ආන්ඩුවට ඇතුලු වෙමින්, දිසානායක කෘෂිකර්ම ඇමති බවට පත් විය. ජවිපෙ—1983 සිට 2009 දක්වා—බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කොලඹ තන්ත්‍රයේ කුරිරු වාර්ගික යුද්ධයේ උග්‍ර ආධාරකරුවෙකු වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර අඛන්ඩ මිලිටරි ආක්‍රමනයට පිටුබලය දුනි. එය 2010 දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහය දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත විය.

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ප්‍රකාශ කර තිබුනද, පසුව එය ඉවත් කර ගනිමින් අලහප්පෙරුම පිටුපසින් තම පක්ෂයේ සහාය ගොනු කලේය.

ඒ වෙනුවට ප්‍රේමදාස අගමැති කිරීමට අලහප්පෙරුම එකඟ වී ඇත. ප්‍රේමදාස, ජාමූඅ කප්පාදු පැනවූ සහ චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ශ්‍රී ලංකාව ඒකාග්‍ර කිරීමට ක්‍රියා කල පෙර එජාප නායකත්වයෙන් යුත් ආන්ඩුවෙහි නිවාස ඇමතිවරයා විය. ප්‍රේමදාස, 1988 සහ 1990 අතර ග්‍රාමීය අසහනය මැඩපැවැත්වීම සඳහා ග්‍රාමීය තරුනයින් 60,000 ක් පමන ඝාතනය කල කුප්‍රකට දෙමල විරෝධී ස්වෝත්තමවාදියෙකු වූ ඔහුගේ පියාගේ—හිටපු එජාප ශ්‍රී ලංකා ජනාධිපති රනසිංහ ප්‍රේමදාසගේ දේශපාලන උරුමය ආඩම්බරයෙන් හුවාදක්වමින් සිටියි.

බදාදා පාර්ලිමේන්තු ඡන්දයෙන් ජය ගන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව කිව නොහැක. වික්‍රමසිංහ 'සැලසුම්ගත පාලනයේ' අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කර ඇත්තේ මහජන ව්‍යාපාරය ලේ වැකි ලෙස මර්දනය කිරීමට අධිකාරීවාදී බලතලවල සම්පූර්න පරාසය භාවිතා කිරීමට සූදානම්ව ය. එහෙත් ව්‍යසනකාරී ආර්ථික අර්බුදය විසින් මහජනතාව දේශපාලන ක්‍රියාවන්ට පොලඹවා ඇති සහ ගෝඨාභය රාජපක්ෂ නෙරපා හැරීමෙන් නිසැකවම ශක්තිමත් වී ඇතැයි හැඟෙන තත්වයක් යටතේ, පාලක පන්තියේ සැලකිය යුතු කොටස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජීයව ගිනි අවුලුවන නියෝග පැනවීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් සඳහා වෙනසකට මූනත්තහඩුවක් දමා ගැනීම සහ කාලය ගැනීම ඥානාන්විත බවට ගනන් බලති.

ජනාධිපතිවරනය තුලින් කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට එරෙහිව සූදානම් වන කුමන්ත්‍රනය පිලිබඳව ඔවුන් දැනුවත් කරනවා වෙනුවට, ව්‍යාජ වාම පක්ෂ, වෘත්තීය සමිති සහ කොලඹ ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කරගත් ආන්ඩු විරෝධී උද්ඝෝෂනවල නායකයින් සියල්ලෝම එයට සහයෝගය ලබා දෙති. නව විධායක ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව විසින් පත් කිරීම සහ ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමටත්, පාලක පන්තිය විරෝධකරුවන්ට එරෙහිව දියත් කිරීම සඳහා අන්තර්වාර 'සර්ව පාක්ෂික ආන්ඩුවක්' එකට එකතු කර ගැනීමේ ඒ ආශ්‍රිත පියවර ඇතුලු “ව්‍යවස්ථාමය පාලනය” තහවුරු කිරීම සඳහාත් ඔවුන් එක හඬින් සිය සහයෝගය ප්‍රකාශ කර ඇත.

මේ සියලු දෙයින් නිරූපනය කෙරන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු අනුගමනය කල යුතු පූජනීය ලියවිල්ලක් බවයි. ගාලුමුවදොර විරෝධතාවයේ නායකයින්, විරුද්ධ පක්ෂවල–සජබ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය–කාර්යාලවලට ගොස් ව්‍යවස්ථාව 'සුරක්ෂා කිරීමේ' අවශ්‍යතාවය පිලිබඳව ඔවුන් සමඟ සුහදව සාකච්ඡා කරමින් සිටින අතර ආර්ථික අර්බුදය විසඳීම සඳහා අනාගත ජාමූඅ ගැති, ධනේශ්වර “සර්ව පාක්ෂික අන්තර්වාර” ආන්ඩුවක් වෙනුවෙන් ඔවුන් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වේ.

යථාර්ථයේ දී වත්මන් ව්‍යවස්ථාව මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපති යූඑන්පී ආන්ඩුව විසින් 1978 දී ඉදිරියට ගෙන එන ලද එය, සමස්ත කම්කරු පන්තියේ විරුද්ධත්වය හමුවේ දැවැන්ත ධනේශ්වර ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාවට නැංවීමටත් දෙමල විරෝධී සිවිල් යුද්ධය සූදානම් කිරීමටත් භාවිතා කරන ලද දැවැන්ත ඒකාධිපති බලතල ජනාධිපතිට ලබා දුන්නේය. නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජය 1979 දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගෙන ආ අතර, චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොරව අත්අඩංගුවට ගැනීම ඇතුලු අතිවිශාල අත්තනෝමතික බලතල පොලිසියට ලබා දුන්නේය. මහජන ආරක්ෂක ආඥාපනත සහ අත්‍යාවශ්‍ය සේවා පනත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග යොදා ගෙන ඇත්තේ ඒකාධිපති ජනාධිපති බලතල තහවුරු කිරීමට සහ කම්කරු පන්ති විරෝධය මැඩපැවැත්වීම සඳහා ය. ජූනි මාසයේදී වෙරිටේ රිසර්ච් විසින් කරන ලද සාමූහික සමීක්ෂනයකට අනුව, රටේ සියයට 70 ක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමැත්ත පල කරන අතර, එය, මෙම පාලක පන්තියේ ප්‍රතිගාමිත්වයේ නියමු කුටිය කෙරෙහි පුලුල්ව පැතිරුනු මහජන සතුරුකම හෙලිදරව් කරයි.

වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ පලමු දිනයේ සිටම වික්‍රමසිංහ මෙම බලතල භාවිත කලේය. හමුදා ආරක්‍ෂාව යටතේ හදිසි විධායක නියෝගයකින් ආරක්‍ෂිත බලකොටුවක්‌ බවට පත්කල පාර්ලිමේන්තුවක්‌ තුල ජනාධිපතිවරනය පැවැත්වේ.

කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ආන්ඩු විරෝධී විරෝධතා ඊයේ දිවයින පුරා ස්ථාන කිහිපයක පැවැත්විනි. හදිසි නීති රෙගුලාසි සමඟ පනවන ලද මර්දනකාරී පියවර නොතකා රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් කම්කරුවන් හා සිසුන් දහසකට අධික පිරිසක් මැද කොලඹ උද්ඝෝෂන කලහ. ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටීම සඳහා ජූලි 19 විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුනි. ප්‍රධාන වෘත්තීය සමිති පෙරමුනු ඊයේ දිනටත් විරෝධතා කැඳවා තිබුනි.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති සහ පෙසප ශිෂ්‍ය නායකයින් මෙම පෙලපාලි සඳහා කම්කරුවන් හා සිසුන් බලමුලු ගන්වා නැති බව පැහැදිලිය. මීට පෙර, ජූලි 14 දා, ප්‍රධාන වෘත්තීය සමිති පෙරමුනු දෙක වන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (වෘසසම) සහ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන සන්ධානය (වෘසබසස) කියා සිටියේ, වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීම ඉල්ලා ජූලි 18 සිට මහා වැඩ වර්ජනයක් කැඳවන බවයි. නමුත් ඔවුන් මෙය නිහඬවම අත්හැර දමන ලදී. ඒ වෙනුවට ඔවුන් ජූලි 17 දා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන වැඩසටහනක් සහ ආන්ඩුවේ ප්‍රතිපත්තිවල වෙනස්කම් සඳහා විවිධ ඉල්ලීම් ගෙනහැර දැක්වූ අතර සඳුදා සහ අඟහරුවාදා සීමිත පෙලපාලි සංවිධානය කලහ.

අඟහරුවාදා පැවති වෘසසම විරෝධතාවක කොටසක්

මාස හතරකට පෙර ආන්ඩු විරෝධී උද්ඝෝෂන පුපුරා ගිය දා සිට නැවත නැවතත් සිදු වූ පරිදි, තම පාලනයෙන් ඔබ්බට යමින්, මහා වැඩ වර්ජන සහ විරෝධතා පුපුරා යා හැකි බවට වෘත්තීය සමිති බිය වෙති. අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල එක්දින මහා වැඩ වර්ජනවලට ද, මැයි 9 දා ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට ආන්ඩුව විසින් උසිගන්වන ලද ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ද මිලියන ගනනක් සිංහල හා දෙමල කම්කරුවන් සහභාගී වූහ.

එතැන් පටන් වෘත්තීය සමිති ක්‍රමානුකූලව සෑම මහජන කම්කරු බලමුලු ගැන්වීමක්ම අවහිර කර ඇති අතර, නිතර වැඩ වර්ජන ප්‍රකාශ කර ඇත්තේ ඒවා වහා නතර කර දැමීමට හෝ රැකියා ක්‍රියාමාර්ගය එක් හෝ තවත් කම්කරු කන්ඩායමකට සීමා කිරීමට පමනි.

රටේ විශාලතම වෘත්තීය සමිති සම්මේලනය බව පුරසාරම් දොඩන වෘසසම විසින් ඉදිරිපත් කරන වැඩපිලිවෙල ධනේශ්වර විරුද්ධ පක්ෂවලට වඩා වෙනස් නොවේ. ඔවුන් මෙන්ම, එහි කේන්ද්‍රීය ඉල්ලීම, ඉන්ධන, ආහාර සහ ඖෂධවල නිරන්තර හිඟය සහ කුසගින්න වර්ධනය වීමේ තර්ජනය මධ්‍යයේ, පාර්ලිමේන්තුවේ සියලුම ධනේශ්වර පක්ෂ සම්බන්ධ කර ගනිමින් අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවීමයි.

කෙසේද යත්, ආන්ඩුවේ විවිධ අමාත්‍යාංශවලට නායකත්වය දෙන අයගේ මුහුනු වෙනස් කිරීම මගින්, ගෝලීය ධනවාදය සහ එහි ශ්‍රී ලාංකික හෙංචයියන් විසින් නිෂ්පාදනය කරන සමාජ ව්‍යසනය නවතා දමනවාක් මෙනි!

ඊට පටහැනිව, අර්බුදයේ බර අනුප්‍රාප්තික ආන්ඩු වැඩ කරන ජනතාව හා දුගීන් මතට තල්ලු කිරීම, කොවිඩ්-19 වසංගතය සහ දැන් රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය මගින් උග්‍ර කර ඇති මහජනතාවගේ අවශ්‍යතා සහ ලාභ පද්ධතිය අතර සමනය කල නොහැකි ගැටුම ධනවාදයේ අසාර්ථකත්වය හෙලිදරව් කරයි.

ශ්‍රී ලංකාවේ කම්කරුවන්, සමාජ-ආර්ථික අර්බුදයට තමන්ගේම විසඳුම කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ අවශ්‍යතාවලින් ආරම්භකොට ඉදිරියට ගෙන යා යුතු අතර එබැවින් ඔවුන් ප්‍රතිගාමී, දූෂිත නිල දේශපාලන රාමුවට ගැටගැසීමට හෝ ශ්‍රී ලංකාවේ ධනවාදය යටතේ 'දරාගහැකි තත්වයකට' ඔවුන්ව සීමා කිරීමට දරන සියලු උත්සාහයන් ප්‍රතික්ෂේප කල යුතුය.

ජාමූඅ කප්පාදුවට එරෙහිව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය බලමුලු ගැන්වීමට සහ වර්ධනය කිරීමට වෘත්තීය සමිතිවලින් හා ධනේශ්වරයේ සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ස්වාධීනව, සියලු කර්මාන්තශාලා, වැඩපලවල්, වතුකරයේ, අසල්වැසි ප්‍රදේශවල සහ ග්‍රාමීය ගොවිතැන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සසප සටන් කරයි.

සඳුදා, “ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාර්ලිමේන්තු ඡන්දය භංගවේවා!” යන මැයෙන් වූ සසප ප්‍රකාශය මෙසේ පැහැදිලි කලේය: “ක්‍රියාකාරී කමිටුවලට සටන් වැදිය හැකි, වැඩකරන ජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ඍජු ව ආමන්ත්‍රනය කරන ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී ඉල්ලීම් වෙනුවෙන් සසප පෙනී සිටී. මහා ව්‍යාපාර හා බැංකු ජනසතු කිරීම, බිලියනපතියන්ගේ ධනය අත්පත්කර ගැනීම, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, දුගී ගොවීන්ගේ නය අහෝසි කිරීම, විදේශ වෙලඳාමේ රාජ්‍ය ඒකාධිකාරය පිහිටුවීම සහ උද්ධමනය අනුව කම්කරුවන්ගේ වැටුප් ඉහල දැමීම මේවාට ඇතුලත් ය.”

Loading