නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස් වෙද්දී හදිසි නීතිය පැනවේ

[මෙය State of emergency imposed as parliament convenes to choose new Sri Lankan president යන මැයෙන් 2022 ජූලි 19 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

තමන්ට වහා ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආන්ඩු විරෝධී උද්ඝෝෂන පැතිර යමින් තිබියදී, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉරිදා රජයේ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජූලි 13 වැනි දින මුලදී ප්‍රකාශයට පත් කල හදිසි නීතිය විධිමත් කලේය. හදිසි නීතිය මගින් අත්තනෝමතික ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට, විරෝධතා මැඩපැවැත්වීමට, පුද්ගලික දේපල සෝදිසි කිරීමට සහ වාරන නියෝග පැනවීමට මිලිටරිය යෙදවීමට ජනාධිපතිවරයාට පුලුල් බලතල ලබා දේ.

2022 ජූලි 13 වන දින, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත විරෝධතාකරුවන්

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සිදු වන්නේ, ජුලි 9 වනදා රටේ මෙතෙක් පැවති විශාලතම ආන්ඩු විරෝධී විරෝධතා හමුවේ පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමෙන් පසුව, නව ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ හෙට (20) පැවැත්වෙන නීත්‍යානුකූල නොවන ඡන්දයට ආසන්නයේය. වික්‍රමසිංහ ඉල්ලා අස්වන බව පසුගිය සතියේ ප්‍රකාශ කලද, ඒ වෙනුවට ඔහු වැඩබලන ජනාධිපති ලෙස පත් කරන ලද අතර දැන් හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී අපේක්ෂකයන්ගෙන් කෙනෙකි.

“මහජන ආරක්‍ෂාව, මහජන සාමය ආරක්‍ෂා කිරීම සහ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාම” සඳහා වන බව පවසමින්, ගැසට් නිවේදනය හදිසි නීතිය සාධාරනීකරනය කල මුත්, එය පැහැදිලිවම විරෝධතා සහ වැඩ වර්ජනවලට එරෙහිව භාවිතා කල හැකි බව හඟවයි. වැඩබලන ජනාධිපතිවරයා හෝ එම තනතුර සඳහා තරග වදින වෙනත් කිසිදු අපේක්ෂකයෙකු ජීවිතයට අත්‍යවශ්‍ය දේ පවත්වා ගැනීම ගැන සැලකිලිමත් වන්නේ නැත. වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් විනාශ කර දැමූ සමාජ හා ආර්ථික බිඳවැටීමට එරෙහිව පසුගිය මාස තුන පුරා පිපිරී ගිය මහජන ව්‍යාපාරයෙන් ඔවුන් භීතියට පත්ව සිටිති.

හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම, හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්දයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය අවධාරනය කරයි. ඊනියා මැතිවරනය 'කම්කරු පන්තියට, තරුනයින්ට හා ගම්බද දුගීන්ට එරෙහි වංචාවක් හා කුමන්ත්‍රනයක්' ලෙස, සමාජවාදී සමානතා පක්ෂය ඊයේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයක් තුල හෙලා දුටුවේය. එය ප්‍රකාශ කලේ: “පාර්ලිමේන්තුව කිසිම ආකාරයකින් වැඩකරන ජනතාවගේ, එනම් සමාජයේ පරම බහුතරයේ දේශපාලන හැඟීම් සහ අවශ්‍යතා නියෝජනය නොකරයි.” යනුවෙනි.

වික්‍රමසිංහ සමග විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස, රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් (ශ්‍රීලංපොපෙ) ඩලස් අලහප්පෙරුම සහ ජනතා විමුක්ති පෙරමුනේ නායක (ජවිපෙ) අනුර කුමාර දිසානායක සිය අපේක්ෂකත්වය ප්‍රකාශ කර ඇත. කවුරු ජනාධිපති ලෙස පත් කලද රාජපක්ෂගේ ඉතිරි ධුර කාලය සඳහා—එනම් 2024 දක්වා එම තනතුර දරනු ඇත.

ජනගහනයේ පුලුල් ස්ථරයන්, රාජපක්ෂට සහ වික්‍රමසිංහට පමනක් නොව පාර්ලිමේන්තුවේ වාඩි වී සිටින දුෂිත දේශපාලඥයන් 225 දෙනාටද සතුරු ය. හෙට පැවැත්වෙන ඡන්දයට නීත්‍යානුකූල භාවයක් නොමැති නමුත්, ප්‍රතිඵලය කුමක් වුවත්, සිදුවනු ඇත්තේ හුදෙක් සමස්ත දූෂිත රැලම නැවත සකස් කිරීමකි. ඔවුන් සියල්ලෝම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද, වැඩකරන ජනතාවගේ වියදමින් සංගත ලාභ සහ ජාත්‍යන්තර ආයෝජකයින් ආරක්ෂා කිරීමට සැලසුම් කර ඇති දැඩි කප්පාදු පියවරයන් පැනවීමට පිටුබලය දෙති.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සංකීර්නය අසල කොතැනකට හෝ පැමිනීම වැලැක්වීම සඳහා වික්‍රමසිංහ දැඩි ලෙස සන්නද්ධ ආරක්ෂක හමුදා බලමුලු ගන්වා ඇත. අද (19) පැවැත්වෙන ජනාධිපතිවරනයට නාමයෝජනා භාරදීමේ සැසිවාරයට පෙර සියලු පිවිසුම් මාර්ග, මාර්ග බාධක යොදා වසා දමා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පූර්න ආරක්ෂාව ලබාදෙන ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත. රටේ සෙසු ප්‍රදේශවලට පැය ගනන් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති මුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිනීම සඳහා ඉන්ධන ලබා දෙන ලෙස හමුදාවට දන්වා ඇත.

වික්‍රමසිංහ සමාජ මාධ්‍ය මත ප්‍රහාරය ද වේගවත් කර ඇත. ජනාධිපතිවරන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 'බලපෑම් කල හැකි හෝ පීඩනයට ලක් කල හැකි' සමාජ මාධ්‍ය පල කිරීම් පිලිබඳව පුලුල් පරීක්ෂනයක් පවත්වන ලෙස ඔහු පොලිසියට උපදෙස් දී තිබේ. මෙම පියවර මගින්, පසුගිය මාස තුන පුරාවට රාජ්‍ය විරෝධී උද්ඝෝෂන සංවිධානය කිරීමට පුලුල් ලෙස භාවිතා කරන ලද සමාජ මාධ්‍ය සඳහා වඩා පුලුල් මර්දනයක් සංඥා කරයි.

කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් වික‍්‍රමසිංහගේ මර්දනකාරී පියවර නොතකා විරෝධතාවලට සහභාගි වෙමින් සිටිති. දැන් රාජපක්ෂ රටින් පලා ගොස් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින්, කොලඹ සහ ප්‍රාදේශීය නගරවල විරෝධතා මධ්‍යස්ථාන වික්‍රමසිංහට ඉල්ලා අස්විය යුතු යැයි බල කිරීම වෙත සිය අවධානය යොමු කර ඇත. පුලුල්ව පිලිකුලට ලක් වූ ඔහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන ආවතේවකාරයෙකු වන අතර ජාමූඅ ගැති වෙලඳපොල ප්‍රතිව්‍යුහගත කිරීමේ ආරක්ෂකයෙකි. ඔහු, ශේෂ වී ගිය එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වේ.

වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම සංවිධාන උත්සාහ කරන්නේ, ඒ හා සමානව අවිශ්වාසට සහ පිලිකුලට බඳුන් වූ විරුද්ධ පක්ෂ සහ ධනේශ්වර පාලනය නඟා සිටුවීම සඳහා සර්ව පාක්ෂික, අන්තර්වාර ආන්ඩුවක් සඳහා වන කැඳවීම පිටුපස මහජන විරෝධය ගාල් කිරීමටයි.

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) අද වික්‍රමසිංහගේ ඉල්ලා අස්වන ලෙස බලකිරීමේ විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. දහස් ගනනක් සහභාගී විය හැකි මැද කොලඹ හරහා පාගමනක් ද ඇතුලත් විරෝධතාවලට සම්බන්ධ වන ලෙස අවිශිබම වෘත්තීය සමිති වලින් ඉල්ලා ඇත.

පෙසප මෙන්ම වෘත්තීය සමිති ද කම්කරු පන්තියේ ඕනෑම දේශපාලන මැදිහත්වීමක් කඩාකප්පල් කිරීමේ දී පසුගිය මාස තුන පුරා ද්‍රෝහී භූමිකාවක් ඉටු කර ඇත. කෝපය වාෂ්ප කර දැමීමට වැඩ වර්ජන කැඳවා ඇති විට, වෘත්තීය සමිති නායකයෝ ඒවා කඩිනමින් අත්හිටුවා ඇත. පසුගිය සතිය පුරා වෘත්තීය සමිති යාන්ත්‍රනය මහා වැඩ වර්ජනවලට යන බවට අනතුරු අඟවා ඇතත් කිසිවක් සිදු නොවීය.

මහජනතාවගේ ජයග්‍රහනය සහතික කිරීම සඳහා 'කම්කරු පන්තියෙන් යෝජනා' පිලිබඳ ප්‍රධාන වෘත්තීය සමිති සන්ධානය වන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (වෘසසම) විසින් ඊයේ නිවේදනය කිරීම, ඔවුන්ගේ කුනු වූ දේශපාලනය සාරාංශගත කරයි. එහි, අන්තර්වාර ආන්ඩුවක් සහ මාස හයක් ඇතුලත මැතිවරනයක් සඳහා විරුද්ධ පක්ෂ සමග එකඟ වෙමින්, කම්කරු පන්තියෙන් නොව, වෘත්තීය සමිති වලින් කරන ආයාචනයක් අඩංගු විය. ඔවුන්ගේ “ව්‍යවස්ථා ගැති” වැඩපිලිවෙල නම්, කම්කරු පන්තිය බිඳ විසිරවීම සහ පාලක පන්තියට කාලය ලබා ගැනීම සඳහා අර්ථ විරහිත මැතිවරනයක් කරා විරෝධතාවන් හරවා යැවීමයි.

හෙට ඡන්දයෙන් බහුතරයක් ලබා ගැනීම සඳහා තිරය පිටුපස දේශපාලන බිලිබෑම් දිගටම කෙරීගෙන යයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට විශාලතම පාර්ලිමේන්තු ඡන්ද සංඛ්‍යාව ඇති නමුත්, කොටසක් 'ස්වාධීන' ලෙස අසුන් ගැනීමට කැඩී යාමෙන් පසුව එය ගැඹුරින් බෙදී ඇත.

ඊයේ, වික්‍රමසිංහ සහ මැයි මාසයේදී ඉල්ලා අස්වීමට බලකෙරුනු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ශ්‍රීලංපොපෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවී ශ්‍රීලංපොපෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙනුවට වික්‍රමසිංහට ඔවුන්ගේ පිටුබලය ලබා දීමට තීරනය කලහ. ඡන්ද මිල දී ගැනීමේ අශික්ෂිත ප්‍රයත්නයක දී වික්‍රමසිංහ ප්‍රකාශ කලේ මෑත කාලීන විරෝධතා වලදී විනාශ වූ හෝ හානියට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස හා දේපල යලි ගොඩනැංවීම සඳහා මහජන මුදල් යොදවන බවයි.

2022 ජූලි 1 වැනි දින, කොලඹ වැල්ලවත්ත පිරවුම්හලේදී අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන බෙදා හැරීම හමුදාව විසින් අධීක්ෂනය කරයි [ලෝසවෙඅ මාධ්‍ය]

මහජන සහයෝගය ගසාකෑම සඳහා ඊට සමාන අශික්ෂිත බවකින්, ආන්ඩුව ඉන්ධන මිල ගනන් ලීටරයකට රුපියල් 20 කින් හෙවත් සියයට හතරක සොච්චමකින් අඩු කරන බව නිවේදනය කලේය. එමෙන්ම, හදිසියේම වික්‍රමසිංහ ප්‍රකාශ කලේ ජීවන වියදම අඩු කිරීමට ක්‍රම සොයන බවයි.

පවුල්වලින් සියයට 70 ක් පමන ආහාර වේල මඟහරිමින් කුසගින්නෙන් හා හාමතින් පෙලෙන බැවින් මෙම නිවේදන වැඩ කරන ජනතාවට කරන අපහාසයකි. ජනතාවට ඉන්ධන මිලට ගැනීමට හැකියාවක් තිබුනද, ඒවා ලැබෙන බවට සහතිකයක් නොමැතිව පැය ගනන් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබේ. රෝහල්වලට යාමට ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල බලා සිටීමට සිදුව ඇති නිසා, කාර්ය මන්ඩල හිඟය හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල් වෙත හරවා යැවීමට සිදුව තිබේ.

ජනතා විමුක්ති පෙරමුනේ නායක දිසානායක ඉරිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ, ඔවුන්ගේම දේශපාලන අභිලාෂයක් නොමැති, සියලුම පක්ෂවල සහය ලබන භාරකාර ජනාධිපතිවරයෙකුට පක්ෂව තම අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවයි. පාර්ලිමේන්තු අසූචි වලෙන්, කිසිදු මහජන විශ්වාසයක් ඇති හෝ තැනට සුදුසු කිසිවෙකු ඔහු නම් කලේ නැත. මෙම පියවර, ධනේශ්වර පාලනයේ මුලුමනින්ම අපකීර්තියට පත් වූ ආයතනවලට දේශපාලන නීත්‍යානුකූලභාවය ලබා දීමේ මංමුලා සහගත උත්සාහයක් මිස අන් කිසිවක් නොවේ.

හෙට කවුරුන් ජනාධිපති ලෙස පත් කලත්, මීලඟ ආන්ඩුව රාජ්‍ය අංශයේ රැකියා තවදුරටත් කප්පාදු කරමින්, දැනටමත් අර්බුදයට ලක්ව ඇති රජයේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ගැඹුරටම ප්‍රහාර එල්ල කරමින්, බදු වැඩි කිරීම, පුලුල් කිරීම සහ මිල ගනන් ඉහල දමීම මගින් සහනාධාරවල ඉතිරිව ඇති දේ ද අහෝසි කරමින් ජාමූඅ ඉල්ලා සිටින කුරිරු පියවර ක්‍රියාත්මක කරනු ඇත. ශ්‍රී ලංකා ආර්ථිකය දැනටමත් වැටීමකට ලක්ව ඇති හෙයින්, යුරෝපයේ අවපාතයක් ශ්‍රී ලංකාවේ අපනයන හා සංචාරක ව්‍යාපාරයට බලපානු ඇති අතර එහි උග්‍ර විදේශ විනිමය හිඟය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ෆිච් රේටින්ග්ස් මේ සතියේ අනතුරු ඇඟවීය.

ඊයේ සිය ප්‍රකාශය තුල සසප මෙසේ පැවසීය: “ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ, ඔවුන්ගේ ව්‍යාජ-වාම අන්තේවාසිකයින් සහ වෘත්තීය සමිති නිලධරයට එරෙහි ව, තමන් මුහුන දෙන යෝධ සමාජ අර්බුදය විසඳීමේ එක ම ක්‍රමය වන විප්ලවීය සමාජවාදී ක්‍රියා මාර්ගයක් සඳහා සටන් කරන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියට, තරුනයන්ට හා ගම්බද දුගීන්ට කැඳවුම් කරයි.

“සංස්ථාපිතයේ පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීමට, සෑම වැඩපොලක, කම්හලක, වත්තක, නිවහන් ප්‍රදේශයක හා ගම්බද ප්‍රදේශයක ම කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි කැඳවුම් කරමු. ක්‍රියාකාරී කමිටුවල ජාලයක් ස්ථාපනය කොට, ධනවාදයට එරෙහි පොදු අරගලයක් තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භකත්වය ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ඒවා සම්බන්ධ කරනු ලැබිය යුතු ය.”

“ක්‍රියාකාරී කමිටුවලට සටන් වැදිය හැකි, වැඩකරන ජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ඍජු ව ආමන්ත්‍රනය කරන ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී ඉල්ලීම් වෙනුවෙන් සසප පෙනී සිටී. මහා ව්‍යාපාර හා බැංකු ජනසතු කිරීම, බිලියනපතියන්ගේ ධනය අත්පත්කර ගැනීම, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, දුගී ගොවීන්ගේ නය අහෝසි කිරීම, විදේශ වෙලඳාමේ රාජ්‍ය ඒකාධිකාරය පිහිටුවීම සහ උද්ධමනය අනුව කම්කරුවන්ගේ වැටුප් ඉහල දැමීම මේවාට ඇතුලත් ය..

“නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා බදාදා පාර්ලිමේන්තුව තුල කරන ඡන්ද විමසීමේ ප්‍රෝඩාව ප්‍රතික්ෂේප කරන අපි, ඒකාධිපති විධායක ජනාධිපති ධූරය වහා ම අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමු.

“සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කරන කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක්, සමාජවාදී පිලිවෙත්වලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක පදනම මත තරුනයන් හා ගම්බද දුගීන් තමන්ගේ පාර්ශවයට රැලි කරනු ඇත. මෙය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයේ කොටසකි.

“මෙම විප්ලවීය සමාජවාදී ක්‍රියා මාර්ගයට සටන් වැදීම සඳහා සසපට බැඳෙන ලෙස අපි කම්කරුවන්ට, තරුනයන්ට, ශිෂ්‍යයන්ට හා ගම්බද දුගීන්ට ආයාචනා කරමු.”

Loading